රාවය

මේ ආණ්ඩුව තුළත් දූෂණ තියෙනවා | නීතිඥ ජාවිඞ් යූසුෆ්

මේ ආණ්ඩුව තුළත් දූෂණ තියෙනවා | නීතිඥ ජාවිඞ් යූසුෆ්

ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනඒම ජනවාරි අට යහපාලනයේ මූලික පොරොන්දුවක්. මේ පිළිබඳ වර්තමාන තත්ත්වය ඔබ දකින්නේ කොහොමද?

ජනවාරි අට මේ රටේ විශාල සන්ධිස්ථානයක් විදියට තමයි සලකන්න පුළුවන්. මොකද ඒක රටේ ප්‍රධාන පක්ෂ දෙක එකතු වෙලා ආණ්ඩුවක් ගොඩනගපු විශේෂ අවස්ථාවක්. මේ සංකල්පය ජනවාරි අට දේශපාලනික හැරවුමක් විදියට ක්‍රියාත්මක වුණත් මේ සංකල්පය වර්ධනය වුණේ ඊට සතියකට දෙකකට කලින් නෙමෙයි. මාදුළුවාවේ සෝභිත හිමි ඇතුළු පිරිස විසින් ඊට කාලෙකට ඉස්සර ඉඳන් ගොඩනගමින් සහ පසුබිම හදමින් හිටි එකක්. විධායක ජනාධිපති ක්‍රමය, පවතින ඡන්ද ක්‍රමය වගේ දේවල අඩුපාඩු ගැනත් නීතියේ ආධිපත්‍යය, දූෂණය වගේ දේවල් ගැනත් රටේ හැම තැනකට ම ගිහිල්ලා සාකච්ඡා කරලා මේ දේවලට පසුබිම හැදුවේ ඒ අය. මතවාදයන් සමාජය තුළ තහවුරුවෙද්දී මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග කියන දේශපාලන නායකයන් සිවිල් සමාජය සමඟත් සම්මුතියකට ඇවිත් මේ ගමන බාරගත්තා. මේ රටේ පුරවැසියන් හැට දෙලක්ෂයක් මේ මතවාදය පිළිඅරගෙන ඡන්දය ලබා දුන්නා කියන එක සාමාන්‍ය පිළිගැනීම වුණත්, මේ දේශපාලනඥයන් පිරිස එක්වුණ දවසේ ඉඳන් මැතිවරණය දක්වා තිබූ සුළු කාලයත් එවකට තිබුණු ආණ්ඩුව විසින් මැතිවරණය කෙරේ රාජ්‍ය සම්පත් සහ රාජ්‍ය මාධ්‍ය භාවිත කළ ආකාරයත් බලද්දී පෙනෙන්නේ මේ සඳහා හැට දෙලක්ෂයකට වඩා පිරිසක් සම්බන්ධ වෙන්න තිබුණා කියලා.
ඔබ මතු කරන්න හැදූ ප්‍රශ්නයට යනවා නම්, ජනවාරි අටවෙනිදා බලයට පත්වෙලා ගෙවී ගිය අවුරුදු දෙකහමාර තුළ සිදු කළේ මොකද්ද කියන කාරණය තුළ යම් යම් සාධනීය ලක්ෂණ තියෙනවා. එහෙත් ආණ්ඩුවේ ලොකු ප්‍රමාදයකුත් තියෙනවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හා ව්‍යවස්ථාව වෙනස් කිරීම කියන කාරණා දැනටමත් ප්‍රමාද වුණා වැඩියි කියලායි මට හිතෙන්නේ. අපිට මතකයි සිරිමාවෝ මැතිනියගේ කාලයේ කළ හැත්තෑ දෙකේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආණ්ඩුව බලයට පත්වෙලා අවුරුදු දෙකක් ඇතුළත සම්මත වුණා. අදත් පාවිච්චි වන හැත්තෑ අටේ ව්‍යවස්ථාවත් සම්මත කරගත්තේ ජේආර් ජයවර්ධන ජනාධිපතිතුමා බලයට පත්වෙලා අවුරුද්දක් විතර ගෙවෙද්දි. ඒ විදියට ඉක්මනින් ආ ව්‍යවස්ථා තමයි සාර්ථකව සම්මත කරගන්න පුළුවන් වුණේ.

ඔබ අදහස් කරන්නේ මේ මොහොත වන විට ව්‍යවස්ථාවක් අරන් ඇවිත් අර්ථයක් නෑ කියලාද?

අපිට මතකයි චන්ද්‍රිකා මැතිනිය බලයට ඇවිත් සම්මත කරගන්න ගිය ව්‍යවස්ථාව. මේ ව්‍යවස්ථා යෝජනා මාලාව රට තුළ සාකච්ඡාවට ගෙනාවේ එක්දහස් නවසිය අනූපහේ විතර. මේ යෝජනා පුළුල් විදියට සාකච්ඡා කරලා අනූහතේ ඒ සාකච්ඡා පදනම් කරගෙන තවත් යෝජනා මාලාවක් දැම්මා. කොහොම හරි ඒවාත් සංවාදයට අරගෙන ව්‍යවස්ථාව සම්මත කරන්න ඉදිරිපත් වුණේ දෙදාහ වසරේ. ඒ කියන්නේ මේ වැඩපිළිවෙළට අවුරුදු පහක් ගියා. ඒ කාලය ඇතුළත එක පැත්තකින් ජනතාව තුළ ආණ්ඩුව පිළිබඳව තිබුණ විශ්වාසය කඩාගෙන වැටිලා තිබුණා. අනික් පැත්තෙන් ආර්ථික ආදි නොයෙකුත් ප්‍රශ්න නිසා රට තරමක් ගැටලු‍වකට ගිහින් තිබුණා. කොහොම හරි මේ ව්‍යවස්ථාව සම්මත කරගන්න වුණේ නෑ. ඒ නිසා ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීමට අනවශ්‍ය පරිදි කල් ගන්න නරකයි. අලු‍ත් ව්‍යවස්ථාව ගෙනෙන්න මේ ආණ්ඩුවට තවමත් කල් තියෙනවා. ඒක තවදුරටත් කල් අරින එක හොඳ නෑ කියලායි මම කියන්නේ.

හැත්තෑ අට ව්‍යවස්ථාව වගේ දේවල් ගැන කියද්දී ඇතැම් අය කියන දෙයක් තමයි, මේවා අසාර්ථක වෙන්න හේතුව පුළුල් මහජන සංවාදයක් තුළින් ඒ දේවල් ගොඩනොනැගීම කියලා. ජනතාව තුළ සහ විද්වතුන් අතර රටට අවශ්‍ය ව්‍යවස්ථාව කුමක්ද යන්න සාකච්ඡා කිරීමේ වැදගත්කමක් නැද්ද?

ව්‍යවස්ථාව පිළිබඳව සාකච්ඡා කිරීම ඉතාම වැදගත්. එහෙත් ඒ සාකච්ඡා දිගින් දිගට ඇදීයෑම ලංකාව වගේ රටක ගැටලු‍වක්. එහෙම කල් යන්න යන්න ව්‍යවස්ථාව සම්මත වෙන්න තියෙන හැකියාව අඩු වෙනවා. දැනට තියෙන කරුණු අනුව මේ ප්‍රමාදයට ප්‍රධාන හේතුව විදිහට පෙනෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවමත් ඒ අයගේ යෝජනා ලබා නොදීම. ව්‍යවස්ථා මණ්ඩලය දැනුවත් කරන්න ඕනෑ, යම්කිසි දිනයක් දීලා ඒ දිනයට පෙර යෝජනා ඉදිරිපත් නොකළහොත් සෙසු පක්ෂවල යෝජනා හා ආණ්ඩුවේ යෝජනා එක්ක අපි ජනතාව ඉදිරියට යනවා කියලා නිශ්චිත දිනයක් දෙන්න අවශ්‍යයි.
ඒකාබද්ධ විපක්ෂය කියන කොටස කොහොමත්ම ව්‍යවස්ථාවක් සම්මත කරගන්න අකමැතියි. මේ වැඬේට කකුලෙන් අදිමින් දේශපාලනික වාසි ගන්නයි ඒ අය වෑයම් කරන්නේ. ඒ විතරක් නෙමෙයි දැනට ආණ්ඩුවේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරු හැමදෙනාම පවා මේකට සහයෝගය දෙයිද කියලා හිතන්න අමාරුයි. මම දැක්කා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහර ඇමතිවරු කියනවා මධ්‍යම කාරක සභා තීන්දුවට ජනාධිපතිතුමා එකඟ වෙන්න අවශ්‍යයි. අපේ මතය නම් විධායක ක්‍රමය අහෝසි නොකළ යුතුයි කියන එක කියලා. ඒකෙන් පේනවා මේ අයගේ කිසියම් සංවිධානාත්මක වෑයමක් තියෙනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ගැටලු‍වකට පත්කරන්න. ඒගොල්ලන්ට අවශ්‍යයි ජනාධිපතිතුමා පොරොන්දු කඩකළ නායකයෙක් කියලා රටට හුවා දක්වන්න. ඒ නිසා ව්‍යවස්ථාව පිළිබඳව මේ වෙලාවේ ආණ්ඩුව එක් ප්‍රතිපත්තිමය තැනක ඉඳලා ඒ දේ ඉක්මන් කරන්න ඕනෑ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නිතර කියන දෙයක් තමයි තමන් නැවත ජනාධිපති ධුරයට නොපැමිණෙන බව. ඒ වගේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවා කීප වරක්ම කියලා තියෙනවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න තමා කැමතියි කියලා. ඉතිං එහෙම තත්ත්වයක් තුළ විපක්ෂයේ මේ ක්‍රියාවන් ප්‍රශ්නකාරීයි. ඒ වගේම මේ කාරණය ගැන පරක්කුවීමත් ගැටලු‍වක්.

බැඳුම්කර සිද්ධියේ අලු‍ත්ම තත්ත්වයත් එක්ක ආපහු වටයකින් සංවාදයට බඳුන් වන කාරණයක් තමයි දූෂිතයන් අත්අඩංගුවට ගැනීම කියන අනෙක් ප්‍රධාන යහපාලන පොරොන්දුව?

පහුගිය ආණ්ඩුවේ දූෂණ තිබුණා කියන එක මේ ආණ්ඩුව බලයට පත්වීමේදී කියූ ප්‍රධාන කාරණයක්. එදා ඒ අය ඒ දේ කිව්වේ යම්කිසි හේතු සාධක ඇතිව කියලා හිතන්න පුළුවන්. ඒත් ඒ තොරතුරු පිටිපස්සේ ගිහින් දූෂණයන්ට විරුද්ධව නීතිමය පියවර නොගැනීම ගැටලු‍වක්.
අනික් පැත්තට බලද්දී රවී කරුණානායක ඇමතිවරයාට විරුද්ධව ඇති චෝදනා ශීඝ්‍රයෙන් විමර්ශනය කිරීම ඉතාමත් හොඳ දෙයක්. එහෙම නමුත් ඒ වගේ සිද්ධි නිසා අද වන විට මිනිස්සුන්ට ඒත්තුගැන්විලා තියෙනවා මේ ආණ්ඩුව තුළත් දූෂණ තියෙනවා කියන එක. කලින් කිව්වා වගේ යහපාලන ආණ්ඩුව බලයට ආවේ පහුගිය ආණ්ඩුවේ දූෂණ මතුකරලා. ඒ ආණ්ඩුවේ දූෂණ තියෙනවා ඉතිං අපිට බලය දෙන්න කියද්දී ඒකෙන් මතුවන අනික් කාරණේ අපි දූෂණ කරන්නේ නෑ කියන එකනේ. ඒ නිසා ඒ තත්ත්වය නම් හොඳ නෑ.

මානව හිමිකම්, නීතියේ ආධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය, සංහිඳියාව වගේ කාරණා සෝභිත හිමි ප්‍රමුඛ කොටගෙන ආරම්භ වුණු ව්‍යාපාරයේ සිට යහපාලන මැතිවරණ පොරොන්දු දක්වා ගිය ඒවා. ආණ්ඩුව අවුරුදු දෙකහමාරක් වෙද්දිත් සිවිල් ව්‍යාපාරය තවම ඒ දේවල් වෙනුවෙන් හඬනගනවා. එවැනි කාරණා පිළිබඳ ඔබේ තක්සේරුව මොකද්ද?

ඒ පැත්තෙන් බලද්දි පැහැදිලිව කියන්න පුළුවන් මේ වන විට ජනතාවට පුළුල් නිදහසක් ලැබිලා තියෙනවා. අද ඕනෑම කෙනෙක්ට ආණ්ඩුව විවේචනය කරන්න පුළුවන්. ජනාධිපති විවේචනය කරන්න පුළුවන්. අගමැති විවේචනය කරන්න පුළුවන්. මේ විදියේ නිදහසක් ලැබුණ නිසා විපක්ෂයේ සමහර කණ්ඩායම් ඒ නිදහස අවභාවිත කරන අවස්ථා පවා තියෙනවා. ඒත් මේ වාසිය ජනතාවට ලැබීම ඉතාම වැදගත්.ගෙවී ගිය යුද්ධ කාලයේ ඉඳන්ම පිරිහෙමින් තිබුණු ලංකාවේ ආයතන කීපයක් තියෙනවා. පොලිසිය ඉන් එකක්. අල්ලස් හා දූෂණ කොමිසම වගේ තව ආයතන රාශියක් මේ විදිහට පත්වෙලා තියෙනවා. ඒ නිසා ආණ්ඩුව මේ ආයතන තවදුරටත් ශක්තිමත් කරන්න ඕනෑ.
උදාහරණයක් විදියට පොලිසිය ගත්තොත්, පහුගිය යුද්ධ කාලයේ පොලිසිය වැඩකළේ පනවා ගත්ත හදිසි නීතිය යටතෙනේ. ඒ යටතේ සාමාන්‍ය නීතිය යටතේ ජනතාවට හිමිවිය යුතු රැකවරණය ලැබුණේ නෑ. යුද්ධය ඉවර වුණු නමුත් තවමත් බොහෝ වෙලාවට සමහර පොලිස් නිලධාරීන් කටයුතු කරන්නේ හදිසි නීති මානසිකත්වය යටතේ. ඒ නිසා මේ වගේ අය ප්‍රජාතන්ත්‍රවාදී සීමාවන් තුළ නැවත පුහුණු කරන්න අවශ්‍යයි. කඩාවැටුණු ආයතන සියල්ලම මේ විදියට ශක්තිමත් කරන්න ඕනෑ. මොකද ආණ්ඩුව වෙනස් වුණ පළියට රටේ සංස්කෘතිය වෙනස් වෙන්නේ නෑනේ.
සංහිඳියාව වගේ කාරණා ගත්තත් මේ වන විට ආණ්ඩුව ඒ වෙනුවෙන් විශාල වෑයමක් දක්වලා තියෙනවා. ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීමට ඉඩදීම, උතුරේ පුද්ගලයන්ගේ ඉඩම් ආපසු ලබාදීම, ජාතික සංහිඳියාව පිළිබඳ ක්‍රියාපටිපාටියට නායකත්වය දීමට චන්ද්‍රිකා මැතිනියට පැවරීම වගේ හැම දේකින්ම විතරක් නෙමෙයි රජයේ සියලු‍ මැති ඇමතිවරු සංහිඳියාව වෙනුවෙන් ඇපකැප වෙලා වැඩ කරනවා කියලා පෙනෙනවා. ඒත් කලින් කිව්වා වගේ පොලිසිය සහ ඇතැම් ආයතනික දුර්වලතා නිසා මේ තත්ත්වය සීයට සීයක් සාර්ථක කරගන්න අමාරු වෙලා තියෙනවා.

ඒ වගේම අලු‍ත් ව්‍යවස්ථාව තුළ පවා බලය බෙදීම වගේ දේවල් මතුවෙලා නෑ. බලය බෙදීම කියන එකත් සංහිඳියාවේම කොටසක් කියලායි අපි සලකන්නේ.

ආණ්ඩුව සෑහෙන දුරට ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරලා තියෙනවා. ඒත් මිනිස්සුන්ට එහෙම දෙන ගමන් මැතිවරණ කල් දැමීම වගේ දේවල් මගින් ආයෙමත් ඒ දේවල් බිඳදමමිනුත් ඉන්න බව කියන්න ඕනෑ. සීමා නිර්ණය ප්‍රශ්නය වගේ දේවල් සිදුවෙමින් තියෙන ආකාරය බලද්දී පෙනෙන්නේ ඒවා ව්‍යාජ වෑයම් කියලා. නිසි කාලයට ඡන්දය නොතිබීම වගේ දේවල අන්තිමට ආණ්ඩුව දිහාවට එන්නේ අහිතකර ආකල්ප.■