රාවය

රාජ්‍ය පාලනයේ වස්තු කොල්ලය

රාජ්‍ය පාලනයේ වස්තු කොල්ලය

වික්ටර් අයිවන්

පාලකයාට හා පාලක පක්ෂයට රටේ පොදු වස්තුව කොල්ලකෑමට හා අත්පත් කරගැනීමට ලැබී තිබෙන බලය හෝ අයිතිය ලංකාවේ වර්තමාන ආණ්ඩුක්‍රමයේ තිබෙන ලොකුම දෝෂය ලෙස සැලකිය හැකිය. මා ඒ ගැන පසුගිය සතියේ ලියන ලද ලිපියෙන් ද ඊට පෙර විටින් විට ලිපි ගණනාවක් මගින්ද කතාකර ඇත්තෙමි. මා 2010 වසරේදී ‘චෞර රාජ්‍යය’ නමින් ලියන ලද පොතෙන් ප්‍රධාන කොට අපේක්ෂා කළේ ද ආණ්ඩුක්‍රමයේ ස්වභාවය විග්‍රහ කරන අතර ඒ මගින් රටේ සිදුවන වස්තු කොල්ලය හා එහි පරිමාව පිළිබඳව පාඨකයා ද දැනුවත් කිරීමය. මම එම පොතෙන් රට පාලනය කිරීමේ නාමයෙන් සිදුවන මහා වස්තු කොල්ලය ගැන ඒ සඳහා දැක්විය හැකි නිදර්ශන සමඟ එහි පැහැදිලි කර ඇත්තෙමි. ඒ පැහැදිලි කිරීම සඳහා පමණක් එම පොතෙන් වෙන්කර තිබෙන පිටු ගණන 91කි. විටින් විට බලයට පත්වන පාලක පක්ෂ විසින් රටේ පොදු වස්තුව මහා පරිමාණයෙන් කොල්ලකන්නේ නම් ඒ රට කාලකණ්ණිවීම පුදුමයට හේතුවන්නේ නැත. එය ලංකාවේ ඇතිවී තිබෙන මහා පරිහානිය කෙරෙහි බලපා තිබෙන හේතු අතර වැදගත්ම හේතුවක් ලෙස සැලකිය හැකිය. මා එම කෘතියෙන් කියා තිබෙන තවත් වැදගත් දෙයක් වනුයේ ලංකාවේ ආණ්ඩුක්‍රමයේ යහපත් වෙනසක් ඇතිකර ගැනීම අත්‍යවශ්‍ය බවත්, එහිදී පාලකයාට හා පාලක පක්ෂයට පොදු වස්තුව අයථා ලෙස හිමිකර ගැනීමට ඉඩක් නොලැබෙන ආකාරයට විධි විධාන ඇති කර ගැනීමද අත්‍යවශ්‍ය වන බවය. (පිටු 261-263)

ව්‍යවස්ථාවේ හොඳ නරක
එය යහපාලන ආණ්ඩුව හදමින් තිබෙන ව්‍යවස්ථාවේ හොඳ නරක තීරණය කරන වැදගත් මාපකයක් ලෙස ද සැලකිය හැකිය. එම ව්‍යවස්ථා සම්පාදනය තුළ පාලකයාට හා පාලක පක්ෂයට පොදු වස්තුව කොල්ලකෑමට ලැබී තිබෙන අයිතිය වළකන දර්ශකයක් තිබෙන බවක් පෙනෙන්නට නැත. යහපාලන ආණ්ඩුව සිය භාවිතයෙන්ද තමන්ට එවැනි දැක්මක් ඇති බව පෙන්නුම් කිරීමට ද සමත් වී නැත.
තොරතුරු පනතක් කරළියට ගෙන ඒමට සැලසුම් කරමින් තිබෙන අවස්ථාවකදී විෂය භාර ඇමතිවරයා සේ ම ජනාධිපතිවරයා ද සහභාගි වූ සාකච්ඡාවකදී වත්කම් බැරකම් නීතිය ද ඉතාමත් වැදගත් විෂය ක්ෂේත්‍රයකට අදාළව මහජනයාට තොරතුරු ලබාගැනීමේ අයිතිය ලබාදී තිබෙන වැදගත් නීතියක් බව කියමින් තොරතුරු පනතට අතිරේකව ඊට සමගාමීව වත්කම් බැරකම් නීතියේ තිබෙන දෝෂ නැති කොට එය බලවත් ලෙස ක්‍රියාත්මක වන නීතියක් බවට පත් නොකරන්නේ ඇයිදැයි මම ප්‍රශ්න කළෙමි. වත්කම් බැරකම් නීතියේ ඇති දෝෂ නැති කිරීමට හේතුවන සංශෝධනයක් කෙටුම්පත් කිරීමට ගතවන කාලය පැය දෙක තුනක්වත් නැති තරම්ය. මම එහිදී ඒ බවද කීවෙමි. මාගේ එම ප්‍රශ්නය සඳහා විෂය භාර ඇමතිවරයාගෙන් හෝ ජනාධිපතිවරයාගෙන් පැහැදිලි පිළිතුරක් ලැබුණේ නැත. මට ඉන් තේරුම් ගියේ තොරතුරු පනතක් දෙනවා හැරුණු කොට අයථා ලෙස වත්කම් රැස් කරන්නට එරෙහිව ක්‍රියාත්මක වන වත්කම් බැරකම් නීතිය බලාත්මක කිරීමේ අවංක අභිප්‍රායක් යහපාලන ආණ්ඩුවටද නැති බවය.
දේශපාලකයන්ට තමන්ට තිබෙන බලය යොදා ගනිමින් අයථා ලෙස ධනය උපයා ගැනීමට ලැබී තිබෙන හැකියාව නැති කිරීම සඳහා වත්කම් බැරකම් නීතියට අතිරේකව යොදාගත හැකි තවත් ප්‍රතිකර්ම දෙකක් තිබේ. මහජන නියෝජිතයන්ට (පාර්ලිමේන්තු පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රීවරුන්ට) රජය සමඟ ව්‍යාපාර කිරීම තරයේ තහනම් කළ හැකිය. එසේ කරන අයගේ මන්ත්‍රීකම් අහිමි කිරීමට හේතුවන විධි විධාන නැවත ඇති කළ යුතුය. එය ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් ක්‍රියාත්මක වන හැම රටකම පාහේ ක්‍රියාත්මක කෙරෙන පිළිවෙතක් වන අතර 1977 දක්වා ලංකාවේද ක්‍රියාත්මක වූ පිළිවෙතකි. ඒ පිළිවෙත නැවත බලාත්මක කළ හැකිය. මා ඒ ගැන එක් අවස්ථාවකදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කරුණු විමසීමක් කරන ලද අතර එහිදී මට එතුමාගෙන් පිළිගත හැකි යහපත් පිළිතුරක් ලබාගැනීමට හැකිවූයේ නැත. මා ඉන් ඇති කරගත් නිගමනය වූයේ අගමැතිවරයාගේ මාමා විසින් කඩා බිඳ දමන ලද සම්ප්‍රදාය නැවත ඇති කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ ද කැමති නැති බවය.
යහපත් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් පවත්නා කවර රටකවත් මහජන නියෝජිතයන්ට ආණ්ඩුවේ කොන්ත්‍රාත්කරුවන් ලෙස ක්‍රියා කළ නොහැකිය. ආණ්ඩුවේ බලපත්‍රලාභී ව්‍යාපාරිකයන් ලෙස ක්‍රියා කළ නොහැකිය. ආණ්ඩුවේ නිවාස හෝ ඉඩම් මිලදී ගන්නෙක් ලෙස ක්‍රියා කළ නොහැකිය. එවැනි වැරදි කරන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීකම් අහිමි කරන ක්‍රමයක් ඒ හැම රටකම ක්‍රියාත්මක වේ. ඒ ක්‍රමය 1977 දක්වා ලංකාවේද ක්‍රියාත්මක විය. එජාපයෙන් ගාලු ආසනයට තේරීපත්වී සිටි ඇල්බට් සිල්වාට සිය මන්ත්‍රීකම අහිමි වූයේ භූමිතෙල් බලපත්‍රයක් තිබීම නිසාය.

වක්කඩ කැඩූ ජේ.ආර්.
ලංකාවේ පැවති එම යහපත් සම්ප්‍රදාය සාහසික ලෙස මරා දමන ලද පුද්ගලයා ලෙස සැලකිය හැක්කේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාය. ඔහු පාර්ලිමේන්තුවට තිබුණු ප්‍රමුඛ වැදගත්කම අහිමි කොට සකලවිධ රාජ්‍ය බලය සියතට ගනිමින් පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාගේ රබර් මුද්‍රාව බවට පත් කළේය. ජනාධිපතිවරයාට පරම බලයක් තිබුණද පාර්ලිමේන්තුවේ සහාය නැතිව ජනාධිපතිවරයාට පැවතිය නොහැකිය. ඒ නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සතුටු කිරීම සඳහා ඔවුන්ට විවිධ වරප්‍රසාද දෙන අතර ඔවුන්ට ආණ්ඩුව සමඟ ව්‍යාපාර කිරීමේ අයිතියද ලබාදෙන ලදි.
එතුමා එතෙක් පැවති යහපත් සම්ප්‍රදාය මරා දැමීමෙන් නොනැවතී මන්ත්‍රීවරුන් වරදට පොළඹවන වැරදි පූර්වාදර්ශද ලබා දුන්නේය. ජනාධිපතිවරයා තමන්ට තිබූ නිසරු පොල් ඉඩමක් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට දී ඒ වෙනුවට ඒ යටතේ තිබූ ඉතා අගනා සරු පොල් වත්තක් තමන් වෙත ලබා ගත්තේය. ලංකාව නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක වන රටක් වී නම් ඒ සිදුකරන ලද වරද ජනාධිපති ධුරය අහිමි කිරීමට ප්‍රමාණවත්ය.
ජනාධිපතිවරයා එම විෂයේදී වැරදි කිරීම එම වරදට සීමා කළේ නැත. රාජ්‍ය නායකයකු විසින් නොකළ යුතු තවත් වැරදි ගණනාවක් ඔහු කළේය. ජේ.ආර්. ජයවර්ධන නීති විද්‍යාලයේ අධ්‍යාපනය අවසන් කරමින් තිබූ කාලයේදී ඔහුගේ පියා කොළඹ ටරට් පාරේ වෛජයන්ත නමින් කාමර 12කින් යුතු ලස්සන මන්දිරයක් ඉදිකරමින් තිබුණි. පවුලේ ආර්ථික අමාරුකම් නිසා මේ මැදුර චීන තානාපති කාර්යාලයට ඔවුන්ට විකුණන්නට සිදුවූ අතර ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව එම මැදුර නැවත පවරා ගෙන ඒ වෙනුවට චීන තානාපති කාර්යාලයට තානාපති කාර්යාලයක් ඉදිකර ගැනීම සඳහා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව අසලින් ඉතා අගනා ඉඩමක් ලබා දුන්නේය. ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රය බවට හරවන ලද්දේ එසේ ආපසු ලබාගත් “වෛජයන්ත’ නිවසය. තමන්ට හා තමන්ගේ පවුලේ අයට ලොකු වැදගත්කමක් ලබාදීම සඳහා මහජන වියදමින් එවැනි දේවල් කිරීම නීතියට පටහැනිය.
රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා සිය මව හා පියා සිහිවීම පිණිස සිය ගමේ රජයේ වියදමින් කෞතුකාගාරයක් ඉදිකරන්නට ඇත්තේ සිය පූර්වගාමී ජනාධිපතිවරයා ආදර්ශයට ගෙන විය හැකිය ඉන්පසු චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියද සිය සැමියා වූ විජය කුමාරතුංග වෙනුවෙන් එවැනි දේ කළේය. ඉන්පසු ජනාධිපති මහින්ද රාජපක්ෂද සිය පියා හා මව වෙනුවෙන් ඔවුන්ගේ සොහොන් කොත් සහිත නිවස හා ඉඩම මහජන මුදලින් කෞතුකාගාරයක් බවට පත් කළේය.
මීට පෙර ලියන ලද ලිපියක සඳහන් කරන ලද පරිදි ජේ.ආර්. ජයවර්ධන හා එතුමාගේ ආර්යාව ඔවුන් දෙදෙනා උපයන ආදායම් වෙනුවෙන් ආදායම් බදු ගෙව්වේ නැත. ඒ ගැන දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා කරන ලද ලිඛිත කරුණු විමසීමකදී ජනාධිපතිවරයා උද්දච්ච ස්වරූපයකින් ප්‍රකාශ කර ඇත්තේ තමන් ජීවත් වන වෝඞ් පෙදෙසේ නිවස තමාගේ හා තම බිරිඳගේ ඇවෑමෙන් පසු රජයට පවරා දෙන බවත් ඒ නිසා තමා හා තම බිරිඳ බදු නොගෙවන බවත්ය.

ඉන්පසු ජේ.ආර්. ජයවර්ධනගේ ආර්යාව ලියන තෑගි ඔප්පුවක් මගින් ඒ දෙදෙනාගේ ප්‍රාණ භුක්තියට යටත්ව එම නිවස රජයට පවරා දෙන ලද්දේ රජයට බදු නොගෙවීමෙන් ඇතිවූ පාඩුව පියවා ගත හැකි ආකාරයට නොව එම නිවස රජයේ වියදමින් ජේ.ආර් ජයවර්ධනගේ හා ආර්යාවගේ පවුලේ කෞතුකාගාරයක් ලෙස පවත්වාගෙන යායුතු බවට නියම කරමිනි. ජනාධිපතිවරයෙකුගේ පවුලේ යසෝකීර්තිය සඳහා එක් කෞතුකාගාරයක් තිබියදී තවත් කෞතුකාගාරයක් පවත්වාගෙන යායුත්තේ ඇයි? මේ කරුණු පෙන්වා දෙනුයේ මෙම නායකයන් පිළිබඳව ද්වේෂයක් ඇති කිරීම සඳහා නොව රට මුහුණ දී තිබෙන අර්බුදයෙන් ගැලවීම සඳහා අවශ්‍ය කරන දේශපාලන ප්‍රඥාව ඇතිකර ගැනීම සඳහා මෙවැනි කරුණු ද මහජනතාව දැනගත යුතු නිසාය.

විජමු හා නෙවිල් ප්‍රනාන්දු
1987-1994 කාලයේදී රාවය පුවත්පතට සේ ම එම පුවත්පතේ කර්තෘ වශයෙන් මටද විරුද්ධව පක්ෂ ව්‍යාපාරවල ලොකු පිළිගැනීමක් තිබුණි. ඊට හේතුව බෙලහීන තත්ත්වයක තිබූ විරුද්ධ පක්ෂය ව්‍යාපාර ශක්තිමත් කිරීමට හේතුවන ප්‍රතිපත්තියක පිහිටා මා ක්‍රියාකිරීම නිසා. එසේ කළේ විරුද්ධ පක්ෂය බලයට පත්වූ පසුව රටේ සියලු ප්‍රශ්න විසඳනු ඇතැයි කියන මෝඩ විශ්වාසයෙන් නොවේ. දීර්ඝ කාලයක් එක දිගට බලයේ සිටි එජාප ආණ්ඩුව පරාජය කිරීම රටේ ඉදිරි ගමන සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් ලෙස සලකන ලද නිසාය. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ලංකාවේ ආණ්ඩුක්‍රමය ගොඩනගා තිබුණේ සිංගප්පූරුව හා මැලේසියාව ආදර්ශයට ගෙන පාලක පක්ෂයට එක දිගට දීර්ඝ කාලයක් බලයේ සිටිය හැකි ආකාරයටය. ඒ රටවල් දෙකේද විරුද්ධ පක්ෂ තිබෙන්නේ නමට පමණය. විරුද්ධ පක්ෂ බලවත් වීමට ඉඩ දෙන්නේම නැත. ඒ රටවල් දෙකේ හැමදා රජ කරන්නේ එකම පාලක පක්ෂයකි. ජේ.ආර්. ජයවර්ධනයට ලංකාව සඳහා අවශ්‍ය වූයේද එවැනි ක්‍රමයකි.

මා ඒ කාලයේ සංස්කෘතික ඇමතිව සිටි විජමු ලොකු බණ්ඩාර මහතා සමඟ කරන ලද පිළිසඳරකදී ඔහු ආණ්ඩු පක්ෂය ගැන අපූරු විග්‍රහයක් කළේය. අපේ ක්‍රමය අනුව අපි උපරිම වශයෙන් කන බව ඔහු කීවේය. ඒ තරමටම නොවුණත් විරුද්ධ පක්ෂයටද කන්න දෙන බව කීවේය. ඒ නිසා ලංකාවේ විරුද්ධ පක්ෂ බලවත් ලෙස නැගී සිටින තැනකට යන්නේ නැති බවත් ඒ නිසා අපේ මෝඩකමින් ආණ්ඩුව පෙරළුණොත් හැර විරුද්ධ පක්ෂය අතින් ආණ්ඩුව පෙරළන්නේ නැති බවත් ඔහු කීවේය. ඔහු ලැජ්ජාවකින් හෝ පැකිළීමකින් තොරව කියන ලද දේ නිවැරදිය. ආණ්ඩුව අනියම් ලෙස විරුද්ධ පක්ෂය පාලනය කළේය. ආණ්ඩු පක්ෂයේ නියෝජිතයන් ඉස්මුරුත්තාවට එන තෙක් කෑවේය. ඒ තරමටම නොවෙතත් විරුද්ධ පක්ෂයටද හොඳට කන්න දුන්නේය. ඒ අතර විරුද්ධ පක්ෂයේ තෝරා ගත් පිරිසකට ඊටත් වඩා හොඳට කන්න දුන්නේය. ඒ සියලුදෙනා දැන හෝ නොදැන කමින් තිබුණේ රටේ ඇට ලේ මස්ය. බොමින් තිබුණේ රටේ සාරයයි.

මට ඒ ගැන ශ්‍රීලනිප නායිකාව හා ඇගේ ප්‍රධානීන් කිහිපදෙනෙකු සමඟ සාකච්ඡා කිරීමට අවශ්‍ය විය. සාකච්ඡාවක් කිරීමට ඇති කැමැත්ත දැනුම් දුන් විට බණ්ඩාරනායක මැතිනියද ඊට එකඟ විය. මා සාකච්ඡාවට ලක් කරන්නට බලාපොරොත්තු වූ කරුණු මොනවාදැයි ඇය දැන සිටියේ නැත. සාකච්ඡාව පැවතියේ ඇගේ රොස්මිඞ් පෙදෙසේ තිබූ නිවසේය. ඇයට අතිරේකව එම සාකච්ඡා සභාව සඳහා පක්ෂයේ ලේකම් සූරියප්පෙරුමද, මහින්ද රාජපක්ෂද, අනුරුද්ධ රත්වත්තද පසුකලක සයිටම් නිර්මාණය කළ නෙවිල් ප්‍රනාන්දු ද එම සාකච්ඡාවට සහභාගි විය.
රටේ දේශපාලන තත්ත්වයට අදාළ විවිධ දේ කතා කරන අතර විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඔවුන් හීලෑ කර ගැනීම සඳහා ලබාදෙමින් තිබූ වරදාන ගැනද කතා කරන තැනකට ගියෙමි. මන්ත්‍රීවරුන්ට වාහන ලබාදෙන ප්‍රතිපත්තියක් ඇති කළේ ඒවා පාවිච්චි කරන්නට වඩා වැඩි මිලකට විකුණා ලොකු ආදායමක් උපයා ගැනීම සඳහාය. එම කප්පම් ගෙවන ක්‍රමයට අනුගත නොවී ඒවා ප්‍රතික්ෂේප කරන පිළිවෙතක් ශ්‍රීලනිප අනුගමනය කළේ නම් එම කප්පම් ගෙවන ප්‍රතිපත්තිය ලොකු අර්බුදයකට යන්නට ඉඩ තිබුණා නොවේද කියා මම ප්‍රශ්න කළෙමි. බණ්ඩාරනායක මැතිනිය ඇතුළු එහි සිටි සියලුදෙනා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මට ඇහුම්කන් දෙන පිළිවෙතක් අනුගමනය කළා විනා අදහස් පළකරන තැනකට ගියේ නැත.

සාකච්ඡාව අවසන්වීමෙන් පසු සාකච්ඡාවට සහභාගිවූවන් සඳහා දහවල් ආහාරය (බුරියානි) සපයන ලද්දේ දොස්තර නෙවිල් ප්‍රනාන්දුය. මා ආහාරයට ගන්නේ ස්වල්ප ප්‍රමාණයක් නිසා අන් අයට පෙර කෑම ගෙන අවසන් කොට අත සෝදා ගැනීම සඳහා කෑම මේසයෙන් ඉවතට ගියෙමි. මා පයිප්පයෙන් අත සෝදමින් සිටි අවස්ථාවේදී දොස්තර නෙවිල් ප්‍රනාන්දු එහි පැමිණ මට මෙසේ කීවේය.

“මම හිතුවෙ ඔයා යූඑන්පී එකෙන් මැරුම් කන්න නියමිත කෙනෙක් කියලා. ඒත් දැන් මට හිතෙන්නේ ඔයා ඒගොල්ලන්ගෙන් නෙවෙයි මේ ගොල්ලන්ගෙන් මැරුම් කන්න නියමිත කෙනෙක් කියලා.” ඔහු තවදුරටත් මෙසේද කීවේය. “මේගොල්ලො බලයට ආපු දවසක මේගොල්ලන්ගෙ කෑදරකමේ තරම දැනගන්නට හැකිවේවි.”

දොස්තර නෙවිල් ප්‍රනාන්දු නිවැරදිය. ඔහු ලොකු ධනයක් තිබූ පුද්ගලයෙකි. පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ එජාපයෙනි. පසුව ශ්‍රීලනියට එක්වූවෙකි. මන්ත්‍රීවරුන්ගේ අභිලාෂයන් ගැන මට වඩා හොඳ වැටහීමක් ඔහුට තිබුණා විය යුතුය. ඔහු කියන ලද ආකාරයටම එජාපය පරාජය කොට ශ්‍රීලනිප ප්‍රමුඛ සමඟි පෙරමුණ බලයට පත්වූ පසු ඒ ආණ්ඩුව ගමන් කළේද ජේ.ආර්. ජයවර්ධන ඉදිකර තිබූ මාර්ගයේය. ඔවුන්ද උපරිම මට්ටමෙන් රටේ සාරය උරා බොන පිළිවෙතක් අනුගමනය කළේය. අවසානයේ යහපාලන ආණ්ඩුව බලයට පත්වන විට රට තිබුණේ හපයක් බවට පත්වූ තත්ත්වයකය. දැන් යහපාලන ආණ්ඩුවේ පාර්ශ්ව දෙකද කෑදර ලෙස උරාබොමින් සිටිනුයේ හපයක් බවට පත්ව තිබෙන රටය.

වස්තු කොල්ලය අවසන් කිරීම
අන් සියල්ලට පෙර බලයට පත්වන පාලක පක්ෂවලට රටේ වස්තුව කොල්ලකෑමට ලැබී තිබෙන ඉඩ මුළුමනින් ඇහිරීමට හේතුවන විධිවිධාන ඇති කිරීම ඉතා අවශ්‍ය වේයැ’යි මා කියන්නේ මෙම අවලස්සන කොල්ලය තවදුරටත් පවතින්නට ඉඩ හැර බලා සිටියහොත් රටේ ඇතිවී තිබෙන කාලකණ්ණිභාවය ජයගත නොහැකි ස්ථිර කාලකණ්ණිභාවයකට පත්වීමේ හැකියාව සලකාය. රටේ හදමින් තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මා එකඟ නොවන කාරණා අතර කියන ලද කාරණාව ප්‍රධානය. එනම් ලංකාවේ වර්තමාන ආණ්ඩුක්‍රමයේ තිබෙන ලොකුම දෝෂය විටින් විට බලයට පත්වන පාලක පක්ෂවලට රටේ පොදු වස්තුව කොල්ලකෑමට ලැබී තිබෙන බලය හෝ අයිතිය ලෙස සැලකිය හැකිය. එය වළකන දැක්මක් හදමින් තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටද නැත. මා එම වරද දකින්නේ නොදන්නාකම නිසා ඇතිවී තිබෙන වරදක් ලෙස නොව වංකකම නිසා හිතාමතා කරමින් තිබෙන බරපතළ වරදක් ලෙසය.

මෙම වරද නිවැරදි කිරීමට අවශ්‍ය නම් වත්කම් බැරකම් නීතිය අයථා ලෙස වත්කම් උපයන්නන්ට එරෙහිව දැඩි දඬුවම් ලබාදිය හැකි ආකාරයට සංශෝධනය කළ යුතුය. එසේම මහජන නියෝජිතයන් ආණ්ඩුව සමඟ ව්‍යාපාර කිරීම මන්ත්‍රීකම අහිමි කරන වරදක් බවට පත් කළ යුතුය. එම ප්‍රතිසංස්කරණ දෙක ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට අවංක අභිලාෂයක් ඇත්නම් එය සති දෙකකටත් වඩා අඩු කාලයක් තුළ සිදුකළ හැකිය. වත්කම් බැරකම් නීතිය විධිමත් කිරීම සඳහා අවශ්‍ය සංශෝධනයකට අවශ්‍ය වන්නේ නිවැරදි කිරීම් හතර පහක් පමණය. මහජන නියෝජිතයන්ට ආණ්ඩුව සමඟ ව්‍යාපාර කිරීම තහනම් කිරීම සඳහා අලුත් නීති අවශ්‍යවන්නේ නැත. 1978ට පෙර ඒ සඳහා පැවති නීතිය ප්‍රසිද්ධ කොට එම නීතිය ක්‍රියාත්මක තත්ත්වයකට ගෙන ඒමෙන් පමණක් ඒ අරමුණ ඉටුකරගත හැකිය. එම ප්‍රතිසංස්කරණ දෙකට අතිරේකව රටේ රාජ්‍ය නායකයාගේ සිට ප්‍රධාන නිල දරන්නන් විසින් රජයට අලාභයක් සිදුවන ආකාරයට රජයේ දේපළක් අත්පත් කරගැනීම, අන්සතු කිරීම එවැනි වරදක් සිදුවන්නට ඉඩ හැර බලා සිටීම දරන තනතුර අහෝසි කිරීමට හේතුවන වරදක් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතුය. ඒ සඳහා ඉදිරිපත් කරන ලද පැමිණිලි, පරීක්ෂණ හා නඩුකරවලට රාජ්‍ය නායකයාට තිබෙන මුක්තිය බාධාවක් නොවිය යුතුය. ඒ බවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් විය යුතුය.

මුදල් විශුද්ධිකරණයේ දේශපාලනය
මුදල් විශුද්ධිකරණය බරපතළ දඬුවම් ලැබිය හැකි වරදකි. එහෙත් මුදල් විශුද්ධිකරණයේ ලොකුම ලොන්ඩරිය බවට පත්ව ඇත්තේ දේශපාලනයයි. ලංකාවේ හැම දේශපාලන නායකයෙකුටම ඔහු හෝ ඇය බලා ගන්නා ව්‍යාපාරිකයෙකු සිටින්නේය. නායකයාට අවශ්‍ය සියලු දේ බලාගන්නේ එම ව්‍යාපාරිකයාය. රටේ අභ්‍යන්තරයේ කෙරෙන ගමන් බිමන් හා නවාතැන් පහසුකම් සඳහා පමණක් නොව විදේශ ගමන් සඳහා යන සියලු වියදම් දරන්නේ එම ව්‍යාපාරිකයාය. මුදල් නැති නායකයන් සඳහා පමණක් නොව ඉතා ධනවත් නායකයන් සඳහා ද මේ ක්‍රමය ක්‍රියාත්මක වේ. මේ ආකාරයට බලයෙන් පිටස්තරව සිටින කාලයේදී නායකයාව බලාගන්නා ව්‍යාපාරිකයාට බලයට පත්වන නායකයා ගිය වියදම ලොකු පොලියක් සමඟ ආපසු ගෙවන්නේ මහජන මුදලින් නැත්නම් පොදු දේපළක් ඔහුට පවරා දෙන ක්‍රමයකටය.

මා කියන්නට යන පළමු කතාව හොඳට කරුණු දන්නා කෙනෙකුගෙන් අසා දැනගත්තකි.
ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ව්‍යවස්ථාව සංශෝධනය කොට තුන්වැනි වරටත් තරග කිරීමේ අභිලාෂයෙන් සිටියද රටේ පැවති බිහිසුණු තත්ත්වය නිසා අවසානයේදී ඒ අදහස අතහැර එජාප වෙනුවෙන් තරග කිරීමේ බලය අගමැති රණසිංහ ප්‍රේමදාසට දුන්නේය. එහෙත් ඒ වනවිටත් දෙදෙනා අතර ලොකු විරසකයක් තිබුණි. කිසියම් දිනක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන රන්ජන් විජේරත්න සිය නිවසට කැඳවා එහි කාමරයක තිබූ ලොකු සල්ලි අල්මාරියක් ඇර පෙන්වා එහි තිබෙන සියලු මුදල් ජනාධිපති අපේක්ෂකයාට ලබාදෙන ලෙස ඉල්ලා තිබේ. රංජන් විජේරත්න ඒ කාරිය ඉටු කළේය.

මේ කතාව අසන කෙනෙකුට ජේ.ආර්. ජයවර්ධන කොතරම් අවංක කෙනෙකුදැයි සිතන්නට බැරි නැත. ජනාධිපතිවරයාට අවශ්‍ය නම් ඒ මුදල් තමන් ළඟ තබාගත හැකිව තිබුණි. ඔහු එසේ නොකළේය. ජනාධිපති අපේක්ෂකයා වෙත යැව්වේය. එහෙත් මේ සමස්ත කතාව පිටුපස ඊට වෙනස් කතාවක්ද තිබෙන්නේය. ජනාධිපතිවරයා එවැනි විශාල මුදල් ප්‍රමාණයක් තමන් ළඟ තබාගන්නට ඇත්තේ තුන්වැනි වරටත් තරග කිරීමට සිදුවේ නම් ඒ සඳහා දරන්නට සිදුවන වියදම් සලකා විය හැකිය. ඉතා වැදගත් දේ ජනාධිපතිවරයාට එසේ මුදල් ලැබුණේ කෙසේද යන්නය. ඒවා පක්ෂයට ආධාර කරන ව්‍යාපාරිකයන්ගෙන් ලැබුණා විය හැකිය. එහෙත් එතරම් විශාල මුදල් ප්‍රමාණයක් බැංකු ගතකිරීමකින් තොරව තමන් ළඟ තබාගත්තේ ඇයි? එම ක්‍රියාව නීතියට අනුකූලවන්නේ කෙසේද? එම මුදල් තොගය සැලකිය හැක්කේ හොඳ සල්ලි වශයෙන් නොව කළු සල්ලි වශයෙනි.

ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ඝාතනය කෙරුණු අවස්ථාවේදීද ඒ මහතා ජීවත් වූ සුචරිතයේ රුපියල් කෝටි අටක් තරම් වන මුදල් කන්දරාවක් තිබූ බව වාර්තා විය. එතුමාද එම විශාල මුදල් කන්දරාව බැංකු ගත නොකළේය. ඒවාද සැලකිය හැක්කේ කළු සල්ලි ලෙසය.
1994 මැතිවරණයට චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට මුදල් ආධාර ලබාදීම සඳහා පැමිණි පෝලිමක් දැක බලා ගැනීමේ අවස්ථාව මට ලැබුණි. මා ඒ ගැන වෙනත් තැනක ලියා තිබේ. එය රුපියල් මිලියනයක් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් ආධාර දෙන්නන්ගේ පෝලිමකි. ලැබෙන සල්ලි පාර්සල් සඳහා ඒ දෙන අයට කුවිතාන්සියක් ලබා දුන්නේ නැත. පොතක සටහන් කරගැනීමක්ද සිදු නොවීය. ඒවා බැංකු ගතකිරීමක්ද සිදු නොවීය. ජනාධිපති මහින්ද රාජපක්ෂ කාලයේද අරලියගහ මන්දිරයේ එක් කාමරයක ඒ කාමරය පිරෙන්නට මුදල් තිබුණු බව මා සමඟ කීවේ ජනාධිපතිවරයාට හිතවත් දේශපාලකයෙකු විසිනි.

බොහෝ ධනවත් නායකයන් පවා මැතිවරණවලදී තමන් ළඟ තිබෙන මුදල් වැය කරන්නේ නැත. වැය කරන්නේ අනුන්ගේ සල්ලිය. මැතිවරණවලට ලැබෙන මුදල් අඩුවෙන් වැය කොට තමන්ගේ මඩි තරකර ගන්නා දේශපාලකයන්ද සිටිති.
මෙය ලංකාවේ රාජ්‍ය නායකයන්, දේශපාලන නායකයන් හා දේශපාලන පක්ෂ පවත්වාගෙන යන දූෂිත හා නීතියට පටහැනි සම්ප්‍රදායක් ලෙස සැලකිය හැකිය. මේ ආකාරයට අරමුදල් එකතු කරන අයට තමන් කැමති ලෙසකට ඒ අරමුදල් පරිහරණය කළ හැකිය. මුදල් ලැබුණේ කාගෙන්ද, කවර ප්‍රමාණයකටද යන්න කොතැනකවත් සඳහන්වන්නේ නැත. එවැනි අරමුදල් බැංකුගත කිරීමක් සිදු නොවන අතර ඒවා සඳහා බදු අයකිරීමක් සිදුවන්නේද නැත. මහා පරිමාණයෙන් අරමුදල් සපයන්නන් සඳහා ගෙවීම් කරනු ලබන්නේ රටේ පොදු දේපළවලිනි.

මැතිවරණ කොමිසම
ශිෂ්ටසම්පන්න හැම රටකම පාහේ පක්ෂ අරමුදල් පරීක්ෂාවට ලක් කෙරෙන ක්‍රමයක් පවතී. මැතිවරණවලට තරග කරන අපේක්ෂකයන්ට කළහැකි වියදම් පිළිබඳව සීමා නීති පවතී. එවැනි ක්‍රමයක් අපේ රටේද තිබුණි. ඒ ක්‍රමයද 1977න් පසුව අවලංගු කෙරුණු ක්‍රමයක් බවට පත්විය. මැතිවරණවලට තරග කරන අපේක්ෂකයන්ට දැරිය හැකි වියදම සඳහා සීමා නීති පනවා තිබුණි. මැතිවරණවලට තරග කරන අපේක්ෂකයන් ඒ සඳහා ගිය වියදම් පිළිබඳ වාර්තාවක් මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලබාදීමට නීතියෙන් බැඳී සිටියේය. මැතිවරණවලදී නීති උල්ලංඝනය කොට ජය ලබන්නන්ට එරෙහිව මැතිවරණ පෙත්සම් ඉදිරිපත් කිරීමේ හැකියාව තිබුණි. ඒ සියල්ල නැතිභංග කළේය.

ලංකාවේ ඇති කර තිබෙන මැතිවරණ කොමිසමද ඉන්දියානු මැතිවරණ කොමිසම සමඟ ගත්විට හොඳ මැතිවරණ කොමිසමක් ලෙස සැලකිය නොහැකිය. ලංකාවේ මැතිවරණ කොමිසම නිර්මාණය කළ නිර්මාතෘවරුන් ආදර්ශයට ගතහැකි මැතිවරණ කොමිසමක් ඉන්දියාවේ තිබෙන බව දැන නොසිටියේද?

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සහතික කිරීම සඳහා යුක්තිසහගත ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමේ බලය ඉන්දියානු මැතිවරණ කොමිසම සතුය. නීති නැතිවම රීති හදා ගනිමින් ඒවා ක්‍රියාත්මක කිරීමේ බලයද ඉන්දියානු මැතිවරණ කොමිසම සතුය. පක්ෂ අරමුදල් සේ ම අපේක්ෂක අරමුදල් ද පරීක්ෂා කිරීමේ බලය එය සතුය. පක්ෂවල කටයුතු ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයකට සිදුවෙනවාද කියා සොයා බැලීමේ බලයද එය සතුය. නීති විරෝධී ලෙස ක්‍රියාකරන අපේක්ෂකයෙකුට නාමයෝජනා ලබා නොදීමේ බලය සේ ම නාමයෝජනා ලබාදීමෙන් පසුව අපේක්ෂකත්වය අවලංගු කිරීමේ බලය මැතිවරණ කොමිසම සතුය. ඉන්දියානු මැතිවරණ කොමිසමට සාපේක්ෂව බලන විට ලංකාව කන්දක් විළිලා වදා තිබෙන්නේ මී පැටියෙකි. අපේ ව්‍යවස්ථා සම්පාදකයන්ට තිබෙන්නේ එවැනි පටු දැක්මක් නම් ඔවුන් අතින් හොඳ ව්‍යවස්ථාවක් හැදෙනු ඇතැයි විශ්වාස කරන්නේ කෙසේද?

ලංකාවේ තිබෙන ඒකාධිපති ක්‍රමය ජනාධිපතිවරයාට රාජ්‍යයේ සකලවිධ බලය ලබාදෙන අශීලාචාර ක්‍රමයක් වන බවට සැකයක් නැත. එහෙත් ඒ තත්ත්වය අවශ්‍ය නම් ව්‍යවස්ථා සංශෝධනයකින් නැති කළ හැකිය. නැතිනම් අගමැතිවරයෙකු මුල් කරගත් පාර්ලිමේන්තු ක්‍රමයකට නැවත මාරුවිය හැකිය. එහෙත් ලංකාවේ ආණ්ඩුක්‍රමයේ තිබෙන ලොකුම ප්‍රශ්නය වඩා හොඳ ජනාධිපති ආණ්ඩුක්‍රමයක්ද පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක්ද යන්න නොව පාලක පක්ෂයට පොදු වස්තුව කොල්ලකෑමට ලැබී තිබෙන අයිතිය හෝ බලයයි. ඒ තත්ත්වයෙහි ගැඹුරු වෙනසක් ඇති නොකරන ආණ්ඩු ක්‍රමයක් යහපත් ආණ්ඩුක්‍රමයක් විය නොහැකිය.■