රාවය

මිනිසෙක්, ගමක් සහ පාඩමක්

මිනිසෙක්, ගමක් සහ පාඩමක්

නිමල් අබේසිංහ

ඔහු දිවිගෙවුයේ අබලන් ලැයිම් කාමර, අගුපිල් හා පොළභූමිවලය. ඒ නිසාම වැස්සකටවත් පාසලකට ගොඩවැදීමේ වරම අහිමිවූවෙකි.
පාසලක අකුරු නොකළද හෙතෙම සමාජ සංවර්ධනයෙහි සමතෙකි. පාසල් නොගිය මේ මිනිසාගෙන් ඉගෙනගත හැකි පාඩමකුත් තිබෙයි. අනුනට අතපාමින් ජීවත් වූ පවුල් විසිහයකට ඉන්න හිටින්නට තැන් සපයා දී තවදුරටත් අනුන්ට අත නොපා ජීවත්වීමේ රටාව ද ඉගැන්වීම ඒ පාඩමය.
පුදුමය නම් ඔහුද මුලදී බිම් අඟලක්වත් අහිමිව එදිනෙදා ජීවත්වන්නට අනුන්ට අත පා දිවි ගෙව්වෙකු වීමය. එවන් අයෙකුට මෙවැනි පෙළහරක් පාන්නට හැකිද? එය සත්‍යයක් විය හැකිද? ප්‍රශ්නවලට පිළිතුරු සොයන්නට කලාවැව, අවුකන, ඇත්පවුර (අලි වංගුව) ගමට යා යුතුය. යායුත්තේ ගලේවෙල කැකිරාව පාරේ බළලු වැව හන්දියෙන් හැරී දිවෙන අවුකන මාර්ගයේ ගොස් දුම්රිය ගේට්ටුව පසුකරන විට මුණගැසෙන නෑගම පාරෙන්ය. නෑගම පාරේ කිලෝමීටර් තුනක් පමණ ගිය තැන ඇත්පවුර ගම මුණ ගැසෙයි.

මහමඟට වැටීම
එස්ආර්. ඩබ්ලිව් ශාන්ත කුමාර ඇත්පවුර ගමේ නිර්මාතෘවරයා පමණක් නොව ගම්පතියා බවට ද ඉබේම පත්ව සිටියි. ඔහු ගම නිර්මාණය කිරීමේ දීර්ඝ කතාවට මුල පිරුවේ මෙලෙසය.
“අපි ඉපදුණේ කැකිරාවේ මල්දෙනිපුර කියන ගමේ. තාත්තා මේසන් වැඩ තමයි කළේ. දවසක් තාත්තා වැඩට ගිහින් ඇවිත් අසනීපයි කියලා නිදාගත්තා. මේ අසනීපේ දිගටම තිබුණ නිසා රෝහලට ගිනිච්චා. කකුලේ ඇඟිල්ලක තුවාලයක් තිබිලා ඔපරේෂන් කළා. ඒත් හොඳ වුණේ නැහැ. කිහිලිකරුවලින් තමයි ඇවිදින්න සිදුවුණේ.”
මේ අකරතැබ්බයට පසුව බිරිඳ සහ දරු දෙදෙනකුගේ බඩවල් පුරවන්නට අන් මඟක් නැති තැන ශාන්තගේ පියා කළේ සිඟමන් යැදීමයි.
“මට අවුරුදු පහක් පහමාරක් විතර වෙනකොට තාත්තාගේ කකුල වකුටු වුණා. කිහිලිකරුවලින් යන්නත් බැරිවුණා. ඊට පස්සේ රෝද තුනේ බයිසිකලයක් ඉල්ලාගෙන තාත්තාවත් තියාගෙන ගෙයක් ගෙයක් ගානේ තල්ලු කරගෙන යන්න වුණේ මටයි. මේ නිසාම මට ඉස්කෝලේ යන්නත් බැරි වුණා.”
දිරිමත් මිනිසකු වුවත් අතීතය සිහිපත් කරත්දී ශාන්තගේ දෙනුවන් අඩවන්ව හිස බිමට හැරෙයි. ඒ වන විට උපන් ගමින් පිටවෙන ශාන්තලාගේ වාසස්ථාන වී ඇත්තේ රජයේ වැඩ දෙපාර්ත මේන්තුවේ කලාවැව ලැයිම් කාමරයක්ය.
පත්තර රස්සාව
“අපි කලාවැව ලැයිම් කාමරයේ ඉන්න කාලේ ගෙවල්වලට ගිහින් මොනවා හරි ඉල්ලාගෙන ගෙදර ආවාට පස්සේ මම නිකන් හිටියේ නෑ. ගල්නෑවේ තියෙනවා සරත්චන්ද්‍ර ටේ්‍රඞ් සෙන්ටර් කියලා කඩයක්. මේ කඬේ අයිති යසවතී දසනායක නෝනාට. මම මේ කඬේට ගිහින් අතුපතු ගාන්න එහෙම උදව් වෙනවා. යසානෝනා මට හරි ආදරෙයි. දවසක් එයා, කොල්ලෝ හැමදාම එක එක්කෙනාට අත පාලා ජීවත්වෙන්න බෑ. උඹ පත්තර ගිනියන්න පුරුදු වෙයන්. ඉස්සරලා ෆුට් සයිකලේ පුරුදු වෙලා ඊට පස්සේ මෝටර් බයිසිකලේ පුරුදුවෙයන් කියලා කීවා. මම එක පයින් කැමති වුණා.
දැන් ශාන්ත පත්තර බෙදාහරින්නෙකි. ප්‍රදේශය පුරා පුවත්පත් බෙදාහරින ශාන්තට ගල්කිරියාගම වනසිංහ රජමහා විහාරයේ තබ්බෝවේ පඤ්ඤානන්ද හිමි මුණගැසෙන්නේ මේ අතරේය. පඤ්ඤානන්ද හිමි පිරිවෙන් ගුරුවරයෙකි. අවසන් පත්තරය පන්සලට ගෙනයන ඔහු හමුදුරුවන් පිරිවෙනේ සිට ආපසු එන තෙක් බලා සිට අකුරු ඉගෙනගත්තේය. පෙරලා කඩයට එන ඔහු යසා නෝනා ගණන් මිනුම් බලන තෙක් පුවත්පත් කියවන්නේය.
“මම පත්තර කියෙව්වා. වෙනකක් තියා ඉංග්‍රිසි පත්තරත් කියෙව්වා. හැබැයි හෙඞ්ලයින් විතරයි.”
පුවත්පත් කියවීමට වහවැටුණ හැටි ශාන්ත කියයි. මේ නිසාම දෝ ඔහු ඒ ප්‍රදේශයේ සිදුවූ ආන්දෝලනාත්මක සිද්ධියකදී අගතියට පත් පාර්ශ්වයට උදව්කරන්නටද නොපසුබට වූයේය. අරුමය නම් පුවත්පත් බෙදන්නට යොමුවන විට ඔහුගේ වයස අවුරුදු නමයක් වීමයි.
“අසූඅට අසූනමය කාලේ පත්තර බෙදන්න දුන්නේ නෑනේ. ඒත් මම පත්තර බෙදුවා. මම පුංචි එකා හින්දාද කොහේද කිසි කෙනෙක් මට පත්තර බෙදන්න එපා කීවේ නෑ.” ඔහු අතීතය පීරයි.

කබලෙන් ළිපට
කලා වැව ආසනයේ පැවති බලය වෙනත් පක්‍ෂයකට අත්වන්නේ ශාන්තලාට උන්හිටි තැනද අහිමි කරවමිනි. ඒ එතෙක් ඔවුන් විසූ ලයින් කාමරයෙන් ඉවත්වන්නට සිදුවීමයි. කලා වැවට අභිනවයෙන් පත්වූ බර්ටි ප්‍රේමලාල් දිසානායක ඇමතිවරයා ශාන්තලා විසූ ස්ථානයේ තැපැල් කාර්යාලයක් ඉදිකරන්නට යන බැවින් ඉවත්වන්න යැයි නියෝග කර ඇත. එහෙත් අදටත් එහි තැපැල් කාර්යලයක් ද ඉදිකර නැත. ඉවත් කිරීම දේශපාලනික එකක් බව ශාන්ත කියයි.
“අපි එතැනින් ගල්නෑවේ පොළට ආවා. එතැන තමයි අපේ වාසස්ථානය වුණේ. අම්මා පොළ අතුගෑවා. පොඩි පඩියකුත් හම්බවුණා.”
මේ වන විට ශාන්තලාගේ පවුලේ සාමාජිකයන් ගණන මව සහ පියා සමඟ පස්දෙනෙකි. ශාන්ත තවමත් පත්තර රස්සාව කරයි. පත්තර බෙදා හැරීම නිසා ශාන්තට විවිධ පුද්ගලයන් සමඟ සබඳතා ගොඩනගා ගැනීමට අවස්ථාව හිමි වූයේය. හිතවත් වූ ඔවුන් සමඟ ශාන්ත කතාබහේ යෙදෙයි.
“මහත්තයා මගේ අදහසක් තියෙනවා. අපි වාගේ අසරණ අය එකතු කරලා ගමක් හදන්න. ඒකට ඉඩමක් හොයාගන්න ඕනෑ.”
එවන් අවස්ථාවලදී බොහෝ දෙනා කරන්නේ “කොල්ලෝ ඒක නම් හොඳ වැඬේ. උත්සාහ කරපන්, අපිත් උදව් කරන්නම්” යන දිරිගැන්වීමය.
හෙනහුරා පාත් වන්නේත් හිඟන්නාගේ පාත්තරයට යැයි කියමනක් තිබේ. ශාන්තලාටද මේ ඉරණම අත්වන්නේ ගල්නෑව පොළේ සිටියදීය. ඒ ඔහුගේ පියා මියයෑමයි.
“තාත්තාගේ මිනිය තිබ්බෙත් පොළේම තමා. අවසන් කටයුතු කළාට පස්සේ මම ලොකු කල්පනාවකට වැටුණා. මට ආයෙත් කට්ටියට අත පාන්න සිද්ධ වුණා. ඒ නිසා බස්වල සිංදු කීවා. අම්මායි නංගිලා දෙන්නායි ජීවත් කරවන්න. මොකද අම්මාටත් මේ වෙනකොට වැඩපොළක් කරගන්න අමාරුයි.” ශාන්තලා නැවතත් ළිපට වැටුණද, ඉඩමක් සොයාගෙන එහි පදිංචි වීමේ අදහසත්, තවත් අසරණයන් පිරිසකට පිහිට විය යුතුය යන්නත් ඔහුගේ හිතින් අත්හැර නොගියේය.

කෙම්බිමක් හමුවෙයි
පදිංචි වීමට සුදුසු බිමක් සොයන ශාන්තට එවැනි බිමක් ඇස ගැටෙන්නේ හිටිහැටියේය. හේන් ගොවියන් විසින් වගාකර අත්හැර දමා තිබූ ඒ බිමට ඔහුගේ සිත වැටුණි. හේ වහාම ප්‍රදේශයේ වන සංරක්‍ෂණ නිලධාරියා මුණගැසී තමන්ගේ තත්ත්වයත් සිය අවශ්‍යතාවත් නොවලහා පැවසූවේය. කාරුණික නිලධාරියෙකු වූ ඔහු මේ උද්යෝගිමත් තරුණයාට උදව් කළා පමණක් නොව ඉඩම් කැබැල්ලක් ලබාගැනීමට අවශ්‍ය ලිපියක්ද සකසා දී අවශ්‍ය උපදෙස්ද ලබා දුන්නේය.
“ගල්නෑව ප්‍රාදේශීය ලේකම් අමරතුංග මහත්තයාත් මට හරියට උදව් කළා. අපිට පදිංචියට ඉඩමකුයි සොහොන් බිමකට අවශ්‍ය ඉඩමකුයි ලබාදෙන්න එයා උදව් කළා. ඊට පස්සේ අපි මෙතැන පදිංචියට ආවා. ඒ එක්දහස් නමසිය අනූව අවුරුද්දේ විතර.”

උත්ථානය
මේ බිමෙහි ශාන්ත ඇතුළු පවුලේ අය පදිංචියට එන්නේ පුංචි පැලක් තනාගෙනය. මැටි ගඩොලින් හෝ පුංචි නිවහනක් තනාගැනීමේ අදහස ඔහුගේ හිතින් අත්හැර නොයයි. ගේ පිටුපසින් මැටි කපා තමාම ගඩොල් කපාගෙන කාමර දෙකක් බැඳගන්නට ඔහු සමත්වන්නේ සිතෙහි පැවති ධෛර්යවන්තකමටය.
“කාමර දෙක බැඳගත්තාට ඉතිරි වැඩ කරගන්නට විදිහක් නැහැ. මේ වෙලාව තමයි ඉසාක් රහුමාන් මන්ත්‍රීතුමා ඉදිරිපත්වෙලා මගේ ගේ හදලා දුන්නේ. දැන් මට ඕනේ මම වාගේම අසරණ අය කීපදෙනෙක් මෙතන පදිංචි කරවන්න. එහෙම අය ගොඩ දෙනෙක් ගැන මම දැනන් හිටියා. ඒ අපි සිඟමන් යදින්න ගිය කාලේ මුණගැහුණු අපි වගේම අය. ඊට පස්සේ ඒ අයව මුණගැහිලා කැන්දන් එනවා. මාසයක් අපේ ගෙදර තියාගෙන ඉන්නවා. එහෙම තියාගෙන ඒ අයගේ චරියාව බලලා පර්චස් විස්සක ඉඩම් කෑල්ලක් මැනලා දෙනවා. ඒක කරන්නෙත් මමමයි. මම ගත්තේත් පර්චස් විස්සයි. මම වැඩියෙන් ගත්තා නම් මේ විදියට වැඬේ සාර්ථකව කරගෙන යන්න බෑ. ලැබුණ ඉඩම් කාටත් සමාන වෙන්න ඕනේ.”
සමාජ සේවයට, දේශපාලනයට පමණක් නොව රාජ්‍ය සේවයට පිවිසෙන බොහෝ දෙනෙකු කරන්නේ ශාන්තගේ කතාවේ විරුද්ධ පැත්තය. ලෙනින්, කස්ත්‍රෝ, මාක්ස් ගැන ඔවුන්ගේ න්‍යායන් ගැන පම්පෝරි ගසා පාර්ලිමේන්තුවට රිංගාගත් වාචාලයන්ට මේ නම් හොඳ අතුල් පහරකි.

පුංචි ජනපදයක්
“මේ විදියට මම පවුල් විසිහයක් මෙතැන පදිංචි කළා. සම්පූර්ණ පවුල් ගණන විසි අටයි. මොකද, මම එතකොටත් මේ ඉඩමට එහායින් පවුල් දෙකක් පදිංචි වෙලා හිටියා. ඒ අයත් අපේ ගොඩටම එකතු කර ගත්තා. ආ, කියන්න බැරිවුණා, මේ පවුල් විසිහය විවිධ පළාත්වල උදවිය. මින්නේරිය, මාතර, අවිස්සාවේල්ල, නාරම්මල, මාතර, රන්න වාගේ ප්‍රදේශවලින් ආපු අය.”
මේ වන විට ස්ථිර නිවහනක් හිමිකරගෙන සිටි ශාන්තගේ සිත තුළ තවත් වදදෙන ප්‍රශ්නයකි. “මම කොහොමද මේ අයට ස්ථිර නිවාස හදලා දෙන්නේ?” මේ බරපතළ ප්‍රශ්නයට විසඳුමක් සොයන්නට ඔහු දිවා රෑ දෙකෙහි කල්පනා කළේය. ඔහුගේ සිහියට ආවේ කලාවැව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉසාක් රහුමාන්ය.
“මන්ත්‍රීතුමා අපේ අයට ගෙවල් හදාගන්න තහඩු කෑලි දහය පහළොව ගානේ විතරවත් අරන් දෙන්නකෝ.”
ඉසාක් මන්ත්‍රීවරයා සජිත් ප්‍රේමදාස ඇමතිවරයා මුණගැසී මේ ප්‍රශ්නය ඉදිරිපත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස නිවෙස් ඉදිකරගැනීම සඳහා එක් අයෙකුට රුපියල් ලක්ෂ පහක ආධාර මුදලක් ලබාදෙන්නට කටයුතු කර ඇත. ඒ අනුව යම් යම් අඩුපාඩු ඇතත් සියලු දෙනාම නිවෙස් ඉදිකරගෙන තිබේ.

ඇත් පවුර
ශාන්තලා පදිංචිව සිටින ප්‍රදේශ කලින් හඳුන්වා ඇත්තේ අලි වංගුව ලෙසිනි. ඒ නිවෙස්වලට නුදුරින් මාවතේ ඇති වංගුවෙන් වන අලි එහා මෙහා මාරුවෙන ස්ථානයක් වූ නිසාය. අලි වංගුව ඇත් පවුර යැයි නාමකරණය වන්නේද අපූරු විදියටය.
“මගේ මේ උත්සාහයේදී තවත් බොහොම අය උදව් උපකාර කළා. මුලින්ම ආවේ වෛi අශෙකෝ මහත්තයා. එයා මෙහෙ ඇවිත් සායන තියලා කට්ටියට බේත්හේත් දුන්නා. සමීක්ෂණ කළා. වෛi පබසරා නෝනාත් උදව් කළා. ඒ වාගේ ම කුරුණෑගල රෝහලේ ඇත් පවුර සංවිධානයේ සභාපති වෛi ආනන්ද ගුණසේකර මහත්තයා ගොඩාක් උදව් කළා. ප්‍රජා ශාලාව, පුස්තකාලය වගේම ගමට විදුලිය ගන්නත් උදව්කළේ ඇත් පවුර සංවිධානය තමයි. ප්‍රජා ශාලාවට ලක්ෂ දහයක්, විදුලිය ගන්න ලක්ෂ හැත්තෑ හතක් ඒ අය වියදම් කරලා තියෙනවා. පුස්තකාලය හදන්න උදව් කළේත් ඒ අයමයි. ප්‍රජා ශාලාව හැදුවාට පස්සේ ගමේ නම ඉබේම ඇත් පවුර වුණා.”
ආරම්භයේදී ශාන්ත කතාකළේ සිය අතීත කම්කටොලු සිත්හි තබාගෙන කිසියම් ශෝකාකුල බවකින් වුවත් දැන් ඔහුගේ කතාව ප්‍රාණවත්ය. ජය කණුව වෙත ගමන් කළ අයෙකු මෙනි.
මේ වනවිට ශාන්තලා බුදුමැදුරක්ද ඉදිකරගෙන ඇත්තේ පේරාදෙණියේ ප්‍රදීප් කන්ස්ට්‍රක්ෂන් ආයතනයේ අනුග්‍රහයෙනි.

අත නොපා ජීවත්වීමට
මෙහි එන්නට පෙරාතුව පදිංචිකරුවන් වැඩි දෙනා දිවි ගැටගසාගෙන ඇත්තේ අන් අයගේ පිහිටෙනි. මේ වන විට ඔවුන් ඒ මගෙන් විතැන් කරවීමට ශාන්ත සමත් වී තිබේ. පරණ යකඩ, ප්ලාස්ටික්, පොල්කටු එකතු කිරීම වැනි ස්වයංරැකියාවල බොහෝ දෙනෙකු නියැලෙන අතර අන් අය අවම වශයෙන් කුලී වැඩකට හෝ යති. මෙහෙයුම ශාන්තගේය.
“ඔස්ටේ්‍රලියාවේ ඉන්න මහත්තයෙක් අපට ඇඹරුම් යන්ත්‍රයක් පරිත්‍යාග කළා. ඒකෙන් මිරිස් කුඩු, තුනපහ කුඩු අඹරලා විකුණන්න වැඩපිළිවෙළක් සකස් කරලා තිබෙන්නේ. දැනට කාන්තාවන් තුන්දෙනෙක් තෝරාගෙන ඉන්නවා. නිෂ්පාදන කටයුතු කරන්න. ළඟදීම ඒ ව්‍යාපෘතිය පටන් ගන්නවා. තව ගෙවතු වගාවටත් කට්ටියක් පුහුණු කරලා තිබෙනවා. අපට වතුර නැති එක තමයි ප්‍රශ්නේ. ළිඳක් හදලා දෙන්න කට්ටියක් පොරොන්දු වෙලා තියෙනවා. එතකොට ඒ වැඩෙත් කළ හැකියි. ඒ වාගේම වතුර ෆිල්ටරයකුත් අරන් දෙන්න පොරොන්දු වෙලායි තිබෙන්නේ. යහපත් වැඩක් කළොත් ඒවාට උදව් කරන්න කට්ටිය ඉන්නවා. ඒත් තවමත් අපට උදව් අවශ්‍යයි. ඒවාත් ලැබෙන බව මට විශ්වාසයි.”
මේ ව්‍යායාමයේදී එක හැල්මේ දුවන්නට ශාන්තට ඇවසි බව පෙනෙයි.

ශූභසාධන වැඩ
කෙනෙකුගේ ජීවිතයට අධ්‍යාපනයේ ඇති අවශ්‍යතාව ශාන්තට වඩා වැටහෙන තවත් අයෙකු මෙහි නැත. ඒ නිසා සියලුම දරුවන් පාසල් යවන්නට ඔහු සමත් වන්නේ එහෙයිනි.
“අපේ ළමයි ඔක්කෝම පාසල් යනවා. පාසල් ගමන අතරමගදී නතර කළ අය පිරිවෙන්වලට යැව්වා. ඒ අය හොඳට ඉගෙන ගන්නවා. මෙහේ ඉන්න අයට පොත් පැන්සල් වාගේ දේවල් ආධාර වශයෙන් ලැබිලා තියෙනවා. ඒවා එක තැනක තියලා අවශ්‍ය වේලාවට මමම බෙදලා දෙනවා.”
දරුවන්ගේ කලා හැකියාවන් නංවාලීම වෙනුවෙන් ළමා සමාජයක් පිහිටුවා ඇති ඔහු නාට්‍ය සංදර්ශන කීපයක්ද පවත්වා ඇත්තේ තම ගමෙහි සාමාජිකයන්ට අමතරව අවට ගම්වල ජනයාද කැඳවාගනිමින්ය.
ගමේ අවමංගල්‍ය කටයුත්තකදී උපකාර කිරීම උදෙසා ඔහු අවමංගල්‍යාධාර සමිතියක්ද පිහිටුවන්නේ මෙවන් පිරිසකට එය අත්‍යවශ්‍ය වුවක් බැවිනි.

සභාපතිතුමා
පී.ජී. සුමනාවතී. වයසට වැඩි වියපත් පෙනුමක් ඇති කාන්තාවකි. රැලිවැටුණ මුහුණේ ඇඳුණ රේඛාවන් ඇගේ ජීවිතය පුරා විඳි අනෙකවිධ දෝමනස්සයන් කියාපාන කතාවතක් වැනිය. යටට ගිලුණු දෑසෙහි කෙවෙනි තුළ රැඳි නොවියැකුණ කඳුළු බිඳු ඒ කතාවට ඌන පූරණය සපයයි.
“අපි හිටියේ මින්නේරිය වැව ළඟ. අපිටම කියලා ගෙයක් දොරක් තිබුණේ නෑ. දැල් රස්සාව තමයි කළේ. ඒවාත් අපේම නොවෙයි. කුලියට කළේ. මින්නේරිය කෑම්ප් එක හදන කොට අපි අයින් කළා. ඊට පස්සේ මහපාරට වැටුණා. සභාපතිතුමා නොවෙන්න අපි තවමත් මහපාරේ.”
ගල්ගමුවෙන් ආ නිමල් කුමාර, නාරම්මලින් පැමිණ කුමාරසිංහ වැන්නවුනුත් පැවසූවේ තමන්ට සෙවණක් වූයේ ශාන්ත බවය.
ශාන්ත ඇත් පවුරේ ගම්දෙටුවා වී ඇත්තේ ඉබේමය. තනතුරු හඹා නොගියද ඔහු කර මත තනතුරු පැටවෙයි. ඒ නිකම්මත් නොව වගකීම් පොට්ටනියක් ද සමඟය. ඔහු එය ෂලකන්නේ වගකීම් ලෙස නොව යුතුකම් ලෙසටය. ඒ නිසා ඔහු ඇරඹි කාර්යයේ කෙළවරක් දකින සිහිනයේ නිරන්තර රැඳී සිටියි.
“තව කළ යුතු බොහොමයක් තියෙනවා. කාන්තාවන්ට නිවසේ සිට කළ හැකි ස්වයං රැකියා මාර්ගයක් සලස්වලා දෙන්න ඕනේ. ගමෙත් අඩුපාඩු තිබෙනවා. ඒවාත් සම්පූර්ණ කරන්න ඕනේ.” ඒ ඔහුගේ සිතිවිල්ලයි.
ශාන්ත යනු අධ්‍යයනය කළයුතු පුද්ගලයෙකි. කිසිදු හව්හරණක් නොමැතිව දිවිගෙවූ මේ මිනිසා තමන් සේම අසරණවූ තවත් පිරිසකට පිහිට වන්නේ තමා සන්තකයේ කිසිවෙකුත් නොමැතිවය. ගම හදන්නට ඔහු දියත් කළ වැඩපිළිවෙළ ආකර්ෂණීය වූවකි. අවශ්‍ය සම්පත් තිබියදීත් තුමූම අඩපණව නෑ බෑ කියන රටේ බොහෝ නායකයන්ට පාලකයන්ට නිලධාරීන්ට ඉගෙනගන්නවා නම් ශාන්තගෙන් ඉගෙනගත හැකි පාඩම් එමටය.■