රාවය

බණ්ඩාර, බණ්ඩාරනායක සහ පණ්ඩාරම්වරු

බණ්ඩාර, බණ්ඩාරනායක සහ පණ්ඩාරම්වරු

රේඛා නිලුක්ෂි හේරත්

අත හුරුවුණොත් මේ රස්සාවෙන් කරන්න පුළුවන්. අත හුරු නැත්නම් මොන කුලේ වුණත් මේ රස්සාව කරන්න බෑ.’ ඔච්චමට මෙන් අප සමඟ එසේ කීවේ රූබන්ය. ඔහු වරායේ සුළු රැකියාවකින් ඉවත්ව කොච්චිකඬේ කෝවිල හා පල්ලිය ළඟ මල් මාලා ගොතන රස්සාව කරන්නෙකි. අප ඔවුන් මුණගැහුණේ මල්මාලා ගෙතිල්ල ගැන කතාකරන්නටයි. මල්මාලා ගෙතීම පාරම්පරිකව පැවරුණේ පණ්ඩාරම් කුලයටයි. මල්මාලා ගෙතීමෙහි කාර්ය බහුලව සිටි රූබන්ගෙන් අප මුලින් ඇසුවේ කුලය ගැනයි. ඔය ඔහු දුන් පිළිතුරයි. එතැන් පටන් මල්මාලාකරුවන් තිහකට වැඩි පිරිසක් සමඟ කොච්චිකඬේදී, බම්බලපිටියේදී, වැල්ලවත්තේදී සහ කිරුළපනදී දොඩමළු වූ අපට දකින්නට ලැබුණේ පූකට්ටි පණ්ඩාරම් හෙවත් මල්මාලා ගොතන්නන්ගේ කුලය තවදුරටත් මල්මාලා ගෙතිල්ලෙහි ආධිපත්‍යය දරන්නේ නැති බවයි.

පණ්ඩාරම් කුලය
හින්දු ආගමේ කුල අතර ප්‍රධාන බෙදීම් හතරකි. බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය, ශුද්‍ර යන එම බෙදීම් හතර අතරින් ආගමික සිද්ධස්ථානවල පූජකයන් ලෙස කටයුතු කරන්නේ බ්‍රාහ්මණ කුලයට අයත් අයයි. එහෙත් බ්‍රාහ්මණ වංශයට අයත් නොවන පූජකයන් ලෙස හෝ ආගමික ස්ථානවල වෙනත් කටයුතු කරන අය පණ්ඩාරම් ලෙසින් හැඳින්විය හැකිය.
පණ්ඩාරම් වංශිකයන්ද කාර්යයන් අනුව විවිධාකාරය. අපේ කතාබහට ලක්වන මල් ගෙතිල්ල පැවරුණේ පූකට්ටි පණ්ඩාරම් කුලයට අයත් වන පිරිසටයි. මේ වන විට පණ්ඩාරම් වංශිකයන් ඉන්දියාවේ ඉන්නේ දකුණු ඉන්දියාවේය. ඒ පණ්ඩාරම්ලා බහුතරයක් ඉන්නේ කේරළයේය. ලංකාවේ පණ්ඩාරම් කුලයට අයත් අය තවමත් කෝවිල්වල රාජකාරි කරති. බොහෝදෙනෙක් ග්‍රාමීය කෝවිල්වල පූජකයන් ලෙස කටයුතු කරති. ලංකාවට පණ්ඩාරම්වරුන් විවිධ කාලවල පැමිණ ඇත. ඇතැම්හු 1505ට පෙර පැමිණියෝය. තවත් අය 1948න් පසු පැමිණියයෝය. තවත් සමහරුන් විදේශ ආධිපත්‍යය පැවති සමයේ පැමිණියෝය. කොළඹ ආශ්‍රිතව සිටින බොහෝදෙනෙකු පසුකාලීනව පැමිණි අයයැ’යි සිතිය හැකිය.

මල්මාලා ගෙතිල්ල
මල්මාලා ගෙතිල්ල පණ්ඩාරම් කුලයේ සීමාවෙන් එපිටට ගොස් විවෘත රස්සාවක් වෙන්නට හේතුවූ හැරවුම් ලක්ෂ්‍යය බව කියන්නේ අසූතුනේ කළු ජූලියයි. එයින් පසුව ලංකාවේ දෙමළ ජාතිකයන්ට ජීවත්වෙන්නට සුදුසු පරිසරයක් තිබුණේ නැත. ඉතින් ඉන්දියාවේ ඥාති සම්බන්ධතා තිබූ පණ්ඩාරම්වරු ලංකාව හැර යන්නට පටන්ගත්හ.
මල්මාලා ගෙතිල්ල අපූරු රැකියාවකි. අත්දෙක කාර්යක්ෂම නම් විනෝදයෙන් කතාබහක් දාගෙන මල් ගෙතිල්ල කළ හැකිය. ඉතින් පොඩි තහඩු තට්ටුවක රේඩියෝවක් අසමින් සුමුදු මල් අතගාන්නෝ මල් වන් සැහැල්ලුවෙන් ජීවිකාව කරගෙන යති.
බම්බලපිටියේ පැරණි කතරගම කෝවිල ළඟ මල් ගොතන්නෝ තුන්දෙනෙකි. ඉන් තට්ටු දෙකක් ඇත්තේ කෝවිල් භූමියේය. බම්බලපිටියේ අපට හමුවුණු එකම පණ්ඩාරම් වංශිකයා කෝවිල් බිමේ තට්ටුවක සිටි රඝුවරන්ය. ‘අපේ මාමාගේ කඩයේ තමයි මම වැඩ කරන්නේ. අපේ තාත්තලා සීයලා කළෙත් මේ රස්සාවමයි. මම අවුරුදු දාහතරේ ඉඳලා මේ රස්සාව කරනවා. දැන් අවුරුදු විස්සක් විතර. දැන් මේ රස්සාවට ජාති භේද නෑ.’
ඔහු පිවිසුණේ ඔහොමය. රැකියාවේ ස්වභාවය ගැන දැනගනු පිණිස අප ඔහුගෙන් මුලින් ඇහුවේ මල්මාලා ගොතන්නට අවැසි තරම් මල් ලැබෙන්නේද කියායි. ‘දැන් මල් ඇති තරම් තියෙනවා. කාලයක් ලංකාවේ ඇති තරම් මල් වැවුවේ නෑ. ඒ නිසා දෙදාස් ගණන්වල මුල මල් ගෙනාවා ඉන්දියාවෙන්. ඒත් ඒ මල් එක්ක රෝග, කෘමි වර්ග එනවා කියලා මල් ගෙන්නන එක නැවැත්වුවා. ඒ කාලේ ඒක අපේ රස්සාව ඉවර වෙන්න තරම් ලොකු පහරක් වුණා. හැබැයි ටිකෙන් ටික ලංකාවේ මල් වවන්න ගත්තා.’
මනෝජ් කුමාර් පණ්ඩාරම් වංශිකයෙකු තබා හින්දු භක්තිකයෙක්වත් නොවේ. ඔහු ක්‍රිස්තියානි භක්තිකයෙකි. ඒත් රස්සාව මල් ගෙතිල්ලයි. මල්මාලා ගොතන්නේ කෝවිල් ළඟ බව ඇත්තය. වැඩිපුර මල්මාලා ගන්නේ කෝවිල්වලට බවත් ඇත්තය. එහෙත් මල් ගන්නේ කෝවිලට පමණක් නොවේ. මඟුලට, මළගෙදරට, බෝධියට, වාහනවල එල්ලන්නට පමණක් නොව කොණ්ඩයේ ගසන්නටත් මල් ගන්නට එන්නෝ සිටිත්. විශේෂයෙන් පිච්ච මල් වැල් විවිධ කටයුතුවලට පාවිච්චි කරයි. ‘මම කෝවිලේ වැඩත් දන්නවා, පන්සලේ වැඩත් දන්නවා. පිරිත් මණ්ඩපේ සරසන්නත් දන්නවා.’ මනෝජ් කුමාර් කියයි.
මනෝජ් ඉන්නේ බම්බලපිටියේ පරණ කතරගම කෝවිල ළඟය. එතැන දෙපැත්තේ මල් කඩ දෙකකි. එක් කඩයක සද්දෙට දෙමළ ගීයක් ඇසේ. අනෙක් කඩයේ ක්‍රිකට් විස්තර විචාරය ඇසෙයි. ඒ දෙකටම ඉහළින් කඩ දෙකෙහි කඩිසරව දෑත් මෙහෙයවමින් මල්මාලා ගොතන්නෝ විහිළු තහළු කරගනිත්.
මල්මාල විවිධාකාරය. ඉද්ද මල්වලින් මල් මාලාව ගොතයි. ඉද්දමල්වලට අමතරව මාලය හැඩ කරන්නට මනමාලි කොළ, රතුමල්, දාස්පෙතියා, රාජපොහොට්ටු ආදි මල් වර්ග පාවිච්චි කරයි. ඊට අමතරව විවිධාකාර මල්මාල වර්ග ඇත. විවිධ මල්මාල විවිධ දෙවිවරුන්ට සුදුසු බව බැතිමතුන්ගේ අදහසයි. මාරිඅම්මාට කහ මල්, කාලි අම්මාට රතු, ගණ දෙවියන්ට ඊතණ මල්, කතරගම දෙවියන්ට රතු, විෂ්ණු දෙවියන්ට තුලසි මල්මාල, හනුමාන් දෙවියන්ට වෙත්තල හෙවත් බුලත් මල්මාල මෙන්ම සෙනසුරු දෙවියන්ගේ අපලවලට නිල් මල්මාල සොයන්නෝ සිටි්ති. අපි කොච්චිකඬේදී සැවැන්දරා මුල් මාලයක්ද දැක්කෙමු. මේ ඕනෑම මල්මාල අවශ්‍යතාවක් කලින් ඇණවුමක් කළොත් ලබාගත හැකිය. එහෙත් බොහෝවිට එදිනෙදා ගොතන්නේ ඉද්ද මල්මාලා පමණකි.
ඉද්ද මල් ගැන අපට කීවේ ඉලංගෝවන් පණ්ඩාරම් මහත්තයාය. ඔහු අත්දැකීම් සහිත මල්මාලා ගොතන්නෙකි. එහෙත් දැන් ඔහු අනුන්ගේ කඩයක මල්වැල් ගොතයි. ‘පුත්තලම කල්පිටිය වගේ පැතිවල මල් හදනවා. ඉස්සර තිබුණ ඉද්ද මල වෙනස්. ඒක පොඩියි. කල් පවතින්නෙ නෑ. ජාඇළ, මාදම්පෙ පැත්තෙන් ඉස්සර මල් ආවෙ. දැන් පුත්තලමේ හදන මල ලොකුයි. හොඳට බෙහෙත් ගහනවා. ඒක පිම්බුණ මලක්. කල් පවතිනවා. මේක අත් හෝදන්නැතුව ඇල්ලුවොත් අත් කසන්න ගන්නවා. සැරයි. හොඳට බෙහෙත් ගහනවා.‘
මල් මාලයට අවැසි වන අනෙක් අමුද්‍රව්‍යය වන්නේ කෙහෙල් පට්ටාය. දැන් කෙහෙල් පට්ටා නැත. ඉස්සර කුරුණෑගල, මන්නාරම, බේරුවල වැනි විවිධ පැතිවලින් ආ කෙහෙල් පට්ටා දැන් එන්නේ නැත. ඉතින් කෙහෙල් පට්ටාවලට වඩා ලාභදායක මෙන්ම පහසු ක්‍රමයක් දැන් මල්මාලාකරුවන් සොයාගෙන ඇත. දැන් මාල්මාලාව ගොතන්නේ පොලිතීන් පටිවලිනි. ඒවා ලාභදායකය. කෙහෙල් පට්ටා මෙන් කහට අල්ලන්නේත් නැත. කල් පවතියි. ශක්තිමත්ය. ගොතන්නාගේ වේගයත් වැඩි කරයි. පොලිතින් කියන්නේම පහසුවයි. එයින් උපදින ගැටලුත් තිබෙයි. දැන් මල්මාලය යන්නේ දිරාපත්වන කුණු ගොඩටයි. දිරාපත්වන මල් මාලය මැද්දේ නොදිරන පොලිතීන් ඇත. ඕවා අතුරු ප්‍රශ්නය. දිළිඳු මාල ගොතන්නා සිතන්නේ වඩා ලාභදායක, පහසු හා වේගවත් ක්‍රමයකට මල්මාලය ගොතා නිම කිරීම ගැනයි. මල්මාලයක් පණහට සීයට දෙසීයට මිලට ගත හැකිය. ඇත්තටම මල්මාලයේ සුන්දරත්වයේ හැටියට මල්මාලයක් ලාබදායක බව කිව යුතුය.
මල්මාලවලට අමතරව ඇත්තේ මල් වැල්ය. යාර ගණනට මිලට ගත හැකිය. සමහරු ගැටපිච්ච මල් වැල් සොයයි. බොහෝදෙනෙක් ගැටපිච්ච මල් වැල් ගොතන්නේ නැත්තේ මල් අඩු නිසාය. ගාලු පාරේ නම් මේ දිනවල ගැටපිච්ච මල් තියෙන්නේ වැල්ලවත්තේ කස්තුර පූ කඩයේය. වැඩිපුර මල්වැල් ගොතන්නේ පිච්ච මලෙන්ය. පිච්ච මල් බදුල්ලෙන්, මාතලෙන්, කුරුණැගලින් පිච්ච මල් එයි. මල් වැල් නම් ඉස්සර ගෙතුවේත් බූල් නූලෙනි. ඒවා නම් දිරන කුණුකූඩයට යැවිය හැකිය. දැන් ගොතන්නේත් බූල් නූලෙනි. කෙහෙල් පට්ටා නැතිවෙද්දී මල් මාලයටත් බූල් නූල යොදාගත් නමුත් එය මන්දගාමී සහ අසාර්ථක උපක්‍රමයක් විය. රුපියල් විස්සට මල්වැල් යාරයක් ලැබෙයි.
මේ මල් ගෙතිල්ල බලා සිටින්නට අපූරු දසුනකි. පෙර කීවා සේ කටටත් හිසටත් ඕනෑ දෙයක් කළ හැකිය. පුරුද්දට අත් දෙක වැඩ කරයි. ඉතින් අත් දෙක හැර අන් සියල්ල විනෝදය සොයයි. මල්වැල් ගොතද්දී වතුර භාජනයක් ළඟ තබාගත යුතුය. වතුරෙහි අත ඔබන්නට හේතු ගොඩකි. අංක එකේ හේතුව මල හරියට අතට අහුවෙන්නට තෙත ගතිය අවැසි වීමයි. මල් මාලයකට විනාඩි දහක් පමණ ගතවෙයි. මල් වැල යාරයකට විනාඩි පහක්වත් ගත නොවෙයි.

අසූතුනෙන් පස්සෙ
‘මම පණ්ඩාරම් කුලයෙ නෙවෙයි. ඒත් මල්මාලා රස්සාවට ආවා. පස්සේ මම බැන්දෙ පණ්ඩාරම් කුලයෙ කෙනෙක්ව. රස්සාව නිසාම ඇතිවුණ සම්බන්ධයක්. දැන් මාත් ඉතින් පණ්ඩාරම් වගෙ තමයි.’ මේ බම්බලපිටියේ රාජරත්නම්ගේ කතාවයි. උඩිනුත් කිහිපවරක් කී පරිදි දැන් මල්මාලා ගෙතිල්ල පණ්ඩාරම් කුලයේ තනි උරුමයක් නොවේ. මේ වෙනස අසූතුනෙන් පසුව සිදුවූවක් බව ඔවුහුම කියති.
‘මම කෝවිලේ වැඩ කළා. දැන් මල් ගොතන එකත් කරනවා. කෝවිල ඇතුළේ අපි පිරිසිදු කිරීම් තමයි කළේ. දැන් රස්සාවට කුලමල භේද තියාගෙන වැඩක් නෑ. මම බැන්දේ සිංහල කෙනෙක්ව. මගේ මල්ලි බැන්දේ ක්‍රිස්තියානි කෙනෙක්ව. කුලේ අයව බඳින කතා අපට නෑ. කාලෙ වෙනස්වෙනවා. අපි ඒකට හැඩගැහෙනවා.’ කොච්චිකඬේ සිටි රාමනාදන්ද පණ්ඩාරම් කුලය අමතක කර දමා පොදු සමාජයේ ගිලී යන්නට කැමති අයෙකි.
‘ලංකාවේ ඉතුරුවුණ පණ්ඩාරම් කුලයෙ අය තමයි අපි. අසූතුනෙන් පස්සෙ ඉතුරුවුණ අයගෙන් ලංකාවේ ඉන්න අය එක්කො කෝවිල්වල වැඩ කරනවා. ඔය පොඩි ගම්මානවල තියෙන කෝවිල්වල පූජාව කරන්නෙත් පණ්ඩාරම් කුලයෙ අය. අපි තමයි අයියර්ලාට පස්සෙ කෝවිල්වල වැඩ ගැන දන්න කුලය.’ ඔහු කියයි.
‘කුලභේදයක් නෑ. දැන් මුස්ලිම් අයත් මල් ගැටගහනවා. බෞද්ධ අයත් ගැටගහනවා. මගේ යාළුවෙක් හිටියා නසීර් කියලා. එයා කොච්චිකඬේ කඩයක් කළා. මම එයා එක්කත් වැඩ කළා.’ මනෝජ් කුමාර් කීවේත් ඔය කතාවයි.
අවුරුදු පණහක පමණ කාලයක් තිස්සේ මේ රැකියාව කරන ප්‍රගලාදන් අයියාත් පණ්ඩාරම් නොවන මල්මාලා ගොතන්නෙකි. පණ්ඩාරම් කුලයෙන් මේ රැකියාව ගිලිහෙන අයුරු ඔහු සියැසින් දුටුවේය. ‘ආරුමුගම් පණ්ඩාරම් කියලා එක්කෙනෙක් හිටියා. ගොයියාමලෛයි පණ්ඩාරම් කියලා තව කෙනෙක් හිටියා. දෙන්නා ඉන්දියාවෙන් ආ අය. මම දෙන්නා ළඟම වැඩකළා. වැඩකළා කිව්වෙ ඒ කාලෙ අපි මාල ගෙතුවෙ නෑ. අපි කළේ තේ ගේන එක, අත් උදව් දෙන එක. ඒත් පස්සේ පස්සේ ඒ අයගෙන් මම වැඬේ ඉගෙනගත්තා. අසූතුනේදී ගොඩක් පණ්ඩාරම් අය කලකිරිලා ඉන්දියාවට ගියා. මම දන්න ගොඩක් අය අසූතුනේදී ලංකාව අත්හැරලා ගියා. ඒ කාලේ අපට නීති ගොඩයි. මල් ගොතද්දී කටින් පටිය හපන්න බෑ. ගහනවා. වැරැද්දක් කළොත් අතට ගහනවා. එයාලා රස්සාව කළේ විශ්වාසයක් එක්ක. තමන්ගේ පරම්පරාවට පැවරුණු විශේෂ වගකීමක් වගේ. ලොකු භක්තියක් තිබුණා. මම අද කන්නෙ බොන්නෙ ඒගොල්ලන්ගෙන් පුරුදුවුණ විදියටයි. මගේ දරුවොත් දැන් මේ රස්සාව කරනවා. ටිකෙන් ටික මේක කරගෙන යන්න පණ්ඩාරම් අය විතරක් මදි වුණා. වෙන අය රස්සාවට හුරුවුණා.’ භක්තිය තියෙනතුරු මල්මාලාවලට ඉල්ලුම නැති නොවෙයි. ඉල්ලුම තියෙන තුරු පණ්ඩාරම්ලා නැතිවුණත් කවුරුන් හෝ සැපයුම කළ යුතුය.
‘ඉස්සර වේට්ටිය ඇඳලා. සෙරෙප්පු නැතිවයි කරන්නෙ. පොට්ටු තියලා තමයි කරන්නෙ. මස්මාළු කන්නෙ බොන්නෙත් නෑ. ඉතින් දැන් ඒවා වෙනස්වෙලා. සපත්තු සෙරෙප්පු දාලා කලිසම් ඇඳලායි රස්සාව කරන්නෙ.’ සුගලාදන්ය. ‘දැන් ඒ කාලෙ වගේ මේක කරන්න බෑනෙ. ඉස්සර මස්මාළු කෑමත් තහනම්. දැන් ඉතින් කෝවිලේ අයියර්ලත් මස්මාළු කනවා. සිගරට් අරක්කු බොනවා. ඉතින් මල්මාල ගොතන අයත් ඒව කරනවා.’ විජයකුමාර් පණ්ඩාරම්ද ඔය කාරණාව ගැන එසේ කීවේය.
අසූතුන ඛේදවාචකයක් බව ඇත්තය. එහෙත් ඉන්පසුව එක් කුලයකට අයිතිවී තිබුණු මේ රස්සාව පණ්ඩාරම්වරුන් බදාගත්තේ නැත. ඔවුන් විසින්ම රැකියාව කරන්නට කැමැත්තෙන් පැමිණි ඕනෑම අයෙකුට මල්මාලා ගෙතිල්ල ඉගැන්විණ. මේ රස්සාව තමන්ගේ ශුද්ධ කුලයේ ආධිපත්‍යයේ පැවතිය යුතුයැයි ඔවුන් සිතුවේ නැත. ඒ නිසා මල් ගෙතීමේ රස්සාව ආරක්ෂා විය. රැකියාවට කැමති අයට අවස්ථාව ලැබුණි.
“මම හිතන්නේ පරම්පරාවෙ රස්සාව කරන්න ඕනෑ. ඉතින් මගෙ ළමයි පොඩියි. මම එයාලාටත් මේ රස්සාව පුරුදුකරනවා. දැන් ජාතිභේද බලන්න බෑ. මගේ ළඟ වැඩකරන්නෙ සිංහල ළමයෙක්. දැන් මේක රස්සාවක්. ඒක ඒ විදියට කරන්න ඕනෑ භේදයක් නැතිව.” විජයකුමාර්ගේ අදහස එයයි.

පණ්ඩාරනායගම්
“දෙමළා බයන්න කියන්නෙ නෑනෙ. පයන්න තමයි කියන්නෙ. ඒ නිසා අපි දෙමළාව අල්ලගන්න බාල්දිය කියපං කියලා කියනාව. එතකොට ඌ කියන්නෙ පාල්දිය කියලා.” අසූතුනේදී ‘දෙමළුන්ව’ කැතිගෑමේ මෙහෙයුමට එක්වූවෝ ජීවතුන් අතර සිටිත් නම් බයන්නේ සහ පයන්නේ වෙනස කියනු ඇත. මෙතැනට රට එන්නට පෙර සිංහල ජාතිකවාදය ලංකාවේ දේශපාලනයේ අධිනිශ්චය වුණේ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක නිසාය. ඔහුගේ මුල් ඇත්තේද පණ්ඩාරම් කුලයේ බව කියැවෙයි. බණ්ඩාරනායකලාගේ ආදිතමයා ලෙස සැලකෙන නීලපෙරුමාල් 15 සියවසේ අග ලංකාවට පැමිණි පණ්ඩාරම් වංශිකයෙකි.
සිංහල සමාජයේ පණ්ඩාරලාගේ ඉතිහාසය කිත්සිරිමෙවන් රජ සමය කාලය දක්වා දිවෙන්නේය. දළදා වහන්සේ ලංකාවට ගෙන එද්දී හේමමාලා කුමරියත් සමඟ බණ්ඩාරවරුන් ආ බව කියයි. බණ්ඩාරයැයි කියන්නේ කේරළයෙන් ආ පණ්ඩාරම් වංශිකයන්ය. ඇතැම්විට දන්ත ධාතුවට පූජා සත්කාර කිරීම සමඟ පණ්ඩාරම් කුලයේ සම්බන්ධයක් තිබෙන්නට ඇත. මේ අය පදිංචිව සිට ඇත්තේ කීරවැල්ලේ බව දළ වශයෙන් කියැවෙයි.
කෝට්ටේ යුගයේදී කීරවැල්ලේ බණ්ඩාර බිසව ගැන අසන්නට ලැබෙයි. ඒ හත්වැනි විජයබා රාජ සමයේය. මායාදුන්නේ, බුවනෙකබා සහ පරරාජසිංහ කුමාරවරුන්ගේ මව කීරවැල්ලේ බණ්ඩාර දේවියයි. මේ බණ්ඩාරවරුන් රජ පවුල් සමඟ සමීප සම්බන්ධතා පවත්වා ඇත්තේ විවාහ සම්බන්ධතාද පවත්වාගනිමිනි. වීදිය බණ්ඩාරත් කෝට්ටේ යුගයේ අසන්නට ලැබෙන නාමයකි. සීතාවක රාජසිංහ බවට පත්වුණේ ටිකිරි බණ්ඩාර කුමාරයායි. එකල සිටම බණ්ඩාරලා වීරයන් බවට පත්වීම නිසා සිංහල නාමයන් අතර බණ්ඩාර නාමය ජනප්‍රිය විය.
මේ බණ්ඩාරවරුන් වන්නියේ, පුත්තලමේ, තමන්කඩුවේ, නුවර කලාවියේ, මන්නාරමේ මෙන්ම වලවේ ගඟ තරණය කරමින් දකුණට ගොස් පදිංචි වී ඇති බවත් ඉතිහාසය දන්නෝ කියත්. බණ්ඩාර යන්න පසුව ජනප්‍රිය නාමයක් වී ඇති බවත් පෙනෙයි. බණ්ඩා යන්න නිතර පාවිච්චි වූ සිංහල නමක් බවට පත්ව තිබුණි. බණ්ඩාර නාමය දෙවිවරුන්ටත් පාවිච්චි විය. ගලේ බණ්ඩාර, ළමා බණ්ඩාර, කීර්ති බණ්ඩාර, ඉරුගල් බණ්ඩාර ආදී නොයෙක් ප්‍රාදේශිය දෙවිවරුන් ගැන අසන්නට ලැබෙයි.
සීතාවක රාජධානිය සහ මහනුවර යුගයේ මුල් කාලයේද බණ්ඩාරනායකලාට විශේෂ බලපෑම් සහගත බලයක් හිමිවිය. 1592 දී විමලධර්මසූරිය නමින් රජ වුණේ වීරසුන්දර බණ්ඩාරගේ පුත් කොනප්පු බණ්ඩාරයි. ඒ රජ පරම්පරාව 1739 වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු දක්වා දිවෙයි. බණ්ඩාරලා ගැන දේශීය ඉතිහාසයේ බලපෑම් සහගත තැන් තව බොහෝය.

පයන්නේ සහ බයන්නේ වෙනසෙන් පැමිණි, පෙර සිහිපත් කළ පණ්ඩාරනායගම් හෙවත් බණ්ඩාරනායක නාමය රැගත් එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක විසින් සිංහල ජාතිකවාදය කේන්ද්‍ර කරගත් ආණ්ඩුවක් බිහි කිරීමත් ඉන්පසුව අද දක්වා නොනවතින ප්‍රශ්න රැසක් ඇතිකිරීමත් තවත් බලපෑම් සහගත අවස්ථාවකි. මේ සිංහල ජාතිකවාදය අන්තවාදයක් දක්වා ගොස් අසූතුනේදී පාල්දිය හා බාල්දිය ගැන විමසමින් දෙමළුන් කැතිගාන මොහොත පණ්ඩාරම්වරුන්ට ලංකාව කළකිරෙන මොහොත බවට පත්වීම ඉතිහාසයේ සරදම් සහගත අවස්ථාවක් බව අමුතුවෙන් කිව යුතු නැත. ‘ශුද්ධ’ වූ ජාතියක ජාතිකවාදී ආදර්ශමත් දේශපාලන නායකයාද ‘අශුද්ධ’ වීම කෙතරම් විහිළු සහගතද?
අද මල් නෙලූ පණ්ඩාරම්ලා ක්‍රමයෙන් සමාජයේ දියවෙද්දී බණ්ඩාරලා සහ බණ්ඩාරනායකලා ශුද්ධ සිංහලයන් ලෙස සිංහල සමාජයේ වෙසෙත්. කුල සහ ජනවර්ග එකිනෙකා දියවෙද්දී ශුද්ධවූ ජනවර්ගයක් හොයාගන්නේ කොහොමදැයි තාර්කිකව කල්පනා නොකරන නිසාම ලංකාව කෙළවරක් නැති වාර්ගික ප්‍රශ්න ගොඩක ගිලීයයි. පාලකයෝද තවම ශුද්ධවූ ජාතිය සොයති. එවන් පාලකයන්ට මේ සුන්දර මල්මාලාකරුවන්ගෙන් පරිණාමයේ පාඩම ඉගෙනගත හැකිය. පණ්ඩාරම්වරුන් මල්මාලා ආධිපත්‍යය බදානොගත්තා සේම මේ රටේ ආධිපත්‍යයත් එක් ජනවර්ගයක් බදානොගත්තා නම් මල් මාලයක් සේම ලංකාවත් සුන්දර වනු ඇත.■