උතුරේ කුල විරෝධී දේශපාලනය: සොහොන් බිම්, කුලය හා කොමියුනිස්ට්වාදය

නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂයේ ලේකම් එස්.කේ. සෙන්තිවේල් සමඟ අහිලන් කදිරගාමර් කළ සාකච්ඡාවක්

අරගලයේ හදවත විදියට තිබෙන පුතුර් සහ කෙලෙයිමති ගම සම්බන්ධයෙන් ඔබට ඉතාමත් දිගු ඉතිහාසයක් තියෙනවා. ඔබ මේ ගැටුම පිළිබඳ කතා කළොත්?
කෙලෙයිමති ගමේ පවුල් 700ට ආසන්නව ජීවත් වන අතර 4500ක් පමණ ගම්වැසියන් සමාජ සාධාරණත්වය සඳහා මහජන ව්‍යාපාරයේද සහාය ඇතිව සත්‍යග්‍රහය දිගටම පවත්වාගෙන යනවා. ඇත්ත වශයෙන්ම අනෙකුත් ගම්වලට සාපේක්ෂව මෙහි තියෙන්නේ වෙනස් ආකාරයක ක්‍රියාකාරීත්වයක්. එක දිගට ක්‍රියාත්මක වන ප්‍රජා ආයතනය, කාන්තාවන්ගේ සංගමය, ක්‍රීඩා සමාජ හා අනෙකුත් ගමේ ආයතන එක දිගට සිය නායකත්වය දෙමින් තිබෙනවා මෙන්ම මේ මිනිසුන්ගේ මැදිහත්වීමට අදාළ දේශපාලනික චින්තනයක් තිබෙනවා. මෙම අරගලයේ පදනම තමයි අවුරුදු සිය ගණනකට පෙර සිට මෙම මිනිසුන් කුලය පදනම් කොටගෙන පීඩාවට ලක් කර තිබීම.

මේ ගැමියන් ඉවත් කිරීමට අවශ්‍ය වන සුසාන භූමියේ ඉතිහාසය ගැන පැහැදිලි කරන්න පුළුවන්ද?
සුසාන භූමිය ඉතාමත්ම පැරණියි. ඒ කාලයේ මේ අවට මිනිසුන් පදිංචි වී සිටියේ නැහැ. ඒ අවට තිබුණු භූමිවල වගා කටයුතු කෙරෙමින් තිබුණේ නැහැ. එහෙත් දශක කිහිපයකට කලින් ආණ්ඩුවේ පදිංචි කිරීම්වලට පර්චස් 150ක විතර භුමි භාගයක් ලක් වූ අතර ගම්වැසියන් එහි පදිංචි වුණා. ඒ අනුව ඉඩම් හිඟකම නිසා සහ සීමා මායිම් ලකුණු කරලා නැති නිසා අනෙකුත් ගම්වැසියනුත් ටිකෙන් ටික සුසාන භූමියට අදාළ ඉඩමේ ගෙවල් හදන්න ගත්තා. මේ පදිංචිවීම් නිසා 2000දී විතර පාරසරික ප්‍රශ්න ඇතිවෙන්න ගත්තා. මිනී පිච්චීම නිසා අළු සහ දුම විසින් ගම්වැසියන්ට ප්‍රශ්න ඇති වුණා. සත්තු ඉති වුණ මිනී කොටස් අරන් එහෙ මෙහෙ දුවන්න ගත්තා. මිනිස්සු සුසාන භූමිය එතැන තියෙනවාට විරුද්ධ වුණා. 2010දී විතර වන විට විශාල ලෙස ඊට විරුද්ධ වෙන්න ගත්තා. සමහරවිට අන්තිම මිනිය පුච්චන්න ඇත්තේ මීට අවරුදු තුනකට හතරකට විතර කලින්. මේ අවුරුද්දේ මුල එක මිනියක් රැගෙනවිත් තිබුණා. ඒත් මිනිස්සු ඔවුන්ව එකඟ කරගෙන තිබුණා ඒක පුච්චන්න පදිංචිකරුවන්ට ඈතින්. ඒ අනුව ඉහළ කුලයක මිනියක් නැවත හරවා යැවීම නිසා සමහරක් අයට ඒක ටිකක් අපහසු කාරණයක් වුණා සහ ඔවුන්ට අවශ්‍ය වෙලා තිබුණා මේ පිළිබඳ ඔවුන්ගේ අදහස කියන්න. ඊළඟට පීඩිත කුලයක කෙනෙකුගේ මිනියක් රැගෙනවිත් තිබුණා. ඒකත් හරවා යවා තිබුණා ඉහළ කුලයක පිරිස් විසින්. ඒ අනුව මේ තත්ත්වය ටිකක් ගැටුමකට මග පෑදුවා. අධිකරණයයි පොලිසියයි මේ ගැන මැදිහත් වුණා. විනිශ්චයකාරතුමාට අවශ්‍ය වෙලා තිබුණේ ලොකු තාප්පයක් බඳින්න ආදාහනගාරයක් එක්ක. ගැටුම උත්සන්න වෙද්දී ගම්වැසියන්ගේ බලවත් විරෝධය මැද්දෙත් බාගෙට හදලා තිබුණ තාප්පේ ගම්වැසියන් විසින් කඩලා දැම්මා. මෙය විසින් තත්වය තවදුරටත් බරපතළ කළා සහ පොලිසියේ මැදිහත්වීම වැඩි කළා.

මේ ගමේ අයගේ අධ්‍යාපන මට්ටම’සහ රැකියාවන් මොනවාද?
මෑතකදී තමයි සිසුන් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ කරන්න පටන් ගත්තේ. ඒකෙන් පෙනෙනවා ගමේ තිබෙන අධ්‍යාපනික තත්ත්වයේ පසුගාමීත්වය. කිලෝ මීටර් බාගයකටත් වඩා ළඟින් තිබෙන පුත්තුර් සමස්කන්දේ විද්‍යාලයට පවා 1975 වෙනකම් ඔවුන්ට ඇතුළු වෙන්න නොහැකි වුණා. ඒ නිසාම”ඔවුන්ගේ අධ්‍යාපනික මට්ටම පහළයි තිබුණේ. බොහෝ සිසුන් ඔවුන්ගේ අධ්‍යාපනය පහ වසරෙන් ඉවර කරනවා. ඒත් දැන් තරුණ ගැහැනු ළමයෙක් ඉන්නවා විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කළ. දැන් අධ්‍යාපනය සඳහා බොහොම උනන්දුවක් තිබෙනවා ගමේ.

මම දැකලා තියෙනවා කාන්තාවන් වැඩට යනවා ගොවිපොළවල වැඩ කරන්න. කම්කරුවන්ගේ සමාජ හා ආර්ථික තත්ත්වයන් මොනවාද සහ ඔවුන්ගේ වැටුප්වල ස්වභාවය කුමක්ද?
කෘෂිකාර්මික වැඩවලට කාන්තාවන් සම්බන්ධ වීම අතවශ්‍ය වෙලා තියෙනවා. මොකද පිරිමින් විසින් උපයන මුදල ප්‍රමාණවත් නැහැ. කාන්තාවන් ළුෑනු වගා කිරීම හා ඒවායේ පල නෙලීම සඳහා සම්බන්ධ වෙනවා. කෙසේ වුවත් කාන්තාවන් සහ පිරිමින් අතර වැටුප් අතර විශාල පරතරයක් තියෙනවා. පිරිමියෙක්ට දවසට රුපියල් 900ක් ලැබෙනවා නම් ගැහැනියකට ලැබෙන්නේ ඒකෙන් බාගයක විතර.
මේ ගමේ මුලික ප්‍රශ්නයක් තමයි ඉඩම් නැතිවීම. ඉඩම් නැතිකම කුල පීඩනය සහ ආර්ථික පසුබෑම අඩු වැටුප් ලැබීම වගේ දේවලින් පන්තියක් විදියට ඔවුන් පීඩාවට පත්කෙරෙනවා.
මේ සන්දර්භය ඇතුළේ 1979 කාලයේ කුල හිංසනයට අදාළ සිද්ධියක් සිදුවෙනවා. ඉහළ කුල මැරයන් පිරිසක් විසින් පහළ කුලවල පිරිසක් ඔවුන්ගේ ළිංවලින් වතුර අරගෙන කියලා ඉතාමත් හිංසනීය විදියට ඔවුන්ට පහර දෙනවා.
පීඩිත කුලවල ජනයා ජීවත් වෙන්නේ බයෙන්. ඒ අය පවසාවි: අපි ජීවත් වෙන්නේ ඒ අයගේ ඉඩම්වල, අපි ජීවත් වෙන්නේ ඒ අයගේ ගස් යට, ඒ නිසා අපිට ඔවුන්ට එරෙහි වෙන්න බැහැ කියලා.
මේ සිද්ධියට පස්සෙයි අපි මේ ගමේ වැඩ කරන්න ගත්තේ. කුල සම්බන්ධයෙන් දැඩි ස්ථාවරවල සිටි තරුණ පිරිස 12 දෙනෙක් විතර ඔවුන්ගේ අසීරුතාවන් ගැන අපි එක්ක කතා කළා. අපි ඔවුන් සමඟ බෙදාගත්තා අපට කළ හැකි දේවල් සහ ගමේ බොහෝ දෙනෙක්ගේ සහාය නැතිව කිසිවක් කළ නොහැකි බවත් අපිට කුල පීඩනයට, ඉඩම් ලබාගැනීමට, වැටුප් වැඩි කරගැනීමට කිසිවකට එරෙහිවෙන්න බැරි බවත්.
ඔවුන් රැකියාවට ගියාම තේ සහ පාන් දෙනවා. නමුත් තේ දෙන්නේ පොල්කට්ටේ නැත්නම් බාගෙට කපපු බෝතල්වල. ඒත් මිනිස්සු එකපාරට මේ වගේ භාවිතයන්ට විරුද්ධ වෙන්නේ නැහැ. අපිට මුලින් සංවිධානය වෙන්න වුණා කැපකිරීමක් ඇති තරුණයන් සමඟ. අපි ඔවුන්ට කිව්වා ප්‍රජා මධ්‍යස්ථානයක් හදන්න කියලා. ඒ තරුණ පිරිස අපි ඒත්තු ගැන්නුවා. ඒ අය තරුණ කණ්ඩායමක් හදලා අපි එක්ක වැඩ කරන්න පටන් ගත්තා. ප්‍රජා මධ්‍යස්ථානය සාර්ථක වුණා පක්ෂෙට සම්බන්ධ අයයි ගමේ අනෙකුත් පිරිසයි එක්ක ඒක කරගෙන ගියා.

මොන වගේ අරගලද මේ ගමේ මුලින් ක්‍රියාත්මක වුණේ?
ඒ කාලයේ මේ ගමේ පවුල් පන්සියක් විතර හිටියා. ඒ අයට පාරක් අවශ්‍ය වුණා ගමට යන්න. ලෙඩෙක් හෝ ගැබිනියක් හෝ රෝහලට ගෙනියන්න අවශ්‍ය වූ විට මිනිස්සුන්ගේ වතු උඩින් සහ අඩිපාරවල් දිගේ තමයි වාහනයක් හමුවෙනකම් යන්න වුණේ. මේ ගැන අපි ඉඩම් අයිතිකරුවන්ගෙන් ඇහුවා. ආණ්ඩුවේ නිලධාරීන්ගෙනුත් ඇහුවා. අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පවා කතා කළා. ඒ හැමෝම කිව්වේ’කිසිවක් කරන්න බැහැ කියලයි.
ඒ අනුව අපි ගම්වැසියන්ට තත්ත්වය පැහැදිලි කළා. අපි පාර සඳහා සිතියමක් ඇන්දා. සමහර මානුෂීය දැනුවත්භාවයක් ඇති පිරිස අපිට පාරට අදාළ ඉඩම් දුන්නා. ගැහැනුන් සහ පිරිමින් දෙගොල්ලොම 1000ක් විතර එකතු වෙලා රැයක් පුරා වැඩ කළා. අපි වැලි ට්‍රැක්ටර් 10ක් දුන්නා. ඒ වැලි ඉඩම් අයිතිකරුවන්ගේ ඉඩම්වල අතුරා එක රැයින් පාරේ මූලික අඩිතාලම දැම්මා.
ඊළඟ දවසේ උදේ ඉඩම් අයිතිකරුවන් විශාල වශයෙන් අර්බුදයට ගිහින් ප්‍රශ්න ඇති කරන්න ගත්තා. ඒ අය පොලිසියට කතා කළා. සින්නම්මා කියලා කාන්තාවක් පොලිසිය අත්අඩංගුවට අරන් රිමාන්ඞ් බාරයේ තැබුවා. ඒත් ගමේ ගැහැනු තමන්ගේ කාර්යභාරය ගැන සැලකිලිමත් වෙමින් මේ වැඬේට සම්බන්ධ වෙන්න ගත්තා. කලෙකදී ඉඩම් අයිතිකරුවන්ට කළ හැකි යමක් තිබුණේ නැහැ. ඒ අනුව අපි පාර විවෘත කරලා ගමට නම තිබ්බා කෙලෙමතිවල කියලා.

ඉඩම් සඳහා තිබුණේ මොන වගේ අරගලයක්ද? ඒ වගේම කෙලෙමතිවල නිවාස සෑදීම සඳහා ඉඩම් ඔවුන් දිනා ගත්තේ කොහොමද?
ජනතාවට ඉඩම් කිසිවක් තිබුණේ නැහැ. ඉඩම් බොහොමයක් අයත්ව තිබුණේ මලයරාවන් නම් බලගතු ඉඩම් හිමි පවුලට. ඒ ඉඩම්වල ජීවත් වූ පවුල්වල අයට තමාට තිබුණු සුළු ඉතුරුම් පාවිච්චි කරලා ඒ ඉඩම්වල කුඩා සිමෙන්ති නිවාස ඉදිකිරීමට අවශ්‍ය වුවත් ඉඩම් හිමියන් ඊට අනුමැතිය දුන්නේ නැහැ. 1990 ගණන්වල ඉඩම් ප්‍රශ්නය මත සංවිධානය වීම් හටගත්තා. හැබැයි ඒ ප්‍රශ්නය විසඳන්නේ කොහොමද යන්න ගැන විවිධ ප්‍රවේශයන් තිබුණා. ඉඩම් ඔප්පු තිබුණේ ඉඩම් හිමියන් අත. අදාළ ඉඩම් මිල දී ගැනීම සඳහා ඒවායේ පදිංචිව සිටින අය වෙත පිරිනැමිය යුතු බවට අන්තිමේ දී තීරණය වූවා. ඉඩම්වල පදිංචිකරුවන් සංවිධානය වී සිටින බවත් ඔවුන්ව එලවා දැමීම කළ නොහැකි බවත් ඒ වෙනකොට ඉඩම් හිමියන් තේරුම් අරගෙනයි තිබුණේ. එම නිසා සුළු මුදලකට ඉඩම් විකුණා දැමීමට ඔවුන් එකඟ වුණා. පක්ෂය යෝජනා කළා එක් පවුලකට හිමි විය යුතු ඉඩම්වල උපරිම ප්‍රමාණය සම්බන්ධ යම්’සීමාවක් දැමීමට. ඒ හැම පවුලකටම ඉඩමක් ලැබීම සහතික කිරීමට.
මෙම ගම්මානය බීමත්කමට ඇබ්බැහිවීම හා වෙනත් එවැනි දෑ සම්බන්ධයෙන් කුප්‍රකටව පැවතුණා. අපිට අවශ්‍ය වුණා ඒ තත්වය වෙනස් කරන්නට. අපි විවිධ ක්‍රියාකාරකම් හඳුන්වා දෙන්නට උත්සාහ කළා. පාපන්දු හා වොලිබෝල් වගේ ක්‍රීඩා ප්‍රචලිත කිරීමට අපි මැදිහත් වූවා. ඒ වගේම වැඩිහිටි’සාක්ෂරතාව නැංවීම සඳහා පංති පටන් ගත්තා. මේ වගේ දෛනික ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් විදිහටයි ගම පරිවර්තනයකට ලක්වූයේ.

1960 ගණන්වල හා 1970 ගණන්වල මුල් යුගයේ කෝවිල්වලට ඇතුළුවීම සහ සමාන ආසන ලබාගැනීමේ අයිතිය වෙනුවෙන් වූ විශාල කුල-විරෝධී අරගලවලට කොමියුනිස්ට් පක්ෂය නායකත්වය දුන්නා. බොහෝ ගම්මානවල මේ වගේ සටන් පැනනැංගා. හැබැයි මෙබඳු කුල-විරෝධී හා වෙනත් ප්‍රගතිශීලී සංවිධානය වීම් අඛණ්ඩව ඉදිරියට ගියේ නැහැ. පුතූර්වල ඔබේ පක්ෂයට පදනමක් තිබෙන නමුත් අනෙක් ගම්මානවල වාමාංශය පසුබැස යාමට හේතු වූයේ කවර හේතු කාරණාද?
අපි පුතූර්වල වැඩ කරන්ට පටන් ගැනීමට බොහෝ කාලයකට පෙර තමයි කොමියුනිස්ට් පක්ෂය කුල විරෝධී ව්‍යාපාරය ආරම්භ කළේ. ඒ 1966 ඔක්තෝබරයේදී. විවිධ ගම්මානවලින් දහස් ගණන් ජනයා එම අරගලයට සම්බන්ධ වූවා. චන්ගනෛ, මඩුවිල්, නෙල්ලඅඩි, අල්වෛ, පේදුරු තුඩුව, මන්දුවිල් හා පොලියන්ඩි ආදී ගම්මානවල අපගේ පක්ෂය හා සම්බන්ධ වූ සාමාජිකයන් සිටියා. 1966 සහ 1971 කාලය තුළ දියත් වූ මේ ව්‍යාපාරය අතරතුර පහළොවකට ආසන්න පිරිසක් මැරුම් කෑවා. මේ සටන්වල ශක්තිය මත පදනම්ව පක්ෂය උත්සාහ කළා ප්‍රධාන පෙළේ ඉඩම් අරගලයක් දියත් කිරීමට, එනම් ඉඩම් අහිමි ජනයාට නිවාස ඉදිකිරීම හා ජීවිකාව කරගැනීම සඳහා ඉඩම් සඳහා වූ සටනක්. එහෙත් 1971 ජනතා විමුක්ති පෙරමුණේ අප්‍රේල් කැරැල්ලට පසු රට තුළ ඇති වූ මර්දනකාරී තත්ත්වය අපගේ පක්ෂයට අහිතකර ලෙස බලපෑ බව කිව හැකියි. අපගේ නායකයන් බොහෝ දෙනෙක් අත්අඩංගුවට පත් වූ අතර අප අතරින් තවත් ඇතැමෙක් වසරකට අධික කාලයක් සැඟවී සිටියා.
අනෙක් සාධකය තමයි, 1970 ගණන්වල සිදුවූ දෙමළ ජාතිකවාදයේ නැගීම. ප්‍රමිතිකරණය සහ දමිළ ශිෂ්‍ය ව්‍යාපාරයේ නැගීම සමඟ ඒ යුගය වන විට දෙමළ ජාතිකවාදය බලගතු වෙමින් තිබුණා. අමිර්තලිංගම්, සිවසිදම්බරම් හා නාගනාදන් ආදි පසුගාමී දෙමළ ජාතිකවාදී නායකයන් 1970 මහ මැතිවරණයේ දී පරාද වූවා. ඔවුන් දෙමළ ඊලම පිළිබඳ ඉල්ලීම මතින් ආපසු ඒමට උත්සාහ කරමින් සිටියා. පටු වාර්ගික දේශපාලනයක් ඉදිරියට ගැනීම සමග ඊට සමගාමීව වාමාංශය එමගින් පරාජය කිරීමත් ඔවුන් අරමුණු කළා. දෙමළ තරුණයන් අවි ගැනීම ආරම්භ කළ විට, ඒ වනවිටත් රැඩිකල්කරණයට ලක්වී සිටි පීඩිත කුලවල තරුණයන් මේ සංවිධානවලට සම්බන්ධ වූ අතර වාමාංශික සටන් පාඨ ඔවුන් විසින් ඉදිරියට දැම්මා. ඒ වගේම විවෘත ආර්ථිකයත් සමඟ ගම්මානවල ජීවත් වූ බොහෝ අය විදේශගත වීම සිදුවුණා. මේ විදිහට දේශපාලන අවකාශය අපට අවාසිදායක ලෙස සංකෝචනය වෙමින් තිබුණු අතර අපට පුළුවන් ලෙස ඒ සීමිත අවකාශය තුළ අපි ක්‍රියාත්මක වූවා. පුතූර්වල අපගේ වැඩ ජනයාගේ අවශ්‍යතා ඉටු කරගැනීම සදහා ඔවුන්ට උදවු උපකාර කිරීම කෙරෙහියි අප කේන්ද්‍රගත කළේ. වැදගත් තීරණ ගැනීමේ දී ගැමියනුත් අපගේ අදහස් ලබාගන්නවා.■
(පරිවර්තනය: ගීතිකා ධර්මසිංහ)