රාවය

ගැට්ලින් සහ බෝල්ට්

ගැට්ලින් සහ බෝල්ට්

ජගත් ප්‍රේමචන්ද්‍ර

උසේන් බෝල්ට් පරාජයට පත් වී දින කිහිපයකි. තවමත් එහි හාහූව ඉවරයක් නැත. බෝල්ට්ගේ පරාජය මහා ප්‍රවෘත්තියකි. එහි දෙකක් නැත. ජයග්‍රාහකයා ඔහුගේ ම සමකාලිනයෙකු වන ජස්ටින් ගැට්ලින් ය. මලල ක්‍රීඩාවේ පුරාවෘත්තයක් බඳු ක්‍රීඩකයෙකු පරාජය කළේ නම් එහි ජයග්‍රාහකයා පිළිබඳ ව කෙලෙස නම් ප්‍රවෘත්ති පළවිය යුතු ද? එහෙත් එකී ජයග්‍රහණයේ හිමිකරු ගැට්ලින් පිළිබඳ ව නම් එවැන්නක් සිදු නොවුණි.
“ජස්ටින්ගේ ජයග්‍රහණය අංග සම්පූර්ණ කතාවක් නොවේ. මේ කතාවේ බොහෝ කඩතො`ඵ තියෙනවා. ඔහු මේ ජයග්‍රහණයට සුදුස්සෙක් නොවේ. ඒත් ජස්ටින්ට මෙතැනට එන්න අයිතිය ලැබී තිබුණා. නමුත් මේ වගේ දිදුළන තෑග්ගක් ලබාගන්න තරම් ඔහු සුදුස්සෙකු වීම ගැන මම කනගාටු වෙනවා. ඔහු සම්බන්ධයෙන් ප්‍රශස්ති ගී ගායනා කරන්න මට බැහැ. ඔහු කෙතරම් දක්ෂයෙකු වූවත් බෝල්ට්ගේ පරාජය, ජස්ටින්ගේ ජයග්‍රහණයට වඩා වටිනවා.” ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනයේ සභාපති සෙබස්තියන් කෝ සාමිවරයා පවසා තිබුණි.
මෙය මහත් ආන්දෝලනාත්මක කතාවක් වුණි. ලන්ඩන් නුවර මාධ්‍ය මත ඇවිළී ගිය මේ කතාව මු`ඵ ලොව පුරාම පැතිර ගියේ ළැව්ගින්නක වේගයටත් වඩා වේගයෙනි.
ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ සභාපතිවරයාව සිටිය දී කළ මේ ප්‍රකාශය ඔහුට තරම් නොවේ යන්න බොහෝ නිලධාරීන්ගේ මතය වී තිබුණි. එළිපිට නොවූවත් මේ විරෝධය ද ප්‍රබලව නැගෙන බවකි පෙනෙන්නට තිබෙන්නේ. එකී ප්‍රකාශය හේතුවෙන් මේ වනවිට සාමිවරයාට එරෙහිව මතවාදී අවි අමෝරා ගැනීමට ඇතැම් නිලධාරීන් සංවිධානය වන බවක් ද පැවැසේ.
“ජස්ටින් දෙවතාවක් ම තහනම් උත්තේජක පාවිච්චිය නිසා තරග පිටිය තහනම් වුණ පුද්ගලයෙක්. ඔහු කිසිසේත් ම බෝල්ට් තරම් වටින්නේ නැහැ.” තමන්ගේ ප්‍රකාශයෙන් උණුසුම්ව සිටින නිලධාරීන්ට එරෙහිව සෙබස්තියන් කෝ සාමිවරයා තමන්ගේ මතය සනාථ කරන්නේ එවන් කතාවකිනි.
ගැට්ලින් පළමු වරට තහනම් උත්තේජක පාවිච්චිය නිසා ක්‍රීඩා තහනමකට ලක් කෙරෙන්නේ 2001 වසරේ දී ය. එම තහනම වසර දෙකකි. ඊට පසුව නැවත 2006 වසරේ දී එකී වරදට ම වරදකරු වන ගැට්ලින් අට අවුරුද්දකට තරග තහනමකට ලක් කෙරුණි.
බෝල්ට් සහ ගැට්ලින් අවස්ථා කිහිපයක දී ම ධාවන පථයේ දී හමුව තිබුණ ද සියලු අභියෝගයන් එතෙක් බෝල්ට් ඉදිරියෙන් නතරව තිබුණි. එය පසුගියදා අවසන් වුව ද ගැට්ලින්ට පැමිණි ප්‍රේක්ෂකයන් වෙතින් ද එතරම් ප්‍රතිචාරයක් නොවුණි. තරගයට පෙර සිට ම ප්‍රේක්ෂකාගාරයෙන් ගිගුම් දුන්නේ උසේන් බෝල්ට් යන නාමය ම පමණි. එය තරගයෙන් අවසානයේ දී ද පැවැතිණි.
“කවුරුත් අපේක්ෂා නොකළ දෙයක් මම කළා. කවුරුත් මාව අගය නොකළාට කමක් නැහැ. නමුත් මේ ජයග්‍රහණය කවදහරි දවසක ඉතිහාසයේ වැදගත් තැනක තැබේවි. මට ඒකට තව කාලය තියෙනවා.” ගැට්ලින් තමන්ගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් පවසන්නේ එවැන්නකි.
“ඔහු දක්ෂකයෙක්. මම ඔහුට සුබ පතනවා. මීටර් සියය ධාවන පථයේ දී මම කවදාවත් කැළඹීමකට පත් වුණේ නැහැ. නමුත් මේ තරගයේ පළමු මීටර් තිහෙන් පසුව මාව විශාල කැළඹීමකට ලක් කළා. ඒ ගැට්ලින්ගේ තරග රටාව. ඇත්තට ම මගේ කිරුළ සුදුස්සෙක් වෙත ලැබී ඇතැයි මට හැඟෙනවා.” උසේන් බෝල්ට් මාධ්‍යට පවසා තිබුණි.
බෝල්ට් සේ ම ගැට්ලින් ද තරගයෙන් අනතුරුව කිසිදු ආරෝවක් නොමැතිව ඉතා ම සුහදව හැසිරීම බොහෝ මාධ්‍ය දැක තිබුණි. ඊට නිසි ප්‍රචාරයක් ද ලැබී තිබුණි. එහෙත් මේ තරගයෙන් අනතුරුව ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනයේ සභාපති සෙබස්තියන් කෝ සාමිවරයා තමන්ගේ පෞද්ගලික මත දැක්වීමට යෑමෙන් තම කිරුළ ද අහිමි කර ගනු ඇතැයි දැන් දැන් ක්ෂේත්‍රයේ කතාව ය. බෝල්ට් සේ ම ගැට්ලින් ද මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශයන් ඊට කදිම සාක්ෂි සේ ඔවුහු දකිති.■