රාවය

ඉන්දීය මාධ්‍ය ගැබ්ගත් දැරිය යළි කෙළෙසයි

ඉන්දීය මාධ්‍ය ගැබ්ගත් දැරිය යළි කෙළෙසයි

එස්. නන්දලාල්

උතුරු ඉන්දියාවේ චන්දිගර්ත් නගරයේ දූෂණයට ලක්වීම නිසා ගැබ්ගත් 10 හැවිරිදි දැරියකගේ භ්‍රෑණය (කළලය) විනාශ කරන්නට අවසර නොදෙන්නට පසුගි ය 28දා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ ය. ශ්‍රේෂ්ඨාධිකරණය එම තීරණයට එළැඹියේ ඉන්දීය වෛද්‍ය පර්යේෂණ පශ්චාත් උපාධි ආයතනයේ නිර්දේශයට අනුව ය. මෙහි දී සැලකිල්ලට ගෙන ඇත්තේ දස හැවිරිදි දැරියකට දරුවකු ප්‍රසූත කරන්නට සහ මවක වීමෙන් ඉක්බිති සිය දරුවා මැනවින් හදා වඩා ගත හැකි ද යන්න නොව කළලයට ඒ වනවිට සති 32ක් ඉක්ම ගොස් ඇති බැවින් එය විනාශ කිරීමෙන් මවට හානියක් විය හැකි බව ය.
ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම පෙත්සම ඉදිරිපත් වූයේ ඊට දින කිහිපයකට පෙර චන්දිගර්ත් අධිකරණය දුන් තීන්දුවට එරෙහිව ය.

ඉන්දීය ‘ගැබ් දැරීම වෛද්‍යමය ලෙස අවසන් කිරීම පිළිබඳ පනත’ අනුව විශේෂ අවස්ථාවල දී සති 20ට අඩු කළල විනාශ කරන්නට අවසරය ලබාගත හැකි ය. ඒ අවස්ථාවලදී කළලය විනාශ කිරීමෙන් සාමාන්‍යයෙන් මවට හානියක් නොවන බව වෛද්‍ය මතය වේ. දැරියට අතවර සිදුව ඇති බවට පොලීසියට පැමිණිලි කරනු ලැබ ඇත්තේ කළලයට සති 25 ඉක්ම ගිය පසුව බව පැවසේ. ඒ වනවිට පමා වුණා වැඩි ය. දස හැවිරිදි දැරියකගේ ශ්‍රෝණි මේඛලාව සහ අස්ථි පංජරය සිරුර තුළ කළලයක් වැඩෙනවාත් සමග සිදු වන වෙනස්කම්වලට ඔරොත්තු දිය හැකි ද යන ප්‍රශ්නය පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිවේදී ආලෝක් ශ්‍රීවාස්තව විසින් අධිකරණය හමුවේ තබා ඇති නමුත් විනිශ්චයාසනය ඒ ගැන සැලකිල්ලක් දක්වා නොමැත. තවද මේ දැරිය උපතින් ම හෘදයේ සිදුරක් සහිත ව උපන් තැනැත්තියකි. එහෙත් එය ප්‍රසූතියේ දී ගැටලුවක් ඇති නොකරනු ඇතැයි වෛද්‍යවරුන් නිගමනය කොට ඇත.

එහෙත් ශ්‍රීවාස්තව පෙන්වා දෙන්නේ, සති 27ක් ඉක්මැවූ කලලයක් විනාශ කරන්නට වැඩි කලකට පෙර නොව පසුගිය ජුලි 03දා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන් බවයි. ඒ සමගම ඔහු පෙන්වා දෙන්නේ දැරියගේ වයස අනුව ද කළලය විනාශ කිරීම නීත්‍යනුකූල වන සේ නීති සම්පාදනය විය යුතු බවයි. ‘පළමුව කළ යුත්තේ ඉපිද සිටින අය බේරා ගැනීමයි. ඉපදෙන්නට සිටින අය බේරා ගැනීම ඉන් පසුවයැ’යි ඔහු පෙන්වා දෙයි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිවේදී ඉන්දිරා ජයිසිං සීඑන්එන් වෙත පවසා ඇත්තේ මේ අවස්ථාවේ ගබ්සාව මරණීය විය හැකි මෙන් ම ප්‍රසූතිය ද ඇයට මරණයට දොරටු විවර කරන්නට ඇති ඉඩ වැඩි බවයි.
දරු උපත සැප්තැම්බර් මැද හරියේ දිනක සිදු වනු ඇති බවට වෛද්‍යවරුන් විසින් ගණනය කරනු ලැබ ඇති අතර බොහෝදුරට එය සිසේරියන් සැත්කමක් වනු ඇතැ’යි පැවසේ.
ඉන්දියාවේ අඩු වයස් දැරියන් ගැබ්ගැනීම ව්‍යසනයක් බවට පත්ව ඇති බව සංඛ්‍යාලේඛන අනුව පැහැදිලි ය. 2015 වසරේ ඉන්දියාවේ ස්ත්‍රී දූෂණ 10,000 ඉක්මැවූ බව සඳහන් ය. ඒ කියන්නේ සෑම මිනිත්තු 52කට ම එකකි. ඒ අතර සෑම මිනිත්තු 155කට ම වරක් 16ට අඩු දැරියක දූෂණය වනු ඇති අතර සෑම 800කට ම වරක් වයස 10ට අඩු ස්ත්‍රී දූෂණයක් සිදුවේ.
මෙවැනි සිද්ධිවලදී සැමට පොදු සාධකය වී ඇත්තේ දැරියන් එබඳු අතවරවලට ලක්වනුයේ විශ්වාසවන්ත සමීපතමයන් අතින් වන බවයි. ප්‍රස්තුත දැරියට එසේ හදි කොට ඇත්තේ නිවසට නිතර යනෙන මව් පාර්ශ්වයේ ඥාතියකු විසිනි. අනෙක් පොදු සාධකය නම් මෙවැනි සිදුවීම් බහුතරය සිය නිවෙස තුළ දීම සිදුවීමයි. ඔවුන්ගේ නිවාස ඉතා කුඩා ඒවා වීමත් මාපියන් නිවෙස්වල නොමැති අවස්ථාවල හිතෛෂීවන්ත කෙනෙකුට බාල දැරියන් පහසුවෙන් කොටු කර ගැනීමට ඇති ඉඩ ප්‍රස්ථා අසීමිත වීමත් ඊට හේතු වේ.

චන්දිගර්ත් අතිවිශාල ජනගහන ඝනත්වයක් ඇති නගරයකි. කිසිදු ප්‍රාන්තයකට අයත් නොවන එය යුනියන් ටෙරිටරි නමින් හැඳින්වෙන විශේෂ පාලන ඒකකයකි. එහි ජනගහන ඝනත්වය වර්ග කිලෝමීටරයට 9,300ක් පමණ වේ. ඒ අතින් ලොව තුන්වන තැනට එන සිංගප්පූරුවට වඩා එය ඉහළින් සිටියි.

එහෙත් ජනාකීර්ණ වීම ම ස්ත්‍රී දූෂණවලට හේතුවක් ලෙස ගත යුතු නැති අතර එය ඉන්දියාවට විශේෂී තත්ත්වයක් ලෙස ගැනීමේ දොසක් නොමැත.
ඉන්දියානුවන්ට සාමාන්‍ය දෙයක් වන මෙම සිද්ධිය ලොව පුරා මාධ්‍ය අවධානය දිනාගනු ලැබුයේ දැරියගේ පාර්ශ්වයෙන් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමත් අධිකරණය විසින් එය ප්‍රතික්‍ෂෙප කරනු ලැබීමත් නැවත ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ද එය තවුරු කිරීමත් සමඟ ය.
මේ නිසා මාධ්‍ය මේ සිද්ධිය ගැන විවිධ දෘෂ්ටිකෝණවලින් විග්‍රහ ඉදිරිපත් කරන්නට පටන් ගත්තේ ය. එනයින් සිද්ධිය පිළිබඳව බලධරයන්ගේ අවධානය යොමු වූ අතර සහන රැසක් ලැබිණි. ගර්භණීභාවය අවසන් කිරීමට අනුමැතිය ඉල්ලා පෙත්සම පවා ඉදිරිපත් කැරුණේ මාධ්‍යවල බලපෑම නිසා බව සඳහන් වන නමුත් මාධ්‍යවල හැසිරීම අයසට පත් දැරියගේ පවුලේ ඇත්තන්ට මහත් කරදරයක්, හිසරදයක් වූ බව බීබීසී පෙන්වා දෙයි. දැරියගේ පියා සමඟ දුරකතනයෙන් සංවාදයක යෙදී ඇති බීබීසී වාර්තාකරු සඳහන් කරන්නේ, තමා අපේක්ෂා කළ වේලාවට කලින් ඔහු (දැරියගේ පියා) සංවාදය අවසන් කරමින් ‘ඇයි ඔයාලා මගේ දරුවාගේ සිද්ධියට මේ තරම් ප්‍රචාරයක් ලබා දෙන්නේ?’යි අසා කෝපයෙන් රිසීවරය තැබූ බවයි.

මෙහි දී මාධ්‍ය තවත් ගැටමුසු තැනක් ඉදිරිපත් කරයි. දැරිය දූෂණයට ලක් වූ බව මව දැන සිටින්නට ඇතැයි යන්නයි ඒ. සති 25 පසු වන තෙක් ඇය ඒ බැව් දැන නොසිටීම පුදුමයක් බව ඒවා පෙන්වා දෙයි. දැරියගේ බඬේ කැක්කුමක් සෑදුණු විට ප්‍රතිකාර ගැනීම සඳහා ගියඉවිට වෛද්‍යවරයා දරුගැබ අනාවරණය කැරගත් බව මාධ්‍යයේ සඳහන් ය.

ඉන්දියානු නීතිය අනුව ළමා හා කාන්තා අපහරණවලදී වින්දිතයන්ගේ නම් හෙළිදරව් කිරීම තහනම් ය. එහෙත් දූෂකයාගේ නම හෙළිදරව් කරන්නට බාධාවක් නොවේ. මෙහිදී ඔහුගේ නම ඉන්දීය මාධ්‍ය විසින් හෙළිදරව් කරනු ලැබ ඇති හෙයින් සියල්ල අනාවරණය වෙයි. පුද්ගලයා වැඩ කළ තැන ද පදිංචිව සිටි තැන අසල්වැසියෝ ද ඔහු ගැන දනිති. ඒ නිසා දූෂණයට ලක්වූයේ කවුරුන්දැයි වටහා ගැනීම අපහසු නොවේ. මේ බව දැරියගේ පාසලේ සිසුන් පවා දන්නේයැ’යි ඇගේ පියා කණස්සලුසහගත ව මාධ්‍යයට පවසා ඇත.

දූෂකයා වින්දිතයාගේ මව් පාර්ශ්වයෙන් ඥාතියකු වන අතර ඔහු නැවතී සිට ඇත්තේ වින්දිතයාගේ නිවස අසල ම තැනක ය. දැන් ඔහු අත්අඩංගුවට පත් ව තිබේ. ඔහු මීට පෙර ද මෙවැනි සිද්ධියකට සම්බන්ධ අයකු බව මාධ්‍ය විසින් අනාවරණය කැරගෙන ඇත.

බීබීසී වෙබ් අඩවියේ පළවූ මේ වාර්තාවේ සිරස වූයේ zIndia media storm over 10-year-old pregnant rape victim’ ය. නීතිඥ ශ්‍රීවාස්තව පෙන්වා දෙන්නේ අධිකරණය දුන් තීන්දුවේ නීත්‍යනුකූලබව පිළිබඳ ගැටලුවක් නොමැති බවයි. වැඩිදුරටත් ඔහු පෙන්වා දෙන්නේ බාල දැරියන් පිළිබඳව මාපියන්ගේ සැලකිල්ල අඩු වීම මෙබඳු සිද්ධිවලට මූලික හේතුව බවයි. ආර්ථික ප්‍රශ්න නිසා දරුවන් ගැන සොයා බලන්නට ඔවුන්ට වේලාවක් නැත. කෙසේවෙතත් සමාජ ආරක්ෂණ සංවිධානවලට ද ඒ සම්බන්ධ වකීමක් ඇති බව ඔහු තවදුරටත් පවසයි. ■