රාවය

අයාලේ ගිය දෙවසරක්

අයාලේ ගිය දෙවසරක්

අයාලේ ගිය දෙවසරක්

ආණ්ඩුව පත් වී දෙවසරක් හෙවත් ධුර කාලයෙන් බාගයකට ආසන්න කාලයක් ගෙවෙන විටත්, මහජනතාව තමන්ගෙන් බලාපොරොත්තු වූ දේවලින් භාගයක් වත් ඉටු කරන්නට ආණ්ඩුවට හැකි වී නැත. යම් යම් වෙනස්කම් කරන්නට හැකිවී ඇතිවා ඇත්ත ය. එනමුත්, සමස්තයක් හැටියට ආණ්ඩුව පසුගිය දෙවසරක කාලය තුළ, නිසි මඟ පෙනි පෙනී මුත් ගියේ අයාලේ ම ය. ඒ නිසා, ආණ්ඩුව පත් කරන්නට දායක වූ සෑම සියලු දෙනාගෙන් ම දැන් ප්‍රකාශ වන්නේ කනස්සල්ලකි. විරෝධයකි. පිළිකුළකි. එහෙත්, ඒ විරෝධය, පැවැති ප්‍රජාතන්ත්‍ර විරෝධී, හිතුවක්කාර පවුල් පාලනය යළි බලයට ගෙන ඒම දක්වා දිගු නොවන බව හොඳින් ම දන්නා ආණ්ඩුව, තමන්ට රිස්සක් කර ගෙන ඉදිරි කාලයත් මේ විදියට ම අයාලේ ගත කරන්නට සූදානම් වුවහොත්, රට යනු ඇත්තේ අගාධයට බව අමුතුවෙන් කිව යුතු නැත.

ජනාධිපතිවරයාගේත්, අගමැතිවරයාගේත්, ආණ්ඩුවේත් ප්‍රධානතම අවුල ඇත්තේ, තමන් ජනතාවට පොරොන්දු වුණු න්‍යාය පත්‍රය ඉටු කිරීමට අවශ්‍ය දේශපාලන අධිෂ්ඨානයක් නැතිකමේ ය. පැවැති ආණ්ඩුව මෙන් දැඩි අධිකාරිවාදී, බලවත් හා පසුගාමී රෙජිමයක් විසින් රටේ හැම ක්‍ෂෙත්‍රයක ම ඇති කරන ලද වැඩවසම්වාදී ව්‍යුහයන් කඩා බිඳ දැමීම සඳහා කවරකුට වුවත් ඉතා ඉහළ දේශපාලන අධිෂ්ඨානයක්, කැපවීමක් අවශ්‍ය ය. අදටත් රාජ්‍ය ව්‍යුහය තුළ මෙන්ම සමාජ දේහය තුළ ද මුල් ඇදී පවත්නේ ඒ පාලනයේ නෂ්ටාවශේෂ හෙයිනි. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන විට භික්‍ෂූන් වහන්සේලා විරුද්ධ වන තරමට මුල් ඇදී ඇත්තේ ද ඒ නෂ්ටාවශේෂ යි. අවාසනාවකට මෙන්, මේ අභියෝගය ජය ගැනීමට අවශ්‍ය තරමේ ඉහළ දේශපාලන අධිෂ්ඨානයක්, දැක්මක් නායකයන් දෙදෙනා ම පෙන්වන්නේ නැත.

ඉතිහාසයේ පළමු වරට, ප්‍රධාන පක්‍ෂ දෙක එකතු වීමෙන් තනන ලද ආණ්ඩුවක් වුණත්, ඒ එකතුව නිසා ම ජයගත හැකි අභියෝග විශාල ප්‍රමාණයක් ඇතිවා වුණත්, ඒ කිසිවකට අධිෂ්ඨානශීලී ව සහ සමගියෙන් යුක්ත ව මුහුණ දෙන ස්වභාවයක් ආණ්ඩුවේ පාර්ශ්ව දෙකට ම නැත. දෙපාර්ශ්වය අතර ඇති වන ලාභ ගණයේ කඹ ඇදීම් නිසා, මහජනතාවට ලැබිය යුතු ප්‍රතිලාභ විශාල ප්‍රමාණයක් දැනටමත් නොලැබී, ගිලිහී ගොස් ඇත්තේ ය. එසේ සිදු වී තිබෙන්නේ, තමන්ගේ පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍රයන් ඉක්මවා ගොස්, රටේ පොදු දේශපාලන ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය ඉටු කිරීමට තරම් වන විසල් කැපවීමක් පෙන්නුම් කිරීමට රටේ ප්‍රධාන නායකයන් දෙදෙනා ම අසමත් වීම නිසා ය.

එහෙත්, රටේ වෙනසක් අපේක්‍ෂා කරන මහජනතාව ඉන්නේ මේ නායකයන්ට වඩා ඉදිරියෙනි. මේ නායකයන් අවශ්‍ය ප්‍රතිසංස්කරණ කරා ඇදගෙන යන්නට ය ඔවුන්ට සිදු වී තිබෙන්නේ. මහජනතාව පසුගිය කාලය පුරා නැගූ හඬ නිසා, අද ආණ්ඩුව ඇතුළෙන් ම පොරොන්දු ඉටු නොකිරීම ගැන විරෝධයක් පැන නැගී තිබේ. ඒ පොරොන්දු ඉටු නොකර තව දුරටත් දේශපාලන ගමනක් නැති බව ආණ්ඩුවේ අයට ම තේරුම් ගොස් තිබේ.
ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් ද ඉතිරි ව තිබෙන හෙයින්, දැන් දැන් ම මේ සංඥා තේරුම් ගෙන ආණ්ඩුව ඒවාට නිවැරදි ව ප්‍රතිචාර දැක්වීම අවශ්‍ය ය.■