රාවය

මාධ්‍ය නිදහස සොයා යාපනයට: අප දෙමළ නිසාද?

මාධ්‍ය නිදහස සොයා යාපනයට: අප දෙමළ නිසාද?

ප්‍රේම් නමින් අප අමතන තේවනායගම් ප්‍රේමනාත් මැෂින් තුවක්කු වෙඩි උණ්ඩ විසින් සිදුරු කරන ලද බිත්තිය ඉදිරිපස ඇති මේසයට වාඩි වී සිටින්නේ සුපුරුදු සිනහව සමඟිනි.
“රාජපක්ෂ සමයට සාපේක්ෂව අද නිදහසක් තියෙනවා. අද අපේ පස්සෙන් කව්රුවත් එන්නේ නැහැ. ලියන්න නිදහස තියෙනවා. ඒත් සම්පූර්ණ නිදහසක් යයි කියන්න බැහැ.”
වෙඩි උණ්ඩ දෙකක් විසින් රාජපක්ෂ සමය සිහිකරවීම පිණිස ඇති කරන ලද සිදුරු තවමත් යාපනයට ලැබී නැති යුක්තිය පිළිබඳ සාක්ෂි දරති. ආයුධ සන්නද්ධ කණ්ඩායමක් යාපනයේ උදයන් පුවත්පත් කාර්යාලයට කඩා වැදී වෙඩි වරුසාවක් එල්ල කළේ 2006 වසරෙහි ලෝක ජනමාධ්‍ය දිනයට පෙරදා රැයෙහිය. ඉන් එහි මාධ්‍ය සේවකයන් දෙදෙනෙකු එතැනම මැරී වැටුණි. අපට එම පුවත ලැබෙන විට යුනෙස්කෝව විසින් වාර්ෂිකව පවත්වන ජනමාධ්‍ය නිදහසේ උත්සවය ආණ්ඩුවේ සහභාගිත්වය ඇතිව කොළඹ පැවැත්වෙමින් තිබුණි. අපද සිටියේ එහිය.
දුරකථන ඇමැතුම ලද වහාම කෙටි සාකච්ඡාවකින් පසු විරෝධය පා උත්සවයෙන් නැඟිට යෑමට අපි තීරණය කළෙමු. උත්සවයේ විස්තර ප්‍රචාරකයා අසලට ගොස් ඔහුගේ මයික්‍රෆෝනය අතට ගත් මම උදයන් පුවත්පතට එල්ල වූ ප්‍රහාරය සහ එහි විපාක සඳහන් කොට ඉවත යෑමට පෙර අපේ විරෝධය සටහන් කළෙමු.
එකී ප්‍රහාරකයන්ට උදයන් කාර්යාලයේ ආරක්ෂාවට යොදවා සිටි ආරක්ෂක අංශ නිලධාරීන් විසින් වෙඩි තබන ලදි. ඉන් දෙදෙනෙකුට තුවාල සිදුවිය. ප්‍රේම් කියන්නේ එම දෙදෙනා එකල රාජ්‍ය හමුදා සමඟ කටයුතු කළ ඊපීඩීපී සංවිධානයේ සාමාජිකයන් බවයි. ඔවුන්ගේ නම්ගම් ද පසුව ප්‍රසිද්ධියට පත්විය.
එසේ නමුත් අද වන තුරු මෙම ප්‍රහාරය හෝ උදයන් පුවත්පතට එල්ල වූ අනෙක් ප්‍රහාරයන් හෝ කිසිම පරීක්ෂණයක් වත්මන් ආණ්ඩුව විසින් හෝ සිදු කර නැත.
“ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැන ප්‍රගීත් එක්නැළිගොඩ ගැන පැහැර ගැනීම ගැන පරීක්ෂණ පැවැත්වීම සාධනීය වර්ධනයක්. අපි සතුටුයි. ඒත් ඇයි අප ගැන නොසොයන්නේ? අපට මෙරට සමාන අයිතිවාසිකම් නැති නිසාද?” යැයි උදයන් කතුවර තේවනායගම් ප්‍රේම්නාත් විමසයි.
මෙරට ජනමාධ්‍යවේදීන්ටම ඇරුණු ආණ්ඩුවට සම්බන්ධයක් නැති පුවත්පත් සමාජ කාර්යාලයක් ඇත්තේ යාපනයෙහි පමණි. එය ජේපීසී නමින් හැඳින්වෙන න්‍්බෛ් ඡරුි ක්‍කමඉ ය.
අප එහි ගියේ උදෑසනය. ඉක්මනින්ම අප හිතමිතුරු දයාපරන් රත්නම් පැමිණියේය. ඔහු එහි ප්‍රධානියාය. අනතුරුව එහි තවත් ප්‍රධානියකු වන අන්මුගරාසා සබේස්වරන් ද අපට එක්විය. ඔහු යාපන තිනක්කූරල් පුවත්පතෙහි ප්‍රවෘත්ති කර්තෘ ද වේ.
“අපි යාපන ජනමාධ්‍යවේදීන් 50 දෙනෙක් පමණ 2015දී කොළඹ ගිහින් ජනාධිපති, අගමැති, ජනමාධ්‍ය ඇමති යන හැමෝම හමුවුණා. අපි ඉල්ලීමක් කළා, අඩුම වශයෙන් ඝාතනය කරන ලද දෙමළ ජනමාධ්‍යවේදීන් තුන් දෙනෙක් ගැන හෝ පරීක්ෂණ ආරම්භ කරන්න කියලා. කොළඹදී සිදුකෙරුණු සිවරාම් ඝාතනය, මඩකළපුවෙහිදී සිදුවූ නඬේසන් ඝාතනය, යාපනයේදී සිදුවූ නිමලරාජන් ඝාතනය පිළිබඳ පරීක්ෂණ පවත්වන්නැයි අප කිව්වා. ඒත් අද වන තුරු එම පරීක්ෂණ ගැන කිසිදු තොරතුරක් නැහැ.”
ඔවුන්ගේ කටහඬෙහි ඇත්තේ සාධාරණ කේන්තියයි. “එවැනි සිදුවීම් තව කොච්චර තියෙනවාද?”
යුද සමයෙහි යාපනයේ නමදු ඊළනාඩු නම් පුවත්පතක් තිබුණි. එහි කළමනාකාර කර්තෘ වූ සින්නතම්බි සිවමහාරාජා 2006 අගොස්තුවෙහිදී ඝාතනය කරන ලදි. නමදු ඊළනාඩු එල්ටීටීඊ සංවිධානයට ලැදි පුවත්පතක් ලෙස සැලකුණි. පුවත්පත වැසී ගිය අතර 2009යෙන් පසු එම කාර්යාලය ත්‍රස්ත විමර්ශන අංශයේ කාර්යාලය බවට පත්විය. 2015 වත්මන් ආණ්ඩුව බලයට පත්ව කාර්යාලය පවත්වා ගෙන ගිය ගොඩනැගිල්ල එහි හිමිකරුට ලබාදී පුවත්පතට අයත්ව තිබූ මුද්‍රණ යන්ත්‍ර යනාදි සියල්ල පළාලි හමුදා කඳවුරට ගෙන යන ලදි.
‘මේකත් හරියට කන්කසන්තුරේ සිමෙන්ති පැක්ටරියේ යන්ත්‍ර සූත්‍ර යකඩවලට විකුණුවා වගේ වැඩක්. දන්නවාද ඒ යන්ත්‍රසූත්‍ර මිලට ගත්ත එක් මුස්ලිම් ව්‍යාපාරිකයෙක් 2013 පළාත් සභා මැතිවරණයට ශ්‍රීලනිපයෙන් තරග කළා. අයියෝ! ජන්ද 600ක් විතර තමයි ලැබුණේ” දයාපරන් සහ සබේශ්වරන් කියයි. “ඔහු ඡන්දයට දැම්මේ හමුදාවෙන්ලු!”
ඝාතනය කළ දෙමළ ජනමාධ්‍යවේදීන් ගැන තඹ දොයිතුවක් නොසලකන ආණ්ඩුව මෑතදී ඇතිවූ ‘ආවා’ ප්‍රචණ්ඩ ක්‍රියා ගැන කටයුතු කළේ ශීඝ්‍රගාමීවය.
“එස්ටීඑෆ් එකේ 400ක් විතර ‘ආවා’ ගැන සොයන්න ආවා. ඒ වටලෑම වාර්තා කරන්න ගිය ජනමාධ්‍යවේදීන්ගේ ඡායාරූප පොලිසිය එක දිගට ගත්තා. ඇයි? හමුදා සහ පොලිසි මානසිකත්වය තවම වෙනස් වෙලා නැහැ. ඔවුන් හිතන්නේ දෙමළ අප හැමෝම සැකකටයුතු ත්‍රස්තවාදීන් කියලාද? අපට කියන්න දකුණේ ජනමාධ්‍යවේදීන් සයිටම් වගේ පෙළපාලි ආවරණය කරන කොට මේ විදියට ජායාරූප ගන්නවාද කියලා? ඔබම කල්පනා කරන්න මෙතැන ලොකු වරදක් තියෙනවා නේද කියා.” දයාපරන් අපෙන් අසයි.
“අපට කියන්න බැහැ සම්පූර්ණ නිදහස යාපනයේ ජනමාධ්‍යට තියෙනවායි කියලා. ලියන්න තර්ජන හෝ බලපෑම් හෝ නැහැ. නමුත් ජනමාධ්‍ය ඝාතකයෝ නිදහසේ හැසිරෙනවා. අනිත් අතට පොලීසි හමුදා එක දිගට අපේ ජායාරූප ගන්නවා. මේ බියගැන්වීම නතර කරන්න කියා දකුණේ ජනමාධ්‍ය සංවිධානවලට ආණ්ඩුවට කියන්න, කියන්න.”
යුද සමයෙහි උදයන් පුවත්පතෙහි කොළඹ මුද්‍රණය වැනිවූ සුදර්ඔලි පුවත්පත සංස්කරණය කළ එන්. විද්‍යාතරන් දැන් යාපනයෙහි කාලක්කදීර් නම් පුවත්පතක් සංස්කරණය කරයි. එකල ජීවිතය බේරා ගැනීම පිණිස යාපනයෙහි උදයන් කාර්යාලයෙහිම නැවතී එම පුවත්පත සංස්කරණය කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කානමයින්නාදන් දැන් කාලක්කදීර්හි ප්‍රධාන කර්තෘය. ඔහු දැකීමත් සතුටට කරුණක් විය.
“ආණ්ඩුවට කියන්න මගෙන් පටන් ගන්න කියලා” යැයි සිය කාර්යාලයේදී විද්‍යාදරන් කතාව පටන් ගත්තේය. “දෙමළ ජනමාධ්‍යවේදීන් ඝාතනය සහ පැහැරගැනීම් ගැන සාක්ෂි තියෙනවා. නැත්තේ ආණ්ඩුවේ දේශපාලන කැපවීමයි.”
වැල්වත්ත පෙදෙසෙහි අවමඟුල් උත්සවයකට සහභාගි වෙමින් සිටි විද්‍යාතරන් නිල ඇඳුමින් සැරසුණ පොලිස් භටයන් දෙදෙනෙකු කැටුව ආ ඝාතක කල්ලියක් විසින් සුදු වෑන් රියකින් පැහැර ගන්නා ලද්දේ 2009 පෙබරවාරි 09දාය. පැහැර ගැනීම පිළිබඳ පුවත එසැණින්ම ලොව පුරා යැවීමට අපි සමත්වීමු.
ආණ්ඩුවට ගැලවීමට මඟක් අවශ්‍ය විය. ඒ වන විටත් පහරදී තිබූ විද්‍යාතරන් දෑස් බැඳ දෙමටගොඩ අසල කාණුවකට දමන ලද්දේ ඒ අනුවය. ඒ පසුපස ආ අනුර සේනානායකගේ පිරිස් විසින් යළි අත්අඩංගුවට ගත් විද්‍යාතරන් නිල වශයෙන් අත්අඩංගුවට ගත් බව ආණ්ඩුව නිවේදනය කළේය!. එදිනම ඕස්ටේ්‍රලියානු රූපවාහිනී මාධ්‍යවේදියකු අමතා එවකට ආරක්ෂක ඇමති වූ ගෝඨාභය රාජපක්ෂ “විද්‍යාතරන් ත්‍රස්තවාදියෙක්. අපි ඔහු අත්අඩංගුවට ගත්තා. පසුගියදා කොළඹට එල්ල වූ එල්ටීටීඊ ගුවන් ප්‍රහාරයට ඔත්තු දුන්නේ ඔහුයි. ඔහු ගැන කතා කළහොත් ඔබේ අතේත් ලේ ගෑවේවි.” කෑගැසුවේය. (ගෝඨාභය ජනාධිපති කිරීමට වළිකන බුද්ධිමතුන්ට ජයවේවා!). පැහැර ගැනීම ගෝඨාභයගේ වීරකමක් බව ඉන් සනාථ විය.
මෙම පැහැර ගැනීමට ආ පොලිස් නිලධාරීන් දෙදෙනා රංගනාදන් සහ විජේරත්නය. තවමත් පොලිස් සේවයේ සිටින ඔවුහු මේ අපරාධයේ සහායකයන් සහ සාක්ෂිකරුවන්ය.
“ඇයි ඉතින් ආණ්ඩුවට මේ තරම් පැහැදිලි සාක්ෂි තියෙන සිදුවීමක් පරීක්ෂා කරන්න බැරි? මම එක්නැළිගොඩ හෝ වික්‍රමතුංග කෙනෙක් නොවන නිසාද? මම දෙමළ. දෙමළ අපට මේ ආණ්ඩුවෙන් යුක්තියක් ඉටුවෙයි කියා සිතන්න පුළුවන්ද?” යන ප්‍රශ්නය යාපනයේ අප හමුවූ බහුතර ජනමාධ්‍යවේදීන් විසින් යළි යළි අසන ලද ප්‍රශ්නයයි. එනම් “අප දෙමළ නිසාද?” යනුය.
ඊට පිළිතුරක් ඔබට තිබේද?■