රාවය

පානමට ලොකු වැඩක් කරන පුංචි රාළ

පානමට ලොකු වැඩක් කරන පුංචි රාළ

කේ. සංජීව

ඔහු එතරම් උස නැහැ. රැලි කොණ්ඩයක් පානමට උරුම කළු සමක් එක්ක වැඩි කතාබහක් නැති හතළිස් එක්වැනි වියේ පසුවෙන මේ පුංචි මිනිසා පුංචිරාළ සෝමසිරි. පානම මිනිසුන්ට නම් වැටෙන්නේ දෙමළ ක්‍රමයට. එතකොට තාත්තා තමයි පුංචිරාළ. ඔහුගේ නම තමයි සෝමසිරි. මෙවර අපේ කතානායකයා වෙන්නේ ඔහු. ඔහු ඊට හැම අතින්ම සුදුසුයි.
පානම කියන්නේ නැගෙනහිර අන්තයේ පහළින්ම තියෙන අන්තිම ගම. බහුතරය සිංහල දෙමළ මිශ්‍ර. දෙමළ පවුල් සුළු ප්‍රමාණයකුත් ඉන්න මේ ගම යුද්ධ කාලේ යුද්ධයට මැදිවෙච්චි ගමක්. ඒ කාලේ පොතුවිල් ඉඳලා පානමට ගියේ බෝට්ටුවේ. ඒ කොටි තර්ජන නිසා. පොලිස් විශේෂ කාර්ය බලකාය තමයි ඔවුන්ට යම් තරමකට හෝ අස්වැසිල්ලක් වුණේ. හමුදා කඳවුරක් පේනමානයක තිබුණේ නැහැ. හැබැයි මේ තත්ත්වය 2009 යුද්ධය අහවර වීමත් එක්ක වෙනස්වෙනවා. යුද්ධ ගුවන් නාවික හමුදා කඳවුරු මේ බිමේ තරගයට පැලවෙනවා. ඒ රාජපක්ෂවරුන්ගේ අණින්. පානමට තියෙනවා ලස්සන මුහුදක්, ලස්සන කළපුවක්, අනික් පැත්තෙන් නිල්ල ගහපු මහා කැලයක්. ඉතිං අලු‍ත් ලංකාවේ වියාපාරික ලෝකය ජයගන්න යුද්ධයක් පටන් අරගෙන හිටිය රාජපක්ෂ කඳවුර පානම ඉඩම් තමන් සතුකරගන්න නොයෙකුත් උප්පරවැට්ටි දානවා. ඒවායේ ප්‍රතිඵලය තමයි මේ මුලින් කියපු කඳවුරු. 2010 ජූලි 17 පානම රාගම්වෙල කියන ගමට විශේෂ කාර්ය බලකාය පැනලා පහරදීලා ගම්මු ගමෙන් එළවලා දානවා. ඊට පස්සේ ඒ ඉඩම ගුවන් හමුදාවට ගන්නවා. ඊළඟට ශාස්ත්‍රවෙල ගම ගන්න නාවික හමුදාව නැගෙනහිර නාවික විධානය කියන සුවිසාල කඳවුරත් එක්ක ලොකු තරු පන්තියේ හෝටලයක් හදනවා. මිනිස්සු තමන්ට මේ සිද්ධවෙමින් යන අසාධාරණයට පැමිණිලි කරන්න පොලීසි යනවා. තනිතනියෙන් දේවල් කරනවා.
“‍ඇත්තටම මට තේරුණා මේ අසාධාරණයට මෙහෙම අපි තනිතනිව සටන් කරලා දිනන්න බැහැ කියලා. මං හිතුවා මං මේ මිනිස්සු සංවිධානය කරලා එක අරමුණකට ගෙනෙනවා කියලා.”‍
පුංචිරාළ සෝමසිරි නැතිනම් සෝමේ වැඬේට බහින්නේ මෙතැනින්. 1980 ගණන්වල පටන් අරගෙන අක්‍රිය මට්ටමක තිබුණු පානම්පත්තුව සුරැකීමේ සංවිධානය ඔහු මේ අරගලය වෙනුවෙන්ම නැවත සංවිධානය කරනවා. ඒ එම සංවිධානයේ ජාතික සංවිධායක කියන තනතුරත් එක්කම.
“මිනිස්සු තමන්ට තිබුණු ප්‍රශ්න නිසාම තමන්ට මොනවා හෝ ලැබෙයි කියලා එකතුවුණා. සමහර සුළු පිරිසක් විරුද්ධ වුණා. ඒක කොහෙත් වෙන දේ. හැබැයි මිනිස්සුන්ට තේරුණා මම කරන්න උත්සාහ ගන්න දෙයින් ඔවුන්ට මොනවා හෝ ලැබෙනවා කියලා. ඒ නිසා පානම මිනිස්සු මා එක්ක එකතු වුණා. මම කියන දේවල් පිළිඅරගෙන කළා. ඊට පස්සේ අපි අපේ සටන වෙනුවෙන් නඩු ගියා. මානව හිමිකම් ගියා. උද්ඝෝෂණ සංවිධානය කළා. ඒ පහුගිය ආණ්ඩුවේ මර්දනයට මුහුණ දෙන ගමන්.”‍
මේ අරගලය වෙනුවෙන් මෙහෙම නායකත්වය දෙනකොට ඔහුට 4වෙනි තට්ටුවට යන්නත් වෙනවා. ඒ රාජපක්ෂ යුගයේ. ඔහු මේ ඉඩම් අරගලය මේ සියලු බාධක තර්ජන මැද්දේ කොළඹටත් ගෙනෙනවා.
“එක මොහොතකදී ජීවිතය ගැන ප්‍රශ්නයක් තිබුණා. ගෙදර නෝනා දරුවෝ හොඳටම බයවුණා. ගමේ මිනිස්සුත් කිව්වා පස්සට යන්න කියලා. ඒ කාලේ පස්සෙන් ඉඳලා හොරෙන් කරන්න පුළුවන් දේවල් කළා. කොළඹ ගියත් ගියේ බස් දෙකක නැත්තම් තුනක. බස් එකේ අඳුනන කවුරුහරි හිටියොත් ගෙදරට කතාකරලා කියනවා මම යන බස් එකේ මෙයාලාත් යනවා කියලා. මේ ඉඩම් ආණ්ඩුව ගන්නකොට ලාහුගල ප්‍රාදේශීය සභාවේ බලය තිබුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට. මේ ඉඩම් අරගලයත් එක්කම අපි ඊළඟ ප්‍රාදේශීය සභා ඡන්දෙදි ඒ බලය පෙරළලා යූඑන්පී එක බලයට ගෙනාවා. ඒ 2013 වගේ මතක. ඔවුන් මුල් කාලේ මේ අරගලයත් එක්ක එකට හිටගත්තා. උදව් කළා. දැන් ආණ්ඩු බලය ආවාට පස්සේ ඔවුනුත් අපිට පස්ස හැරෙව්වා.”‍
ඊළඟට යහපාලනය එනවා. නඩුවලින් සෝමෙලා දිනනවා. කැබිනට් එකත් තීරණය කරනවා රාජපක්ෂවරුන් ගත්ත මේ ඉඩම් ආයෙත් මේ මිනිස්සුන්ට දෙන්න. හැබැයි තවමත් මේ කිසිදෙයක් ප්‍රයෝගිකව වෙන්නේ නැහැ. අරගලය තිබුණ තැනමයි.
“‍යුඑන්පී එක ආණ්ඩුව ගත්තාට පස්සේ මිනිස්සු හිතුවා මම මේක පාවලා දීලා සද්දේ නවත්තයි කියලා. හැබැයි මේ ආණ්ඩුවට විරුද්ධවත් මම මිනිස්සු පාරට ගෙනාවා. අන්තිමට මම රාගම්වෙල මේ ඉඩම ඉස්සරහ උපවාසයක් සංවිධානය කළා. ඒ 2016 මාර්තු 27. අපි එක දවසක් උපවාසේ කළා. මට තේරුණා මේ කිසිදෙයක් මේ ආණ්ඩුවත් ගණන් ගන්නේ නැහැ කියලා. මම මිනිස්සුන්ට කිව්වා අපි මේ දැන් ඉඳලා අපේ ඉඩම්වල බලෙන් පදිංචිවෙමු කියලා. පොලිසිය විරුද්ධ වුණත් අපි අපේ ඉඩම්වලට ගිහිං බලෙන් පදිංචි වුණා. ඊට පස්සේ ගමේ මිනිස්සුන්ට තේරුණා මට පක්ෂයක් පාටක් නැහැ කියලා. විරුද්ධව හිටපු අයත් මාත් එක්ක එකතුවුණා. හැබැයි තවමත් මට විරුද්ධව එන්ජිඕකාරයා, කොළඹින් සල්ලි ගන්නවා වගේ කතා තැන්තැන්වල කියවන මිනිස්සු නැතුවාම නෙවෙයි.”‍
දැන් සෝමසිරි මහන්සි ගන්නේ ශාස්ත්‍රවෙල උල්පස්සේ හොරෙයිකන්ද කියන අනික් ඉඩම්වලටත් බලෙන් ගිහිං පදිංචිවෙලා තමන්ගේ නැතිවෙච්චි උරුමය නැවත ලබාගන්න. ඒකට සෝමසිරි එක්ක එකට හිටගන්න ඕනෑ තරම් මිනිස්සු පානම ඉන්නවා. සෝමසිරිට මේ වැඩවලට බිරිඳගෙන් ලැබෙන්න හොඳ සහායක්. මේ ඉඩම් අරගලයට අමතරව පානම කළපුව ආරක්ෂා කරගන්නත් එහි කළමනාකරණ කමිටු සභාපති විදියට සෝමසිරි ලොකු වෙහෙසක් ගන්නවා. තහනම් පන්න ක්‍රම වගේ දේවල්වලට ඔහු තදින්ම විරුද්ධයි. එක වේලාවකදී රාජපක්ෂ පුතුන් පානමට එන්නේ මෙහේ තියෙන විශාල වැලි කඳු මතින් ෆෝර්වීල් ජීප් රේස් සංවිධානය කරන්න. සුනාමියෙන් අබැටයක හානියක් පානමට වුණේ නැත්තේ මේ වැලිකඳු නිසා කියලා විස්වාස කරන සෝමසිරි මේ තරගවලට විරුද්ධව මේ වැලිකඳු යායේ කඩොල් පැල අසූදහසක් සිටවනවා. ඒ මේ මිනිස්සුන්ගේ හයිය එකට එකතුකරලා. සංවිධානය කරලා.
“මම හිතන්නේ තවම සටන ඉවර නැහැ. ඉස්සර මම තනියෙම තමයි මේ වැඩවලට කොළඹ වුණත් ගියේ. දැන් දෙවන පෙළක් ඉන්නවා. මට මේක දිනන්න බැරිවුණත් ඒ කට්ටිය මේක දිනයි.”‍ ■