රාවය

‘වෙනම’ අධිකරණයක් පිළිබඳ විජයදාස රාජපක්ෂගේ දුර්මත

‘වෙනම’ අධිකරණයක් පිළිබඳ විජයදාස රාජපක්ෂගේ දුර්මත

අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ ‘විශේෂ’ අධිකරණයක් ගැන කතා කරයි. අප කතා කරන්නේ ‘වෙනම’ අධිකරණයක් ගැනයි. මේ දෙක අතර විශාල වෙනසක් තිබේ. එසේ තිබියදී, ‘විශේෂ’ අධිකරණයක් පිහිටුවීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් නොකොට කළ නොහැකි දෙයක් යැයි විජයදාස රාජපක්ෂ නැවත නැවතත් කියන විට එයින් අදහස් වන්නේ, අදාළ ප්‍රශ්නය මගහැර යාම සඳහා ඔහු ‘විශේෂ’ කෑල්ලක් හිතමතාම මීට එක් කරගන්නා බවක් මිස වෙන දෙයක් නොවේ. එහිදී ඔහුගේ අරමුණ වන්නේ කුමක් ද? රාජපක්ෂ සමයේ මහ පරිමාණ දූෂණ සහ අපරාධ සම්බන්ධ චූදිතයන් නීතිය ඉදිරියට පමුණුවා වැරදිකරුවන්ට දඬුවම් පැමිණවීමට ඇති සැබෑ හැකියාව කල් දැමීමත්, හැකි තාක් අඩාල කිරීමත් ය. ‘ඇවන්ගාඞ්’ සිද්ධියේ සිට මෙය ඔහුගේ දෛනික ‘දේශපාලනය’ විය.

ඇත්ත, ‘විශේෂ’ අධිකරණයක් පිහිටුවීම සඳහා ඔහු කියන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ඇතැම් වගන්ති හරහට සිටීමට පුළුවන. සමහර විට, එක්කෝ, විශේෂ පාර්ලිමේන්තු පනතක් සම්මත කර ගැනීමක් ඒ සඳහා අවශ්‍ය කළ හැකිය. උදාහරණයක් වශයෙන් 1971 කැරැල්ල සම්බන්ධ නඩු විභාග ඉක්මණින් අසා ඉවරයක් කිරීම සඳහා ‘අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභා පනත’ පාර්ලිමේන්තුවේ සම්මත කොට, ඒ කියන ‘විශේෂ’ අධිකරණය හෙවත්, ‘අපරාධ යුක්ති විනිශ්චය කොමිසම’ පත්කර ගනු ලැබුණි. එහෙත්, මේ කාරණය සම්බන්ධයෙන් අද උනන්දුවක් දක්වන සිවිල් සංවිධාන ඇතුළු වෙනත් කණ්ඩායම් එක දිගටම මේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ, ‘විශේෂ’ අධිකරණයක් නොව, ‘වෙනම’ අධිකරණයකි. ඉහත කී ‘අපරාධ යුක්ති විනිශ්චය කොමිසම’ සඳහා විශේෂ අධිකරණයක් (කොමිසමක්) පමණක් නොව, පැවති නීතිය වෙනස් කිරීමක් හෙවත් ‘විශේෂ’ නීතිත් පැනවුණි. එහෙත්, ‘වෙනම’ අධිකරණයක් ස්ථාපිත කිරීමේදී, ඒ ආකාරයෙන්, පවතින නීතිය වෙනස් කිරීමක් හෝ ‘විශේෂ’ අධිකරණයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවක් හෝ පැන නොනගී. අවශ්‍ය වන්නේ, දැනට පවතින යම් මහාධිකරණයක් හෝ දෙකක් මේ කියන සිදුවීම්වලට අදාළ නඩු කඩිනමින් අවසන් කිරීම සඳහා වෙන් කිරීම පමණි. ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමක් හෝ පනත් සම්මත කර ගැනීමක් හෝ අවශ්‍ය නොකෙරේ. ඒ සඳහා උදාහරණ ඕනෑ තරම් මෑත අතීතයෙන් සොයා ගත හැකිය. එසේ නැතහොත්, දැනට නිද්‍රාවට පත්කොට ඇති, එහෙත් අවලංගු කොට නැති, ‘ශ්‍රී ලංකා මහාධිකරණය’ පාවිච්චියට ගත හැකිය. එසේත් නැතහොත්, යාපනේ විද්‍යා දැරිය ඝාතනය කිරීමේ සිද්ධිය මෙන්, ‘රජ තුන් කට්ටුවක්’ ඉදිරියේ විභාගයට ගත හැකිය. එසේත් නැතහොත්, ‘ත්‍රස්තවාදය සඳහා වන මහාධිකරණය’ වැනි වෙනම උසාවියක් මේ සඳහා වෙන් කළ හැකිය. මේ කිසිවක් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය නොකෙරේ.

මේ කාරණයේදී, විජයදාස රාජපක්ෂ ඇමතිවරයා තවත් ප්‍රති(කු)තර්කයක් ඉදිරිපත් කරයි. එනම්, රාජපක්ෂලාගේ හෝ වෙනත් විශේෂිත පුද්ගලයන්ගේ නඩුවලට එසේ ප්‍රමුඛත්වය දී කටයුතු කිරීම, එක පැත්තකින් (සමහරුන් විසින් ‘දඩයමක්’ වශයෙන් අර්ථ ගැන්විය හැකි පරිදි) ඔවුන් කෙරෙහි අසාධාරණයක් ඇති කරවන බවත්, අනිත් පැත්තෙන්, ඔවුන්ගේ නඩුවලට එසේ ප්‍රමුඛත්වය දීමේදී, වෙනත් සාමාන්‍ය නඩු අසා අවසන් කිරීමට ඇති අවකාශය හීන කෙරෙන බැවින් එම නඩුවලට සම්බන්ධ පුද්ගලයන්ට අසාධාරණයක් සිද්ධ වන බවත් ය. ඕනෑම රටක, විශේෂ හේතු යටතේ, ඇතැම් අපරාධවලට ප්‍රමුඛත්වයක් දී කටයුතු කිරීම සාමාන්‍ය සිරිතයි. එය එකී අපරාධයට අදාළ පුද්ගලයාගේ ‘අයිතියක්’ උදුරා ගැනීමක් වශයෙන් අර්ථ ගැන්විය නොහැක්කේ, යුක්තිය පමා කිරීම තමාගේ ‘අයිතියක්’ වශයෙන් කිසි පුද්ගලයෙකුට පාවිච්චියට ගත නොහැකි නිසා ය. උදාහරණයක් වශයෙන්, සාමාන්‍ය මිනිමරුවෙකු වැරදිකරුවෙකු කිරීමට, පවතින අධිකරණ පරිපාටිය තුළ, අවුරුදු 20 ක් ගත වීම නිසා, එසේ කල් ගත වීම තමාගේ ‘අයිතියක්’ වශයෙන් ගැනීමට එකී විත්තිකරුවාට හැකි වන්නේ නැත. ඇත්ත වශයෙන්ම එකී විත්තිකරුවාට යුක්තිය ඉෂ්ට වන්නේ, අදාළ නඩුව පමා නොකොට කෙටිම කාලයක් තුළ අසා නිම කිරීමෙනි. “යුක්තිය පමා වීම අයුක්තියකි” යනුවෙන් ලෝකයා හොඳින් හඳුනන අදහසක් අද ලෝක සම්මතයක් බවට පත්ව ඇත්තේ එබැවිනි. එසේ හෙයින්, රාජපක්ෂලාගේ දූෂණ හෝ අපරාධ චෝදනා යම් අධිකරණයක් ඉදිරියේ කඩිනමින් අසා ඔවුන් වැරදිකරුවන් නම් දඬුවම් කිරීමත්, නිවැරදිකරුවන් නම් කඩිනමින් නිදහස් කිරීමත් මගින් කෙරෙන්නේ, ඇත්ත වශයෙනම් ඔවුන්ට සැබෑ යුක්තිය ඉෂ්ට කිරීමක් මිස මොන විදිහකින්වත් ඔවුන්ට අකටයුත්තක් නොවේ. තවත් විදිහකින් කිවහොත්, බැසිල් රාජපක්ෂගේ ඊළඟ නඩු වාරය සඳහා තව මාසය හයකට හෝ හතකට එහා දිනයක් ලබා දිය යුතු යැයි ඉල්ලා සිටීමට බැසිල් රාජපක්ෂට අයිතියක් නැත. ඔහු ඇත්තෙන්ම ඉල්ලා සිටිය යුත්තේ, තමාගේ නිදොස් භාවය, හැකි ඉක්මණින්, කල් නොයවා ඔප්පු කිරීම සඳහා අවස්ථාව තමාට සලසා දෙන ලෙස ය. යම් කිසිවෙකු තමාගේ නඩුවක් සඳහා වැඩිම කාලයක් නාස්ති කළ යුතු යැයි තර්ක කරන්නේ නම් එහි එකම අර්ථය වන්නේ, තමාගේ නිදොස් බවක් ඔප්පු වීමට වඩා තමාගේ වරදකාරීත්වයක් ඔප්පු වීමට ඇති ඉඩකඩ පිළිබඳ බරපතළ බියකින් එම තැනැත්තා පෙළෙන බව ය. එබැවින් අවසාන විනිශ්චය හැකි තාක් කල් දමා ගැනීම එවැන්නන්ගේ පරම අභිලාෂයයි.

ඊළඟට, මේ කියන රාජපක්ෂලාගේ දූෂණ සහ අපරාධ සම්බන්ධ විශේෂ මාතෘකාවේ පසුබිම මඳක් සලකා බලමු. විජයදාස රාජපක්ෂ ඇතුළු වර්තමාන පාලකයන් 2015 ජනවාරි 8 වැනි දාට කලින්, මේ රටේ ජනතාව ඉදිරියට විත්, රාජපක්ෂලා පිළිබඳ විවිධ චෝදනා ඉදිරිපත් කරද්දී, අවධාරණයෙන් කී එක් කාරණයක් වුණේ, තමන් බලයට පත්වුවහොත්, එකී දූෂිතයන් සහ අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙනැවිත් නොපමාව දඬුවම් පමුණුවන බවයි. එසේ කීමෙන් ඔවුන් අදහස් කෙළේ, පවතින අධිකරණ පද්ධතිය තුළ වෙනත් සාමාන්‍ය නඩුවක් සේ අවුරුදු හතක්, දහයක්, දොළහක් ආදි වශයෙන් දීර්ඝ කාලයක් ගතකොට, වෙනත් නඩු අසන ආකාරයේ ඉබි ගමනින් මේ නඩු අසා ඉවරයක් කරන බව නොවේ. එසේ වීමට නම් මේ ආණ්ඩුව තව අවුරුදු විස්සක්වත් බලයේ සිටිය යුතුය. එසේ කීවේ නම් ජනතාව මොවුන්ට ඡන්දය නොදෙනු ඇත. ඔවුන් කියන කතා අසා සිටි මහජනතාවගේ අවබෝධය වුණේ, විය යුතු පරිද්දෙන්ම, යම් කඩිනම් ක්‍රමයක් අනුගමනය කරනු ඇති බවයි. මන්ද යත්, කඩිනම් ක්‍රමයකින් මෙහා, මෙවැනි මහ පරිමාණ දේශපාලනික දූෂණයන් සහ දේශපාලනික අපරාධ සඳහා යුක්තිය පසිඳලීමක් මොන විදිහකින්වත් කළ නොහැකි බව කවුරුත් දැන සිටි නිසා ය. මේ නිසා, රාජපක්ෂලාගේ නඩුවලට ප්‍රමුඛත්වයක් දී ඉදිරියට ගැනීම, ප්‍රජාතන්ත්‍ර විරෝධි යැයි හෝ අසාධාරණ යැයි කීමේ කිසි ඉඩක් කිසිවෙකුට ඉතිරි නොවන්නේය.

ඊළඟට, එකී පොරොන්දුව දෙන්නේ අලුත් දේශපාලන සංස්කෘතියක් පිළිබඳ පුර්වාදර්ශයක් සැපයීමට මිස කෙනෙකුගෙන් පළිගැනීමට නොවන බවත් මතක තබාගත යුතුය. ඒ පූර්වාදර්ශය කුමක් ද? රටේ අනිත් සාමාන්‍ය හොරුන්ට සහ අපරාධකරුවන්ට කලින්, එම හොරුන්ට සහ අපරාධකරුවන්ට පාඩමක් වන පරිද්දෙන්, රට කරවන හෝ කැරැවූ දේශපාලනඥයන්ගෙන් මෙකී ආදර්ශය පටන් ගත යුතු බවයි. එම ආදර්ශය සැපයීම සඳහා භාවිත කරන මාර්ගය වන්නේ, පවතින නීතිය මිස කැලෑ නීතිය නොවන්නේ නම්, පවතින අධිකරණ පද්ධතිය මිස ගෝල්ෆේස් පිට්ටනියට ගෙනැවිත් නඩු විභාග කරන කැකිල්ලේ අධිකරණ පද්ධතියක් නොවන්නේ නම්, එසේ කිරීමෙන් ස්වාභාවික යුක්ති ධර්මය කෙළෙසීමක් සිදුවන්නේ නැත. මේ නිසා විජයදාස රාජපක්ෂ අද කරන්නේ එකී 2015 ජනවාරි ජනවරමටත් පිටුපෑමකි.

ලංකාවේ මිනීමැරුමක් පිළිබඳ නඩු විභාගයක් අසා අවසන් කිරීමට ගත වන සාමාන්‍ය කාලය, අවුරුදු 10 කට වැඩි ය. ඇතැම් අපරාධ නඩු අවුරුදු 20 ක් තරම් වන කාලයක් ගනී. එසේ තිබියදී, මහාධිකරණ විනිසුරු අඹේපිටිය මහතා, පොට්ට නවුෆර් නැමැත්තෙකු විසින් කොළඹ අධිකරණ භූමියේදීම වෙඩි තබා ඝාතනය කෙළේය. මේ නඩුව අසා, විත්තිකරු වැරදිකරු කොට, එල්ලුම් ගහට නියම කිරීමට ගත වුණේ මාස හතක් වැනි කෙටි කාලයකි. විජයදාස රාජපක්ෂට හෝ වෙනත් නීති විශේෂඥයෙකුට මේ නඩුව පිටුපස පැවති, එකී ‘කාර්යක්ෂමතාව’ අපට පැහැදිලි කර දිය හැකි ද? (මෙය, සාධාරණ යුක්ති ධර්මය ඉක්මවා තනි පුද්ගලයෙකු ඉලක්ක කර ගනිමින් දිග හැරුණු ක්‍රියාවලියක ප්‍රතිඵලයක් බව මම විශ්වාස කරමි. එම නඩුව එසේ කඩිනමින් ඉවරයක් කිරීම පසුපස, තම සනුහරේ කෙනෙකු වෙනුවෙන් තව එකෙකුගෙන් පළිගැනීමේ චේතනාව, අඩු වැඩි වශයෙන්, සමස්ත නීති ක්ෂේත්‍රය පුරාම එදා පැවතියේය. කොටින්ම, පොට්ට නවුෆර්ට පෙනී සිටීමට නීතිඥයෙකු සොයා ගැනීම පවා එදා අපහසු විය). කෙසේ වෙතත්, එම නඩුවේදී පවා, ප්‍රජාතන්ත්‍රවාදයේ සමාජ අවශ්‍යතාවක් සඳහා එසේ කිරීම අත්‍යවශ්‍ය වූ බව මගේ විශ්වාසයයි. එනම්, සමස්ත යුක්ති ධර්මය නියාමනය කරන විනිසුරුවරයෙකුගේ ජීවිතය නැති කිරීමට යමෙකුට ඉඩ හරින්නේ නම්, එයම ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම කැඳවීමක් වන බැවිනි. එසේ හෙයින්, පොට්ට නවුෆර් යනු තනි අපරාධකරුවෙකු වුවත්, අඹේපිටිය යනු තනි විනිසුරුවරයෙකු වුවත්, එය තවත් එවැනි සිය ගණනන් ඝාතන සිද්ධිවලින් එකක් පමණක් වුවත්, එය සමස්ත සමාජයේ මෙන්ම, ප්‍රජාතන්ත්‍රවාදයේත් ආරක්ෂාව සඳහා අත්‍යවශ්‍ය කරුණක් වශයෙන් සලකා කටයුතු කරනු ලැබීම යුක්ති සහගත කෙරේ.
දැන් විජයදාස රාජපක්ෂට අදාළ මහින්ද රාජපක්ෂ රෙජිමයේ දූෂණ සහ අපරාධ ගැන කතා කරන විට ඉහත කී පරාසය තවත් පුළුල් වෙයි. එම දූෂණ ක්‍රියාවලිය සහ අපරාධ ක්‍රියාවලිය තනි පුද්ගලයෙකුට හෝ තනි සිද්ධියකට සීමා වන්නේ නැත. එය ක්‍රියාත්මක වුණේ, දේශපාලනික බලාධිකාරයකින් මෙහෙයවන ලද සහ බලාකියා ගන්නා ලද සංස්කෘතියක් වශයෙන් සමාජගත වෙමිනි. 2015 ජනවාරි ජයග්‍රහණය වනාහි එම සංස්කෘතියට තිත තැබීමේ මහජන ප්‍රඥප්තිය සම්මත වීමකි. මේ නිසා, වෙනත් නඩුවලට ඉහළින් මේ කියන නඩුවලට ප්‍රමුඛත්වය දීම, මොන විදිහකින්වත් විජයදාස රාජපක්ෂ ඇතුළු ‘ඒකාබද්ධ විපක්ෂය’ කියන පරිදි, ‘දඩයමක්’ හෝ ‘පළිගැනීමක්’ නොවනවා පමණක් නොව, වර්තමාන රජය යටතේ වුව එකී සංස්කෘතියේ අබලකැබලි ඉතිරි නොවන තැනට වගබලා ගැනීමේ පූර්වාදර්ශාත්මක පියවරක් ද වන්නේය.

පසුගිය වසර දෙකහමාරක කාලය තුළ දිග හැරුණු සිද්ධි දාමය දෙස බලද්දී, දූෂණ විරෝධී පුර්වාදර්ශ සැපයීම අරභයා, සමාජ තෙරපීම ඉදිරියේ වර්තමාන පාලකයන් යම් ඉදිරි පියවරක් තබා තිබේ. ‘ඇවන්ගාඞ්’ සිද්ධියට අදාළව තිලක් මාරපන ඉල්ලා අස්විය. (එහිදී මේ විජයදාස රාජපක්ෂ, ඡායාරූපගත සාක්ෂි ඉදිරියේ පවා, අප්‍රතිහතව ‘නොසැලී’ සිටි බව සිහියට ගන්න. එසේම එම තිලක් මාරපන නැවත වරක් ඇමතිවරයෙකු වශයෙන් භාරගෙන ඇති බවත් අපි දනිමු). බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයාට (ඡායාරූපගත සාක්ෂි නැතිව පවා) ගෙදර යන්ට සිදුවිය. දැන් ‘පර්පෙචුවල් ටේ‍රෂරීස්’ සිද්ධිය සම්බන්ධයෙන් රවි කරුණානායක ඉල්ලා අස්වී තිබේ. (මේවා හුදු ‘විච්චූරණ’ වශයෙන් හුවා දැක්වීම නරුම වාමවාදයකට ගැළපෙතත්, ධනේශ්වර අවධිය තූළ සංකීර්ණ ප්‍රජාතන්ත්‍රවාදී ගැටලුවට ආමන්ත්‍රණය කිරීම සඳහා උපකාරී නොවේ).
ඉහත කී වගවීමේ සංස්කෘතිය, බරපතළ සීමාවන් මධ්‍යයේ වුවත්, සංකේතාත්මක අර්ථයකින් පමණක් වුවත්, ඉදිරියට යා යුතුව ඇත. අප තවම සිටින්නේ, ඒ ප්‍රජාතන්ත්‍රීය පරිවර්තනයේ ළදරු අවධියකයි. එහිදී වර්තමාන සීමාවන් ජයගන්නවා වෙනුවට, අතීත අපහරණයන් සමග ‘එකගෙයි කෑම’, විශේෂයෙන් රජයේ ඇමතිවරයෙකුට, නොහොබී.■