රාවය

කටහඩ කියන එක මට මාර ජොලියක් | සුරේන්ද්‍ර පෙරේරා

කටහඩ කියන එක මට මාර ජොලියක් |  සුරේන්ද්‍ර පෙරේරා

ටිරන් කුමාර බංගගමආරච්චි

සුපර් ස්ටාර්ස්’ වෙන්න පෙර සුරේන්ද්‍රගේ ජීවිතය කොහොමද?
සාමාන්‍ය ජීවිතයක් තමයි ගත කළේ. හැබැයි සිංදු කිව්වා. හලාවත පැත්තේ යම් ජනප්‍රියතාවක් ලබලාත් තිබුණා. පොඩි සාදවල මම අනිවාර්ය ගායකයෙක් වුණා. ඒත් ඒක ලොකු කාරණයක් නෙමෙයි. ලොකුම ඉලක්කය තිබුණේ රට යන්න. මේ පැත්තේ ගොඩක් අය ඉතාලි යනවා. මටත් ඉතාලි යන්න ආසාවක් තිබුණා. ඉතාලි යන්න සෑහෙන ට්‍රයි කළා, ඒත් හරි ගියේ නෑ. ඊළඟට යූකේ යන්න ට්‍රයි කළා. යූකේ වැඬේ හරිගියා. එතකොට මම සුපර් ස්ටාර්ස් එකේ ඉදිරියට ඇවිල්ලා. ෆයිනල් එකට මාස තුනයි. එතැනදී මට තෝරගන්න වුණා. යූකේ යනවාද, සුපර්ස්ටාර්ස්වල ඉන්නවාද කියලා. මට හිතුණා සුපර් ස්ටාර්ස් තමයි වටින්නේ කියලා. ඒ නිසා මම යූකේ ගමන අතඇරලා මේ ගමන ගියා. ඒ තෝරාගැනීමේ කිසිම අවුලක් නැහැ.

සුපර් ස්ටාර්ස් තරගාවලියට එන්න ඕනෑ කියලා සුරේන්ද්‍රට හිතුණේ ඇයි?
ඇත්තටම කියනවා නම් එහෙම අමුතු බලාපොරොත්තුවක් නැහැ. මොකද මම ස්වභාවයෙන්ම ටිකක් හුදෙකලා තැනක හිටියේ. කිසිම දේකට ඉදිරිපත් වන ස්වභාවයක් මගේ නෑ. මගේ කියලා හැකියාවක් තිබුණා නම් එකත් ඔය සිංදුවක් කියන එක විතරයි. හැබැයි මේකට ලොකු තල්ලුවක් දුන්නා මගේ තාත්තා. තාත්තා මාළු ව්‍යාපාරිකයෙක්. ඔහු විනෝදකාමී ඒ වගේම සංගීත සාජ්ජවලට කැමතියි. අපේ නැන්දලා කසාද බඳිනකොට මඟුල් ගෙවල්වලට ජෝතිපාල, මිල්ටන් පෙරේරා මහත්වරුන් ගෙනල්ලා සිංදු කියලා තියෙනවා. ඒ තාත්තාගේ වැඩ. කොහොම හරි තාත්තාට ලොකු ආසාවක් තිබුණා මමත් සිංදු කියනවාට. ඒ මේ වගේ ජනප්‍රිය ගායකයෙක් වෙනවාට නෙමෙයි. ඒත් තාත්තා ඒ සඳහා අහිංසක උත්සාහයක් ගත්තා. මේ පැත්තේ ඒ කාලේ පවත්වන සංගීත සංදර්ශනවලට විශාල මුදලක් වියදම් කරලා මාවත් නග්ගනවා සිංදුවක් දෙකක් කියන්න. එතකොට මම පොඩියි. කොහොම හරි මට ඒ හරහා ප්‍රසිද්ධියේ සිංදු කියන බය ඇරිලා තිබුණා.
පළමුවැනි සුපර් ස්ටාර්ස් තරගයට අපේ අක්කලා දාලා තිබුණා. ඒකෙන් මට එන්න කියන කොට මට යන්න බැරි වුණා. මොකද මම ඒ වෙනකොට අයිටීඑන් එකෙන් පවත්වපු බෑන්ඞ් ෂෝ එකට අපේ පැත්තේ බෑන්ඞ් එකක් එක්ක ගිහින් තිබුණා. එකේ ෆයිනල් ළඟයි මේ කැඳවීම එතකොට. ඉතින් මම සිරස වැඬේ අතඇරියා. අයිටීඑන් කළේ ‘රන්තරු’ තරගය. ඒකේ හොඳම බෑන්ඞ් එක සහ ගායකයා තේරුවා. අපිට චාන්ස් නෑ. ඒ ඉවර වෙලා ඉන්නකොට මගේ දුවක් තමයි ආයෙමත් දෙවැනි තරගයට ඉල්ලුම් කරලා තිබුණේ. මට කැඳවීම එනකම් මම දන්නේ නෑ.

සුපර් ස්ටාර්ස්වලට ගිය මුල් ගමන මතකද?
ඒක අමතක වෙන්නේ නැහැ. ඇත්තටම ගියේ ලොකු බලාපොරොත්තුවකින් නෙමෙයි. ආවොත් ආවා, ගියොත් ගියා කියලා තමයි ගියේ. මායි යාලුවොයි කෝච්චියේ තමයි කොළඹ ආවේ. ඒ ආවාම සෑහෙන පිරිසක්. මටත් අංකයක් දුන්නා. අපි යාලුවෝ ටික කයිය ගහහා ඉද්දී මට කතා කළා. එතකොටයි දැක්කේ මගේ අංකය නැහැ. හැමතැනම හෙව්වා. ඒක ගැලවිලා වැටිලා. හැමෝම පාග පාගා යනවා. මම ටක් ගාලා අහුලාගෙන දුවිලි පිටින්ම ගසලා ගහගත්තා. මම සුනිල් එදිරිසිංහ මහත්තයාගේ සිංදුවක් කිව්වා. තව එකක් කියන්න කිව්වාම මට සිංදුවක්වත් මතකයට ආවේ නෑ එක පාර. කොහොම හරි තව මොකද්දෝ කිව්වා. හොඳයි කිව්වා. ඒ හොඳයි කිව්ව එකත් එක්කම තමයි මෙච්චර දුර ආවේ.

සංගීත තරුවක් වුණාට පස්සේ ජීවිතය වෙනස් වුණාද?
ලොකු වෙනසක් වුණා. නැත්තේ නෑ. ඒත් අද මට එක කියන්න බෑ. මොකද ඒ කාලේත් මම දැන් පහු කළා. මම සුපර් ස්ටාර්ස් එකේ දෙවැනි ජයග්‍රහකයා වන්නේ 2007 අවුරුද්දේදී. අද වෙනකොට ඒකටත් අවුරුදු දහයක් ගෙවිලා. කොහොම හරි මුල් අවුරුදු තුන හතර තුළ ලොකු විපර්යාසයක් තිබුණා. ඒත් අද වෙනකොට මම ආයෙමත් සාමාන්‍ය වෙලා. මට දැන් මාව දැනෙන්නේ අර පරණ හිටපු සුරේන්ද්‍ර විදියටමයි. මට එළියේ වැඩ ටිකක් අඩුයි. මේ පත්තරයකින් ආවෙත් සෑහෙන කාලයකට පස්සේ. කොටින්ම මම මාධ්‍ය තුළ නැති තරම්. මේ අවට හෝටල්වල සාද සෑහෙන්න තියෙනවා. මම ඒවායේ සිංදු කියනවා. මුල් කාලේ වගේම තමයි. වෙනස එදා මම සිංදු කිව්වාට විශේෂයක් නැහැ. අද මනාළ ජෝඩුව ඉඳලාම මම ගියාම විශේෂ කොට සලකනවා.
සුපර් ස්ටාර්ස් එක්ක මට ලොකු ජනප්‍රියත්වයක් ලැබුණා. ඒත් මම හලාවත අත් නොහැරීම එක්ක කොළඹ සම්බන්ධතාව මගහැරුණා. ඒවාත් එක්ක මම ටිකක් දුරස් වුණා වගේ කියලා මට හිතෙනවා. මොන දේ වුණත් මම ගම අත අරින්න බෑ. මේ ගමේ සබඳතාව, මේ පොළොව තමයි මගේ පැවැත්ම. බහුතරයක්ම මගේ ඥාති. අතඇරෙන දේ අතඇරෙනවා. රැඳෙන දේ රැඳෙයි. හොඳට හිනා වෙලා කාලා, බීලා සතුටින් ඉන්නවා. සුපර් ස්ටාර්ස්වලින් වෙනසක් වෙලා හුඟක් කල් නිසා මට ඒ ගැන ලොකු දෙයක් කියන්න බෑ. ආයෙමත් මම ඉන්නේ සාමාන්‍ය විදියට. භෞතිකව යම් යම් වෙනස්කම් වුණත් සුපර් ස්ටාර්ස් කෙනෙක් වෙච්ච අලුතත් මගේ ලොකු වෙනසක් නෑ. මොකද අපි හලාවත දිවි ගෙව්වෙම විනෝදයට බරව.

සුරේන්ද්‍ර තරුවක් වෙනකොට තාත්තා ජීවතුන් අතර නැහැ නේද?
ඔව්. තාත්තා හිටියා නම් ගොඩක් සතුටු වෙයි. අම්මා මම තරුවක් වෙනකොට හිටියා. අම්මාත් අවුරුදු දෙක තුනකින් නැති වුණා. ඒ දෙන්නාටම මම සමාජයේ හොඳ ස්ථාවරයකට එනකොට බලන්න බැරි වුණා.

සුපර් ස්ටාර්ස් තරග ගැන සුරේන්ද්‍රගේ අදහස මොකක්ද?
මගේ තරගයෙන් පස්සේ නම් සුපර් ස්ටාර්ස් තරග මට බැලෙන්නේම නැහැ. ඒත් ඒක අපි වාගේ නවකයන්ට ලොකු චාන්ස් එකක්. ඒක නොවන්න මට මෙච්චර දුර එන්න බෑ. ඒ නිසා මම පෞද්ගලිකව ඒ තරගයට සදා ණයගැතියි. අපි හැමෝම ඒ තරගයට ගිය විදියට නෙමෙයි එළියට ආවේ. හැම පැත්තකින්ම වෙනස් වෙලා. ජනප්‍රිය වෙලායි ආවේ. ජයග්‍රාහකයෝ එක්කෙනායි ඉන්නේ. ඒත් අවසාන වටවලට ඇවිත් පරාජය වුණත් එළියේ ජයග්‍රාහකයෝ වුණා. මම වුණත් සුපර් ස්ටාර්ස් නෙමෙයි. ඒත් එළියේ පිළිගැනීමේදී එකේ අඩුවක් තිබුණේ නැහැ. අඳින පළඳින තැන ඉඳලා ඒවා ලබාදීලා අපිව වෙනස්ම පිරිසක් කරලා සමාජයට හුරු කරලා තමයි ඔවුන් සමාජයට දාන්නේ. ඒ අභිමානය නිසා අදත් අපි හොඳට ඉන්නවා. ඒ ගරුත්වය අදටත් මම සිරසට දක්වනවා.
ඔබට ලොකු තත්ත්වයක් නිර්මාණය කළේ ජෝතිපාලගේ ගීත. ඒ ගැන ඔබට මොකද හිතෙන්නේ.
මම ඔහුව දැකලා නැහැ. ඇති තරම් අහලා තියෙනවා. ඔහු ඉතාම සුන්දර පුද්ගලයෙක්. මම මුලින්ම සුනිල් එදිරිසිංහ, වික්ටර් රත්නායක, මිල්ටන් මල්ලවාරච්චි, නන්දා මාලනී සහ අමරදේව මාස්ටර්ගේ සිංදු තමයි ගැයුවේ. තරගය අතරතුර ජෝතිපාල මහත්තයාගේ ගීත ගායනා කළාම ඒවා රසියකයන්ව සෑහෙන පිනෙව්වා. ඒවා සෑහෙන්න මැච් වුණා. පස්සේ කාලේදී මගේ ගිත තිබුණත් මගෙන් ගොඩක් අය ජෝතිපාල මහත්තයාගේ සිංදු බලාපොරොත්තු වුණා. මම තරගකරුවෙක් විදියට හැමෝගේම ගීත ගායනා කළත් ජෝති මහත්තයාගේ හඬ මට ගැළපුණා. ඔහු නැතත් මම හැමදාම ගරු කරනවා.

සුරේන්ද්‍රට අදත් ගායකයෙක් විදිහට හොඳ ඉල්ලුමත් තියෙනවාද?
එදා තරම් මට පිට වැඩ නෑ. සමහර තැන්වලින් ලොකු මුදලට කතා කරනවා. හැමදේම වගේ තමයි මේකත් එකිනෙකා අතර බෙදිලා යනවා. ආයෙමත් තරු එනවා. එතකොට ඒ අයට ඉල්ලුම වැඩි වෙනවා. අපි ටිකක් ඈතට වෙනවා. ඒ අතර නැත්තටම නැති වුණ අයත් ඉන්නවා. කොහොම හරි මටත් ගමනක් තියෙනවා. ඒක මම මගේ පාඩුවේ යනවා.

සුරේන්ද්‍ර කටහඬින් හොඳට හම්බකළාද?
එහෙම කියන්න බෑ. හම්බකළා. නැත්තේ නැහැ. හැබැයි හම්බකිරිල්ලට වඩා කටහඬ කියන එක මට මාර ජොලියක්. පොඩි කාලේ ඉඳලාම මම කියන සිංදු රස විඳලා අනෙක් අය ලබන ආතල් එක තමයි මම මුල් තැන සැලකුවේ. මම ජනප්‍රිය වුණත් මට ඕනෑ වුණේ අර පිරිස වැඩිකර ගන්න. සිංදු කියනවා කියන එක තමයි මගේ ලොකුම විනෝදය.

ඔයාට පස්සෙත් හිතුණේ නැද්ද එදා සුපර් ස්ටාර්ස් ඔයාම තමයි කියලා.
එහෙම නෑ. සුදුස්සාට සුදුසු තැන ලැබෙනවා. ඉතින් ප්‍රදීප් සුදුස්සා වෙන්න ඇති. ඔහුට ඒ තැන ලැබුණා. එකද දෙකද තුනද වැඩක් නැහැ. ඒක තරගයක්. ඊට පස්සේ ඉදිරියට යෑමයි තරගය. තවමත් ඒ තරගය ඉවර නෑ. ඒක අර වගේ ලේසි නැහැ.

සමහරු ජනප්‍රියත්වයත් එක්ක මුල අමතක කරනවා කියන චෝදනාවට ලක් වෙනවා. ඔබටත් ඒක ආවාද?
අපේ එහෙම කියන අය ඉන්නවා. ඒ කාලේ කාත් එක්ක හරි හිනාවෙලා අත වනලා නොගියාට ගාණක් නැහැ. ඒත් අද අපි මොන ප්‍රශ්නයක හිටියත් ඒ දේ කරන්න ඕනෑ. මේ පැත්තේ කෙනාට අත වනද්දී අනෙක් පැත්තේ කෙනා මිස් වෙනවා. එයා කියනවා අරූ දැන් ඇඳලා කියලා. අනෙක මම කාටවත් කෝල් දිදී කෑවාද බිව්වාද කියලා අහන්නේ නැහැ. ඕක ෆෝන් එකෙන් ඇහැව්වා කියලා ඇති වැඩක් නැහැනේ. ඒත් මිනිස්සු කැමති එහෙම. අම්මෝ කොච්චර හොඳ කෙනෙක්ද, කෑවාද බිව්වාද අහනවා. සුන්දර යාළුවා. අපි ගැන හොයලා බලනවා. හැබැයි බෙල්ල ගලවාගෙන යනකනුත් දන්නේ නැහැ.

සුරේන්ද්‍ර ජයග්‍රහණය ලබලා එනකොට සල්ලි කොළවලින් මල්මාලා දැම්මා.
ඔව්. මීගමුවෙන් පටන් ගත්තාම එහෙම සල්ලි මාලා තුනක් දැම්මා. සමහරු රත්රන් මාල ගලවලා දුන්නා. ඒ මොහොත හරිම කලබලකාරියි. මමත් ඒ සල්ලි මාලයි ලැබෙන ලැබෙන දේවලුයි පිටිපස්සට දෙනවා. අන්තිමට ගෙදර ගියාම හම්බවුණේ වෙන්නප්පුවෙන්ද කොහෙන්ද දුන්න ගිටාරයයි තව පුංචි දේකුයි විතරයි. අරවාට මොනවා වුණාද දන්නේ නැහැ. ආයේ ඒවා ගැන හිතලා වැඩකුත් නැහැ.

අද නවකයෝ ප්‍රවීණයොත් සමඟ විරසකයි නේද?
ප්‍රවීණයෝ අපිව විවේචනය කළා කියලා අපි ඒ අයට ගහලා හරියන්නේ නැහැ. මොනවා වුණත් ඔවුන් ඇත්තටම මේ සංගීත ක්‍ෂේත්‍රයට බොහෝ දේ කරපු අයනේ. අද අපිත් පිනුම් ගහන්නේ ඒ නිසානේ. අම්මා තාත්තා බැන්නා ගැහැව්වා කියලා අපි ඒ අයත් එකක් තරහා වෙන්නේ නැහැනේ. ප්‍රවීණයෝ කියන්නේ ඇත්තටම වැඞ්ඩෝ. ඉතින් ඒ අය මොනවා හරි කිව්වා කියලා මම නම් හිත රිදවා ගන්නේ නැහැ. ඒත් ගොඩක් අය ඔබ කිව්ව පිරිස තමයි.

සුරේන්ද්‍ර ගැන සුරේන්ද්‍රම කියනවා නම් මොන වගේ කෙනෙක්ද?
මේ ඉන්න විදිහ තමයි මගේ ස්ටයිල් එක. කෙනෙකුට එක දිරවන්නේම නැති වෙන්න පුළුවන්. ඒත් අපිට ළංවෙලා බැලුවාම හිතෙයි ඒ දිරවන අයට වඩා අපි දිරවනවා කියලා. ඒ මොකද එළියටත් ඇතුළටත් චරිත දෙකක් මට නෑ. එකයි තියෙන්නේ. ඉතාම සුන්දරව විනෝදබරව හැම මොහොතෙම ඉන්නවා. අද තියෙන දේ හෙට නැති වෙන්න පුළුවන්. ඒ වගේම හලාවතින් ඉදිරිලා කෙහේවත් පැළ වෙන්න ආස නෑ. මෙහේ තමයි මගේ මුල් තියෙන්නේ. හැමදේම දැන ගත්තත් නොදන්න දෙයක් තියෙනවා කියන එක තමයි මගේ විශ්වාසය. ඒ විශ්වාසයෙන් තමයි මම ජීවත් වෙන්නේ.■