රාවය

නාවික හමුදාපති ධුරය: බජාර් චණ්ඩියෙකු තවදුරටත් අවශ්‍ය නැත

නාවික හමුදාපති ධුරය: බජාර් චණ්ඩියෙකු තවදුරටත් අවශ්‍ය නැත

ලසන්ත රුහුණගේ

තනතුරුවලට පුද්ගලයන් පත්කිරීමේදී යහපාලනයට කිසිසේත් නුසුදුසු පුද්ගලයන් පත්කිරීම අතින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි. ඊට ඇති අතීත උදාහරණ ඕනෑ තරම්ය. ඒවා එකිනෙක සාකච්ඡා කිරීම මෙහි අරමුණ නොවේ. එහෙත් ඔහු අබිමුව මේ මොහොතේ මතුවී ඇති පත්කිරීමක් ගැන සාකච්ඡා කිරීම මෙහි අරමුණය.
ඒ වත්මන් නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට තවදුරටත් සේවා දිගුවක් ලබාදෙනවාද නැතිනම් නව නාවික හමුදාපතිවරයෙකු පත්කරනවාද යන කාරණාවය. සේවා දිගුවක් ලබාදීම යන්නද යම් තනතුරකට තවදුරටත් පුද්ගලයෙකු පත්කිරීම හා සමානය. වත්මන් නාවික හමුදාපතිවරයාද තමාට තවදුරටත් සේවා දිගුවක් ලබාදෙන ලෙස සේනාධිනායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලා ඇති අතර මේ වනවිට නාවික හමුදාපතිවරයා සිටින්නේද මීට පෙර ඔහුට ලබා දුන් මාස හයක සේවා දිගුවක් මතය. එම සේවා දිගුව 2017 අගෝස්තු 22 අවසන් වන අතර නාවික හමුදාපති ධුරය තවදුරටත් වත්මන් නාවික හමුදාපතිවරයාට හිමිවේද යන්න හෝ නව නාවික හමුදාපතිවරයෙකු පත්කරාවිද යන්න ඒ අනුව තීරණාත්මකය.
මෙහිදී පත්වීම් බලධාරියා වශයෙන් ජනාධිපතිවරයාට තෝරාගත හැකි අවස්ථා දෙකක් තිබේ. ඒ වත්මන් නාවික හමුදාපතිවරයාට තවදුරටත් සේවා දිගුවක් ලබාදීම හෝ නව නාවික හමුදාපතිවරයෙකු පත්කිරීමය. ඉන් පළමුවැන්න ගැන සලකා බැලීමේදී වත්මන් නාවික හමුදාපතිවරයාට තවදුරටත් සේවා දිගුවක් ලබාදීම කිසිසේත් යහපාලනයකට සුදුසු පත්කිරීමක් නොවන බව කිවයුතුමය. මන්ද හම්බන්තොට සේවක උද්ඝෝෂණයේදී එය ආවරණය කරමින් සිටි ජනමාධ්‍යවේදියෙකුට බජාර් චණ්ඩියෙකු විලසින් පහර දුන් පුද්ගලයා වත්මන් නාවික හමුදාපතිවරයා වන බැවිනි. මාස අටක කාලයක් ගතවීත් එම පහරදීම සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග ගැන දැනගන්නට ලැබී නැති අතර එම පහරදීමට එරෙහිව එසමයේ නැගී ආ විරෝධතා හමුවේ ඒ සම්බන්ධයෙන් විවිධ පරීක්ෂණ කරනවායැයි කීවද එම පරීක්ෂණවලට සිදුවූයේ කුමක්ද යන්න දන්නා කිසිවකුත් දැන් නැති තරම්ය. පහර දුන් චූදිතයා වූ නාවික හමුදාපතිවරයාගෙන්ම එම සිදුවීම සම්බන්ධයෙන් හොරාගේ අම්මාගෙන් නොව හොරාගෙන්ම පේන ඇසීමේ නව ක්‍රමවේදයක් හඳුන්වාදෙමින් ජනාධිපතිවරයා වාර්තාවක් කැඳවූ අතර ඊට අමතරව පොලිස් පරීක්ෂණද සිදුකරනවායැ’යි කියනු ලැබීය. එහෙත් ඒවාට සිදුවූ දෙයක් නැත. දැන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවා කියන්නේ එම පහරදීමේ සිදුවීම පිළිබඳ කිසිදු පරීක්ෂණයක් පොලිසිය සිදුනොකරන බවය. ඊට හේතු වශයෙන් ඔහු කියන්නේ ඒ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි සියල්ලම ඉල්ලා අස්කරගෙන ඇති බවය. එහෙත් පසුගිය සතියේ රාවය හෙළිදරව් කළ පරිදි එම සිද්ධියෙන් පහරකෑමට ලක්වූ ජනමාධ්‍යවේදියා ඔහුගේ පැමිණිල්ල ඉල්ලා අස්කරගෙන නැත. ඔහු විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමද තවම පවතී. එමෙන්ම එම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට කළ පැමිණිල්ලද තවම තිබේ.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී සිදුවූ මෙම පහරදීමේ අවස්ථාව වනවිට නාවික හමුදාපතිවරයා සිටියේ වයස අවුරුදු 55 සම්පූර්ණවීම නිසා 2017 පෙබරවාරි 22 දින විශ්‍රාම යෑමටය. ඔහු ඒ වනවිට වසරක සේවා දිගුවක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබූ අතර පහරදීමේ සිදුවීමත් සමඟ පැන නැගුණු විරෝධයේ ඉල්ලීම වූයේ එවැනි බජාර් චණ්ඩියකු නාවික හමුදාපති තනතුර වැනි ගරු කටයුතු තනතුරකට සුදුසු නොවන බැවින් ඔහුට තවදුරටත් සේවා දිගුවක් ලබා නොදිය යුතු යන්නය. යහපාලන ආණ්ඩුවක් කෙසේ වෙතත් මොනම පාලන කාලයකදී වුවත් එවැනි ගරු කටයුතු තනතුරකට බජාර් එකේ චණ්ඩියෙකු වැනි පුද්ගලයෙකු කිසිසේත් සුදුසුවන්නේ නැත. ඔහු කෙතරම් දක්ෂ නිලධාරියෙකු වුවත් ඔහුගේ එම ප්‍රසිද්ධ චණ්ඩි හැසිරීම එවැනි තනතුරකට කෙදිනකවත් සුදුසු එකක් නොවන නිසාය.
එහෙත් මේ සියලු විරෝධතා හා නුසුදුසුකම් තිබියදී ජනාධිපතිවරයා කළේ මාස හයක කාලයකට ඔහුට සේවා දිගුවක් ලබාදීමය.
දැන් නැවතත් ජනාධිපතිවරයා එම අවස්ථාවටම මුහුණ දී තිබේ. ඒ ඔහුට සේවා දිගුවක් ලබාදෙනවාද නැද්ද යන්න පිළිබඳවය. එසේ සේවා දිගුවක් ලබා නොදෙන්නේ නම් ඇති ඊළඟ විකල්පය නව නාවික හමුදාපතිවරයෙකු පත්කිරීමය. ඒ සඳහාත් නාවික හමුදාව පාර්ශ්වයෙන් ජ්‍යෙෂ්ඨයන් දෙදෙනකුගේ නම් කියැවේ. එක් අයෙක් වත්මන් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහය. අනෙක් පුද්ගලයා රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියාය. මේ අතරින් ට්‍රැවිස් සින්නයියා යනු 2009 ජනාධිපතිවරණයෙන් පසු පළිගැනීමට ලක්වේය යන අදහසින් නාවික හමුදාවෙන් ඉවත්ව ගොස් යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු නැවත නාවික හමුදාවට පැමිණි පුද්ගලයෙක්ය. හරියටම වත්මන් යුද හමුදාපති මහේෂ් සේනානායක වැනිය. (මහේෂ් සේනානායක ඉවත්ව ගියේ නැති අතර රාජපක්ෂවරුන් විසින් ඔහු ඉවත් කරන ලදි.) ඔහුත් නැවත යුද හමුදාවට ආවේ වත්මන් යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුවය. ට්‍රැවිස් සින්නයියා එසේ ඉවත්ව නොගියේ නම් සේවා කාලය අනුව නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨයා වන්නේ ඔහුය.
ඒ අනුව ඊළඟට සිටින සුදුසු පුද්ගලයකු නාවික හමුදාපතිවරයා වශයෙන් පත්කිරීමේ හැකියාව ජනාධිපතිවරයාට ඇත. එහිදී ට්‍රැවිස් සින්නයියා නාවික හමුදපතිවරයා වශයෙන් පත්කළහොත් එය තවත් පැත්තකින් යහපාලන සංහිඳියා සංකේතයක්ද වනු ඇත. ඒ ඔහු දමිළ ජාතිකයෙකු වන නිසාය. දේශපාලනයේ ඉහළ තනතුරු වන ජනාධිපති අගමැති වැනි තනතුරුවලට හා රජයේ අනෙකුත් තනතුරුවලටද බහුතරයේ නොවන සුළුතර ජාතියට අයත් පුද්ගලයන් පත්නොවීමේ ඛේදවාචකයක් පසුගිය දශක ගණනාව පුරා අප අත්දකිමින් සිටිමු. දේශපාලන බලය පිළිබඳව ගත් කල සුළු ජාතීන් වෙනුවෙන් උපජනාධිපති ධුර ඇති කළ යුතු බවට පසුගිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනවලදී ඉල්ලීම් ඉදිරිපත් වූයේද ඒ නිසාය.
නිදහසින් පසු 1950 සිට ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසය ගත් කල වත්මන් නාවික හමුදාපති ඇතුළු නාවික හමුදාපතිවරුන් විස්සක ප්‍රමාණය අතර මීට පෙර නාවික හමුදාපති ධුරය දරා ඇත්තේ එක් දමිළ ජාතිකයෙකු පමණය. ඒ 1960ත් 1970ත් අතර කාලයේ නාවික හමුදාපති ධුරයේ දැරූ රියල් අද්මිරාල් ආර්. කදිරගාමර් පමණය. ඔහු එල්ටීටීඊය විසින් ඝාතනය කරන ලද හිටපු විදේශ කටයුතු අමාත්‍යවරයෙකු වූ ලක්ෂ්මන් කදිරගාමර්ගේ සහෝදරයෙකි. බර්ගර් ජාතිකයන් නාවික හමුදාපති ධුරය දරා තිබුණද මුස්ලිම් ජාතිකයෙකු ඒ අතර හමුවන්නේම නැත.
ශ්‍රී ලංකා යුද හමුදාව ගත් කලද නිදහසින් පසු 1949 සිට වත්මන් යුද හමුදාපතිවරයා දක්වා වූ යුද හමුදාපතිවරුන් 22 අතර බර්ගර් ජාතිකයන් සිටියද එකුදු දෙමළ හෝ මුස්ලිම් ජාතිකයෙකු එම ධුරය දරා නැත. ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගත් කල ද නිදහසින් පසු 1950 සිට වත්මන් ගුවන් හමුදාපතිවරයා දක්වා වූ ගුවන් හමුදාපතිවරුන් 16 දෙනා අතර බර්ගර් ජාතිකයන් හැර එකුදු දෙමළ හෝ මුස්ලිම් ජාතිකයෙක් එම ධුරය දරා නැත.
ඒ අනුව ගත් කල නාවික හමුදාපති ධුරය සඳහා පුද්ගලයකු පත්කිරීම සඳහා වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ඉතිහාසය විසින් ලබාදී ඇත්තේ ස්වර්ණමය අවස්ථාවකි. එහිදී ඔහුට අවශ්‍ය නම් එම පත් කිරීම මගින් ජාතික සංහිඳියා සංකේතයක් රටට හා ලෝකයට දායාද කළ හැකි අතර වෙනත් ආකාර ජ්‍යෙෂ්ඨත්වයකටද සාධාරණය ඉටු කළ හැකිය. නැතිනම් බජාර් චණ්ඩියෙකුට සේවා දිගුවක් ලබාදී ඉතිහාසයේ කුණු බක්කියට වැටිය හැකිය. එය තීරණය වනු ලබන්නේ එළැඹෙන සතියේදීය.■