රාවය

කොයින්ස් සිනමා උළෙල ගැන ක තා බ හ ක්

කොයින්ස් සිනමා උළෙල ගැන ක තා බ හ ක්

ඉඳුනිල් උස්ගොඩ ආරච්චි

 

ශිෂ්‍යයන් සඳහා වන ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ජාත්‍යන්තර සිනමා උළෙල, Coins සිනමා උළෙල (Colombo International Student Film Festival) මෙම වසරේ ද සැප්තැම්බර් 7, 8, සහ 9 යන තෙදින තුළ අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්වීමට ශ්‍රී ලංකා පදනම් ආයතනයේ Digital Film Academy ශිෂ්‍යයෝ කටයුතු සූදානම් කරමින් සිටිති. මේ සඳහා අධ්‍යාපන ආයතනවල ශිෂ්‍යයන්ට අගෝස්තු 7 වන දින දක්වා නිර්මාණ ලබාදීමට අවස්ථාව සලසා ඇත. තෙවන වරට පැවැත්වෙන මෙම ජාත්‍යන්තර චිත්‍රපට උළෙල සඳහා මෙවර නව අංගයන් රැසක් ද එක් කිරීමට සංවිධායක මණ්ඩලය විසින් සැලසුම් කර ඇත. මේ දැවැන්ත කාර්යභාරයන් පිළිබඳ ෘDigital Film Academy  සිනමා අධ්‍යක්ෂණ අංශයේ අංශ ප්‍රධාන සුදත් මහදිවුල්වැව සහ ෘDigital Film Academy හි ශිෂ්‍යයන් පිරිසක් රාවයට දැක් වූ අදහස්ය.

සුදත් මහදිවුල්වැව
ලංකාවේ චිත්‍රපට පාසලක් නැහැ. ඒ ගැන අවුරුදු ගණනාවක් තිස්සේ මිනිස්සු චෝදනා කරමින් හිටියා. මම හිතනවා එහෙම වාතාවරණයක බැන බැන ඉන්නේ නැතිව එක පහනක් පත්තු කරන්න අපිට පුළුවන් වුණා. මම කියන්නේ නැහැ ඩිජිටල් ෆිල්ම් ඇකඩමි එක ලංකාවේ තිබෙන පළමු චිත්‍රපට පාසල කියලා. ඒ නමුත් චිත්‍රපට පාසලක් නැති වාතාවරණයක චිත්‍රපට පාසලක් එන්නට පෙර අවස්ථාව ලෙස මෙය හැඳින්වුවොත් වඩා නිවැරදියි. අපි කණ්ඩායම් තුනක් වසර හතරක් පමණ කාලයක් පුරා සාර්ථකව සමාජයට මුදාහැරලා තියනවා. දැනට ලංකාවේ තිබෙන්න පුළුවන් අංග සම්පූර්ණම පාඨමාලාවක් තියෙන්නේ මේ ආයතනයේයි. එහි පළමු අවුරුද්දේ සිට දෙවන අවුරුද්දට එද්දී සහ දෙවන අවුරුද්දේ සිට තෙවන අවුරුද්දට එද්දී විශාල දියුණු වෙනස්කම් ගණනාවක් සිදුවුණා. මෙය අපි ආරම්භ කළේ ශ්‍රී ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතනයේයි. පසුව එය පදනම් ආයතනයට ගෙනඒමට සිදුවුණා. ඉන්පසුව මෙම ආයතනය තුළදී තමයි ඩිජිටල් ෆිල්ම් ඇකඩමි ආරම්භ වෙන්නේ. ජාත්‍යන්තර චිත්‍රපට උළෙලක් සංවිධානය කිරීම ඔවුන්ගේ විෂය නිර්දේශය තුළම කොටසක්. ඒ නිසා කොයින්ස් චිත්‍රපට උළෙල මේ විෂය නිර්දේශය තුළ තිබෙන කොටසක්. ලෝකයේ වෙනත් රටවලත් මේ දේ සිදුවෙනවා. කොයින්ස් කියන්නේ ශිෂ්‍යයන් සඳහා වූ ලංකාවේ පළමුවැනි චිත්‍රපට උළෙලයි. මේ චිත්‍රපට උළෙල සුවිශේෂයි. ශිෂ්‍යභාවයක් ඔප්පු කළ යුතු වීම මෙයට අවශ්‍ය සුදුසුකමයි. ශිෂ්‍යභාවයට වයස් සීමාවක් නැහැ. විශ්වවිද්‍යාලයක හෝ වෙනත් ආයතනයක සිනමාව පිළිබඳව කිසියම් වැඩපිළිවෙළකදී ඒ අය විසින් නිර්මාණය කරන ලද චිත්‍රපටවලට අපි අවස්ථාව දෙනවා. එය තමයි මෙහි මූලික පසුබිම. මෙය ජාත්‍යන්තර චිත්‍රපට උළෙලක්. ලෝකයේ බොහෝ රටවලින් මෙයට අයදුම්පත් එනවා. විශ්වවිද්‍යාල හතරක පමණ සිනමාව විෂයක් ලෙස උගන්වනවා. සමහර විශ්වවිද්‍යාලවල සෘජුව විෂයක් ලෙස සිනමාව ඉගැන්වූයේ නැතත් ඒ විශ්වවිද්‍යාල තුළත් චිත්‍රපට හැදෙනවා. විශ්වවිද්‍යාල දහඅටම අපි ජාලගත කර තිබෙනවා. සමහර විශ්වවිද්‍යාල විෂයක් ලෙස උගන්වා නැතත් ශිෂ්‍යයන් විෂය නිර්දේශ අදාළ වැඩසටහනකදී නිර්මාණයක් කර තිබෙනවා නම් අපි එය භාර ගන්නවා. මෙහි කෙටි චිත්‍රපට, වාර්තා චිත්‍රපට සහ සජීවීකරණ නිර්මාණ ලෙස මූලික අදියර තුනක් තිබෙනවා. මෙය සම්පූර්ණයෙන්ම සංවිධානය කරන්නේ ශිෂ්‍යයන්. එමගින් ඒ අය පළමුවරට උළෙලක් සංවිධානය කිරීමේ අත්දැකීම ලබනවා. එයට අනුග්‍රාහකයන් සොයාගැනීමේ සිට සියල්ල සිදුකරන්නේ ශිෂ්‍යයන්. ඊට අමතරව ඔවුන්ට ජාතික සහ ජාත්‍යන්තරව වැඩ කරන විවිධ අය සමඟ සම්බන්ධවීමටත් විශාල අවස්ථාවක් ලැබෙනවා. සිනමාකරුවෙකු බිහිකිරීමට අවකාශය මේ උළෙල තුළ නිර්මාණය වෙනවා. මේ සඳහා අයදුම්කළත් නොකළත් එය විඳින්න එන්න. අපි සාමාන්‍යයෙන් දකින්නේ ගෙඩි හැදුණු සහ මල් එක්ක තියෙන උළෙලවල්. ඒත් හෙට පිපෙයි කියලා හිතෙන මල් මේ උළෙලේදී ඔබට දැකිය හැකි වේවි.

චිරාත් ද සිල්වා
Coins සංවිධායක මණ්ඩලයේ සභාපති
අගෝස්තු 7 වනදා දක්වා මෙම චිත්‍රපට උළෙල සඳහා අයදුම්පත් භාර ගැනීම සිදුවෙනවා. www.coinsfilmfest.
com වෙබ් අඩවියේත් මීට අදාළ සියලු‍ තොරතුරු සඳහන් වෙනවා. මේ සඳහා ලැබෙන සෑම අංශයකටම අයත් චිත්‍රපට අතුරින් කෙටි චිත්‍රපට හතළිහක් ජූරිය විසින් තෝරාගනු ලබනවා. අවසානයේ ඒ හතළිහ සම්මාන සඳහා තරග කරනවා. Fiction කාණ්ඩය යටතේ The Golden Coin for the Best Picture, Best Director- Fiction, Best Cinematographer- Fiction, Best Editor-Fiction, Best Sound Designer-Fictionයන සම්මාන ත්‍රිත්වයත්, වාර්තා චිත්‍රපට කාණ්ඩය යටතේ Best Director-Non Fiction, Best Cinematographer-Non Fiction, Best Editor-Non Fiction, Best Sound Designer-Non Fiction යන සම්මානත්, ඇනිමේෂන් යටතේ Best CG Acting-Animation, Best Animation CharacterDesign-Animation, Best Animation Look Development-Animation, Best VFX Award- Animation යන සම්මානත් ඊට අමතරව Jury Awards, Audience Awards යන සම්මානත් මෙම චිත්‍රපට උළෙලේ දී ප්‍රදානය කරනු ලබනවා. හොඳම චිත්‍රපට අධ්‍යක්ෂවරයා හා සමානවම හොඳම කැමරා අධ්‍යක්ෂවරයා, හොඳම ශබ්ද සැලසුම් කරන්නා, හොඳම සංස්කාරකවරයා තේරීම විශේෂ කටයුත්තක් වෙනවා.
මේ පරිසරයම අපි ඒ දිනවල චිත්‍රපට උළෙලක තිබිය යුතු මට්ටමේ වටපිටාවක් බවට පත් කරනවා. සිනමා කෞතුකාගාරය මේ තුළට එනවා. අතීතයේ සිට කොහොමද චිත්‍රපටයේ කැමරාව විකාශනය වුණේ, සංස්කරණය විකාශනය වුණේ යන දේවල් පිළිබඳ අපේ පෞරාණික ඉතිහාසයටම යනවා. ඒ වගේම නවතම කැමරා, ඒවායේ භාවිතවන කාච සහ ඒවායින් වන කාර්යභාරයන් පිළිබඳ අධ්‍යයනය කළ හැකි ආකාරයේ වටපිටාවක් නිර්මාණය වෙනවා. මෙය නැරඹීමට පැමිණෙන කෙනෙක්ට සිනමාව සම්බන්ධව තුන්සිය හැටක රවුමක ගිහින් එන්න පුළුවන් පරිසරයක් නිර්මාණය වෙනවා. මේවාට අමතරව සිනමා මාස්ටර් ක්ලාසස් පැවැත්වීමත් සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා. මාස්ටර් කෙනෙක් විසින් චිත්‍රපට කර්මාන්තයේ නියැලු‍ණු අයට සහ ශිෂ්‍යයන්ට එම මාස්ටර් ක්ලාසස් පවත්වනවා. ඒ සඳහා ප්‍රවීණ ඉන්දියානු කැමරා අධ්‍යක්ෂවරයෙකු ගෙන්වීමට බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව සිනමාව පිළිබඳ වැඩමුළු පැවැත්වීම සිදුවෙනවා. ඒ හරහා ජාත්‍යන්තරයට යාහැකි සිනමාකරුවෙක් නිර්මාණය කිරීම සඳහා පෙරහුරුවක් ලබාදීමත් ඒ දැනුම වැඩි පිරිසක් අතර බෙදාදීමත් මූලික පරමාර්ථ වෙනවා. චිත්‍රපට උළෙලේ අවසන් දින රාත්‍රියේ සම්මාන උළෙල පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

සුරින් මෙන්ඩිස්
තවත් විශේෂාංගයක් ලෙස Open Theatre එකක චිත්‍රපට පෙන්වීමට මෙවර අපි සැලසුම් කර තිබෙනවා. වෙනත් රටවල සාමාන්‍යයෙන් මේ දේ සිදුවෙනවා. සාමාන්‍යයෙන් හවස හතහමාරට වගේ ආරම්භ වෙලා රාත්‍රී දොළහ පමණ වනතුරු පුළුල් තිරයක චිත්‍රපට දර්ශනය කිරීමට කටයුතු යොදනවා. බොහෝ දුරට මාස්ටර් ක්ලාසස්වලට සම්බන්ධ වන සිනමාකරුවාගේ චිත්‍රපට දර්ශනය වෙයි. ඊට අමතරව ඔහු සමඟ සාකච්ඡා කිරීමේ අවකාශය ලැබෙයි. කාන්ස් චිත්‍රපට උළෙලට තෝරාගත් ඩීමන්ස් ඉන් පැරඩයිස් කියන වාර්තා චිත්‍රපටය දර්ශනය කිරීමටත් බලාපොරොත්තු වෙනවා. මේ දේවල් මීට පෙර මෙම චිත්‍රපට උළෙලේදී නොතිබුණු නව අංගයන්.
චිත්‍රපට ක්ෂේත්‍රය පිළිබඳ අධ්‍යයනය තෝරාගන්නේ ඉතා සීමිත පිරිසක්. එයිනුත් සෑහෙන අඩු පිරිසක් තමයි කර්මාන්තයට පිවිසෙන්නේ. මෙහෙම අන්තර්ජාතික අත්දැකීමක් ඒ අයට ලබාදෙද්දී එය සංස්කෘතික ප්‍රහාරයක් වෙනවා. පිරිසක් තෝරාගෙන මේ වන විට ලංකාව තුළ චිත්‍රපට පිළිබඳ ලබන්න පුළුවන් සියලු‍ අත්දැකීම් සහිත අවස්ථාවක් ඒ අයට දෙනවා. මේ තුළ සිනමාකරුවකු වීමට අවශ්‍ය අවකාශය හැදෙනවා, එය විඳින්න එන්න.

ජයෂිකා පද්මසිරි
2014 අවුරුද්දෙන් පසුව නිර්මාණය කළ චිත්‍රපට පමණයි මේ සඳහා භාර ගන්නේ. මොකද, 2011 වසරේ සහ 2014 වසරවලදීත් මෙම උළෙල පැවැත්වුණා. ප්‍රංශය, එංගලන්තය, ඇමරිකාව, ඉන්දියාව, ඉරානය, ඉන්දුනීසියාව වැනි ලෝකයේ බොහෝ රටවල චිත්‍රපට මේ සඳහා ඉදිරිපත් වෙනවා. කෙටි චිත්‍රපට පැකේජස් වෙනත් රටවල චිත්‍රපට උළෙලවලින් ගෙන්වීමට බලාපොරොත්තු වෙනවා. තවත් දීර්ඝ චිත්‍රපට පැකේජස් ලැබී තිබෙනවා. ඒවා අපි අවසන් තරගයට තේරෙන චිත්‍රපට හතළිහට අමතරව මෙහේ ප්‍රදර්ශනය කරනවා.

සංජය එක්නැළිගොඩ
මේ සිනමා උළෙලේ තිබෙන විශේෂත්වය තමයි ජාත්‍යන්තර උළෙලක් ශිෂ්‍යයන් විසින්ම සංවිධානය කිරීම. මේක තියෙන්නේ අපිටම සම්මාන ගන්න නෙමෙයි. මීට පෙර උළෙලේදී ඉන්දියාව ජයග්‍රහණය කළා. වෙනත් රටවලින් එන්නේ ඒ රටවල චිත්‍රපට පාසල්වල නිෂ්පාදනයි. මේක අභියෝගාත්මක දෙයක් වගේම අපේ රටේ ශිෂ්‍යයන්ට කරන ගෞරවයක් ලෙස සලකන්න පුළුවන්.

තරිඳු ජයවික්‍රම
ඩිජිටල් ෆිල්ම් ඇකඩමි ශිෂ්‍යයෙක්
කොයින්ස් සිනමා උලෙළේදී ප්‍රථම වරට මෙවර ඇනිමේෂන් අංශය ඇතුළත් වී තිබෙනවා. ඒ සඳහා සම්මාන හතරක් ප්‍රදානය වෙනවා. ඊට අමතරව ඒ දින තුනේ දී පැවැත්වෙන ප්‍රදර්ශනයේ දී දැනට ලංකාවේ චිත්‍රපට සහ රූපවාහිනී කර්මාන්තයේ තිබෙන නවතම තාක්ෂණය ශිෂ්‍යයන්ට වැදගත් වන ආකාරය අපි ප්‍රධාන වශයෙන් ඉදිරිපත් කරනවා. අලු‍ත් දේ විධියට මේ වසරේ වර්චුවල් රියැලටි ෆිල්මිං කියන අංගය හඳුන්වා දෙනවා. දැනට ඒවා ලංකාව ඇතුළේ භාවිත වෙනවා. තවත් විශේෂ දෙයක් තමයි මිස්ටර් ගෝඞ්න්ගේ සිනමා ඇනිමේෂන් එක මේ වසරේ අපි ගෙනෙනවා. එය බොහෝ දුරට ලංකාවේ ඔහු ගෙනෙන අවසාන සිනමා මියුසියම් එක වෙයි කියලා ඔහු කියනවා.■