රාවය

රට හෙල්ලූ 53 හර්තාලය

රට හෙල්ලූ 53 හර්තාලය

රාජා උස්වැටකෙයියාව

1953 ඓතිහාසික හර්තාලය තරම් වූ දැවැන්ත බහුජන අරගලයක් අපේ කම්කරු සටන් ඉතිහාසයේ මෙතෙක් සනිටුහන් වී නොමැත. වමේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ නායකත්වයෙන් ඇරඹුණ එය ගොවීන් හා සෙසුජන කොටස්වල සහාය ලැබූ චමත්කාරජනක ජනතා ව්‍යාපාරයක් විය. 1953 -1954 අය වැය යෝජනාවන්ට අනුව සහල් සේරුවක මිල ශත 25 සිට 75 දක්වා වැඩි කිරීම, බස්, දුම්රිය හා තැපැල් ගාස්තු ඉහළ දැමීම, පාසල් දරුවන්ගේ දිවා ආහාරය ඇතුළු සහනාධාර අහෝසි කිරීමට හා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්වලට උදා වී තිබූ අවහිරතාවලට විරෝධය පළකිරීම මෙම හර්තාල් සටනේ මූලික අරමුණ විය. එය ජනතාවගේ සැබෑ වුවමනාවන් ධනපතීන්ගේ හා අධිරාජ්‍යවාදීන්ගේ වුවමනාවන්ට යටගැසීමේ ප්‍රතිඵලයකි. නිදහසින් පසු රට සැබෑ සංවර්ධන මාවතක ගමන් කරනු වෙනුවට තවදුරටත් නොදියුණු යටත්විජිත ආර්ථික ක්‍රමයේ හා ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල උපදෙස් පිළිපැදීම මෙම ආර්ථික අර්බුදයට ඉවහල් වූ ප්‍රමුඛ සාධකයකි.
මෙකල මෙරටට පැමිණි ලෝක බැංකු නියෝජිත පිරිසේ නායකයා වූ සර් සිඞ්නි කෝන් නමැත්තා අග්‍රාමාත්‍ය ඩඞ්ලි සේනානායක ආණ්ඩුවේ මුදල් ඇමති ජේ.ආර්. ජයවර්ධන ගේ මෙම අයවැය ලේඛනය ප්‍රශංසාවට ලක් කිරීමෙන්ම එය පැහැදිලි වේ.

ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.ඇස්. සේනානායකගේ අභාවයෙන් පසු ඩඞ්ලි සේනානායක මහතාගේ නායකත්වයෙන් 1952 බලයට පත් එජාප රජය තවත් කිසි දිනක සහල් මිල වැඩි නොකරන බවට ප්‍රතිඥා දුනි. ඒ මෙසේය. “මේ ආණ්ඩුව පවතින තාක් කල් හාල් සේරුව ශත විසි පහයි. ලෝකයේ ආහාර තත්ත්වය කුමක් වුවත් ලක්වැසියා හාමතේ නොතබන්නේ ය. අලුත් ආහාර ඇමති (සර් ඔලිවර් ගුණතිලක) මුළු ලෝකයෙන්ම ආහාර සපයයි. ඊට අවශ්‍ය මුදල් අපේ මුදල් ඇමතිතුමා (ජේ.ආර්. ජයවර්ධන) සපයා දෙයි. ලෝකයේ සියලුම රටවල් සමග ඇතිකරගෙන ඇති මිත්‍ර සම්බන්ධතා මගින් අපේ ආහාර ඇමතිවරයා හා මුදල් ඇමතිවරයා ඊට වැයවන මුදල් මහජනයා බදු බරින් නොපෙලා ධාර්මිකව සපයා දෙන්නේ ය.”

එහෙත් මෙය ව්‍යාජ පොරොන්දුවක් බව ටික කලකින්ම පැහැදිලි විය. හාල් මිල පමණක් නොව අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා ගාස්තු ද ඉහළ ගියේ ය. මෙය වඩා තදින් බලපෑවේ රජයේ හා පෞද්ගලික අංශයේ කම්කරුවන්, ලිපිකරුවන්, ගුරුවරුන් හා නිලධාරීන් වැනි පිරිස්වලටය. සහල් සහනාධාරය ලැබූ ගම්බද ගොවි ජනතාව ද ධීවර ජනතාව ද මෙයට විරෝධය පෑහ.
එවකට වමේ වෘත්තීය සමිති ව්‍යාපාරය වටා ගොනුවී සිටි කම්කරු පංති කොටස් මෙම මහජන විරෝධතා රැල්ලට සටන්කාමී නායකත්වයක් දීමත් සමග මෙය වඩා තියුණු හා ශක්තිමත් සටන් ව්‍යාපාරයක් දක්වා වර්ධනය වුණි.

ලෝක බැංකු නියෝජිතයන්ගේත්, මෙම අයවැය යෝජනා අනුමත කරන ධනපති ව්‍යාපාරිකයන්, සංවිධාන හා පුද්ගලයන්ගේත් අයවැයට පක්‍ෂපාතිත්වය දක්වන ලිපි හා කතාවලට රජයට පක්‍ෂපාත පුවත්පත් හා ජන සන්නිවේදන මාධ්‍යයන් මගින් විශාල ප්‍රසිද්ධියක් දී තිබුණි. එහෙත් රජයේ මෙම ප්‍රචාරයන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මතුවූ තියුණු විරෝධතාවන්ගේ සැර බාල කිරීමට තරම් ප්‍රමාණවත් නොවීය.

අළුබෝමුල්ල ප්‍රදේශයේ චන්ද්‍රානි පෙරේරා නමැති කාන්තාවක හාල් මිල වැඩි කිරීමට විරෝධය පළකිරීම සඳහා තම දිගු කෙස්වැටිය කපා එය අගමැතිවරයා ප්‍රමුඛ ඇමති මණ්ඩලය වෙත පාර්සල් තැපෑලෙන් යවා තිබුණි. දුගීදුප්පත් පැල්පත්වල වසන දහස් ගණනකගේ ජීවිතවලට හානි සිදුවන අයුරින් සහල් මිල ඉහළ දැමීමෙන් සිදු වී ඇති අසාධාරණය සම්බන්ධව කෙරෙන විරෝධයේ සංකේතයක් වශයෙන් මෙම පාර්සල් ඇමතිවරුන් තම අඹුවන්ට භාරදෙන ලෙස ඈ ඉල්ලා සිටියා ය. තමා කිසිම දේශපාලන පක්‍ෂයකට සම්බන්ධ හෝ එම වැඩ පිළිවෙළ අනුමත කරන්නියක ලෙස නොසලකන ලෙසත් ඇමතිවරුන්ට අපහාස කිරීමේ අරමුණක් නොමැති බවත් ඇය කියා සිටියා ය. මීට අමතරව කෑගල්ල ප්‍රදේශයේ ටී. අප්පුහාමි නම් දරුවන් දහදෙනකුගේ පියෙකු හාල් මිල වැඩි කිරීමට විරෝධය පළකරමින් ඇසිඞ් බී මියගිය පුවතක් ද වාර්තා විය.

දිවයිනේ මහ නගර සභා, නගර සභා, පළාත් ආණ්ඩු සභා හා ගම්කාර්ය සභාවල නියෝජිතයෝ සහල් මිල වැඩි කිරීම ප්‍රමුඛ අසාධාරණ අයවැය යෝජනාවලට විරුද්ධව ද, රජයට වහා ඉල්ලා අස්වන ලෙස බලකරන යෝජනා ද ඉදිරිපත්කොට සම්මත කරගන්නා ලදි.
කොළඹ, ගාල්ල, මහනුවර, මාතර, යාපනය, මඩකළපුව, වැලිගම, කැලණිය, අනුරාධපුරය, අරකාවිල, මාහෝ, කුරුණෑගල, බදුල්ල, ගම්පහ ඇතුළු දිවයිනේ සෑම ප්‍රදේශයකම කළු කොඩි එසවීම්, විරෝධතා රැස්වීම් හා පත්‍රිකා බෙදාහැරීම් ඇතුළු උද්ඝෝෂණ ව්‍යාපාර ළැව්ගින්නක් ලෙස පැතිර යමින් තිබුණි. සමහර ප්‍රදේශවල සිටි ප්‍රබල එක්සත් ජාතික පාක්‍ෂිකයෝද ආණ්ඩු හිතවාදීහු ද මෙම විරෝධතා ව්‍යාපාරවලට තම සහය ලබා දුන්හ. 1953 ජූලි මස මැද භාගය වන විට මෙම සටන වඩාත් උණුසුම් වෙමින් පැවතුණි. මේ වනවිට විප්ලවකාරී ලංකා සමසමාජ පක්‍ෂය (පිලිප්), නව ලංකා සමසමාජ පක්‍ෂය (ඇන්ඇම්), ලංකා කොමියුනිස්ට් පක්‍ෂය යන පක්‍ෂ වෙන වෙනම රැස් වී තම පාක්‍ෂිකයන්ට මෙම විරෝධතා ව්‍යාපාරයේ දී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳවත් එය සාර්ථක කරගැනීමට ගතයුතු උපාය උපක්‍රම පිළිබඳවත් මූලික උපදෙස් ලබා දෙමින් තිබුණි. හර්තාලය සාර්ථක කරගැනීමට සියලුම ආණ්ඩු විරෝධී ප්‍රජාතන්ත්‍රවාදී බලවේග එක්විය යුතුය යන මතය ද දැඩිව පැවතුණි. පුළුල් ආණ්ඩු විරෝධී පෙරමුණක් පිළිබඳ අදහස මුලින්ම ක්‍රියාවට නැගුණේ දොස්තර ඇස්.ඒ. වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ හා පිලිප් ගුණවර්ධනගේ නායකත්වයෙන් යුත් විප්ලවකාරී ලංකා සමසමාජ පක්‍ෂයේ මෙහෙයවීමෙන් ජූලි 19 වන දින ගෝල්පේස් පිටියේ පැවති රැ ස්වීමකිනි.

ඊට පසු දා එනම් විසි වෙනි දා ආචාර්ය ඇන්ඇම් පෙරේරාගේ ප්‍රධානත්වයෙන් නව ලංකා සමසමාජ පක්‍ෂයේ උද්ඝෝෂණ රැලියක් ද එම ස්ථානයේම පැවතුණි. එදින උයද වරුවේ ලංකාවේ සියලුම වෘත්තීය සමිති සංවිධානවල ඒකාබද්ධ රැස්වීමක් පවත්වා හාල් මිල ඉහළ දැමීම ඇතුළු ජනතා විරෝධී ප්‍රතිපත්තිවලට එරෙහිව එක් දිනක මහ වැඩ වර්ජනයක් ද එදිනම දිවයින පුරා විරෝධතා ව්‍යපාරයක් එනම් හර්තාලයක් පැවැත්වීමට ද ඒකමතිකව තීරණය කරන ලදි. මෙයට පෙරහුරුවක් වශයෙන් අගෝස්තු 2 දා උදේ පැය 3 ක සංකේත වර්ජනයක යෙදුණ වරාය කම්කරුවන් 12000ක් පමණ අයවැයට එරෙහි පළමු කම්කරු පංති ප්‍රහාරය දියත් කළහ. එදිනම දහවල් රත්මලාන දුම්රිය වැඩපළේ කම්කරුවෝ 4000කට අධික සංඛ්‍යාවක් ද තම සේවා ස්ථානයේ ප්‍රධාන ඉංජිනේරුවරයාගේ කාර්යාලය වටලා උද්ඝෝෂණයක නිරත වූහ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවෙස් වටලා හාල් මිල වැඩි කිරීමේ අයවැය යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන ලෙස ඔවුන්ට බල කිරීමේ මහජන ව්‍යාපාරයක් ද ඇරඹී තිබුණි. ඒ අනුව පෑලියගොඩ ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සංගමය ප්‍රදේශවාසීන්ගේ පෙත්සමක් ජාඇළ මන්ත්‍රීවරයා වෙත පෙළපාලියෙන් ගොස් බාර දුනි. 60,000ක අත්සනින් යුත් පෙත්සමක් අග්‍රාමාත්‍යවරයා වෙත බාර දීම ද සිදු විය. රට පුරාම ජනතාව මෙවැනි ක්‍රියාමාර්ග ගැනීමට පෙළඹී සිටියහ.

රජයට පක්‍ෂපාත පුවත්පත් හා පුද්ගලයන් මෙම ජනතා උද්ඝෝෂණයන් රජය පෙරලා දැමීමේ දුෂ්ට චේතනාවෙන් කරනු ලබන කඩාකප්පල්කාරී ක්‍රියා ලෙස හුවා දැක්වීමට උත්සුක විය. එහෙත් මේ කිසිදු ප්‍රචාරයකට රජයට එල්ල වී තිබූ දැවැන්ත විරෝධය පසුබැස්සවීමට නුපුළුවන් විය. පාලක එක්සත් ජාතික පක්‍ෂ විරෝධී සර්ව පාක්‍ෂික මහා ජනතා රැලිය අයවැය පාර්ලිමේන්තුවේදී විවාදයට ගනු ලැබූ ජූලි 23 වන දින ගෝල්පේස් පිටියේදී පැවැත්විණි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මෙතෙක් මෙම ජනතා අරගලයට නිල වශයෙන් තම සහාය දක්වන බව ප්‍රකාශ නොකළද එවකට විපක්‍ෂයේ හා ශ්‍රීලනිප නායකයා වූ ඇස්ඩබ්ආර්ඩී බණ්ඩාරනායක මෙම රැස්වීමේ මුලසුන හෙබවීම හර්තාල් සටන වඩාත් සාර්ථකව ඉදිරියට ගෙන යාමට සවියක් විය.

මෙදින පාර්ලිමේන්තුව වටලමින් උද්ඝෝෂණයේ යෙදුණ අතිවිශාල ජනතාව විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් හා බැටන් ප්‍රහාර එල්ල කළේය. අගෝස්තු 6 වනදාට යොදාගෙන තිබූ මහා වැඩ වර්ජනයට අමතරව අගෝස්තු 12 වනදා ‘හර්තාලය’ ස්ථිර වශයෙන්ම පවත්වන බව දන්වා සිටින අවසන් නිවේදනය එහි සංවිධායකයෝ නිකුත් කළහ. හර්තාලයට නායකත්වය දෙනු ලැබූ සියලුම වෘත්තීය සමිති හා වමේ නායකයන්ගේ එම ප්‍රකාශනය අදටද ඉතා වැදගත්ය.
හර්තාලයෙන් මුළු රටම අකර්මණ්‍ය වුවත් වෛද්‍යවරුන් හෝ රෝගීන්ට සම්බන්ධ ආහාර හා බෙහෙත් සපයන්නන් ඇතුළු සෞඛ්‍ය සේවකයන් සටනට සම්බන්ධ කර නොගැනීමට එහි නායකයෝ සදාචාර සම්පන්න වූහ.

එම නිවේදනය මෙසේය.
අගෝස්තු 12 ජාතික විරුද්ධත්වය පළකිරීමේ දිනයක් වශයෙන් පවත්වන්න. එක්සත් කම්කරු පංති නායකත්වයෙන් කරන ආයාචනය. 1. කූපන් හාල්වලට ගෙවූ ආධාර මුදල කපා හැරීම ද පාසල් සිසුන්ට නොමිලයේ දුන් දවල් ආහාරය නැති කිරීමට තැපැල් හා දුම්රිය ගාස්තු වැඩිකිරීමට ද ආණ්ඩුව කළ අනුකම්පා විරහිත තීරණයට සහ ජනතාවගේ ජීවන තත්වයට ගසන අනෙකුත් පහරවල්වලට විරුද්ධවත් 2. බහුල වශයෙන් පවතින රක්‍ෂා හිඟකම , පඩිකැපීම හා කම්කරුවන් අස්කර දැමීමට විරුද්ධවත්, 3. පෙළපාලි රැස්වීම් හා ලවුඞ්ස්පීකර් පාවිච්චිය තහනම් කිරීමෙන් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වැඩිවැඩියෙන් සීමා කිරීමට විරුද්ධවත්, මෙම අගේස්තු 12 වන බදාදා ජාතික විරුද්ධත්වය පළකිරීමේ දිනයක් වශයෙන් පවත්වන ලෙස පහත සඳහන් සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටිති.

තම කඩසාප්පු සහ වෙනත් ආයතන වසා දැමීමෙන් ද, වැඩපලවල්වලට සහ පාසල්වලට නොයාමෙන් ද රැස්වීම් පැවැත්වීමෙන් ද මේ විරුද්ධත්වය පළකිරීමට සහභාගි වන ලෙස අපි ජනතාවගේ සියලුම කොට්ඨාසයන්ගෙන් ඉල්ලා සිටිමු.
ආරෝග්‍යශාලා ඩිස්පෙන්සරි සහ වෛද්‍යායතනවල වැඩකරන්නාවූ ද, ඒ ආයතනවලට කෑම සහ බෙහෙත් සපයන්නාවූ ද, සියලුම අයගෙන් එදිනට වැඩ නොනවත්වන ලෙස ද කළු සලකුණක් පැළඳීමෙන් තම විරෝධය පළකරන ලෙසත් අපි ඉල්ලා සිටිමු.

දොස්තර ඇස්. වික්‍රමසිංහ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, ලෙස්ලි ගුණවර්ධන (නව) ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම්, පිලිප් ගුණවර්ධන (විප්ලවකාරී) ලංකා සමසමාජ පක්ෂයේ ලේකම්, ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා ලංකා කම්කරු සම්මේලනයේ සභාපති, පීටර් කේනමන් ලංකා කම්කරු සමිති සම්මේලනයේ සභපති, ඒ.ඊ. ගුණසිංහ ලංකා කම්කරු සමිතියේ ලේකම්, සී.එච්. හික්කඩුවගේ සමස්තලංකා හාබර් හා ඩොක් කම්කරු සමිතියේ සභාපති, බාලා තම්පෝ ලංකා වෙළඳ සේවක සංගමයේ ප්‍රධාන ලේකම්.

මෙම ප්‍රකාශය “සමසමාජය,” “මව්බිම” යන වමේ පුවත්පත්වලත් සෙසු මාධ්‍යවලත් පළවුණු අතර අත්පත්‍රිකා ලෙසත් රට පුරා විසුරුවා හැර තිබුණි.
අගෝස්තු 07 වන දින ඩඞ්ලි සේනානායක රජයේ 1953 -54 අයවැය යෝජනා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමෙන් අනතුරුව වැඩි ඡන්ද 23 න් දෙවන වර කියවා සම්මත කරගනු ලැබීය. මෙම අයවැය යෝජනාවන්ට විරුද්ධව පාර්ලිමේන්තුව තුළත් රටේත් කෙරුණ උද්ඝෝෂණ හා විරෝධතාවන් කිසිවක් පිළිබඳව නොතැකූ රජය හමුදා හා පොලිසිය මතත් රජයට ගැති පුවත්පත් හා නිලධාරීන් මතත් තම පූර්ණ විශ්වාසය තබා හර්තාල් සටන මර්දනය කිරීම සඳහා කටයුතු යෙදී ය.

හර්තාලයට සම්බන්ධවන්නන් බියවැද්දීමටත් එය අසාර්ථක ව්‍යාපාරයක් බව ඇඟවීමටත් පුවත්පත් බලවත් උත්සාහයක යෙදුණි. හර්තාලයට පෙරදින ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලය “12කට වැඩිය රංචු ගැසී පාරේ යන්න එපා! පොලිස්පතිගේ අණ! වෙනදා මෙන් වැඩ! බස් ගමන වෙනසක් නෑ!” යනුවෙන් ද ඇතුළු පිටුවේ පාර්ලිමේන්තු වාර්තාවේ සිරස්තලය “හදිසි තත්වයකට සෑහෙන තරම් කඳුලු ගෑස් තිබේ. සුළු කලබලයකදී වුවත් වෙඩි තැබීමට අණකර තිබේ ලු! මනා ඉවසීමකින් ක්‍රියා කළ යුතුය.” යනුවෙන් සඳහන්ව තිබුණි.

එහෙත් මේ කිසිවෙකින් ජනතාව බිය වැද්දීමටවත් ඔවුන්ගේ සටන්කාමී පන්නරය මොට කිරීමටවත් පාලකයන්ට නොහැකි විය. අගෝස්තු 11 දා වන විට පසු දා කෙරෙන මහා අරගලයට සියල්ලෝම සූදානම්ව සිටියහ. එදින සවස කොළඹ නගර සභා භූමියේ අතිවිශාල ජනකායක් සහභාගි වූ රැස්වීමක් පැවැත්වුණි. එදින පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය සිසුහු විශාල ප්‍රමාණයක් සටන් පාඨ කියමින් මහනුවර නගරයේ පෙලපාලි ගියහ. පොලිසිය සිසුන්ට බැටන් ප්‍රහාර එල්ලකර එය විසුරුවා හැරීය. මෙලෙස සෙසු විශ්වවිද්‍යාල හා අධ්‍යාපන ආයතන තුළද උණුසුම් වාතාවරණයක් ඇතිවී තිබිණ.

1953 අගෝස්තු 12 වන දා අලුයම හර්තාල් සටන ඇරඹුණි. කම්කරුවන් ප්‍රමුඛ බහුජනතාව රජයට විරෝධය පළකිරීම සඳහා වැඩවර්ජනය කිරීම්, කළුකොඩි එසවීම්, පෙළපාලි, උද්ඝෝෂණ, උපවාස හා සත්‍යක්‍රියාවල නිරත වූහ. මෙම එක්දින නිරායුද ජනතා නැගිටීමට රජය මුහුණ දුන්නේ යුද්ධයකට මුහුණ දෙන අයුරිනි. පොලිස් බලඇණි 600ක්ද, ගුවන් හා නාවුක හමුදාවද මහජන ආරක්ෂාව සඳහා යැයි කැඳවා තිබුණි. රැස්වීම් හා පෙළපාලි යෑම තහනම් කර තිබූ රජය කොළඹ හා ප්‍රධාන නගරවල 11දා රාත්‍රියේ මුර කණ්ඩායම් ද යොදා තිබුණි. මහජන ආරක්ෂක නීතිය අනුව ඕනෑම පුද්ගලයෙකු සිරබාරයට ගැනීම, ඕනෑම දේපලක් රජයට ගැනීම, රජයේ නීතිවලට විරුද්ධවන අයට නඩු පැවරීම කළ හැකිව තිබුණි. කොළඹ හා වෙනත් ප්‍රදේශ කීපයකටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට රජය පසුබට නොවීය.

12 වන දා පැවැති හර්තාලය සීයට සීයක්ම සාර්ථක වීමේ ප්‍රතිඵලයක් ලෙස පසුදා එනම් 13 වන දිනද සටන පැවතියේ ය. කම්කරු පංතිය ප්‍රමුඛ බහුජනතාවගේ සටන්කාමී සමගිය හා ශක්තිය ඉදිරියේ රජය අසරණ විය. මෙම සංවිධානාත්මක ජනතා අරගලය අරාජිකව ඉදිරියට යෑමේ අනතුරක්ද මතුව තිබිණ. අගෝස්තු 13 වන දින පීටර් කේනමන්, පිලිප් ගුණවර්ධන හා ඇන්.ඇම්. පෙරේරා යන නායකයන්ගේ ආයාචනයක් නිකුත් කෙරිණ. එහි මෙසේ සඳහන් විණ.

“1953 අගෝස්තු 12 වන දින හර්තාල් පවත්වන ලෙස කරන ලද අයැදුමට අනුව අනර්ඝ අන්දමින් ක්‍රියා කිරීම ගැන අපි ලංකාවේ බහුජනතාවට ප්‍රශංසා කරමු. සහල් ආධාර මුදල ඉවත් කිරීම ගැනත් ආණ්ඩුව විසින් රටවැසියා මත වෙනත් බර පැටවීම ගැනත් විරෝධය දැක්වීමේදී ජනතාවගේ ශක්තිය හා සමගිය පලකිරීමට අපට පුළුවන් විය. ආණ්ඩුව බියෙන් තැතිගැනී හදිසි අවස්ථාවක් පැමිණවීමෙන්, රට පාලනය කිරීමට ස්වකීය අසමත්කම පළකළේය.

පොලිසියේ හා ආණ්ඩුවේ ප්‍රකෝපකිරීම්වලට හසු නොවන ලෙසට හැමදෙනාගෙන්ම ඉල්ලා සිටිමු. මුලින් නිවේදනය කළ පැය 24 හර්තාලය අද උදේ අවසන් විය. එබැවින් නැවත වැඩට ගොස් තමතමන්ගේ කටයුතු කරගෙන යන ලෙස සියලු දෙනාගෙන්ම අපි ඉල්ලා සිටිමු.”
මෙම ප්‍රකාශයෙන් පසු රටේ පැවති උණුසුම් තත්ත්වය ක්‍රමයෙන් සාමකාමී අතට හැරුණත් රජයේ මර්දනය වඩාත් උග්‍ර වූ බවක් පෙනුණි. හර්තාල් සටනේ ප්‍රාදේශීය නායකයන් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට කටයුතු යෙදීය. මෙසේ පවරන ලද නඩු ප්‍රමාණය 500කට අධික බව ජ්‍යෙෂ්ඨ නීතිඥයකු හා සමසමාජ නායකයෙකු වූ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා ප්‍රකාශකර තිබුණි. හර්තාල් දිනවල ඉතා ශීඝ්‍රයෙන් අලෙවි වූ මව්බිම, සමසමාජය හා සිංහලේ යන පත්‍ර පොලිසිය හා හමුදාව යොදවා විකිණීමට තබා ඇති ස්ථානවලින් ඉවත් කොට තිබුණි. ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයෙකු වූ ඇල්. ජේ.ඇල්. ජෑන්ස් මහතා ප්‍රවෘත්ති බලධාරියා ලෙස පත්කොට පුවත්පත් පාලනයයක්ද ඇතිකොට තිබේ.

අගමැති ඩඞ්ලි සේනානායක මහතා හර්තාල් සටනින් බෙහෙවින් වික්‍ෂිප්ත තත්ත්වයට හා කණස්සල්ලට පත් වූ බව කියති. අගෝස්තු 15 දා සිට දිවයිනේ මහජන ආරක්ෂක කටයුතු ආහාර ඇමති සර් ඔලිවර් ගුණතිලක මහතාට පවරා ඉන් දෙමසකට පසු තම අග්‍රාමාත්‍ය ධූරයෙන් ද ඉල්ලා අස් වී ඇත. කොමියුනිස්ට් පක්‍ෂයේ ලංකා මුද්‍රණාලයටත් සමසමාජ පක්‍ෂයේ ස්ටාර් මුද්‍රණාලයටත් අගෝස්තු 17 වන දින සීල් තබා තිබේ.

1953 අගෝස්තු 31 වන දින පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් හර්තාල් අරගලයේදී පොලිසිය හා හමුදාව විසින් මරණයට පත්කරනු ලැබුවන්ගේ සංඛ්‍යාව 8 ක් බව ඩඞ්ලි සේනානායක මහතා ප්‍රකාශ කොට ඇත. එහෙත් සැබෑ සංඛ්‍යා ලේඛනවල එය ඊට වඩා ඉහළ බව හෙළි වී ඇත.

හර්තාලයේදී මිය ගිය සටන්කාමීන්අතර, 1. එච්.පී.ටී. මාතුපාල(24) 2. බී.ඡේ.ඒ. අල්විස් (28) 3. යූ.ඩබ්. සුදු හකුරු රූබල් (30) 4. ඩී. එස්. ඒ. පියසේන පෙරේරා (38) 5. ඩී. එස්.ඒ. වික්‍රමසිංහ පෙරේරා (22) 6. .කේ.ඒ. සාදිරිස් (50) 7. එම්.ආර්.ඩී. නිකොලස් (15) 8. සුබ්‍රමනියම් පෙරියතම්බි (62) 9. පිටකොටුවේ එඞ්වින් 10. දොඩම්දූව ටී.එම්. පනාගොඩ 11. කිරිල්ලපන ටී. සිරිසේන යන අයද වූහ.
හර්තාලයේ පැවති අවස්ථාවේ දී සිදුවූ මිනිස් ඝාතන, මර්දනය හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන් පිළිබඳව දැඩි කලකිරීමකට හා අසහනකාරී තත්ත්වයකට පත්ව සිටි අග්‍රාමාත්‍ය ඩඞ්ලි සේනානායක එම ධුරයෙන් ඉල්ලා අස්විය. ඉන්පසු අගමැති ධුරයට පත්වූයේ සර් ජොන් කොතලාවලය. 1956 එස්ඩබ්ලිව්ආර්ඩී බණ්ඩාරනායකගේ ඊනියා ජනතා ජයග්‍රහණයට පදනම දමනු ලැබූවේ මෙම බහුජන සටන් ව්‍යාපාරය බවද පැහැදිලිය. වමට රටේ අණ්ඩු බලය ලබාගැනීමට තිබූ මහඟු අවස්ථාව වාමාංශික නායකයන් විසින් නිදැල්ලේ යෑමට ඉඩ හරින ලදැයි යන චෝදනාවක් ද මතුව තිබුණි.
එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව මේ රටේ පවතින තාක් කල් හාල් සේරුව ශත 25 යැයි අගෝස්තු 1 වන දා තම පක්ෂයේ නිල ප්‍රකාශනය වූ සියරට පත්‍රය හර්තාලයට පසු තම පාඨකයන් අමතා ප්‍රකාශ කරන්නේ මෙයයි. “බළලුන් ලවා කොස් ඇට බෑමේ කුරුමාණම වැරදුණේ ය. සිංහලයිනි නැගිටීවා! ජාතිය බේරාගනීවා!. දේශද්‍රෝහී වාමාංශික අලුගෝසුවන් පන්නා දමවු. එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දුන්නේ මීට පසුව දෙන්නේ රට ආරක්ෂා කර ගැනීමට ය. රට බේරා ගැනීමට ය. හාල් හිඟන්නට නොවේ.”

මේ රටේ සියලුම ජනවාර්ගික කොටස් එක්රැස් කරගනිමින් පිහිටුවා ගන්නා ලද එක්සත් ජාතික පක්‍ෂය තම දේශපාලන බලයට දැවැන්ත අභියෝගයක් එල්ල කළ සැබෑ බහුජන අරගලයක් වූ හර්තාලයෙන් පසු මෙසේ හිටි හැටියේම සිංහල ජාතිය ඇමතීම හාස්‍යජනක ය.■