රාවය

විචාරකයා නිර්මාණකරුවාට වඩා ලොකු වෙන්නේ නෑ | රාජිත දිසානායක

විචාරකයා නිර්මාණකරුවාට වඩා ලොකු වෙන්නේ නෑ | රාජිත දිසානායක

ටිරන් කුමාර බංගගමආරච්චි

රාජිත දිසානායක නිර්මාණය කළ නාට්‍ය තුනක් අගෝස්තු 25, 26, 27 ලයනල් වෙන්ඞ්ට් රඟහලේදී සවස 7ට රංග ගතවීමට නියමිතය.මට වෙඩි තියන්නැද්ද, ආදර වස්තුව සහ නැතිව බැරි මිනිහෙක් තෙදින පෙන්වන නාට්‍ය අනුපිළිවෙළ වේ. මේ ඒ නිමිති කොටගෙන රාජිත සමඟ කළ කෙටි කතාබහකි.

අද තාක්ෂණික වශයෙන් සමාජය ඉහළ ප්‍රගතියක් ලබාගෙන තියෙනවා. මෙවන් තත්ත්වයක් තුළ වේදිකා නාට්‍ය කලාවේ ඉරණම කුමක්ද?
අසූව දශකයත් එක්කම තමයි මට මේ ප්‍රශ්නය වටහා ගන්න වෙන්නේ. මොකද අසූව දශකයේදී වික්ටර් රත්නායකගේ ‘ස,’ ප්‍රසංගය නන්දා මාලිනීගේ ‘පවන,’ සුගතපාල ද සිල්වාගේ වේදිකා නාට්‍යයක් බලන එක ඒ සමාජය තුළ සුවිශේෂී දෙයක් වෙලා තිබුණා. චිත්‍රපටයක් බැලුවත් මිනිස්සු කලින්ම ඒ සඳහා සූදානම් වුණා. මොකද ඒ කාලේ චිත්‍රපටයක් බලනවා කියන එකම ජීවිතේ වටිනා අවස්ථාවක් වුණා. මෙන්න මේ අසූව දශකයේ තමයි මමත් නාට්‍යයබලන්නේ.
එතැන් සිට දශක තුනක් විතර හිතනකොට අද මේ කලා භාවිතාවන් සමාජයට සුවිශේෂී දෙයක් නෙමෙයි. එහෙම සුවිශේෂී අය ඉන්න පුළුවන්. ඒත් බහුතරය එහෙම නෑ. අද චිත්‍රපටයක් නාට්‍යයක් බලන එක ඒ තරම් වැදගත් දෙයක් නෙමෙයි. මේ ජීවිතවල පුරවා ගන්න ඊට වඩා තව ගොඩාක් දේවල් තියෙනවා. අද ප්‍රධානතම විනෝද මාධ්‍යය බවට පත්වෙලා තියෙන්නේ තමන්ගේ අතේ තියෙන සෙලියුලර් දුරකතනය. එයින් මුහුණු පොත තුළ සැරිසැරීම, ඒ එක්කම ලොකු ෂොපින් මෝල්වල සැරිසැරීම නාට්‍යයක් බලනවාට වඩා විනෝදාත්මක අංගයක් බවට පත්වෙලා. ක්‍රිකට් එක්ක තිබුණු බැඳීම දැන් ගිලිහිලා. ඒවා හරියට පෙම්වතී තරහා වුණා වගේ ආයේ වෙනස් වෙන්න පුළුවන්. අද ප්‍රවෘත්ති නරඹන එක පවා විනෝදයක්. ඒ නිසා අද මිනිසුන්ගේ අවධානය ලැබෙන, මිනිස්සු ජීවත් වන මාධ්‍ය ගොඩක් හොයාගෙන ඉවරයි.
මේ සියල්ල අස්සේ අපි අමතක කරන්න නරකයි මිනිස් සම්බන්ධතා තේරුම් ගන්නා ස්වභාවය ගවේෂණය කරන්න කලාව හරහා ඉඩ තියෙනවා කියලා විශ්වාස කරන මිනිස්සු ඉන්නවා. අන්න ඒ සීමිත පිරිස තව ටිකක් වැඩිකර ගන්න කරන උත්සාහය තමයි අපි මේ අත්නොහැර කරන්නේ. මොකද අපිට නාට්‍ය කලාව තුළ දැනුණු දේ නිසා මම හිතනවා අපට පුළුවන් කාලයක් අත් නොහැර එහි නිරතවන්න.

නාට්‍ය බලන එක අද නාට්‍යය හා රංග කලාවට යොමුවී සිටින සිසු සිසුවියන්ගේ විෂයානුබද්ධ වැඩක් වෙලා නේද?
නාට්‍ය හා රංග කලාව මම පාසලේදීවත් විශ්වවිද්‍යාලයේදීවත් විෂයයක් විදියට ඉගෙන ගෙන නැහැ. මගේ පශ්චාත් උපාධියට තමයි නාට්‍ය හා රංග කලාව විෂයයක් විදියට මම කළේ. ඒත් විෂයයක් විදියට මුල ඉඳලා ඉගෙන නොගත්ත එක ගැන මට අද සතුටුයි.
මොකද මේ විෂයයට ආවාම විභාගය සඳහා නාට්‍ය පිළිබඳ තියෙන ඇල්ම උනන්දුව බරපතළ විදිහට සීමා කරනවා. නාට්‍යකරුවන් කිහිප දෙනෙක් සහ ඒ අයගේ කෘතීන් විතරයි විභාගය ඉලක්ක කරගෙන කරන්නේ. පාසල් මට්ටමින් සෞන්දර්යය භාරව ඉන්න නිලධාරීන් චක්‍රලේඛ මගින්ම සීමා පනවලා තියෙනවා, විෂය නිර්දේශයට අදාළ නාට්‍ය හැර වෙනත් නාට්‍යය බලන්න දරුවන් යොමු කරන්න එපා කියලා. මෙහෙම වටාපිටාවක, ඒ ගැනම ඉගෙන ගන්න අයගෙන් අනාගතයේ නාට්‍ය කලාවක් බිහිවෙයි කියලා හිතන්න අමාරුයි. මොකද ඒ අය විභාග සීමාවෙන් එහාට යන්නේ නැහැ. මේක පාසලට විතරක් පොදු තත්ත්වයක් නෙමෙයි. විශ්වවිද්‍යාලය තුළත් නාට්‍ය හා රංග කලාව කරන අයගේ තත්ත්වය මෙබඳුයි. ඒ අයත් සංකල්ප න්‍යායන් උගන්වනවා මිසක් ළමයින්ට සමකාලීන නාට්‍ය රසවිඳින්න යොමු කරන්නේ නෑ. මේ අධ්‍යාපන ක්‍රමය නිසා රසිකයෙක් නිර්මාණය වන්නේත් නෑ. ඒ වගේම නිර්මාණකරුවන් ගොඩනැගෙන්න ඕනෑ කරන පසුබිම නිර්මාණ වෙනවාද කියන ගැටලුවත් ඉතිරි වෙනවා.

සිනමාහල්වල චිත්‍රපට පවා නරඹන එක අවමවෙමින් පවතින යුගයක නාට්‍ය බලන්න පිරිස ඉන්නවාද? මේ එකම පිරිස නේද රඟහල් වටා කැරකෙන්නේ?
ඔය කාරණාව මට අදාළව තරමක් වෙනස්. ‘වීරයා මැරිලා’ නාට්‍යය සහ ඉන්පසුව මම කළ නාට්‍ය හරහා අපි එතෙක් දන්න කොළඹ කලා සමාජයට එහා ගිය ප්‍රේක්ෂකාගාරයක් ගොඩනැගුවා. ඒ නිසා මගේ නාට්‍යවලට වැඩි කළ ප්‍රේක් ෂකාගාරයක් තියෙනවා. නාට්‍ය බලන්න කැමැත්තක් දක්වන, අපිව නොහඳුනන නමුත් අපේ නාට්‍ය පිළිබඳ උනන්දුවක් තියෙන රසිකාගාරයක් කොළඹ වගේම ඉන් පිටතත් නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා අපිට අපේ නාට්‍ය පවත්වාගෙන යන්න පුළුවන් වෙලා තියෙනවා. එහෙම නොවෙන්න දශක දෙකක් මේ විදියට මේ ක්ෂේත්‍රයේ පවතින්න බෑ.

එහෙම වෙන්න ඔබේ නාට්‍යවල තියෙන විශේෂත්වය කුමක්ද?
ඇතැම් විචාරකයන්ට මාව සීරියස් නාට්‍යකරුවෙක් විදිහට නොපෙනෙන්න පුළුවන්. ඒක මට අදාළම නැහැ. මම නිතරම උත්සාහ කරන්නේ සාමාන්‍ය සමාජය අමතන්න සමත්කම සපුරා ගන්නයි. මොකද ඒ ප්‍රේක්ෂකයාට නාට්‍ය කළොත් විතරයි නාට්‍යයකට පවතින්න පුළුවන්. මෙතරම් දුර එන්න පුළුවන් මම සාමාන්‍ය ප්‍රේක්ෂකයාට නාට්‍ය කරන නිසයි.

එදා සහ අද ප්‍රේක්ෂකයා අතර ලොකු වෙනසක් ඔබ දකිනවද?
මම ප්‍රේක්ෂකයෙක් විදිහට හිටි කාලය සමඟ සසඳන කොට ලොකු වෙනසක් තියෙනවා. අද ප්‍රේක්ෂකයෝ දෙවර්ගයක් ඉන්නවා. නාට්‍ය බලන, නාට්‍යයට ඇල්මක් තියෙන, නාට්‍යයට උනන්දුවක් දක්වන පිරිස වගේම සුබ සාධන සංගම්වලට ආධාර පිණිස නාට්‍ය බලන්න එන අයත් ඉන්නවා. මේ දෙවැනි අයට නාට්‍යයක් බැලීමේ හික්මීම නෑ. සමහරු ජීවිතයේ පළමු වතාවටයි නාට්‍යයක් බලන්නේ. සමහරු බිරිඳ නිසා එනවා. තවත් අය සැමියා එක්කගෙන ආ නිසා ඔහේ ඉන්නවා. අපිට මේ දෙපිරිසටම නාට්‍ය කරන්න වෙලා තියෙනවා.
ඒත් අපි කුඩා කාලයේ දකින ප්‍රේක්ෂකාගාරය අපිට නාට්‍ය කරන්නත් උනන්දුවක් ඇති කළා කිව්වොත් නිවැරදියි. ඒ කොටසත් අද නැතිව නෙමෙයි. ඉන්නවා. මේ සියල්ල අතරේ නාට්‍ය කරන්න වෙලා තියෙනවා. මොකද ප්‍රේක්ෂකයා නැතිව නාට්‍යයක් පවතින්න බෑ.

අද හාස්‍ය නාට්‍ය වැඩියි. මේ ප්‍රවණතාව නාට්‍යය කලාවටම බලපාන්නේ කොහොමද?
රටක ජනයා විවිධයි. ඒ වගේම ඔවුන්ගේ රසවින්දනයත් විවිධයි. විවිධ ශානරවල විවිධ ධාරාවල ඒ අය ගමන් කරනවා. ඒ නිසා විවිධ වර්ගයේ නාට්‍ය නිර්මාණය වීම වැදගත්. අපි කරමින් ඉන්නේ සංවාද නාට්‍ය එහෙම නැත්නම් සමාජ නාට්‍යය. එය එකම ධාරාව නෙමෙයි. තව වෙනස් ධාරාවන් තියෙනවා. ඒ අතරින් අද වනවිට අපේ සමාජයේ වඩා උනන්දුව තියෙන්නේ හාස්‍ය නාට්‍ය ධාරාවටයි.
ඒත් අභාග්‍යය අපේ රටේ මේ ධාරාව බොහෝම ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් බවට පත්වෙලා. හොඳ හාස්‍ය නාට්‍යයක් කරනවා කියන එක පහසු දෙයක් නෙමෙයි. ඒත් අපේ රටේ වේදිකාව උඩ නළුවෝ ටිකක් විහිළු කරන එක තමයි හාස්‍යය කියන්නේ. මොනවා හරි කොලොප්ප මක් කරන එක නෙමෙයි හාස්‍ය නාට්‍ය කියන්නේ. ඒත් ඒ රැල්ලට මිනිස්සු යනවා. ඒක හොඳ නාට්‍ය කලාවට යහපතක් නෙමෙයි.

ලංකාවේ විචාර කලාව ඇතුළේ කලාවට සෙතක් වෙනවාද?
එහෙම හිතෙන්නේ නැහැ. විචාරය වැදගත් කිසියම් කෘතියක් කෙනෙක් දකින විදිහ තව පිරිසක් අතරේ බෙදා ගන්න. ඒත් අපේ විචාරයේ යෙදෙන පිරිස කෘතියකට ගරු කරලා ඒ කෘතිය මතුවන අර්ථ නව පිරිසක් සමඟ බෙදා ගන්න කැමැති නැහැ. අපේ විචාරකයන් හැමවිටම උත්සාහ කරන්නේ කෘතියට ඉහළින් ඔවුන් ඉන්නයි. කලාවේ නිරත වන ක්‍රමයට ගරු කරන්න මුලින් ඉගෙන ගන්න ඕනෑ. මොකද දෙයක් කරන්නයි අමාරු. ඒක බලලා ඕනෑ දෙයක් ඕනෑ කෙනෙකුට කියන්න පුළුවන්. කෘතියේ නැති දේවල්වලට නොතේරෙන මහා වැල්වටාරම් ලිවීම විචාර වෙලා. කලා පිටු සංස්කාරකයන්ගේ කෝවක් ඇතුළේ මේ විචාර තියෙන්නේ.
ලතින් ඇමරිකානු ලේඛකයෙක් කියනවා නිර්මාණකරුවන් මිය ගියාම ඒ අයගේ පිළිම හදනවා. ඒත් විචාරකයන් මියගියා කියලා එහෙම පිළිම හදන්නෙ නැහැ කියලා. මොකද විචාරකයා නිර්මාණ කරුවාට වඩා ලොකු වන්නේ නැහැ. හැබැයි කට්ටිය එහෙම ලොකුවට හිතාගෙන ඉන්නවා.

වේදිකාවට අවශ්‍ය නළු නිළියෝ තෝරා ගැනීම අද ප්‍රශ්නයක් නෙමෙයිද?
මගෙන් සමහරු අහනවා දශක දෙකක් මේ ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්නේ කොහොමද කියලා. එහෙම ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ ප්‍රධාන කාරණා දෙකක් උඩයි. එකක් තමයි නාට්‍ය බලන්න ප්‍රේක්ෂකයෝ පිරිසක් හිටපු එක සහ ඉන්න එක. ඒ වගේම අනෙක් කාරණය තමයි නාට්‍ය කරන්න ඒ නාට්‍යවලට දායකවන්න, නාට්‍ය කලාව ගැන උනන්දුවක් තියෙන ඇත්තටම ඇල්මක් තියෙන හැදෑරීමක් තියෙන පිරිසක් මාත් එක්ක එකතුවෙච්ච එක. ‘සෙවන් සමුරායි’වල සමුරායිවරු හත්දෙනා තෝරනවා වගේ තමයි මමත් මගේ පිරිස තෝරාගත්තේ. ඒ අය තෝරද්දී ඉතාම සැලකිල්ලෙන්, ප්‍රවේශමෙන් දිගු කාලයක් නිරීක්ෂණය කරමින් තමයි මේ පිරිස හොයා ගත්තේ. අන්න ඒ නිසා තමයි ඔබගේ ප්‍රශ්නය මට ප්‍රශ්නයක් වෙලා නැත්තේ. හරියට ගරිල්ලා කණ්ඩායමක් තෝරනවා වගේ තමයි තෝරාගෙන තියෙන්නේ. සමහරු වැඩ ටික කරගෙන නිදහස් කරනවා. ඒ වාගේම තව සමහරු නිදහස් නොකර තියාගෙනම ඉන්නවා. ඒ අතරේ අලුත් දක්ෂ පිරිසක් දායක කර ගන්නවා. ධර්මප්‍රිය ඩයස්, ශ්‍යාම් ප්‍රනාන්දු මාත් එක්ක අත්නොහැර ඉන්න දෙන්නෙක්. කොහොම වුණත් හැම නාට්‍යයකම එකම අය ප්‍රධාන චරිත නොකරන්න මම පරිස්සම් වෙනවා.

නාට්‍යවලට අනුග්‍රාහකයෙක් සොයා ගැනීම අපහසු කටයුත්තක් නේද?
ඔව්! ඒක දැන් කරන්නම බැරි තරම්. මුල් කාලේ නාට්‍ය දෙක තුනකට අනුග්‍රාහකයෝ ලැබුණා. ඒත් මේ වනවිට තත්ත්වය වෙනස්. අදත් ලයනල් වෙන්ඞ්ට් එකේ කළමනාකරු හමුවෙලා ඉංග්‍රීසි නාට්‍ය්‍යවලට අනුග්‍රහය දෙන්න බලෙන් අහන තත්ත්වයක් තියෙනවා. ඒත් සිංහල නාට්‍යවලට ඒ තත්ත්වය නැහැ. මේ වනවිට අපි අපිට කියලා ප්‍රේක්ෂකාගාරයක් හදාගෙන ඉන්න නිසාත් රඟපාන අයගෙන් හිතමිත්‍රාදීන්ගෙන් ලැබෙන සහායත් නිසා අපි පවතිනවා. මේක දුෂ්කර ව්‍යායාමයක්. ඒත් අපි කරනවා.

ඔබ දීර්ඝ කාලයක් නාට්‍යකරුවෙක් විදිහට ඉන්නවා. ඒකත් සෑහෙන අමාරු කර්තව්‍යයක්.
සමහරු අහනවා ඇයි නාට්‍ය විතරක්ම කරන්නේ කියලා. ඒක හරියට වෛද්‍යවරයා විශේෂඥ වෛද්‍යවරයා වෙනවා වගේ. පළාත් සභාවේ ඉඳලා පාර්ලිමේන්තු යනවා වගේ. කලාව කියන්නේ එහෙම එකක් නෙමෙයි. එකම කලාවක දීර්ඝ කාලයක් රැඳීම හරිම වෙහෙස කරයි. නාට්‍ය කියන්නෙත් පරිපූර්ණ කලාවක්. නාට්‍යයක් දෙකක් කරලා දැන් ඇති. දැන් සිනමාවට යන්න ඕනෑ, එහෙම කරලා ඉවර කරන්න පුළුවන් කලාවක් නෙමෙයි. හොඳ නාට්‍යකරුවෙක් වීම මේ ජීවිත කාලයටම සපුරා ගන්න පුළුවන් වෙයිද කියන ගැටලුව මට තියෙනවා. මොකද තවම මා තෘප්තිමත් වන හොඳ නාට්‍යය වුණේ නැහැ. සමහර විට ඒක නොවෙන්නත් පුළුවන් කියන පටලැවිල්ලේ මම ඉන්නවා. මේ කාලය නාට්‍ය වෙනුවෙන් කැප කරන්නත් අමාරුයි. එහෙව් එකේ තව දෙයක් කරන්නේ කොහොමද? ඔබ කිව්වා වගේ මේ ක්ෂේත්‍රයේ දීර්ඝ කාලයක් ඉඳීම හරිම වෙහෙසයි. ඒ හික්මීම කැපවීම පවත්වාගෙන යෑම ලේසි නෑ. ඒත් අපේ රටේ දීර්ඝ කාලයක් කලාව රැඳීම දකින්නේ අවඥාවෙන්. එක නාට්‍යයක් කරලා ආයේ කවදාවත් නොකර ඉන්න අය හොඳයි, එහි නියැලෙමින් තව තව නාට්‍යය කරන අයට වඩා. එහෙම සමාජයක එකම වැඩක නියැලීම ලේසි නෑ. ඒත් මම අමාරු දේ කරනවා. මගේ මුළු ජීවිත කාලයම ඒ දේ කරනවා. මම හිතනවා මම නාට්‍යකරුවෙක්. ඒ සඳහා තව බොහෝ දුර යන්න තියෙනවා. තව බොහෝ දේ කරන්න තියෙනවා. තව බොහෝ දේ ඉගෙන ගන්න තියෙනවා. එහෙම බැලුවාම මේ ක්ෂේත්‍රයේ නියැලෙන්න මේ ජීවිත කාලය මදි.

ඇත්තටම රාජිතට නාට්‍යකරුවෙක්ම වෙන්න හිතුණේ ඇයි?
මගේ තාත්තා හොඳ නාට්‍ය රසිකයෙක්. ඔහු නාට්‍ය නරඹන්නෙක්. ඒ අවස්ථාවලදී ඔහු මාවත් එක්ක ගෙන ගියා. මට මතකයි අසූවේ විතර ටවර් හෝල් එක නවීකරණය කරලා සමුද්‍රදේවි, ශ්‍රී වික්‍රම රාජසිංහ නාට්‍ය පෙන්නුවා. ඒවා බලන්න තාත්තා මාව එක්කගෙන ගියා. එතකොට අපි කාලයක් හිටියා හලාවත. හලාවත ඉන්න කාලේ ‘සුදසුන’ ශාලාවට නාට්‍ය එනවා. කොළඹ පෙන්නලා ඉවර වුණ ගමන් හලාවතට එනවා. මම මේකේ නාට්‍ය බලන්න පුරුදු වුණා. චිත්‍රපට බැලුවාට මට ඊට වඩා නාට්‍ය ප්‍රියවුණා. සජීවී රංගනයක් දැක්කාම ඒක මට විශේෂ වුණා. ඒ වගේම ඒක හරිම ආස්වාදනීය වුණා. ඉඳගෙන නාට්‍යයක් දිහා බලනකොට එහෙම දැනෙනවා නම් එහි නියැලීම කොතරම් ආස්වාදජනකයිද කියලා මට හිතුණා. උසස් පෙළ කරන කොට මම පාසලේ ගුරුවරු සම්බන්ධ කරගෙන නාට්‍යයක් කළා. ඒ විදියට පටන් ගත්ත ගමන තවම එනවා. එදා වගේම අදත් මට වේදිකාව තුළ දකින සජීවී බව මාව ආශීර්වාදයට පත් කරනවා. ඒ සජීවීභාවයම තමයි වේදිකාවේ මාව ජීවත් කරවන්නේ.

නාට්‍ය කලාව රැක ගැනීමට රාජ්‍ය මැදිහත්වීම ඉතාම අල්පයි නේද?
ඒක හැම කලාවටම පොදුයි. පවතින රජයත් පැවති රජයනුත් ඒ වෙනුවෙන් කැපවුණේ නැහැ. අපේ රටේ කිසිම ආණ්ඩුවකට කලා ජීවිතය ගැන හරි අදහසක් නැහැ. හරිම කනගාටුයි. අවුරුදු පහක් තිස්සේ එල්ෆින්ස්ටන් රඟහල අලුත්වැඩියා කරනවා. රඟහල් පහක් හදන්න තිබුණා මේ කාලය තුළ. ජෝන් ද සිල්වා රඟහල නවීකරණය කරලා ඉවර නෑ. ඉවර වුණාම ඒකට අත්වන ඉරණම ගැන විවිධ කතා අහන්න ලැබෙනවා. ලුම්බිණිය දවසක් ඇරලා දවසක් වහලා. රාජ්‍ය නාට්‍ය උළෙල නෙළුම් පොකුණේ පැවැත්තුවා. හැබැයි ඒක රූපවාහිනියේ පටිගත කරලා ප්‍රචාරය කරන්න මුදල් වෙන් කරන්න විදියක් නෑ. ඒකට මුදල් නෑ. මෙහෙම තමයි ආණ්ඩු කලාවට මැදිහත් වෙන්නේ. ආණ්ඩුවල මැදිහත්වීම් ගැන හිත හිතා හිටියා නම් අපිට නාට්‍ය කරන්න වෙන්නේ නෑ. අපි අපිට පුළුවන් විදියට වැඩ කරනවා. ඒ වැඩ ඇතුළේ ජීවත් වෙනවා.■