රාවය

ලංකාවේ ජනාධිපතිවරුන්ගේ සහ අගමැතිවරුන්ගේ ගොයිගම ඒකාධිකාරිය

ලංකාවේ ජනාධිපතිවරුන්ගේ සහ අගමැතිවරුන්ගේ ගොයිගම ඒකාධිකාරිය

ඩී.බී.එස්. ජෙයරාජ්

ඉන්දියාවේ ප්‍රථම මුස්ලිම් ජනාධිපතිවරයා
රාධක්‍රිෂ්ණන්ගෙන් පසු 1967 දී ඉන්දීය ජනාධිපති ධුරයට පත්වුණේ, තවත් විද්වතෙකු සහ අධ්‍යාපනඥයෙකු වන, ආචාර්ය සකීර් හුසේන් ය. ඉන්දියාවේ ප්‍රථම මුස්ලිම් ජනාධිපතිවරයා ඔහු ය. ප්‍රාදේශීය වශයෙන් සහ භාෂාමය වශයෙන් සුළුතරයකට අයත් ජනාධිපතිවරයෙකුගෙන් පසුව, ආගමික සුළුතරයකට අයත් පුද්ගලයෙකු ඉන්දිය ජනාධිපති ධුරයට පත්වූ අවස්ථාවක් වශයෙන් මෙය සැලකිය හැකිය. මේ වන තෙක් ඉන්දියාවේ අගමැති තනතුරට පත්ව සිටියේ බහුතරයක් හින්දි භාෂාව කතා කරන උත්තර් ප්‍රදේශයෙනි. එහෙත් ඒ කාලය මුළුල්ලේම ඉන්දීය ජනාධිපති ධුරය හෙබැවුයේ සුළුතර ප්‍රජාවන් නියෝජනය කෙරෙන පුද්ගලයන් ය. ජනාධිපති ධුරයේ සිටියදීම 1969 දී සකීර් හුසේන් මියගියේය. එම පුරප්පාඩුව පිරැවීම බල අරගලයක් බවට පත්විය. එක පැත්තකින් පක්ෂයේ ‘පැරණි නායකත්වය’ එදා කතානායක සංජීව රෙඞ්ඩි ජනාධිපති කැරැවීමට කටයුතු කළ අතර ඉන්දිරා ගාන්ධිට අවශ්‍ය කෙළේ පක්ෂයේ උපනායක වී.වී. ගිරි එම තනතුරට පත්වෙනවා දකින්නට ය. තරගයෙන් ජය ගත්තේ ගිරි ය. ඉන් පසු පක්ෂය දෙකට කැඩුණි.

ගිරි, කර්ණාටක ප්‍රාන්තයෙන් පැමිණි, වරක් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් වශයෙන් සිටි, කන්නඩිග ජාතිකයෙකි. එහි අදහස වන්නේ, මුස්ලිම් ජාතික හුසේන්ගේ අනුප්‍රාප්තිකයා වුණේ, භාෂාමය වශයෙන් සහ ප්‍රාදේශීය වශයෙන් සුළුතරයකට අයත් පුද්ගලයෙකු වූ බවයි. ඔහුගෙන් පසු ජනාධිපති පදවියට පත්වුණේ උතුරු ඉන්දියානු මුස්ලිම් ජාතිකයෙකු වූ ෆක්රුදින් අලි අහමඞ් ය. ඒ වන විට කැබිනට් ඇමතිවරයෙකු වූ ඔහු ඉන්දිරා ගාන්ධිට පක්ෂපාතී දේශපාලනඥයෙක් විය. කෙසේ වෙතත්, අවසානයේදී නැවත වරක් ජනාධිපති ධුරයට පත්වුණේ ආගමික සුළුතරයකට අයත් පුද්ගලයෙකි.

සකීර් හුසේන් සේම අලි අහමඞ් ද 1977 ධුරයේ සිටියදී මියගියේය. මේ අතරේ අගමැති ඉන්දිරා ගාන්ධි පරාජයට පත්විය. ඒ වෙනුවට, ගුජරාට දේශයේ මොරාජි දේශායි ජනතා සන්ධානයක් යටතේ අගමැති ධුරයට පත්විය. ඒ සමගම නීලන් සංජීව රෙඞ්ඩි ජනාධිපති තනතුරට තේරී පත්විය. රෙඞ්ඩි, තෙලුගු ජාතික, අන්ද්‍රා ප්‍රදේශ වාසියෙකි. එනම්, නැවත වරක් ප්‍රාදේශීය වශයෙන් සහ භාෂාමය වශයෙන් සුළුතරයකට අයත් පුද්ගලයෙකු ඉන්දීය ජනාධිපති ධුරයට පත්වූ වගයි. 1980 දී ඉන්දිරා නැවත බලයට පත්වූවාය. 1982 දී ජනාධිපති ධුරයට, ගියානි සයිල් සිං පත්විය. ඔහු පන්ජාබ් දේශයේ සීක් ජාතිකයෙකු වන අතර ඉන්දිරා ගාන්ධිට පක්ෂපාතී අයෙකි. ඒ වනාහි ආගමික සුළුතරයෙන් කෙනෙකු නැවතත් ජනාධිපති ධුරයට පත්වීමකි. ගියානි සයිල් සිංගෙන් පසු 1987 දී, එවකට සිටි උපජනාධිපති ආර්. වෙන්කටරාමන් ජනාධිපති ධුරයට පත්විය. වෙන්කටරාමන් දෙමළ ජාතිකයෙකු වන අතර තමිල්නාඩු ප්‍රාන්තයේ කෙනෙකි. ඊට කලින් මහ ආණ්ඩුවේ කැබිනට් ඇමති ධුරයක් දැරූවෙකි. ඒ අනුව, ප්‍රාදේශීය වශයෙන් මෙන්ම, භාෂාමය වශයෙන් ද සුළුතරයකට අයත් පුද්ගලයෙකු නැවතත් ඉන්දීය ජනාධිපති ධුරයට පත්වී ඇති බව පෙනේ. 1991 දී රජීව් ගාන්ධි ඝාතනය විය. අලුත් කොන්ග්‍රස් පක්ෂ ආණ්ඩුවේ අගමැති වුණේ පී.වී. නරසිංහ රාඕ ය. ඔහු අන්ද්‍ර ප්‍රදේශයෙනි. එනම්, පළමු වරට දකුණු ඉන්දියානුවකු ඉන්දියාවේ අගමැති ධුරයට පත්වූ වගයි.

වෙන්කටරාමන්ගෙන් පසු 1992 දී එම තනතුරට පත්වන්නේ ඔහුගේ උපජනාධිපති වශයෙන් සිටි ෂන්කර් දයාල් ෂර්මා ය. ඔහු හින්දි භාෂාව කතා කරන උතුරු ඉන්දියානුවෙකි. දැන්, දකුණු ඉන්දියානුවෙකු අගමැති තනතුර දරන තත්ත්වයක් තුළ උතුරු ඉන්දියානුවකු ජනාධිපති තනතුරට පත්ව ඇති බව පෙනේ. සුළුතර ප්‍රජාවට අයත් කෙනෙකුගෙන් ජනාධිපති ධුරය පිරැවීමේ සම්ප්‍රදාය මෙහිදී කැඩුණි. එහෙත් මේ අවස්ථාවේ රටේ අගමැති තනතුරේ සිටියේ දකුණු ඉන්දියානුවෙකු බව අමතක නොකළ යුතුය. 1966 දී නැවත වරක්, දකුණු ඉන්දියානුවෙකු වන, කර්ණාටක ප්‍රදේශවාසියෙකු වන දේව් ගොව්ඩා 1996 දී ඉන්දීය අගමැති තනතුරට පත්විය.

ප්‍රථම ‘දලිත්’ ජනාධිපතිවරයා
1997 දී ෂර්මාගෙන් පසු ජනාධිපති තනතුරට පත්වුණේ, හිටපු උපජනාධිපති කේ.ආර්. නාරායනන් ය. ඔහු දකුණු ඉන්දියානු කේරල ප්‍රාන්ත වාසියෙකු වූ අතර හිටපු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකි. නැවත වරක් ප්‍රාදේශීය වශයෙන් සහ භාෂාමය වශයෙන් සුළුතරයකට අයත් පුද්ගලයෙකු ජනාධිපති තනතුරට පත්ව ඇති බව මෙයින් පෙනේ. ඒ අනුව ගත් විට මේ දක්වා ඉන්දියාවේ ඇති ‘ද්‍රවිඩ’ ප්‍රාන්ත සියල්ලෙන්ම යම් කෙනෙකු ඉන්දියාවේ ජනාධිපති ධුරයට පත්ව ඇත. නාරයනන්, දකුණු ඉන්දියානුවෙකු සහ ද්‍රවිඩයෙකු වෙනවා පමණක් නොව, ඔහු කුලහීන ‘දලිත්’ ප්‍රජාවටත් අයත් වූවෙකි. මේ අනුව බැලූ විට, නිදහස ලැබීමෙන් අවුරුදු පනහකට පසුව දැඩි කුලවාදී ඉන්දියාව, කුලහීන යැයි සැලකෙන ප්‍රජාවගේ නියෝජිතයෙකු තම ජනාධිපතිවරයා වශයෙන් පත්කර ගෙන ඇති බව පෙනේ. ඊට අමතරව නාරයනන්ට, ක්‍රිස්තියානි සම්බන්ධතාවක් ද තිබේ. ඒ, ඔහුගේ බිරිඳ සහ ක්‍රිස්තියානියට හැරුණු ඔහුගේ පවුලේ අනිත් සාමාජිකයන් හරහා ය.

2002 දී නාරයනන් එම ධුරයෙන් ඉවත් වන විට ඉන්දියාවේ බලය හෙබැවූයේ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ සන්ධානයකි. සිනමා නිළි ජයලලිතා ජයරාම් තමිල්නාඩුවේ මහ ඇමති පදවියට පත්ව සිටියාය. ඇය, කීර්තිමත් න්‍යෂ්ටික විද්‍යාඥ අබ්දුල් කලාම් ජනාධිපති තනතුරට යෝජනා කළාය. අබ්දුල් කලාම්, තමිල්නාඩු ප්‍රාන්තයේ රාමේෂ්වරම් ප්‍රදේශවාසියෙකු වන අතර, දෙමළ කතා කරන මුස්ලිම් ජාතිකයෙකි. හුසේන් සහ අලි අහමඞ් උර්දු භාෂාව කතා කරන මුස්ලිම් ජාතිකයෝ ය. අබ්දුල් කලාම් යනු ඉන්දියාවේ න්‍යෂ්ටික බලය නිර්මාණය කළ විද්‍යාඥයා වශයෙන් තමන්ගේම වූ කීර්තියකට හිමිකම් කියූ අයෙකි. මේ වන විට ඉන්දියානු මහ ආණ්ඩුවේ බලය හෙබැවූ දක්ෂිණාංශික හින්දු භාරතීය ජනතා පක්ෂ සන්ධානයට, තමන්ගේ අතීත අපනාමය හැඩකර ගැනීම සඳහා මුස්ලිම් ජාතිකයෙකු ජනාධිපති ධුරයට පත්කර ගැනීම තුළ වටිනාකමක් තිබුණේය. දෙමළ භාෂාව කතා කරන කෙනෙකු ජනාධිපති කර ගැනීමට හැකි වීම ගැන ජයලලිතා ද සතුටු විය. මේ අතර, තමිල්නාඩුවේ වෙසෙන දෙමළ භාෂාව කතා කරන මුස්ලිම් ආගම අදහන ප්‍රජාව තමන්ව සැලකුවේ දෙමළ ජාතිකයන් වශයෙන් බවත් මතක තබා ගත යුතුය. හින්දු ආගම හෝ ක්‍රිස්තියානිය අදහන වෙනත් දෙමළ ජනතාවගෙන් තමන් වෙනස් බවක් මේ ප්‍රජාවගේ සිත්සතන් තුළ නොවුණි.
2007 දී අබ්දුල් කලාම්ගේ ධුර කාලය අවසන් වුණි. ඔහුගේ උපජනාධිපති වුණේ, හින්දි භාෂාව කතා කරන රාජස්තානයේ රාජ්පුට් ප්‍රදේශවාසියෙකු වූ, බයිරන් සිං ෂේක්වත් ය. ඔහු රාජස්තානයේ භාරතීය ජනතා පක්ෂයේ හිටපු මහ ඇමතිවරයෙකි. එහෙත් එම පක්ෂයේ සාමාජිකයෙකු ජනාධිපතිවරයා වශයෙන් පත්කර ගැනීමට කොන්ග්‍රස් පක්ෂය නොකැමැති විය. එසේ හෙයින් ඔවුන් තමන්ගේ අපේක්ෂකයා වශයෙන් තෝරා ගත්තේ, ප්‍රතිභා පටිල්ය. ඒ වන විට ඇය රාජස්තානයේ ආණ්ඩුකාරවරිය වශයෙන් කටයුතු කරමින් සිටි අතර ඇයට සිය අපේක්ෂකත්වය සඳහා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂයේත්, කොමියුනිස්ට් සහ මාක්ස්වාදී පක්ෂවලත් සහාය ලැබුණි. කෙසේ වෙතත්, ෂේක්වත් ද ‘ස්වාධීන’ අපේක්ෂකයෙකු වශයෙන් ජනාධිපතිවරණයට තරග කෙළේය. පටිල්ට ඉතා පහසුවෙන් ඔහු පරාජය කළ හැකි විය. ප්‍රතිභා පටිල් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙනි. වාර්ගික වශයෙන් ගත් විට ඇය මහාරත්තක ජාතියට අයත් ය. මහාරත්ත යනු වෙනම ජන වර්ගයකි. ඔවුන් කතා කෙළේ මරාති භාෂාවයි. මහාරාෂ්ට්‍ර පිහිටියේ උතුරේවත් දකුණේවත් නොව, රට මධ්‍යයේ හෙවත් ඉන්දියාවෙන් බටහිර පෙදෙසේ ය.

ප්‍රථම ජනාධිපතිවරිය
මේ ආකාරයට, ප්‍රාදේශීය වශයෙන් සේම භාෂාමය වශයෙන් ද සුළුතරයකට අයත් වූ කෙනෙකු නැවත ජනාධිපති වශයෙන් පත්විය. කාන්තාවක ඉන්දියාවේ ජනාධිපති ධුරයට පත් පළමු අවස්ථාව මෙයයි. එය එරට ඉතිහාසයේ විශාල වැදගත්කමක් සහිත සන්ධිස්ථානයක් වශයෙන් සැලකිය හැකිය. 2012 දී, කොන්ග්‍රස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය එම ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ප්‍රනාබ් මුකර්ජි ජනාධිපති තනතුරට නිර්දේශ කෙළේය. ඔහු බටහිර බෙංගාලයේ බංගලි ජාතිකයෙකි. එය හින්දි නොවන ප්‍රාන්තයකි.
දැන්, උත්තර් ප්‍රදේශයේ හින්දු ආගමික හීන-කුල දලිත් ප්‍රජාවේ කෙනෙකු නැවතත් ජනාධිපති ධුරයට පත්ව ඇත. වර්තමාන ඉන්දියාවේ බලය හොබවන භාරතීය ජනතා පක්ෂය දීර්ඝ කාලයක් තිස්සේ සැලකෙන්නේ උසස් කුලවල (බ්‍රාහ්මණ සහ බානියා) ප්‍රමුඛත්වයක් ඇති පක්ෂයක් වශයෙනි. එවැනි ආණ්ඩුවක් බලයේ සිටියදී, රටේ ජනාධිපතිවරිය වශයෙන් දලිත් කුල තැනැත්තියක පත්කර ගැනීම එම පක්ෂයේ අතීත නරක නාමය ඉවත් කර ගැනීමට ඉවහල් කර ගත හැකි පියවරකි. ඊටත් වඩා, මෑතකදී පවත්වන ලද මහජන අදහස් විමසීමකට අනුව, භාරතීය ජනතා පක්ෂය බලයට පත්කර ගැනීම සඳහා විශාල දලිත් ප්‍රජාවක් ඡන්දය පාවිච්චි කොට ඇත. එවැනි දේශපාලනික හේතු කෙසේ වෙතත්, මෙම තෝරා ගැනීම රටේ කිසිවෙකු එරට පාලන පරිපාටියෙන් පිටමං නොකිරීමේ හෙවත් එරට පාලනය සඳහා සියල්ලන් හවුල් කර ගැනීමේ ප්‍රතිපත්තිය ලද ජයග්‍රහණයක් වශයෙන් සැලකිය හැකිය. සමාජ විවිධත්වයට තැන දෙමින්, සමාජයේ පවතින බහුත්ව ස්වභාවය ගැන සවිඥානකව කටයුතු කිරීම නිසා ඉන්දියාවේ අර්බුද කළමනාකරණයට මහත් පිටිවහලක් ලැබී තිබේ. ජනාධිපති තනතුර ප්‍රාදේශීය වශයෙන්, ආගමික වශයෙන්, වාර්ගික වශයෙන්, භාෂාමය වශයෙන් සහ කුල වශයෙන් සුළුතර කොටස් සේ සැලකෙන ප්‍රජාවන් අතරේ මාරුවෙන් මාරුවට මේ ආකාරයෙන් හුවමාරු වීම, එම මනෝභාවයේ සෞඛ්‍ය සම්පන්න ලක්ෂණයකි.
ඉන්දියාවේ මේ සාර්ථක කතාන්තරය ලංකාවේ තත්වය සමග සැසඳුවොත් දකින්ට ලැබෙන්නේ කනගාටුදායක චිත්‍රයකි. ලංකාවේ දේශපාලන බලය, සිංහල-බෞද්ධ-ගොයිගම කක්ෂයක ගල් ගැසී තිබේ. රටේ බහුතරය තමන්ගේ සංඛ්‍යාත්මක අගය සකල ජන්ම අයිතියක් වශයෙන් ගෙන කටයුතු කරන සෙයක් දක්නට ලැබේ. සුළුතරයන් සමග බලය බෙදාහදා ගැනීමට ඇති නොකැමැත්ත පමණක් නොව, රටේ පවතින ජන විවිධත්වය සහ බහුත්ව ස්වභාවය සංකේතීයව පිළිගැනීමට පවා ඔවුහු මැළි කරති. සංකේතීය වශයෙන් පවා බලය බෙදාහදා ගැනීමට දක්වන මේ නොකැමැත්තත්, මෙවැනි ප්‍රශ්න කෙරෙහි පාලක පැලැන්තිය දක්වන රළු අසංවේදීභාවයත්, ශ්‍රී ලංකාව අද මුහුණදෙන අර්බුදයේ හරය වශයෙන් පවතී. බලතල බෙදාහදා ගැනීමට මහජාතිය දක්වන නොකැමැත්ත හොඳින් පෙන්නුම් කරන්නේ ලංකාවේ ජනාධිපතිවරුන් සහ අගමැතිවරුන් තෝරා පත්කර ගැනීමේ දී ය.

ශ්‍රී ලංකාවට කවදාවත් පුළුවන් වේ ද…?
ශ්‍රී ලංකාවට, සිංහල නොවන, බෞද්ධ නොවන, ජනාධිපතිවරයෙකු හෝ අගමැතිවරයෙකු පත්කර ගැනීමට කවදාවත් හැකි වේ ද? ඊටත් වඩා කෙලින්ම මේ ප්‍රශ්නය නගන්නේ නම්: ගොයිගම අධිකාරිය කඩා දමා, ගොයිගම නොවන ජනාධිපතිවරයෙකු හෝ අගමැතිවරයෙකු පත්කර ගැනීමට තරම් ශ්‍රී ලංකාව මෑත අනාගතය තුළ වැඩිවියට පත්වේද?■
(පරිවර්තනය, ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි.)