රාවය

ව්‍යාජ වෙනුවට සැබෑ ප්‍රජා රේඩියෝ ඕනෑකර තිබේ!

ව්‍යාජ වෙනුවට සැබෑ ප්‍රජා රේඩියෝ ඕනෑකර තිබේ!

දකුණු ආසියාවේ පුරෝගාමී ප්‍රජා රේඩියෝව හැටියට පිළි ගැනෙන නේපාලයේ රේඩියෝ සාගර්මාතා ගැන 2017 ජූලි 16 වැනිදා මගේ තීරු ලිපියට ප්‍රතිචාර ගණනාවක් ලැබුණා.
සමහරුන් සාගර්මාතා සැබැවින්ම ප්‍රජා රේඩියෝවක්දැයි ප්‍රශ්න කළා. ඔවුන්ට අනුව නාගරික හා අර්ධ නාගරික ශ්‍රාවක පිරිසක් ප්‍රජාවක් නෙවෙයිලු.
මෙය බොළඳ විග්‍රහයක්. ප්‍රජාව (community) යනු භූගෝලීය වශයෙන් සමීපව වෙසෙන පිරිසක් හෝ යම් කරුණක් නැතහොත් ගැටලුවක් වටා ඒකරාශී වන (එහෙත් භූගෝලීයව විසිර සිටින) පිරිසක් විය හැකියි (උදා: වමත්කරුවන්, ලිංගික සුළුතරයන්).
හැම ප්‍රජාවක්ම ග්‍රාමීය විය යුතු නැහැ. එසේම ඕනෑම ප්‍රජාවකට සන්නිවේදන හා තොරතුරු අවශ්‍යතා තිබෙනවා. ඒවා සපුරා ගන්නට ක්‍රමෝපාය සොයා යෑමේ අයිතියද ඔවුන් සැමට තිබිය යුතුයි.
සාගර්මාතා පිහිටුවීමට මුල්වූයේ හා පවත්වා ගෙන යන්නේ නේපාල සිවිල් සංවිධාන නිසා එය සැබෑ ප්‍රජා රේඩියෝවක් නොවේ යැයි තර්ක කළ අයද සිටියා. මෙයද අතාත්වික හා පටු අර්ථකථනයක්.
හැම ප්‍රජා රේඩියෝවක්ම ගොවීන්, ධීවරයන් වැනි අය හැසිරවිය යුතු නැහැ. කත්මණ්ඩු නිම්නයේ සිවිල් සංවිධාන හා මාධ්‍යවේදීන් එකතු වී පවත්වා ගෙන යන සාගර්මාතා, ප්‍රජා රේඩියෝවක් යයි කීමට සියලු නිර්ණායක සපුරා ගෙන තිබෙනවා.
ලෝකයේ විවිධ රටවල ප්‍රජා රේඩියෝ සාර්ථකව පවත්වාගෙන යන පිරිස් අතර සරසවි සිසුන්, වෘත්තීය සමිති, මාධ්‍යවේදීන්ගේ සමිති, කාන්තා සංවිධාන ආදිය තිබෙනවා.
ප්‍රජා රේඩියෝවක මූලික අර්ථ දැක්වීම නම් එය රජය මගින් හෝ ලාබ ලබන පෞද්ගලික සමාගම් මගින් නොව සෙසු ප්‍රජා පිරිසක් විසින් පවත්වා ගෙන යෑමයි.
ශ්‍රී ලංකාවේ ප්‍රජා රේඩියෝ කිසි දිනක නොතිබුණා යයි මා කළ ප්‍රකාශයට අභියෝග කළ අයද සිටියා. ඔවුන් තර්ක කළේ මහවැලි ප්‍රජා රේඩියෝ, ඌව ප්‍රජා රේඩියෝ වැනි සේවා මෙරට බිහි වූ හා ඔවුන්ගේ අදහසට අනුව ‘ලෝක පූජිත’ ප්‍රජා රේඩියෝ බවයි.
මෙහි යම් සත්‍යයක් තිබේද?
කඩිනම් මහවැලි ව්‍යාපාරය යටතේ බිහි කෙරුණු නව ගොවි ජනපදවල වැසියන්ගේ සන්නිවේදන අවශ්‍යතා සඳහා අරමුණු කරමින් 1981දී මහවැලි ප්‍රජා රේඩියෝ නම් ව්‍යාපෘතියක් අරඹනු ලැබුවා. එයට කොත්මලේ, ගිරාඳුරු කෝට්ටේ හා මහඉලුප්පල්ලම යන ස්ථාන තුනක සවි කරනු ලැබූ, සීමිත දුරක සංඥා සම්ප්‍රේෂණය කළ හැකි ට්‍රාන්ස්මීටර් යොදා ගැනුණා.
‘ප්‍රජා’ යයි කීවාට මේවා මුළුමනින්ම රජයේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ පරිපාලනය යටතේ ක්‍රියාත්මක වූවා. මහවැලි ජනපදිකයන් වැඩසටහන්වලට සහභාගි කරවා ගත්තද අන්තර්ගතය හා වැඩසටහන් සැලසුම් පිළිබඳ අවසන් තීරක බලය මුළුමනින්ම පැවතියේ රාජ්‍ය සේවකයන් වූ සංස්ථා කාර්ය මණ්ඩලය අතේයි.
සංස්ථාවේ ඉතිහාසය පුරාම (1967 සිට අද දක්වා) බලයේ සිටින රජයේ සන්නිවේදන සඳහා සැදී පැහැදී සිටින ගුවන් විදුලියට විවෘත දේශපාලන සාකච්ඡා කිරීමේ ඉඩක් නැහැ. මේ සීමාවන් සියල්ල මහවැලි ප්‍රජා රේඩියෝවලටත් අදාළ වුණා.
එම සීමා තුළ වුවද මහවැලි ‘ප්‍රජා’ රේඩියෝ වැදගත් මෙහෙවරක් ඉටු කළ බවද ඇත්තයි. සහභාගිත්ව සන්නිවේදනය හරහා ගොවිතැන්, සමාජ සංවර්ධනය, මහජන සෞඛ්‍යය හා පරිසර සංරක්ෂණය වැනි තේමා ගැන බොහෝ කරුණු හා අදහස් මේවායින් සමාජගත වුණා.
එහෙත් රටේ ජන ජීවිතයට ඍජුවම අදාළ වන දේශපාලනික කරුණු කතා කිරීමට නිදහසක් තිබුණේ නැහැ.
මහවැලි ප්‍රජා රේඩියෝ කිරීමට එක්සත් ජාතීන්ගේ යුනෙස්කෝ ආයතනය තාක්ෂණිකව හා මූල්‍ය මට්ටමින් ආධාර කළා. ඩෙන්මාර්කයේ ආධාර ද ලැබුණා. 1990 වන විට මේ විදේශාධාර හමාර වූ අතර ඉනික්බිති මේ රේඩියෝ පවත්වාගෙන යෑමේ ප්‍රශ්න මතුවුණා.
ගුවන්විදුලි සංස්ථාවේ කලක් සේවය කළ හා මාධ්‍ය පර්යේෂකයකු වන එම්.ජේ.ආර්. ඬේවිඞ් කියන්නේ මහවැලි ප්‍රජා රේඩියෝ සේවා, සංස්ථාවේ ආයතනික ව්‍යුහයට හරිහැටි බද්ධ නොවූ බවයි.
එසේම කොළඹ සිට රටටම කතා කිරීමේ එක් දිශාවකට පමණක් ගලා ගිය සන්නිවේදනයට (one-way communication)දශක ගණනක් හුරුව සිටි සංස්ථා නිලධාරීන් හා මාධ්‍යවේදීන්, ශ්‍රාවකයන්ට වඩාත් සමීප වෙමින්, දෙදිසාවටම ගලා යන සන්නිවේදන ප්‍රවේශයක් ගත් ප්‍රජා රේඩියෝවලට සංකල්පීයව එතරම් කැමති නොවූ බවද ඔහු කියනවා.
මගේ ලිපිය කියැවූ, ගුවන් විදුලි සංස්ථාවෙන් විශ්‍රාම ලැබ සිටින ජ්‍යෙෂ්ඨ නිවේදකයෙක් හා මාධ්‍යවේදියෙක් දුර කතනයන් මා අමතා ‘ප්‍රජා රේඩියෝ’ ව්‍යාපෘතියේ සුප්‍රකට පසුබිම් තොරතුරු හෙළි කළා.
එම ව්‍යාපෘතිය මුල් කාලයේ භාරව සිටියේ සංස්ථාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයකු වූ ඊ.එස්.ටී. ප්‍රනාන්දුයි. ඔහු හැකි තාක් ග්‍රාමීය ප්‍රජාවට සමීප වූත්, ප්‍රයෝජනවත් වූත් වැඩසටහන් කිරීමට උත්සුක වූවත් සංස්ථාවේ නිලධාරිවාදී ආකෘතියෙන් මුළුමනින් අත්මිදීමට හැකිවූයේ නැහැ.
දෙස් විදෙස් සන්නිවේදන පර්යේෂකයන් ගණනාවක් මහවැලි ‘ප්‍රජා’ රේඩියෝ ව්‍යාපෘතීන් අධ්‍යයනය කොට විද්වත් පත්‍රිකා හා නිබන්ධ පළ කොට තිබෙනවා. මේ සමහරුන් තුලනාත්මකව මේ සන්නිවේදන ව්‍යායාමයන්ගේ හොඳ නරක දෙකම ලේඛනගත කර ඇතත් ඇතැම් දෙනා මේවා ප්‍රජා රේඩියෝ යන දුර්මතය තවත් ලොව ප්‍රචලිත කිරීමට දායක වී තිබෙනවා.
ප්‍රජා යයි කියා ගන්නා රජයේ රේඩියෝ ගැන මා විවේචනය කරන්නේ විසි වසරකට පෙර පටන්. 1990 දශකය අග මා ලියූ ලිපියක කීවේ මෙයයි. “ශ්‍රී ලංකා ජාතික කොඩියේ සිංහයකු සිටියාට සොබාවික පරිසරයේ සිංහයෙක් හමු වන්නේ නැහැ. එසේම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හා යුනෙස්කෝව කොතරම් පුන පුනා කීවත් ප්‍රජා රේඩියෝ තිබෙන්නේ ඔවුන්ගේ පොත්වල මිස සැබෑ ශ්‍රී ලංකා ජන සමාජයේ නම් නොවෙයි!”
ශ්‍රී ලංකාවේ විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ සමාජ-දේශපාලනික පසුබිම ගැන මේ දක්වා ලියැවී ඇති හොඳම විග්‍රහයක් නම් තිලක් ජයරත්න හා සරත් කැල්ලපත කෘතහස්ත මාධ්‍යවේදීන් 2011-12දී ලියූ The political economy of electronic media in Sri Lanka  ලිපියයි. එහි එක් තැනෙක ඔවුන් මෙසේ කියනවාථ
“1971 ජවිපෙ නායකත්වය යටතේ තරුණ තරුණියන් කළ නැඟී සිටීම වක්‍ර ලෙස රාජ්‍ය මාධ්‍ය ප්‍රතිපත්තිවලට බලපෑමක් කළා. ප්‍රචණ්ඩ අරගලයේ මුල් සති කිහිපයේ රටේ පැවති සන්නිවේදන පද්ධති අඩාල වූවා. එවිට මහජනයාට ඍජුව හා ක්ෂණයකින් ඇමතීමට රජයේ රේඩියෝව භාවිත කිරීමේ වැදගත්කම එවක රජය තේරුම් ගත්තා. එසේම පසුව අනුමාන කරනු ලැබුවේ රජය නොදැනුවත්ව රජයේ රේඩියෝ සේවා හරහාම ජවිපෙ ආධාරකරුවන් ව්‍යාංගාර්ථයෙන් යම් පණිවුඩ දී ඇති බවයි. මෙය නිල වශයෙන් පිළි නොගත්තද රේඩියෝ තරංග රජයේ දැඩි පාලනය යටතේ තබා ගත යුතු බව පාලකයන් තීරණය කළා.
දේශපාලකයන් විද්‍යුත් මාධ්‍යවල වැදගත්කම තේරුම් ගත්තේ 1971න් පසුවයි. මුලදී හදිසි අවස්ථාවල යොදා ගත් රේඩියෝ හරහා රටම ඇමතීම පසුව දේශපාලන ප්‍රචාරණ කටයුතුවලටත් දිගු කරනු ලැබුවා. එසේම පසු කාලීනව (1990 දශකයේ) විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයට පෞද්ගලික අංශයට පිවිසීමට ඉඩ දුන් පසුවද ප්‍රජා කණ්ඩායම්වලට එම සහභාගිත්වය ප්‍රතික්ෂේප කරනු ලැබුවේ දේශපාලන හෝ ත්‍රස්තවාදී කණ්ඩායම්වලට ඒ හරහා රේඩියෝ තරංග හැසිරවීමට හැකි වේය යන තර්කය මතයි.”
දෙවන ජවිපෙ නැගී සිටීමේ (1987-89) වකවානුවේ අවසර නොලත් රේඩියෝ සේවයක් රණහඬ නමින් ජවිපෙ පවත්වා ගෙන ගිය බව අප දන්නවා. ඇත්තටම රාජ්‍ය සංස්ථාවක් (ගුවන් විදුලිය) හෝ පෞද්ගලික සමාගමක් හැරුණු කොට මෙරට රේඩියෝ විකාශයන් සිදු කොට ඇත්තේ ජවිපෙ රණහඬ හා කොටි සංවිධානයේ Voice of Tigers පමණයි.
මුලදී අනවසරයෙන් පවත්වාගෙන ගිය කොටි හඬට 2002 නොවැම්බර් 11දා මාධ්‍ය අමාත්‍යාංශය විකාශ බලපත්‍රයක් නිකුත් කළ අතර පසුව එය 2009 ජනවාරි 7 වැනිදා අවලංගු කළ බව නිල වාර්තාවල දැක්වෙනවා.
සටන් විරාමය වකවානුවේ විවෘතව පවත්වා ගෙන ගිය කොටි හඬට සටන් විරාමය බිඳ වැටී යළි යුද්ධය ඇරඹුණු පසු නරක කාලයක් උදාවුණා. 2007 නොවැම්බර් 27 වනදා ගුවන් හමුදා ප්‍රහාරක යානා කිළිනොච්චියේ පිහිටි කොටි හඬ රේඩියෝ ගොඩනැගිල්ලට ගුවන් ප්‍රහාර එල්ල කළා. එයින් කර්තෘ මණ්ඩලයේ තිදෙනකු සහ තවත් අට දෙනකු මිය ගොස් 15 දෙනකු තුවාල ලද බව ටැමිල් නෙට් වෙබ් අඩවිය එදින සවස වාර්තා කළා.
මෙම ව්‍යතිරේකයන් දෙක හැරුණු කොට රජය හා පෞද්ගලික සමාගම්වලට පරිබාහිර කිසිදු පාර්ශ්වයකට රේඩියෝ විකාශයන් පවත්වා ගෙන යෑමට මේ දක්වා කිසිදු රජයක් අවසර දී නැහැ. එයින් පෙනී යන්නේ අපේ ආණ්ඩු, පෞද්ගලික සමාගම් විශ්වාස කරන තරමට හෝ කිසිදු ප්‍රජා කණ්ඩායමක් විශ්වාස නොකරන බවද?
ජයරත්න හා කැල්ලපත දෙපළ සිය විග්‍රහයේ තවත් තැනෙක මෙසේ කියනවා:
“ප්‍රජා රේඩියෝ ලෙස ලේබල් ගසමින් ශ්‍රී ලංකාවේ පවත්වා ගෙන ගොස් තිබෙන්නේ මුලාවක්. ප්‍රජා යයි කියා ගන්නා එකුදු රේඩියෝ සේවයක්වත් සැබැවින්ම ප්‍රජාවට අයිති, ප්‍රජාව විසින් කළමනාකරණය කරන්නක් නොවෙයි.”
ඔවුන්ගේ නිගමනය මෙයයි: “සැබැවින්ම ප්‍රජා රේඩියෝ පවත්වා ගෙන යන්නට ප්‍රජාවන්ට අවසර දුන්නා නම් ඒ හරහා රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ස්ථාපිත කරන මහජන ව්‍යාපාරයක් බිහි විය හැකිව තිබුණා. එහෙත් ප්‍රජා යයි බොරු ලේබල් ගැසූ රජය පාලනය කරන රේඩියෝ සේවා කර ඇත්තේ ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්.”
විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රය අර්ධ වශයෙන් විවෘත කිරීම අරඹා 2017ට වසර 25ක් සපිරෙනවා. මේ කාලය තුළ බලයේ සිටි කිසිදු රජයක් සැබෑ ප්‍රජා රේඩියෝ සඳහා එකම බලපත්‍රයක්වත් ලබාදී නැහැ.
මේ ස්ථාවරය සාධාරණීකරණය කිරීම නම් විටින් විට කැරෙනවා. මාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ව සිටි කුමාර් අබේසිංහ 2002 පෙබරවාරියේ නේපාලයේ කත්මණ්ඩු නුවර පැවති මාධ්‍ය සමුළුවකදී කීවේ, මෙරට ප්‍රජා රේඩියෝ බලපත්‍ර නොදෙන්නේ ඒවා දේශපාලන වැඩට යොදා ගැනීම පිළිබඳ අවදානම නිසා බවයි.
“අපේ රටේ සමුපකාර ව්‍යාපාරය විනාශ වී ගියේ දේශපාලන බලපෑම් වැඩි වීම නිසායි. රේඩියෝ තරංග ප්‍රජාවන් අතට දීමට අප පැකිළෙන්නේත් ඒවා දේශපාලනයෙන් කිළිටි වීමට ඉඩ ඇති බැවින්” යන්න ඔහුගේ තර්කය වුණා.
මෙය පිළිගත හැකි තර්කයක් නොවෙයි. 1970 ගණන්වල සිට අද දක්වා බලයේ සිටි හා සිටින හැම දේශපාලන පක්ෂයක්ම රාජ්‍ය රේඩියෝ සිය දේශපාලන ප්‍රචාරණ කටයුතුවලට යොදා ගන්නා බව අපි දන්නවා. මෙය ඉතා ආන්තික ලෙස හා වියරු ලෙසින් කළේ රාජපක්ෂ රජයයි.
එසේම මේ දක්වා නිකුත් කර ඇති විකාශ බලපත් ලැබූ සමහර පෞද්ගලික මාධ්‍ය සමාගම් ඍජුවම විවිධ දේශපාලන පක්ෂවලට නැඹුරු වී සිටිනවා. අපක්ෂපාතව තොරතුරු වාර්තා කරනු වෙනුවට පක්ෂග්‍රාහී ලෙසින් ගුවන් තරංග හසුරුවනවා. අනුග්‍රහය හා අධිආවරණය සපයනවා.
රජයට හා සමාගම්වලට රිසි සේ දේශපාලනයේ යෙදෙන්නට ගුවන් තරංග ලැබෙන නමුත් ප්‍රජා කණ්ඩායම්වලට එය අකැපයි!
මෑත වසරවල ඌව ප්‍රජා රේඩියෝව හා දඹාන ප්‍රජා රේඩියෝ නමින් රාජ්‍ය ගුවන් විදුලි සංස්ථාව ග්‍රාමීය සේවා පවත්වා ගෙන යනවා. මේවායේ සීමිත ප්‍රජා සේවය ගැන වාදයක් නැතත් මූලික ප්‍රශ්නය මෙයයි: විවෘත දේශපාලන සංවාදවලට මේ කිසිදු සේවයක් ඉඩ දෙනවාද?
දේශපාලනය යනු දේශපාලන පක්ෂවලට පමණක් සීමා වූවක් නොවෙයි. ප්‍රජාතන්ත්‍රවාදය හා ආණ්ඩුකරණය ගැන උනන්දු වන ඕනෑම පුරවැසියකුට කාලීන ප්‍රශ්න ගැන දේශපාලනික සංවාද කළ හැකි විය යුතුයි. මහජන මුදලින් නඩත්තු කරන ජනපති, අගමැති ඇතුළු මහජන නියෝජිතයන් නිර්දය ලෙස විවේචනය කළ හැකිවිය යුතුයි. රජයේ හොඳ අගයන්නටත්, වැරදි හෙළා දකින්නටත් ඉඩ තිබිය යුතුයි.
මේ විවෘත බව ප්‍රජා යයි කියා ගන්නා ගුවන් විදුලි සංස්ථා ග්‍රාමීය විකාශවල හෝ දීප ව්‍යාප්ත විකාශවල හෝ හමු වේද?
ගුවන්විදුලි සංස්ථාවට මෑතක පත් වූ නව සභාපති සුදර්ශන ගුණවර්ධන වියපත් හා ඇල්මැරුණු මේ ආයතනය යළි පණ ගැන්වීමට ලොකු උත්සාහයක් දරනු පෙනෙනවා. මෙය අගය කළ යුත්තක්. එහෙත් වැඩසටහන් වඩාත් හරවත් හා මැදහත් කිරීමෙන් පමණක් රටේ රේඩියෝ සංස්කෘතිය නගා සිටුවීමට බැහැ.
නව සභාපතිවරයාට හා මාධ්‍ය අමාත්‍යාංශයට අප කරන ඉල්ලීම මෙයයි. දැන්වත් ප්‍රජා කණ්ඩායම්වලට නිසි නිර්ණායක සමඟ ප්‍රජා රේඩියෝ බලපත් දෙන ක්‍රමවේදයක් හඳුන්වා දෙන්න. රේඩියෝ තරංග ජනතාවට මුදා හරින්න.
ජනතාව විශ්වාස කරන රජයක් බව ක්‍රියාවෙන් ඔප්පු කරන්න!■