රාවය

ශ්‍රීලනිප සංවත්සර ග්‍රන්ථය හොර පාරෙන්

ශ්‍රීලනිප සංවත්සර ග්‍රන්ථය හොර පාරෙන්

ලසන්ත රුහුණගේ

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ජනමාධ්‍ය සංවිධාන පිළිබඳව පුළුල් අවබෝධයක් නැතත් යම් අවබෝධයක් මේ රටේ මිනිසුන්ට ඇතැයි සිතිය හැකිය. ඒ ජනමාධ්‍යයට අදාළ විවිධ සිදුවීම්වලදී මේ ජනමාධ්‍ය සංවිධානවල නම් කියවෙන බැවින්ය.
එසේ වුවද මේ කියන්නට යන්නේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ සිටින අපවත් නොදන්නා ජනමාධ්‍ය සංවිධානයක් ගැනය. එසේ කීමට හේතුව පසුගි ය කාලය තුළ එම සංවිධානය රටේ ජාත්‍යන්තර උත්සව අවස්ථාවන්ගේ සිට රට කරවූ රාජ්‍ය නායකයන්ගේ සංවත්සර අවස්ථා දක්වාද එම නායකයන් නායකත්වය දුන් පක්ෂවල සංවත්සරික අවස්ථා දක්වාද විශාල වැඩ කොටසක් කර ඇති බැවින්ය. එපමණක් නොව එම වැඩකටයුතු කිරීමේදී රාජ්‍යය තුළින්ම එම සංවිධානයේ වැඩකටයුතු පිළිබඳ චෝදනා එල්ලවී ඇති බැවින්ය. එසේ චෝදනා තිබියදී නැවතත් ඒ ආකාරයේම කටයුත්තක් ඔවුන්ට බාරදී ඇති බැවින්ය. මේ සංවිධානය සිය ලිපි ශිර්ෂය තුළ සඳහන් කර ඇති සමහර දේවලින් මිනිසුන් රවටා ඇති බැවින්ය.
මේ සංවිධානය වූ කලී ‘ශ්‍රී ලංකා නිදහස් මාධ්‍යවේදීන්ගේ සංගමය’ නම් වූ එකක්ය. එහි ලිපි ශීර්ෂයේ දැක්වෙන ලිපිනය වන්නේ අංක 13, රිචඞ් ද සොයිසා මාධ්‍යවේදී නිවාස සංකීර්ණය, තලංගම උතුර, බත්තරමුල්ල යන්නය. ලියාපදිංචියට අදාළ කරුණු දෙකක් එම ලිපි ශීර්ෂයේ සඳහන් වන අතර එකක් වන්නේ 1975 අංක 33 දරන පනතින් එම සංවිධානය පාර්ලිමේන්තුව විසින් පිළිගෙන ඇති බවය. අනෙක් අංක වන්නේ ලියාපදිංචි අංක වශයෙන් සඳහන් කර ඇති GA 2869 අංකයය.
එම ලිපි ශීර්ෂයේ සඳහන් පාර්ලිමේන්තු පනත වන්නේ ජාතික රාජ්‍ය සභාවේ 1975 අංක 33 දරන ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතන පනතය. එය කිසිසේත් ශ්‍රී ලංකා නිදහස් මාධ්‍යවේදීන්ගේ සංගමයකට අදාළ පනතක් නොවේ. අනෙක් අංකය කිනම් ලියාපදිංචි අංකයකට අදාළ එකක් දැයි පැහැදිලි නැත. එසේ වුවද මෙම සංවිධානයේ ලේකම්වරයා වශයෙන් සඳහන් චන්ද්‍රසිරි වැලිගමගේගෙන් කරන ලද විමසීමකදී ඔහු කීවේ සිය සංවිධානය සමාගම් පනත යටතේ ලියාපදිංචි කළ එකක් බවත් සමාගම් පනත යටතේ ලියාපදිංචියේදී ලබාදුන් සහතිකයේ සඳහන් වන්නේ අදාළ පනත යටතේ ඔවුන් ලියපදිංචි වී සිටින බවත් හා අනෙක් අංකය එම ලියාපදිංචියට ලබාදුන් අංකය බවය. එසේ වුවද අප සතු තොරතුරු අනුව සමාගම් පනත යටතේ එම සංවිධානය ඉංග්‍රීසි භාෂාවෙන් Independent Media Association of Sri lanka යනුවෙන් ලියාපදිංචි කිරීමේදී ලබා දී ඇත්තේ NA 180271 අංකයය. ලියාපදිංචි ලිපිනය වශයෙන් සඳහන් කර ඇත්තේ D6 ඇල්විටිගල මහල් නිවාස, ඇල්විටිගල මාවත, බොරැල්ල, කොළඹ 08 යන ලිපිනයය.
සමාගම් මැදුරේ තොරතුරු අනුව මෙම සංවිධානයේ අධ්‍යක්‍ෂවරු වශයෙන් සඳහන් වන්නේ අංක 9/27, ඔලබොඩුව, ගෝනාපල හන්දිය ලිපිනයැති ලොකු බණ්ඩාර මුණසිංහ, අංක 96A, ටෙම්පල් පාර, මහරගම ලිපිනයැති මනුර ප්‍රභාෂ් වැලිගමගේ, ආරච්චිගේ වත්ත, අරංවල, අහංගම ලිපිනයැති වැලිගමගේ රංජිත් පෝලේ, සිංහවිල්ල මඩවල මිනුවන්ගොඩ ලිපිනයැති යක්දෙහිගේ තුෂාර නානායක්කාර රණසිංහ, අංක 400/5, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 ලිපිනයැති ලොකු දස්සුරියගේ දොන් නිශාන්ත ජානක, අංක 9 /27 ඔලබොඩුව, ගෝනපල හන්දිය ලිපිනයැති නිරංජන උදය නෙළුම් බණ්ඩාර මුණසිංහ, අංක 63 වේවැල්දූව පාර, හුණුපිටිය, වත්තල ලිපිනයැති ලක්‍ෂ්මන් ප්‍රනාන්දු යන අයය.
මේ සංවිධානය එසේ මෙසේ සංවිධානයක් නොවේ. “ශ්‍රී ලංකා” යනුවෙන් පුවත්පතක් මුද්‍රණය කරමින් පවත්වාගෙන යයි. සිය සංගමයේ ලිපි ශීර්ෂය තුළ අසත්‍යය වැපුරුවද එම පුවත්පතේ නාමයට යටින් ඇති උද්ධෘත පාඨය වන්නේ සත්‍යයේ කැඩපත යන්නය. අප සතු තොරතුරු අනුව මෙම සංවිධානය සිය වැඩකටයුතුවලට අතගසා ඇත්තේ පසුගිය මහින්ද රාජපක්‍ෂ පාලන කාලයේ සිටය. 2013 වර්ෂයේ පැවති පොදු රාජ්‍ය මණ්ඩල (චෝගම්) සමුළුවට සමගාමී ව්‍යාපාරික සංසදයට අදාළ සමරු පොතේ කටයුතු සිදු කර ඇත්තේ මෙම සංවිධානයය. එමෙන්ම මත්තල මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘත කිරීමට අදාළ සමරු පොතේ කටයුතු කර ඇත්තේද එම සංගමයය. ඒ සඳහා සියදෙස ප්‍රකාශකයෝ යන ප්‍රකාශන ආයතනයක්ද පවත්වාගෙන ගොස් ඇත්තේය.
වත්මන් ජනාධිපති ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේනගේ දෙවන පදවි ප්‍රාප්තියේදී මෙම සංවිධානයේ ‘ශ්‍රී ලංකා’ පුවත්පත යහපාලනයේ දෙවන අභිමානය යනුවෙන් විශේෂ අතිරේකයක් ප්‍රකාශයට පත්කර ඇත. මෙම පුවත්පතේ විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සරික අවස්ථාවන් හෝ එහි නායකයන්ගේ සැමරුම් අවස්ථාවක මුද්‍රණය කරන්නක් වීම මිස කාලවකවානුවකට අනුව අඛණ්ඩව පළකරන්නත් නොවීමත් වෙළෙඳපොළ හරහා බෙදාහරින පුවත්පතක් නොවීමත්ය.
කෙසේ වුවද මේ ආකාරයට මුද්‍රණය කරන පුවත්පත් ඇතුළු සමරු කලාපවලට රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෙළෙඳ දැන්වීම් ලැබී ඇති බව පෙනී යයි. විශේෂ අවස්ථාවලදී පමණක් මුද්‍රණය කර ඇති මෙම “ශ්‍රී ලංකා” පුවත්පත පිළිබඳව 2016.11.29 දින සහිතව ජනාධිපති කාර්යාලයේ ලිපි ශිර්ෂයකින් පොලිස්පතිවරයාට පැමිණිලි කර ඇත්තේ වකුගඩු නිවාරණ ජනාධිපති කාර්යසාධක බලකායේ ව්‍යාපෘති අධ්‍යක්ෂ අසේල ඉද්දවෙලය. පොලිස්පතිවරයාට යොමු කරන එම පැමිණිල්ලේ ඔහු උද්ධෘතය වශයෙන් සඳහන් කරන්නේ, ‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සංවත්සර මහ සමුළුවට නිකුත් කරන ශ්‍රී ලංකා පුවත්පතේ විශේෂ අතිරේකය සම්බන්ධවයි’ යන්නය. එහි වැඩිදුරටත් සඳහන් වන්නේ මේ ආකාරයටය. ‘ඉහත කරුණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පුවත්පත මුද්‍රණය කරන ලදි. එම පුවත්පත් මුද්‍රණය කිරීමෙන් පසු විකිණීමෙන් ලැබෙන ආදායම හා අනුග්‍රාහක දායකත්වයෙන් ලැබෙන ආදායම වකුගඩු අරමුදල සඳහා යෙදවීමට සියදෙස ප්‍රකාශකයෝ පොරොන්දු වුවද එය ඔහු විසින් ඉටුකර නොමැත.’
‘මෙම පුවත්පත මුද්‍රණය කිරීමෙන් පසුව අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ ප්‍රභූවරුනට පිළිගැනීමෙන් පසුව පාක්ෂික සැමට අලෙවිකොට ඉන් ලැබෙන ආදායම වකුගඩු රෝගීන්ට සුවසහනය දෙන අරමුදලට බැර කිරීමට එම සංගමය විධිවිධාන යොදා තිබුණද එම කරුණ ඉටුවී නොමැති නිසා මෙම වංචනික ක්‍රියාව පිළිබඳව විමර්ශනයක් කිරීමට කටයුතු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.’
2016 වර්ෂයේ සැප්තැම්බර් 04 දා කුරුණෑගලදී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සංවත්සරය වෙනුවෙන් මුද්‍රණය කරන ශ්‍රී ලංකා පුවත්පත වෙනුවෙන් දැන්වීම් අනුග්‍රහ ලබා දෙන ලෙස රාජ්‍ය ආයතනවලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලිපි ශීර්ෂය යටතේ ලිපි නිකුත් කර ඇත්තේ එහි පාලක ලේකම් එස්. එච්. ආරියසේනය. ඔහු එම ලිපිවල සඳහන් කරන්නේද එම පුවත්පත අලෙවි කර ලැබෙන ආදායම ජනාධිපතිවරයා ආරම්භකර ඇති වකුගඩු රෝගී සංරක්ෂණ අරමුදලට බැර කෙරෙන බවයි.
ඒ ආකාරයට කටයුතු සිදු නොවී තිබිය දී දැන් නැවත වරක් මෙම වසරේ සැප්තැම්බර් 02 වැනි දින පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වැනි සංවත්සරය වෙනුවෙන්ද 66 වසරක රන් පිය සටහන්, යනුවෙන් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම වර්ණ සමරු ග්‍රන්ථයක් සම්පාදනය කර බෙදා හැරීමට ශ්‍රී ලංකා නිදහස් මාධ්‍යවේදීන්ගේ සංගමය වෙත පැවරීමට පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායකගේ උපදෙස් පරිදි එම පක්ෂයේ මධ්‍ය කමිටුව තීරණය කර ඇති බව සඳහන්ය. එම සඳහන ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලිපි ශීර්ෂයෙන් එම පක්ෂයේ පාලක ලේකම් එස්.එච්. ආරියසේන රාජ්‍ය ආයතනවලට හා මැති ඇමතිවරුන්ට යවන අනුග්‍රාහකත්වය ඉල්ලන ලිපිවලය. එම ලිපිය සමඟ අදාළ ග්‍රන්ථයේ සම්බන්ධීකාරක එම්.එම්. බණ්ඩාර නම්වූ ජේ්‍යෂ්ඨ මාධ්‍යවේදිනියකගේ ලිපියක් අමුණා ඇති බවද සඳහන්ය. එම ලිපිය අනුව අනුග්‍රාහක දැන්වීම් ගාස්තු මෙසේය. කවරයේ පිටුපස පිටුව රුපියල් 125,000යි, කවරයේ ඇතුළත පිටුව රුපියල් 100,000යි. කවරයේ පිටුපස ඇතුළත පිටුව රුපියල් 90,000යි. ඇතුළත පිටුවක් රුපියල් 80,000යි.
එම අනුග්‍රාහක දැන්වීම් මුදල් හා සැසැඳීමේදී මෙම සමරු ග්‍රන්ථය වූ කලි විශාල මුදලක් ලැබෙන ව්‍යාපෘතියක් බවට සැකයක් නැත. රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන රටේ ජනාධිපතිවරයාගේ පක්ෂ සංවත්සරය වෙනුවෙන් අනුග්‍රහයන් ලබාදීමට නොපැකිළෙන බවද අනුමාන කළ හැකිය.
එහෙත් එවැනි භාරධුර වගකීමක් බාරදුන් පිරිස හෝ සංවිධානය පිළිබඳව රට කරවන රටේ ජනාධිපතිවරයාගේ පක්ෂය දැනුවත්ව සිටීම ගුණදායකය. ඒ කරුණු දෙකක් නිසාය. එකක් මෙම කවුරුත් නොදන්නා ශ්‍රී ලංකා මාධ්‍යවේදීන්ගේ සංගමය ගැන ජනාධිපති කාර්යාලයේ ලිපි ශීර්ෂයකින්ම වකුගඩු නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකා ව්‍යාපෘති අධ්‍යක්ෂක පොලිස්පතිවරයාට පැමිණිලි කර තිබීම හේතුවෙන්ය. දෙවැන්න එම සංගමය සිය ලිපි ශීර්ෂය තුළ ජනතාව ගොනාට ඇන්දවීමට සඳහන් කර ඇති ව්‍යාජ තොරතුරුය. අමතරව මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාලක ලේකම් එස්.එච්. ආරියසේන අපට ප්‍රකාශ කළ දෙයය. ඔහු මේ ජනමාධ්‍ය සංවිධානය ගැන කිසිවක් දන්නේ නැත. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කිව් නිසා අනුග්‍රාහක දැන්වීම් ලබා ගැනීමට ලිපි නිකුත් කර ඇති බවය. ඒ අනුව අපට ප්‍රශ්නයක් පැන නගින්නේය. හොරුන්ට වංචාකාරයන්ට, බොරුකාරයන්ට තමන්ගේ ආණ්ඩුවේ ඉඩක් නැතැයි ප්‍රකාශ කරන ජනාධිපතිවරයාගේ පක්ෂය තුළ ඊට ඉඩක් ඇතිද යන්නය.■

පොත මුද්‍රණය කරන්නේ දැන්වීම් මුදලින් චන්ද්‍රසිරි වැලිගමගේ, ලේකම්
ශ්‍රී ලංකා නිදහස් මාධ්‍යවේදීන්ගේ සංගමය

ඔබගේ ජනමාධ්‍ය සංවිධාන ගැන විස්තර අපිට පැහැදිලි කළොත්.
ලියාපදිංචි කරලා අවුරුදු හතරක් වෙනවා. සමාගම් පනත යටතේ ගැසට් කරලා තියෙනවා. සාමාජිකයන් බඳවාගෙන තියෙනවා.

ජීඒ අකුරුවලින් හැඳින්වෙන ලියාපදිංචි අංකය මොකක්ද?
සමාගම් ලියාපදිංචි අංකය.
එතකොට පාර්ලිමේන්තු පනතක් ගැන සඳහන් වන්නේ.
සංවිධානය රෙජිස්ටර් කරනකොට අපේ ප්‍රොෆයිල් එකේ තියෙන අංකය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවත්සරයට සමරු කළඹක් මුද්‍රණය කරන්න දැන්වීම් ඉල්ලලා තියෙනවා නේද?
ඒ වියදමෙන් තමයි පොත මුද්‍රණය කරන්නේ. කොළඹ නගර සභා සංවත්සරය, පොදු රාජ්‍ය මණ්ඩල උත්සව ආදියටත් අපි පොත් කළා.

ජනපති පදවි ප්‍රාප්තියටත් කළාද?
ශ්‍රී ලංකා පුවත්පත විශේෂ අවස්ථාවල මුද්‍රණය කරනවා.

ඒකෙදී ජනාධිපති වකුගඩු අරමුදලට මුදල් දෙනවා කියලා දුන්නේ නැද්ද?
කාරණය මේකයි. මමත් එක්ක හිටපු පක්ෂ මූලස්ථානය සමඟ බොහෝම සම්බන්ධව යූ.ජයවර්ධන කියලා පුද්ගලයෙක් ජනපති කාර්යාලයේ ලිපි ශීර්ෂයක ලියුමක් ගහලා මේ සල්ලි නවත්වන්න. මම ඔය අසේල මහත්තයාව හම්බවුණා. ඒ මහත්තයා කිව්වා එහෙම ලිපියක් එයා නිකුත් කරලා නැහැ කියලා. (එසේ වුවද අප කළ විමසීමකදී වකුගඩු නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ ව්‍යාපෘති අධ්‍යක්ෂ අසේල ඉද්දවෙල ප්‍රකාශ කළේ එවැනි පැමිණිල්ලක් ඔහු පොලිස්පතිවරයාට යොමු කළ බව හා ඊට සිදුවූයේ කුමක්ද යන්න සොයා බැලීමට බැරිවූ බවය.)