අපේ පක්ෂයේ සහයෝගය නැතිව ව්‍යවස්ථාවක් හදන්න බෑ

තරිඳු උඩුවරගෙදර

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පස්දෙනෙකුට එරෙහිව පක්ෂය විසින් විනය පියවර ගන්නා බව මාධ්‍ය වාර්තා පළවී තිබුණා. එවන් තීරණයක් පක්ෂය ගෙන තිබෙනවාද?
මම නම් ඇත්තටම ඒක දන්නේ නෑ. පක්ෂයේ තියෙන සම්ප්‍රදායේ හැටියට සභාපතිවරයා හෝ ලේකම්වරයා විනය පියවර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරලා ඒක මධ්‍යම කාරක සභාවට දන්වන්න ඕනෑ. එවැනි දැනුම්දීමක් අපට කරලා නෑ. ඒක මම හිතන්නේ අදහසක් විතරයි.

මේ විදියට පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පියවර ගැනීම ගැන ඔබේ අදහස මොකක්ද?
අපි කල්පනා කරන්න ඕනෑ ටිකක් පුළුල් ලෙස. අපි දන්නවා අපේ රටේ දේශපාලන පක්ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ බොහෝ කාලයක ඉඳලා නැගෙන හඬක් තියෙනවා. මත දැරීම, මත ප්‍රකාශ කිරීම කියන කාරණාවලදී පක්ෂයේ ඉන්න අයට පුළුවන් තරම් නිදහසක් දිය යුතුයි. ශ්‍රීලනිපය හැමදාම මේ ඉඩ ලබාදීලා තියෙනවා පුළුවන් තරම්. හැබැයි මම හිතනවා පක්ෂය විවේචනය කරද්දී පක්ෂය තුළ ඒක කිරීම තමයි වඩා හොඳ කියලා. එහෙම වුණත් අද ජනමාධ්‍ය පුළුල් නිසා ඕනෑම කෙනෙක්ට තමන්ගෙ මතය ඉදිරිපත් කරලා මාධ්‍යවල අවධානය දිනාගන්න ලේසියි. ඒකට සීමා දමන්නත් අමාරුයි. ශ්‍රීලනිපය තුළ බොහෝවිට විවිධ මත ඇතිවෙනවා. විශේෂයෙන් පරාජය වුණාට පස්සේ. ඒක තමයි ශ්‍රීලනිපයේ ඉතිහාසය පුරාම අපි දැකපු දේ. ශ්‍රීිලනිපයේ අදත් මත දෙකක් තියෙනවා. රජයේ පාර්ශ්වකරුවෙකු වීම සහ නොවීම ගැනයි මත දෙක තියෙන්නේ. පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් මේ පිළිබඳ සාකච්ඡාවකට යන එක තමයි වඩාත් හොඳ කියලා මම හිතනවා. මහජන ඡන්දයෙන් පත්වුණ මන්ත්‍රීවරයෙකුට බොහොම සීමිත අවස්ථා කිහිපයක් ඇරෙන්න මන්ත්‍රීධුරයෙන් නෙරපීම සඳහා අධිකරණයෙන් ඉඩ ලැබිලා නැහැ. ඒක අපි සැලකිල්ලට ගතයුතුය. අපි හැමෝම කල්පනා කරන්න ඕනෑ, තමන් යම් පක්ෂයක සාමාජිකයෙකු නම් පක්ෂයෙන් ඉවත්වන තුරු පක්ෂය ගැන විවේචන පක්ෂය තුළම කරන එක යහපත් කියලායි.

ශ්‍රීලනිපයේ ආණ්ඩු පක්ෂයත් දෙකඩ වෙන බවට මාධ්‍ය වාර්තා පළවුණා. එතැනදී ආණ්ඩුවෙන් යන පිරිස අතර ඔබේ නමත් ඉදිරියෙන්ම කියැවුණා නේද?
දෙකඩවීමක් ගැන අපි කවදාවත් කතාකරලා නෑ. අපි අතර විවෘත සාකච්ඡාවක් තියෙනවා. ඒ සාකච්ඡාවේදී පක්ෂය හැරයාම ගැන කොයි වෙලාවකවත් අදහස් ඉදිරිපත් කළේ නැහැ. ඉදිරි වසර දෙක තුළ ආණ්ඩුවේ මේ සුසංයෝගය පවතිනවා නම් ඒක පැවතිය යුතු ආකාරය මොකක්ද, නොපවතිනවා නම් මොකක්ද කළයුත්තේ කියලා අදහසක් තියෙනවා. අපි කිසිම අවස්ථාවක පක්ෂයට විරුද්ධව වැඩ කරලා නෑ. පක්ෂයේ තනතුරුවලින් මාව ඉවත්කළ අවස්ථාවේදීවත් මම පක්ෂයට විරුද්ධව අධිකරණයට යන්න උත්සාහ කළේ නෑ. ඒ වෙලාවේ මම අධිකරණයට ගියා නම් බොහෝදුරට මාව ඉවත්කිරීම අසාධාරණ බව ඔප්පු කරන්න තිබුණා. මම වසර විසිපහක් තිස්සේ පක්ෂයේ සෑම නායකයෙක්ටම අවංක ලෙස සේවය කරලා තියෙනවා. පක්ෂයෙන් ඉවත්ව යන කණ්ඩායමක ඉඳලාත් නෑ. මගේ අදහස වෙලා තිබුණේ, අපි හුඟක් දුරට වාමාංශික අදහස් දරන නිසා වාමාංශික, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන දර්ශනයක් තුළ අපේ දැවැන්ත ප්‍රතිවාදියා ලෙස සලකන එජාපය එක්ක ගනුදෙනු කරද්දී පක්ෂයේ ප්‍රතිපත්ති සහ අදහස් පිළිබඳව සාකච්ඡා කළ යුතු බවයි. අපි ඒක හොර රහසේ කරන දෙයක් නෙවෙයි. ඒක කුමන්ත්‍රණයක් නෙවෙයි. ඒක සාකච්ඡාවක්. මෙවන් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක එවන් සාකච්ඡාවක් අවශ්‍යයි. ඒක කාටවත් ප්‍රශ්නයක් ඇතිකරවන විදියේ සාකච්ඡාවක් නෙවෙයි.

ශ්‍රීලනිප කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බව ඔබ හිතනවාද?
ඒ ගැන තවමත් තීන්දුක් ගන්න අදහසක් නෑ. අපි සාකච්ඡා කරනවා. අපි හිතනවා ශ්‍රීලනිපයේ ඉන්න සාමාජිකයන්ටත් අතවර වෙන අවස්ථා තියෙනවා. අපි ළඟ ඉන්න මන්ත්‍රීවරුන්ටත් යම් ප්‍රශ්න ඇතිවෙලා තියෙනවා. එවන් තත්ත්වයක් තුළ වඩා හොඳට ගනුදෙනු කිරීම ගැනයි අපි සාකච්ඡා කරන්නේ.
එජාපයේ ඇමතිවරයෙක් සම්බන්ධයෙන් දූෂණ චෝදනාවක් ඇවිත් ඔහු ඉල්ලා අස්වීම තුළ යළිත් මතුවෙන්නේ ජනතා නියෝජිතයන් දූෂිතයන් බවට ජනතාව තුළ ඇති අදහස තහවුරු වීමක් නේද?
අපේ ලංකාවේ දේශපාලනයේ තියෙන දැවැන්ත ප්‍රශ්නයක් තමයි වංචාව සහ දූෂණය පිළිබඳ අදහස. දකුණු ආසියාවේ විතරක් නෙවෙයි, යුරෝපයේ පවා මෙවන් මත තියෙනවා. ඉතින් හැම රටක්ම පාලනය කිරීමට නෛතික උපකරණ හා ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. පුද්ගලයෙක් පස්සේ එළවීම සුදුසු නෑ. අපි සාකච්ඡා කළ යුත්තේ කොහොමද වංචා දූෂණය වළක්වන උපාය මාර්ග දියුණු කරන්නේ කියලා. පුද්ගලයෙකුගේ ආදායම ගැන පරීක්ෂා කරන්න ලෝකයේ විවිධ රටවල ක්‍රමවේද හදලා තියෙනවා. ලංකාවෙ වුණත් වත්කම් බැරකම් ප්‍රකාශ තියෙන්නේ තමන්ගේ ආදායමට වඩා ධනය රැස්කරනවාද කියලා හොයලා බලන්නයි. නිදහසෙන් පස්සේ ආපු හැම ආණ්ඩුවටම වංචා දූෂණ පිළිබඳ චෝදනා එල්ලවෙලා තියෙනවා. මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමාගේ කාලයේ ඉඳලා මේ දක්වාම ප්‍රශ්න තියෙනවා. සමහරවිට ආණ්ඩු එන්නේත් වංචා දූෂණ පිළිබඳ කරුණුවලින්. ජනතාව ආණ්ඩු ප්‍රතික්ෂේප කරන්නේත් මේ කරුණුවලින්මයි.

ජනතා නියෝජිතයන් මෙවන් තත්ත්වයකට පත්වීම සම්බන්ධයෙන් පොදුවේ දේශපාලනඥයන් විදියට ඔබලා ක්‍රියාමාර්ග ගන්න ඕනෑ නේද?
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පොදුවේ ජනතා නියෝජිතයාට එල්ලවෙන චෝදනා ගැන සලකා බලලා මේවා සම්බන්ධයෙන් ලෝකයේ අනෙක් රටවල් ගත්ත තීන්දු මොනවාද කියලා හොයලා බලන්න ඕනෑ. මම පුද්ගලයෙක් පිළිබඳව කතාකරන්න කැමති නෑ. මේ සියල්ලම අධිකරණයක සාධාරණ සැකයකින් තොරව ඔප්පු විය යුතු කරුණු කියලා මම හිතන නිසා. කොහොමවුණත් මේ පිළිබඳව අපේ රටේ මතයක් තියෙනවා. ඒ මතය ගැන මගේ එකඟතාවකුත් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අපි වඩා නෛතික ක්‍රියාමාර්ගවලට යන්න ඕනෑ කියලායි මම හිතන්නේ. අපට අසන්නට දකින්න ලැබෙන දේවල් දැක්කාම දේශපාලනඥයා ගැන විශාල කලකිරීමක් මේ රට ඇතුළේ තියෙනවා. මේක පාලනය කරන්න නම් අපි උගත් බුද්ධිමත් පිරිසක් පාර්ලිමේන්තුවට රැගෙන ඒම ගැන හිතන්න ඕනෑ. ලංකාවේ ඉස්සර මේකට ආවේ උගත්කමින් ප්‍රභූන් වුණ අය. මට මතකයි ඉස්සර පාර්ලිමේන්තුව දෙකට පටන්ගන්නේ. ඉස්සර ගොඩක් හිටපු අය නීතිඥයෝ හෝ වෙනත් රැකියා කළ අය. ඒ අය දවල් එකට පාර්ලිමේන්තුවට එන්නේ උදේ රැකියාව කරලා. ඒ අයට මුදල් පිළිබඳව ප්‍රශ්න නැහැ. මනාප මැතිවරණ ක්‍රමය ලංකාවට අඳුන්වලා දුන්නාට පස්සේ මන්ත්‍රීවරයෙක්ට විශාල වශයෙන් වගකීම් සහ වියදම් ප්‍රමාණයක් තියෙනවා. ඒ හා සමානව අපේ රටේ මන්ත්‍රීවරුන්ගේ වැටුප් හා දීමනා වැඩි කරන්න අපි අසමත් වෙලා තියෙනවා. ස්විට්සර්ලන්තය, සිංගප්පූරුව වගේ රටවල් මේවා කළේ හුඟක් දුරට පාර්ලිමේන්තුවට ඒමට තියෙන අවස්ථාවේ ඔවුන්ගේ යම්කිසි ආකාරයක වගකීමක් දරන්න පුළුවන් අයද කියලා සාකච්ඡාවක් කිරීමෙන් පස්සේ. ඒ වගේ අයට හොඳ පඩියක් දීලා ඔවුන් වංචා දූෂණවලට යොමුවීම වළක්වලා උපරිම ප්‍රයෝජන ගැනීමට හැකියාව තියෙනවා.

දැන් වෙලා තියෙන්නේ පක්ෂ විපක්ෂ හැමෝම එකිනෙකාට දූෂණ චෝදනා එල්ල කරගැනීම නේද?
ඇත්ත. ඒ වුණත් මේ ක්‍රමය වෙනස් කරන්න ගන්නා පියවර මොකක්ද කියන එකයි මගේ අවධානය යොමුවෙන ප්‍රශ්නය. අහවල් අහවල් අය දූෂිතයි කියලා විවේචන කරන එක ඕනෑම කෙනෙක්ට කරන්න පුළුවන්. මේක වෙනස් කරන්න නම් මැතිවරණ ක්‍රමයේ වෙනසක් කළ යුතුද කියන එක සාකච්ඡා කරන්න වටිනවා. මොකද දිස්ත්‍රික්කයක් පුරා මැතිවරණ ව්‍යාපාරයක් ගෙනියලා නියෝජිතයෙක් පත්වෙන්න ඕනෑ. ඒවාට ලොකු වියදමක් දරන්න වෙනවා. බොහෝවිට මේ වියදම් නිසා දූෂණ සිදුවෙන්න ඉඩ තියෙනවා. ඉතින් පවතින සිස්ටම් එකේ වෙනසක් නොකර එකිනෙකාට දූෂණ චෝදනා කර කර ඉන්න එකෙන් කිසිම ප්‍රයෝජනයක් වෙන්නේ නෑ.
පළාත් සභා ඡන්දය කල්දාන්ට ආණ්ඩුව උත්සාහ ගන්නා බවට චෝදනා එල්ලවෙනවා. ඔබේ අදහස මොකක්ද?
ප්‍රාදේශීය සභාවල ප්‍රශ්නයක් තිබුණා. කොට්ඨාස වෙන්කිරීමේ ගැටලුවක් තියෙන බව ඇත්ත. ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්න ඕනෑ. අද ප්‍රාදේශීය සභා ඡන්දය පවත්වන්න පුළුවන් විදියට සියලුම නීතිරීති අණපනත් සකස් වෙමින් තියෙනවා පළාත් පාලන ඡන්දය තියෙන්නෙ කොට්ඨාස මට්ටමින්. පළාත් සභා ඡන්දය තියෙන්නෙ දිස්ත්‍රික් මට්ටමෙන්. පළාත් සභා ඡන්දයත් කොට්ඨාස ක්‍රමයට ගෙනෙන එක හොඳ දෙයක්. ඒ අතරතුරම අපි පිළිගන්න ඕනෑ දෙයක් තමයි තව මැතිවරණ තුනක් මේ අවුරුද්දේ පැවැත්විය යුතුයි. අපි එකම දවසක මැතිවරණ සියල්ල ක්‍රමය කරනවා නම් මැතිවරණ ක්‍රමයත් වෙනස් කරලා පුළුල් ව්‍යවස්ථා සංශෝධනයකින් කළ යුතුයි. මේ ප්‍රගතිශීලී සංශෝධනය පවත්වන්න නියමිත මැතිවරණ කල් දාන්න පාවිච්චි කරනවා නම් ඒක ප්‍රගතිශීලී ජනතාව කළකිරීමට ලක් කරවන දෙයක්. ඒ අදහස අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා මේ මැතිවරණය පවත්වලා ඊට පස්සේ අපට ඕනෑ නම් අර සාකච්ඡාව ගෙනෙන්න පුළුවන්. මිශ්‍ර ක්‍රමයක් ඇතිවීම හොඳයි. ඒක කරනකොට ආණ්ඩු පක්ෂයකට බහුතරයක් ලැබෙන විදියටත් ඒක කරන්න ඕනෑ. සමානුපාතික මැතිවරණ ක්‍රමය තුළ විරුද්ධ පක්ෂයෙන් කට්ටිය එකතුකරගෙනයි ආණ්ඩුව හැදුවේ. මේක ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක්. අනික මේ ක්‍රමය වංචා දූෂණවලට ඉඩ සැලසුවා. ඉතින් ඒක වෙනස්කරන ක්‍රමයකට අපි සහයෝගය දෙනවා. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න නම් කොට්ඨාස මට්ටමේ සභිකයන් තෝරන ක්‍රමයකුත් මිශ්‍ර ක්‍රමයට, සුළු ජාතීන්ට අසාධාරණයක් නොවන ජර්මනියේ වගේ ක්‍රමයකටත් අපි යා යුතුයි.

එතකොට ජනමත විචාරණයක් පවත්වනවාද කියන එක ගැන තවම එකඟතාවක් නැද්ද?
නැහැ. තවම නැහැ. එහෙම වුණත් පොදුවේ අපි පක්ෂය හැටියට පිළිගන්නවා මේ රටේ ජාතික සමඟිය ඇතිවෙන්න ඕනෑ. ඒ අනුව සෑම ජාතියකටම සමාන අවස්ථා ලැබිය යුතුයි කියලා අපි කියනවා. ඒ වගේම බුද්ධාගමට ඇති ප්‍රමුඛස්ථානය ආරක්ෂා විය යුතුයි කියලා අපි කියනවා. අනෙකුත් ආගම් අදහන අයටත් ආගම ඇදහීමේ අයිතිය ලබාදිය යුතුයි. ව්‍යවස්ථාව ඇතුළේ ඇතිවන වෙනස්කම් සඳහා පක්ෂයේ එකඟතාව ලබාදෙන ගමන්ම පළාත්වල ජීවත්වෙන ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පළාත් සභා හරහා එහි තියෙන බලතල අනුව පාලනය වෙන්න ඉඩ සලසා දෙන්න ඕනෑ කියලත් පිළිගන්නවා.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන ශ්‍රීිලනිපය එකඟ නැහැ නේද?
අපේ අදහස වෙන්නේ දැන් විධායක ජනාධිපති ක්‍රමය කලින් තිබුණු විධායක ජනාධිපති ක්‍රමයට වඩා බලතල අඩු කළ සුවිශේෂී තත්ත්වයක්. ඒ නිසා විධායක ජනාධිපති ක්‍රමයේ අනවශ්‍ය බලතල අඩු කරලා රටේම ජනතාවට මැතිවරණයකින් ජනාධිපතිවරයා පත් කරගන්න අවස්ථාව දිය යුතුයි. එතකොට රටේ සමස්ත ජනතාවටම රටේ පාලනය බාරගන්නට එක් පුද්ගලයෙක්ව පත් කරගන්න අවස්ථාව ලැබෙනවා. ඒක නරක දෙයක් නෙවෙයි.

ශ්‍රීිලනිපය මෙහෙයුම් කමිටුවට තවමත් ලිඛිතව අදහස් ඉදිරිපත් කරලා නැහැ නේද?
අපි ඉදිරියේදී අපේ අදහස් ඉදිරිපත් කරනවා. අපි විතරක් නෙවෙයි, අනෙකුත් පක්ෂත් අදහස් ඉදිරිපත් කරලා නැහැ ඔය කිව්වාට. අපි පමණක් නෙවෙයි. දැනට තියෙන්නෙ කමිටු වාර්තා හයක් ගැන කරන සාකච්ඡාවක්. ඉන් පස්සෙයි හැම පක්ෂයම තමන්ගේ අදහස් කියන්නේ. ශ්‍රීලනිපය පමණක් අදහස් ඉදිරිපත් කරලා නැහැ කියන එක අර්ධ සත්‍යයක්.

එතකොට විධායක ජනාධිපති ක්‍රමය වගේ ඇතැම් කරුණු පිළිබඳ මෙහෙයුම් කමිටුව තුළ එකඟතාවක් නැතිවෙයි. එකඟතාවක් නැති අදහස් සම්බන්ධයෙන් 22 වෙද්දී පාද සටහන් ඉදිරිපත් කරන්න කියලා පක්ෂවලට දැනුම්දීලා තියෙනවා. ඔබේ කණ්ඩායම පාද සටහන් ඉදිරිපත් කරනවාද?
අපි පාද සටහන් දාන්නේ නෑ. අපටත් සාධාරණ අයිතියක් අවශ්‍යයි. පාද සටහන් සඳහා අපි එකඟ වෙන්නේ නෑ. අපි අදහස් ඉදිරිපත් කළයුතුව තිබෙනවා. පාද සටහන් ගැන අපි දන්නේ නෑ. ඕක අපට තේරෙන්නේත් නෑ. සාමාන්‍යයෙන් පාද සටහන් දාන්නෙ නිශ්චිත කරුණක් ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් සඳහා.

එහෙත් ඔබේ පක්ෂය මෙහෙයුම් කමිටුවේ වාර්තාවට එකඟ නැතිනම් ඒක දන්වන්න හොඳම ක්‍රමය පාද සටහන් දැමීම නෙවෙයිද?
එහෙම කරන්න බෑනේ. අපේ පක්ෂයේ සහයෝගයක් නැතිව ව්‍යවස්ථාවක් හදන්න බෑ. තනි පක්ෂයකට පුළුවන්ද ව්‍යවස්ථාවක් හදන්න. ඒ පක්ෂවලට මොකවත් කරන්න බෑ. ඒක තමයි ඇත්ත කතාව.■