රාවය

නීතිපති හා හොරු ඇල්ලීමේ ප්‍රමාදය

නීතිපති හා හොරු ඇල්ලීමේ ප්‍රමාදය

නීතිපති දෙපාර්තමේන්තුව මේ දිනවල මහජන අවධානයේ ඉස්මත්තට පැමිණ තිබේ. ඒ විවිධාකාර විවේචනවලට හා අවලාදවලට ඉලක්කයක් වෙමිනි. නීතිපති දෙපාර්තමේන්තුව යනු තවත් රජයේ දෙපාර්තමේන්තුවක් මිස උසාවියක් නොවේ. විධායකයේම කොටසකි. එය පිහිටුවා තිබෙන්නේ රජයට අවශ්‍ය විටෙක දී නීති උපදෙස් සැපයීමටය. රජය හෝ රජයේ නිලධාරීන් නඩුවල පාර්ශ්වකරුවන් වන විට නීතිපති දෙපාර්තමේන්තුව රජය වෙනුවෙන් පෙනීසිටියි.

රජයේ දෙපාර්තමේන්තුවක් වුණත්, නීතිපති දෙපාර්තමේන්තුවට යම් ස්වාධීනත්වයක්, නිදහසක් අවශ්‍යය. ඔවුන්ගේ වැඩ කොටස රටේ යුක්තිය ඉටුකිරීමේ ක්‍රියාවලියේ වැදගත් පාර්ශ්වයක් නියෝජනය කරන බැවිනි. කෙසේ වෙතත්, විධායකයේ කොටසක් හැටියට නීතිපති දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් එල්ල වන චෝදනා, විවේචන අලුත් ඒවා නොවේ. වරින් වර සිටි නීතිපතිවරුන්ගේ සිට, මුළු දෙපාර්තමේන්තුවම විවේචනයට බඳුන්වන්නේ අද ඊයේක සිටද නොවේ. සරත් එන් සිල්වා වැනි අපකීර්තිමත් නීතිපතිවරයකු සිටි කාලයේ සාපරාධි අපහාස නීතිය සිය දේශපාලන වුවමනාවන් වෙනුවෙන් යොදාගත් අන්දමත්, අපකීර්තිමත් මොහාන් පීරිස් නීතිපතිවරයා ව සිටි කාලයේ, ආණ්ඩුවේ වුවමනාවට චන්දන කත්‍රිආරච්චි, අබ්දුල් කාදර් වැනි පුද්ගලයන්ට එරෙහිව තිබුණු මිනීමැරුම් හා වංචා නඩු අතරමගදී ඉල්ලා අස්කර ගත් අන්දමත් රටට අමතක නැත. ඒ කාලයේ නීතිපති දෙපාර්තමේන්තුවට එරෙහි විවේචන පැනනැංගේ මහජනතාවගේ පාර්ශ්වයෙනි.

මේ දිනවල නිතිපති දෙපාර්තමේන්තුව විවේචනයට ලක්වන්නේ ආණ්ඩුව පාර්ශ්වයෙනි. ආණ්ඩුවේ මැති ඇමතිවරුන් බොහෝදෙනෙකු නීතිපති දෙපාර්තමේන්තුව කටගැස්මට ගෙන තිබෙන බව පෙනේ. එහෙත්, ඔවුන්ගේ සමහර විවේචන කිසිම පදනමක් නැති, ඇත්ත ඇති සැටියෙන් නොදැන කියන කරන ඒවාය. එවැනි චෝදනා ඉදිරිපත් කිරීමෙන් අසාධාරණයට ලක්වන්නෝ නීතිපති දෙපාර්තමේන්තුවේ අවංකව හා සාධාරණව රාජකාරිය කරන රජයේ නීතිඥවරුය.
මහ බැංකු බැඳුම්කර වංචාව ගැන සොයාබලන්නට ජනාධිපතිවරයා විසින් පරීක්‍ෂණ කොමිෂන් සභා පනත යටතේ පත්කරන ලද කොමිසම ඉදිරියේ හෙළිදරව්වුණු කාරණා අනුව රවි කරුණානායක ඇමතිවරයාට ඇමතිධුරයෙන් ඉවත්වන්නට සිදුවී තිබීම නීතිපති දෙපාර්තමේන්තුව ගැන ආණ්ඩුවේ හොඳ හිත බිඳීමට හේතුවී තිබේ. එහෙත්, කරුණානායක ඇමතිවරයා ඇමතිකමෙන් ඉවත්විය යුතුයැයි හඬ නැගුණේද ආණ්ඩුව ඇතුළතිනි. බොහොම කාලයක් තිස්සේ කරුණානායක ඇමතිවරයා ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් අතරම විවේචනයට හා අවලාදයට පාත්‍ර වී සිටියේය. මුදල් ඇමතිකමේ බලතල පාවිච්චි කරමින් ඔහු කළ විවිධාකාර දේ ගැන මාධ්‍ය මගින් හෙළිදරව්වී තිබුණා පමණක් නොව ආණ්ඩු පක්‍ෂයේ මැති ඇමතිවරුද ඒ වැඩ ගැන හොඳින් දැනසිටියෝය. කොහොම නමුත්, අවසානයේ කරුණානායක ඇමතිවරයා ධුරයෙන් ඉවත්වීම නිසා කිසියම් මදිපුංචිකමක හැඟීමක් ආණ්ඩු පක්‍ෂය තුළ ඇතිවී තිබෙන බව පෙනේ.

එහි පළමු වින්දිතයා බවට පත්ව තිබෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුවයි. විශේෂයෙන්ම එය නියෝජනය කරමින්, මහ බැංකු බැඳුම්කර පිළිබඳ කොමිෂන් සභාවේ වැඩකටයුතුවලට සහාය දෙන නීතිඥ මණ්ඩලයයි. විශේෂයෙන් රාජපක්‍ෂ සමයේ වංචා දූෂණ සොයන්නට නොදක්වන උනන්දුවකින් ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ වැඩ කටයුතුවලට නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරුන් සහභාගිවුණු බවට එක් චෝදනාවකි. ඒ මුළු කතාවේ අර්ධ සත්‍යයක් ඇති නමුත්, සම්පූර්ණ සත්‍යය එය නොවේ.

පසුගිය සිදුවිම් පරීක්‍ෂාකර බැලීමෙන් ඒ ගැන අදහසක් ගත හැකිය. මහ බැංකු බැඳුම්කර වංචාව ගැන මුලින්ම විධිමත් පරීක්‍ෂණයක් පවත්වන්නේ පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවය. කමිටුව සිය අවසන් වාර්තාව 2016 ඔක්තෝබර් 28 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඒ අවස්ථාවේදී ප්‍රකාශයක් කළ අගමැතිවරයා එම කමිටු වාර්තාව නීතිපතිවරයා වෙත යවා අනුගමනය කළ යුතු ඉදිරි නෛතික ක්‍රියාමාර්ග ගැන උපදෙස් ලබාගන්නා බව කීවේය. ඒ අනුව කෝප් කමිටු වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවට යවන ලදි.
මහ බැංකු බැඳුම්කර වංචාව යනු, බැලූ බැල්මට වංචාවක් බව සාධාරණ මනසක් ඇතියකුට පෙනෙන නමුත්, දේශපාලන අවලාදවලට එහා යන ඉතාමත් සංකීර්ණ ගනුදෙනු ක්‍රියාවලියකි. එහිදී සිදුවී ඇති වරදත්, වරදේ පරිමාණයත්, සංකීර්ණභාවයත් නිසා එය අධ්‍යයනය කිරීම වූකලි බැරෑරුම් කාර්යයකි. මේ නිසා, අගමැතිවරයාගේ ඇණැවුම අනුව නීතිපති දෙපාර්තමේන්තුව, කෝප් කමිටු වාර්තාව අධ්‍යයනය කර ගතයුතු පියවර නිර්දේශ කිරීම සඳහා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරුන් 8 දෙනකුගේ කණ්ඩායමක් පත්කළේය. සිවිල් නීති ක්‍ෂෙත්‍රය ගැන විශේෂඥයන් සිව්දෙනකු හා අපරාධ නීති ක්‍ෂෙත්‍රය ගැන විශේෂඥයන් සිව්දෙනකු වශයෙනි.

නීතිපති දෙපාර්තමේන්තුවේ මේ විමර්ශනය සිදුවෙද්දී, 2017 පෙබරවාරි මාසයේදී මහ බැංකු බැඳුම්කර වංචාව ගැන සොයාබලන්නට ජනාධිපතිවරයා විසින් පරීක්‍ෂණ කොමිෂන් සභාව පත්කරන ලදි. 2017 පෙබරවාරි 21 වැනිදා සාක්‍ෂි විමසීම ආරම්භ කිරීමේ සූදානමෙන්, තම සහායට නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරුන් කණ්ඩායමක් ලබා දෙන ලෙස එම කොමිෂන් සභාව ඉල්ලීමක් කළේය. මේ වන විටත් කෝප් වාර්තාව අධ්‍යයනය කරමින් සිටි නීතිඥවරුන් අට දෙනාගේ කණ්ඩායම ඒ ආකාරයෙන්ම කොමිසමේ වැඩකටයුතුවලට අනුයුක්ත කරන්නට දෙපාර්තමේන්තුව පියවර ගත්තේය.

නීතිපති දෙපාර්තමේන්තුව මුලින් සිතුවේ, කොමිසම විරාම සහිතව වරින්වර සාක්‍ෂි විමසනු ඇතැ’යි කියාය. එසේ සිතන්නට බලපෑ ප්‍රධාන හේතුව වුණේ කොමිසමේ කොමසාරිස්වරුන් දෙදෙනකුම, කේටී චිත්‍රසිරි හා ප්‍රසන්න ජයවර්ධන යන දෙදෙනාම දැනටත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හැටියට කටයුතු කිරීමයි. සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවකදී සිදුවන්නේ, විනිසුරුවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයේ දිනපතා නඩු ඇසීමෙන් පසුව එනම් අපරබාගයේ, නැතිනම් සතියකට වෙන්කරගත් දිනක් හෝ දින දෙකක් කොමිසමේ විමසීම කිරීමය. එහෙත්, මේ කොමිසම දිනපතා විමසීම කරන්නට පියවර ගත් අතර, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙපළට අගවිනිසුරුගෙන් හා ජනාධිපතිවරයාගෙන් ඒ සඳහා කළ ඉල්ලීමට අවසරද ලැබුණි. මේ තත්ත්වය යටතේ, නීතිපති දෙපාර්තමේන්තුවෙන් අනුයුක්ත කරන ලද නීතිඥවරුන් අට දෙනාටම සතියේ සෑම දිනකම කොමිසමට සහාය වන්නට සිදුවිය. කාර්යය බැරෑරුම් වීම නිසාම, ඔවුන් අධීක්‍ෂණය කරන්නට නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරුන් වන යසන්ත කෝදාගොඩ මහතාත්, දප්පුල ද ලිවේරා මහතාත් යොදවන ලදහ.

සාමාන්‍යයෙන් ජනාධිපති කොමිසමක් පත්කරන්නේ කිසියම් කාරණයක් ගැන කරුණු සොයාබලා ජනාධිපතිවරයාට වාර්තා කරන්නටය. ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභා වර්ග දෙකකි. එකක් විශේෂ ජනාධිපති කොමිෂන් සභා වන අතර අනෙක් ඒවා සාමාන්‍ය කොමිෂන් සභා වෙයි. විශේෂ ජනාධිපති කොමිෂන් සභාවකින් විමසන ලද සාක්‍ෂි මත ආ නිගමනය අනුව, අදාළ චූදිතයාගේ ප්‍රජා අයිතිවාසිකම් අහෝසි කරන ලෙස පාර්ලිමේන්තුවට නිර්දේශ කිරීමට එම කොමිෂන් සභාවකට පිළිවන. එහෙත් ප්‍රජා අයිතිය අහෝසි කළ හැක්කේ පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් පැවැත්වීමෙන් හා අහෝසි කිරිමේ යෝජනාවට තුනෙන් දෙකක ඡන්දයක් ලැබීමෙනි. සිරිමාවෝ බණ්ඩාරනායක, ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක වැනි අයගේ ප්‍රජා අයිතිවාසිකම් අහෝසිකිරීම සිදුවුණේ ඒ අනුව යමිනි. සාමාන්‍ය ජනාධිපති කොමිසමකට එවැනි බලයක් නැති අතර, ඔවුන්ට කළ හැක්කේ තමන් එකතුකරගත් කරුණුවලින් සමන්විත වාර්තාවක් ජනාධිපතිවරයාට යැවීමය. ඉන්පසු නඩු පැවරිය යුතුද, එය කරන්නේ කා විසින්ද යන්න ගැන තීන්දුව ඒ ඒ පරීක්‍ෂණ අංශ හෝ නීතිපතිවරයා විසින් ගත යුතුය.

රහස් පොලිසිය වැනි ආයතනවලින්ද විවිධාකාර දේ සම්බන්ධව පරීක්‍ෂණ පැවැත්වෙන නමුත් ඒවා මහජන සහභාගිත්වය හා මාධ්‍ය සහභාගිත්වය ඇතිව නොපැවැත්වේ. එහෙත්, ජනාධිපති කොමිසමක කරුණු සොයාබැලීම සිදුවන්නේ, සාක්‍ෂි ලබාගනිමින් ප්‍රසිද්ධියේය. එහිදී නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරුන්ට. එහි සාක්‍ෂි දීමට පැමිණෙනවුන්ගෙන් ප්‍රශ්න ඇසීමට නීත්‍යනුකූල බලයක් තිබේ. ඒ බලය අත්තනෝමතිකව රජයේ නීතිඥවරුන් පාවිච්චි කරන්නේද යන්න වෙනත් කාරණයකි. සාක්‍ෂි දෙන කිසිවකු අපහසුවට හා අවමානයට පත්කරමින් සාක්‍ෂි ලබාගන්නට හෝ ප්‍රශ්න කරන්නට කොමිසමක තබා සාමාන්‍ය මහේස්ත්‍රාත් උසාවියකදී වත් ඉඩක් නැත. එහෙත් එසේ කරන පැමිණිල්ලේ නීතිඥවරුන් මෙන්ම විත්තියේ නීතිඥවරුද බොහෝ වෙති. එවැනි අවස්ථා පාලනය කිරීම ඒ අවස්ථාවේදි පැවරෙන්නේ විනිශ්චයාසනයටය.

පිටු 8500කට වැඩි දුරකතන වාර්තා එක් රැයකින් කියවා පැමිණීම ගැනද චෝදනාවක් නීතිපති දෙපාර්තමේන්තුවට තිබුණි. නවීන තාක්‍ෂණය අනුව, දැන් කෙරෙන්නේ ඒ පිටු අටදහස් ගණනම එකින් එක කියවීම නොවන බව සාමාන්‍ය දැනුමක් ඇති සියල්ලෝ දනිති. සරලව සිදුවන්නේ අදාළ දුරකථන පණිවුඩ ‘සර්ච්’ කිරීමකි. ඒ සඳහා පිටු එකින් එක කියවන තරම් කාලයක් කිසිසේත් ගත නොවේ. මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් යසන්ත කෝදාගොඩ ප්‍රමාණවත් පිළිතුරක් මාධ්‍ය හරහා දී තිබුණි.

තමන් පොරොන්දු වුණු පරිදි පරණ ආණ්ඩුවේ හොරුන් එකකුවත් වැරදිකරු කරන්නට පෙර තමන්ගේ ආණ්ඩුවේ ඇමතිවරයකුට ගෙදර යන්නට සිදුවීම ආණ්ඩුව මුහුණදුන් දෛවයේ සරදමකි. ආණ්ඩු පක්‍ෂයේ බොහෝ අයගේ සිත රිදී තිබෙන්නේද ඒ නිසාය. එහෙත්, ඒ වරද ආණ්ඩුව තමන් වෙතම පටවාගත යුත්තේය. පරණ හොරුන්ට විරුද්ධව අපරාධ පරීක්‍ෂණ ප්‍රමාණවත් වේගයකින් නොකෙරෙන බවටත්, ඒවා සිදුකිරීමට අවශ්‍ය පහසුකම් හා සම්පත් රජය විසින් ලබා නොදෙන බවටත් මැසිවිලි නැගුණේ ආණ්ඩුවේ ධුර කාලයේ මුල සිටමය. ඒ කාරණා ගණන් ගෙන ඒ වෙනුවෙන් උනන්දුවෙන් වෙහෙස මහන්සිවී වැඩ කළ මන්ත්‍රීවරුන් ඇමතිවරුන් එකකු දෙන්නකු හැර ආණ්ඩුවේ සිටියේ නැත. අතරමැදි විමර්ශන කාර්යයක් කරමින් එෆ්සීඅයිඩීයේ කාර්යය බොහොම පහසු කළ දූෂණ මර්දන කමිටු කාර්යාලය පසුගියදා වසා දමන විටද ඒ වෙනුවෙන් කතාකළ කිසිවකු ආණ්ඩුව තුළ සිටියේ නැත. මේ ආකාරයෙන් ආණ්ඩුවත් තමන්ට නිසි සැලකිල්ලක් නොදක්වන තත්ත්වයක් මත, තමන්ට ඇති ඉතාමත් අඩු පහසුකම් හා සැලකිලි යටතේ, අනෙක් පැත්තෙන් රාජපක්‍ෂවරුන්ගේ විවිධාකාර තර්ජන හා කෙනෙහිලිකම්වලට භාජනය වෙමින් රහස් පොලිසිය, එෆ්සීඅයිඩීය වැනි ආයතන විසින් නිමකරන ලද විමර්ශනවල ලිපිගොනු ඊළඟට යැවුණේ නීතිපති දෙපාර්තමේන්තුවටය. මේ ලිපිගොනු විමර්ශනය කර නඩු පැවරීම සඳහා නිසි පිළිවෙතක් සකස්කිරීමට වත්මන් හා පසුගිය නීතිපතිවරුන් ප්‍රමාණවත් උනන්දුවක් දැක්වූයේ නැතිය යන්න නම් පිළිගත හැකි චෝදනාවකි.

අනෙක් අතට, මෙවැනි බැරෑරුම් වැඩ කිරිම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ සිටින්නේ විශ්වාසවන්ත, කාර්යක්‍ෂම හා දක්‍ෂ නිලධාරීන් අතළොස්සකි. ඒ දෙපාර්තමේන්තුව තුළම තවමත් සිටින රාජපක්‍ෂ නෂ්ටාවශේෂ විසින් මේ කටයුතුවලට විවිධාකාර මට්ටමින් බාධා එල්ල කරන බවද සැලකිය යුතුය. මේවාට යෙදවිය හැකි පෙර කී සුළුතර නිලධාරීන් පිරිස පවා එම නඩුගොනු අධ්‍යයනය කරන්නේ කොළඹ හා පිටපළාත්වල තමන්ගේ දෛනික උසාවි රාජකාරිවලට අමතරවය. එය පහසු කාර්යයක් නොවේ. ඊළඟට සකස්කෙරෙන නඩු ගොනු මහාධිකරණ ඉදිරියේ ගොනුකළත්, ඒවා කැඳවීමට, සාක්‍ෂි කැඳවීමට දින කල් යන්නේ මාස හය හතකිනි. අවසානයේ ඉතාමත් දිගු ප්‍රමාදයක් මේ ක්‍රියාදාමය තුළ සිදුවෙයි. ඒ නිසා ඒවා විමසීමට වෙනම අධිකරණයක් පිහිටුවිය යුතුය කියන අදහස මුල් කාලයේ සිටම පැනනැඟි නමුත්, අද කතාකරන තරම් උනන්දුවෙන් කිසිවෙකු ඒ ගැන කතා කළේ නැත.

තමන් නිසි උද්යෝගයකින් යුතුව පරණ ආණ්ඩුවේ චූදිතයන්ට එරෙහි නඩු කටයුතු නොකරනවායැයි කියන චෝදනාවද නීතිපති දෙපාර්තමේන්තුවට බාරගැනීමට සිදුවෙයි. එහි යම් ඇත්තක් ඇති නිසාය. ඒ වගකීම නීතිපතිවරයාත්, නීතිපති දෙපාර්තමේන්තුව බාරව සිටින ඇමතිවරයාත් භාරගත යුතුය. එහෙත්, සමස්ත ක්‍රියාදාමය දියාරු වීමේ වගකීම ඇත්තේ ආණ්ඩුවටමය. එය කිසිවකුට බැන බැන සිටීමෙන් විසඳාගත හැකි ප්‍රශ්නයක් නොවේ.■