රාවය

මිනිසුනි, රටේ නියඟයක් තිබේ

මිනිසුනි, රටේ නියඟයක් තිබේ

රේඛා නිලුක්ෂි හේරත් තරිඳු උඩුවරගෙදර

අපි නියඟය ගැන බලන්නට ගොස් වර්ෂාවට හසුවුණෙමු. කැබිති ගොල්ලෑව, මිහින්තලේ, මහාකනදරා වැව, පදවිය, මැදවච්චිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට පසුගියදා ගිය අපට දකින්නට ලැබුණේ මහාකනදරා වැව, වාහල්කඩ වැව, තබ්බෝව වැව, මැදවච්චිය මහ වැව, පදවිය වැව ඇතුළු වැව් බොහොමයක් සිඳීයෑමේ මහා අර්බුදයට පහුගිය දිනවල ඇදහැලුණු වර්ෂාව විසඳුමක් වී නැති බවයි.

නියඟය පැවති බොහෝ ප්‍රදේශවලට හදිසි වර්ෂාවකට මුහුණදෙන්නට සිදුවුණත් සමස්තයක් ලෙස නියඟ තත්ත්වයට විසඳුමක් ලැබී නැති බව නියඟයට මුහුණදෙන ජනතාවගේ මෙන්ම රජයේ ආයතනවල විශ්වාසයයි. උතුරු මැද, වයඹ, උතුර සහ නැගෙනහිර ආශ්‍රිතව නියං තත්ත්වය පවතින ප්‍රදේශවලට මෝසම් වර්ෂාව සක්‍රිය වෙන්නේ ඔක්තෝබර් මාසයත් සමඟයි. තවමත් නියඟයට මුහුණදුන් ජනතාව සම්බන්ධයෙන් සංඛ්‍යා දත්තවල විශාල වෙනසක් සිදුවී නැත. සිඳී ගිය වැව්වල ජල ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් තවමත් ඉහළ ගොස් නැත. ලක්ෂ දොළහකට ආසන්න පිරිසක් නියඟයෙන් පීඩා විඳිති. විශේෂයෙන් මන්නාරම ආශ්‍රිතව වෙසෙන ඇතැමුන්ට නම් මේ වැටුණු වැස්සත් ලැබී නැති බව කිවයුතුය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පවසන්නේ අනුරාධපුර, පොළොන්නරුව, යාපනය ආදි ප්‍රදේශවලට මේ දිනවලදී කඩින් කඩ වර්ෂාව පතිත වන බවයි. මේ වර්ෂා තත්ත්වය දීර්ඝකාලීනව බලාපොරොත්තු විය නොහැකි බව ඔවුන්ගේ අදහසයි. යාපනය දිස්ත්‍රික්කය සහ වන්නිය ආශ්‍රිතව වර්ෂාව ඉදිරි සතිය වන විට නවතිනු ඇති බව ඔවුන්ගේ පුරෝකථනයයි. අනුරාධපුරයේ වර්ෂාව මේ මාසය අවසාන වෙද්දි අඩුවීමට ඉඩ ඇති බව ඔවුහු කියති. බොහෝවිට ඉදිරි දිනවල වැටෙන වර්ෂාව සවස් වරුවේ මඳ ප්‍රමාණයකින් පතිත වන වර්ෂාවක් විය හැකි බවත් එය වැව් සම්පූර්ණයෙන් පුරවන්නට ප්‍රමාණවත් නොවන බවත් ඔවුන්ගේ අදහසයි. ඒ නිසා වගා කරන්නට ජලය වැටෙන්නට මෝසම් වැහි ඇදවැටෙන තුරු බලා සිටිය යුතුය.
“වැස්ස නිසා වුණේ අපේ තත්ත්වය තවත් දරුණු වීම.ට්
හදිසියේ ඇදහැලුණු වර්ෂාව සහනයක් වෙනුවට බොහෝ දෙනෙකුගේ අර්බුද උග්‍ර කරන්නක් බවට පත්ව ඇති බව අපට පෙනුණු තත්ත්වයයි. මේ වන විට පදවිය, රාජාංගණය, වාහල්කඩ ඇතුළුව සුළු වශයෙන් හෝ වගා කළ කුඹුරුවලට හදිසි වර්ෂාව නිසා මුහුණදෙන්නට සිදුව ඇත්තේ ගොයම් සෝදාපාළු වීමේ අභියෝගයටයි. ඊට අමතරව ගොඩ වගාවල යෙදුණු බොහෝ දෙනෙකුටද හදිසි වර්ෂාව නිසා මුහුණදෙන්නට සිදුව ඇත්තේ බෝග කුණුවීමේ අවදානමකටයි.

සෙනෙවිරත්න මහතා ගොවියෙකි. ඔහුගේ අක්කර කිහිපයක කුඹුරෙහි පර්චස් දහයක පමණ බඩඉරිඟු සහ වෙනත් ගොඩ බෝග වගා කර ඇත්තේ කිසිවක් නොකර සිටිනවාට වඩා යහපත් නිසාය. එහෙත් වැටුණු වර්ෂාව නිසා බොහෝ බඩඉරිඟු පැළ කුණුවීමේ අවදානමට ලක්වී තිබෙයි.
විමලාවතී ගොවි මහත්මිය පදවියේ පදිංචිකාරියකි. ඇය අපට හමුවුණේ ගොයම් නෙලන අතරේය. විශාල පදවිය වැවේ යම් ජල ප්‍රමාණයක් වගා කිරීම සඳහා නිදහස් කිරීමට කටයුතු කර තිබුණි. ඒ අනුව ගොවීන්ට අක්කර කාල බැගින් වගා කරන්නට අවසර ලැබී තිබුණි. පදවිය ජලාශයෙන් දුර බැහැර සිටින ගොවීන්ට වෙනත් ගොවීන්ට හිමි වැවට සමීප ඉඩම් අක්කර කාල බැගින් බෙදා දී වී වගාකර තිබුණි. වර්ෂාව පතිත වුණේ ගොයම් පැහීගෙන එද්දීය. දැන් කුඹුරු වතුරෙන් පිරීගොස් ඇති අතර ගොයම් වතුරට හසුව විනාශ වී ඇත.

“අපි වැස්සෙම ගොයම් ටික කපන්න ගත්තා. බාගෙට බාගයක් විනාශයි. ඉතිරිවුණ ටික හරි බේරගන්නයි අපි බලන්නෙ. අපි අක්කර කාලක් වගා කළේ බිත්තර වී ගන්නයි. එදිනෙදා පරිභෝජනයට හරි ගන්නයි. දැන් අපට ඒකත් නෑ. මාස ගාණක් අපි වැස්ස නැති නිසා දුක්වින්දා. දැන් වැස්ස වහින නිසා අපි දුක්විඳිනවා.” විමලාවතී මහත්මිය එසේ කියන්නීය.
මෝසම් වැහි ඇරඹෙද්දී ගොවීන් තවත් ප්‍රශ්නයකට මුහුණදෙන බව මිහින්තලයේ යාය එකේ සිරිසේන මහතා කියයි.

“අපි දැනටමත් ණයවෙලා ඉන්නෙ. ගොඩක් වෙලාවට ණය උගුල්වල හිරවෙලා. බැංකුවලින් ණයක් දෙන්න ගියාම සීයක් ප්‍රශ්න අහනවා. රස්තියාදු වෙනවා. අපි කන්න දෙකකින් වගා කරලා නෑ. කන්න බොන්නවත් ආදායමක් නෑ. හැමෝම කුලී වැඩ කරනවා. ඒත් ජීවත්වෙන්න තරම් කුලී වැඩවලින් ලැබෙන ආදායමත් මදි. ඒ නිසා මිනිස්සු කරන්නෙ ණය ගන්න කෙටි මාර්ග හොයන එක. ණයකාරයන්ට අපි හිරවෙලා. ඊළඟ කන්නෙ එද්දී ගොඩක් අයට බිත්තර වී හොයාගන්නත් නැතිවෙයි. වගා කරන්න සල්ලි හොයාගන්න පුළුවන් වේවිද දන්නෑ ගොඩක් අයට.”

බොහෝ දෙනෙක් ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුල්වල මෙන්ම විවිධ මුදල් ජාවාරම්කාරයන්ට හසුවී ඇති අයුරු අපට අසන්නට ලැබුණි. එපමණක් නොව මැදවච්චිය, කැබිතිගොල්ලෑව ආදි නගරවලට අපට දකින්නට ලැබුණේ විවිධ තාවකාලික රැකියා පිළිබඳ විස්තර ඇතුළත් පත්‍රිකා බෙදන තරුණයන්ය.
අප අතට ලැබුණු එක් පත්‍රිකාවක තිබුණේ රෝගීන් බලන රැකියාවක් ගැනයි. රාගම, ගම්පහ, මීගමුව, කොළඹ, අයිඩීඑච් ආදි රෝහල්වල ඩෙංගු තත්ත්වය සහ විවිධ රෝග නිසා රෝහල්ගත කර සිටින අය කුලියට බලාගැනීමේ රැකියාවක් ගැනයි එහි තිබුණේ. දිනකට රුපියල් දාහක වැටුපට රෝගියෙකු ළඟ සිට මුදලක් උපයාගත හැකි බව එහි සඳහන්ව තිබුණි. මෙවන් විවිධ තාවකාලික රැකියාවන්ට අසරණ වූ ගොවීන් බොහෝදෙනෙකු යොමුව ඇතත් ප්‍රමාණවත් ආදායමක් ඒවායින් සොයා ගැනීමට ඔවුහු අසමත්ය.

ගොවියන්ට පමණක් නොව විවිධ රැකියාවන්ට නියඟය ඍජුව හෝ වක්‍රව හෝ බලපා ඇත. අප සමඟ අදහස් දැක්වූ සන්නිවේදන සේවා සපයන වෙළෙඳසැල්, විද්‍යුත් උපාංග අලෙවි කරන්නන්, පොහොර වෙළෙන්දන් ඇතුළු විවිධාකාර සුළු ව්‍යාපාරවල යෙදෙන බොහෝදෙනෙකු කීවේ තමන් නියඟය නිසා විශාල ආර්ථික කඩාවැටීමකට මුහුණදී සිටින බවයි.
එස් කුලරත්න මහතා මැදවච්චියේ මසුන් අල්ලන්නෙකි. ඔහු ප්‍රදේශයේ වැව් කිහිපයකම මසුන් අල්ලයි. එහෙත් ඔහු කියන්නේ වැව් කිසිවක මාළු නැති බවයි.

“පදවිය, වාහල්කඩ වගේ ලොකු වැව්වලට නම් කාලෙන් කාලෙට මාළු දානවා. ඒ නිසා වැව්වල වතුර හිඳෙද්දී මාළු ඉන්නවා. ඒත් මේ වැව්වලට දාන්නෙ නෑ. අපිත් ඒ නිසා මාර අමාරුවක වැටිලා ඉන්නෙ. අපි පදවියෙන් එන මාළු සල්ලි දීලා අරගෙන විකුණන එකයි දැන් කරන්නේ.”
විශාල ආර්ථික අහේනියකට ජනතාව මුහුණදෙන්නේ එදිනෙදා කෑම බීමටවත් මුදලක් සොයාගැනීමේ අපහසුව සමඟයි. දුෂ්කර ගම්මාන හැර බොහෝ තැන්වල පානීය ජලය වැස්ස නිසා සොයාගත හැකි වුණත් ආහාර ද්‍රව්‍ය මිලට ගන්නට ආදායමක් නැතිවීම නිසා ණය උගුලක හිරවෙනවා හැර අන් විකල්පයක් ජනතාවට ඉතිරි වී නැත.

අවධානය මදි
කැබිතිගොල්ලෑවේ ආර්. ජයරත්න පවසන්නේ මුළු රටකට බත් කන්නට හාල් ඕනෑ වුණත් හාල් තනන මිනිසුන් හාමත් වෙද්දී රටට එය ප්‍රශ්නයක් නොවීම ගැන විශාල කලකිරීමක් ඇති බවයි.
“දිනපතා පත්තර ටික ගන්න. කීයෙන් කීදෙනාද නියඟය ගැන උනන්දු වෙන්නේ. ඇත්තටම ටිකක් හරි උනන්දුවෙලා තියෙන්නේ ‘අද’ පත්තරේ විතරයි. අනෙක් පත්තර හැම එකකටම අපේ ප්‍රශ්නෙට වඩා වැදගත් ප්‍රශ්න තියෙනවා. ටීවි එකේ ප්‍රවෘත්ති බැලුවත් නියඟෙ ගැන කෑල්ලක් යනවා. ඒත් අනෙක් ප්‍රවෘත්ති අස්සෙ. මැති ඇමතිලා කතා කරනවාද නියඟෙ ගැන. ජනාධිපතියි අගමැතියි නියඟෙ ගැන හරියට උනන්දු වුණාද?ට්

ගුණදාස මහතා ගොවියෙකි. ඔහු සිටින්නේ එදිනෙදා කන්නට බොන්නට යමක් සොයාගැනීමේ අපහසුවෙනි. ඔහු දන්නා සියල්ලන්ට ශාප කරන්නේ පත්ව ඇති තත්ත්වය නිසාය. ඇඳුම් පැළඳුම් ගන්නටවත් ආදායමක් ඔවුන්ට නැත. කන්නට බොන්නට දෙයක් සොයාගන්නේ අපහසුවෙනි. මාස ගණනකින් නිසි ආදායමක් නැති පසුබිමක ණයවලට මුහුණදීමේ අභියෝගයටත් ඔහු මුහුණදෙයි.
“අපි අසරණ වෙලා ඉන්නේ. ආණ්ඩුවෙන් කිසි දෙයක් වෙන්නේ නෑ. ගොඩක් අය නියඟය තියෙනවා කියලා පත්තරවල ටීවීවල දැම්මාට කවුරුත් මේක ලොකු ප්‍රශ්නයක් කියලා දකින්නේ නෑ.” ඔහු කියන්නේ එයයි.

කිසිදා නිවසේ පරිභෝජනයට කඩෙන් හාල් ගෙන නැති ඔවුන්ට දැන් කඩෙන් හාල් පවා මිලදී ගන්නට සිදුව ඇත. එවන් ඉරණමකට මුහුණදීම ඔවුන් දකින්නේ තමන්ගේ ජීවිතවල විශාලම කඩාවැටීමක් ලෙසයි.

සමාජ මාධ්‍යවලට වැදගත් නෑ
බොහෝවිට ලංකාවේ ගංවතුරක්, නායයෑමක් හෝ වෙනත් විපතක් සිදුවූ විගස ක්‍රියාකාරී වන ස්වෙච්ඡා ක්‍රියාකාරිකයන් පිරිසක් දැන් බිහිව ඇත. මේ කණ්ඩායම ඉතාම කාර්යක්ෂමව සහ ඉතාම සාර්ථක ලෙස මැදිහත්වීම් කරන්නේ ඇතැම්විට රජයේ ආයතනත් පරදවමිනි. එහෙත් නියඟයේදී එවන් ක්‍රියාකාරිකයන් සමාජ සුභසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක වී ඇති අයුරක් නොපෙනෙයි. ඇතැම්විට එයට හේතුව ගංවතුරක් තරම් නියඟයක් ආපදාවක් ලෙස අවධානයට ලක් නොවීම විය හැකිය. ගංවතුරේ බැස සමාජ මාධ්‍යවල ඡායාරූපයක් පළකරවාගැනීමෙන් ලබන අවධානය නියඟයට ආධාර එකතු කිරීමෙන් ලැබෙන්නේ නැත. ස්වේච්ඡා ක්‍රියාකාරිකයන් නියඟයේදී උදාසීන වීම තත්ත්වය තවත් දරුණු කරවයි.

ආණ්ඩුවේ සාපය
“ආණ්ඩුවෙන් ලොකු සහනයක් නෑ.” නියඟය ආණ්ඩුව බරපතළ ප්‍රශ්නයක් ලෙස නොතකන බව දිගින් දිගටම පෙනෙයි. මේ වෙද්දී මධ්‍යම ආණ්ඩුවෙන් කියන්නේ විවිධාකාර සහන ලබාදෙන බවයි. පානීය ජල අවශ්‍යතා සපුරන බව කීවත් බොහෝදෙනෙකු ජලය මිලදී ගන්නා බව පෙනෙයි. අප යද්දී ඇතැම් තැන්වල ජල උල්පත්වල යම් තරමකට ජලය එක්ව තිබුණේ වර්ෂාවක් වැටුණු නිසාය. එහෙත් වැස්ස නවතිද්දී ඒ ජල උල්පත් යළි සිඳී යනු ඇත. මේ බොහෝ ප්‍රදේශවල වකුගඩු රෝගයත් දරුණු ලෙස ඇත. වකුගඩු රෝගීහුද තම ජල අවශ්‍යතාවන් සපුරාගත නොහැකිව පීඩාවට පත්ව සිටිති.
“මේ ආණ්ඩුවේ සාපයයි මේ වදින්නේ.” සීරුවෙන් කියවාගත යුතු කොටස මෙයයි. අප සමඟ කතාබහ කළ කැබිතිගොල්ලෑව, තබ්බෝව, පදවිය, වාහල්කඩ, මිහින්තලේ සහ මැදවච්චියේ සියලුදෙනාම පාහේ මේ නියං තත්ත්වයට ආණ්ඩුව වගකිව යුතු බව ඉතා තදින් විශ්වාස කරති.
“රජ දැහැමි වේවා. කලට වැසි ලැබේවා කියලනෙ කියන්නෙ. දැන් රජ දැහැමි නෑ. කලට වැසි ලැබෙන්නෙත් නෑ. අර මහ බැංකු වංචාවෙන් හොරකම් කරපු ලූණු බික තිබුණා නම් අපේ මිනිස්සුන්ට හරිහමන් ආධාරයක්වත් දෙන්න තිබුණ නියං වෙලාවෙ.” අප සමඟ මෙසේ කීවේ මිහින්තලේ යාය එකේ පදිංචි ගුණපාල මහතායි. මිනිසුන්ගේ දේශපාලන විශ්වාසයන් බොළඳ සහ අන්ධ බව ඇත්තය. එහෙත් ආණ්ඩුවට මේ නියං තත්ත්වයේදී මීටත් වඩා උනන්දුවෙන් ක්‍රියාත්මක වෙන්නට තිබුණි. මේ ලංකාවේ මෑත කාලයේ ආ දරුණුම නියං තත්ත්වයයි. ලෝක මට්ටමෙන් සිදුවන දේශගුණ විපර්යාසවල ප්‍රතිඵලයක් ලෙස මෑත කාලයේ දරුණුම ගංවතුරටත් දරුණුම නියං තත්ත්වයටත් මේ ආණ්ඩුවටම මුහුණදෙන්නට සිදුවුණ බව සැබෑය. ආණ්ඩුව ගංවතුර තත්ත්වයට මුහුණ දුන්නේය. මැදිහත්වීම් කළේය. එහෙත් නියඟය සම්බන්ධයෙන් ආණ්ඩුව ක්‍රියා කරන්නේ ඉතාම ඇල්මැරුණු ලෙසයි. මධ්‍යම ආණ්ඩුවේ මැති ඇමතිවරුන් සාකච්ඡා කරන්නේ ලක්ෂ දොළහකට ආසන්න පුරවැසියන් පිරිසක් නියඟයෙන් පීඩා විඳීම ගැන නොවේ. ඔවුන්ගේ ප්‍රශ්න විශ්වාසභංග, පක්ෂවල බල අරගල ආදියයි. නියඟය ජනප්‍රිය මාතෘකාවක් නොවී අතුරු මාතෘකාවක් වෙද්දී නියඟයට මුහුණදෙන ජනතාව සාප කරයි.

ආණ්ඩුවෙන් ලබාදෙන සහනාධාරයත් ලබාදෙන්නේ ඉතාම අසාධාරණ ලෙසයි. අප සමඟ මිහින්තලේ, මැදවච්චියේ, කැබිතිගොල්ලෑවේ ජනතාව කීවේ ආණ්ඩුව ඉතා අසාධාරණ ලෙස නිවසක කිරි ගවයෙකු සිටියත් එවන් නිවෙස්වලට ආධාර ලබානොදෙන බවයි. කුමන හෝ රැකියාවක නිරත වෙන්නේ නම් ආධාර නොලැබෙන බවත් නිවසක තරුණියක ඉතා අඩු වැටුපකට රෙදි කම්හලක රැකියාවක් කළත් ආධාර අහිමිවීම අසාධාරණ බව ඔවුන් කියයි.
මේ සියල්ල මැද ආණ්ඩුව කල්පනා කළයුත්තේ පීඩාවට පත්වුණු ජනතාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීම ගැනයි. වැස්ස වැටුණත් එය නියං තත්ත්වය යහපත් අතට හරවන බවක් පෙනෙන්නේ නැත. අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ අදහසත් මේ වර්ෂාව සිඳී ගිය වැව් යළි පුරවන්නට සමත් නොවනු ඇති බවයි. එවන් පසුබිමක වර්ෂාව ක්‍රමයෙන් අඩු වෙද්දී තව මාසයකට වැඩි කාලයක් යනතුරු ආපදා තත්ත්වය එලෙසින්ම පවතිනු ඇත. ආණ්ඩුව දැන්වත් මැදිහත් වී ආපදා තත්ත්වය ගැන වගකීමෙන් යුතුව යමක් කළයුත්තේ ඒ නිසාය.■