රාවය

ජන්ද කල්දැමීමේ සොහොන් ලකුණු

ජන්ද කල්දැමීමේ සොහොන් ලකුණු

රනිල්-මෛත්‍රී ආණ්ඩුව මහජනයා හමුවට ගොස් ඡන්දයකට මුහුණදීමට බිය බව දැන් දිනක් පාසා පැහැදිලි වෙයි. පළාත් පාලන ආයතන සඳහා මැතිවරණ දැන් දෙවසරක් පවත්වා නැත. දැන් ආණ්ඩුව උත්සාහ කරන්නේ ඔක්තෝබර් මාසයට නියමිත සබරගමුව, නැගෙනහිර සහ උතුරු මැද යන පළාත් සභා මැතිවරණයන්ද දෙවසරකින් කල් දැමීමටය.
පළාත් පාලන මැතිවරණ මෙම දෙසැම්බරයේදී පැවැත්වෙන බවට ආරංචි ඇතත් ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් නිශ්චිත වචනයක් දී නැත. ආණ්ඩුව මේ වන විට අවස්ථා ගණනාවකදීම පළාත් පාලන ඡන්දය පවත්වන බවට දෙන ලද දින වකවානු කල් දමා තිබේ.
මැතිවරණ කල් දැමීම යනු ආණ්ඩුවක සොහොන් ලකුණු පහළවීමය. ඊට හොඳම උදාහරණය නම් ස්වකීය ‘සමාජවාදී’ පාලනය දීර්ඝ කරගැනීම පිණිස 1975 සිට 1977 දක්වා දෙවසරකින් පාර්ලිමේන්තුවෙහි කාලය දික්කර ගත් සිරිමා බණ්ඩාරනායකගේ ආණ්ඩුවට අත්වූ ඉතිහාසගත පරාජයයි.
මැතිවරණ යනු රටක ජනතාවට රටෙහි පාලනය සම්බන්ධයෙන් සිය අදහස් දැක්වීමට ලැබෙන ප්‍රධානතම අවස්ථාවය. එය පැහැරගැනීම යනු ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අයිතියක් කෙළෙසීමයි. මෙරට යළි ප්‍රජාතන්ත්‍රවාදයේ මාවතට ගැනීමේ පොරොන්දුව පිට බලයට පැමිණි රනිල්-සිරිසේන ආණ්ඩුවේ ගමන් මඟ පිළිබඳ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත්වීමට මෙලෙස මැතිවරණ කල්දැමීම පත්වීමට බොහෝ දුරටම ඉඩ තිබේ.
ආණ්ඩුවට අවශ්‍යතාවක් තිබුණේ නම් සීමා නිර්ණය ගැටලු නොතිබූ සියයකට අධික පළාත් පාලන ආයතන මැතිවරණ පැවැත්වීමට ඉඩ තිබුණි. එසේ නමුත් ආණ්ඩුව කළේ ව්‍යාජ හේතු ඉදිරිපත් කරමින් සහ එකක් හැර එකක් නව සංශෝධන අවශ්‍යයැයි කියමින් සියලු‍ පළාත් පාලන ආයතන මැතිවරණ කල්දැමීමය.
එළැඹෙන සැප්තැම්බර් මාසයේදී විසුරුවා හැරීමට නියමිත පළාත් සභා මැතිවරණ කල්දැමීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ගෙනඑන ලද යෝජනාව 20වන සංශෝධන කෙටුම්පත ලෙස දැන් ගැසට් කර තිබේ.
මෙම කල්දැමීමට හේතුව ලෙස ඉදිරිපත් කර ඇත්තේ සියලු‍ පළාත් සභා ජන්ද එක දිනයක පැවැත්වීමට ඇති අවශ්‍යතාවයි. එය හොඳ අදහසකි. එය ආණ්ඩුව ගෙනඑන බවට පොරොන්දු වී ඇති නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළු කිරීමට ඉඩ තබා මෙම පළාත් සභා ඡන්ද තුන පැවැත්විය යුතුව තිබුණි.
දැන් ඉදිරිපත් කර ඇති සංශෝධනය සම්මත වුවහොත් ඉහත කී පළාත් සභා තුනෙහි කාලය ඉබේම දෙවසරකින්ද උතුරු පළාත් සභාවෙහි කාලය වසරකින්ද වැඩිවී සියලු‍ පළාත් සභා මැතිවරණ 2019 නොවැම්බර් දක්වා කල් යනවා පමණක් නොවේ.
මෙම සංශෝධනයෙහි බලය බෙදීම පිළිබඳ සංකල්පය අහෝසි කැරෙන වගන්තියක්ද තිබේ.
ඉන් කියැවෙන්නේ කුමන හේතුවක් නිසා හෝ නියමිත කාලයට පෙර පළාත් සභාවක් විසුරුවා හැරීමට සිදුවුවහොත් අවසානයට මැතිවරණය පැවැත්වූ පළාත් සභාව විසුරුවා හැරෙන තුරු එම පළාත් සභාවෙහි බලය පාර්ලිමේන්තුවට පැවරෙන බවයි. උදාහරණයක් වශයෙන් ඡන්ද පෙත්සමක් හෝ විශ්වාසභංග යෝජනාවක් නිසා හෝ පළාත් සභාවක පාලන කාලය අහෝසි වුවහොත් එහි බලය පාර්ලිමේන්තුවට පැවරෙන බවයි. මෙම තත්ත්වය ඇතිවූයේ උතුරු හෝ නැගෙනහිර පළාත් සභාවකට අදාළව නම් ඉන් පසු එම පළාත් සභා පාලනය කැරෙනු ඇත්තේ කොළඹ පාර්ලිමේන්තුව විසිනි.
මෙම 20වන ආණ්ඩුක්‍රම සංශෝධනය සම්මත වී නව ව්‍යවස්ථා සංශෝධනය ඇති නොවුවහොත් මෙකී බලය බෙදීමට අවලංගු කැරෙන නීතිය සදාකාලික වනවා ඇත. නව ව්‍යවස්ථාවක් ඇතිවන්නේද නැත්ද යන්න දැන් පවත්නනේ දෙකට දෙවාරණයේය.
මෙම සංශෝධනය පිළිබඳ පැවැති සාකච්ජාවන්හිදී ආණ්ඩුවට සම්බන්ධ සියලු‍ දේශපාලන පක්ෂ ඊට කැමැත්ත ප්‍රකාශ කර තිබේ. මෙම වර්ධනය සම්බන්ධයෙන් වඩාම ප්‍රසාදයට පත්ව සිටින්නේ මහින්ද රාජපක්ෂ පාර්ශ්වයයි. තමන් මෙම සංශෝධනයට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බව දැනටමත් රාජපක්ෂ පාර්ශ්වය ප්‍රකාශ කර තිබේ.
එසේ නමුත් 1998 වසරෙහි පළාත් සභා තුනක මැතිවරණ කල් දමන ලද්දේ රාජපක්ෂ මහතාද ඇමතිවරයකු වූ චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුව විසිනි.
1998 ජූනි මාසයේදී මධ්‍යම, ඌව, බටහිර සහ සබරගමුව යන පළාත් සභාවන්හි ධුර කාලය අවසන් විය. මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා ජූලි 05 වැනි දින නාමයෝජනා සඳහා දින නියම කළේය. මැතිවරණය සඳහා අගෝස්තු 28 දිනය නියම කෙරිණි. ජනාධිපතිනි කුමාරතුංග අගෝස්තු 04 වැනි දින හදිසි නීති රෙගුලාසි භාවිත කරමින් එම ජන්ද විමසීම් දින නියමයක් නොමැතිව කල් දමන ලදි. මැතිවරණ පැවැත්වුවහොත් තමන් පරාජය වනු ඇතැයි කුමාරතුංග බියවිය.
මෙම නියෝගයට එවකට නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ක්‍රියාකාරීන්ව සිටි වරුණ කරුණාතිලක සහ මම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවෙහි පෙත්සමක් ගොනුකළෙමු. කුමාරතුංගගේ නියෝගය අවලංගු‍ කරමින් තීන්දුව දුන් ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියේ පුළුල් අර්ථයෙන් ප්‍රකාශනයේ නිදහසට ජන්දය දීමේ අයිතිය ද ඇතුළත් වන බවයි. අද ආණ්ඩුවට පළාත් සභා ඡන්ද කල් දැමීමට ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනඒමට සිදුව ඇත්තේ එම ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව නොපිට පෙරළනු පිණිසය. මේ අතින් නම් රනිල් වික්‍රමසිංහ යනු ජේ.ආර්. ජයවර්ධනගේ නියම ගෝලයෙකි.
එකල මහින්ද රාජපක්ෂ මහතාද පෙනීසිටියේ පළාත් සභා මැතිවරණ දේශපාලන උවමනාව උඩ කල් දැමීම වෙනුවෙනි. අනතුරුව 1999 පෙබරවාරියේදී සිදුකළ කුප්‍රසිද්ධ වයඹ පළාත් සභා මැතිවරණ මංකොල්ලය ඇයගේ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත්විය. එම මැතිවරණ කොල්ලයේදී මහින්ද රාජපක්ෂ මහතා මැර කල්ලියක් සමඟ මැතිවරණ දිනයෙහි පුත්තලම ඡන්ද ව්‍යාපාරයේ යෙදෙන ඡායාරූපයක් කුප්‍රසිද්ධියට පත්විය. ඔහු පමණක් නොව මෙම ආණ්ඩුවේ ඇමැතිකම් දරන බොහෝ අය කුප්‍රසිද්ධ වයඹ මැතිවරණ කොල්ලයේ සූරයෝය.
වන්ද්‍රිකා කුමාරණතුංගගේ දේශපාලන ව්‍යාපෘතියේ සුජාතබව අහෝසි වී යෑමට එලෙස මැතිවරණ කල්දැමීම සහ ඡන්ද මංකොල්ල බලපෑවේය. ඇය විසින් ඉදිරිපත් කරන ලද 2000 ව්‍යවස්ථා කෙටුම්පත පරාජය වූයේ ද ඒ වන විට ඇය දේශපාලන වශයෙන් විශ්වාස කළ නොහැකි වරිතයක් බවට පත්ව සිටි නිසාය.
වත්මන් ආණ්ඩුවට මහජනයාගේ කැමැත්තෙන් ව්‍යවස්ථාවක් සම්පාදනය කරගැනීමට අවශ්‍ය නම් දෙන ලද යහපාලන පොරොන්දු ඉටු කිරීම අවශ්‍ය බවට දැන් පොදු දේශපාලන පිළිගැනීමක් ඇතිව තිබේ. පළාත් සභා තුනක මැතිවරණයන්ට මුහුණදීමට බියවන ආණ්ඩුවක් නව ව්‍යවස්ථාවක් සඳහා ජනමත විචාරණයකට යනු ඇතැයි සිතිය හැක්කේ කාටද?
එබැවින් මේ වනාහි රනිල් – මෛත්‍රී ආණ්ඩුවෙහි ගමන් මඟ තීරණාත්මක ලෙස ආපස්සට යවන පියවරක් ලෙස හැඳින්වීමේ වරදක් නැත.■