රාවය

විජයදාස ඉවරයි

විජයදාස ඉවරයි

ලසන්ත රුහුණගේ

විජයදාස රාජපක්ෂ මහතා දරන අධිකරණ අමාත්‍ය ධුරය සම්බන්ධයෙන් ඉදිරි දින දෙක තුන තුළදී කමිටුවක් පත්කර තීරණයක් ගන්නා බව එජාප නායක රනිල් වික්‍රමසිංහ අගෝස්තු 17 දින සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල හා පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර ඇති අතර ඒ අනුව ඔහුගෙන් අධිකරණ අමාත්‍යාංශය ඉවත්කිරීමට නියමිතය.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ අමාත්‍ය ධුරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා එම රැස්වීම විශේෂයෙන්ම කැඳවා තිබූ අතර එම රැස්වීමට සහභාගි වූ බොහෝ පිරිසක් විජයදාස රාජපක්ෂගේ ක්‍රියාකලාපය විවේචනය කර ඇති අතර ඔහුගේ අධිකරණ අමාත්‍ය ධුරය සම්බන්ධයෙන් තීරණයක් ගත යුතු බවද ප්‍රකාශ කර ඇත.
එහෙත් විජයදාස රාජපක්ෂ මහතාට පක්ෂව කිසිවකු අදහස් ප්‍රකාශ කර නැති අතර පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විජයදාස රාජපක්ෂ මහතාට අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දුන් අවස්ථාවේදී ඔහු සුපුරුදු පරිදි ප්‍රකාශ කර ඇත්තේ නඩු ඉක්මන් කිරීම සඳහා තමාට හැකියාවක් නැති බවත්, ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුතු බවත්ය.
එහෙත් එම අදහස එම රැස්වීමට පැමිණි කිසිවකු පිළිගෙන නැති අතර ඊට විරුද්ධව සහභාගිවූවන් අදහස් දක්වා ඇත. එහිදී කළයුත්තේ කුමක්දැයි පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සාකච්ඡා සභාවෙන් විමසා ඇති අතර ඔහු අධිකරණ අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ යුතු බව පිරිස ප්‍රකාශ කර ඇත. අවශ්‍ය නම් ඒ සඳහා ඡන්දයක් පවත්වන ලෙසද සහභාගිවූවන් ප්‍රකාශ කර ඇත. ඒ අනුව විජයදාස රාජපක්ෂගේ අධිකරණ ඇමති ධුරය පිළිබඳව දින දෙක තුනක් ඇතුළත කමිටුවක් පත්කර තීරණයක් ගන්නා බව රනිල් වික්‍රමසිංහ මහතා ඒ පිළිබඳව අවසාන වශයෙන් ප්‍රකාශ කර ඇත.
එමෙන්ම විජයදාස රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් තොරව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් ගොස් නඩු පමාව පිළිබඳව නීතිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමටද එහිදී තීරණය වී ඇත. මේ ආකාරයට අදහස් දැක්වීම් කරන අතරතුර ආශු මාරසිංහ විජයදාස රාජපක්ෂ මහතා ඇමති ධුරයෙන් ඉවත් කළ යුතු බවට යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර ඊට ප්‍රතිචාර දක්වමින් විජයදාස රාජපක්ෂ මහතා ප්‍රශ්න කර ඇත්තේ ජයග්‍රහණයට මාසයකට පමණ පසු පක්ෂයට ආ අයෙකු තමන්ට අස්වන්නට කියන්නේ කෙසේද යන්නය. එහිදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත්තේ ආශු මාරසිංහ කාලයක් තිස්සේ පක්ෂය සමඟ කටයුතු කළ බවයි.

හම්බන්තොට වරාය සම්බන්ධයෙන් තමා නොකී දේ පුවත්පතේ පළවී ඇතැයි විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇති අතර ආශු මාරසිංහ මහතා ඊට ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ එම පුවත්පත් වාර්තාව පිළිබඳ මුදල් ගෙවූ දැන්වීම් ෆේස්බුක් හරහා ප්‍රචාරය වන බවයි.
එම යෝජනාව පිළිබඳව ඡන්දයක් තියමු යැ’යි සභාවේ අදහසක් මතුවී ඇති අතර ඊට පක්ෂ කවුදැයි විමසීමේදී මුළු පිරිසම අත්ඔසවා ඇත. කමිටුවක් පත්කරන බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඒ පිළිබඳව මාධ්‍යයට අදහස් ප්‍රකාශ කිරීමට ගයන්ත කරුණාතිලක හා අකිල විරාජ් කාරියවසම් මහත්වරුන් ඉන්පසු පත්කර තිබේ.
ජෝන් අමරතුංග එහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ වත්මන් නායක රනිල් වික්‍රමසිංහ හිටපු නායකයෙකු වූ ජේ.ආර්. ජයවර්ධනගේ නෑදෑයෙකු හෙයින් අනෙක් අයගේ අදහස් විමස විමසා නොඉඳ ජේ.ආර්. සේ අදම තීරණයක් ගත යුතු බවය.
එමෙන්ම අමාත්‍ය මංගල සමරවීර අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ හම්බන්තොට වරාය සම්බන්ධයෙන් විජයදාස රාජපක්ෂ ළිංමැඩියෙකු සේ කටයුතු කරන බවයි. සරත් ෆොන්සේකා මහතා අදහස් දක්වමින් විජයදාස රාජපක්ෂ බොරු කියන නීතිඥයකු ලෙස හඳුන්වා ඇති අතර ඊට උදාහරණ ලෙස ඇවන්ගාඞ් සමාගමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සහතිකයක් හිමිවී ඇති බවට ඔහු බොරු කියා ඇති බවත් ප්‍රකාශ කර ඇත. රන්ජන් රාමනායක මහතා අදහස් දක්වමින් ප්‍රශ්න කර ඇත්තේ තමාගේ යම් යම් ප්‍රකාශ සම්බන්ධයෙන් ඉල්ලා අස්වන්නැයි කියන පක්ෂ නායක විජයදාස රාජපක්ෂට එසේ නොකියන්නේ මන්ද යන්නයි.
මෙම සාකච්ඡාවේ සාමාන්‍යයෙන් අදහස් පළනොකරන රුවන් විජේවර්ධන වැනි අය පවා විජයදාස රාජපක්ෂ මහතාට එරෙහිව අදහස් පළකර ඇති අතර එසේ අදහස් ප්‍රකාශ කර ඇති අනෙකුත් අය වන්නේ අජිත් පී. පෙරේරා, නලින් බණ්ඩාර, හර්ෂ ද සිල්වා, ගාමිණී ජයවික්‍රම පෙරේරා, රවීන්ද්‍ර සමරවීර, එරාන් වික්‍රමරත්න, හරීන් ප්‍රනාන්දු, ආනන්ද අලුත්ගමගේ, සිඞ්නි ජයරත්න ආදින්ය.■