රාවය

දයාට සිරි අපිට නොසිරි

දයාට සිරි අපිට නොසිරි

ඒ.වික්‍රමසුරිය

මෙරට ක්‍රීඩාව තවමත් සංවර්ධනයට යන මගට වැටී නැති බව කිවමනාය. තවමත් සිද්දවන්නේ අඳුරේ අතපත ගෑම බව සිදු වෙමින් පවතින බොහෝ දේ දෙස බලද්දී පැහැදිලිය. වත්මන් ක්‍රීඩා ඇමතිවරයා නොඅවදිවන සිහින ලෝකයක ගැටෙනවා බඳුය. මෙය ක්‍රීඩාවේ අභාග්‍ය සම්පන්න කාල පරිච්ඡේදයක කෙළවර නොදැකීමකී.
ක්‍රීඩා අමාත්‍යවරයාට අකිල විරාජ් හමුවෙන්නැයි අප කීවේ ඔහු අමාත්‍ය ධුරය භාරගත් අලුතය. ඒ අමුතු එකමුතුවකට නොව ක්‍රීඩාවේ අභිවෘද්ධියටය. එහෙත් දේශපාලනිකව දෙගමනක් යන මේ දෙපළට හමුවුණැයි එකට එකට ගමනක් නැති බව කාලයත් සමඟ තහවුරුය. එහෙත් මේ දෙගමන තුළ ක්‍රීඩාවට එකම ගමනක් සැදීම ලේසි පහසු නැත. පාසල අමතක කොට ක්‍රීඩාවට ගමනක් නැති බව අමුතුවෙන් පුන පුනා පෙන්වා දිය යුතු කරුණක් නොවේ. එහෙත් අද පාසල එක මගකත් ක්‍රීඩා අමාත්‍යාංශය තව මගකත් යනු පෙනේ. එහි අවසානය මේ බංකොළොත් ක්‍රීඩා වටපිටාවෙන්ම පෙනේ.

මේ අංශ දෙක එකට යා කිරීමත් ලේසි පහසු නොවනුයේ පාසල් කාලය යනු සම්පූර්ණ ක්‍රීඩාව නොවන නිසාය. ලොකුගේ ක්‍රීඩා ඇමති කල ක්‍රීඩා පාසල් ඉදිකරන බවට කීවා මතකය. එහෙත් ඒ කිසිවක් සිදු නොවුණි. පාසල් කාලයේදී වුව දක්‍ෂතා මතු වන්නේ විවිධාකාරවය. එබැවින් ක්‍රීඩාවට දක්‍ෂ ළමුන් තෝරා ගැනීම සිදු කළ හැකි වනුයේ පාසල් බලධාරීන්ගේ සෘජු මැදිහත් වීම යටතේමය. එය අධීක්‍ෂණය කොට ඉන් ඉදිරියට ගෙන යෑමට ක්‍රීඩා අමාත්‍යාංශයට මේ තත්ත්වය පිළිබඳ සෘජු මැදිහත්වීමක් අවැසිය. එබැවින් මේ දෙපිරිස කඩිනමින් ගිවිසුම් ගත විය යුතුව ඇත.

අද පාසල් ක්‍රීඩාවද විනාශ වී ඇත. බලහත්කාරයෙන් සෑම ළමයකුම ක්‍රීඩා දෙකක් වත් කළ යුතු යැයි නීති ගෙනාවද ක්‍රීඩාවට සිදුව ඇත්තේ විනාශයමය.
අද පාසල් බොහෝමයක පිහිනුම් තටාක ඇතත් පිහිනුම් ක්‍රීඩාව අන්තයටම පිරිහිලාය. මේ තත්ත්වයන් සෑම ක්‍රීඩාවකටම පොදුය.

එහෙව් වටපිටාවක ක්‍රීඩා ඇමති ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර තරගවලට යෑමට සුදුසු ක්‍රීඩක ක්‍රීඩිකා ලැයිස්තු තෝරයි. මේ පිළිබඳ කතා කිරීමට සංගම් ප්‍රධානීහු රැස් වෙති. මුලින් කළ යුතු වන්නේ සංගම් ප්‍රධානීන්ගෙන් ඉදිරි සැලසුම් ඉල්ලා සිටීමය. ක්‍රීඩක ක්‍රීඩිකාවන් මතුකර ගන්නා දුර දක්නා ව්‍යාපෘති මොනවාදැයි විමසීමය. එහෙත් ඇමතිවරයා ඉල්ලනුයේ ඉබ්බන්ගෙන් පිහාටුය. අපට ජාත්‍යන්තර තරගාවලියකදී යන්තම් හෝ ජාමේ බේරා ගත හැකි මලල ක්‍රීඩාවට අද අත්ව ඇති ඉරණම කුමක්ද? ඉන්දියාවේදී පදක්කම් හතරක් දිනා ගත් පසු පාරම් බෑ අප එංගලන්තයේදී මැරතන් (ගැහැනු /පිරිමි) තරගය හෝ අවසාන කළේද? පාලිතගේ කාලයේදී විදෙස් රටවලින් ශ්‍රී ලංකාව නියෝජනය කොට තරගකරුවන් ගෙනඒම ලෙඩක් ලෙස පවතී. මෙවරද කාන්තාවක් මැරතන් තරගය ඇමරිකාවේ සිට පැමිණ නියෝජනය කළාය. එහෙත් ඇය තරගය හෝ අවසන් නොකළාය. මේ තත්ත්වයන් හමුවේ ඇමති ජාත්‍යන්තර තරගවලට යෑමට ලැයිස්තු ඉල්ලයි. ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා බොහෝ දෑ කළ යුතු වුවත් ඔහු කිසිවක් කරනු නොපෙනේ. එවැනි පතෝල චරිත සමග කුමන ගමනක්ද? තවමත් ඇමතිවරයා උපදෙස් ගනුයේ කල් ඉකුත් වූ චරිතවලිනි. සමන් අමරසිංහ නොව මිල්ටන් අමරසිංහද දැන් කල් ඉකුත් වූ චරිතය. ඒ අයගේ කාල වකවානුවල කළ කී දෑ අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් මේ ඇමතිවරයා ක්‍රීඩාව නඟා සිටු වන්නට නම් ඊට අවැසි චරිත සොයා ගත යුතුය. එවැනි පිරිස් නැතැයි කියා ඉවත බලාගෙන මේ ලෙස යන්නම් වාලේ යෑම ක්‍රීඩාවට හොඳ නැති බව කිව යුතුය.

දෙසැම්බර් හෝ සුගතදාස පිටිය අහවර වන්නේ නම් අපූරුය. රට වටා පිට්ටනි හැදීමට පෙර ජාත්‍යන්තර මට්ටමේ ඇති පිටිය සාදා අහවර කළ යුතුය. නිවැරදිව ටෙන්ඩර් දැමිය නොහැකි නිසා ඒවා තවමත් කොට උඩය. තමන් නීතිඥයකු බවත් මිට පෙර ධාවන පථය එලූ සමාගමට එරෙහිව නඩු දානා ඉවත් කී ඇමතිවරයා අද පාර්ලිමේන්තුවේදී කියනුයේ වෙනම කතාවකි. මේ නිසා බොහෝ දේ කතාවට කියන තරම් ලේසි පහසු නැති බව වසර දෙකක් ගත වී හෝ ඇමතිවරයා තේරුම් ගෙන ඇත්නම් හොඳය. බොහෝ දේ කරන බව ඇමතිවරයා කියා ඇතත් කළ දේ නැති තරම්ය. තවත් බලා සිටිනුයේ කළ යුත්තේද ඔහුම වන බැවිනි. ඔහු තවමත් ක්‍රීඩා ඇමති වන බැවින්ය.■