රාවය

සීතා රංජනී: දශක තුනක සමාජ චරිතාපදානයක්

සීතා රංජනී: දශක තුනක සමාජ චරිතාපදානයක්

අතුල විතානගේ

වන්නිහාමිලාගේ සීතා රංජනී උපන්නේ 1954 ජාත්‍යන්තර ස්ත්‍රී දිනයේදී ය. අනුරාධපුර නගරයට සැතපුම් කිහිපයක් ඔබ්බෙන් පිහිටි පෙරිමියන්කුලම ගොවි පවුලක සහෝදර සහෝදරියන් හය දෙනෙකුට වැඩිමහල් වෙමිනි. ‍
පෙරිමියන්කුලම අශෝක මහා විද්‍යාලයෙන් පාසල් දිවිය ඇරඹූ සීතා, ඒ කාලයේ සිටම ලේඛන කලාවටත්, ක්‍රීඩාවටත් එක සේ දස්කම් දැක්වූවා ය. 1973 දී අනුරාධපුර දිස්ත්‍රික් පාසල් කාව්‍ය නිර්මාණ තරගයකින් පළමු ස්ථානය දිනා ගැනීමෙන් උත්ප්‍රේරණයක් ලද ඈ ඉන් පසු දිගින් දිගටම නිර්මාණකරණයේ යෙදුණාය. එවකට ජනප්‍රියම සන්නිවේදන මාධ්‍යය වූ ගුවන් විදුලිය ඔස්සේ ඇගේ නිර්මාණ ප්‍රචාරය වීමත් සමඟ පෙරිමියන්කුලමේ සීතා රංජනීගේ ගම සහ නම ශ්‍රාවකයන් අතර මතකයේ රැඳිණ.
‘1977 බලයට පත් වුණු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ පළමුවෙනි ප්‍රාදේශීය ගුවන් විදුලි සේවය විදියට රජරට සේවය 1979 දී ආරම්භ කළා. රජරට සේවයේ වැඩ පටන් ගත්තේ අප්‍රේල් 12 වැනිදා. අප්‍රේල් 18 වැනිදා මට රජරට සේවයෙන් ලියුමක් ආවා. එදා මගේ කෙටිකතා නිර්මාණයකුත් අරගෙනයි මම ගියේ. කෙටි කතාබහකින් පස්සේ ස්වර්ණ ශ්‍රී බණ්ඩාර මාව අසන්නන්ට හඳුන්වලා දීලා, කෙටිකතාව මටම ඉදිරිපත් කරන්න කිව්වා. කවි, කෙටිකථා, ගීත රචනා, ගුවන් විදුලි නාට්‍ය පිටපත් රචනා වගේම ගුවන් විදුලි සඟරාමය වැඩසටහන් ද ඉදිරිපත් කරන්න රජරට සේවය තුළින් ලැබුණා. 80 ජූලි වැඩ වර්ජනය ගැන මම ගුවන් විදුලි නාට්‍යයක් ලිව්වා. ඒකේ ව්‍යංගයෙන් වර්ජනය ගැන කියනවා. යූඑන්පී ආණ්ඩුව වර්ජනය සම්බන්ධයෙන් අරගෙන ගියේ දැඩි මර්දනකාරී වැඩපිළිවෙළක්. ඒත් ඒ පිළිවෙතට පටහැනිව ලියැවුණු මේ කියන නාට්‍යය කරන්න ස්වර්ණ ශ්‍රී බණ්ඩාර සම්පූර්ණ නිදහස දුන්නා.’
1983 ජුලි සංහාරය තුළ අත්දුටු දේ විසින් සීතා රංජනීගේ නිර්මාණ් වෙනස් මඟකට යොමුකෙරිණි. ඉන්පසු ඇගේ බොහෝ නිර්මාණයන් විහිදුණේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්, ජනවාර්ගික සමගිය වැනි තේමා ඔස්සේ ය. ‘අපිත් එක්ක එකට ජීවත් වුණු මිනිස්සුන්ට සිද්ධ කළ ඒ අපරාධය මගේ හිත කම්පාවට පත් කළා’ ඈ පවසයි.
රජරට සේවයට සම්බන්ධ වීම සමඟින් ගොඩනැඟු‍ණු සබඳතා තුළින් සීතා රංජනීගේ නිර්මාණ දිවිය මෙන්ම සමාජ දේශපාලනික ක්‍රියාකාරිත්වය ද වර්ධනය විය. ඒ වන විට සුනිලා අබේසේකර හා සුනිල් විජේසිරිවර්ධන යුවළ පදිංචිව සිටියේ අනුරාධපුරයේ ය. ඔවුන් අරම්භ කර තිබු ‘කිණිහිර’ අධ්‍යයන කවය තුළ කලා, සංස්කෘතික, සමාජ හා දේශපාලන ප්‍රවණතාවන් පිළිබඳව නිරන්තරයෙන් කතාබහ කෙරිණ.
‘සෑම සතියකම අපි කණ්ඩායමක් විදියට සුනිල් අයියලාගේ ගෙදරදී හම්බ වෙනවා. සමාජ සංස්කෘතික දේවල් මෙන්ම දර්ශනවාදය, දේශපාලන ගැන සංවාදවලින් මුළු‍ රාත්‍රියක්ම ගතකෙරෙනවා. නන්දන මාරසිංහත්, ලීනා අයිරින් හපුතන්ත්‍රීත් මේ හමුවීම් ඔස්සේ මට හඳුනාගන්න ලැබුණු දෙන්නෙක්.’
1986 වසර සීතාට තීරණාත්මක වසරකි. ඒ කොළඹ සිට පළකෙරුණු ‘විවරණ‘ සඟරාවේ සංස්කාරක මණ්ඩලය වෙත එක්වීමට ලැබුණු ඇරියුම හේතුවෙනි. අනුරාධපුර අත්හැර කොළඹ එන්නට ඇයට සිදුවූයේ ඒ නිසා ය.
‘අනුරාධපුරය දාලා කොළඹ එන්න බැරි විශේෂ හේතුවකුත් මට තිබුණේ නැහැ. කොළඹ ඇවිත් මාස තුනක් විතර බෝඩිමක නතර වෙලා තමයි ‘විවරණ‘ රැකියාවට ආවේ ගියේ. මාස තුන ගතවෙන කොට මට බෝඩිම් ජීවිතය තිත්තවෙලායි තිබුණේ.’
ලීනා අයිරින්, කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිනියක ලෙස කටයුතු කළාය. සීතා දැනහඳුනාගෙන සිටි ලීනා එවකට රාජගිරියේ පවත්වාගෙන ගිය කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ කාර්යාලයේ කාමරයක් සීතා වෙනුවෙන් පිළියෙල කර දුන්නාය.
‘එතැන මට හරි නිදහස් තැනක් වුණා. අද දක්වාම තනියම ජීවත්වෙන්න, සියලු දේම තනිවම කරගන්න මම පුරුදු වුණේ එතැනදීයි.’‍
‘‍ලීනා සතියකට දවසක් එතැන නවතිනවා. අපි බොහෝ දේ කථා කරමින් ඒ රාත්‍රීන් ගෙවලා දැම්මා. විවරණ කාර්යාලය තිබුණු ගොඩනැගිල්ලේම තමයි ප්‍රජාතන්ත්‍රීය අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය (එම්ඩීඩීආර්) කාර්යාලය තිබුණේ. විමල් ප්‍රනාන්දු, එස්ජී පුංචිහේවා, සිවගුරුනාදන් වගේ අය හමුවුණේ එතැනදීයි. විවරණට හිටියේ කුඩා කාර්ය මණ්ඩලයක්. ප්‍රධාන සංස්කාරක වින්සන්ට් කුරුඹාපිටිය. විවරණේ වැඩවලට අමතරව මම නිවාඩු වෙලාවට ලීනාලාගේ කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ වැඩවලටත් සම්බන්ධ වෙනවා. එතැනින් පළකළ ‘ශක්ති’ සඟරාවේත් මම මූලික වැඩ කොටසක් කළා. ඒ නිසා සති අන්තය ගෙවුණේ සාමූහිකයේ වැඩසටහන්වලින්.’
1983 ජුලි මාසයේ දියත් වූ දෙමළ සංහාරයෙන් පසු, ජයවර්ධන ආණ්ඩුව විසින් තහනමට ලක්කෙරුණු ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට එරෙහිව සන්නද්ධ ක්‍රියා මාර්ගවලට අරඅඳිමින් සිටි වකවානුව එළඹියේ මේ කාලයේ ය. ලීනා අයිරින් හපුතන්ත්‍රී රාජගිරියේ දී හදිසි අනතුරකට ලක්වූවාය. ඒ දිනවල ලීනා ඇසුරු කළ බොහෝ සමාජ ක්‍රියාධරයන් සැකකළේ එය ජවිපෙ සැලසුම් සහගත ක්‍රියාවක් බව ය. එසේ සැක කිරීමට හේතුවූයේ ඒ වන විටත් ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායක දයා පතිරණ පැහැරගෙන ගොස් ඝාතනය කරන්නට ජවිපෙ ක්‍රියා කළ නිසා ය.
‘ලීනා ඇක්සිඩන්ට් වුණා කියලා පණිවිඩය ලැබිලා එයාව බලන්න යන්න කියලා මම නැවතිලා හිටිය කාමරයට ගියා. එතැන පොලිසියෙන් ඉඳලා මාව අත්අඩංගුවට ගත්තා. එහෙම අරගෙන මගේ සංවිධානය ගැන අහනවා. ඔෆීස් එකේ තිබුණු සියලුම ලියකියවිලි පොලිසිය බාරයට ගත්තා. රොහාන් පෙරේරා මෙතැනට ආවා ලීනා ඇක්සිඩන්ට් වුණු පණිවිඩය කියන්න. එයාවත් අත්අඩංගුවට ගත්තා. දෙන්නාවම වැලිකඩ පොලිසියට අරගෙන ගියා. මේ දවස්වල සෑම සති අන්තයකම අපි සංවිධානය කරලා තිබුණා කවි ගැන වැඩසටහනක්. ඒක මෙහෙයවන්න සුනිල් විජේසිරිවර්ධන අනුරාධපුරේ ඉඳන් එදා රාත්‍රියේ මෙතැනට ඇවිත් තියෙනවා. රැකවල් ලාගෙන සිටි පොලිසිය එයාවත් පොලිසියට අරගෙන ආවා. කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ ප්‍රධානියා හැටියට සුනිලා අබේසේකරව පොලිසියට ඉදිරිපත් කරන පොරොන්දුව මත සුනිල් විජේසිරිවර්ධන නිදහස් කළා. රොහාන් පෙරේරාවත් පසුව නිදහස් කරලා මාව විතරක් තියාගෙන දිගින් දිගටම ප්‍රශ්න කළා. ලීනාගේ බෑග් එකේ තිබිලා හමුවුණු ලිපියක් තමයි මේ දැඩි ප්‍රශ්න කිරීමට හේතු වුණේ.’
මේ ව්‍යාකුලත්වයට පසුබිම් වූයේ වෙනත් සිදුවීමකි. එවකට ‘රාවය’ සඟරාවට සත්‍යපාල ගල්කැටිය විසින් ලියන ලද ස්ත්‍රී විරෝධී ලිපියකට කාන්තාව හා මාධ්‍ය සාමූහිකය පිළිතුරු ලිපියක් මඟින් අභියෝග කොට, ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට සාමූහිකයේ කාර්යාලය වෙත පැමිණෙන ලෙස ඉල්ලා තිබිණ. ඊට පිළිතුරු ලිපියක් ලියූ සත්‍යපාල ගල්කැටිය එම ඇරියුම ප්‍රතික්ෂේප කර සිටියේ ‘ඔවැනි මුඩුක්කුවලට’ පැමිණිය නොහැක්කේ දයා පතිරණට සිදුවූ දේ තමාට ද සිදුවිය හැකි බව පවසමිනි. මේ ඔස්සේ පරීක්ෂණ මෙහෙයවීමට පොලිසිය උත්සුක වූයේ ලීනා හා මාධ්‍ය සාමූහිකය දයා පතිරණ ඝාතනයට සම්බන්ධ බවට සැකකරමින් ය.
‘දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් පස්සේ අන්තිමට පොලිසියට තේරුණා අපි මේකට කිසිම සම්බන්ධයක් නැහැ කියලා. මාව නිදහස් කළා. මම කෙලින්ම ගියේ හොස්පිටල් එකට ලීනා බලන්න. එදා දවසම ලීනා ළඟ හිටියා. එයාව පාර පනින කොට කාර් එකක හැප්පිලා, වැදිලා තිබුණේ ඔළුව. අනතුරින් පස්සේ එයාට සිහිය ආවේම නැහැ. පහුවදා එයා මියගියා. ඇත්තටම සොයාබලද්දී කාටත් වැටහුණා ඒක ජවිපෙ සැලැස්මක් නෙවෙයි කියලා.’
‘‍ලීනා ශක්තිමත් ගැහැනියක්. ලියන්න, ස්වාධීනව වැඩ කරන්න පටන්ගත්තා විතරයි, එයා නැතිවුණා. පස්සේ මම මුලික වෙලා ලීනාගේ කවි එකතු කරලා ‘ගර්භිතයාගේ නිදි නැති සිත’ කියලා පොතක් කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ මූලිකත්වයෙන් ප්‍රකාශයට පත් කළා.’
විවරණ සඟරාවෙන් සීතාගේ රැඩිකල් නික්ම යෑම කොළඹ කේන්ද්‍රීය සිවිල් සමාජ ක්‍රියාකාරිත්වයන් තුළ කතාබහට මෙන්ම ඇගයුමට ද ලක් විය. අනෙක් අතට ඇයට ජීවත් වීමේ අර්බුදයකට ද මුහුණ දෙන්නට සිදුවිණි. සීතාට මර්ජ් සංවිධානයේ ප්‍රධානි චාල්ස් අබේසේකර හමුවූයේ එවකට මර්ජ් සංවිධානයේ සහකාර ලේකම් සීජේ අමරතුංග හරහා ය. ‘චාලි හරිම නිහතමානී කෙනෙක්, අනෙකාට ගරු කරන, ඇහුම් කන් දෙන නිවුණු කෙනෙක්.’ ඈ කියයි.
ජනවාර්ගික සමගිය වෙනුවෙන් සාහිත්‍යකරණයේ යෙදෙන නිර්මාණකරුවන් දිරි ගැන්වීම උදෙසා ඔවුන්ගේ නිර්මාණ හඳුන්වා දෙන සඟරාවක් මුද්‍රණය කිරීම ඇයට භාරකෙරිණි. ඒ වන විට මර්ජ් සංවිධානය හරහා කෙටි පුවත් හසුනක් මුද්‍රණය වෙමින් තිබිණි. ඒ රාජ්‍ය නොවන සංවිධානයන්හි විවිධ ක්‍රියාකාරකම් වාර්තා කරනු පිණිස ය. ‘යුක්තිය’ නම් වූ එම පුවත් හසුන සංස්කරණය කරනු ලැබුයේ සුනන්ද දේශප්‍රිය විසිනි.
ඉන්දු-ලංකා සාම ගිවිසුමට එරෙහිව දකුණේ කැරලිකාරීත්වය පුපුරා ගියේ 1987 ජූලියේදී ය. ගිවිසුමට පක්ෂපාතීවුන් දේශද්‍රෝහීන් ලෙස නම් කළ ජවිපෙ සිය ආණ්ඩු විරෝධී යුද ව්‍යාපාරයේ ප්‍රධාන ඉලක්කයක් බවට පෙරලා ගත්තේ සුළුතර ජන කොටස්වලට කිසියම් හෝ විසඳුමක් ඉන්දු-ලංකා ගිවිසුම ඔස්සේ ලබාදීමට මුල් වූ වාමාංශික සහ විකල්ප සමාජ ක්‍රියාකාරිකයන් ය. ඒ හේතුවෙන්ම මර්ජ්, එම්ඩීඩීආර් හා කාන්තාව හා මාධ්‍ය සාමූහිකය වැනි සංවිධාන වැටුණේ ද ‘දේශද්‍රෝහීන්ගේ’ කඳවුරට ය.
‘මේ වෙනකොට අපිටත් දේශද්‍රෝහී ලේබලය වැදිලා තිබුණේ. නමුත් භීෂණය දරුණු වුණා කියල අපි අපේ වැඩ නතර කළේ නැහැ. නන්දන මාරසිංහ, විජය කුමාරතුංග, ජේමිස් ඇතුගල ඇතුළු ප්‍රගතිශීලී පිරිස් එහි ප්‍රතිඵලයක් විදියට ඝාතනය වුණා. විජයගේ මළගෙදරදී අපි විජයගේ ප්‍රකාශයක් බෙදුවා. මායි ප්‍රගීත් එක්නැලිගොඩයි, සීජේ අමරතුංගයි, නිර්මාල් රංජිත් දේවසිරියි එකතු වෙලා තමයි ඒක කළේ.’
මේ වන විට එජාප ආණ්ඩුවෙන් මෙන්ම ජවිපෙ සන්නද්ධ කණ්ඩායම් මඟින්ද පුද්ගල ඝාතන සිදු කෙරිණි. දෙපාර්ශ්වයෙන්ම සිදුකෙරෙන ඝාතන නවත්වන ලෙස ඉල්ලා මර්ජ් සංවිධානය විසින් පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කරන්නට තීරණය කරන ලද්දේ ඒ නිසා ය. සීතා රංජනී ඊට ද මුල් විය.
‘දේශපාලන ඝාතන නවතනු!’ කියන පෝස්ටරය නිර්මාණය කළේ ප්‍රගීත් එක්නැළිගොඩ. ඒ වෙනකොට පුල්සරා ලියනගේලා ගොඩනඟා තිබූ ‘ලක්බිමේ මව්වරු සහ දියණියෝ’ කියන සංවිධානයෙනුත් මේ වගේ පෝස්ටරයක් නිර්මාණය කළා, ‘මරුවන් බිලිගත් දරුවන් කෝ?’ කියලා. ඒකත් මුද්‍රණය කිරීම අපිට තමයි පැවරුණේ. ස්වාධීන ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරී ශිෂ්‍ය පිරිස් තමයි ඒක ඇලෙව්වේ.’
1989 භීෂණයෙන් දිවි ගලවාගැනීමට සීතා සමත්වුවද අවදානම් කලාපයේම තවදුරටත් ගැවසෙන්නට ඇයට සිදුවිය. 1990 වන විට මර්ජ් සංවිධානය ප්‍රකාශයට පත් කරමින් තිබුණු ‘යුක්තිය’ පුවත් හසුන හා ‘සංකලන’ නම් කලා නිර්මාණ අතිරේකය එක්කොට වෙළඳපොළට නිකුත් කළ හැකි පුවත්පතක අවශ්‍යතාව පිළිබඳ යෝජනා ඉදිරිපත් කෙරුණේ ඒ කාලයේදී ය. ඒ අනුව ටැබ්ලොයිඞ් පුවත්පතක් ලෙස මුද්‍රණය කරන ලද ‘යුක්තිය,’ එම වසරේ මැයි දින රැළියේදී පාඨකයන් අතරට පත් කෙරිණි.
‘මුලින්ම පත්තරේට හිටියේ මමයි සුනන්දයි විතරයි. මාස දෙකකට විතර පස්සේ තමයි සීජේ අමරතුංග, නිර්මාල්, ජෝ සෙනෙවිරත්න පත්තරේට ලියන්න සම්බන්ධ වෙන්නේ.’
යුක්තිය මුද්‍රණය කළේ 1971 ජවිපෙ නායකයෙකු ලෙස ක්‍රියාකළ කෙලී සේනානායකට අයත් දෙහිවල නවමඟ මුද්‍රණාලයේ ය. 1991 වසරේ එවකට ජනාධිපති ප්‍රේමදාස නවමඟ මුද්‍රණාලයට සීල් තැබුවේ යුක්තිය පත්‍රයේ මුද්‍රණය වළක්වන අදහසිනි. එහෙත් වෙනත් මුද්‍රණාලයක් මගින් යුක්තිය මුද්‍රණය කර වෙළඳපොළට නිකුත් කෙරිණි. ප්‍රේමදාසගේ එම ක්‍රියාවත් සමගින් යුක්තිය පාඨකයන් අතර තවත් ජනප්‍රිය විය.
මාධ්‍ය හා සමාජ ක්‍රියාකාරී ක්ෂේත්‍රයට සම්බන්ධවීමත් සමඟින් සීතා රංජනීට සිය නිර්මාණකරණයට තිබුණු ඉඩප්‍රස්ථා ගිලිහී ගිය බව ඇතැම්හු කියති. ඒ හමුවේ ඇගේ පිළිතුර තියුණු ය.
‘පොඩි කාලේ ඉඳලාම අදහස් කළේ කිසියම් පොදු සාමූහික වැඩක යෙදෙන්න. ඒ හින්දා මම සමාජය වෙනුවෙන් මගේ ශක්ති ප්‍රමාණයෙන් වැඩ කළා. පොත් ප්‍රකාශකයෙක් මාව හමුවෙන්න දින කිහිපයක්ම ඇවිත් මගේ නිර්මාණ ඉල්ලු‍වා පළකරන්න. ඒත් මට හිතුණා මගේ නිර්මාණ පොතක් විදිහට පළකරන්න තරම් උසස් තත්ත්වයේ නැහැ කියල. මම දායකවුණේ පොදු වැඩවලට. මම ඒකෙන් තෘප්තිමත්. දෝංකාරය: යුද බිමෙන් උපන් කවි, කතාකරන ගිනි දැල්, රාමන්: දෙමළ ගරිල්ලෙකුගේ කතාව, තන්ගම්මා (ගීත රචනා), බැරි බර ගෙනියන්නෝ (ගුවන් විදුලි නාට්‍ය) යක්කු (දෙමළ කෙටි කථා එකතුව) සුනාමි වැන්දඹුවෝ වැනි මම පළකළ හැම ප්‍රකාශනයක්ම ඉදිරිපත් වෙලා තියෙන්නේ සමාජ වැඩක පල විදියට.’
1998 සීතාගේ ජීවිතයට තීරණාත්මක වූයේ ඒ වසරේදී ඇය බරපතළ ලෙස රෝගාතුර වීම නිසාය. ඇය පිළිකා රෝගයෙන් පෙළෙන බවට වෛද්‍යවරුන් විසින් තහවුරු කරන ලද විට සීතා ඊට මුහුණ දුන්නේ දැඩි අදිටනින් යුතුව ය. ඒ දිගින් දිගටම ලේඛනයේ යෙදීමෙනි. ‘දෝංකාරය‘ නමින් පළකළ කෘතිය ඇය අතින් ලියැවුණේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි.
‘කොහොම නමුත් අදත් මම දිගින් දිගටම වෙහෙස නොබලා වැඩ කරනවා. විවේකය කියන එක මගේ ජිවිතයට නුහුරු දෙයක් වගේ.’
මාධ්‍යවේදිනියක ලෙසින් සීතා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ආරම්භයේ සිට අද දක්වාම ක්‍රියාකාරිනියකව සිටින්නීය.
‘අනෙක් මාධ්‍ය සංවිධානවලට සාපේක්ෂව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ස්ත්‍රීපුරුෂ සමාජභාවී තුලනය පිළිබඳව යම් තරම් දුරකට සංවේදීයි. ඒත් ප්‍රමාණවත් නැහැ. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේත්, යුක්තිය පත්තරේත් මම වැඩ කළේ බහුතරයක් පිරිමින් එක්ක උරෙන් උර ගැටෙමිනුයි. යම් කනගාටුදායක දේ තිබුණත් මට ශක්තියක් තිබුණා අද වෙනකම් අවුලක් නැතුව මේ ක්‍ෂෙත්‍රයේ වැඩ කරන්න.’
2015දී යළිත් රෝගාතුර වූ ඇය මේ දක්වා අඛණ්ඩව ප්‍රතිකාර ලබන්නීය. තිස් අට වසරක් තිස්සේ මාධ්‍යවේදිනියක හා සමාජ ක්‍රියාකාරිනියක වශයෙන් ගෙවූ දුෂ්කර හා සක්‍රිය දිවිය පිළිබඳ සීතා රංජනීගේ ආවර්ජනයන් දශක තුනක් පිළිබඳ වැදගත් දේශපාලන හරස්කඩකි. ප්‍රචණ්ඩත්වයෙන්, භීෂණයෙන්, වර්ගවාදයෙන් හා සංහාරයන්ගෙන් සලකුණු වූ ඒ දශක තුන දෙස ආපසු හැරී බලන ඇය, ඇතැමෙකු පිළිබඳ මතකය මිතුරු බැතියෙන් සමරන්නී ය.
‘මගේ මාධ්‍ය ජීවිතයට ඇත්තෙන්ම නම් රුකුලක් වුණේ රජරට සේවයේ ස්වර්ණ ශ්‍රී බණ්ඩාරයි. මගේ හැකියාවන් දියුණු කරගන්න ඔහු කළ අගය කිරීම් වගේම, මට දුන්නු නිදහසත් ඉතාමත් වටිනවා. සමාජ ක්‍රියාකාරිනියක් ලෙස වැඩෙන්න මට ආලෝකයක් වුණේ සුනිලා අබේසේකර සහ කුමුදුනී සැමුවෙල්. ඔවුන්ගෙන් ලැබුණු දැනුම අදත් මට ශක්තියක්.’ ඇය කියයි.■
(උපුටාගන්නා ලද්දේ www.jdslanka.org වෙබ් අඩවියෙනි. පුවත්පතේ ඉඩ සලකා මුල් ලිපිය සංස්කරණය කර ඇති බව සලකන්න.)