රාවය

ක්‍රිකට් අපිට පෙනෙන හැටි

ක්‍රිකට් අපිට පෙනෙන හැටි

ටිරන් කුමාර බංගගමආරච්චි

ක්‍රිකට් යනු හුදු ක්‍රීඩාවක් පමණක්ම නොවේ. මෙරට ඇති ප්‍රබලතම වින්දනීය මාධ්‍යයකි. අදටත් ආ ගිය වැඬේ අමතක කොට මහ මඟ ෂෝ රූම්වල ප්‍රදර්ශිත රූපවාහිනි ඉදිරියෙහි වටවී තරග නරඹන සංස්කෘතිය ඉතිරි වී ඇත. නිවසේ රාජකාරී අතපසු කොට වුව ක්‍රිකට් නරඹන උමතුව තවමත් බහුතරය තුළ නොනැසී පවතී. ඒ අද මුදලට හෙට ණයට මෙන් ශ්‍රී ලංකා පිල ජයගනු ඇතැයි විශ්වාසයෙනි. පරාජය වුවද ක්‍රිකට් ජන මනසින් වඳ නොවන්නේ එය වින්දනීය මාධ්‍යයක් ලෙස චිත්‍රපට, නාට්‍ය, සංගීතය යන මාධ්‍ය පවා අබිබවා ගිය බැවිනි. ක්‍රිකට් යනු පවුලේම රස විඳීමකි. එහි ප්‍රධාන චරිත මාරු වුවද ඉන්පසු එන ක්‍රීඩකයන් පිත්තෙන්, පන්දුවෙන් පාන සුළු පෙළහර පවා සමාජය වැළඳ ගන්නේ නිමේෂයකිනි. අසේල ගුණරත්න මෑත කාලීන උදාහරණයය. චන්දිමාල් වැඩ බැරි තත්ත්වයක වුව තවමත් රැඳෙනුයේ පරණ රංගනවලට පින්සිදු වන්නටය. ක්‍රිකට් යනු සැබැවින්ම එකොළොස් දෙනකු රඟන නාටකයකි. එළිමහන් ප්‍රසංගයකි. විටෙක කානිවෙල් එකකි. අප ක්‍රිකට් තේරුම් ගත යුත්තේ මේ යථාර්ථයය.
කුමාර සංගක්කාරට අත තබන්නට මහින්ද රාජපක්‍ෂ පාලනය පවා බය විය. ඒ තරමට සමාජය තුළ සංගක්කාර වීරයෙකි. සෙසු ක්‍රීඩාවන්ට ක්‍රීඩකයන්ට නැති බලයක් ක්‍රිකට්වලට ආරෝපණය වූයේ අනූහයේ ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක ශූරයන් වූ නිසාම නොව ක්‍රිකට් ඉහත වින්දනීය සැපයුම සැපයු නිසාය. 96 ලෝක ශූරතාව දිනීමට වඩා ක්‍රිකට් 20-20 තරග කරළියට එම ඊට බලපෑවේය. දකුණු අප්‍රිකාව ලෝක කුසලානයක් දිනා නැත කියා එරට ක්‍රිකට්වලට හෙණ ගසා නැත. අද වනවිට ලෝක කුසලානය දිනීම යනු එකම දේ නොව එකක් පමණි. සෑම තරගාවලියකම ඒ උණුසුම ඇත. ක්‍රිකට් සුවිශේෂි මාධ්‍යයක් වන්නට එයද හේතුවකි. එනම් පෙනෙන ඉලක්කය හඹා යෑමය. අවසානය තෙක් පෙළහර පා එය සම්පූර්ණ කරනු ඇතැයි යන විශ්වාසයය. තම පිල නම් එය සම්පූර්ණ කරන්න ඉඩ නොදෙතැයි යන මානසිකත්වයය. ක්‍රිකට් යනු ඒ තරමටම සරල වින්දනීය මාධ්‍යයකට ඕනෑම අතර මගකින් රිංගා එය වටහා ගත හැකිය. කෙනකුගෙන් විමසා සමස්ත චිත්‍රයම තේරුම් ගත හැකිය. කොටින්ම පුවත්පතක ලකුණු සටහන් බලා සත්‍යය අවබෝධ කර ගත හැකිය. එසේ නම් මෙතරම් සරල වින්දනීය මාධ්‍යයක් තවත් වේද? එය විනාඩි තුන හතරක ගීතයට වඩා වින්දනීය වි ඇත. එය කාටවත් ගැඹුරු විග්‍රහ සැපයිය හැකි මාධ්‍යයක් නොවේ. එය තේරුම් ගැනීමට කාගේ හෝ විග්‍රහ අවශ්‍ය නොවේ. ඒ නිසාම ක්‍රිකට් පරාජයන් හමුවේ සියල්ලෝ නිරුත්තර වෙති. මන්ද ඊට දක්වන හේතු සියල්ලම අහේතුම වන නිසාය. තරග පරාජයකින් පසු නායකයා කියන කතා විනෝද සමයට එහා නැත. එය නායකයාට නොව කාටත් පොදුය. එබැවින් ක්‍රිකට් පරාජය වූ පමණින් කතා කිරීම එළවන තුරු කළද විසඳුම් ලැබෙන ප්‍රශ්නයක් නොවේ. තරගයෙන් තරගයට ක්‍රීඩකයන් මාරු කළද විසඳුම නොවේ. දැනට අපට සිටිනුයේ නවකයන්ය. ඔවුන් ප්‍රවීණ මට්ටමට වන්නට කාලයක් ගතවේ. එහෙත් අද එය තරගයක් දෙකක් තුළ පරිපාලනය බලාපොරොත්තු වේ. මේ නිසා අලුත් සැම ක්‍රීඩා කරනුයේ බලාපොරොත්තු විරහිතවය. ඒ ලද අවස්ථාව මඟ හැරුණොත් තවත් අවස්ථාවක් නැතැයි දෙගිඩියාවෙනි.
මෙහිදී පෙනෙන්නට ඇති තවත් සත්‍යයක්ද ඇත. එනම් සංගා – මහේල සෙසු සියලු ක්‍රීඩකයන් අබිබවා ජනප්‍රිය විය. මේ තත්ත්වය නැවත ඇති නොවන්නටද සනත් ජයසූරිය ප්‍රමුඛ පරිපාලන ව්‍යුහය බලාපොරොත්තු වනවා විය යුතුය. තරගයෙන් තරගයට ක්‍රීඩකයන් මාරු කළද සනත් ජයසූරිය තේරීම් කමිටු සභාපති ධුරයේ කාලාන්තරයක් රඳවා ගෙන සිටි ඔහු මාරු කොට නොබලන්නේ ඇයි?
අසංක ගුරුසිංහ විකාරයක් වන විට ඔහු අත්නොහරින්නේ ඇයි. පුහුණුකරුවන් අසාර්ථක නම් සාර්ථක පුහුණුකරුවන් නොගන්නේ ඇයි? ක්‍රිකට් කරවිය යුතු යන්ත්‍රණයම පිස්සු නටද්දී ඔවුන් තබාගෙන පිටියට යන තරුණ ක්‍රීඩකයන්ම බිලි දෙනුයේ ඇයි?
තිලංග මාරු කොට ඒ පුටුවෙහි අර්ජුන ඉන්ද වූ පමණින් ක්‍රිකට්හි මැජික් සිදුවන්නේ නැත. ඊට අර්ජුනටත් වඩා පරිපාලකයකු අවශ්‍යය. මුලින්ම කළ යුත්තේ නිවැරදි කණ්ඩායමක් තෝරා අවුරුදු දෙක තුනක් එසේ නැතහොත් ලෝක කුසලානය ඉලක්ක කොට ගෙන ඔවුන් කණ්ඩායම තුළ රඳවා ගැනීමය. මන්ද තරග දෙක තුනක් එක දිගට ජයගත් සැණින් මේ අපලය ක්‍ෂණිකව පහව යන්නේය. අනෙක් ක්‍රීඩාවන්ට සාපේක්‍ෂව ක්‍රිකට්වලදී ඕනෑම සාර්ථක පිලක් එක් ක්‍ෂණිකයෙන් පරාජය වන්නේය. ඒ මේ ක්‍රීඩාවේම හැටිය. කවර කණ්ඩායම වුව සෑම තරගයක්ම ජය ගන්නේ හෝ පරාජය වන්නේ නැත. අප ගිය වසරේදී මෙරටදී ඕස්ටේ්‍රලියානු පිල ටෙස්ට් තරගාවලියේදී පරාජය කළ විට සැවෝම උඩ පැන්නෝය. අද ඉන්දියාව අපට ටෙස්ට් තරගාවලියකින් පරාජය කරන විට බිම පස් කන්නේය. ක්‍රිකට් ආශීර්වාද මෙන්ම වස්දොස් සියල්ල පවතිනුයේ ජය පරාජය මතය. එක් ජයග්‍රහණයකින් මේ සියල්ල පහව යන්නේය.
එහෙත් ජයග්‍රහණ ලැබීමට ලොකු කැප කිරීමක් අවශ්‍යය. ඊට ජයග්‍රාහී මානසිකත්වය අවැසිය. කණ්ඩායම් හැඟීම, එකමුතුව අවශ්‍යය. මේ සියල්ල නිර්මාණය වන්නටද කලක් ගතවේ. ඊට ඉවසීමක්ද අවශ්‍යය. අද මාධ්‍ය පුළුල් නිසා පන්දුවෙන් පන්දුවට කෙරෙන විචාර සමාජ ජාලාවලද දැකිය හැකිය. පන්දුවෙන් පන්දුවට ලයික් දමන, කමෙන්ට්ස් දමන සංස්කෘතියක තරගයක් අවසානය තෙක් විඳීමට විනයක් ඉවසීමක් නැත. හැමදේම කලින්ම විචාරයට බඳුන් වේ. මේ නිසා ජයග්‍රහණයට වඩා පරාජය කතා කළ හැකි මාතෘකාවක් වී ඇත. සැවෝම ඒ ගැන කතා කරන්නට හපනුන්ය. ජයග්‍රහණයේදී කතා කළ හැකි ඉඩ සීමිතය. මේ නිසා පරිපාලනයට දොස් නැඟිය හැකිය.
ක්‍රිකට්වල අභිවෘද්ධියට පරිපාලනය අවැසිමය. තිලංග සුමතිපාල මහා ලොකු කෙරුමකු නොවන බව පැහැදිලිය. ඒ අය බැබලුණේද තරග ජයගන්නා විටදීය. එය අර්ජුන සිටියද පොදුය. එසේ නම් පරිපාලනයෙන් සිදුවිය යුත්තේ අනවශ්‍ය මැදිහත් වීම් නොකර සිටීමය. මෑතකදී තිලංග ඔහුට ඕනෑ ක්‍රිකට් දිනීමට සැලසුම් හැදීමට නොව පරිපාලනයේ දිගටම රැඳීමට සිහින මැවීමටය. ඔහු එදා සිට අද දක්වාම කරනුයේ එයමය. අර්ජුන කොතෙක් ක්‍රිකට් පුටුවට කෑදරද? ඒ කෑදරකමම නිලංගටත් ඇත. ක්‍රිකට් ලෝක කුසලානය දිනන කළ මෙරට පරිපාලන ව්‍යුහයේ මුදුන ආනා පුංචිහේවාය. එහෙත් අර්ජුනලා ලෝක කුසලානය දිනුයේ තමන් නිසාමයැයි පාරම් බාමින් සිටී. එවිට පරිපාලනය කළ දෙයක් නැති තරම්ය. එහෙත් අද තරග පරදින විට පරිපාලනය අවුල්ය. අර්ජුන ආනාගේ පරිපාලනය දක්‍ෂ බව කියන්නට අවංක නැත. ආනාගෙන් පසු ආ සියලු පරිපාලන ව්‍යුහයන් අසමත්ය. ඒ ලෝක කුසලානයක් නොදිනු නිසා නොව ඉන්පසු සියල්ල ආවේ තම පැවැත්ම හදා ගන්නට නිසාය. තිලංග මේ පුටුවට ගෙනාවේද අර්ජුනලාමය. ඒ ඉතිහාසය දන්නෝ අද අඩුය. ඡන්දයකින් බලයට එම ගැන ක්‍රීඩා ඇමති කතා කරනුයේද දේවල් නොදැනය. එකල තිලංග ජනපතිටද තමන් සමඟ තරග කර දිනන්නැයි අභියෝග කළේය. ඒ ක්‍රිකට් මාෆියාවේ ගෝඞ් ෆාදර් ඔහු නිසාය. නිලවරණ පැවැතියද ක්‍රිකට්වල ප්‍රජාතන්ත්‍රවාදී ලක්‍ෂණ නැත. එබැවින් නිලවරණයෙන් ආ අය කීම වැඩක් නැත. ඒ පල් හොරුය.
සංගා – මහේල ඉවත් වූ කල මෙරට ක්‍රිකට් කණ්ඩායමේ පදාසයක් ගැලවී ගිය බව සැබෑය. ඒ ඔවුන් දෙදෙනා විශාල බල කණු දෙකක් වූ බැවිනි. ඒ තත්ත්වයන් නැවත නිර්මාණය වීමට කල් ගතවේ. මැතිව්ස් දක්‍ෂයෙකි. එහෙත් අද අදක්‍ෂයෙකි. ඒ මන්ද? චන්දිමාල්ට ඇති දෙයක් නැත. එහෙත් දෙයක් ඇතැයි මවාපායි. ඒ ඇයි?
ක්‍රිකට් නායක ටෙස්ට්, එක්දින විස්සයි විස්ස ලෙස බෙදීම විකාරයකි. එම විකාරය පැහැදිලි වන්නේ ටෙස්ට් තරගවලදී අට පේල් තරංග එක්දින තරග ආරම්භ වන්නට පෙර කියන කතා ඇසූ විටය. අර නායකයා පැරදවීම, මේ නායකයා ජය ගැනීම මේ බෙදීම් අහවර කළ යුතුය. එක් නායකයකු යටතට මේ සියල්ල දැන්වත් ලබා දිය යුතුය. අදටත් අප සිටින නායක සලකුණ මැතිව්ස්ය.
එහෙත් මැතිව්ස් ඒ සඳහා පැරණි තත්ත්වයට ආ යුතුය. එනම් නායකයකු ලෙස ඔහු උපරිමය කළ කාලයටය. ඉන් පසු ඔහු තනි අලියකු වන්නට දැඟලුවේ ය. මට ඕනෑ දේ කරන්නට යෑම මැතිව්ස්ගේ ඇන ගැනීමය. මට ඕනෑ දේ කරන්නට පෙර අපට ඕනෑ දේ තේරුම් ගත යුතුය. ඒ අනුව මම වී ක්‍රියාත්මක විය යුත්තේ “අපි” සාධකයය.
දැන් ක්‍රිකට් වෙනස් වන්නට නම් ජය ගත යුතුමය. දේවල් හදා ගැනීම ආරම්භ කළ හැක්කේ එවිටය. එසේ නොවී කයිවාරු කන්ටේනර් ගණන් ඇදබෑවද පාළු නැත. එහෙත් තිලංග එතැන සිටිය යුතුද යන්න බරපතළව සිටිය යුතුමය.තිලංග ඊට සුදුසු නැති බව අපගේ ද හැඟීමය. සනත් ජයසූරිය මෙන්ම, අසංක ගුරුසිංහද ඉවත් කළ යුතුය. හෂාන් තිලකරත්නද ඉවත් කළ යුතුය. මේ එකම කල්ලියය. මේ සල්ලි ගරන කල්ලියය. අප අර්ජුනට එකඟවන තැන නම් මේ පරිපාලනය අවුල් යන්නටය. මන්ද මේ පරිපාලනයට ක්‍රිකට් දිනීමට නොව තමන් දිනීමට අවැසි පිරිසක් වන බැවිනි.■