රාවය

මම නිර්මාණ කරන්නේ ආගම්, සංස්කෘතික සීමා නැති මිනිස්සු වෙනුවෙන් | ප්‍රසාද් අලු‍ත්වත්ත

මම නිර්මාණ කරන්නේ ආගම්, සංස්කෘතික සීමා නැති මිනිස්සු වෙනුවෙන් | ප්‍රසාද් අලු‍ත්වත්ත

තරිඳු උඩුවර‍ගෙදර

ප්‍රසාද් අලු‍ත්වත්ත මෑත කාලයේ සමාජ මාධ්‍ය හරහා ජනප්‍රිය වූ විවිධ නිර්මාණ රැසක හිමිකරුවාය. සම්මත කලාගාරයක් වෙනුවට සමාජ මාධ්‍ය වේදිකාවක් කරගනිමින් සමාජය සමඟ සංවාදගත වීමට ඔහුට හැකිවිය. ඔහු කළ ඩිජිටල් කොලාජ්, ඩිජිටල් චිත්‍ර ආදි විවිධ නිර්මාණ සමාජ මාධ්‍ය පරිහරණය කරන්නන් දසදහස් ගණනක් අතර හුවමාරු විය. ඊට අමතරව ඔහුගේ කලාත්මක ඡායාරූපද සමාජ මාධ්‍ය තුළ අවධානය දිනාගෙන තිබුණි. ඔහු සංගීත කණ්ඩායමක නිර්මාණාත්මක කළමනාකරුවෙකු ලෙස රැකියාවෙහි යෙදෙයි.‍ ප්‍රසාද් කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවේය. උසස් පෙළ සමයේ විෂයයක් ලෙස චිත්‍ර හැදෑරුවත් ඔහු චිත්‍ර ශිල්පය විශේෂයෙන් හදාරා නැත. වැඩිපුර හදාරා තිබුණේ සිනමාවයි. ඔහුගේ බලාපොරොත්තුව වී තිබුණේත් සිනමාවෙන් ඉදිරියට යෑමටයි.
මේ ඔහු සමඟ අප කළ කෙටි සංවාදයකි.

ඔබ සිනමාව වෙනුවට ඡායාරූප, ඩිජිටල් චිත්‍ර සහ කොලාජ්වලට යොමුවුණේ කොහොමද?
මම බලාපොරොත්තු වුණේ සිනමාවෙන් ඉදිරියට යන්න. පිටපත් ලිව්වා. ඒ අතරින් එකක් කරන්න ලෑස්ති වුණා. නිෂ්පාදකවරයා එක්ක ප්‍රශ්නයක් වෙලා වැඩ පටන්ගත්ත ෆිල්ම් එක නැවැත්වුවා. ලංකාවේදී සිනමාවේ ඉදිරියට යන එක ලේසි නෑ. එහෙනම් කොළඹ නැවතිලා සිනමාවට අයිති වෙනම සංස්කෘතියක් ඇතුළේ ඉඳලා පුදුමාකාර කට්ටක් කාලා ඉස්සරහට යන්න ඕනෑ. එහෙම නැත්නම් රට ගිහින් ශිෂ්‍යත්වයක් හෝ පාඨමාලාවක් හදාරලා එන්න ඕනෑ. ඒ දෙකම මට කරගන්න බැරිවුණ හින්දා අන්තිමේ වෙන ක්ෂේත්‍රයක රැකියාව කරන්න පටන්ගත්තා. ඒ අතරේ මම ආදායම් මාර්ගයක් නොවන, මගේ හැඟීම් පිටකරන මාධ්‍යයක් විදියට විවිධ දෘශ්‍ය කලා මාදිලි ඇතුළේ වැඩ කරලා බැලු‍වා.

ඔබේ නිර්මාණ අතරින් වැඩිපුරම ජනප්‍රිය වුණේ ඩිජිටල් කොලාජ් නිර්මාණ. ඩිජිටල් කොලාජ් එකක් කියන්නේ මොකක්ද?
ග්‍රැෆික් හරහා නිර්මාණය කළ පොඩි හැඩතල එකට තියලා තමයි නිර්මාණය කරන්නේ. කොළ කෑලි අලවලා චිත්‍රයක් නිර්මාණය කරනවා වගේ දෙයක්.

යම් නිර්මාණයක් කරන්න තරම් කම්පනයක් ඇතිවෙන්නේ මොන වගේ වෙලාවටද?
මම කම්පනය වෙන්නේ කොහොමද කියලා මම හොයලා බලලා නෑ. ඒත් මගේ නිර්මාණ දිහා බැලු‍වොත් ගොඩක් වෙලාවට දේශපාලනික, සමාජීය, සංස්කෘතික සහ ආගමික සිදුවීම්වල මිශ්‍රණයන් විදියට පහුගිය කාලයේ සිදුවුණ සිදුවීම්වලදී තමයි මම මගේ නිර්මාණ කරන්න හිතුවේ. ඇත්තටම ගත්තොත් හැම දෙයක්ම ඔය සිදුවීම්වල ප්‍රතිඵලයක් තමයි. මට තනියම ලෝකය තේරුම් ගන්න කාලේ හිතපු දෙයක් තමයි, මේ ලෝකේ තියෙන හොඳම දේවල් මොනවාද කියලා හොයලා, ඒක මොන සංස්කෘතියෙන්ද ආවේ කියලා සීමාවක් දාගන්නේ නැතිව, ඒ සියල්ල එකතුකරගත්ත අලු‍ත් තර්කණයක් ගොඩනඟා ගැනීම තමයි මේ යුගයේ අපට පැරණි දැනුමෙන් ගන්න පුළුවන් හොඳම වැඬේ කියලා. මම හිතන්නේ එතකොට විශ්වීය මිනිහෙක් බිහිවෙයි. මං අවසාන කාලයේ කළ ඒවා සෑහෙන වේදනාවක ප්‍රතිඵලයක්. සමහර දේවල් ගැන කල්පනා කරලාම නින්ද නැතිවෙද්දී තමයි මම නිර්මාණය කරන්නේ. එවන් සිදුවීම් මම දන්නා දැනුම ඇතුළේ බලනවා. මම එක් පැත්තකින් ස්වයං විවේචනාත්මකව මගේ දිහාත් බලනවා. එතකොට මම යම් විශ්වීය තැනක් දකිනවා. එතකොට අර ආගම්, සංස්කෘතික සීමා නැති මිනිසා වෙනුවෙන් නිර්මාණය කරන්න පුළුවන් වෙනවා. ඒක ඕනෑම කෙනෙක්ට විඳින්න පුළුවන් නිර්මාණයක් බවට පත්වෙනවා.

මුස්ලිම් පුද්ගලයන් පිරිසක් ගස් කපන අයුරු චිත්‍රණය කළ කොලාජ් එකක් ඔබ කර තිබුණා. ඒ දිහා පීඩිත මුස්ලිම් මිනිසුන්ගේ දෘෂ්ටියෙන් ගත්තොත් ඔවුන් කියාවි, මේක අපව පීඩාවට පත් කරන්න කළ නිර්මාණයක්, ගස් කපන්නේ මුස්ලිම් අය වගේ අර්ථයක් මේකෙන් එනවා කියලා. ඒ ගැන අදහස මොකක්ද?
මම දැන් ඒ නිර්මාණය ගැන පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ නෑ. ලෝකේ ඕනෑම දෙයක් සාධාරණීකරණය කරන්න ඕනෑ තරම් දේවල් කියන්න පුළුවන්. හැබැයි මම ඒ නිර්මාණය කරලා අවසන්. ඒක විවිධ අය විවිධ අරමුණු වෙනුවෙන් පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. කොහොම වුණත්, පොදුවේ ගත්තාම කවුරුහරි කෙනෙක් මොකක් හෝ ආගමක් හෝ සංස්කෘතියක් වෙනුවෙන් පෙනී ඉන්නවා නම්, කෙනෙක් ජාතියක් නියෝජනය කරන තාක් කල් ඒ ජාතියට අයත් තව පිරිසක් කරන දේවල් ගැන වගකියන්න වෙනවා. ඒකේ අදහස ජීවිතයෙන් වන්දි ගෙවන්න වගේ දෙයක් නෙවෙයි. මම කියන්නේ සංකේතාත්මකව අර ජාතියේ නාමයෙන් වෙන හැමදේටම ජාතිය කර තියාගෙන යන කෙනෙක් වගකියනවා. වෙනස් උදාහරණයක් ගත්තොත් යම් භික්ෂුවක් විනාශකාරී දේවල් කරන මොහොතක සිංහල බෞද්ධයැයි සමාජයේ පෙනී ඉන්න ඕනෑම කෙනෙක් සංකේතාත්මකව අර සිංහල බෞද්ධ නාමයෙන් කරන දේවල් ගැන වගකියන්න වෙනවා. අර ක්‍රියාවට විරුද්ධව හැමෝම පෙනී ඉන්න වෙනවා.

ඔබ කළ උඩරට නැට්ටුවෙක් දමිළ නැට්ටුක්කාරියක සිපගන්නා ආකාරයේ නිර්මාණය සෑහෙන ජනප්‍රියත්වයට පත්වුණා. මේ නිර්මාණය බොහෝ තැන්වල ප්‍රශ්න කිරීමට ලක්වුණ තැනක් තමයි නැට්ටුවා පිරිමියෙක් වීම. දෙමළ තරුණියන්ට පෙම් බඳින සිංහල තරුණයන් කියන්නේ සිංහලයන් අතර ෆැන්ටසියක් වෙන්න පුළුවන්. කාන්තාව කියන්නේ පීඩිතබවේ සංකේතයක්. මේක ඇතුළේත් ජාතිවාදය නැද්ද?
ඕක ටිකක් සංකීර්ණ කතාවක්. අපි නිර්මාණයක් කරද්දී ජාතිවාදය, ආගම්වාදය, ස්ත්‍රීවාදය, පුරුෂවාදය, කුලවාදය වගේ හැම එකක් ගැනම එකපාර හිතලා ඒ සියලු වාදයන් සමබර කරලා නිර්මාණය අවසන් කරන්න බැහැ. කොහොමවුණත් මම කලින් කිව්වා වගේ මේ නිර්මාණය ගැනත් ඕනෑම දෙයක් කියන්න අයිතිය තියෙනවා ඕනෑම කෙනෙකුට. එතැනදී මම මගේ අත්දැකීම් එක්කයි නිර්මාණ කරන්නේ. මම ඉපදුණ කාලයේ ඉඳන් මට සංස්කෘතිකමය දැනුමක් එකතුවෙලා තියෙනවා. ඒ දැනුමත් එක්ක මම ආ තැන ඒක. මම පිරිමි කෙනෙක්. ඉතින් මට දැනුණ අවංක දේ මම පාවිච්චි කළා.

ඔබ රණවිරු සංකල්පය ප්‍රශ්න කරන විදියේ නිර්මාණ කරද්දී බොහෝ දෙනෙකු ඔබට පහරදුන්නේ දේශද්‍රෝහියෙක් කියමින්…
ඒක අපේ අය හිතන විදියේ වැරැද්ද. මම කැමා හෙවත් හමුදා නිල ඇඳුම පාවිච්චි කරන්නේ සිංහල රණවිරුවාය කියන හමුදා සෙබලාව නියෝජනය කරන්න විතරක් නෙවෙයි. සමස්තයක් විදියට යුද විරුවා කියන එක නිරූපණය කරන්න. අපේ හමුදා නිල ඇඳුම අපට හුරුපුරුදු රූපය. ඒක සංකේතයක්. නූතන සහ පැරණි ඉතිහාසය පුරාම විවිධ සංස්කෘති ඇතුළේ මේ යුද විරුවා කියන සංකල්පය පාලකයන් විසින් සාමාන්‍ය මිනිස්සුන්ව නොමඟ යවන්නට පාවිච්චි කළා. මිනිසුන්ගේ ප්‍රශ්නයක් තමයි, සමහර වැරදි දේවල් ජාතිය වෙනුවෙන් කරන නිසා නිවැරදියි කියලා පිළිගන්න කියලා දේශපාලනය විසින් බල කරන එක, ඒ බලකිරීම ඇතුළේ ඒක පිළිගන්න එක. සමහර වැරදි දේවල් ජාතිය නිසා අපි නිවැරදියි කියලා හිතනවා. ඒත් අපි දන්නවා ඒක වැරදියි කියලා. යුද්ධයකදී අපි ඒක හොඳටම අත්දකිනවා.

ලංකාවේ නොවෙයි, ඇමරිකාව වගේ රටවල පවා යුද විරුවා උත්කර්ෂයට නඟනවා. ලෝක පූජිත කලාකරුවන් පවා යුද්ධය උත්කර්ෂයට නඟන නිර්මාණ කරනවා නේද?
පාලකයන්ට සමහර දේවල් උත්කර්ෂයට නඟන්න ඕනෑ ඇති. ඒකේ යහපත් පැත්තක් තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි මම කලාකරුවා මිසක් පාලකයා නෙවෙයිනේ. මම පාලකයාගේ පැත්තෙන් හිතලා පාලකයාගේ පහසුව තකා නිර්මාණ කරන්න ඕනෑ නෑ. බලය බලාපොරොත්තුවෙන් ඉන්න විපක්ෂය වෙනුවෙන් නිර්මාණය කරන්න ඕනෑත් නෑ. ලෝකයේ දැවැන්ත කලාකරුවන් පවා ලෝකය මොන තරම් සියුම්ව කියවාගත්තත් දුර්වල වෙන තැන තමයි ඕක. එයාලා දේශපාලකයා වෙනුවෙන් හිතන්න ගන්නවා. දේශපාලකයාගේ දෘෂ්ටි කෝණයෙන් හිතන්න ගන්නවා. එහෙමත් නැත්නම් දේශපාලකයා මැවූ මිථ්‍යාවට රැවටිලා නිර්මාණ කරනවා. ඒක විනිවිද දකින්නේ නෑ. කලාකරුවාට තියෙන්න ඕනෑ කලාකරුවාගේ ප්‍රතිපත්තිය.


ඔබේ නිර්මාණ බොහෝ දෙනෙකු රිදීමකට ලක් කරන බව ලැබෙන ඇතැම් ප්‍රතිචාරවලින් පේනවා. ඇතැම් විට බොහෝ දරුණු වාග් ප්‍රහාරවලට ඔබට ලක්වෙන්න සිදුවෙනවා නේද?
ඔවුන් දන්නේ නැහැ මම නිර්මාණය කරන්නේ මොන තරම් වේදනාවකින්ද කියලා, මොන තරම් රිදුණාට පස්සේද කියලා. ලංකාවේ බොහෝදෙනෙක් තමන්ට එරෙහි අදහසක් දරාගන්න පුළුවන් තත්ත්වෙක නෑ. මගේ ගොඩක් මිතුරන් පවා දැන් මාත් එක්ක තරහවෙලා. ඒ ඇතැම් අය ලංකාවේදී විවිධ ක්ෂේත්‍රවල අධ්‍යාපනයෙන් ඉහළටම ගිය අය. ඒත් එයාලාට ලෝකය දිහා විවෘතව බලන්න හුරුකරලා නෑ. ඒක තමයි ලංකාවේ තියෙන සිස්ටම් එක. ඉංජිනේරු, වෛද්‍ය, ව්‍යාපාරික වගේ විවිධ ක්ෂේත්‍රවලින් ඉහළට ගියත් ලෝකය විවෘතව දකින්නේ නෑ. දැන් ලෝකයෙ සාර්ථක මිනිස් ජීවිතයක් කියන්නේ මොකක් හරි විෂයයක් ගැන ඉගෙනගෙන ලොකු රැකියාවක් කරලා ලබන භෞතික සාර්ථකත්වයක් මිසක් ලෝකය දිහා විවෘතව දැකලා සැහැල්ලු‍වෙන් ගත කරන ජීවිතයකට නෙවෙයි. ඉතින් මම නිර්මාණ කරන්නේ ඒ වගේ පුළුල් සමාජයකට. මම මගේ නිර්මාණයකට උපරිම දුරක් ගමන් කරන්න අරිනවා. නිදහසේ සහ නොමිලයේ. මගේ පණිවුඩය උපරිම දුරක් යන්නේ එතකොටයි.
ඔබ නිර්මාණ කරන්නේ පුළුල් ෆෙස්බුක් අවකාශයට. ඔබේ නිර්මාණවල කර්තෘ අයිතිය ගැන සැලකිලිමත් වෙන්නෙ නෑ. අලෙවි කරන්න බලාපොරොත්තුවක් නෑ. ඔබ දැන හෝ නොදැන ඕනෑම කෙනෙකුට නොමිලේම නිර්මාණය ඕනෑම දේකට පාවිච්චි කරන්න පුළුවන්. අප දන්නා දෘශ්‍ය කලාකරුවාගේ භාවිතය මේක නෙවෙයි.

මේ විදියට පුළුල් අවකාශයට නිර්මාණ අත්හැරීම ගැන ඔබේ අදහස මොකක්ද?
මම කවදාවත් ප්‍රදර්ශනයක් කරලා නෑ. ගොඩක් අය මගෙන් අහනවා ඇයි නොකරන්නේ, ඒක අපරාදේ කියලා. ලංකාවේ කලාකරුවන් සෑහෙන ලෝබයි කියලා මට හිතෙනවා. ඒවා හොරකම් කරයි කියලා භීතිකාවකින් ඉන්නේ. හොඳ සංකල්පයක් කියන්නේ අහම්බයක් වගේ. සමහර ඡායාරූප ශිල්පීන් ඉන්නවා ෆොටෝස් අරගෙන, තරගයකට ඉදිරිපත් කරලා සහතිකයක් අරන් ඒ සහතිකේ ගන්න එකයි, සහතිකෙයි ෆොටෝ අරන් ෆෙස්බුක් දානවා. ගෙදර බිත්තියේ එල්ලනවා. ඒ මනුස්සයා ගත්ත ෆොටෝ එකක් පෙනෙන්න නෑ. ඔහු කම්පනය වුණ තැන සමාජය එක්ක බෙදාගන්නේ නෑ. කලාකරුවන් තමන්ගේ නිර්මාණ පුළුල් සමාජය වෙනුවට කලාගාරයකට සීමා කරනවා. ඉන් පස්සේ සම්මාන ලබනවා. ඒ අතරේ මාර ජනහිතකාමී කලාකරුවෙක් විදියට පෙනී හිටින්න උත්සාහ කරනවා. මට ඒ ගැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඒක එයාලාගේ කැමැත්ත. මම කරන්නේ මාර වැඩක් කියලා කියන්න මම උත්සාහ කරන්නේ නෑ. මම වෙන රැකියාවක් කරනවා. ඒ නිසා මගේ කලා නිර්මාණවලින් මුදල් උපයන්න මම උත්සාහ කරන්නේ නෑ.

ඔබේ නිර්මාණ තරගවලට ඉදිරිපත් කරලාවත් නැද්ද?
මම විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ ගත්ත ඡායාරූප තරග දෙකකට තුනකට දැම්මා. ඒවාට සහතික එහෙමත් ලැබුණා. හැබැයි මම ඒ තරම් ඒකට කැමතිවුණේ නෑ. ඒක ඇබ්බැහියක් වෙනවා. එතකොට මම ලෝකය දකින්න ගන්නවා ඡායාරූප විදියට. ඡායාරූපයත් එක්ක සම්මාන, සහතික පෙනෙන්න ගන්නවා. හැම දෙයක්ම සම්මානයක් විදියට පෙනෙනවා. ඒක ටිකක් අවුල් වගේ මට දැනුණා. ඒ කාලේ මම තීරණය කළා ආයේ කවදාවත් තරගවලට දාන්නේ නෑ කියලා. ඉතින් ඒ කාලේ ඉඳන්ම මම හැම නිර්මාණයක්ම ප්‍රදර්ශනය කරන්න ෆෙස්බුක් එකට දැම්මා. ඒක මම වැඩ කළ විදිය. හැමෝම එහෙම වෙන්න ඕනෑ නෑ.■