රාවය

ලිංගිකත්වයේ පරාමිතීන්: 28

ලිංගිකත්වයේ පරාමිතීන්: 28

එරන්ද මහගමගේ

සමකාලීන ලාංකේය සමාජ සන්දර්භය මතු කරන ප්‍රශ්න දෙස බැලුවොත් ඒවා සැබෑ ලෙස ම ගෝලීය ව කතාබහට ලක් කළ සහ යම් ආකාරයකට ඒවාට පිළිතුරු නිර්මාණය කළ ඒවා ලෙස අපට වටහාගත හැකිය. එහෙත් මේ මඟින් නැවත නැවත අපට මතක් කර සිටින්නේ මෙම ගැටලු පිළිබඳ අප තවදුරටත් සාකච්ඡා කළ යුතු බව කියා සිතමු. එසේම අපගේ එළඹුම වන්නේ ඒවා සමඟ දුර දිග යන සංවාදයකට මුල පිරීමයි. විශේෂයෙන්ම ප්‍රසන්න ජයකොඩිගේ 28 චිත්‍රපටය අපට මතක් කර සිටින්නේ එවන් මාතෘකාවකි. මෙම චිත්‍රපටය ඉතාමත් සිත්ගන්නාසුලු ආකාරයෙන් සිදුවීම් නිරූපණය කිරීමත් ඒවා සමඟ අපගේ සම්බන්ධතාව අඛණ්ඩව පවත්වා ගෙන යාමත් අපගේ සතුටට හේතු වේ. පිරිමියෙකු කිසිදාක ඔහු කිසියම් ලිංගයකට අදාළ බව, ලිංග ප්‍රභේදයකට අයත් බව කියන්නේ නැත. එක්තරා ආකාරයකින් එය පිරිමි බව ප්‍රකාශ කරන විට ම ස්වයංක්‍රීයව මතුවන අදහසකි. එහෙත් මෙම 28 චිත්‍රපටයේ දී ප්‍රසන්න ජයකොඩි කතා කරන්නේ ස්ත්‍රිය පිළිබඳවයි. ප්‍රශ්නය වන්නේ ස්ත්‍රිය ගැන කතා කිරීම නොවන අතර ඉන් ඔබ්බට මතු කරන ප්‍රධාන කාරණයයි. මෙම චිත්‍රපටය සහ ඒ ආශ්‍රිත කතිකාවේදී ප්‍රසන්න ජයකොඩි මතු කරන කාරණයක් වන්නේ, ලිංගිකත්වය යනු අතිශය ස්වභාවික කාරණයක්ය යන්නයි. අපගේ මූලික අවධානය යොමුවන්නේ මෙම තර්කය දෙසටය. එක්තරා ආකාරයකට ජයකොඩි ප්‍රකාශ කරන මෙම කාරණය සිනමාපටයේ මතු නොවීම, නොඑසේ නම් එය සිනමාපටය විසින්ම ප්‍රශ්න කිරීම විශාල පරස්පරයකි.

ලිංගිකත්වය යනු ස්වාභාවික කාරණාවක්ය යන ප්‍රකාශය එක්තරා ආකාරයකට ස්ත්‍රීවාදී ව්‍යාපාරය දේශපාලනික වශයෙන් සහ දාර්ශනික වශයෙන් පිළිතුරු ලබා දුන් ප්‍රශ්නයකි. එහෙත් අපගේ සිතීම වන්නේ මෙම ප්‍රශ්නය යළි සාකච්ඡා කළ යුතු බවයි. ඒ නිසා මූලිකව අප ගැහැනිය සහ ශරීරය අතර සම්බන්ධය සෙවිය යුතු වේ. ඒ පිළිබඳ ශාන්ත තෝමස් ඇක්වයිනාස් කළ ප්‍රකාශයක් අපට මෙහිදී සලකා බැලිය හැකිය. ගැහැනිය කියා කියන්නේ අසම්පූර්ණ පිරිමියෙක්; එහෙමත් නැත්තම් ගැහැනියගේ පැවැත්ම තිබෙන්නේ පිරිමියාට සාපේක්ෂව බව ඇක්වයිනාස් කියයි.

එවිට අපට වැටහෙන අනියම් කාරණාවක් වන්නේ මනුෂ්‍යත්වය කියන්නේ සම්පූර්ණයෙන්ම පිරිමි එකක්. එවිට මිනිසා ගැහැනිය නිර්වචනය කරන්නේ ඇය තුළ නොවේ, ඔහුට සාපේක්ෂව බවයි. දැන් 28 චිත්‍රපටය ඉතා ලස්සනට අපට මෙම තර්කය ඉදිරිපත් කරයි. එහි එක්තරා අවස්ථාවක් වන තුරු වාහනය හුදකලාවේ ගමන් කරයි. පිරිමි තුන්දෙනා කතාබහෙන් පසු වෙති. ඔවුන් අපට දිස්වන්නේ පරිපූර්ණවයි. එහෙත් එක්වරම මතුවන සුද්දීගේ චරිතය එසේ සම්පූර්ණ නොවේ. එය විග්‍රහ වන්නේ පිරිමියාට සාපේක්ෂවයි. අබසිරිට, ලෙනින්ට, අබසිරිගේ පියාට සාපේක්ෂවයි.

එහෙත් එක්තරා ලෙසකට මෙම චිත්‍රපටය අපට සමකාලීන ස්ත්‍රීවාදය නැත්නම් සමකාලීන ස්ත්‍රිය පිළිබඳ කතිකාව ගැන සිතන්නට යම් උත්තේජනයක් ලබාදෙන බව දක්නට ලැබේ. ප්‍රධාන වශයෙන් එහිදී ලිංගිකත්වය ස්වාභාවිකද නැතහොත් සමාජීයද යන ප්‍රශ්නය නැවත අපගෙන් විමසා සිටිනු අපට දක්නට ලැබේ. මෙම පදනම වටහා ගැනීම සඳහා අප සම්භාව්‍ය ස්ත්‍රීවාදය සහ එයට එල්ල වූ විවේචන පැහැදිලි කරගත යුතු වේ. ලංකාවේ නම් 90 දී රොහාන් පෙරේරා, සුනිලා අබේසේකර වගේ අය සහ 90න් පසු නෙලූෆ ඩි මෙල්, ශර්මාල් විජේවර්ධන වගේ භාවිතයන් අපට සොයා බැලීමට හැකි නම් මෙහි මූලික අදහසක් පිරික්සිය හැකිය. ගෝලීයව මෙම සංවාදය ඇති කළේ ජූඩිත් බට්ලර් නම් ඇමරිකානු චින්තිකාවයි. සම්භාව්‍ය ස්ත්‍රීවාදයට බට්ලර් දැක්වූ විවේචනය අපට සලකා බැලීමට හැකිය.

සම්භාව්‍ය ස්ත්‍රීවාදය විසින් මූලික වශයෙන් ලිංගිකත්වය සම්බන්ධයෙන් ප්‍රධාන බෙදීමක් ඇති කරන ලදි. ඔවුනගේ තර්කය පරිදි ීැං ජීව විද්‍යාත්මක වන අතර ඨැබාැර සමාජීය වේ. ජීව විද්‍යාව විසින් සමාජය තුළ ස්ත්‍රියක හෝ පුරුෂයෙකු වීම තීරණය නොකරන බව මෙහි ප්‍රධාන අදහස වේ. අප දන්නා පරිදි ස්ත්‍රියක ලෙසට කිසිවකු බිහි නොවන අතර සමාජය විසින්, සංස්කෘතිය විසින් ස්ත්‍රියක බවට පත් කරනු ලබයි. ඒ අනුව කුඩා කාලයේදී ගැහැනු ළමයාට බෝනික්කන් දෙන අතර පිරිමි ළමයින්ට තුවක්කු සහ වාහන වැනි දෑ ලබාදෙයි. මෙහිදී ස්ත්‍රියක ලෙස ගොඩනැංවීම සිදුවන්නේ මෙම ආකාරයෙනි. 28 චිත්‍රපටයේදී රාත්‍රියේ වෑන් රථයේ ගමන් කරන්නේ කවුරුන්ද යැයි ඇසුවහොත් බොහෝ දෙනෙකු පිළිතුරු දෙනු ඇත්තේ පිරිමි තිදෙනෙකු යනුවෙනි. මහේන්ද්‍ර පෙරේරා, රුක්මල් නිරෝෂ් සහ සරත් කොතලාවල දක්ෂ ලෙස නිරූපණය කරන චරිත නිසා අපට ඔවුන් පිරිමි බව හැඟී ගියත් සියුම්ව නිරීක්ෂණය කිරීමේදී අපට පෙනී යන්නේ අප ඔවුන්ට පිරිමි යැයි පවසා ඇත්තේ ඔවුන්ගේ ලිංග අනන්‍යතාවෙන් නොව ඔවුන්ගේ බාහිර ස්වරූපය නිසාවෙන් බවයි.

ඒ නිසා පිරිමි යන්න ගොඩනැඟී ඇත්තේ රැවුල වැවීම, රාත්‍රියේ ගමන් යෑම, කලිසම් ඇඳීම, වාහන පැදවීම නිසා නම් අපි කිසියම් පසුගාමී තත්ත්වයකට පත් වෙමු. එසේ වන්නේ එවැනි දෑ කරන ස්ත්‍රීන් ලෝකයේ වෙනත් රටවලත් ලංකාවේත් අපට දක්නට ලැබෙන නිසාය. ඒ අනුව පිරිමි බව සහ ස්ත්‍රී බව යනු සම්පූර්ණයෙන්ම ගොඩනැංවීමක් බව අපට වටහාගත හැකිය. පිරිමි හෝ ගැහැනු බව තීරණය වන්නේ තමන්ගේ අවයව මත නොවන බව මේ අනුව අපට වැටහේ. මේ අනුව ගැහැනියක් යන්න සමාජය විසින් පවරන ලද දෙයකි. මෙම අදහස තවත් සරල කරගැනීම සඳහා අප හොඳින්ම දන්නා ගීතයක් මෙහිදී අපට සහාය කරගත හැකිය. අමරදේව ගායනා කරන කුමරියක පා සළඹ සැලුවා යන ගීතය අපට හුරුපුරුදු ජනප්‍රිය ගීතයක් බව අපි දනිමු. එහෙත් අප බොහෝ විට ප්‍රශ්න නොකරන දෙය වන්නේ එහි කුමරියට කුමක් සිතෙන්නේ ද යන්නයි. අපගේ පිරිමි ෆැන්ටසිය විසින් ගීතය ග්‍රහණය කරගත්තත් අප කිසි විටෙක කුමරිය ගැන සලකා බලන්නේ නැත.

අප උපකල්පනය කළහොත් කුමරිය එක්වරම කතා කරන්න ගනීවි යැයි කියා එවිට අපගේ සම්පූර්ණ පිරිමි ලිංගික ෆැන්ටසිය කඩා වැටෙනු ඇත. 28 චිත්‍රපටයේ සෞන්දර්ය මතුවන්නේ එහිදීය. ප්‍රසන්න ජයකොඩි 28 චිත්‍රපටයේ දී සුද්දී ගැන පිරිමින් කතා කරගෙන යන අතර එය ඛණ්ඩනය කොට සුද්දීට කතා කරන්නට ඉඩ සලස්සවයි. එක්තරා ලෙසකට එය ජයකොඩි සිදු කළ සාර්ථක එළැඹුමක් ලෙස පැවසීම සාධාරණය. එහෙත් ප්‍රශ්නය වන්නේ සුද්දී කතා කරන්නේ කුමක් ද යන්නයි. 28 චිත්‍රපටයේ දී සුද්දී විසින් කරනු ලබන ප්‍රකාශ සලකා බලන විට පෙනී යන්නේ ඒවා මඟින් ස්ත්‍රිය යැයි යමක් ගොඩනංවන බවයි. ඇයට අහිමි වූ ලිංගික ජීවිතය, ඇය කෙරෙහි ගැමි ප්‍රජාව ආසක්ත වීම, මාමණ්ඩියගේ ඇල්ම ආදිය සහ නගරයට යාමත් එහිදී ලිංගික සූරාකෑමට ලක්වීමත් මෙහිදී සුද්දී විසින් මතක් කරනු ලබයි. එහෙත් ඒවා බොහෝමයක් සියුම්ව පරීක්ෂා කළ විට අපට දක්නට ලැබෙන්නේ ඒ තුළින් ප්‍රසන්න ජයකොඩි ස්ත්‍රිය මේ ආකාරයේ යැයි සහ ස්ත්‍රිය විශාල අසාධාරණයකට ලක් වී ඇති බවට පෙන්නුම් කිරීමයි. එය සාධාරණ වුවත් ඉන් ඔබ්බට වන ප්‍රශ්නය වන්නේ මෙම ගොඩනඟන ස්ත්‍රී කතිකාවම ස්ත්‍රියට විරුද්ධව නැතහොත් අධිපතිධාරීව සකස් වීමයි.
එහි ප්‍රබලතම මතවාදය ලෙසට මෙම චිත්‍රපටයෙන් ගෙන එන්නේ ලිංගිකත්වය යනු ස්වාභාවික දෙයක්ය යන්නයි. මෙම තර්කයේදී 28 සිනමාපටය තරමක් පසුගාමී තත්ත්වයක් පෙන්නුම් කරයි. එහෙත් අපගේ අදහස සෘජුව ප්‍රකාශ කරන්නේ නම් ලිංගිකත්වය යනු කිසිසේත්ම ස්වාභාවික නොවන්නකි. එය සාධනය කිරීම සඳහා අප මෙහිදී බට්ලර්ගේ මූලික එළැඹුම යළි කියැවීමකට ලක් කරමු. සම්භාව්‍ය ස්ත්‍රීවාදය ප්‍රකාශ කළ දෙයක් වන්නේ ස්ත්‍රීත්වය යන්න සමාජය විසින් ගොඩනඟන දෙයක් යන්නයි. එම ගොඩනැඟීම්වලට ස්ත්‍රීවාදය විරුද්ධ වෙයි. එහෙත් මෙය පදනම් වන්නේ පුරුෂ මූලික සමාජයේ ීැං කියන දේ මතයි. මෙහි ඇති වන උපකල්පනය වන්නේ ීැං කියන දේ ජීව විද්‍යාත්මකයි. ඒක ඇත්ත කියා අප කරන ප්‍රකාශනයයි. දැන් එක්තරා ආකාරයකට මෙය සත්භාවවේදී ප්‍රශ්නයක් ලෙසත් අපට මතු කළ හැකියි.

ස්ත්‍රියගේ අනන්‍යතාව සම්පූර්ණයෙන්ම ගොඩනංවනු ලබන්නේ සමාජය විසින් වන අතර එයට එරෙහිව ස්ත්‍රීවාදී ව්‍යාපාරය කටයුතු කළේය. එහෙත් මෙම අභියෝගය පදනම් කරගනු ලබන්නේ පුරුෂ මූලික සමාජය විසින් ිැං කියන දෙයක් මතයි. මෙම සිනමාපටයේ අපට එය හොඳින්ම දැකගත හැකිය. සුද්දීගේ විමුක්තිය සහ ඇය පදනම් වන්නේම සමාජය ගොඩනැඟූ ිැං නම් අදහසක් මතයි. මෙහිදී සාමාන්‍යකරණය වූ අදහස වන්නේ ජීව විද්‍යාත්මක යමක් තිබීම සහ එය අනිවාර්යෙන් සත්‍ය වන දෙයක් ලෙසට අප සැලකීමයි. මේ අනුව බට්ලර් නඟන ප්‍රශ්නය වන්නේ ජීව විද්‍යාත්මකව ිැං ඇත්ත බව අප දැනගන්නේ කෙසේද? යන්නයි. පුළුල්ව සලකා බලන විට මෙම අද සමාජයේ නොයෙකුත් උදාහරණ ආශ්‍රයෙන් පැහැදිලි කරගත හැකිය.

සම්භාව්‍ය ස්ත්‍රීවාදය ගැහැනිය සහ පුරුෂයා නම් වූ මෙම බෙදීම සමාජය විසින් කරන ලද්දක් බවට තර්ක කරන විට බට්ලර්ගේ ස්ත්‍රීවාදී කියවීම එයට විවේචනයක් සිදු කරයි. එනම් අප ගැහැනියක හෝ පිරිමියෙකු ලෙසට සමාජයට ඇතුළත්වීමට ප්‍රථමයෙන් පාරිශුද්ධ තත්ත්වයක් තුළ ස්ත්‍රී පුරුෂ බෙදීමක් ඇති බවට වූ උපකල්පනයක් සම්භාව්‍ය ස්ත්‍රීවාදයේ තර්කය තුළ අන්තර්ගත වන බවයි. අපට මෙම අදහස තවත් සරල ලෙසට වටහාගත හැකිය. අප කිසිවකුට සමාජයෙන් හෝ සංස්කෘතියෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වී ස්වාභාවික ලෝකයකට ගොස් නැවත ස්වාභාවික ලෝකයෙන් සම්පූර්ණයෙන්ම විනිර්මුක්ත වී සමාජයට පැමිණිය නොහැකි වේ. ඒ අනුව සමාජය විසින් ස්ත්‍රී පුරුෂ භේදය නිර්මාණය කළ බව පවසන විට ඉන් උපකල්පනය වන්නේ ස්වාභාවික තත්ත්වයක මෙම ලිංග භේදය පවතින බවයි. අප දැනට දන්නා පරිදි අපට එය කීමට හැකියාවක් නැත. එය පරස්පරයකි. මේ සඳහා හොඳම නිදර්ශනය වන්නේ ඔලිම්පික් තරගාවලීන්ය. එහිදී එක්වරක් පාපැදි ශූරියක් ඨැබාැර ඔැිඑ එකකදී අසමත් වෙයි. ඇය පසුව කලක් යත්ම දරුවකු බිහි කරයි. මෙම තරග ස්ත්‍රී පුරුෂ භේදය මනිනු ලබන්නේ ගොඩනැංවීම් අනුවය. එසේම ජීව විද්‍යාත්මක දත්ත අනුවය. එහෙත් ජීව විද්‍යාව පරම නොවන බව මේ අනුව අපට පැහැදිලි වේ. ඒ අනුව ස්වාභාවික කියා කිසිවක් නොමැති අතර ස්වාභාවික සහ සංස්කෘතික ලෙස ඇති කළ බෙදීම සංස්කෘතිය විසින් ඇති කළ බෙදීමකි. විශාලතම පුරුෂ මූලික අදහස වන්නේ මෙයයි. ඒ අනුව ස්වභාවධර්මය යනුම සංස්කෘතික අදහසක් වේ.

ඒ අනුව විද්‍යාව යනු වරින් වර වෙනස් වන්නක් වන අතර එක් වරකදී ඔබ මා තරංග ලෝකයේ ඉන්නා අතර පසුව ක්වොන්ටම් ලෝකයේ ය. එක් කලෙක අප පෘථිවි කේන්ද්‍රවාදයේ ඉන්නා අතර පසුව සූර්ය කේන්ද්‍රවාදයේ ය. එක් වරක නිරපේක්ෂවාදයේත් දැන් අපි සාපේක්ෂතාවාදය යටතේත් ජීවත් වන්නෙමු. ඒ අනුව අප ජීව විද්‍යාව පරම ලෙස ගතයුතු නොවේ. බට්ලර් මේ අනුව යෝජනා කරන්නේ ලිංගික අනන්‍යතාව යනු අප විසින් රඟදක්වනු ලැබූ චැරදෙරප්එසඩැ දෙයක් ය යන්නයි. අපට ගැහැනුන්ගේ හෝ පිරිමින්ගේ සීමා තීරණය කළ හැකි නොවේ. අප විසින් කරනු ලබන්නේ රඟ දැක්වීමකි.

ග්‍රාමීයව ලිංගිකත්වය සම්බන්ධයෙන් ඇති පසුගාමී අදහස් පද්ධතිය සුද්දී විසින්ම මෙහිදී පවසනු ලබයි. ජයකොඩි විසින් සාම්ප්‍රදායික කතා කලාවට ඔබ්බෙන් ගොස් සිනමා සෞන්දර්ය ආශ්‍රය කොට ගෙන එම සමාජ පසුගාමීත්වයන් හොඳින් ප්‍රේක්ෂකයා වෙත ඉදිරිපත් කරනු දක්නට ලැබේ. එසේම මෙම චිත්‍රපටයේදී මුලින් අප වෙත පෙන්නුම් කරන රූප සහ දෙබස් තුළත් යම්කිසි වාමාංශික දේශපාලනයක සේයාවක් දැකගත හැකි වුවත් සිනමාකරුවා එය මෙහි රියදුරු වන ලෙනින්ගේ චරිතයට පමණක් ඌනනය කරයි.
අද වෙළෙඳපොළකරණය වූ ලෝකය අපට ස්ත්‍රිය පෙන්වන්නේ කොටස් වශයෙනි. රන් ආභරණ වෙළෙඳ දැන්වීමක් දෙස බැලීම ඒ සඳහා ප්‍රමාණවත් උදාහරණයක් වේ. එහෙත් යම්කිසි ආකාරයකට ලිබරල් ලෝකයේ ස්ත්‍රිය මෙවලම්කරණයකට ලඝු වන විට තවමත් ස්ත්‍රියගේ විමුක්ති අරගලය වෙනුවෙන් පෙනී ගොඩනැඟූ කතිකාව විසින් සුද්දි පීඩනයට ලක් කර ඇත. ස්ත්‍රීවාදයේ විරුද්ධාභාසය වන්නේ මෙය බව අප මතක තබා ගත යුතු වේ.■