රාවය

ජාතිවාදියෝ සැරිසරති පොලිසියට සුළු වැඩකි

ජාතිවාදියෝ සැරිසරති පොලිසියට සුළු වැඩකි

රේඛා නිලුක්ෂි හේරත්

නීතිය අනුව නිවසක් සෝදිසි කිරීමකට අවසරය ඇත්තේ වරෙන්තුවක් ඇති නම් පමණි. අවසරයකින් තොරව පෞද්ගලික දේපළකට ඇතුළුවෙන්නට අයිතියක් කාටවත් නැත. එහෙත් ලංකාවේ සිංහල බෞද්ධයැයි කියාගත් අන්තවාදීන්ට අවශ්‍ය ඕනෑම තැනකට ඇතුළුවී තර්ජනය කරන්නට පුදුමාකාර අයිතියක් ලැබී තිබේ. ඔවුන් නිවෙස්වලට ඇතුළුවී කැමති ඕනෑම දෙයක් කියා අනුන්ගේ නිවසක් ඇතුළේ නිවසේ හිමිකරුවන්ට තර්ජනය කරන අයුරු වීඩියෝ කොට සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කරන්නටත් අවසරය ලැබී තිබේ. එපමණක් නොව දරුණු ලෙස ජාතිවාදය අවුස්සන ආකාරයේ කතා කියා ප්‍රසිද්ධ කරන්නටත් ඔවුන්ට අවසරය ඇත.

හිටපු ආණ්ඩුව සමයේ මේ අරුම පුදුම නිදහස බරපතළ ලෙස තියෙද්දී අප කීවේ ඒ නිදහස ආණ්ඩුව හිතාමතා ලබාදී ඇති නිදහසක් බවයි. මේ ආණ්ඩුව සමයේත් ඒ නිදහස ලබන කෙනෙක් සිටිත් නම් අපට කියන්නට ඇත්තේ ඔවුන්ට මේ ආණ්ඩුවේ සහයෝගය ලැබෙනවා විය යුතු බවයි. ජාතිවාදී බල්ලන් හැම තැනම වසුරු හෙළමින් සැරිසරද්දී කිසිවෙකුට ගාණක්වත් නැත. මේ වන විට සමාජ මාධ්‍ය තුළ අන්ත ජාතිවාදීන් රැසක් බිහිව ඇති අතර මුස්ලිම් විරෝධි අන්තවාදී අදහස් සමාජ මාධ්‍යවල පැතිරවීම ඔවුන්ගේ රාජකාරිය වී ඇත. මෙය මුලින් සුළු පිරිසක් විසින් මෙහෙයවන ගණන් නොගත යුතු තත්ත්වයක් වුණත් මේ වෙද්දී මේ අන්තවාදීන්ට ලැබන ප්‍රතිචාර දෙස බලද්දී මේ ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතු බව පෙනෙයි.

ඩෑන් ප්‍රියසාද් නමැත්තා මෙසේ සමාජ මාධ්‍ය තුළ ක්‍රියාත්මක වන්නෙකි. ‘සිංහ ලේ’ නමින් හඳුන්වාගත් සංවිධානයක සිටි ඔහු දැන් ‘හෙළ ලේ’ සංවිධානය යනුවෙන් හඳුන්වාගත් කණ්ඩායමක නායකයෙකු යැයි කියාගනිමින් සමාජ මාධ්‍ය තුළ ක්‍රියාත්මක වෙයි. පසුගිය කාලය තුළ ඔහුගේ ෆෙස්බුක් මිතුරු ජාලය වේගයෙන් වර්ධනය වී ඇතිවා පමණක් නොව දහස් ගණනකින් ඔහුගේ අදහස් හුවමාරු කරන්නන්ද සමාජ මාධ්‍ය තුළ බිහිවී ඇත.

පසුගිය අගෝස්තු 09 වැනිදා රාත්‍රියේ වැල්ලම්පිටියේ එක්තරා නිවසකට ඇතුළුවුණු ඩෑන් ප්‍රියසාද් නමැත්තා ඇතුළු කණ්ඩායමක් වීඩියෝ කැමරාවලින් වීඩියෝ කරමින් නිවසේ සිටි තරුණියකට සහ ඇයගේ සොහොයුරාට තර්ජනය කරමින් බැණ වදිමින් ප්‍රශ්න කර ඇත්තේ ඒ නිවසේ සකස් කරන කිරි වර්ගයක් ලබාදෙමින් සිංහල ජාතිය වඳ කරන්නට නිවැසියන් සැලසුම් කරන බව කියමිනි. නිවසේ වෙසෙන්නන්ට නිවස ගිනි තියන බව තර්ජනය කරන්නට මේ කණ්ඩායම පෙළඹී තිබුණි.
මේ වීඩියෝව සමාජ මාධ්‍ය තුළ විශාල පිරිසක් නරඹා තිබුණු අතර මෙය මුස්ලිම් ජාතිකයන් බියට පත්කරන සිදුවීමක් මෙන්ම අන්තවාදීන්ගේ අදහස්වලට පොහොර දමන සිදුවීමක් බවටත් පත්විය. වඳ බෙහෙත් යොදන ආහාර ද්‍රව්‍ය ඇති බවට යන ප්‍රචාරයන් සිංහල ජාතිකයන් බොහෝදෙනෙකු තදින් විශ්වාස කරන අතර මේ සිදුවීම ඒ විශ්වාසයන් තහවුරු කරන සිදුවීමක් විය.

එහෙත් එතැන සිදුව තිබුණේ වෙනත් සිදුවීමකි. ෆීල් ලංකා නම් ආහාර සම්බන්ධව පර්යේෂණ සිදුකරන ආයතනයක පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකාවක ලෙස අදාළ නිවසේ තරුණියක් රැකියාව කරයි. ඇය එක්තරා කිරිපිටි සමාගමක් විසින් ලංකාවේ වෙළඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන චොක්ලට් රසැති කිරිපිටි වර්ගයක් පිළිබඳ සමීක්ෂණයකට සම්බන්ධ වී ඇත. ඇය තමන්ගේ නිවසේ අසල්වැසියන් අදාළ සමීක්ෂණයට සම්බන්ධ කරගෙන ඇති අතර එවන් සමීක්ෂණයකදී සාමාන්‍යයෙන් සිදුකරන පරිදි සමීක්ෂණයට සහභාගී වූ අයගේ අතට යම් මුදලක්ද ලබාදී ඇත්තේ ගමන් වියදම් ලෙසයි. සමීක්ෂණයට සම්බන්ධ වන අයගෙන් තොරතුරු විමසීමද කර ඇත්තේ පර්යේෂණයේ අවශ්‍යතාව සඳහාය. සමීක්ෂණය කර ඇත්තේ මරදානේ වෙන් කරගත් ශාලාවක උත්සවාකාරයෙනි. එය එම කිරිපිටි වර්ගය හඳුන්වාදීමක්ද විය. ඒ සමීක්ෂණයට සිංහලයන් පමණක් නොව ජාතිභේදයකින් තොරව විවිධ ජාතීන්ට ඇති අය සහභාගී වී තිබේ. මේ තරුණියගේ පවුලේ අයත් සහභාගි වී ඇත.

කෙසේ වෙතත් ඩෑන් ප්‍රියසාද්ලා පැමිණෙද්දී නිවසේ සිට ඇත්තේ සමීක්ෂණයට සහභාගී වූ තරුණියගේ බාල සහෝදරයා සහ බාල සහෝදරියයි. වඳ කිරි පොවන්නේයැයි ෆෙස්බුක් කල්ලිය ප්‍රශ්න කර ඇත්තේ ඒ බාල සහෝදරියගෙනි. සමීක්ෂණයට සම්බන්ධ වූ තරුණිය එද්දී නිවසේ සෙනඟ පිරී ඇති අතර තරුණියගේ මව, සහ පියාද අපහසුතාවට පත්වන ආකාරයට ඔවුන් තර්ජනය කර ඇත.

මේ සිදුවීම් සියල්ල සමාජ මාධ්‍ය හරහා විකාශය කර ඇත. නිවැසියන් 119ට ඇමතුමක් ලබාදී නිවසට පොලීසිය ගෙන්වාගෙන ඇති අතර පොලීසියේ රාජකාරියටත් බාධා කරමින් මේ කණ්ඩායම නිවැසියන්ට තර්ජනය කර ඇති බව අප සමඟ අදහස් දැක්වූ වැල්ලම්පිටිය පොලීසියේ නිලධාරියෙක් කීය.

මේ සිදුවීමෙන් එම තරුණිය සහ ඇගේ නැගණිය විශාල වශයෙන් අපහසුතාවට පත්ව තිබුණි. එපමණක් නොව දැඩි බියටද පත්ව තිබුණි. තවමත් ඇගේ නැගණිය වික්ෂිප්තව සිටින්නේ ලංකාව නම් රටේ ජාතිවාදී කලබලවල දිග පළල ගැන අසා ඇති නිසාය. ලංකාවේ සුළු ජාතිකයෙක් නම් කොයි මොහොතේ හෝ අන්තවාදියෙකු අතින් මරණය හෝ මරණයටත් අන්ත පීඩාවකට ලක්වීමේ අවදානම සමඟ ජීවත්විය යුතු බව සුළු ජාතිකයන්ගේ සාමාන්‍ය දැනීමකි. සුළු ජනවර්ගයක කාන්තාවක නම් මේ බිය තවත් වැඩිය. ඩෑන් ප්‍රියසාද් ඇතුළු හැඩිදැඩි මැරයන් නිවසට පැමිණ තර්ජනය කළ ආකාරයත් සමාජ මාධ්‍යවල දරුණු වාග් ප්‍රහාරයන්ට මුහුණදෙන්නට සිදුවීමත් විසින් මෙම පවුල දැඩි අසරණ බවට පත්කර ඇත.

‘ඉතාම නරක විදියටයි මේ අය අපේ නංගිට කතාකරලා තිබුණේ. එයා කිසිදෙයක් මේ ගැන දන්නේ නැහැ. මම කළේ මගේ රස්සාව. මේ වන විට අපට පාරේ බැහැලා යන්නත් බැරි තත්ත්වයක් තියෙන්නේ. අපේ මුහුණු ෆෙස්බුක් එකේ දහස් ගණනක් හුවමාරු කරගෙන තියෙනවා. අපි ලොකු වැරැද්දක් කරපු අය විදියට ෆෙස්බුක් එකේ ප්‍රසිද්ධ කරලා.’ මේ සිදුවීමට මුහුණදුන් තරුණිය අප සමඟ අදහස් දක්වමින් එසේ පැවසීය. ඇය සිදුවීම අප සමඟ විස්තර කළේ හඬාවැටෙමිනි.
මේ සිදුවීම සම්බන්ධයෙන් පාර්ශ්ව දෙක කැඳවා තරයේ අවවාද කර ඇති බව වැල්ලම්පිටිය පොලීසියේ ඉහළ නිලධාරියෙක් අප සමඟ පැවසීය. පෙනී යන අන්දමට පොලීසිය මේ සිදුවීම සුළු සිදුවීමක් ලෙස කල්පනා කරයි. එසේ වුවත් මේ වන විට මේ ජාතිවාදීන් ක්‍රම ක්‍රමයෙන් වැඩි සමාජ අවධානයක් සහ විශ්වාසයක් දිනාගන්නා අයුරු පෙනෙයි. මේ සිදුවීමෙන් පසුව වඳ බෙහෙත්වලින් සිංහල ජාතිය මුදාගැනීම ගැන ඔහුට උපහාර දක්වමින් වැල්ලම්පිටියේ උත්සවයක්ද පවත්වා ඇති බව වාර්තා වෙයි. මේ උත්සවයට බොදු බල සේනා සංවිධානයේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ද සහභාගී වී තිබුණි.

මෙවන් සිදුවීම් පොලීසිය සුළුවෙන් තකද්දී යාපනයේ මැර කල්ලි අධිතක්සේරු කරමින් දකුණේ ජාතිවාදයට තව තවත් පොහොර දැමීම පොලීසියේ රාජකාරිය වී ඇති බව පෙනෙයි. මේ සිදුවීම් ලාංකික මුස්ලිම් ජාතිකයන් නැවත වරක් ත්‍රස්ත කරන්නට සමත්ව තිබුණි. මේ අන්තවාදය ක්‍රමයෙන් තටු ලබන ආකාරය එතරම් යහපත් නොවන බව කිව යුතුය.■

බොරුවක්!
වෛද්‍ය දයානාත් රණතුංග
කෙනෙක්ව වඳ කරන්න නම් ක්‍රම කිහිපයයි තියෙන්නේ. ලූප් එකක් දානවා කියන්නේ එක ක්‍රමයක්. ඒකෙන් තාවකාලිකව වඳ කරනවා. එහෙම නැත්නම් සංසර්ගයේදී උපත් පාලන කොපුවක් පාවිච්චි කරන්න ඕනෑ. නැත්නම් උපත් පාලන පෙති බොන්න ඕනෑ. හැබැයි උපත් පාලන පෙත්තකින් තාවකාලිකව වඳ කරන්න විතරයි පුළුවන්. ඒවා ආහාර එක්ක මුසු කරන්න බෑ. දීර්ඝකාලීනව වඳ කරනවා නම් ගෑනු කෙනෙකුගේ ගර්භාෂය ඉවත් කරන්න ඕනෑ. ඒක එල්ආර්ටී කියලායි හඳුන්වන්නේ. ඒ හැරෙන්න බෙහෙත් ඇඟේ තවරලා, තවලා, කෑමවල මිශ්‍රකරලා, ඇඳුම්වල හෝ කොට්ටයක් යට මොනවා හරි තියලා කිසිකෙනෙක්ව වඳ කරන්න බෑ. එහෙම බෙහෙතක් එදිනෙදා පාවිච්චි කරන්න තබා ලෝකේ කිසිම රටක විද්‍යාත්මකව හොයාගෙනවත් නෑ. කලින් භීතිකාවක් තිබුණා එච්.අයි.වී. රෝගියෙක් අඹ කපද්දී අත කැපිලා අඹ ගෙඩියට ලේ මිශ්‍ර වුණොත් අඹ කන කෙනාට එච්.අයි.වී. බෝවෙයි කියලා. ඒ වගේම භීතිකාවක් තමයි මේක. මේක බොරු මිථ්‍යා මතයක්.■