රාවය

අලුත් මිනිසුන් සඳහා අලුත් දැනුම දෙමු ළමුන්ට

අලුත් මිනිසුන් සඳහා අලුත් දැනුම දෙමු ළමුන්ට

මංජු කස්තුරිආරච්චි

ලංකාවේ දැන් සිටින වැඩි හිටියන් හැම අතින්ම සිටින්නේ පරණ වූ මිනිසුන් ලෙසින්ය. ඔවුන්ගේ සිතුම් පැතුම් සියල්ල පැරණිය. මේ 56 දරුවන්ගේ අද දවසේ තත්ත්වය යැයි සිතුවාට වැරදි නැත. සරමට යටින් කලිසම ඇඳන් 1956දී වේදිකාවට ගොඩවූ බණ්ඩාරනායක යටත්විජිත ලංකාව අලුත් පදනමක් මත සිටෙව්වේය. ඒ අත්තිවාරම මත ගොඩනැගි ලංකාව නමැති නිවස ලෝකයේ කුමන හෝ වාස්තු විද්‍යාවකට හසුනොවන විකාර නිවසක්ම විය. එහි සිටින මිනිසුන්ට එයින් වූ සෙවණක් නැත. 1977 දී ජේ.ආර්. ජයවර්ධන මේ නිවස අලුතින් වර්ණ ගන්වා අලුත් නිවසක් ලෙස පෙනෙන්නට සැලස්සුවත් එහි තිබෙන අවුල තවමත් එලෙසමය. අපි තවමත් කලර් වොෂ් කරමින් සිටින්නෙමු. මේ නිවසම ඩෝසර් කර අලුත් නිවසක් අලුත් පදනමක් මත ඉදිකරන්නට අපට හිතෙන්නේම නැත. ඒ අප 56 දරුවන් නිසාය. එනිසා අලුත් ලංකාවක් තනන්නට නම් අලුත් මිනිසුන් තැනිය යුතුය. ඒ සඳහා දරුවන් අලුත් දැනුමින් පොහොසත් කළ යුතුය. දරුවන් අලුතින්ම නිර්මාණය කළ යුතුය. ඒ සඳහා අලුත් අධ්‍යාපනයක් අලුත් පොත් අවශ්‍යය. අන්තර්ජාලය වැනි මාධ්‍ය තිබුණත් ඒවායින් අලුත් දැනුම ගලාගෙන ආවත් දරුවෙකු අලුතින් නිර්මාණය කිරීම උදෙසා පොතකට තිබෙන හැකියාව වියැකී නැත. ඒ නිසා දරුවන් සඳහා හොඳ පොත් අනාගතයේ හොඳ රටකට අවැසි මනුෂ්‍ය සම්පත නිර්මාණය කරදෙනු ඇති. ඇත්තටම අපට සෝවියට් දේශයෙන් ආනයනය කළ ළමා සාහිත්‍ය සඳහා වූ පොතපත නොමැත්තේ නම් ළමා සාහිත්‍යයක් තිබෙන්නේ දැයි මඳක් සිතා බැලිය යුතුය. අද දවසේ නිර්මාණය වන ළමයින් සඳහා වූ චිත්‍රපට දෙස බලන විට අපේ රට තුළ ළමා සාහිත්‍යය හඳුනාගෙන තිබෙන දිග පළල ගැන යම් අදහසක් ලබාගත හැකිය. අප අද නිෂ්පාදනය කරමින් සිටින්නේ ළමා ලේබලය ගැසූ වැඩිහිටි චිත්‍රපටය. අද දවසේ ලංකාවේ ළමයින් සඳහා ලියැවෙන ළමා සාහිත්‍යය ද එක්තරා දුරකට ළමයින්ගෙන් දුරස්වූ වැඩිහිටියන් සඳහා වූ සාහිත්‍යයක්ය. මේ නිසා මේ බොහෝ පොතපතින් අලුත් සිතීම් පද්ධතියක් තිබෙන දරුවෙකු බිහිවීම උගහටය. අඩුම තරමින් ඒ සඳහා වූ යෝජනාවන් හෝ මේ බොහෝ පොත්වලින් කෙරෙන්නේ නැත. මේ පූර්විකාව ලීවේ ළමා පොත් පෙළක් පිළිබඳව වැඩිහිටි ඔබ දැනුවත් කිරීම සඳහාය. මේ ළමා පොත් පෙළ අනුවර්තනයන්ය. එහි අනුවර්තිකාව රුවිනි ප්‍රසාදිනී ධර්මවර්ධනය. මෙහි මුල් කෘති ජේන් ග්රීන්ගේය. එහි මුල් සිතුවම් මයික් ගෝඩන්ගේය. රුවිනි කියන්නී මේ පොත් ඇමරිකාවේ සහ කැනඩාවේ දරුවන් සඳහා නිර්දේශිත කෘතීන් බවය.

කුණුවලින් වැඩ ගනිමු
මේ එක කෘතියක නමය. අද අපේ රටේ මිනිසුන් කුණු කඳුවලට යටවී මියයන පසුබිමක් මත මේ පොත බොහෝ වැදගත්ය. සරල සමාජයකදී අපි කුණු ඔහේ බැහැර කළෙමු. එය බොහෝ විට උදෑසන කෙසෙල් පඳුරක් ළඟට නැතිනම් පොල් ගසක් වටා දැමුවෙමු. එකල පොලිතීන් නැති නිසා සහ බොහෝ ද්‍රව්‍ය පොළොවට දිරායන තත්ත්වයේ නිසා එතරම් අවුලක් සිදුවුණේ නැත. එහෙත් සමාජය වෙනස්වීමට සාපේක්ෂව, නාගරීකරණයට සාපේක්ෂව නොදිරණ කුණු ගෙදරට කඩෙන් එන පසුබිම එන්න එන්නම වැඩිවන විට ද අප මේ අලුත් කුණු දෙසද බැලුවේ අර සරල සමාජ තත්ත්වයෙන්මය. අපි දැන් නවීන සමාජයකදීද කුණු තැනින් තැන විසිකරමින් සිටින්නෙමු. ඔහේ දමමින් සිටින්නෙමු. දැන් තත්ත්වය බරපතළය. කෙතරම් බරපතළද යැයි කීවොත් අද කුණු කඳු නායගොස් මිනිස්සු සාමූහිකව මියැදෙමින් සිටිති. මේ අවුල එන්නේ සමාජ දියුණුවට සාපේක්ෂව අප ජාතියක් ලෙස දියුණු නොවීමේ පසුබිම තුළය. නොදිරන කුණු ලංකාවට ආවත් ඒ සමග ප්‍රතිචක්‍රීයකරණය ලංකාවට ආවේ නැත. එය අප සොයා ගත්තේද නැත. එනිසාම දැන් අපට ජාතියක් ලෙසම කුණු වර්ගීකරණය කරන්න හෝ දන්නේ නැත. එනිසා මේ වැඩිහිටි සමාජයට කුණු ප්‍රතිචක්‍රීයකරණය මැජික් ය. එහෙත් මේ දැනුම ළමුන්ට සම්ප්‍රේෂණය හරහා අනාගතයේදී වැඩිහිටියන් වන දරුවන් කුණු පිළිබඳ දැනුමින් සන්නද්ධ කර කුණු යනු ප්‍රතිචක්‍රීයකරණය කර නැවත භාවිතයට ගත හැකි සම්පතක් බව දන්නා ඒ වෙනුවෙන් කටයුතු කරන මිනිසෙකු කළ හැකිය. මේ පොත ඒ සඳහා ලොකු සේවයක් කරන බව මගේ හැඟීමයි. අනෙක් පැත්තෙන් කැනඩාව, ඇමරිකාව වැනි රටක් තමන්ගේ දරුවන්ට මෙවැනි ග්‍රන්ථයක් නිර්දේශ කිරීම හරහා පෙනෙන්නේ කුණු යන්න පුංචි කාලයේ සිට දැනුවත් කළයුතු විෂයක් බව ඔවුන් හඳුනාගෙන ඇති බවය. ඒ හඳුනාගැනීම තුළ අද ඒ රටවල මිනිසුන් කුණු නිසා මැරෙන්නේ නැත. ඒ නිසා පුංචි දරුවන් කුණු ප්‍රතිචක්‍රීයකරණය පිළිබඳව උනන්දු කරන්නට කුණු පිළිබඳව අලුතින් සිතන පරපුරක් හදන්නට කුණු ප්‍රතිචක්‍රීයකරණය සරලව ළමා මනසට එන්නත් කරන මේ කුඩා පොත අපූරුය.

ඊළඟ පොත්
වතුර කොච්චර වටිනවාද?, බලශක්තිය අඩුවෙන් පාවිච්චි කරමු, වටපිටාව ඔයාගෙයි මගෙයි මේ කෘතීන් ත්‍රිත්වයද අප සාකච්ඡා කළ මුල් කෘතිය සේම වැදගත්ය. ලංකාව අතීතයේ සිටම වතුරින් එතරම් ගැටලුවක් තිබූ රටක් නොවේය. අපි අතීතයේදී වතුර පරිස්සම් කරගන්නට වැව් බැන්දෙමු. අපේ අතීත වාරි ක්‍රමය කාලයක් වැසි ජලය කළමනාකරණය මතද, තවත් යුගයකදී ගංගා ජල කළමනාකරණය මතද පිහිටියේය. ඒ නිසා අපට හොඳට වතුර තිබුණේය. එහෙත් දැන් තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්ය. නියඟය සුලබය. අතීතයේදී වතුර සුලබ නිසාම වතුර පරිභෝජනයේදී අපි බොහෝ නොසැලිකිලිමත් වූවෝ වෙමු. එහෙත් දැන් තත්ත්වය තුළ වතුර සම්පත ආරක්ෂා කරගන්නේ කෙසේදැයි නැවත සිතා බැලිය යුතුය. ඒ සඳහා පුංචි කාලයේ සිටම හුරු කිරීමට දරුවන් අලුත් සිතීමකට නිරාවරණය කිරීමට මේ වතුර කොච්චර වටිනවාද යන කෘතිය වැදගත්ය. මෙහි අනෙකුත් මාතෘකාවලින් හඳුන්වන පොත් දෙකද කාලීන වශයෙන් දරුවන්ට වැදගත්ය. බලශක්තිය අඩුවෙන් පාවිච්චි කරන්නට අප ජාතියක් ලෙසම පුරුදු වියයුතු කාලයකි මේ. අනෙක් පැත්තෙන් පරිසරය සුරක්ෂා කරගැනීමද බෙහෙවින් වැදගත්ය. පරිසරය පිළිබඳවද අපි දරන්නේ කුණු පිළිබඳව දරන්නා සේ පැරණි ආකල්පයකි. මේ තත්ත්වය තුළ පරිසරය පිළිබඳව දරුවන් අලුතින් අලුත් දැනුම සමඟ හිතන්නට හුරුකිරීම කාලීනය. මේ නිසා මේ කුඩා පොත් හතර සහ ඒ ඔස්සේ දරුවන්ට දෙන දැනුම වැදගත්ය. අලුත් පොත් අලුත් දැනුම යනු අලුත් මිනිසුන්ය. එනිසා ලංකාව සමාජයක් ලෙස අද ගැලී සිටින ප්‍රශ්න බොහොමයකින් ගැලවෙන්නට මෙවැනි පොත් විශාල වශයෙන් ලියවිය යුතුය. මේ සමාජය ලස්සන වඩා යහපත් සමාජයක් කිරීමේ පළමු පියවර පාසලින් දරුවාගේ අධ්‍යාපනයෙන් ආරම්භ කළ යුතුය. ඒ සඳහා මෙවැනි පොත් අත්වැලකි.■