රාවය

මාතාහාරි සම්මතයට ගරු නොකරන පරපුරේ අයිකනයක් පාවුලෝ කොයියෝ

මාතාහාරි සම්මතයට ගරු නොකරන පරපුරේ අයිකනයක් පාවුලෝ කොයියෝ

සුභාෂිණි චතුරිකා

මාතාහාරි ලෙස ඉතිහාස‍යේ ප්‍රසිද්ධියට පත්වුණු මර්ගරීතා ‘සෙල්, විසිවැනි ශතවර්ශයේ මුල්භාගයේ මධ්‍ය යුරෝපයේ ජීවත් වුණු බලපෑම් සහගත සංස්කෘතික පෞරුෂ්‍යයකි. ඕලන්දයේ උපත ලද ඇය නගරශෝභිනියකි, සිය සිතැඟි අනුව ක්‍රියා කරන හිතුවක්කාර ගැහැනියකි, පෙර නොවූ විරූ ඇයගේ අපූරු නර්තනයෙන් ජනිත කරන තහනම් සුවයත්, ඇයගේ සිරුරේ සාහසික නග්නත්වයත් නිසා ඇය ලිංගිකත්වයේ අයිකනයක් සේම, කාන්තාවකගේ නිර්භීතකම තේරුම් ගැනීමට අසමත්, ඉපැරණි ‍ලෝක සැකැස්ම තුළ ඉලක්කයක් බවට පත්වීම ද සිදුවිය. ඇය පළමුවැනි ලෝක යුද සමයේදී, ජර්මානුවන් විසින් යුධ ඔත්තු සැපයීමට බලහත්කාරයෙන් යොදවා ගන්නා ලද අතර 1917 වසරේදී ඇයව ප්‍රංශ හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබ අනතුරුව, ඇය වෙඩි තබා මරා දැමිණි.

ඉතාමත් බිහිසුණු කාලවකවානුවක, මාතාහාරි, මිනිසාගේ පරිකල්පනයට ළංවීමටවත් නොහැකි තරම් නාටකීය ජීවිතයක් ගත කළ නිසාම, ඇයගේ මරණින් පසුත් ඇයගේ සංස්කෘතික පැවැත්ම කතාබහට ලක්වීම පුදුමයක් නොවේ, විශේෂයෙන්ම 1931 වසරේ නිෂ්පාදනය කළ Greta Garbo වැනි චිත්‍රපට තුළින් සහ අනෙකුත් සාහිත්‍යමය, නාට්‍යමය ප්‍රතිනිර්මාණයන් ඔස්සේ.

ඇයගේ ජීවිතය, එනම් වැඩිමනත් ලෙස ඇයගේ ප්‍රසිද්ධියට පත් ජීවිත කතාව සහ ඒ වටා බැඳුණු වික්‍රමයන් නිරන්තරයෙන්ම සරාගී යුද කුමන්ත්‍රණ මෙන්ම විශ්වාස කළ නොහැකි තරම්, නිර්භීත කාන්තාවක් වටා ගෙතුණේ විය. බොහෝදෙනාගේ මතයට අනුව ඇය එකලද පුරුෂාධිපත්‍යයේ බලපෑම, සිය ග්‍රහණයට නතු කරගත් කූට ප්‍රයෝගකාරී තැනැත්තියක මෙන්ම උපයාශීලි ලෙස සිය සිතැඟි අනුව අනිකුන්ව මෙහෙයවූ සරාගී අංගනාවකි. ඇය එදා සිදුකළ සංස්කෘතික අරගලය දැවැන්ත ශක්තියක් ගැබ්වුණු එකක් වන අතර එය, අතීතයට වඩා බොහෝ සෙයින් නිදහස් නිවහල් බවක් අත් පත් කරගත් කාන්තාවන් ජීවත් වන, නවීන සමාජයටත් වඩා ඉදිරියෙන් ස්ථානගත වූවකි.

ඉතිහාසයේ එවන් විවාදාත්මක චරිතයක් පාවුලෝ කොයියෝ පසුගිය වසරේ (2016) නිකුත් කළ ඔහුගේ අලු‍ත්ම නවකතාව වන The spy තුළින් නැවත පණ ලබා ඇත. (පාවුලෝ කොයියෝ බ්‍රසීලියානු නවකතාකරුවෙකි, ඔහු ලියූ බොහොමයක් කෘති ලොව පුරා වෙසෙන සාහිත්‍යලෝලීන් ඉතාමත් ආදරෙයෙන් වැළඳගෙන ඇත. ඔහු දැනට පෘතුගීසි භාෂාවෙන් කෘති 30ක් පමණ ලියා පළ කර ඇති අතර ඒවා විදේශ භාෂා විශාල ගණනාවකට පරිවර්තනයද වී ඇත. ඔහු ප්‍රථම වරට ජාත්‍යන්තර වශයෙන් වැඩි අවධානයට යොමු වුණේ 1988 වසරේ ඔහු ලියූ The Alchemist කෘතිය නිසාය. මීට අමතරව Veronica decides to die, By the River Piedra I Sat Down and Wept, Eleven minutes පාඨකයන් අතර ජනප්‍රිය වුණු ඔහුගේ සෙසු කෘතීන්ය.)
උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයකින් ලියැවී ඇති The Spy කෘතිය ඉතා පහසුවෙන් එක් දිනකින් හෝ දින දෙකකින් කියවා අවසන් කළ හැකි මනබඳිනාසුලු සාහිත්‍යයික ගෙත්තමකි. ඒ එම කෘතියට අනුභූතිය සැපයෙන විෂය දහරාව නිසා වන්නට පුළුවන – නග්න රැඟු‍ම් දක්වන නාටිකාංගනාවක්, පළමු ‍ලෝක යුද සමයේ යුධ ඔත්තු සපයන්නියක්, පිරිමින් වසඟයට ගන්නා ගැහැනියක්.

The Spy කෘතියේ සීරුවට ගලාගෙන යන කතා දහරාව, පාඨකයාව ප්‍රබන්ධිත සිහිනයක් තුළ රඳවා තබයි. සැබවින්ම එය, මාතාහාරි ඇය‍ගේ සිරුරේ දැවටුන සළු හත සෙමින් උනා දමමින්, විසිවන සියවසේ මුල් භාගයේ ජීවත් වූ, මිනිසුන්ට සහ ගැහැනුන්ට සිය නග්න සිරුර දැකීමට ඉඩ සලසන ඇයගේ අපූරු රංගනයක් මෙනි:
“මගේ ඇඳුම් සැකසී තිබුණේ එක මත එකක් වන ලෙස සළු හතකිනි. මම පළමු සළුව ඉවත් කරමි, කිසිවකුත් ඒ පිළිබඳ එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැත. එහෙත් මම දෙවැන්නද, පසුව තෙවැන්නද ඉවත් කරන විට මිනිසුන් එකිනෙකා වෙත බැලු‍ම් හෙළන්නට පටන් ගනියි. පස්වන සළුව ඉවත් වන විට මිනිසුන්, මට එසේ කොතෙක් දුරට යා හැකිද යන කාරණය ගැන සිතමින්, මා කරන දේ පිළිබඳ සිය පූර්ණ අවධානය යොමු කර හමාරය. එසේම රංගනය අතරවාරයේ එක් මොහොතකට මාගේ නෙත් හා ගැටෙන, මාගේ රංගනය නරඹමින් සිටින කාන්තාවන්ගේ නෙත්වල කම්පනයේ හෝ ‍කෝපයේ හෝඩුවාවක්වත් දක්නට නැත. පිරිමින්ට මෙන්ම ඔවුන්ට ද මාගේ රංගනය විසින් ප්‍රමෝදයක් සපයා දී ඇත. මම මාගේ රටේදී මෙවැන්නක් කළේ නම් යම් විටෙක එවෙලේම මා සිරගත කරන්නට ඉඩ ඇති බව මම හොඳින්ම දනිමි. එහෙත් ප්‍රංශය යනු නිදහසට සහ සමානාත්මතාවට හොඳම ආදර්ශයකි.”

“මා සයවන සළුව ඉවත් කිරීමත් සමඟ, ශිව ප්‍රතිමාව වෙත ගොස් මා සුරතාන්තයට පත්වන බවක් දක්වමි. අනතුරුව සත්වන සළුව ඉවත් කරමින්ම මම බිම ඇද වැටෙන්නෙමි.”
“මොහොතක් ගතවෙනතුරු ප්‍රේක්ෂාගාරයෙන් කිසිම ශබ්දයක් නොනැ‍ඟෙයි. මා වැතිර සිටින තැනට කිසිවකුත් මට පෙනෙන්නේ නැත. ඔවුන් ත්‍රාසයටත් බියටත් පත්ව ඇති සෙයකි. මඳ වෙලාවකට පසුව කාන්තා කටහඬකින් “බ්‍රාවෝ”(අනර්ඝයි!) කියමින් සිය උද්දාමය ප්‍රකාශ කරත්ම, සෙස්සන්ද නැඟී සිටිමින් මහ හඬින් ප්‍රීති ඝෝෂා කරන්නට පටන් ගනියි. එවිට එක් අතකින් මගේ පියයුරුද අනෙක් අතින් මගේ රහසඟද ආවරණය කරගනිමින් මම නැඟී සිටිමි”(පිටු 59- 60, The Spy)

පාවුලෝ කොයියෝ, රේඛීය නොවන, ප්‍රධාන කොටස් තුනක් ඔස්සේ දිගහැරෙන කතාවක් තුළින් මාතාහාරි ලෙස ප්‍රසිද්ධියට පත්, පළමු ලෝක යුධ සමයේ ජර්මානුවන් ්H21 ‍ලෙස හැඳින්වූ මෙම ගැහැනිය පිළිබඳ අසිරිමත් සිතුවමක් මවනු ලබයි. බොහෝ අවස්ථාවල එම කතාන්දරය දිග හැරෙන්නේ මාතාහාරිගේ මතකය අවධි කිරීමක් ලෙසින් වන නිසා එය දුර අතීතයේ සිදුවීම්වල සිට වර්තමානයටත්, යම් විටෙක අනාගතය දක්වා ද ගෙතුණු වියමනක් ලෙස දිස්වෙයි. එහෙත් ඒ සියලු‍ කාලවකාවනුවලට අයත් කතා එක් කොට තබන රැහැන් වන්නේ කතුවරයාගේ හඬත්, අව්‍යාජත්වය රඳවා ගැනීමට ඔහුගේ ඇති හැකියාවත්, මාතාහාරි වස්තු විෂයට ඔහු දක්වන අවංකභාවයත්ය.
“මේ මොහොතේ මාගේ ජීවිතය දෙස හැරී බලමි.” මාතාහාරි ලිපික එසේ ලියයි. “මතකය යනු ආපස්සට දිවෙන ගංඟාවක් ලෙස මම තේරුම් ගනිමි.”

“මතකය හිතුවක්කාරකම්වලින් පිරී තිබේ, කිසියම් කුඩා තොරතුරු මාත්‍රයක් හෝ නොවැදගත් ශබ්දයක් තුළින් අප විඳි අත්දැකීම්වල මතකයට අපගේ හුස්ම සිරකිරීමට තවමත් හැකියාව ඇත. පිළිස්සෙන පාන් වල පුසුඹ ම‍ගේ සිරකුටිය මතින් හමා යනවිට කෝපි සැල් අසලින් මා නිදහසේ ඇවිද ගිය දවස් මගේ මතකයට නැ‍‍ගෙයි. මරණ භය සහ මට මේ මො‍හොතේ දැනෙන හුදෙකලාවට වඩා මේ කඳුළු, මට දුරස්ථය.
“මා, නැවත හරිගැස්සීමට කිසිවක් කළ නොහැකි තරම් වැරදි කාලයක උපත ලද ගැහැනියකි. අනාගතයට මා මතක තිබෙනු ඇද්දයි මම නොදනිමි. එ‍සේ වන්නේ නම් දිරියෙන් ඉදිරියට ගමන් කළ, ඇයට ජීවිතයෙන් ගෙවීමට සිදුවූ දේ නොබියව ගෙවා දැමූ අයෙකු මිස, විනාශයට පත් ගොදුරක් ලෙස මා නොදකිනු ඇතැයි මම අපේක්ෂා කරමි.” (පිටු 13-15 The Spy)

සමහර විචාරකයන්ට අනුව, පාවුලෝ කොයියෝගේ The Spy කෘතිය මාතාහාරි චරිතය මතුපිටින් අතපත ගෑමකි. ඔවුනට අනුව මාතාහාරීගේ විශිෂ්ට චරිත ස්වභාවයන් ඔහු විදාරණය කිරීමට සමත්ව නැත. ඔවුන් පවසන්නේ ඔබ කොයියෝගේ සහෘද පාඨකයෙක් නම්, ඔබට ඔහුගේ අලු‍ත්ම කෘතිය තරමක වෙනස් නිර්මාණයක් ලෙස දැනෙනු ඇති බවයි, යම් විටෙක එම නිර්මාණය පිළිබඳ ඔබගේ අපේක්ෂා බිඳවැටෙන්නට ද ඉඩ ඇත, ඒ මෙවර ඔහු ඔහුගේ අනෙක් කෘතිවලදි තරම් ගැඹුරින් භාවාත්මක පරිඥානය ග්‍රහණය කොට ගැනීමට අසමත් වන නිසාය. ඒ කෙසේ වෙතත්, කෘතිය තුළ චරිත ගොඩනැංවීම එතරම් විශිෂ්ට නොවුවත් එය පාඨකයාගේ මනස තුළ මාතාහාරිගේ ජීවිතය පිළිබඳ හෘදයාංගම රිදිමක් ඉතිරි කරයි.
පාවුලෝ කොයියෝ The Spy කෘතියේ නිර්මාණ කාර්යය පිළිබඳ කතාබහ කරන ඉතාමත් සංක්ෂිප්ත සංවාදයක් පහත දක්වා ඇත. එය The Sunday Times Book live වෙබ් අඩවියේ පළවූවකි.

ඇයි ඔබ මාතාහාරි චරිතය තෝරා ගත්තේ ඔබේ අලු‍ත් නවකතාවේ විෂය ලෙස?

මාතාහාරි කියන්නෙ, සම්මතයන්ට ගරු නොකරන පරපුරේ අයිකනයක් – සම්මතයට අනුව නරක කෙල්ලක්, වෙනස් කෙනෙක්, අමුතු චරිතයක්, විකාර ඇඳුම් අඳින්නියක්. ඇය අප සියල්ලන්වම වසඟයට ගන්නවා. මම දිනක් මගේ නීතිඥවරයා සමඟ රාත්‍රී ආහාරය ගන්නා විට, පළමු ලෝක යුද සමයේ අහිංසක මිනිසුන් නිරපරාදේ මරා දැමුණු සිටි කියැවෙන කතාන්දර ‍කිහිපයක් ඔහු මට පැවසුවා. මාතාහාරි කියන්නේ ඔහු එහිදී සඳහන් කළ එක් උදාහරණයක්. එහෙත් ඒ කතාව මගේ සිත්ගත් නිසා මම ඇය ගැන පොඩි සොයා බැලීමක් කරන්න සිතුවා. ඊළඟ දිනය වෙද්දී මම පොත් කිහිපයක් සොයා ගත් අතර එළැඹුණු සති අන්තයද ගෙවා දැමුවේ මාතාහාරි ගැන අතට අහුවෙන ඕනෑම දෙයක් කියවමින්. මට ඒ වෙද්දී දැනුණේ නැහැ, ඉබේම මම මේ පර්යේෂණය කරන්නේ මගෙ ඊළඟ පොත වෙනුවෙන් කියලා. මට හැබෑවටම එය ඒ ආකාරයෙන් දැනුණේ, පරිකල්පනීය අභ්‍යාසයක් ලෙස, ඇයගේ තැන සිට හිතන්න ඕනෑ යැයි මම තීරණය කළ මොහොතේදීයි.

ඔබ කොහොමද ඇය ගැන සහ ඇය ජීවත් වූ යුගය ගැන පර්යේෂණ සිදු කළේ? ඇය පිළිබඳ ඔබට හමුවූ වඩාත් පුදුමඑලවනසුළු දේ කුමක්ද?
වඩාත් විශ්මයජනක දේ තමයි, වයස අවුරුදු විස්ස වනතුරුම අපයෝජනයට ලක්වූ ඇය, ඉන් මිදී අවසානයේදී ඇය සිටි තත්ත්වයට පත්වීමට ඇයට තිබූ හැකියාව. Belle Époque (ප්‍රංශ පෙරුසියන් යුද්ධයේ අවසානයත්, පළමු ලෝක යුද්ධ‍යේ පටන් ගැන්මත් අතර කාලය මෙමඟින් හැඳින්වෙයි- 1871- 1914. එය සංස්කෘතික සහ කලාවේ දියුණුවට මඟපෑදුණු කාලයක් වූ අතර සාපේක්ෂ ලෙස සාමය, සර්වශුභවාදය, ආර්ථික සෞභාග්‍ය පැවතුණ යුගයක් ලෙසද හැඳින්විය හැකිය) නම් කාලවකවානුවේ පැරිසිය තුළ “සියල්ල කළ හැකි” වුණා. මම එයට මහත් සේ ආකාර්ෂණය වුණා. ඒ නිසා මම මේ කෘතිය නිර්මාණය කළේ එහි ප්‍රධාන චරිතය, කේන්ද්‍රය බවට පත්කරමින්. මම ඇය ජීවත් වූ යුගය ගැන කිසියම් අදහසක් ලබාදෙනවා, අනික මම උත්සාහ කළා වැඩිමනත් අනවශ්‍ය තොරතුරු රහිතව පාඨකයාව එම යුගය තුළ ස්ථානගත කරන්න.

ඔබ කොතැනදීද ඉතිහාසය සම්බන්ධ වාර්තාවලින් පිට පනින්නේ සහ ඒ ඇයි?
කෘතියේ අඩංගු වන කාරණා ‍ඉතිහාසයට අනුව නිවැරදියි, එහි ඓතිහාසික දහරාව නිවැරදියි. ඒත් මම වෙනත් කෙනෙකුගේ තැන ඉඳගෙන හිතුවේ. මම විශ්වාස කරනවා මම ඇය හිතූ දේවලට ඉතාමත් සමීප වුණා කියලා. මෑතකදී නෙදර්ලන්තයේ කෞතුකාගාරයකදි මාතාහාරිගේ ලියුම් වගයක් මහජන ප්‍රදර්ශනයටතැබුවා. ඒවා කියවූ එක් විචාරකයෙක් පවසා තිබුණේ කිසිවකුට මම ඇයව මට අවශ්‍ය ආකාරයට හසුරුවා ඇති බවක් හැඟු‍ණොත් ඔහු පුදුමනොවන බවයි.

මාතාහාරිගේ දෘෂ්ටිකෝණයෙන් ලිවීම ඔබට දැණුනේ කොහොමද?
මම ඇය‍ ජීවත් වූ කාලය ගැන කියවන විට ඇය රෑ දවල් දෙ‍කේම මගේ සහකාරිය වුණා. මට ටිකෙන් ටික තේරුම් ගන්න හැකිවුණා ඇයි ඇය එවැනි පුද්ගලයෙක් බවට පත්වු‍ණේ සහ ඇය කොහොමද ඇයගේ ආකල්ප සාධාරණීකරණය කළේ කියලා.

මෙවැනි සංකීර්ණ කාන්තාවකගෙන් අපට උගත හැකි දේ මොනවාද?
ඒවා තමයි 1 සෑම සිහිනයකටම ගෙවිය යුතු වටිනාකමක් ඇත 2 ඔබ වෙනස්වීමට තරම් නිර්භීත නම්, පහරකෑමට සූදානම් විය යුතුය 3 ඔබට දුෂ්ට පිරිමි ලෝකයකට මුහුණදීමට සිදුවූවත්, එය මඟහැරයාමටද ඔබට ක්‍රම සොයා ගත හැකිය.

ඔබට පුළුවන්ද ඇයගේ ජීවිතය වෙනස් විදියකට පරිකල්පනය කරන්න?
ඇයගේ ඉරණම ඇය සම්පූර්ණ කළා, එයයි සැලකිල්ලට ගතයුත්තේ.■
තොරතුරු මුලාශ්‍ර – CG FEWSTON, Times of India, A’V’ book club, The Guardian වෙබ් අඩවි.