රාවය

මොරිසන් යනු සාහිත්‍යයික සහ සංස්කෘතික බලවේගයකි

මොරිසන් යනු සාහිත්‍යයික සහ සංස්කෘතික බලවේගයකි

සුභාෂිණි චතුරිකා

ටෝනි මොරිසන් නම් අප්‍රිකානු ඇමරිකානු ලේඛිකාව යනු අප්‍රිකානු ජනතාවගේ සහ සාහිත්‍යයික ඉතිහාසයේ පැහැදිලි ලෙසම නොමැකෙන සටහනක් තබා ඇති සාහිත්‍යවේදිනියකි. ඇය කිසියම් අරමුණක් වෙනුවෙන් වෙහෙස වී වැඩ කරන සියලුම ලේඛකයන්ගේ ජිවමාන පරමාදර්ශයයි.
පසුගිය 2016 පෙබරවාරි 18 වැනිදාට යෙදි තිබුණු ඇයගේ 85 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ලොස් ඇන්ජලිස් ටයම්ස් හි කැරොලින් කෙලෝග් විසින් සම්පාදනය කළ ලිපියේ සංක්ෂිප්ත පරිවර්තනයකි මේ…
මොරිසන් යනු සාහිත්‍යයික සහ සංස්කෘතික බලවේගයකි. අනිත් ලේඛකයන් සිය වැඩ කිරීමේ වේගය අඩු කරන විට ඇය නොනවත්වාම ලියන්නීය. ඇය බිලවුඞ් (Beloved), සන් ඔෆ් සොලමන්  (Son of Solomon), සූලා(ීSula) වැනි අගනා පොත් ගණනාවක කර්තෘවරිය වූ, සාහිත්‍ය සඳහා නොබෙල් සම්මාන ලාභිනියකි. පසුගිය අප්‍රියෙල් මාසයේදී ඇය (2016) ගෝඞ් හෙල්ප් ද චයිල්ඞ්’(God Help the Child ) නම් වූ ඇයගේ අලුත්ම නවකතාව එළි දැක්වුවාය.

ඇය 1931 වසරේ ඔහියෝ ලොරේන්හි ක්ලෝවි වොෆර්ඞ් නම් ග්‍රාමයේ උපත ලද්දාය. ඇය විටෙක පාසල් කාලයේ තමාට පටබැඳි නාමය වු ටෝනි සහ ඇයගෙන් වෙන්වුණු ස්වාමිපුරුෂයාගෙන් ලද නාමය වන මොරිසන් අතර දෝලනය වුවාය. එහෙත් ඇය වඩාත් ප්‍රියතාවක් දැක්වූයේ ක්ලෝවි යන නාමයටය. “ඒක ග්‍රීක නමක්. මට ක්ලෝවි කියලා කතා කරන්නේ මාව හොඳටම දන්න අය. ක්ලෝවි පොත් ලියනවා.”
මොරිසන් දරුවන් හතර දෙනෙකුගේ පවුලක දෙවන වැඩිමහල් දරුවා වූ අතර ඇයගේ පියා පෑස්සුම් ශිල්පියෙක්ද මව ගෘහ සේවිකාවක් ද වුවාය. ඇය පාසල් කාලයේ ඉතාමත් දක්ෂ සිසුවියක වූ අතර හොවාර්ඞ් සරසවියෙදී ඉංග්‍රීසි භාෂාව පිළිබඳ උපාධිය දිනා ගත්තාය. පශ්චාද් උපාධි අධ්‍යාපනය ලැබුවේ කොර්නේල් සරසවියෙදීය. 1960 දී ඉංග්‍රීසි ගුරුවරියක ලෙස සේවය කරන අතරවාරයේදි ලිවීම ආරම්භ කළාය.
“ළාබාල කාලයේදි මට ලේඛිකාවක් වෙන්න උවමනාවක් තිබුණේ නැහැ.” ඇය 1998 වසරේදි කීවාය. “ මම කියවන්නියක් වීමෙන් යම් සතුටක් ලැබුණා. ඇත්තටම මගේ ජීවිතයේ කියවන්න පටන් ගැනීමට පෙර කාලය ගැන මට කිසිම මතකයක් නැහැ. මම වයස 30 වෙනකල් ම ලේඛිකාවක ලෙස ජීවත් වෙන්න හිතලා තිබුණේ නැහැ.”

ඇය නිව්යෝර්ක් නුවරට ආවේ සංස්කාරකවරියක ලෙස වැඩ කිරීමටය. විවාහයෙන් නීත්‍යානුකූලව වෙන්වී තමාගේ කුඩා පිරිමි දරුවන් දෙදෙනාද රැක බලා ගනිමින් 1970 වසරේදී ඇයගේ පළමු පොත, ‘ද බ්ලුවස්ට් අයි’ (The Bluest Eye) එළි දක්වන විට ඇය පූර්ණ කාලීනව ලේඛන කලාවේ නියැලී සිටියාය.
ඉන් අනතුරුව ඇය ‘සූලා’ (ීSula” , 1973), ප්‍රබන්ධ සඳහා ජාතික විචාරක කවයේ සම්මානය දිනා ගත් ‘සෝන්ග් ඔෆ් සොලමන්’ (ීSong of the Solomon”1977) ද, 1981 වසරේදී ‘ද ටා බේබි’ (The Tar Baby) ද ප්‍රකාශයට පත් කළාය. ඒ සෑම නිර්මාණයක් ම ඇය වෙත වීශාල පාඨකයන් ප්‍රමාණයක් සහ උසස් ඇගයීමක් දිනා දීමට සමත් විය.
ඉන් වසර හයකට පසු ඇය ‘බිලවුඞ්’ එළිදැක්වූවාය. එම කෘතිය ඇයගේ සියලු කෘති අතුරින් අග්‍රගණයේ ලා සැලකෙන නිර්මාණය වෙයි. වරෙක ලොස් ඇන්ජලීස් ටයිම්ස්හි සාහිත්‍ය විචාරක ජෝන් ලෙනාඞ් එම කෘතිය පිළිබඳ සඳහන් කළේ මේ ආකාරටය.

“ ඉහළ තලයක වැජඹෙන සුදු කොල්ලන්ට පහර එල්ල කරන්නේ වුවද, ‘බිලවුඞ්’ කෘතිය ඇමෙරිකානු සාහිත්‍යය තුළ ඉහළ ස්ථානයක් අත්පත් කරගන්නා කෘතියකි. එම කෘතියෙන් තොර ඇමරිකානු සාහිත්‍යයක් ගැන මට සිතීමටවත් නොහැකි තරම්ය.” එම නිර්මාණය පුලිට්සර් සම්මානය දිනා ගත්තේය, නමුත් එම කෘතිය ජාතික ග්‍රන්ථ සම්මානය දිනා ගැනීමට අසමත් වන විට, අප්‍රිකානු ඇමරිකානුවෝ බුරුතු පිටින් වීදි බැස සිය විරෝධය පාන්නට වූහ.

සැබවින්ම මොරිසන් ඇද වැටුණේ නැත. ඇය 1989 වසරේදි ප්‍රින්සිටන් හි ආචාර්යවරියක් වූවාය. 1922 වසරේදී ‘ජෑස්’ (Jazz) නම් නවකතාව ප්‍රකාශයට පත්කළාය. වසර 1993 දී ඇය සාහිත්‍ය සඳහා නොබෙල් සම්මාන ලාභිනියක ලෙස නම් කරනු ලැබුවාය. සම්මානය පිළිබඳ හේතුපාඨයේ ඇය පිළිබඳ සඳහන් වූයේ “භාෂාව තුළ කිමිදෙමින්, භාෂාව වාර්ගික විලංගු වලින් නිදහස් කරගැනීමට සටන් කරන්නාවු අග්‍රගණයේ සාහිත්‍යවේදිනියක ලෙස” ය.
නොබෙල් සම්මානය ලැබීමෙන් ඇය එම උත්කෘෂ්ට ගෞරවය ලැබූ පළමු කළු කාන්තාව වීමේ භාග්‍යය ලැබු අතරම වසර 65කට පසු පර්ල් එස් බක් ට පසු එම ගෞරවයෙන් පුද ලද දෙවන ඇමරිකානු කාන්තාව ද ඇය වූවාය.

‘මට නිම් හිම් නැති සතුටක් දැනෙනවා’ ඇය ප්‍රින්ස්ටන් හි සැන්දෑවරුවක තම පංතිකාමරයේ ශිෂ්‍යයන්ට සුපුරුදු පාඩම් වැඩ ආරම්භ කිරීමට පෙරාතුව කීවාය. “ ඇත්තටම ඒක මට ලැබුණු ඉහළම ගෞරවයක්. එත් මට වඩාත් ආස්වාදජනක දේ නම් අවසානයෙදී ඒ ඉහළම ගෞරවය අප්‍රිකානු ඇමරිකානුවෙකුට ලැබීමයි.”
“ඇමරිකානුවකු ජයග්‍රහණය කිරීම හරිම විශේෂයි තමයි, ඒත් කළු ඇමරිකානුවකු දිනනවා කියන්නේ ඒක හරිම ආශ්චර්යයක්” ඇය කියයි. “වඩාත්ම වැදගත් මගේ අම්මත් ඒ සතුට මාත් එක්ක බෙදා ගන්න ජිවතුන් අතර ඉන්න එක.”

1988 වසරේදී, ‘පැරඩයිස්’ (Paradise) නවකතාව එළිදක්වන විට ඇය ලොස්ඇන්ජලීස් ටයිම්ස් හා කියා සිටියේ “මම හැම තිස්සේම උත්සාහකළේ ඒක මොකක්ද, මොකක්ද ඇත්ත කියන එක පෙන්වා දෙන්න. මම කවදාවත් අවදානම මඟ අරින්නේ නැහැ.”
‘බිලවුඞ්’ ග්‍රන්ථය සිනමා කෘතියක් ලෙස 1998 දි එළි දැක්විණි. ඇයගේ නවකතා පාසල් විෂය නිර්දේශවලට ඇතුළත් විය. එහෙත් ඇගේ කෘති තුළින් වර්ග භේදය, ප්‍රචණ්ඩත්වය සහ ලිංගිකත්වය නිරූපණය කොට ඇති අවංකභාවයම නිසාම ඒවා බහුල ලෙස වාරණයට ද ලක් විය. ‘බිලවුඞ්’ සහ ‘ද බ්ලුවස්ට් අයි කෘති යනු ඇමරිකාව තුළ වැඩියෙන්ම වාරණයටත් අභියෝගයටත් ලක් වූ කෘති දෙකකි. 2006 වසරේදි ඇය ප්‍රින්සටන් හි ඉගැන්වීමට සමු දී විශ්‍රාම ගත්තාය, නමුත් ඇය නොනවත්වාම ලේඛණයේ යෙදුනාය. ඇයගේ නවතම කෘතියේ- ගෝඞ් සේව් ද චයිල්ඞ්’- හි කියැවෙන්නේ මනාලියක ලෙස ඇයව හඳුන්වා ගන්නා කළු පැහැ සමක් ඇති අප්‍රිකානු ඇමරිකානු කාන්තාවකගේ කතාන්තරයයි.

ද නිව්යෝර්කර් ඇයගේ අලුත්ම නවකතාවෙන් කොටසක් උපුටා දක්වන්නේ මෙසේය:
“එය මගේ වරදක් නොවෙයි. ඒ නිසා ඔයාට බැහැ මට චෝදනා කරන්න.” මනාලියගේ මව කියන්නීය. “ මම එය කළේ නැහැ. මම දන්නේ නැහැ ඒක කොහොම වුණාද කියලවත්. ඔවුන් ඇයව මගේ කකුල් දෙක මැද්දෙන් එළියට ඇදලා අරගෙන පැයක් වත් ගතවෙන්න මත්තෙන් මට තේරුණා මොකක් හරි වැරැද්දක් වෙලා විත්තිය. වස වැරැද්දක්. ඇයගේ තද කළු පාට මාව බියට පත් කළා. ඝන අන්ධාකර කට්ට කළු පාට. මම ලා පැහැති සමක් තියෙන, කහ පාට කියන්න පුළුවන් හොඳ කෙස් කළඹක් තියෙන කෙනෙක්. ලූලා ආන් ගේ තාත්ත ත් එහෙමයි. මගේ පවුලේ කිසිම කෙනෙක් නැහැ ඒවගේ කළු පාටක් ගෑවිලාවත් තියෙන කෙනෙක්”
1993 දි පැරිස් රිව්වි සඟරාවට මෙසේ කීවාය,
“මම මේ ලෝකෙට අයිතියි කියලා මට දැනෙන්නේ, මම ගුරුවරියක්, මවක් හෝ ආදරවන්තියක් ලෙස මම කරන කිසියම් කාර්ය භාරයක් නිසා නොව, මම ලියමින් සිටින විට මගේ මනස තුළ නලියන දේවල් නිසාය. එවිට මම මෙතනට අයිති බවක් මට දැනනෙ අතරම ඉන් පෙර සාහසික සහ අසංගත වු සියල්ලම ප්‍රයෝජනවත් දේ බවට පෙරළෙනවා. පවතින වියවුල දුරු කිරීමට මට අනෙක් ලේඛකයන් කරන කියන සියලු ගතානුගතික දේ ද මට කළ හැකිය.”■