රාවය

රටේ වැඩිම පාඩු ලබන ව්‍යාපෘතිය පරිපාලනයයි | ජිනසිරි දඩල්ලගේ රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයේ හිටපු ලේකම්

රටේ වැඩිම පාඩු ලබන ව්‍යාපෘතිය පරිපාලනයයි | ජිනසිරි දඩල්ලගේ රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයේ හිටපු ලේකම්

ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර

ශ්‍රි ලංකාව්  රාජ්‍ය සේවයට විද්‍යාත්මක ප්‍රතිසංස්කරණ අවශ්‍යයයි කියන ප්‍රවාදය ඔබ නිතර මතුකරන්නක්. ලංකාවේ රාජ්‍ය සේවයේ ඔබ දකින ගැටලු මොනවාද?
ජාත්‍යන්තරයත් එක්ක සසඳලා බලද්දී අපේ රාජ්‍ය සේවය ඉන්නේ හරිම දුර්වල තැනක. ලංකාවේ පරිපාලනය, නැතිනම් රාජ්‍ය සේවය කියන එක ප්‍රතිසංස්කරණවලට අහු වුණ එකක් නෙමෙයි. රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරණය කරන්න යම් යම් අවස්ථාවල කිසියම් කතාබහ සහ යෝජනා සිදුවී තියෙනවා තමයි. ඒත් ඒ එකක්වත් විධිමත්ව සහ ක්‍රියාශීලීව සිදුවෙලා නෑ. ලංකාව ගැන මං නිතර හිතන එකක් තමයි, අපි පාඩු ගණන් ගන්නේ නෑ කියන එක. අපේ බොහෝ ව්‍යාපෘති පාඩු ලබනවා. ලංකාවේ වැඩිපුරම පාඩු ලබන ව්‍යාපෘතිය තමයි පරිපාලනය.
දැන් බලන්න දුම්රිය අතිශය පාඩුයි. තැපෑල අතිශය පාඩුයි. අධ්‍යාපනය සෞඛ්‍යය වගේ හැම දේම එහෙමයි. මේ දිහා බලද්දී පැහැදිලිව පෙනෙනවා මේවා මහජන මුදල් විශාල වශයෙන් නාස්ති කරනවා කියලා. පරිපාලනය කියන එක යල් පැනපු අකාර්යක්ෂම එකක් වෙද්දී අනික් අංශ පාඩු ලබන එක පුදුමයක් නෑ.
නොයෙකුත් විදේශ රටවලින් හා ආයතනවලින් අපේ රටට පරිපාලන ප්‍රතිසංස්කරණ හඳුන්වලා දෙන්න ගියාම දේශීයත්වය අගයන පිරිස් ඒවා ප්‍රතික්ෂේප කළා. ඒත් ඒ කාලවලදී ඒ ප්‍රතිසංස්කරණ භාවිත කළ ලෝකයේ අනික් රටවල් ඉතා ඉහළ මට්ටමකට ගියා. එංගලන්තය වගේ රටවල් පරිපාලන ප්‍රතිසංස්කරණ කෙරේ ඉතාම තදින් අවධාරණය කළ රටක්. එංගලන්තයේදීත් මේ දේ වැඩිපුර ම කළේ මාගරට් තැචර්. ඒ යුගය වන විට එංගලන්තය තුළ තිබුණේ අතිශ්‍ය ව්‍යාප්ත වුණ පරිපාලනයක්. ඒ හේතුවෙන් ඒ රටෙත් තැපෑල, දුම්රිය, ගමනාගමනය වගේ සියල්ල පාඩු ලබමිනුයි තිබුණේ. මේ බව දැක්ක තැචර් රාජ්‍ය සේවයේ ඵලදායී ප්‍රතිසංස්කරණයක් කළා.

දීර්ඝ කාලීන ඉතිහාසයේ සිට ම ලංකාව කියන්නේ සුබසාධනවාදී නැඹුරුවක් තියෙන රටක්. ඒ වගේ තත්ත්වයක් තුළ, සෞඛ්‍ය අධ්‍යාපනය, ප්‍රවාහනය වගේ දේවල් ලාභ ඉපයිය යුතු ව්‍යාපෘති හැටියට ගන්න එක හරිද?
ඒ දේවල් ලාභ ඉපයීමේ පරමාර්ථයෙන් සිදු නොවුණත් ලෝකයේ වෙනත් රටවල ඒ සඳහා කාර්යක්ෂම සහ ඵලදායී ක්‍රම හඳුන්වලා දීලා තියෙනවා.
උදාහරණයක් හැටියට අපේ සෞඛ්‍ය සේවය ගනිමු. අපි මේ සෞඛ්‍ය සේවය පවත්වාගෙන යන්න අතිවිශාල වියදමක් දරනවා. නමුත් ගැටලුව තියෙන්නේ ඒ සේවාව ඵලදායීව සිදුවෙනවාද කියන එකේ. නිසි කළමනාකරණ ප්‍රතිසංස්කරණ තුළින් මේවා රටට සේවය සපයන ආයතන බවට පත් කරන ගමන් ම රටට බරක් නැතිව ගෙනියන්න පුළුවන්. බොහෝ රටවල සිදුකරන්නේ ඒ දේ.
පාඩු ලබන ව්‍යාපෘතිවල තියෙන ප්‍රධාන අංග ලක්ෂණයක් තමයි ප්‍රමාණය කියන එක. සෞඛ්‍ය අංශය ම අරං අපි බැලුවොත් ඒ තුළ ඉන්න සේවක සංඛ්‍යාව ඇත්තට ම අදාළ සේවාව සඳහා අවශ්‍ය ප්‍රමාණය ද කියන ගැටලුව එනවා. අපේ බොහෝ රාජ්‍ය ක්ෂේත්‍රවල ඉන්න නිළධාරීන් ඒ ක්ෂේත්‍රය ගෙනියන්න ඇත්තට ම අවශ්‍ය සේවකයන් සංඛ්‍යාවට වඩා වැඩියි. ඒකට මූලික කාරණාව දේශපාලන ක්‍රමය.
ඒ වගේ අපි ළඟ නිදහස් සුබසාධන ක්‍රමවේදයක් තියෙනවා කිව්වාට ඇත්තට ම එහෙම ක්‍රමවේදයක් තියෙනවාද කියන එකත් ගැටලුවක්. අපේ සෞඛ්‍යය නිදහස් කිව්වාට ඒ තුළ සමානාත්මතාවක් නෑ. මුදල් තියෙන අයට පෞද්ගලික රෝහල් ක්‍රමයක් තියෙනවා. අනික් අයට රජයේ රෝහල් තියෙනවා. ඒ වාගේ ම රජයේ රෝහල් නිදහස් කිව්වාට ඒවා ඇත්තට ම නිදහස් ද කියන ගැටලුවත් තියෙනවා. ලෝකයේ බොහෝ දියුණු රටවල සෞඛ්‍යය තුළ මීට වඩා නිදහසක් තියෙනවා. බොහෝවිට ඒ අය තමාගේ පුරවැසියන් සඳහා සෞඛ්‍ය රක්ෂණ ක්‍රමයක් ගොඩනගලායි තියෙන්නේ. එතැනදී ඒ අය අනවශ්‍ය වියදමක් දැරීම අඩු කරලා වඩා දියුණු කළමනාකරණ ක්‍රමවේදයන් භාවිත කරනවා.

ප්‍රමාණාත්මකතාව කියන කාරණයට අමතරව ලංකාවේ ඵලදායීතාව ගැටලුවට පත් කිරීමට බලපාලා තියෙන අනික් සාධක මොනවද?
ඔතනදි වැදගත් තව සාධකයක් තමයි ඵලදායී නොවන සංයුතිය. ප්‍රමාණාත්මකතාව කියන කාරණය මේ ගැටලුව සම්බන්ධයෙන් කතා කරද්දි තරමක් හෝ අවධානයට ලක්වෙනවා. නමුත් ඵලදායී නොවන සංයුතිය කියන කාරණය ගැන කොයි වෙලාවෙවත් අපි කතා කරන්නෙ නෑ. උදාහරණයක් විදිහට දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයෙදී අපි පළාත් සභා පිහිටවනවා. අන්තිමට පළාත් සභාව සුදු අලියෙක් කිය කියා පවත්වාගෙන යනවා.
පළාත් සභාව කියන එක ගත්තාම පළාත් සභාවේ දේශපාලන ව්‍යුහයක් තියෙනවා. පළාත් සභාවේ සේවක ව්‍යුහයක් තියෙනවා. ඒ තුළ අමාත්‍යාංශ සහ ආයතන ඉන්නවා. ඒවාට පිරිසක් ඉන්නවා.
ඒ වගේ ම පළාත් සභාවට විශාල වියදමක් දරනවා. එහෙම තියාගෙන මධ්‍යම රජය විසිනුත් ඒ කාර්යයන් කරන්න දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා එවැනි ම ව්‍යුහයක් ගොඩනගලා තියෙනවා. මේ හේතුවෙන් එක ම කාර්යයක් කරන්න අපි සංඛ්‍යාව වැඩි, වියදම් වැඩි ඵලදායී නොවන ව්‍යුහයන් කීපයක් ගොඩනගලා තියෙනවා. ඒ වගේ ම මේ නිසා දෙපාර්ශ්වය තුළ සීතල ගැටුමකුත් ගොඩනැගිලා තියෙනවා. ඒ නිසා මේ දේ ප්‍රතිසංස්කරණයට ලක් වෙන්න ඕනෑ.

විද්‍යාත්මක පදනමකින් රාජ්‍ය සේවයේ සංයුතිය වෙනස් කරනවා කියලා මේ රජය බලයට පත්වෙද්දි කිව්වා අපිට මතකයි. ඉන් අදහස් වුණේ මේ කියන සංයුතිය ද?
සංයුතිය කිව්වාම ගොඩක් දේවල් කතා කරන්න පුළුවන්. සංයුතිය යටතට අහුවෙනවා අමාත්‍ය මණ්ඩලය, අමාත්‍ය මණ්ඩලයේ ස්වරූපය, අමාත්‍ය මණ්ඩලයේ ගැළපීම, මධ්‍යම රජයේ පරිපාලනය සහ පළාත් සභාවල පරිපාලනය, නගර සභා සහ ප්‍රාදේශීය සභා පරිපාලනය වගේ හැම දේවල් ම. මේ හැම දේම එකට ගලාගෙන යන ස්වරූපයට හදන්න ඕනෑ. ඒ විදියට සැලකිල්ලක් දක්වනවා නම් විශාල ප්‍රතිලාභයක් රටට ලබාගන්න පුළුවන්. ඒ වගේ ම විශාල වියදම් අවම කිරීමක් සිදු කරන්න පුළුවනි.

විධිමත් සංයුතියක් සැකසීමේදී ජ්‍යෙෂ්ඨ අමාත්‍ය සංකල්පය වැදගත් බව ඔබ මතුකරලා තිබ්බා?
එයින් මම අදහස් කළේ පර්ෂද අමාත්‍යාංශ ක්‍රමයක් ගොඩනැගීම. එක සමාන විෂයන් සහිත ආයතන මේ කියන ජ්‍යෙෂ්ඨ අමාත්‍ය කියන සංකල්පය යටතේ එකට කටයුතු කරන අයුරින් සැකසීම ගැනයි මම එතනදි අදහස් කළේ. ඇත්තට ම අමාත්‍යාංශ විද්‍යාත්මකව සැකසීමේ කාර්යය පිළිබඳ අපි දැන්වත් පුළුල් කථිකාවක් ආරම්භ කරන්න ඕනෑ.
බොහෝ අමාත්‍යාංශ, පර්ෂද අමාත්‍යාංශ ක්‍රමයක් යටතේ එකට වැඩකරනවා නම් ගොඩක් ගැටලු අවම කරගනිමින් ඉස්සරහට යන්න පුළුවන්. ඒ වගේම මේ ක්‍රමය යටතේ අමාත්‍යාංශ තිහකට විතර අමාත්‍යාංශ සීමා කරන්න පුළුවන්. ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා යටතේ සිටින ඒ ඒ විෂයට අදාළ සියලු අමාත්‍යවරු විකල්ප කැබිනට් අමාත්‍යවරුන් බවට පත් කළාම මේ කාරණය තවත් විසඳෙනවා. විකල්ප කැබිනට් අමාත්‍යවරු කියන්නේ ඒ ඒ විෂයට අදාළ කරුණු සාකච්ඡා වෙන දවසට අදාළ විෂයට අදාල අමාත්‍යවරයාට එම දිනයට කැබිනට් එකට සහභාගී වෙන මට්ටමට ප්‍රතිපාදන හදන එක. අපිට එහෙම කරන්න පුළුවන් නම් ඒක හොඳ ප්‍රතිසංස්කරණයක් වෙයි. මොකද එතකොට ඒ අනුව ආයතන හැඩගැහෙනවා. ආයතන ඒ විදිහට කටයුතු කරන්න උත්සාහ දරනවා. එවිට මහජන සේවය ගුණාත්මක වෙනවා. විශාල වියදමක් අඩු කරන්න පුළුවන්කම ලැබෙනවා.
උදාහරණයක් විදිහට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ගත්තොත්, අපිට පුළුවන් ඒක පරිපාලනමය පර්ෂදය විදිහට නම් කරන්න. එතන රාජ්‍ය පරිපාලන අංශය තියෙනවා. ස්වදේශ කටයුතු අංශය තියෙනවා. පළාත් පාලන අංශය තියෙනවා. භාෂා අමාත්‍යාංශය වගේ දේවල් තියෙනවා. මේවා වෙන වෙන අමාත්‍යාංශ විදිහට තියන්නෙ නැතිව ඔක්කොම එකට වැඩකරන අමාත්‍යාංශය

කළගුණ සැලකීමේ දේශපාලන සංස්කෘතියට අනුව තනතුරුවලට තෝරාගැනීමේදීත් දේශපාලනික නැඹුරුතාව බලපානවා. මේ කරුණ මෙතනදී බලපාන්නේ නැද්ද?
ඇත්ත. ඒ විතරක් නෙමෙයි මං කලිං කිව්ව ප්‍රමාණාත්මකභාවය කියන එකටත් ඔය කාරණේ බලපානවා. රටක ඵලදායිතාව ඉහළ නංවන්න නම් මානව සම්පත් භාවිතය ඉතාම වැදගත්. අමාත්‍යාංශ ලේකම්වරයාගේ සිට ආයතන ප්‍රධානියෙක් දක්වා තෝරාගන්නට අපේ රටේ විද්‍යාත්මක පදනමක් නෑ. බොහෝ රටවල මේ දේ සිදුවන්නේ කළමනාකරණ ප්‍රවේශයක් හරහා. ඒ මගින් ඔවුන් ඉතාමත් තදින් සලකා බලනවා යම් ආයතනයකට අවශ්‍ය කුමන හැකියාවක් තියෙන පුද්ගලයින් ද කියන එක. ලංකාවේ මේ සඳහා භාවිත වෙන්නේ ගතානුගතික ප්‍රවේශයන්. ඒ සමහරක් වෙලාවට ඔහුගේ දේශපාලනික සබඳතා. නැතිනම් ඔහුගේ ජ්‍යෙෂ්ඨත්වය.
යම් ආයතනයකට අවශ්‍ය මොනවගේ හැකියාවන් තියෙන පුද්ගලයෙක්ද මොන වගේ කුසලතාවන් තියෙන පුද්ගලයෙක්ද කියලා තක්සේරු කරලා ඒ දේ මනින්න පුළුවන් ක්‍රමවේදයක් සැකසෙන්න අවශ්‍යයි. එවැනි පුද්ගලයෙක්ට පැහැදිලි වගකීම් හා ඉලක්ක ලබාදීලා ඔහුට නිසි පරිදි වැඩ කරන්න ඉඩ හදන්න අවශ්‍යයි. එවැනි පදනමකින් තෝරා නොගත් කළමනාකරුවෙක් ඒ ආයතනය වෙනස් කරන්න, ආයතනයට අලුත් දේවල් හඳුන්වාදෙන්න සහ ආයතනය නිර්මාණශීලීව ගොඩනගන්න ඉදිරිපත් වෙන්නෙ නෑ.■