රාවය

ඡන්ද කල් දැමීමේ මුග්ධ තීන්දුව

ඡන්ද කල් දැමීමේ මුග්ධ තීන්දුව

ඡන්ද කල් දැමීමේ මුග්ධ තීන්දුව

ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාකාරකම් එකිනෙක වැඩ වෙමින් පවතියි.
අලුත් ම ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවර පළාත් සභා තුනක ඡන්ද කල් දමන්නට පියවර ගැනීම යි. පළාත් පාලන ආයතන පිළිබඳ ඡන්ද විමසීම අවුරුදු දෙකකට අධික කාලයක් කල් දමා තිබිය දී, ඊට එරෙහි ව නැගෙන චෝදනා ගැන අබැටක් තරම් වත් සංවේදී නම් හා ප්‍රජාතන්ත්‍රවාදය ගැන සැලකිල්ලක් ඇත්තේ නම් මෙවැනි මුග්ධ තීරණයක් ආණ්ඩුව ගන්නට හේතුවක් නැත. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් කල් දැමීම නිසා, ඒවායේ එදිනෙදා කටයුතු කෙතරම් හරියාකාර ව කෙරෙන්නේ ද නැද්ද යන ප්‍රශ්නය පසෙක තබා, අප සලකා බැලිය යුත්තේ ඒවා කල් දැමීමෙන් අහිමි වන ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය යි. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව කාලයේ රටේ විනාශ වෙමින් පැවතුණු ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය නැවත නගා සිටුවීම සඳහා පත් කර ගැනුණු මෙවැනි ආණ්ඩුවකට, මෙලෙස ප්‍රජාතන්ත්‍ර විරෝධී වන්නට කිසිදු අයිතියක් නැත. දැන්, ඒ ආකාරයෙන් ම පළාත් සභා ඡන්ද කල් දැමීමෙන් ද මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය සීමා කිරීමක් සිදු වෙයි. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට නිග්‍රහ කිරීමක් ද සිදු වෙයි.

පළාත් සභා ඡන්ද කල් දැමීමට එරෙහි ව ආණ්ඩුවේ අමනෝඥ තර්කය වන්නේ, එක ම දිනයක පළාත් සභා ඡන්ද පැවැත්වීම නිසා, වියදම්, කාලය හා රාජ්‍ය සම්පත් සම්බන්ධ සහනයක් තිබෙන බව ය. එහි ඇත්තක් තිබේ. එහෙත්, ආණ්ඩුව මේ ඡන්ද කල් දමන්නේ ඒ සද්චේතනාවෙන් නම් නොවේ. ඡන්ද පැවැත්වීම සම්බන්යෙන් ආණ්ඩුව දැඩි බියකින් සිටින නිසා ය. කෙටියෙන් කිවහොත්, ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් ආණ්ඩුවත් වංක සහයෝගයෙන් යුක්ත ව, තම පක්‍ෂවල වුවමනාව වෙනුවෙන්, ජනතා පරමාධිපත්‍යයේ එක් වැදගත් අංගයක් වන මහජනතාවගේ ඡන්ද අයිතිය බරපතළ ලෙස උල්ලංඝනය කරති. මෙවැනි දේ මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වූ දේ නොවේ. 1998 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව කාලයේ හදිසි නීතිය යටතේ, පළාත් සභා තුනක ඡන්දය කල් දැමූ අවස්ථාවේ, ඒ ගැන මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය, ඡන්දය දැමීමට ඇති අයිතිය මහජනතාවගේ මූලික අයිතිවාසිකමක් බව ප්‍රකාශ කළා පමණක් නොව, පළාත් සභා ඡන්ද කල් දැමීම මූලික අයිතිවාසිකම් උල්ලංගඝනය කිරීමක් ලෙස සලකා, මාස තුනක් ඇතුළත එම සභාවල ඡන්ද පැවැත්වෙන දිනය නියම කළ යුතුයැ’යි නියෝග කළේ ය. එනිසා, ඡන්ද කල් දැමීම වනාහි මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක් බව පැහැදිලි ය.

ඡන්ද එක් දිනක පැවැත්වීමේ යහපත් අදහසක් තිබුණි නම්, ආණ්ඩුවට සාධාරණ ව කළ හැකිව තිබුණු දේ කිහිපයකි. එක්කෝ, මුලින් ම කල් ඉකුත් වන පළාත් සභාවල මැතිවරණය පැවැත්විය යුතු දිනයේ ම ඉදිරියේ දී කල් ඉකුත් වන පළාත් සභාවලට අදාළ ඡන්ද ද පැවැත්වීම යි. නැතිනම් මුල් කොටසේ ඡන්ද පස්සටත්, පසු කොටසේ ඡන්ද පෙරටත් ගෙන මැදි දිනෙක ඡන්ද විමසීම් පැවැත්වීම යි. එසේ කළා නම් තමන් කෙරෙහි මහජන ප්‍රසාදයක් ඇති කර ගන්නට මේ දුර්වර්ණ වෙමින් යන ආණ්ඩුවට හැකියාවක් තිබුණි. එහෙත්, ආණ්ඩුව දැන් කරන්නට යන්නේ මේ ප්‍රවේශයන් දෙකෙන් සපුරා වෙනස් ව, අවසන් වරට කල් ඉකුත් වන පළාත් සභාවල ඡන්ද පැවැත්විය යුතු දිනය දක්වා අනෙක් සියලු ම පළාත් සභාවල ඡන්ද විමසීම් කල් දැමීම යි. ඊට අමතර ව ඡන්ද විමසීමේ දිනය තීරණය කිරීමේ බලය මැතිවරණ කොමිසමෙන් ගලවා පාර්ලිමේන්තුව වෙත ලබා ගැනීම යි. මේ තත්ත්වය මත පළාත් සභා ඡන්ද පැවැත්වීම 2019 වසර දක්වා කල් යයි. මේ විදියට ගියොත්, 2019 ජනාධිපතිවරණ වසරක් ද වෙයි.

මේ අනුවණ තීන්දුව නිසා මහජන අයිතිවාසිකමක් උල්ලංඝනය වීම පමණක් නොව, ඡන්ද ගැන මහජනතාවගේ ඇති උනන්දුව ද, විශ්වාසය ද ඛාදනය වෙයි. ඊටත් අමතර ව එය, ස්වාධීන කොමිෂන් සභා යන්ත්‍රණය සම්බන්ධයෙන් පසුගිය කාලයේ ඉතා හෙමින් නැගී ආ යහපත් ලක්‍ෂණවලට ප්‍රහාරයක් ද වෙයි. මේ වන විටත්, මැතිවරණ කොමිසමේ ප්‍රධාන නිලධාරීන් ආණ්ඩුවේ මේ වැඩ ගැන ඉන්නේ බලවත් කලකිරීමෙන් බව වාර්තා වෙයි.
හුදෙක් ඡන්ද පැවැත්වීමෙන් පමණක් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වන්නේ නැත. එහෙත්, ඡන්ද විමසීම කල් දැමීමෙන් ප්‍රජාතන්ත්‍රවාදයට හානි නම් සිදු වෙයි. යහපාලන ආණ්ඩුවට එවැනි දේ කිරීම සඳහා බලපත්‍රයක් ලැබී නැත.■