රාවය

අර්බුදයට යන යහපාලන ආණ්ඩුව හා ලංකාවේ අර්බුදය

අර්බුදයට යන යහපාලන ආණ්ඩුව හා ලංකාවේ අර්බුදය

වික්ටර් අයිවන්

දීර්ඝ කාලයක් ප්‍රචණ්ඩ ගැටුම් පැවති මරණ බියෙන් ජීවත් වූ සමාජයක් සැලකිය යුත්තේ ප්‍රකෘති සිහිය අහිමි කරගත් ප්‍රතිකාර ලැබිය යුතු සමාජයක් ලෙසය. එවැනි බිහිසුණු සමාජ-දේශපාලන වටාපිටාවක මිනිසුන් පමණක් නොව මිනිස් ගණයට නොවැටෙන ආයතන ක්‍රමද විකෘති වේ. ගැටුම් අවසන් වූ පසු එම රෝගී සමාජයට ප්‍රතිකාර කළ යුතුය. මිනිසුන් තුළ තිබෙන විකෘති තත්ත්වය නැති කොට ඔවුන් සුවපත් කළ යුතුය. බෙලහීන වී හා විකෘති වී තිබෙන රාජ්‍යය හා ආයතන ක්‍රමද පිළිසකර කරගත යුතු ය. නැතිනම් ප්‍රතිනිර්මාණය කරගත යුතුය.

පැවති යථා තත්ත්වය
විශේෂ වශයෙන් කිවහොත් අසූව දශකය ආරම්භයේ සිට අභ්‍යන්තර යුද්ධය අවසන් කෙරුණු 2009 වසර දක්වා ලංකාව පැවතියේ සාමාන්‍ය තත්ත්වයක නොව ඉතාමත් අසාමාන්‍ය තත්ත්වයකය. එම දීර්ඝ කාලය තුළ ලංකාව පැවතියේ උපරිම මට්ටමේ අශීලාචාර තත්ත්වයකය. විටෙක සිංහල දකුණේත් තවත් විටෙක දෙමළ උතුරේත්, තවත් විටෙක එකවිට ඒ කලාප දෙකේත්, අවසානයේ දෙමළ උතුරේත් මිනිසුන් තොග ගණනින් මරා දමන තත්ත්වයක් ක්‍රියාත්මක විය. ඒ කාලයේදී කැරලිකරුවන් සේ ම කැරලිකරුවන් මර්දනය කිරීම සඳහා යොදාගත් ආරක්ෂක හමුදාවන්ද උපරිම මට්ටමේ ක්‍රෑරත්වයත් මුදාහරින ලදි. සැක කටයුතු පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට වද දෙන වධකාගාර ක්‍රමයක් රටේ තිබුණි. ජේවීපී දෙවැනි කැරැල්ල මර්දනයේදී ආරක්ෂක හමුදා පවත්වාගෙන ගිය වධකාගාර ගැන සේ ම ඒවායේ ක්‍රියාත්මක වූ වද හිංසා ක්‍රම ගැන ලියැවුණු ලොකු සාහිත්‍යයක් රටේ තිබෙන්නේය. දෙමළ කොටි සංවිධානය පවත්වාගෙන ගිය වධකාගාර හා ඒවායේ පවත්වාගෙන ගිය වද හිංසා ක්‍රම පිළිබඳව විස්තරයක් රාජන් හූල්ගේ ‘බලයේ මහන්තත්ත්වය’ නමැති කෘතියට ඇතුළත්ය.
මෙම අශීලාචාර කාලයේදී රටේ අපරාධකාරයන්ද වැදගත් හා ප්‍රමුඛ භූමිකාවක් රඟපෑවේය. දේශපාලකයන්ට ඔවුන්ගේ ආරක්ෂාව සඳහා පුද්ගලික හමුදා පවත්වාගෙන යෑමට ඉඩදී තිබුණු අතර ප්‍රධාන කොට ඒවාහි සේවය කළේ අපරාධකාරයන්ය. ආරක්ෂක හමුදා පමණක් නොව කැරලිකරුවන්ද අපරාධකරුවන්ගේ සේවය ලබා ගත්තේය. නීතියෙන් දඬුවම් ලැබීමකින් තොරව අපරාධ කිරීමේ අයිතිය ඇති විශේෂ ගණයේ අපරාධකරුවන් විශාල පිරිසක් රටේ සිටියේය. දේශපාලකයන් අපරාධකරුවන් මතද අපරාධකරුවන් දේශපාලකයන් මතද යැපෙන තත්ත්වයක් ඇතිවී තිබුණි.
මේ කාලයේදී සමහර දේශපාලකයන් පුද්ගලික හමුදාවල සහාය ඇතිව කැරලිකරුවන් පමණක් නොව පුද්ගලික හා දේශපාලන විරුද්ධවාදීන්ද මරා දැම්මේය. මරා දමන මිනිසුන්ගේ මළ සිරුරු ප්‍රදර්ශනය කෙරෙන ක්‍රමයක් ක්‍රියාත්මක විය. මිනිසුන්ගේ බෙලි කපා කෝටුවල ගසා ප්‍රදර්ශනය කෙරුණු අවස්ථාද තිබුණි.

රෝගී සමාජයක් ඇතිවීම
මෙම අශීලාචාර කාලයේදී සියලු මිනිසුන් ජීවත් වූයේ අඩු වැඩි වශයෙන් සැකයෙන් හා මරණ බියෙනි. ඔවුන්ට නිතර නිතර දකින්නට හෝ අසන්නට ලැබුණේ මනුෂ්‍ය ඝාතනයන් ගැනය. අතුරුදන්වූ පුද්ගලයන් හා වදහිංසාවන්ට ලක්වූ පුද්ගලයන් ගැනය. හිංසාව හිංසාවට ලක්වන්නන් කෙරෙහි පමණක් නොව හිංසා කරන්නන් කෙරෙහිද බලපායි. ඒ දෙපිරිසම මානසික රෝගීන් බවට පත් කරයි. යුද හමුදාවේ සේවය කළ සමහර සොල්දාදුවන් මානසික රෝග න් බවට පත්ව තිබෙන ආකාරය හා ඒ තත්ත්වය පෙරළා ඔවුන්ගේ පවුල් ජීවිත කෙරෙහි බලපා තිබෙන ආකාරය පිළිබඳව කදිම විග්‍රහයක් යුද හමුදා රෝහලේ මානසික වෛද්‍යවරයෙකු ලෙස සේවය කළ රුවන් එම්. ජයතුංග විසින් ලියා පළ කර තිබෙන ‘සංග්‍රාමයෙන් පසු – ඊලාම් යුද්ධයට මුහුණ දුන් සොල්දාදුවන්ගේ කතා’ යන කෘතියට ඇතුළත්ය. යාපනේ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සේවය කළ මහාචාර්යවරයෙකු වන දයා සෝමසුන්දරම් විසින් ලියා පළකර තිබෙන “Scared Minds –
The Psychological impact of war on Sri Lankan Tamils” නමැති පොත දෙමළ කොටි සංවිධානය, ආරක්ෂක හමුදා හා ඉන්දියානු සාම හමුදාව විසින් කරන ලද යුද්ධය විසින් උතුරේ දෙමළ සමාජය කෙරෙහි ඇතිකර තිබෙන සාමූහික ව්‍යසනය ගැන තමන්ගෙන් ප්‍රතිකාර ලද රෝගීන් ආශ්‍රයෙන් කරන ලද විශිෂ්ට අධ්‍යයනයක් ලෙස සැලකිය හැකිය. එය සාමූහික ප්‍රචණ්ඩත්වය ඊට ගොදුරු වන පුද්ගලයන් කෙරෙහි පමණක් නොව ඒ පවුලේ සාමාජිකයන් කෙරෙහිද අවසාන විග්‍රහයේදී මුළු මහත් දෙමළ සමාජය කෙරෙහිද බලපා තිබෙන ආකාරය ගැන කර තිබෙන කදිම විග්‍රහයක් ලෙස සැලකිය හැකිය. එම මහාචාර්යවරයාද උතුරේ දෙමළ සමාජය පිළිබඳව එහි දක්වා තිබෙන චිත්‍රය සමස්ත සමාජයටද අදාළ කරගත හැකිය.

රාජ්‍යයේ ගරා වැටීම
ඇතිවූ එම මහා ව්‍යසනය මිනිසුන් පමණක් නොව රාජ්‍යයද විකෘති කළේය. දූෂිත කොට ජරපත් බවට පත් කළේය. ජේවීපී දෙවැනි කැරැල්ල කාලයේදී ගැටුම් පැවති ප්‍රදේශවල හැම සිංහල තරුණ තරුණියක්මත් පොලිසියේ හා ආරක්ෂක හමුදාවල සැකයට හේතුවිය. ඒ නිසා කැරලිකරුවන්ට කිසිම සම්බන්ධයක් නැති තරුණ තරුණියන් පවා පොලිසියේ හා ආරක්ෂක හමුදාවල හිංසාවන්ට හා පීඩාවන්ට ලක්විය. වෙනත් වර්ගවලට අයත් තරුණ තරුණියන් ඒ කාලයේ ඔවුන්ගේ සැකයට හේතුවූයේ නැත. ජේවීපී කැරැල්ල පරාජය කිරීමෙන් පසු දෙමළ කොටි සංවිධානයේ කැරැල්ල ප්‍රමුඛ කැරැල්ල බවට පත්වූ පසු හැම දෙමළ තරුණ තරුණයෙක්මත් පොලිසියේ හා ආරක්ෂක හමුදාවල සැකයට හේතුවිය. ඒ නිසා කොටි සංවිධානයේ කිසිම සම්බන්ධයක් නැති තරුණ තරුණියන් පවා පොලිසියේද ආරක්ෂක හමුදාවලද හිංසාවන්ට හා පීඩාවන්ට ලක්විය. දේශපාලකයන්ට සම්බන්ධ අපරාධකාරයන්ට එරෙහිව පොලිසිය ක්‍රියා නොකළේය.
රටේ පැවති එම ප්‍රචණ්ඩ වටාපිටාව අධිකරණයට තිබූ අපක්ෂපාත පෙනුමද නැති කළේය. කැරලිකරුවන්ට සම්බන්ධ නඩුවලදී බොහෝවිට කරුණු සලකා බලා ඇත්තේ සාධාරණ ආකාරයකින් නොවේ. සිංහරාසා නඩුව ඒ සඳහා දැක්විය හැකි හොඳ නිදර්ශනයකි. සිංහරාසාගේ කටඋත්තරය ලියාගෙන තිබුණේ දෙමළ භාෂාවෙන් නොව සිංහල භාෂාවෙනි. භාෂා පරිවර්තකයකුගේ සහාය පවා ඔහුට ලබාදී නොතිබුණි. අධිකරණය ඔහුට දඬුවම් කර තිබුණේ එම කටඋත්තරයේ එන තොරතුරු පදනම් කරගෙනය. වදහිංසාවන්ට අදාළ නඩුවලදීද වදහිංසාවන්ට ලක්වූ දෙමළ තරුණයන් සඳහා අධිකරණය වන්දි නියම කර ඇත්තේ සාධාරණ ආකාරයට නොවේ. දරුණු වදහිංසාවන්ට ලක්වූවන්ට පවා වන්දි වශයෙන් ලබාදී ඇත්තේ රුපියල් 5000ත් 10000ත් වැනි සොච්චම් මුදලකි.
මෙම අශීලාචාර කාලය තුළ රාජ්‍ය පාලනයට සම්බන්ධ දේශපාලකයන් සඳහා එතෙක් පැවති ගුණධර්මවලද මහා බිඳ වැටීමක් සිදුවිය. ඒ සමඟ දේශපාලකයන්ට අදාළව දූෂණය වැළකීමට යොදා තිබුණු වැටකඩොලුද කඩා බිඳ දැමීමක් සිදුවිය. රාජ්‍ය පාලනය රට පාලනය කරනවාට අතිරේකව පොදු වස්තුව කොල්ලකන ක්‍රමයක් වශයෙන් ස්ථාපිත විය. මහජනයාගේ සේ ම ජනමාධ්‍යවලද ප්‍රධාන අවධානය ප්‍රචණ්ඩ ගැටුම් වෙත යොමුවී තිබුණු අවස්ථාවක පාලකයන් සිත් සේ රටේ සාරය උරා බොන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. ඒ නිසා රාජ්‍යයේ ස්වභාවයද වෙනස් වූයේය. රාජ්‍ය චෞර හා මාංශ භක්ෂක රාජ්‍යයක ස්වභාවය ගත්තේය. එම අශීලාචාර කාලය තුළ නීතියේ පාලනය මුළුමනින් බිඳ වැටෙන තත්ත්වයක් තුළ සමස්ත ආයතන ක්‍රමයද අකාර්යක්ෂම හා දූෂිත තත්ත්වයකට ඇද වැටුණි.
ප්‍රචණ්ඩ ගැටුම් පැවති කාලයේදී සමාජය සුවපත් කිරීමේ හෝ රාජ්‍ය ප්‍රතිසංස්කරණය කිරීමේ හැකියාවක් නොතිබුණි. ඒවා එසේ කළ යුතුව තිබුණේ අභ්‍යන්තර යුද්ධය අවසන් කිරීමෙන් පසුවය. එහෙත් අභ්‍යන්තර යුද්ධය අවසන් කිරීමෙන් පසුව අශීලාචාරත්වය රජ කළ දශක තුන දෙස විවේචනාත්මකව ආපසු හැරී බැලීමකට යන්නට අවශ්‍ය ප්‍රඥාව යුද්ධය ජයගත් නායකයාට සේ ම ඔහුගේ ආණ්ඩුවටද නොතිබුණි. මැදිහත් ආකල්පයකින් ආපසු හැරී බැලීමකට යන්නට හැකිවී නම් අශීලාචාරත්වයක් ඇති කිරීමට බලපෑ හේතු නිවැරදි ලෙස හඳුනා ගැනීමට හැකිවන්නට ඉඩ තිබුණා සේ ම, එම අශීලාචාර වටාපිටාව පුද්ගලයන් කෙරෙහිත් ඔවුන්ගේ පවුල් හා සමාජය කෙරෙහිත් ඇති කර තිබූ විකෘතියේ තරමද රාජ්‍ය හා ආයතන ක්‍රමයේ ඇතිවී තිබෙන කුණුවීමේ තරමද තේරුම් ගනිමින් සමාජ හා රාජ්‍ය දේහයේ ඇතිවී තිබෙන විකෘතීන් නිවැරදි කිරීම සඳහා ඇති කළ යුතු ප්‍රතිසංස්කරණද හඳුනා ගැනීමට සමත්වන්නට ඉඩ තිබුණි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ
අභ්‍යන්තර යුද්ධය අවසන්වීමෙන් පසු මා විසින් දිගින් දිගට ලියන ලද බොහොමයක් ලිපි මගින් සමාජය හා රාජ්‍ය ප්‍රතිසංවිධානයකට ලක්කිරීමේ වැදගත්කම අවධාරණය කළද ඒවා ප්‍රමාණවත් තරමේ බලපෑමක් ඇති කිරීමට හේතුවූයේ නැත. ඊට අතිරේකව ඒ ගැන රාජ්‍ය නායකයා කෙරෙහි හා විරුද්ධ පක්ෂ නායකයන් කෙරෙහිද බලපාන්නට අවස්ථා කිහිපයකදීම උත්සාහ දරා ඇත්තේය. ඒ අත්දැකීම් පාඨකයන්ටද වැදගත් විය හැකිය.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බලයේ සිටියදී සමහර අවස්ථාවලදී මා සමඟ දුරකතනයෙන් කතා කළේය. එවැනි අවස්ථා කිහිපයකම ප්‍රතිසංවිධානයක අවශ්‍යතාව පැහැදිලි කර දෙන්නට උත්සාහ කළත්, ඊට ලැබෙන වැදගත්කම තේරුම් ගැනීමට ජනාධිපතිවරයා සමත් නොවීය. එහෙත් ජනාධිපතිවරයා මා සමඟ දුරකතනයෙන් කතා කළ එක් අවස්ථාවකදී ඒ ගැන මා කියන දෙයට ඔහු උනන්දුවෙන් සවන් දෙන බවක් පෙනෙන්නට තිබුණි. මා එය අවස්ථාවක් කරගනිමින් ජනාධිපතිවරයාට කරුණු පැහැදිලි කරදෙන්නට උත්සාහ කළෙමි. මාගේ කරුණු පැහැදිලි කිරීම මා අවසන් කළේ විරුද්ධ පක්ෂයේද එකඟතාව ඇතිව සමාජය හා රාජ්‍ය ප්‍රතිසංවිධානය කරන තැනකට යෑමට අසමත් වෙතොත් ආණ්ඩුව පමණක් නොව රටද පාලනය කිරීමට අමාරු ලොකු අර්බුදයකට යනු ඇතැයි කියමිනි. ඒ දිනයේ ජනාධිපතිවරයා මා පළ කළ අදහස්වලට හොඳින් සවන් දීගෙන සිටියද අදහස් පළකිරීමක් කළේ නැක. දුරකතන සංවාදය අවසන් කළේ ඒ ගැන හමුවී වැඩිදුර කතා කරමුයි කියමිනි.
එම දුරකතන සංවාදය අවසන් වී විනාඩි 10කට පමණ පසුව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග දුරකතනයෙන් මා අමතා කතා කොට ජනාධිපතිවරයා සමඟ එදින මා කතා කරන ලද දේ පිළිබඳව වැඩිදුර සාකච්ඡා කිරීම සඳහා පෙරවරු 11ට අරලියගහ මන්දිරයට එන ලෙස මට දැනුම් දුන්නේය. ජනාධිපතිවරයා හා මා අතර එම දුරකතන සාකච්ඡාව පැවතියේ උදේ 7ට පමණය. සාකච්ඡාව සඳහා ගතවන්නට ඇති කාලය විනාඩි 20ක් පමණ විය හැකිය.
ප්‍රමාද වී හෝ යහපත් ප්‍රතිචාරයක් ලැබීමේ සතුටකින් යුතුව නියම වී තිබෙන වෙලාවට මම අරලියගහ මන්දිරයට ගියෙමි. සාකච්ඡාව පැවතියේ පහළ මාලයේ තිබෙන කාර්යාලයේය. ජනාධිපතිවරයා එම සාකච්ඡාවට ඩලස් අලහප්පෙරුම ඇමතිවරයාද ගෙන්වා ගෙන තිබුණු අතර ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගද එම සාකච්ඡාවට සහභාගි විය. ඇමති ඩලස් අලහප්පෙරුම කෙරෙන සාකච්ඡාව නිහඬව අසාගෙන සිටියා මිස කිසිදු අදහස් පළකිරීමක් පළ කළේ නැත.
ජනාධිපතිවරයා මගේ මතය පැහැදිලි කරන ලෙස ඉල්ලා සිටි පසු මම මාගේ අදහස පළ කළෙමි. දීර්ඝ කාලයක් ප්‍රචණ්ඩ ගැටුම් පැවති කාලවකවානුවේදී සමාජ ක්‍රමයේ හා ආයතන ක්‍රමයේ ලොකු පිරිහීමක් ඇතිවී තිබෙන බව තේරුම් කරදීමට උත්සාහ කළෙමි. උතුරෙත් දකුණෙත් ප්‍රචණ්ඩ ගැටුම් ඇති කිරීමට බලපා තිබෙන හේතු හා ප්‍රචණ්ඩ ගැටුම් නිසා සමාජයේ හා රාජ්‍යයේ ඇතිවී තිබෙන විකෘතීන් මොනවාදැයි සොයා බලන හා ඒ සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ ඇති කරන තැනකට යායුතුව තිබෙන බව මම තරමක් සවිස්තරාත්මකව පැහැදිලි කළෙමි. ඒ ගැන කෙරෙන ප්‍රශ්න කිරීම්වලින් පසුව වැඩිදුර කරුණු පැහැදිලි කිරීමක් කිරීමට මම බලාපොරොත්තු වූයෙමි.
මාගේ කරුණු පැහැදිලි කිරීමේදී මා අවස්ථා කිහිපයකදීම කුණුවීම යන වචනය පාවිච්චි කළෙමි. එම කුණුවීම යන වචනය අල්ලාගෙන ජනාධිපතිවරයා ඉන්පසු අරලියගහ මන්දිරයේ ඇතිවී තිබෙන කුණුවීමක් ගැන කතා කරන්නට වූයේ “ඔයා කියන විදියට සමාජය හා රාජ්‍ය පමණක් නොව මගේ අරලියගහ මන්දිරයත් හොඳටම කුණුවෙලා”යැයි කියමිනි. ජනාධිපතිවරයා එහිදී අරලියගහ මන්දිරයේ ඇතිවී තිබෙන කුණුවීම ගැන කුතුහලයට හේතුවන දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය. මා කුණුවීම යන්නෙන් අදහස් කළ දේ හා ජනාධිපතිවරයා ඉන් අදහස් කළ දේ එක සමාන නැතත් මගේ කතාව ප්‍රශ්න කරමින් ඉදිරියට ගෙනයනවා වෙනුවට ඊට අරලියගහ මන්දිරයත් ඈඳා ගැනීම නිසා අප කතා කරමින් සිටි මාතෘකාව තර්කානුකූල අවසානයක් කරා ගෙන යෑමට හැකිවූයේ නැත. පැය තුනක් තරම් කාලයක් එක දිගට පැවති එම සාකච්ඡා සභාව අවසානයේදී ජනාධිපතිවරයා මට කීවේ එම සාකච්ඡාවට අදාළ මගේ අදහස් හා යෝජනා ලිඛිත කෙටුම්පතක් ලෙස සකස් කොට ලලිත් වීරතුංගට භාර දෙන ලෙසය. ඒ අනුව ලිඛිත කෙටුම්පතක් සකස් කොට ලලිත් වීරතුංග වෙත යන ලදමුත් යමක් සිදුවනු ඇතැයි කියන බලාපොරොත්තුවක් මා තුළ ඇතිවූයේ නැත. ඒ වනවිටත් යුද්ධයෙන් ජයලැබීමේ උද්දාමය ජනාධිපතිවරයා වෙතින් පහවී ගොස් නොතිබුණි. ඒ නිසා මා කියන දෙය හරියාකාරව තේරුම් ගැනීමේ හැකියාවක් ජනාධිපතිවරයාට නොතිබුණි.

25 වැනි සංවත්සරය
ඉන්පසු එම ප්‍රශ්නය බලවත් සමාජ කතිකාවක් බවට හරවා ගැනීමේ අරමුණ ඇතිව රාවයේ 25 වැනි සංවත්සරයේ ප්‍රධාන තේමාව බවට පත්කර ගත්තෙමි. එහිදී මට අවශ්‍ය වූයේ කරන කතාව ආශ්‍රයෙන් සංවත්සරයට එන සියලු දේශපාලන නායකයන්ද එම කථිකාවට සම්බන්ධ කරගනිමින් එම කථිකාව බලවත් සමාජ කතිකාවක් බවට හරවා ගැනීමය. රටේ දේශපාලන නායකයන් සභාවකට කැඳවා දැනුම්දීමකින් තොරව ඔවුන්ද විවේචනයට ලක් කෙරෙන කතාවක් කිරීම සුදුසු නොවන නිසා මාගේ කතාව මා කෙටුම්පත් කොට එහි පිටපත් උත්සව සභාවට ආරාධනා කර තිබූ ජනාධිපති, විපක්ෂ නායක ඇතුළු අන් නායකයන් වෙත කල්තියා යැව්වෙමි. සම්බන්දන් මහතාට සිංහල භාෂාව කියවීමේ හැකියාවක් නැතැයි සලකා ඔහු වෙත පමණක් කතාවේ ඉංග්‍රීසි පරිවර්තනයක් යැව්වෙමි. ඒ මගින් මා අපේක්ෂා කළේ සංවත්සර උත්සව සභාව ලංකාවේ අර්බුදය හා එය ජයගැනීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ ගැන සංවාදයක යෙදෙන සංවාද මණ්ඩපයක් බවට පත්කර ගැනීමය. එහෙත් ආරාධිත නායකයන් කිසිවෙක් අපේක්ෂා කළ සංවාදයට අවතීර්ණ වූයේ නැත. ඔවුන් මූලික ප්‍රශ්නය කතා කිරීමෙන් වැළකී වෙනත් දේවල් ගැන කතා කරන තැනකට ගියේය.
රාවයේ 25 වැනි සංවත්සරය වන විට මා ලංකාවේ අර්බුදය හා එහි ගමන් මග පිළිබඳව ‘ලංකාව ගලවා ගැනීම’ නමින් පොතක් ලියා පළකර තිබුණි. ඊට ඇතුළත් නිරීක්ෂණයක් වනුයේ ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයෙන් ලංකාව ගලවා ගැනීමේ හැකියාවක් ලංකාවේ සාම්ප්‍රදායික දේශපාලන පක්ෂවලට නැති බවය. ඒ සඳහා ගාන්ධියානු මාදිලියේ සමාජ ව්‍යාපාරයක් ඇතිකර ගැනීම අවශ්‍ය බවය.
ප්‍රභාකරන් පරාජය කිරීම විසින් ශ්‍රී ලංකා රාජ්‍ය නිරුවත් කිරීමට හේතුවී තිබේය කියන අදහසද 2012 වසර අවසානයේදී මා ඉදිරිපත් කරන ලද සමාජ සවිඥානකත්වයේ ඇතිවෙමින් තිබුණ වෙනස්කම්වල ස්වභාවය පෙන්නුම් කිරීම සඳහා ඉදිරිපත් කරන ලද සංකල්පයක් ලෙස සැලකිය හැකිය. එහි තේරුම කෙටියෙන් මෙසේය. රටේ ප්‍රචණ්ඩ ගැටුම් තිබෙන තෙක් මහජනයාගේ ප්‍රධාන අවධානය යොමුවී තිබුණේ ඒ ගැටුම් හා ඒ ආශ්‍රයෙන් සිදුවන විනාශයන් ගැනය. ප්‍රභාකරන් විනාශ කොට අභ්‍යන්තර යුද්ධය අවසන් කිරීමත් සමඟ ප්‍රචණ්ඩ ගැටුම් ආශ්‍රයෙන් සිදුවන විනාශයන්ද අවසන් විය. එතෙක් ගැටුම් නිසා ඇතිවන විනාශයන් වාර්තා කළ ජනමාධ්‍යවලට ඒ සමඟ මාවතෙන් ඉවත් වී බලයේ සිටි ආණ්ඩුව හා ආණ්ඩුවේ ආධාරකරුවන් කරන සාහසික ක්‍රියා වාර්තා කරන තැනකට යන්නට සිදුවිය.

රාජ්‍යය නිරුවත් වීම
රාජ්‍යය හොඳටම කුණුවී තිබුණද රටේ පැවති ප්‍රචණ්ඩ ගැටුම් නිසා රාජ්‍යයේ කුණුවීම මහජනයාට නොපෙනුණේය. ඔවුන්ට පෙනුණේ ගැටුම් නිසා ඇතිවන බිහිසුණු විනාශයක් පමණය. ඊලාම් යුද්ධය දර්ශනයෙන් ඉවත්වීමත් සමඟ ආණ්ඩුව විසින් හා ආණ්ඩුවේ අනුගාමිකයන් විසින් කරන බිහිසුණු ක්‍රියා දැකීමේ අවස්ථාව මහජනයාට ලැබුණි. ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ආණ්ඩුවේ බලවත් නියෝජ්‍ය ඇමතිවරයෙකු වීඩියෝ කැමරාද ඉදිරියේ තබාගෙන සමෘද්ධි නියාමකවරයෙකුට ගස් බැඳ පහරදීම, භාරත ප්‍රේමචන්ද්‍ර හා දුමින්ද සිල්වා අතර ඇතිවූ ගැටුමක් ආශ්‍රයෙන් කොළොන්නාවේ ඇතිවූ ඛේදවාචකය, කහවත්තෙන් දිගින් දිගට අසන්නට ලැබුණු කාන්තා ඝාතන, නූරිවල වතු අධිකාරිවරයෙකුට පහරදෙමින් පෙරහැරකින් නගරය වෙත ගෙනවිත් ප්‍රසිද්ධියේ මරා දැමීම, තංගල්ලේ හෝටලයකදී නත්තල් දින රාත්‍රියේ ප්‍රදේශයේ දේශපාලන බලවතකු විසින් සංචාරකයකු මරා දැමීම හා ඔහුගේ පෙම්වතිය දූෂණය කිරීම, දර්ගා නගරයේ සිදුවූ අවලස්සන සාහසික ක්‍රියා වැනි සාහසික ක්‍රියා මහජනයාට දකින්නට ලැබුණු අතර ඒ ආශ්‍රයෙන් රාජ්‍යයේ ඇතිවී තිබුණු කුණුවීම දැකීමේ හැකියාව ඔවුන්ට ලැබුණි.
එම තත්ත්වය එතෙක් එකතැන පල්වෙන තත්ත්වයක තිබූ සමාජ සවිඥානකත්වයේ සැලකියයුතු වෙනසක් ඇති කිරීමට හේතුවූ වැදගත් කඩඉමක් ලෙස සැලකිය හැකිය.
යුද්ධ කාලයේදී හා යුද්ධය ජයග්‍රහණය කිරීමෙන් පසු කිසියම් කාලයක් යන තෙක් රටේ පොදු ජනයාට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පෙනුණේ නිදහසින් පසුව ලංකාව බිහිකළ ලොකුම වීරවරයා වශයෙනි. යුද්ධය අවසන්වීමෙන් පසුව අසන්නට හා දකින්නට ලැබුණු එම සාහසික ක්‍රියා නිසා තමන්ගේ වීරයා සාහසික පාලකයෙකු ලෙස මහජනතාවට පෙනෙන්නට ගත්තේය. ඒ අවබෝධය විරුද්ධ පක්ෂවල බලපෑම නිසා ඇතිවූවක් නොව අභ්‍යන්තර යුද්ධය අවසන්වීමත් සමඟ මහජනයා ඉදිරියේ රාජ්‍යය නිරුවත්වීම නිසා ඇතිවූ දෙයක් ලෙස සැලකිය හැකිය.
දීර්ඝ කාලයක් තිස්සේ පැවති ප්‍රචණ්ඩ ගැටුම් අවසන් කිරීමෙන් පසුව නිදහසේදී ගොඩනගා ගැනීමට අසමත් වූ නූතන ජාතිය හා ප්‍රජාතන්ත්‍රවාදී සමාජය ගොඩනගා ගැනීමට හේතුවන ලෙස සමාජය හා රාජ්‍ය ප්‍රතිනිර්මාණය කිරීමට අසමත්වීම නිසා තිබුණු අර්බුදයේ බාහිර ස්වරූපය වෙනස් වී එය රට අරාජිකත්වයට තල්ලු කරන සුළි සුළඟක ස්වරූපයක් ගත්තේය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඉක්මන් ජනාධිපතිවරණයකට නොගොස් ධුර කාලය අවසානයත් සමඟ ජනාධිපතිවරණයකට යන්න කල්පනා කළේ නම් සමහරවිට ඊට පෙර එම ආණ්ඩුව එම සුළි සුළඟකට හසුවී සුනු විසුනු වන්නට පවා ඉඩ තිබුණි.

යහපාලන ආණ්ඩුව
අලුත් ආණ්ඩුවක් බලයට පත්වීම නිසා තාවකාලික අර්ථයෙන් එම සුළි සුළඟේ සැර බාලවීමක් සිදුවුවද සුළි සුළඟේ පැවැත්ම අහෝසිවීමක් සිදුවූයේ නැත. බලයට පත්වූයේ එක නායකයකුගේ ආණ්ඩුවක් නොව නායකයන් දෙපළකගේ ආණ්ඩුවකි. නායකයන් දෙදෙනාම ලංකාවේ අර්බුදය ගැන ගැඹුරු හැදෑරීමක් තිබූ, විපර්යාසයක් සඳහා අවශ්‍ය යථාර්ථවාදී දර්ශනයක් තිබූ අඩුම වශයෙන් තමන්ට පෙනෙන හරි දේ කිරීමට අවශ්‍ය ආත්ම විශ්වාසය තිබෙන අය ලෙස සැලකිය නොහැකිය. ප්‍රතිසංස්කරණ සඳහා වන සැලසුම් අනුන්ගෙන් ණයට ගත් ළඳ බොළඳ සැලසුම් ලෙස සැලකිය හැකි අතර අඩුම වශයෙන් ඒවාහී තිබුණ දෝෂ දැකීමේ හැකියාවක්වත් මේ නායකයන් දෙදෙනාට නොතිබුණේය.
ව්‍යවස්ථා සභා ක්‍රමය යටතේ ක්‍රියාත්මක වන ස්වාධීන කොමිෂන් සභා ක්‍රමයත් ඒ සඳහා දැක්විය හැකි හොඳ නිදර්ශනයකි. ව්‍යවස්ථා සභාවට බලය තිබුණේ වැදගත් තනතුරුවලට පුද්ගලයන් පත්කරන්නට හෝ නිර්දේශ කරන්නටය. පත්කරන අයගේ ක්‍රියා පරීක්ෂා කිරීමේ බලය එයට නොතිබුණි. රජයේ ආයතන ක්‍රමය තිබුණේ කුණුවූ තත්ත්වයකය. කුණුවී තිබෙන ආයතන එම තත්ත්වයෙන් ගොඩ ගැනීම පත්වීම්ලාභීන්ට පැවරෙන වගකීමක් නොවීය. ස්වාධීන කොමිෂන් සභා ක්‍රමය නැවත ඇති කළද ඒවා තමන් යටතේ තිබෙන ආයතනවල කිසිදු ගැඹුරු වෙනසක් ඇති කිරීමට හේතුවූයේ නැත. ව්‍යවස්ථා සභාව පත්කිරීම් කිහිපයකට සීමාවූ පත්කරන්නන් ගැන සොයා බැලීමේ බලයක් නැති ප්‍රමාණවත් තරම් වැඩ නැති මහජන මුදලින් නඩත්තු කෙරෙන සුදු අලියෙකු බවට පත්වී තිබෙන්නේයැයි කිව හැකිය.

ආණ්ඩුක්‍රමයේ දර්ශනය
ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියද පටු දේශපාලන අරමුණකින් යුතුව කරන ක්‍රියාවක් වශයෙන් මිස යහපත් වෙනසක් ඇති කිරීමේ අවංක අරමුණකින් යුතුව කරන දෙයක් ලෙස සැලකිය නොහැකිය. පාලක පක්ෂයට හා මහජන නියෝජිතයන්ට අයථා ලෙස පොදු වස්තුව හිමිකර ගැනීමට ලැබී තිබෙන අයිතිය පවතින ආණ්ඩුක්‍රමයේ තිබෙන දෝෂ අතර තිබෙන ලොකුම දෝෂය ලෙස සැලකිය හැකිය. මහජන මන්ත්‍රීවරුන්ට ආණ්ඩුව සමඟ ව්‍යාපාර කිරීමට ලැබී තිබෙන අයිතිය කවර ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් තුළවත් දක්නට නොලැබෙන ඒ හැම ආණ්ඩු ක්‍රමයක් තුළම තරයේ තහනම් කොට තිබෙන දෙයක් ලෙස සැලකිය හැකිය. ලංකාව මේ තරම් කාලකණ්ණි තත්ත්වයකට පත්ව ඇත්තේද 1977න් පසු බලයට පත් හැම පාලක පක්ෂයක්ම වාගේ රටේ වස්තුව උපරිම මට්ටමකින් කොල්ලකන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසාය. රටේ සමස්ත ආයතන ක්‍රමයම අන්ත දූෂිත තත්ත්වයකට පත්ව තිබෙන්නේද ඒ නිසාය.
එහෙත් ගොඩනගන්නට යන ආණ්ඩුක්‍රමයේ දර්ශනය තුළ පාලක පක්ෂයට හා මහජන මන්ත්‍රීවරුන්ට පොදු දේපළ අයථා ලෙස හිමිකර ගැනීමට තිබෙන පුළුවන්කම හා මහජන මන්ත්‍රීවරුන්ට රජය සමඟ ව්‍යාපාර කිරීමට ලැබී තිබෙන අයිතිය අහිමි කරන දර්ශනයක් තිබෙන බව පෙනෙන්නේ නැත. එය දර්ශනයේ වංකභාවය නිසා සිදුකරමින් තිබෙන වරදක් වශයෙන් මිස දර්ශනයේ දූගීභාවය නිසා නොදැන සිදුවී තිබෙන වරදක් ලෙස සැලකිය නොහැකිය.
පොදු වස්තුව කොල්ලකෑමට පූර්වගාමී පාලන පක්ෂ පෙන්නුම් කර තිබෙන කෑදරකමට සමාන කෑදරකමක් යහපාලන ආණ්ඩුවේ පාලක පක්ෂයද පෙන්නුම් කර තිබෙන්නේ යැයි කිව හැකිය. ඒ සඳහා දැන්විය හැකි නිදර්ශන අතුරින් යහපාලන ආණ්ඩුව බලයට පත්වූ වහාම වාගේ සිදුවූ මහ බැංකු කොල්ලය ඒ සඳහා දැක්විය හැකි හොඳම නිදර්ශනය ලෙස සැලකිය හැකිය.
මහජනයා කෙරෙහි විශ්වාසයක් නැතිකම යහපාලන ආණ්ඩුවට ආවේණික බලවත් දෝෂයක් ලෙස සැලකිය හැකිය. රට විශාල ආර්ථික අර්බුදයක තිබෙන අවස්ථාවකදී එය නොසලකා පාර්ලිමේන්තු මැතිවරණයට පෙර රජයේ සේවක මාසික වැටුප් රුපියල් දස දහසකින් වැඩි කළේ මහජනයා කෙරෙහි විශ්වාසයක් නොතිබූ නිසාය. එය මැතිවරණයකට පෙර රජයේ සේවකයන්ට දෙන ලද ලොකු පගාවක් ලෙස සැලකිය හැකිය. එය ආණ්ඩුවේ මූල්‍ය අර්බුදය උග්‍ර කිරීමට හේතුවූ වැදගත් සාධකයක් ලෙස ක්‍රියා කළේය. ඒ වෙනුවෙන් පමණක් රජයට එම වසරේදී දරන්නට සිදුවූ අතිරේක වියදම රුපියල් මිලියන 160000කි. ආණ්ඩුවට මහජනයා කෙරෙහි විශ්වාසයක් නැතිකම පෙන්නුම් කිරීම සඳහා දැක්වියහැකි ඊළඟ හොඳම නිදර්ශනය වනුයේ පළාත් සභා ඡන්ද කල් දැමීම සඳහා නීතිගත කරන්නට යන 20 වන සංශෝධනයයි. පාලක පක්ෂයකට තමන්ට ඡන්ද ජයගැනීමට පුළුවන් පරිසරයක් ඇතිවන තෙක් ඡන්ද කල්තැබීමට ඉඩ ලැබෙන ක්‍රමයක් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට පටහැනි වනවා පමණක් නොව නීතියටද පටහැනිය. ලංකාව අත්සන් තබා තිබෙන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තියේ එන දර්ශනයටද පටහැනිය.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යුද්ධය අවසන් කිරීමෙන් පසුව සම්පූර්ණ කළ යුතුව තිබුණු ඓතිහාසික කාර්යභාරය (ජාතිය ගොඩනගා රාජ්‍ය ප්‍රතිනිර්මාණය කිරීම) සම්පූර්ණ කිරීමට අසමත් වූ ආකාරයටම යහපාලන ආණ්ඩුවද එම ඓතිහාසික කාර්යභාරය සම්පූර්ණ කිරීමට අසමත් වී තිබේ. රෝමය බිඳ වැටෙන්නට පෙර එහි බොහෝ විකාරරූපී දේවල් සිදුවිය. දැන් එවැනි දේ ලංකාවේද සිදුවනු දැකිය හැකිය. රටේ පරණ යුගය අවසන් වී නව යුගයක් උදාවන්නට යන්නේ අරාජිකත්වයක් හරහාය. එහි හොඳ නරක කුමක් වුවත් එය වැළකිය නොහැකි කටුක දේශපාලන යථාර්ථයක් ලෙස සැලකිය හැකිය.■