රාවය

කළුතර අතරමං වූ රිච්මන්ඞ් කාසල්

කළුතර අතරමං වූ රිච්මන්ඞ් කාසල්

ටිරන් කුමාර බංගගමආරච්චි

මුහුදු ඉම මැකිලා ගිහින් ඉදිරියෙන් විහිදිලා තිබුණේ කොළපාට මුහුදත් නිල් අහසත් පමණකි.
සුළඟ සිවුරුහන් දුන්හ.
හුළඟේ සුපැහැදිලි, උඩුබුරුලෑමට කන් යොමාගෙන මම කෝචිචියේ හඬ දිගේ රිච්මන්ඞ් කාසල් අතීතය දෙසට එක් නොවන රේල් පීලි දිගේ දිව ගියෙමි.
* * *
කළුතර ගමන් කොයි තරම් ගියද රිච්මන්ඞ් කාසල් මාලිගය බලන්නට ඉඩ නොවුණි. ඊට උනන්දුවක්ද නොවුණි. එහෙත් ආ ගිය කළුතර ගමන්වලදී ඒ ගැන ඇසූ කතා මැංගුස් තරම් මිහිරි විය. ඒ නිසා මාලිගාව බලන්නට සිත්විය. වරක් නොව දෙවරක්ම ගොස් බැලීමි. මාලිගයෙන් පිට සිට මාලිගය නොදැක ඇසූ කතා මැංගුස් මෙන් මිහිරි වුවද විසල් හිස් මාලිගයේ පත බිත්ති අතර හිර වී එහි යට ගියාවට එබෙන විට හදවතට දැනුණේ බර වේදනාවකි. එවන් මතකයන් එකවර මකා දැමිය නොහැකියාවකින් හිත පෙළේ. එය කාට හෝ කීවද පල නොවේ. එහෙත් එය නොකියා හිඳීමද රිසි නොවේ. පිටතට දැමීම යහපතකි.
* * *
මගේ පපුව තුළ හදවත වේගයෙන් ගැහෙමින් තිබුණා. මට හුස්ම ගන්න අමාරු වුණා.
මගේ පෙණහලු අමාරුවෙන් හුස්ම ගන්න හැටි මට දැනුණා.
රිච්මන්ඞ් කාසල් බිත්ති අතර හිරවී ඉන්නකොට කවුරු හෝ එහෙම කියනවා වගේ මට ඇහුණා.
ඒ රිච්මන්ඞ් කාසල් මාලිගයේ හිමිකරු නානායක්කාර රාජවාසල අප්පුහාමිලාගේ දොන් ආතර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධන පඬිකාර මුදලිතුමාගේ හඬද යන්න මට නිච්චියක් නැහැ.
එසේත් නැතිනම් මුදලිතුමාගේ බිරිඳ ක්ලැරිස් මැටිල්ඩා මෝඩි සූරිය බණ්ඩාරගේ හඬද යන්නත් මට නිනව්වක් නැහැ.
මන්ද මෙතරම් විසල් මාලිගයක් ඉදිකළද එය ආදරයේ දෙවොලක් ලෙස සැලකුවද අවසානයේ මේ දෙපල බිඳවැටුණු විවාහයෙන් පසු ජීවිත කතාව අවසන් කළේ දෙපොලක වන බැවින්. ඇසුණු කතා අනුව දෙපලම මියැදෙන්නේ මහ මග. එතැනට පසුව එමු.
***
කළුතර කිව්වාම තවමත් සංඥාර්ථ දැල්වෙන්නේ මැංගුස්. ඒ කටට දැනෙන රස නිසා. ඊළඟට කළුගඟ. ඒක මුහුදට වැටෙන තැන නිසා. මේ හැම දේටම වඩා අද කළුතර ගැන කතාබහ කළුතර බෝධිය සහ කළුතර විහාරය නිසා. ඒ අතර රිච්මන්ඞ් කාසල් මාලිගයත් කළුතර තියෙන බව අමතක කරන්නට බැරි මතකයක්. මාර්ගෝපදේශ පත්‍රිකාවල ඒ නමත් ඇතුළත්. කළුතර කියන්නේ කළු ගඟෙන් වට කරගත් සශ්‍රීක වූ යටත් විජිත සමයේ ඉඳ හිට බොහෝ ප්‍රභූවරුන් දිවි ගෙවූ ප්‍රදේශයක්. අතීතයේ බොහෝ ධනවතුන්, ප්‍රභූවරුන් වංසක්කාරයන් කළුතර පදිංචිය ලෙස තෝරාගෙන තිබුණා.
***
කළුතර නගරයේ සිට කිලෝමීටර් තුනක් පමණ රට ඇතුළට රිංගන කොට රිච්මන්ඞ් කාසල් මැදුර පිහිටා තියෙනවා. හරියට ගමන් මග කියනවා නම් කළුතර නගරයේ සිට ගඟබඩ පාරේ ගමන් කර පලාතොට හන්දියෙන් පලාතොට – කෙත්හේන පාරේ ගමන් කළ යුතුයි. එසේ යන ගමන’තුර භික්ෂු විවේකාරාමය පසු කළ සැණින් මොසැක් කලාවට අනුව සැකසූ දැවැන්ත නාම පුවරුවක් දැක හැකියි. එම දැවැන්ත නාම පුවරුවේ රිච්මන්ඞ් කාසල් යන්න නිර්මාණය කොට ති්බෙනවා. එතැනින් ඇතුළට රිංගීමට විසල් තොරණක්. ජුරාසික් පාර්ක් චිත්‍රපටයේ ජුරාසික් උද්‍යානයට ඇතුළු වූ විසල් ද්වාරය මට සිහි වුණා. සැබැවින්ම මේ එකල මෙරට විසූ ජුරාසික් වරයකුගේ විනාශයම සනිටුහන් කරන්නක්. තොරණින් ඇතුළු වන තැන සිට කොන්ක්‍රීට් වූ පාර අප ගෙන යන්නේ මේ මාලිගයටයි. එහි දුර මීටර් පන්සියයක් පමණි. දෙපස රබර් යායකි. ඊට ඈතින් පොල් රුක්ය. කළුගඟට මායිම්ව උස් කඳු ගැටයක ඉදිවුණු මහා මන්දිරයක් දිස්වෙනවා.. එය දැන් අභාවයට යන මතක සිහිවටනයක් වෙමින් පවතිනවා.
මෙම රිච්මන්ඞ් කාසල් පිහිටි මුළු ඉඩම අක්කර 42ක්. මන්දිරය පිහිටි සීමාව අක්කරයක්. මෙම සුවිසල් මැදුර කාමර 16කින් සමන්විතයි. ඊට උළුවහු 99ක් ජනේල 38ක්ද ඇතුළත්.
මහා භාරකාරයා යටතේ ඇති මේ මැදුර අද බලාකියා ගන්නේ මහා භාරකාර දෙපාර්තමේන්තුවෙන්. එයින් පත්කළ සේවකයන් මාලිගය පෙන්වීමට ප්‍රවේශ පත් නිකුත් කරනවා. ඒ ආදායම මෙම මාලිගයේ නඩත්තුවටත් මෙමගින් පවත්වන පිරිමි ළමුන්ගේ මධ්‍යස්ථානයේ නඩත් තුවටත් බව පැවසෙනවා. ඇතුළු වන තැනම මුදලිගේ විශාල පින්තූරයක්. තේජාන්විත එම පින්තුරය මෙම මාලිගයේ කතාව මෙන්ම සුද්දාට ගැතිකම් කළ යටගියාවද සටහන් කරනුයේ රැජිනගෙන් ලත් කඩුවද පඩිකාර නම්බුනාමය ද සමගින්. ඇඳුමෙහි බොත්තම් රත්තරන්. එහි දමා ඇති බොහෝ වැඩ රන්වලින්ම කළ ඒවා. මේ ඇඳුම් කට්ටලය අද මහාභාරකාරයා ළඟ ඇතැයි කියැවෙනවා.
පින්තුරයට පසෙකලා මුදලිතුමාගේ පවුල් ගස ගැන සටහනක්. එහෙත් එය නොසටහනක්. පවුල් ගස අලුතින් සටහන්කොට තිබෙනවා. ඒ මුදලිතුමාගේ බිරිඳ ක්ලැරිස් මැටිල්ඩාගේ පරපුරයි. ක්ලැරිස් මැටිල්ඩාගේ පරම්පරාවට ඇඳුණු ප්‍රධාන චරිතය නම් හිටපු ජනපති ජේ.ආර්. ජයවර්ධනගේ ආර්යාව එලීනා ජයවර්ධනයි. ඊට අමතරව ආරක්‍ෂක ඇමතිවරයකු වූ රන්ජන් විජේරත්නගේ බිරිඳයි. ඒ පිළිබඳවද සටහන ඇතුල්වන තැන තබා තිබෙනවා.
***
මේ මාලිගයේ ආරම්භය 1910 දී. එය ඉදිකොට ඇත්තේ අප කතානායක දොන් ආතර් ද සිල්වා. ආතර් ද සිල්වාට වැඩිමහල් සහෝදරයෙක් හිඳ තිබෙනවා. ඔහු හෙක්ටර් ද සිල්වා. එහෙත් මේ මාලිගයට ඇතුළු වන පවුල් ගසේ ඒ අත්ත නැහැ. ඒ මන්දැයි දන්නෝද නැහැ.
අප කතානායකයා මුල් පදිංචිය කොල්ලුපිටියේ. ඔහුගේ පියා කොල්ලුපිටියට නිවසක් තනාගෙන පැමිණ ඇත්තේ 19 වන සියවස අග භාගයේදී. පියා නානායක්කාර රජවාසල අප්පුහාමිලාගේ පවුලිස් ද සිල්වා. ඔහුගේ පරපුර මුහුදුබඩ වාසය කළ අය වූවද යටත්විජිත ආක්‍රමණ හමුවේ දකුණටත් දකුණින් මධ්‍යම කඳුකරයටත් පලා ගිය සිංහල වංශක්කාරයෝයි. රේන්ද සහ මැණික් ව්‍යාපාරවල නියුතු අයයි.
මේ වංශක්කාර පියා තම පුතුන් දෙපලටම මැනවින් අධ්‍යාපනය ලබා දෙන අතර, ඒ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් සහ වැඩිදුර අධ්‍යාපනය එංගලන්ත විශ්වවිද්‍යාලයකින්. වසර ගණනාවක් විදෙස් අධ්‍යාපනය ලබන ඔවුන් මෙරටට එනුයේ උගතුන්, බුද්ධිමතුන් ලෙසයි. ඒ තත්ත්වයට සරිලන මනාලියන් බැලෙන්නේ ඉන් අනතුරුවයි. බොහෝ මඟුල් බලන්නට ගියද ආතර් ද සිල්වාගේ හිත ගිය තැනක් නැහැ. එහෙත් හිත වුව නතර වන තැන් තිබෙනවා. ආතර් ද සිල්වාගේ හිත නතර වනුයේ සූරිය බණ්ඩාර නම් කළුතර දිසා විනිශ්චකාරවරයාගේ දියණිය වූ ක්ලැරිස් මැටිල්ඩා ළඟයි. ආතර්ගේ හිත ගිය ද මනාලි පාර්ශ්වයෙන් විරෝධතා පැමිණ ඇත්තේ ආතර්ට එතරම් මුදල් නැති බව පවසමින්. එහෙත් එයට තව කතාවක්ද තිබෙනවා. එයද කිව යුතුයි. එනම් කුලය ගැන කතාවක්. අහංකාර උඩරට රදලයන් වූ සූරිය බණ්ඩාරලා සිල්වාලාට අකමැති වූ නිසා. එහෙත් පොහොසතකු සහ බලපුළුවන්කාරයකු වූ ආතර් මැටිල්ඩාට ඇලෙන, ගැලෙන අතර ඇය කෙසේ හෝ ලබා ගැනීමටද උත්සාහ කරනවා. මේ මාලිගය එහි ප්‍රතිඵලයක් බවයි කියැවෙන්නේ.
මාලිගයේ සැලැස්ම ආතර් දකිනුයේ ඉන්දියාවේදී. එනම් ඉන්දීය ගමනකදී මහාරාජා කෙනකුගේ නිවසකට යන ආතර් එම නිවසට හිත බැඳ එහි සැලැස්ම ඉල්ලා ඇත්තේ ලංකාවේ තමන් හදන නිවස ඒ ලෙස ඉදිකිරීමට බව පවසායි. මහාරාජා එය අවඥාවෙන් බැහැර කර තිබෙනවාලු. ඉන් පසු නොබසින ආතර් මෙරටට පැමිණ ඊළඟ ගමන ඉන්දියාවට යනුයේ මෙරට ගෘහ නිර්මාණ ශිල්පින් දෙපලක්ද රැගෙනයි. එලෙස රැගෙන යන දෙපල සමඟ මහාරාජාගේ නිවසේ හැම අඟලක්ම නිරීක්‍ෂණය කරන මොවුන් ඉන් පිටවනුයේ ඒ සැලැස්මේ සැකිල්ල ගසා ගෙනයි. ඒ ආකෘතිය මෙම මාලිගයටයි.
***
කුලයට නැගෙන චෝදනාවත් සමඟ එකට එක කරන ආතර් මැටිල්ඩා ලබන්නට මහාරාජාගේ නිවස බඳු නිවසක් මෙරට ඉදිකරනුයේ එය මෙරට ටජ් මහල යන සිතුවිල්ලේ යැයි අනුමාන කළ හැකියි. අමුතුම වාස්තු නිර්මාණ ශෛලියකට අනුව ඉදිවන මෙහි ඉදිකිරීම්වලට අවැසි සියල්ල ගෙනෙන්නේ පිටරටින්. මෙරටින් ගනුයේ හුණු, වැලි, කළුගල් සහ තාක්ෂණයයි. මන්දිරයට යොදා ගන්නා උළු, ගඩොල් ගෙන්වනුයේ ඉන්දියාවෙන්. කිරිගරුඬ ඉතාලියෙනි. රවුම් තරප්පු සහ සිවිලිමට තහඩු ගෙන්වනුයේ බුරුමයෙන් සහ එංගලන්තයෙන්. මන්දිරයේ නාට්‍ය ශාලාවක් තිබෙනවා. එය මහනුවර යුගයේ ලී කැටයම් ලක්‍ෂණ පෙන්නුම් කරනවා. මෙම ශාලාව ඇතුළත කැටයම් කළ ලී කණු 12ක්. එක් කණුවක් යනු තනිකරම එක් ගසක්. කිසිදු මූට්ටුවක් නැහැ. ඊට තේක්ක ගස් ගෙනත් ඇත්තේ ද පිටරටින්. වේදිකාවවේ සිදුවන දේ නැරඹීමට සදළුතලයක් තිබෙනවා. එයට පිවිසෙනුයේ චීනච්චට්ටි තරප්පු පෙළකින්. ඒ එංගලන්තයෙන් ගෙන ආවක්. මෙම ශාලාවට කළු ගඟේ හුළඟ ගෙන ඒමට විවිධ කවුළු ඉදිකොට තිබෙනවා. එය ගඟට නිරාවරණයි.
ගේ මිදුල ගරාදි බිත්තිවලින් වටයි. මැද මිදුලද තරමක් ලොකුයි. මැද මිදුලට සමගාමී බිත්ති මත සිංහ රුවක්. මුව විවරයි. ඒවායෙන් එකල වතුර වැක්කෙරුණු බව කියවෙනවා. මැද මිදුල මැදද සිංහරුවක්. එයද වතුර මලක්. අද වන විට සිංහ කටවල මකුළු දැල් බැඳිලා.
වලව්වක සහ මාලිගයක වෙනස මාලිගයේ වහල පිටතට නොපෙනීම යැයි අදහසක් තිබෙනවා. මෙහි කෙටි බිත්ති බැඳ වහල පිටතට පෙනීම වසා තිබෙනවා.
***
ගෙට ගෙවැදීම සමඟ ආතර්ගේ විවාහයද මැටිල්ඩා සමඟම සිදුවන්නේ මේ මාලිගය දකින සූරිය බණ්ඩාරලාට කුලය අමතක වූ නිසා යැයි සිතිය හැකියි. මාලිගය විවෘත කිරීමට ආරාධනා ලබනුයේ ඉන්දියාවේ මහරාජායි. ඒ තමන්ට නොදුන් සැලැස්ම තමන් බලෙන්ම ක්‍රියාත්මක කළ බව පෙන්වන්නටයි. මහාරාජා මේ මාලිගය දැක පුදුම වුණැයි පැවසෙනවා. ඔහුගේ පුදුමය කෙසේ වෙතත් සතුටින් මේ නිවස දෙස බලා සිටින පින්තුර අදත් එහි තිබෙනවා. එපමණක් නොව මංගල ඡායාරූප, මගුලට ගැසූ තොරණ් හත. නිවසේ වහලයේ ගෑවෙන තෙක් ඉදිකළ අඩි විසි ගණනක් උස මංගල කේක් එක ඡායාරූපවල අදටත් සටහන් වී තිබෙනවා. ඒ මතක සියල්ල තවමත් ඒ බිත්තිවලම එල්ලිලා.
* * *
මහා ඉහළින් මඟුල් කා එන මේ දෙපළට දරුවන් නැහැ. එහෙත් මෙතරම් මාලිගයක් නඩත්තු කරන්නට සේවකයන් හතළිහක් සිට තිබෙනවා. ඉහළ මාලයට සේවකයන්ට නැඟීමට වෙනම තරප්පු පෙළක් තිබෙනවා. අද මෙය නරඹන අය නගින්නේද ඒ තරප්පුවේමයි. සුදු අශ්වයන් හතර දෙනෙක් බැඳි නිල රථයක් භාවිත කළ මුදලිවරු එකා දෙන්නාගෙන් එකකු ලෙස මොහු හැඳින්විය හැකියි. එයින්ම මොහුගේ ධනය ගැන එන ඉඟිය ලොකුයි. මනාල ජෝඩුව එන්නේද මේ රථයේමයි.
***
මහාභාරකාර දෙපාර්තමේන්තුවේ මග පෙන්වන්නන් මේ කතාව අවසන් කරනුයේ මෙසේයි. ඉතාම ආදරයෙන් දිවි ගෙවන මේ යුවලට දරුවන් නොමැති වීම හේතුවෙන් මුදලිතුමා කලකිරුණු බවත් ඒ හේතුවෙන් මැටිල්ඩා මහත්මිය අතහැර නුවර රැජින හෝටලයේ කාමරයක් ගෙන එහි මියැදෙන තාක් දිවි ගෙවූ බවයි. මැටිල්ඩා මහත්මිය ද තම ඥාතීන් ළඟට ගොස් මියැදෙන තෙක් ඔවුන් ළඟ සිටි බවයි.
***
එහෙත් වත්තට එපිටෙන් ඇසෙන කතාව වෙනෙකක්. මුදලිතුමා කසාදයෙන් පසු වැඩි කාලයක් ගත කර ඇත්තේ විදෙස්ගතවයි. ඒ රාජකාරි ගමන්. නැවෙන් යන ගමන්. නැව ගැන කී විට කිව යුතු දෙයක් ති්බෙනවා. මෙම මාලිගය ඉදි කිරීම අවශ්‍ය සියල්ල විදේශයෙන් ගෙනත් ඇත්තේ නැව් හරහායි. ඉන්පසු කලු ගඟ හරහායි.
කෙසේ වෙතත් මුදලිගේ විදෙස් ගමන් අතරතුර විසල් මැදුරේ තනි වූ මැටිල්ඩා මහත්මිය මන්දිරයේ සේවකයකු සමඟ හාද වී තිබෙනවා. ඒ ආදරය දලුලා ළමාතැනී එම සේවකයා සමගම පැන ගිය බව එක් පිරිසක් කියන කතාවක්.
එහෙත් තවත් කතාවක් තිබෙනවා. එනම් මෙම මාලිගයේ ලියන මහත්තයා උඩරට අයෙකු බවයි. ඔහු දරුවන් නැති මේ දෙපලගේ දේපළවලට මහත්සේ ඇලුම් කළාලු. ඔහුට මෙම සම්බන්ධය ඒ සියල්ලට පාර කපන මුවහත් උදැල්ලක් වූ බවයි. කලක් පවතින මෙම රහසිගත සම්බන්ධය මුදලිතුමාට අතටම අල්ලා දුන්නේ ඔහු බවත් ඔහු ඒ හරහා මුදලිතුමාගේ කිට්ටුවන්තයා මෙන්ම සමිපතමයා වූ බවත් පැවසෙනවා. මෙම සිද්ධියෙන් කෝප වන මුදලිතුමා පහරදී ළමාතැනී සහ සේවකයා පන්නා දැමූ බව ඒ කතාවයි.
කෙසේ නමුත් එකල වටිනාකමින් රුපියල් 300ක් සහ පොල් ගෙඩි 250ක් ඇය ජීවත්වන තුරා මාස් පතා ලබා දීමට මුදලිතුමා කටයුතු කර තිබෙනවා. ඒ ප්‍රේමය නිසාම විය හැකියි.
***
විසි එක්වන වියේ විවාහ වන ආතර්ට වඩා මැටිල්ඩා බාල වනුයේ වසරකින්. මේ දෙපලගේ විවාහය දරුවන් නැතිව වුව තිස් වසරක් පැවත ඇත. එසේනම් දරුවන් නැතිකමට ගියා යැයි කීම පදනම් විරහිතයි.
එසේම ඇය සේවකයා සමඟ ප්‍රේමයක් පටන් ගත්තේ වයස පනහකින්ද යන ප්‍රශ්නය ඉතිරි වෙනවා. එය සනාථ කළ හැක්කේ ලියන්නා එන වසර සමගයි. එය සොයා ගත නොහැකියි. මන්ද මේ සියල්ල හෙළි කරන්නේ ඔහුයි. එනම් මේ කාලයක් පැවති සබඳකමක් පසුව හසුවීමක් විය හැකියි.
මැටිල්ඩා ළමාතැනී පන්නා දමන මුදලිතුමා වසරක් මේ මාලිගයේ දිවි ගෙවා තිබෙනවා. ඒ වසරක කාලය තුළ ඔහු කරනුයේ මිදුල පුරා ග්‍රීක කැටයම් ශිල්පයට සමාන කිරිගරුඬ ප්‍රතිමා දොළහක් සහ මුදලිගේ නිදන කාමරයට මුහුණු ලා කුඩා දරුවන් හත් දෙනකුගේ ප්‍රතිමා ඉදි කිරීමයි. කුඩා පිරිමි දරුවන් වීමත් විශේෂයක් වන අතර අඩක් නග්න ගැහැනු රූප සියල්ලම බලා සිටිනුයේ ඉදිරියයි. එනම් මාලිගයට පිටු පා යි. මේ හරහා ඔහුගේ යටි සිත පැහැදිලියි. පිරිමි දරුවන් තුළින් ජනිත වන්නේ ඔහුට කාන්තාවන් කෙරෙහි පැවති විරෝධයමයි. පිටුපා සිටින කාන්තා රූපවලින් ඔහු රිද්දනුයේ මැටිල්ඩාටම විය හැකියි.
***
වසරක් තනිව වෙසෙන මුදලිතුමා මාලිගය අතහැර නුවර රැජින හෝටලයේ කාමරයක් ගෙන දිවි ගෙව්වා. නුවරට යෑම සිදු වන්නේ ලියන මහත්තයා නිසාම යැයි සිතිය හැකියි. පනස් එක් වන වියේදී රිච්මන්ඞ් කාසල් අතහැර නුවර රැජිණ හෝටලයේ කාමරයක දිවි ගෙවන මුදලිතුමා එතෙක් වැළඳ සිටි ක්‍රිස්තියානිය අතහැර බෞද්ධ වූ බවත් උදෑසන දළදා මාලිගයට යෑම සිරිතක් කරගෙන සිටි බවත් පැවසෙනවා. එමෙන්ම ඉන් පසු නුවර වැව වටේ කරක්ගැසීමත් පුරුද්දක් කරගෙන සිටි බව පැවසෙනවා. කොහොම වුණත් මුදලිතුමාගේ ජීවිත කතාව වයස අවුරුදු පනස් හතේදී අහවරයි.
එදා ජීවිතයේ අරමුණ පහව ගිය කල අරමුණක් නැතිව නුවර වැව වටේ ඉබාගාතේ වට කැරකෙන කල එවන් වටයකදී ජීවිතය අල්ලා ගන්නට නොහැකිව හුස්ම ටික වට වන්දනාවක යද්දී කෙඳිරූ කෙඳිරිල්ල රිච්මන් කාසල්හිදී මට ඇසුණේ දැයි මම දන්නේප නැහැ. කෙසේ වෙතත් කවුදෝ වැව ළඟ මැරී වැටී ඇතැයි පුවත යනුයේ ඒ මෙතරම් විසල් මැදුරක නිර්මාතෘ බව හාංකවිසියක් නොදැනයි.
***
මැටිල්ඩා ළමාතැනීගේ පුවත රිච්මන්ඞ් කාසල් මැදුරෙන් පන්නා දැමූ තැන සිට නොපැහැදිලියි. ඇය උමතු වූ බවත් උමතු ව පාරක් පාරක් ගානේ කිසිත් නොදැන කරක් ගැසූ බවත් හෙළි වන්නේ අවසානයටයි. ඇය අවුරුදු අසු ගණනක් දිවි ගෙවන මුත් ඒ අමතක වූ මතකයෙනියි. උමතුවෙනියි පැවසෙනවා. ඇය මියගොස් ඇත්තේද එලෙස ඉබාගාතේ යන ගමනකදී මහ මඟමයි.
මුදලිතුමා මැටිල්ඩා ළමාතැනී කැන්දාගෙන එන්නට මෙතරම් විසල් මන්දිරයක් තනයි නම් ඒ තුළ විශාල ආදර කතාවක් නොතිබුණා යැයි සිතිය හැකිද? එය ටජ් මහල් මෙන් නොවුවද ටජ් මහලක් නොවෙතැයි කාට කිව හැකිද?
මුදලිතුමා මිය ගිය කල ලියන මහත්තයා සිය අයිතිය ඉල්ලා මෙහි ආ බව කියැවෙනවා. ඊට අවැසි ලෙස ඇඟිලි සලකුණු පවා තිබූ බවද පැවසෙනවා. එහෙත් වසරක් පිළිම ඉදිකරමින් තම මිදුල හැඩ කරන මුදලිතුමා ඒ කාලය තුළ සිය අන්තිම කැමති පත්තරයක්ද ලියා යනවා. ඒ තමන් සතු රිච්මන්ඞ් කාසල් මාළිගය සපිරි අක්කර 42 ඉඩමක් තමන්ට හිමි අක්කර 80ක් වන ඉරහඳ පාය වත්තද මහාභාරකාරවරයා වෙන පවරමින්. තම දේපල සරණක් අහිමි පිරිමි දරුවන්ගේ පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථානයකට යොදවන ලෙසත්, පිරිමි ළමුන්ගේ සුබසිද්ධිය තකා යොදවන ලෙසත් ඉල්ලමින්. ඉල්ලීමට අනුව අද එහි ළදරු පාසලක් සහ පිරිමි ළමුන් රැක බලා ගන්නා මධ්‍යස්ථානයක්ද වෙනවා.
මෙම මාලිගය බලා එන විට පුංචි එකකු පාසල් ඇරී රබර් යාය දිගේ රිච්මන්ඞ් කාසල් මාලිගය පිටුපස තම නවාතැනට ඇදි ඇදී යනු මා දුටුවා. මේ එහි වත්මන් හිමිකරුවකු නොවේදැයි සිත් වුණා. පොහොසත් මිනිසා යන්න අර්ථ ගැන්වීමට ‘රිච් මෑන්’, ‘රිච් මන්’ වුණැයි මේ ඇතුළේ විස්තර කරන අය කරන විස්තරයයි.
ලංකාදීප පත්තරය මෙම රිච්මන්ඞ් කාසල් මාලිගයේ අකුණු සන්නායක සොරු ගලවා ගෙන ගොස් ඇතැයි පිටුවකම සටහනක් කොට තිබුණා. ඒවා කෝටි ගාණක් වටින්නේ යැයිද එහි ලියා තිබුණා.
එහෙත් මුදලිතුමා සිටියා නම් කුමක් කියනු ඇත්ද? මන්ද මේ අකුණු සන්නායක දෙක එකල තිබුණාද? ඔහුගේ මුළු ජීවිතයටම හෙණ හතම වැදුණු බැවින්.■