රාවය

රවී ඉවත්වීම ආදර්ශයක්ද? විහිළුවක්ද?

රවී ඉවත්වීම ආදර්ශයක්ද? විහිළුවක්ද?

තරිඳු උඩුවරගෙදර

රවී කරුණානායක ඇමතිවරයා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම දේශපාලන සංස්කෘතියේ සුවිශේෂී අවස්ථාවක් බව පිරිසක් කියද්දී තවත් පිරිසක් කියන්නේ එය දූෂිත ඇමතිවරයෙකුට තවදුරටත් කටයුතු කරගෙන යෑමට නොහැකි වූ නිසා ඉල්ලා අස්වීමක් පමණක් බවයි. මේ සිදුවීම මහා වෙනසකට මුල පුරන බව කෙනෙකු කියද්දී තවකෙකු කියන්නේ රවී ඉල්ලා අස්වුණත් සමස්තයේ වෙනසක් සිදුනොවන බවයි.
රවී කරුණානායක ඇමතිවරයා ඉල්ලා අස්වීම ආණ්ඩුවේ යහපත් ලක්ෂණයක් ලෙස කෙනෙකු කියද්දී තවකෙකු පෙන්වා දෙන්නේ මේ ආණ්ඩුව තුළ පවතින අභ්‍යන්තර බල ගැටුම් නිසා රවී කරුණානායක ඇමතිවරයා ඉල්ලා අස්වෙන තැනට පරීක්ෂණ පැමිණි නමුත් මේ ආණ්ඩුව තුළ ස්වභාවයෙන්ම දූෂණ විරෝධී ලක්ෂණ නැති බවයි. ඔවුන් පෙන්වන්නේ රවී කරුණානායක ඇමතිවරයා ඉල්ලා අස්වීමේදී කළ කතාවයි. ඇමතිවරයා කිසි තැනක තමන් වරදකරුවෙකු බව පිළිගන්නේ නැත. ඔහු කියන්නේ තමන් නිවැරදි බවයි. වැරදීමකින් හෝ වරදක් සිදුවී ඇති බව ඔහු පිළිනොගනිද්දී ඔහු සමඟ සමීප සම්බන්ධයක් ඇති බවට ප්‍රසිද්ධ මන්ත්‍රීවරුන් ඔහු සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවූ නිලධාරීන්ට එරෙහිව පහත් චෝදනා එල්ල කරයි. ආණ්ඩුවේම බලවත් ඇමතිවරුන් කියන්නේ මේ චෝදනාව හිටපු ආණ්ඩුව සමඟ බලද්දී ලූණු බිකක් බවයි. එහි සත්‍ය අසත්‍යතාව කෙසේ වෙතත් මේ දූෂණ චෝදනාව හෑල්ලු කිරීම එහි අරමුණ බව පැහැදිලිය.
රටේ දේශපාලන සංස්කෘතියම ගජමිතුරු ව්‍යාපාරිකයන්ගේ ආර්ථිකයක සුළියකට හසුවී ඇති බව හංගන්නට දෙයක් නැත. ව්‍යාපාරිකයන් සමඟ රහස් සම්බන්ධතා පවත්වන්නේ රවී කරුණානායක ඇමතිවරයා පමණක් නොවේ. බොහෝවිට රවී කරුණානායක ඇමතිවරයාට දූෂණ චෝදනා එල්ල කරන පක්ෂ විපක්ෂ දේශපාලනඥයෝ අංක එකේ දූෂිතයෝය. එවන් පසුබිමක රවී කරුණානායක ඇමතිවරයාගේ ඉල්ලා අස්වීම ලූණු බිකකට සමාන කිරීම ගැන පුදුම විය යුත්තේද නැත.

බැරිම තැනයි ඉල්ලා අස්වුණේ
නීතිඥ එස්.ජී. පුංචිහේවා
‘මේ සිදුවීම ඕනෑම කෙනෙකුට වැටහෙනවා. මේක වටේට සුරංගනා කතා මවලා මේක මහා ශ්‍රේෂ්ඨ උතුම් වැඩක් විදියට අර්ථකථනය කරලා වැඩක් නැහැ. මේකේ මුල බැලුවාම තමන් විශාල ගොඩනැගිල්ලකට යද්දී ඒකේ බදු ගෙව්වේ කොහොමද කියලා දන්නේ නැති ඇමතිවරයෙක් කියන එකනේ අපට පෙනෙන්නේ. කොච්චර දන්නේ නැහැ කිව්වත් මිනිස්සුන්ට මේවා තේරෙනවා.
රවී කරුණානායක ඉල්ලා අස්වුණේ මහා කැපකිරීමක් විදියට නෙවෙයිනේ. ඔහු බැරිම තැනයි ඉල්ලා අස්වුණේ. එහෙත් හොඳ දේශපාලන සංස්කෘතියකදී වෙන්න ඕනෑ චෝදනා ආ විගස පරීක්ෂණ ස්වාධීනව කරගෙන යන්න ඉඩදීලා ඉල්ලා අස්වීම.
රවී කරුණානායක සහ මේ ව්‍යාපාරිකයා අතර තිබිලා තියෙන සම්බන්ධයත් ඉතාම නරක විදියේ රටේ දේශපාලනඥයෙකුට තිබිය හැකි ඉතාම වංචනික ආකාරයේ සම්බන්ධයක්. මේ වගේ සම්බන්ධතා මෙන්ම ඔහුගේ ක්‍රියා කලාපය ගැන කලින් ඉඳන්ම මහජනයා හොඳින්ම දන්නවා. ඔහු විතරක් නෙවෙයි, බොහෝ දේශපාලනඥයන්ගේ මේ තත්ත්වය මහජනතාව දන්නවා.
මේ අය දේශපාලනයට ආවාට පස්සේ අසාමාන්‍ය තරමේ ධනපතියන් වූ බව අප සැම දැන සිටියත් මේවා ලේඛනගත වෙලා නැහැ. මේවා නීතිමය විදියට දඬුවම් කරන්නට පුළුවන් තත්ත්වයක නැහැ. ඉතින් ඒවා අධිකරණවලදී ප්‍රශ්න කරන්නට පසුබිමක් හැදිලා නැහැ. ඒත් සරල භාෂාවෙන් කිව්වොත් මේ අයගෙ බෙල්ල වටේට පෘෂ්ඨිමත් විදියට මහත් වුණේ කොහොමද කියලා සාමාන්‍ය ජනතාවට තේරෙනවා.
දැන් මේ සිදුවීම් වටේට සුදුහුණු ගාලා කඩදාසි මෝස්තර දාලා වැඩක් නෑ. මේක මහා ආදර්ශමත් සිදුවීමක් නොවෙයි. මේ කාලයේ දේශපාලනය අතිශය දූෂිතයි. ඒක පිටට පෙනුණු අවස්ථාවක් තමයි මේක. ඔහු පමණක් නෙවෙයි, ලංකාවේ දේශපාලනඥයන්ගෙන් සීයට අනූනවයක් මේ වගේ දූෂිතයි. දූෂණයට සැබැවින්ම විරුද්ධ වෙන අය බොහොම සීමිතයි. ඒ අයට කිසි බලයක් නෑ.
මේ දූෂිත තත්ත්වයට එරෙහිව මෑතකාලයේ පුරවැසියන් සංවිධානාත්මක හඬක් නැඟූ බව ඇත්ත. පසුගිය 2015 ජනාධිපතිවරණයේදී ඒ දූෂණ විරෝධය තදින්ම නැඟුණා. ඒත් මේ අය බලයට ආවාම ඒ දූෂණ විරෝධය ක්‍රමානුකූලව මරණයට පත්වෙන්න හැරියා විතරයි. ඔවුන් ඒ දූෂණ විරෝධයට ඔහේ යන්න ඉඩහැරියා මිසක් යමක් කළේ නැහැ.
එහෙත් ඇත්තටම වියයුතුව තිබුණේ ජනාධිපතිවරයා එවකට තමන්ට තිබුණු බලය පාවිච්චි කරලා දූෂණ විරෝධය ශක්තිමත් කරනු පිණිස දූෂිතයන් සම්බන්ධයෙන් පියවර ගන්නා එකයි. එහෙත් ජනාධිපතිවරයා බලය අඩු කරගත්තා විතරයි. දූෂණය පිටුදැකීම පිණිස පියවර ගත්තේ නැහැ.
දේශපාලනය කියන්නේ දැන් දූෂිත ව්‍යාපාරයක්. ඒක වෙනස් කිරීම ඉතාම අමාරු දෙයක්. මේ සිදුවීමෙන් පසුවවත් මහා වෙනසක් සිදුවේවියැයි සිතන්න බෑ. එහෙත් හැකි අයුරකින් දූෂණ විරෝධයක් පවත්වාගෙන යෑම වැදගත්.’

වැටුණේ තමන්ගේ කට්ටියම කපා ගත් වළටමයි
ආචාර්ය චරිත හේරත්
‘සරලවම ගත්තොත් රවී කරුණානායක මහතාගේ ඉල්ලා අස්වීම මගින් පෙන්නුම් කරන්නේ මේ ආණ්ඩුවේ නායකයන් ගණනාවක් සම්බන්ධයි කියා කියවෙන බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ සංවාද අවකාශය තවදුරටත් වහගෙන ඉන්න බැරි තැනකට ඇවිත් තියෙනවා කියන එකයි. මේ බැඳුම්කර ගනුදෙනුව සිදූවුණේ පසුගිය 2015 අගෝස්තු මාසයේ පැවති ඡන්දයටත් ඉස්සර වෙලා. ඒ සිද්ධිය හරහා මේ ආණ්ඩුවේ ‘යහපාලන අලංකාරිකයට’ බරපතළ පහරක් ඒ දවස්වල ඉඳලම වැදුණා. ඒත් රනිල් වික්‍රමසිංහ කියන්නේ අලංකාරික එච්චර ගණන් ගන්න කෙනෙක් නොවන නිසා ඔහු මේ සිද්ධිය ගානකටවත් ගන්නේ නැතිව අපූරුවට හිටියා. ඔහු හොඳටම දැනගෙන හිටියා කියලා මම හිතන්නේ මේ යහපාලනය වාගේ ඒවා ඒ ඒ කාලෙට ගැළපෙන්න හදපු අලංකාරික මිසක් ඇත්තටම කරන්න ඕනෑ එව්වා නෙවෙයි කියලා. මහ බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට චෝදනා තිබුණත් ඔහු අස්වෙන්න ඕනෑ කියල කිසිම විදියකට වික්‍රමසිංහ මහත්තය හිතුවේ නැත්තේ ඒ නිසායි කියලායි මම හිතන්නේ.
මේ කාරණය මීට වඩා ටිකක් සංකීර්ණව බලන්නත් පුළුවන්. දැන් මේ කාර්තුවේ අපේ රටේ දේශපාලනය කියල කියන්නේ මාධ්‍ය අවකාශයේ තියෙන භාෂා ක්‍රීඩාවක් :ක්බටම්ටැ ට්පැ* කියලා හඳුන්වන්න පුළුවන්. මම මේ කාරණයට කියන්නේ අලංකාරික දේශපාලනය :රයැඑදරසජ-චදකසඑසජි* කියලායි. දැන් මේ රටේ දේශපාලනය තියෙන්නේ ඒ හයිපර් රියැලිටි එකක් ඇතුළේ. ඒක ඇතුළේ හදන දේවල් තමයි හුඟක් වැඩියෙන් ඒකේ ඇතුළේ තියෙන්නේ. සටන, වාදපිටිය, 360, බලය වගේ මාධ්‍ය මාලා-නාටක තමයි හුඟක් දුරට මේ අලුත් දේශපාලන භාෂා ක්‍රීඩාවේ මූලික වැඩ ටික තොග ගානට හදන්නේ. සමාජ මාධ්‍ය වගේ අවකාශ කරන්නේ මේවා සිල්ලරට බෙදලා දෙන එකයි. දැන් ඔය පසුගිය ජනාධිපතිවරණය මුල් කරගෙන ඇති වෙලා තියෙන සමහර වචන දූෂණ, අක්‍රමිකතා, අපයෝජන, යහපාලනය වගේ වචන අර්ථයක් හදා ගන්නේ මේ හයිපර් රියල් තත්ත්වය ඇතුළේ මිසක් ඇත්තටම බිම නෙමෙයි. දැන් ඔය කොළඹ සිවිල් සමාජය කියලා අද කරලියට ඇවිත් තියෙන නිර්ප්‍රභූ කාණ්ඩය ඇත්තටම හිතාගෙන ඉන්නේ මේ කියපු වචනවලට ඇත්තම තේරුමක් තියනවා කියලායි. ඒ අය රෑට රෑට මාධ්‍යයට ඇවිත් ‘දූෂිතයෝ ඇල්ලුවෙ නැහැ,’ ‘යහපාලනය ගෙනාවේ නැහැ’ වගේ දේවල් කියන්නේ ඒ නිසායි. ඒත් මම හිතන්නේ එජාපයේ මුලික නායකයෝ හොඳින් දන්නවා මේ වචනවලට තියෙන්නේ මේ භාෂා ක්‍රීඩාවේ හදගත්ත අර්ථයක් විතරයි කියලා. එකට හොඳ උදහරණයක් තමයි රවීගේ ඇමතිකමට දිවුරුම් දීපු තිලක් මාරපන සම්බන්ධයෙන් තියෙන්නේ. මාරපන මීට ඉස්සර ඔහු හිටපු ඇමතිකමින් අයින් වූණේ ඇවන්ගාඞ් සමාගමට සම්බන්ධව හදපු දූෂණ කාරණයකට. දැන් මාරපනගේ චරියාව යහපාලන ආකෘතියත් එක්ක ගැළපුණේ නැහැ කියලායි ඔහුට ඒ ඇමතිකමින් අයින් වෙන්න වුණේ. එහෙත් ඒ චෝදනාව සම්බන්ධව ඔහුට විරුද්ධව හදලා තිබුණ ‘වැරදි’ කිසිම දෙයක් මේ වෙනකල් වෙනස් වෙලා හෝ නිවැරිදි වෙලා නැහැ. මේ මොහොතේ භාෂා ක්‍රීඩාව ඇතුළේ ඒ චෝදනාව සම්බන්ධයෙන් මාරපන සහ යහපාලනය අතර ප්‍රශ්නයක් නැහැ කියලා තීරණය වෙන්නේ බිම මුකුත් වෙනස් වෙලා නෙමෙයි. මේ ඉන්නේ ඒ පරණ මාරපනමයි. ඒ තිබුණු ප්‍රශ්නයත් (එහෙම එකක් තිබුණානම්) එහෙමමයි. ඒත් අලංකාරිකය (දූෂණය) යොදන තැන විතරයි වෙනස් වෙලා තියෙන්නේ. මේක තමයි මේ දූෂණ අලංකාරිකයේ ස්වභාවය.
දැන් මම මේකෙන් කියන්නේ මහ බැංකුවේ ගනුදෙනුව පිටිපස්සේ හොරකමක් නැහැ කියලා නෙමෙයි. ඒ වගේම රවී කරුණානායකගේ නිවාසයට මුදල් අනියම් ආකාරයකට ගෙවීම කරලා තියෙනවා නම් ඒ වැනි කාරණා නොසලකා හරිනවා කියලාත් නෙමෙයි. ඒත් මේ කරමින් ඉන්නේ අර මාධ්‍ය අවකාශයේ හදපු පිටියේ ක්‍රීඩාවක් කරන එක මිසක් ඇත්තටම යහපාලනය හෝ දූෂණ විරෝධය ගැන කාරණයක් නෙමෙයි. මහින්ද රාජපක්ෂ ගැන කරන දූෂණ කථාවත් ඒ ක්‍රීඩාවේම කෑල්ලක් විතරයි.
රවි කරුණානායක මහත්තයා වැටුණේ තමන්ගේ කට්ටියම කපා ගත් වළටමයි. ඇයි මම විතරක් කියලා ඔහු අහන්නේ ඒකයි. මෙයින් පෙනෙන්නේ ආණ්ඩුවේ හොඳ හෝ නරක නෙමෙයි. හයිපර් රියල් අවකාශයක කරන දේශපාලනයේ අලුත් ඉසව්වක් තමයි මේ විවර වෙමින් තියෙන්නේ. මේ යන රේට් එකෙන් මේ වැඬේ ගියොත් මේ පැත්තට ටැලි වෙන්න අනෙක් පැත්තෙත් අයවත් මොකකට හරි අල්ල ගන්න වෙනවා. එහෙම ඇල්ලූවෙ නැත්නම් හැට දෙලක්ෂයට අසාධාරණයක් වුණා කියනවා. ඉතින් ඉස්සරහට තියෙන්නේ මේ ක්‍රීඩාව කරගෙන යන එක තමයි.
රවි කරුණානායක මහත්තයාට තියෙන්නේ මේ භාෂා ක්‍රීඩාව වෙනත් කෙනෙකුට කැරකෙන කල් කට වහගෙන ඉන්නයි. මාරපන මහත්තය කළා වගේ එහෙම හිටියොත් ඊළඟ සිංහල අවුරුදූ කාලෙට වගේ ආයෙත් මුදල් ඇමතිකමම ගන්න පුළුවන් වෙයි කියලායි මම හිතන්නේ.’

නීතිය සාධාරණව ඉෂ්ට වෙනවාද කියන ප්‍රශ්නය තාම තියෙනවා
ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන
‘ලංකාවේ දේශපාලනයේ ව්‍යුහාත්මක පැත්ත වගේම සංස්කෘතික පැත්ත අතිශය ගැටලු සහගත පිරිහිච්ච තැනක තියෙන්නේ. අපේ දේශපාලන සංස්කෘතියේ මුල ඉඳන්ම තිබුණු අවුල් තත්ත්වයත් මේකට බලපාලා තියෙනවා. මන්ත්‍රීවරයෙකුගේ හෙවත් මහජන නියෝජිතයෙකුගේ කාර්යභාරය මොකක්ද කියන එකත් දැන් උඩුයටිකුරු වෙලා තියෙන්නේ. විධායකය, ව්‍යවස්ථාදායකය දැන් මිශ්‍රවෙලා තියෙන්නේ. ඒකේ රාමු පෙනෙන්නේ නෑ.
සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් ඇතුළේ පුරවැසියා එක්ක සංවාදයක ඉඳිමින් පුරවැසියාගේ මූලික අවශ්‍යතා නිරීක්ෂණය කරලා, ඒවා ඉෂ්ඨ කරගන්න බැරි නම් ඒවාට හේතු සොයලා ඒ තියෙන දෝෂ ඉවත් කිරීමයි නියෝජිතයාගේ වැඬේ. ව්‍යවස්ථාදායකය කියන්නෙ ඒක. පනත් හැදීම, ව්‍යවස්ථාව හැදීම වගේ දේවල් නියෝජිතයා කරන්න ඕනෑ. හැබැයි දැන් නියෝජිතයා දැන් වැඩවසම් පාලකයන් බවට පත්වෙලා. ඒගොල්ලන්ගේ දේවල් වගේ මිනිස්සුන්ට විවිධ දේවල් බෙදන එක තමයි කරන්නේ. රැකියා බෙදීම, භාණ්ඩ බෙදීම, සුභසාධන කටයුතු, බලපත්‍ර වගේ දේවල් බෙදන අය බවට මහජන නියෝජිතයන් පත්වෙලා. මේ වගේ දේවල් විධායකයෙන් කරන වැඩ. මෙයාලා රදල නිලධාරීන් වෙලා මොනවා හරි බෙදන ජාතියක් වෙලා.
ඒකත් එක්ක මේක නොදැනුවත්වම විශාල කළු කර්මාන්තයක් වෙලා. මේ වැඩවසම් නියෝජිතයන් වෙනුවෙන් ආයෝජනය කරන ධනවතුන් පිරිසක් ඉන්නවා. රටේ ඉන්න සාමාන්‍ය ධනවතුන් නොවන අර කළු කර්මාන්තය එක්ක සම්බන්ධ ධනවතුන් මේ අයට ආයෝජනය කරන්න පටන්ගන්නවා. විශාල වශයෙන් මේ ආයෝජනය සිද්ධවෙනවා. එතකොට මෙයාලා අපේ නියෝජිතයෙක් කියලා හිතලා පත්කළත් එයාලා කරන්නේ වෙන වැඩ. අර තමන් එක්ක ආයෝජනය කළ ධනවත්තු එක්ක නියෝජිතයන් කළු ආර්ථිකයක් නඩත්තු කරනවා.
අපි නියෝජිතයන්ට දීලා තියෙනවා ආණ්ඩුව එක්ක බිස්නස් කරන්න අවස්ථාව. එයාලා ආණ්ඩුවේ කොන්ත්‍රාත් ගන්නවා. මේක සදාචාරාත්මකව වැරදි වැඩක්. හරි නම් ඔවුන් නෛතිකව බිස්නස් අත්හැරලා දේශපාලනයට එන්න ඕනෑ.
මේ වගේ ගැඹුරු ප්‍රශ්නයක පුංචි කොටසක් තමයි රවී කරුණානායකගේ සිදුවීම. ඒක අයිස් කන්දක තුඩ කොටස.
දැන් ප්‍රශ්නය තමයි නියෝජිතයන් එක්ක තියෙන ගිවිසුම මොකක්ද කියලා මිනිස්සුන්ට මතක නැතිවීම. දැන් පුරවැසි විඥානයක් නැතිවෙලා. අපිත් ළඟ බලන ආත්මාර්ථකාමී ජනතාවක් වෙලා.
ඉතින් විශාල දේශපාලන ව්‍යුහාත්මක සංස්කෘතික පෙරළියක් නැතිව, පුරවැසියාත් මහජන නියෝජිතයාත් අතර සංවාදය නිරෝගීමත් කරගන්නා ආකාරයේ ලොකු වෙනසක් නැතිව උඩ පැලැස්තර දැම්මාට වැඩක් නෑ. මේ සිදුවන සිදුවීම්වල බලපෑම අඩුයි එහෙම වෙන තාක්කල්.
එහෙත් ඒ සඳහා වාමාංශික කණ්ඩායම්වත් ලොකු උත්සාහයක් දරන බව පෙනෙන්නේ නැහැ. මුල් කාලයේ වම ඒ වැඬේ කළා. පුරවැසි විඥානය හදන්න උත්සාහ කළා. හැබැයි දැන් ඒ අය බලන්නේ කෙක්කෙන් හරි කොක්කෙන් හරි බලය ගන්නයි.
පුරවැසි විඥානය ගොඩනඟන්නේ කොහොමද කියන මාතෘකාව ඉතා විශාල සහ ගැඹුරු සාකච්ඡාවක් කළ යුතු මාතෘකාවක්.
මම කියන්නේ පුරවැසි සමාජය කළයුත්තේ එදිනෙදා ප්‍රශ්න ගැන එදිනෙදා කතාකරනවා වෙනුවට ගැඹුරෙන් ප්‍රශ්නය බලලා සාකච්ඡා කිරීමයි. මහජන විඥානය ගොඩනැගෙන ආකාරය ගැන දැනුමක් සහිත ජාතික වැඩපිළිවෙළක් තියෙන්න ඕනෑ. මහජන විඥානය ගොඩනැගෙන්නේ කොහොමද? මම හිතන්නේ ක්‍රම හතරක් තියෙනවා ඒකට. එකක් අධ්‍යාපනය, කලා හා සංස්කෘතික ජීවිතය, මාධ්‍ය සහ ආගමික ආයතන. මේ අඩවි හතරේම ඉන්න අයට විශාල බලයක් තියෙනවා. දැන් හොයලා බැලුවොත් ලංකාවේ අවුල්ම ජාලා හතර තමයි ඔය හතර. ඒවා පිරිසිදු කරගන්න ඕනෑ. එහෙම නැතිව මේ ආණ්ඩු මාරුකිරීම් වගේ දේවල් කොච්චර කළත් ප්‍රශ්නය තියෙන්නෙ වෙන තැනක.
ජනවාරි අටවැනිදා ලැබුණු වරමක් නිසා මහජන බලපෑමක් තියෙනවා දූෂණයෙන් තොරව ඉන්න ඕනෑ කියලා. ඒකේ බලපෑමක් මේ ආණ්ඩුවට තියෙන බව ඇත්ත. හැබැයි ඒක සම්බන්ධයෙනුත් ගැටලු තියෙනවානේ. විපක්ෂයේ ඉන්න හොරකම් කළ අය සම්බන්ධයෙන් හරියට පරීක්ෂණ වෙන්නේ නැත්තේ ඇයි. මේකේ දේශපාලන මෙහෙයුම් තියෙන්නේ. නීතිය සාධාරණව ඉෂ්ට වෙනවාද කියන ප්‍රශ්නය තාම තියෙනවා. ඉතින් එවැනි ආණ්ඩු මාරුකිරීමේ ව්‍යාපෘතිවල බලපෑම අඩුයි.”

මේක නාට්‍යයක් විතරයි
විදර්ශන කන්නන්ගර
‘ලංකාවේ ලිබරල් සිවිල් සමාජය තුළ අනූව දශකයේ ඉඳන්ම මිථ්‍යාවක් තිබුණා ආණ්ඩු මාරුවකින් සමාජ ප්‍රතිසංස්කරණ කරන්න පුළුවන් කියලා. අනූහතරේදීත් ආණ්ඩු මාරුව කළේ ඊට කලින් තිබුණු ප්‍රචණ්ඩත්වයට ආණ්ඩු මාරුවකින් විසඳුමක් ලැබේවි කියලා හිතාගෙන. මේක බරපතළ මිථ්‍යාවක්.
මේ මිථ්‍යාව එක්ක තමයි 2015 ආණ්ඩු මාරුව කළේත්. එදා ප්‍රසිද්ධ වෙලා තිබුණේ හොරු අල්ලනවා කියන එක. ඒ මිථ්‍යාව එක්ක පත්කරගත්ත ආණ්ඩුවේ අන්තිමට ඉතිරිවෙලා තියෙන ශේෂ පත්‍රය තමයි මේ රවී කරුණානායකගේ නාට්‍ය ජවනිකාව. මේකෙදී වෙන්නේ රවී කරුණානායක ටික කාලයකට ආණ්ඩුවේ පසුපස අසුනකට ගිහින් නිවාඩුවක් ගැනීම විතරයි.
පළමුවැනි කාරණාව තමයි මෙතැනින් එහාට රවී කරුණානායක සම්බන්ධයෙන් දඬුවම් දීමක් සිදුවෙන්නේ නෑ. එහෙම කවුරු හරි විශ්වාස කරනවා නම් ඒක හීනයක්. එහෙම වේවි කියලා කෙනෙක් කියනවා නම් එක්කෝ විහිළුවක්. එහෙම දෙයක් වෙනවා නම් ඒක හිතාගන්න බැරි වෙනසක්.
මේ සිද්ධිය ආණ්ඩුවේ දූෂණ විරෝධී නැමියාව හෝ ආණ්ඩුවේ යහපත් බව පෙන්වන අවස්ථාවක්යැයි කීමත් අර වගේම ප්‍රකාශයක්. මෙතැන එහෙම දෙයක් නෑ. මේක නාට්‍යයක් විතරයි.
දෙවැනි කාරණය තමයි ලංකාවේ පත්වෙන ආණ්ඩු කිසිවකට දූෂණයෙන් තොර පැවැත්මක් නැහැ කියන එක. රනිල් වික්‍රමසිංහට කියන්නේ මිස්ටර් ක්ලීන් කියලානේ. එහෙම වුණත් ලංකාවේ ධනවාදී ආණ්ඩු කොච්චර මාරුවුණත් පත්වෙන ආණ්ඩු ක්ලීන් නැහැ. ඒ කිසිවෙක් යහපාලන, ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඇති කරන්න උනන්දුවෙන්නේ නැහැ. මොකද ඒ ආණ්ඩුවලට නෛසර්ගිකවම එහෙම කිරීමේ හැකියාවක් නෑ.
මොකද දූෂණය කියන්නෙ ලංකාවේ ධනවාදය පවත්වාගෙන යන්න පුළුවන් විදිය. ඒක තමයි ක්‍රමය. ඒක මැඬලන්න ආණ්ඩු මාරුවලින් හෝ හුදු සිවිල් සමාජ දේශපාලනයෙන් බෑ. එහෙම පුළුවන් නම් 2015 කියන්නෙ ඒකට ලැබුණු ස්වර්ණමය අවස්ථාවක්නේ.
ලංකාවේ දේශපාලනඥයා සහ සාමාන්‍ය ජනතාව අතර වැඩවසම් අනුග්‍රාහක සම්බන්ධය පවත්වාගෙන යන්න පුළුවන් දූෂණය එක්ක. ඒකට විරුද්ධව කොච්චර ආණ්ඩු මාරු කළත් වැඩක් නෑ. මොකද ආණ්ඩු කියන්නේ ලංකාවේ දේශපාලන බලය ලබාගෙන තමන්ගේ පෞද්ගලික සුඛවිහරණය හදාගෙන හම්බකරගන්න බලාගෙන එන කල්ලි විතරයි. පාලනය කරන්නේ වෙනත් කල්ලි. ආණ්ඩු කරන්නේ ඒ වෙනත් කල්ලිවල වුවමනාවන්ට අනුව වැඩ කරන එකයි, ගෝලීය ධනවාදයට ඕනෑ විදියට ලංකාවේ පාලන බලය මෙහෙවන එකයි.
දූෂණයට එරෙහි යහපත් ආණ්ඩුවක් ඇති කරගන්න නම් මේ දූෂණය සහ ධනවාදය අතර තියෙන සම්බන්ධය තේරුම් ගන්න ඕනෑ. එහෙම ගැඹුරින් මේ තත්ත්වය තේරුම් නොගන්නා තාක්කල් කොච්චර දූෂණ විරෝධයක් තිබුණත් ප්‍රතිඵලයක් නෑ. රවී කරුණානායක වගේ දූෂණ විරෝධී නාට්‍ය පමණයි ඉතිරිවෙන්නේ. රවී කරුණානායක නාට්‍යයෙන් පලක් වෙන්නෙ නෑ. ඔහු නැවත අමාත්‍ය ධුරයට පත්වෙයි.’■