අධිකරණ ඇමැතිගේ අනන්‍යතාව සහ යහපාලනය

මහාචාර්ය සරත් විජේසූරිය

ජනවාරි 08 වෙනිදා නීති ගරුක පාලනයක් උදෙසා ලැබුණ ජන වරම රාජපක්ෂවරුන් වෙනුවෙන් සූක්ෂ්ම අන්දමින් කෙලෙසන ලද්දේ අධිකරණ ඇමතිවරයා බව වැඩි කල් යාමට මත්තෙන් අනාවරණය විය. එහෙත් එය ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා නිසි අන්දමින් තේරුම් ගත්තේ නැත.
ශිරානි බණ්ඩාරනායක නැවත අගවිනිසුරු පදවියට පත් නොකරන්න යන්න රාජපක්ෂවරුන්ගේ මූලික ඉල්ලීමක් වී තිබිණි. සරත් ෆොන්සේකා ආරක්ෂක අංශයට අදාළ කිසිම තනතුරකට පත් නොකරන්න යන්නත් රාජපක්ෂවරුන්ගේ ඉල්ලීමක් විය. මේ ඉල්ලීම් දෙක සෝභිත හිමියන් වෙත රැගෙන ආවේ රාජපක්ෂවරුන් වෙනුවෙන් ඔවුන්ට හිතවාදී ඉහළ පෙළේ භික්ෂූන් වහන්සේලාය. සෝභිත හිමියන් සියල්ල අසා සිටියා විනා කිසිවක්ම කීවේ නැත. එහෙත් ජනවාරි 08 වෙනස සඳහා වූ සටනේ දී ශිරානි බණ්ඩාරනායකට සිදු කළ අනර්ථය ඉවහල් කර ගැනුණ බැවින්, සරත් ෆොන්සේකාට මෙන්ම ඇයට ද සාධාරණයක් ඉටු නොකර ජනවාරි 08 ජයග්‍රහණයට ඉදිරි ගමන තීරණාත්මක විය. මෙහිදී රැවුලත් කැඳත් දෙකම රැක ගන්නා අන්දමේ කටයුත්තක් පුරවැසියන් අබිමුව විදහා දැක්විණි. එය නම්, ශිරානි බණ්ඩාරනායක මැතිනිය අගවිනිසුරු තනතුරේ යළි පිහිටුවා එසැණින්ම ඇය විශ්‍රාම ගැන්වීමය. ඊට ලබා දුන් අර්ථකථනය වූයේ ඇය නීතියට අනුකූලව කටයුතු කළත් ඇය දෙන තීන්දු විවේචනයට ලක්වේය යන්නයි. පළිගැනීම් ඇය අතින් සිදු වුණා යයි ලෝකාපවාදයට ආණ්ඩුව ලක්වේය යන්නයි.
මේ මතවාද බැලූ බැල්මට අලංකාර වුව ඒවා වූ කලී රාජපක්ෂවරුන් උදෙසා ගන්නා ලද බරපතල තීන්දුවක් ඳී ප්‍රතිඥාවක් ඉටු කිරීම සඳහාම නිර්මාණය කෙරුණ බව සත්‍යයකි.
අගවිනිසුරුතුමියට එක දවසක් හෝ තනතුරේ කටයුතු නොකිරීමට ඉඩ නොදෙන තත්වයට වග බලා ගත්තේ කවුරුන් ද යන්න එතුමියට වාර්තා වුණ බැවින් ඇය කිසිවක් ගැන කිසිම අපේක්ෂාවකින් තොරව නිහඬ වූවාය. වසරක කාලයක් තුළ අයට විපරීතව තිබුණ අධිකරණ ක්ෂේත්‍රය යථා තත්වයට පත් කිරීමට අවස්ථාවක් ලබා දුන්නේ නම් යහපාලන ආණ්ඩුව කෙටි කාලයක් තුළ ජනතා අප්‍රසාදයට ලක් නොවන බව පැහැදිලිය.
විජේදාස රාජපක්ෂ නම් නීතිඥයාට, අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක කිසි විටෙක රුචි වූයේ නැත. ඇය තනතුරෙන් නෙරපා හැරීමට පියවර ගත් අවස්ථාවේ දියත් කෙරුණ සටනට ඔහු නිසි ලෙස දායක වුණේ ද නැත.
හිටපු අගවිනිසුරුතුමිය රාජපක්ෂ පාලනයේ දුර්දාන්ත බව විශද කිරීමට මනා සාධකයක් වුව, අලුත් රාජ්‍ය පාලනය තුළ ඇය කුමන ආකාරයකින් හෝ වැද්ද ගත්තේ නැත. ඇගේ විදෙස් ගමන් බලපත්‍රය පවා වසරකට වැඩි කාලයක් උසාවියේ තබා ගත්තේය. එය ආපසු ඇයට ලැබුණේ ජනාධිපතිවරයා තත්වය දැන ගත් පසුවය.
නීතිය පිළිබඳ ප්‍රාමාණික දැනුමක් ඇති, නීති ක්ෂේත්‍රයේ ඉහළම වෘත්තියක නිමග්නව සුවිසාල අත්දැකීම් හිමි, තම ක්ෂේත්‍රයේ කවර තනතුරක් දැරීමට හෝ අවශ්‍ය සුදුසුකම් ඳී කීර්තිය හා පෞරුෂයක් උරුම ශිරානි බණ්ඩාරනායක මැතිනිය යහ පාලන ආණ්ඩුවේ කිසිම කිසි කටයුත්තකට කිසිම ආකාරයකින් සහභාගි කර නොගත්තේ මන් ද? ඒ වූ කලී මහෞෂධ නුවණේ මහිමයයි. ප්‍රාඥයෙකුගේ මහිමයයි. රාජපක්ෂවරුන් වෙනුවෙන් දරදිය ඇදීමේ ආශ්චර්යයි.
වැරදීම සහ අවාසනාව
යහපත් ආණ්ඩුකරණයක් උදෙසා අගමැතිවරයා විසින් තෝරන ලද අධිකරණ ඇමතිවරයා හොර පාරවල්වලින් රාජපක්ෂවරුන් සමඟ විවිධාකාර සම්බන්ධතා පවත්වන විට ඊට අදාළ සියලු තතු අගමැතිවරයාට කරුණු සහිතව විවිධ පාර්ශවයන් මඟින් වාර්තා කෙරුණ බව නොරහසකි. එහෙත් අගමැතිවරයා මුනිවත රැකීය. අධිකරණ ඇමතිවරයාගේ භූමිකාව ගැන එජාපයේ වෙනත් මැති ඇමතිවරුන්ට විවිධ පාර්ශවයන් පෙන්වා දෙන විට ඔවුන් කිසිවක් විශ්වාස කළේ නැත. උත්ප්‍රාසය නම් අද ඔවුන්ට අධිකරණ ඇමතිවරයාට එරෙහිව අවි අමෝරා නැඟී සිටීමට සිදුවී තිබීමය.
ඇවන්ගාර්ඞ් ව්‍යාපාරය හා සම්බන්ධ ප්‍රශ්නය කරළියට පැමිණි අවස්ථාවේ දී තිලක් මාරපන සහ විජේදාස රාජපක්ෂ යන ඇමතිවරු දෙදෙනා මහ දවාලේ නිරුවත් වූහ. තමා හා ඇවන්ගාර්ඞ් අතර පවතින සම්බන්ධය පිළිගෙන තිලක් මාරපන ඉල්ලා අස්විය. විජේදාස රාජපක්ෂ නිහඬව විදහා පෑවේ තමාගේ කිසිම සම්බන්ධයක් නැති බවය. සරත් ෆොන්සේකා විසින් මාධ්‍ය හමුවකදී ඉදිරිපත් කරන ලද ඡායාරූප හේතුවෙන් කුඩු කෑ විත්තිය රටට හෙළි විය. යහ පාලනයක් ප්‍රතිෂ්ඨාපනය කිරීමට ප්‍රතිඥා දුන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඒ අවස්ථාවේම අධිකරණ ඇමතිවරයා ඉවත් කිරීමට පියවර ගත්තේ නම් ආණ්ඩුව නිරපරාදේ මඩ නාන්නේ නැත. දූෂිතයන්ට සහ අපරාධකාරයන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට දස අතේ ප්‍රතිඥා ලබා දුන් ආණ්ඩුව දූෂිතයන්ට සහ අපරාධකාරයන්ට අභිමත අන්දමට අධිකරණය පාලනය කර ගැනීමට ඉඩ දී ඔහේ බලා සිටි අන්දම ඛේදනීය වේ.
ජනවාරි 08 වෙනසට මූලික නායකත්වය ලබා දුන් මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අභාවයෙන් පසුව නාග විහාරයට සෝභිත හිමියන් විසින් පන්සලෙන් ඉවත් කරන ලද භික්ෂූන් වහන්සේ නමක් බලහත්කාරයෙන් ඇතුළු වී නාග විහාරය අත්පත් කර ගෙන සිටින බව කුප්‍රකට රහසකි. සෝභිත හිමියන් රෝගීව සිටින විට රෝහල අසලකට හෝ නොපැමිණි මේ භික්ෂුව අද සෝභිත හිමියන්ගේ ගුණ වයන පරමාදර්ශී ගෝලයා බවට පත් සිටින බව ද නොරහසකි. මේ භික්ෂුවට නාග විහාරයේ උත්සවයක් පැවැත්වීමට නිවාඩු දින පවා නොතකා අසාමාන්‍ය අන්දමින් අධිකරණයෙන් අවසර ලැබුණි. ඒ උත්සවය පවත්වන්නේ විජේදාස රාජපක්ෂ ඇමතිවරයාගේ මූලිකත්වයෙනි. ඒ සඳහා සියලු නෛතික අවකාශ මේ හිමියන්ට ලැබෙන්නේ අධිකරණ ඇමතිවරයාගේ හෝ බුද්ධ සාසන ඇමතිවරයාගේ කිසිම සහායකින් නොවේ යයි අපට සිතන්නට සිදු වේ. මන්ද අධිකරණ ඇමතිවරයා අධිකරණයේ කිසිම දේකට ඇඟිලි නොගසන ප්‍රාඥයෙකු බැවිනි.
නාග විහාරය ගැන මෙන්ම සෝභිත හිමියන් ගැන සාධාරණ වෛරයක් රාජපක්ෂවරුන්ට ඇත. එහෙත් යහපාලන ආණ්ඩුවට සෝභිත හිමියන් හෝ නාග විහාරය අමතක කරන්නට නොහැකිය. අධිකරණ ඇමතිවරයා සෝභිත හිමියන්ට හෝ නාග විහාරයට අනර්ථයක් කිරීම ගැන ආණ්ඩුව නිහඬව සිටීම සාධාරණ ද? මහින්ද රාජපක්ෂට හිතවාදී භික්ෂුවකට නාග විහාරය බලෙන් අයිති කර ගැනීමට ඉඩ දී තිබීම සැබවින්ම අකෘතඥකමක් වන්නේය. විහාරස්ථානවල උරුමය හා සම්බන්ධ නිල බලය තිබෙන්නේ සංඝ සභාවටය. අධිකරණය පිළිගන්නේ සංඝ සභාවේ තීන්දුවයි. ඉතිහාසය පුරා පැවත එන ඒ සම්ප්‍රදාය වෙනස් කිරීමට යහපාලන ආණ්ඩුවට හැකි වී තිබේ. ඒ කෙසේ ද? යහපාලන ආණ්ඩුවේ අධිකරණ ඇමති මෙන්ම බුද්ධ සාසන ඇමති ද එකම පුද්ගලයෙකු බැවින් යයි අපි නොකියමු. වත්මන් ආණ්ඩුවේ අධිකරණ ඇමතිවරයා රාජපක්ෂවරුන් විසින් පත් කරන ලද කෙනෙකු නොව, රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා විසින් පත් කරන ලද කෙනෙකු බව දැන දැන සැකසංකා ඇති කර ගත නොහැකිය.
කතාව දෝලාවෙන්
අධිකරණ ඇමතිවරයා පුන පුනා පවසන්නේ අධිකරණයේ ස්වාධීනත්වය තමා සුරකින බවයි. ඒ සමඟම ඔහු අන්‍යාලාපයෙන් ආණ්ඩුව අවප්‍රමාණ කරන බව ද පෙනේ. ඔහු පවසන්නේ දේශපාලන විරුද්ධවාදීන්ගේ නඩු කඩිනම් කිරීමට නොහැකි බවයි. එය අධිකරණයට ඇඟිලි ගැසීමක් වන්නේය. මේ නම් සටකපට නීතිඥයෙකුගේ කුතර්කයකි. අධිකරණයට ඇඟිලි ගසන ලෙස හෝ විරුද්ධවාදීන්ගෙන් පළිගන්නා ලෙස කිසිවෙකු කියන්නේ නැත. ඒ තර්ක ඒකාබද්ධ විපක්ෂයේ තර්කය. ආණ්ඩුව කළ යුතු දෙයක් තිබේ. ඒ කුමක් ද? රාජපක්ෂකරණය වූ අධිකරණ ක්ෂේත්‍රයේ ඇතඥම් අංශ නිසි අන්දමට ප්‍රතිසංවිධානය කළ යුතුය. එය ඇඟිලි ගැසීමක් ද? කිසිසේත් නැත.
රටේ නීති ගරුක පුරවැසියන් අධිකරණයට බලපෑම් කරන්නැයි කිසි විටක පවසන්නේ නැත. ඔවුන් ඉල්ලා සිටින්නේ නීතිය කාටත් එක සමාන ලෙස ඳී සාධාරණ ලෙස ඉටු කරන ව්‍යුහයක් සකස් කරන ලෙසයි. එය කළ නොහැකි අධිකරණ ඇමතිවරයෙකු රටකට කුමට ද?
ආගමික අන්තවාදය
යහ පාලන ආණ්ඩුව තුළ අමාත්‍ය පදවි නිර්මාණය කර තිබෙන්නේ කිසිම පදනමක් නැතුවය. එය විස්තර කළ යුතු නොවේ. අමාත්‍යංශවලට විෂය පථයන් වෙන් කර තිබෙන්නේ ද පදනමක් ඇතුව නොවේ. ඊටත් වඩා අභාග්‍යය වන්නේ අධිකරණ ඇමතිවරයා බුද්ධ සාසන ඇමතිවරයා ලෙස ද පත් කිරීමය. මේ නිසා සැබවින්ම අන්‍ය ආගමිකයන්ට නීතියේ සාධාරණත්වය පිළිබඳ සැකසංකා ඇතිවීම සොබාවිකය. අධිකරණ ඇමතිවරයා ජාතිවාදී භික්ෂූන් සමඟ මාධ්‍ය හමු පවත්වන විට, ඔවුන්ට අනුග්‍රහශීලී වන විට, උදේ හවා පන්සල් යන විට, මහ නායක හිමිවරුන් බැහැ දැකීමට යන විට විදහා පාන්නේ අවලස්සණ චිත්‍රයකි. යහ පාලන ආණ්ඩුව තුළින් නැවතත් සරත් නන්ද සිල්වා කෙනෙකුය දක්නට ලැබෙන්නේ. මෙය ලජ්ජා සහගත තත්වයක් නොවන්නේද?
නීතිඥ ලක්ෂාන් ඩයස්ගේ කෝට් එක ගලවන බවට අධිකරණ ඇමතිවරයා තර්ජනය කළේ ආගමික අන්තවාදයට උඩ ගෙඩි දෙමිනි. අධිකරණයට කිසිම බලපෑමක් නොකරන බවට කටපුරා තොfදාල් කතා fදාඩවන අධිකරණ ඇමතිවරයාට නීතිඥයෙකුගේ කෝට් ගලවන්නට පුළුවන් ද? නීතිඥයෙකු වරදක් කර තිබේ නම් ඊට දඩුවම් කරන්නේ අධිකරණ ඇමතිවරයා ද?
ජාතික ආගමික සංහිඳියාව වෙනුවෙන් පෙනී සිටි නීති ගරුක පුරවැසියන් මානසික රෝගීන් ලෙස රටේ අධිකරණ ඇමතිවරයා පවසන්නේ කවර ආස්ථානයක පිහිටා ද?
එජාපයේ ඛේදය
ජේ ආර් ජයවර්ධන, ආර් ප්‍රේමදාස යන නායකයන් දෙදෙනා සම්බන්ධයෙන් කවර විවේචන තිබුණත් ඔවුන් රාජ්‍ය පාලනයට වරමක් ලබා ගත් පසු තමන්ට අභිමත අන්දමට කටයුතු කිරීමට පක්ෂය කළමනාකරණය කර ගත්තේය. ජේ ආර් ජයවර්ධන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළම මන්ත්‍රීවරුන්ට නිසි ලෙස විලංගු දමා ගත්තේය. ආර් ප්‍රේමදාස මහතා තමන්ට විරුද්ධ බලවේග මර්ධනය කළේය. ප්‍රේමදාස මහතාගේ පිළිවෙත නිසා එජාපය දීර්ඝ කාලීන අනර්ථයන් උරුම කර ගන්නේය. තතු කෙසේ වෙතත් මන්ත්‍රීවරයෙකුට තමන්ට අවශ්‍ය අන්දමට පිල් මාරුවට නෛතික අවකාශයක් නිර්මාණය වීම සමඟින් ලංකාවේ දේශපාලන සංස්කෘතිය නරා වලක් බවට පත් වුණේය. රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය පාලනයට වරමක් ලැබී තිබෙන්නේ නරා වලක් බවට පත්ව තිබෙන දේශපාලන සංස්කෘතියකය. එබැවින් ජේ ආර් ජයවර්ධන පක්ෂයට නායකත්වය ලබා දුන් අන්දමට පමණක් නොව, ආර් ප්‍රේමදාස පක්ෂයට නායකත්වය ලබා දුන් අන්දමටවත් නිර්භීතව, නායකත්වය ලබා දීමට එතුමා අසමත් බව පෙනේ. රාජපක්ෂවරුන් එජාපයේ මන්ත්‍රීවරුන් සමඟ ගනුදෙනු කිරීමට අවශ්‍ය මුදල්; අත් පිට මුදලින් ගෙවීමට කවර මොහොතක වුව සූදානම්ය. මේ අවාසනාවන්ත තත්වය ජනාධිපතිවරයාට වුව අදාළය.
දේශපාලනයේ නිමග්නව සිටි පුද්ගලයෙකු පක්ෂයකට බැඳූණ විට දේශපාලනඥයෙකු බවට ගොඩ නැඟෙන්නට නිසි පසුබිම සකස් කිරීමට වඩා සිවිල් බලයක් හිමි පුද්ගලයෙකු පක්ෂයකට බඳවා ගෙන කඩිනම් දේශපාලනඥයෙකු බවට පත් කිරීම අනතුරුදායකය. විජේදාස රාජපක්ෂ විශද කරන අනන්‍යතාව එයයි.
ආර් ප්‍රේමදාස වරෙක පැවසුවේ හැම මිනිහෙකුටම මිලක් තිබෙන බවයි. එහෙත් සිවිල් බලයක් තිබෙන මිනිහෙකුට මිල නියම කිරීමට ඉක්මන් වීම අත් පිට පාඩු ලැබීමට කාරණාවක් බව ද එතුමා පවසා ඇත. මේ වූ කලී කවර දේශපාලන පක්ෂයක වුව නායකයින් ගැඹුරින් අවබෝධ කර ගත යුතු කාරණාවකි.

ශීලාචාර දේශපාලන සංස්කෘතියක් උදෙසා දැන උගත් පුද්ගලයන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ වැදගත්කම ගැන සමාජයේ කථිකාවක් ඇත. එහෙත් මෙහිදී කිසියම් විග්‍රහයක නිමග්න විය යුතු කාරණාවක් ද ඇත. ඒ කුමක් ද? පසු ගිය පාර්ලිමේන්තු සභාවාර නියෝජනය කළ දැන උගත් පුද්ගලයන්ගෙන් කී දෙනෙක් සාර්ථක සහ අවංක මහජන නියෝජිතයන් බවට පත්ව ජාතික තලයට ගොඩ නැඟුණේ ද? ලක්ෂ්මන් කදිරගාමර් වැනි තව දෙතුන් දෙනෙකු ගැන අපට සිතන්නට හෝ පුළුවන් තත්වයක් තිබෙන්නේ ද? ජී එල් පීරිස් වැනි පුද්ගලයෙකු මේ සම්බන්ධව අධ්‍යයනය කිරීම හොඳ පාඨ ග්‍රන්ථයකි. මිනී මැරුම් චෝදනාවකට අදාළව සාක්ෂියක් ලබා ගැනීමට ශිරන්ති රාජපක්ෂ රහස් පොලිස් මූලස්ථානයට කැඳවූ විට ජී එල් පීරිස් ද එම භූමියට පැමිණේ. ඔහු උගත් නීති පොත් ඔහු විසින්ම ගිනි බත් කර ඇත්දැයි සිතීමට තරම් ඒ දසුන ඛේදනීය වේ.
දකින සිහිනය
අධිකරණ ඇමතිවරයා සිහිනයක් දකිමින් සිටිනවා විය හැකිය. ඒ කුමන සිහිනයක් ද? තම අමාත්‍ය පදවිය වෙනස් කිරීම? එජාපය තමාව නෙරපීම? යන දෙකෙන් එකක් ඉත සිතින් අපේක්ෂා කරණවා විය හැකිය. ඒ මන් ද? එවිට ඔහුට ඒකාබද්ධ විපක්ෂය සමඟ එකතු වීමට පාවාඩයක් ඇතිරෙන්නේය. මහින්ද රාජපක්ෂ සමඟ විහාරස්ථානවලට එක වාහනයේ යන්නට නිදහස උරුම වන්නේය. ගෝඨාභය රාජපක්ෂගේ වියත් මඟට එළිපිට සහාය දෙමින් එහි දේශනා කිරීමට නිදහස උරුම වන්නේය. ගලගොඩඅත්තේ හිමිගේ නීති උපදේශකවරයා ලෙස නිල වශයෙන් පෙනී සිටීමට නිදහස උරුම වන්නේය. මේ ගැන කාටත් වඩා හොඳින් අගමැතිවරයා අවබෝධ කරගෙන ඇතුවාට සැකයක් නැත.
කැබිනට් මණ්ඩලය ගත් තීන්දුවකට එරෙහිව කතා කරමින් අධිකරණ ඇමතිවරයා දැන් අගමැතිවරයා බිත්තියට හේත්තු කර අවසන්ය. යකෝ මට ගහපිය කියද්දීත් මුනිවත රකින අගමැතිවරයා අබිමුව අධිකරණ ඇමතිවරයා තව කළ යුත්තේ මොනවා ද?
මහින්ද රාජපක්ෂගේ දේශපාලනය තුළ තිබෙන පන්සල් වන්දනාව ඔස්සේ ජාතික නායකයෙකු විය හැකිය යන්න රටේ බොහෝ දෙනෙකු තුළ තිබෙන කල්පනාවකි. මේ කල්පනාවෙන් රාජ්‍ය මුදල් නාස්ති කරන අන්දම ද හොඳින් පෙනේ. රටේ කැපී පෙනෙන භික්ෂූන් වහන්සේලාගේ තත්වය ද ශෝචනීය වේ. කුප්‍රකට මත්කුඩු ව්‍යාපාරිකයෙකු විහාරස්ථානයට ආධාර කරන විට, ගොඩනැඟිලි ඉදි කර දෙන විට ඔහු තරම් පරමාදර්ශී බෞද්ධයෙකු තවත් නැත. සැබවින්ම ආගමික සංස්ථාව සහ දේශපාලනඥයන් අතර වෙනසක් නැති ගාණය. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට නොහැකි වුවහොත් ඊළඟට ජනාධිපතිවරණයක් පැවැත්වීමට අනිවාර්යෙන්ම සිදු වන්නේය. ඒ ජනාධිපතිවරණයේ දී ජයග්‍රහණය සඳහා වැඩි සුදුසුකම් ලබන්නේ පොදු අපේක්ෂකයෙකු වන්නට බැරි නැත. ලංකාවේ මහනායක හිමිවරුන් සියලු දෙනාටම බුද්ධ සාසන ඇමතිවරයා ලෙසින් සමීප වුණ විජේදාස රාජපක්ෂ මහතාට ජාතික නායකයෙකු ලෙස ගොඩ නැඟී ඉදිරි කාලය තුළ, ඉදිරි ජනාධිපතිවරණයක දී පොදු අපේක්ෂකයා වීමට නොහැකි ද? මේ වූ කලී ප්‍රාඥයෙකුට ගැළපෙන සිහිනයකි. මහෞෂධ පඬිවරයෙකුට තරම් වන සිහිනයකි.■