රාවය

නේරංජනේ දේශපාලන නිමේෂයක් ලෙස…

නේරංජනේ දේශපාලන නිමේෂයක් ලෙස…

විදර්ශන කන්නංගර

කේ. සමන් කුමාරගේ ‘නේරංජනේ ඉස්නානේ’ යනු ශානරමය අනන්‍යකරණයක් ඉල්ලා සිටින සාහිත්‍ය ප්‍රබන්ධයක් නොවෙයි. ඊට විකල්පව එය වියමනක් ලෙස ඉල්ලා සිටින්නේ අර්ථකථනයකි. සාහිත්‍ය වියමනක් අර්ථකථනයට ලක් කිරීම යනු එහි නිදන්ගතව ඇති ඉතිහාසය කැණ පාදා ගැනීමේ ප්‍රයත්නයයි. මෙතැනදී ඉතිහාසය යනු ඊනියා අතීතය ආඛ්‍යානගත කිරීම නොව වියමන සමස්තගත කරන ඓතිහාසික යථාව (ඍැ්ක) දැක්මක් ලෙස බාර ගැනීමයි. එම යථාව ක්‍රමයෙන් සංකේතකරණය කිරීමයි. ‘නේරංජනේ ඉස්නානේ’ ආකෘතිමය වශයෙන් මෙම අර්ථකථනයේ විවෘතබව දරා සිටියි. මෙහිදී යථාව යනුවෙන් අදහස් කරන්නේ සංකේතකරණයේ අසමත්කමයි. සංකේතකරණයට දක්වන බාධාවයි. ඒ අරුතින් ගත් විට කිසිදු වියමනක් තුළ වන ඉතිහාසය නම්වූ යථාව මුළුමනින්ම සංකේතකරණය කළ නොහැකිය. වියමන ඊට දක්වන්නේ ප්‍රතිරෝධයකි. බෞද්ධ- ඉන්දීය ආගමික සාහිත්‍යය, තන්ත්‍රයානය, පෙරදිග සාමූහික මතක, ලංකාවේ ජන ඇදහිලි මතු නොව ඕෂෝවාදය පවා නව ප්‍රබන්ධ ආකෘතියක් තුළ සන්ධි කරමින් ස්ත්‍රියකගේ බුද්ධත්වය පිළිබඳ ආඛ්‍යානයක් ලාංකේය 90 දශකයට කැඳවන ‘නේරංජනේ ඉස්නානේ’ වනාහී පෙර කී ඓතිහාසික යථාව භෞතිකයක් ලෙස අපට අභිමුඛ කරලන අත්දැකීමකි. නේරංජනේ විශ්ලේශනයට ලක් කිරීමෙන් එහි ලැගුම් ගෙන ඇති ‘ඉතිහාසය’ සපුරා අර්ථ ග්‍රහණයට ලක් කළ නොහැකි වුවද එකී ‘ඉතිහාසයේ’ යම් රාමුකරණයක් වෙනුවෙන් ‘නේරංජනේ’ පෙනී සිටියි. ‘නේරංජනේ ඉස්නානේ’ හි ප්‍රකාශනය, එනම් එහි ශානරමය ආඛ්‍යාන ව්‍යුහය අමුතුය. ආගන්තුකය. එහි අරුත් මාදිලිය තුළ වන්නේද ලංකාවේ ප්‍රබන්ධ සාහිත්‍යය අනුදත් ශිල්ප ධර්මයක් නොවෙයි. මෙම වෙනස්කම් පොදු පාඨකයා විසින් ක්ෂණිකව හඳුනා ගන්නා අවස්ථාවක් ලෙස ප්‍රකටව ඇත්තේ ග්‍රන්ථයේ අග සිට මුලට ප්‍රබන්ධය ගෙතී තිබීමයි. එසේම බැලූ බැල්මට සලකුණු කළ හැකි ආඛ්‍යාන වින්‍යාසයකින් මෙම ප්‍රබන්ධය තොරය. ශානරමය වියවුලකින් යුතුය. ‘කෙටි නවකතාවක්, දිග කෙටි කතාවක් නැත්තං මොකක්හරි එකක්’ ලෙස පොතෙහි අග ඇති ප්‍රකාශය විසින් මෙය හකුළා දක්වයි.

මේ සියල්ල කෘතියේ ආකෘතියයි. ‘නේරංජනේ හි අන්තර්ගතය වන්නේ සම්මත සිද්ධාන්ත ඛණ්ඩනය කරමින් නව ප්‍රබන්ධ ආඛ්‍යාන පැරඩයිමයක් ලෙස සනිටුහන් කරන සමාජ- ඓතිහාසික මූලාශ්‍රයන් වේ. වියමන අර්ථ විවරණය කිරීමෙන් යෝජිත සාහිත්‍යයික දේශපාලනය ස්ථානගත වන්නේ මෙහිදීය. ‘නේරංජනේ ඉස්නානේ’ වියමන කියවීම දේශපාලනික අරුත් ජනනය කරන්නේ එහි වියමන් මතුපිටට එරෙහිව වියමන තුළ නිධන් වී ඇති මෙම සමාජ -ඓතිහාසික නිමේශය මුණ ගැස්වීමෙනි.

80 දශකයේ ලාංකේය දේශපාලන කථිකාව තුළ එක්තරා පිපිරුමක් සිදු විය. එය එක්තරා අයුරක වඳභාවයට පත්ව තිබූ ප්‍රායෝගිකවාදය න්‍යායෙන් ඉස්සර කිරීමකි.
’89 මරු කතර යට ඉතිහාසය මිහිදන් කළ පසු ලාංකේය විමුක්ති දේශපාලනය ශූන්‍යත්වයේ සමස්තයක් බවට පත්ව තිබිණි. ඉතිහාසයේ අවසානය හා අවසාන මිනිසා පිළිබඳ නිවේදනයට එරෙහිව ගෝලීය මානව විමුක්තිවාදයේ නව චින්තන කුටීර තැන තැන විවර විය. ලංකාවටද එය පොදු ධර්මයක් විය. ජනතා විමුක්ති වාමාංශය සිංහල බෞද්ධ ටයර් මාලා පැළඳ සාමූහික සිය දිවි නසා ගැනීමකට ගොදුරු වූ යුගයක දේශපාලනයේ සාමූහික අනුරාගය සංවිධානය කරමින් තිබුණේ උතුරේ සන්නද්ධ දෙමළ විමුක්ති ව්‍යාපාරය පමණි. දකුණු ලංකාව දේශපාලනිකව අත්විඳි පතුළක් නොමැති හිස් බව අවම වශයෙන් නම් කළ යුතුව තිබිණි. මෙම නාමකරණයේ දේශපාලනයට සපැමිණි පාර්ශ්ව අතර තීරණාත්මක ඇමතුම වූයේ ලංකාව තුළ ප්‍රකට නොවුණු රොහාන් පෙරේරා නමැත්තෙකු මූලිකව සලකුණු කළ චින්තනමය සමාරම්භකත්වයයි. අවශ්‍ය නම් එයට ං අවකාශය යැයි නම් තැබිය හැක. පසුව ං කණ්ඩායම ලෙස සලකුණු වූයේ පෙරකී ප්‍රවනතාවයේ එක්තරා දේශපාලනික කාණ්ඩගත වීමක් පමණි. ං අවකාශය ඇසුරෙහි විවිධ සමාජ සංස්කෘතික භූමිකා නිර්මාණය විය. නේරංජනේ කතුවර කේ. කේ. සමන් කුමාරද මෙම ප්‍රවනතාවයේ ප්‍රමුඛ සාහිත්‍ය ප්‍රකාශකයකු හා මත පළකරන්නකු විය. ඊනියා සංස්කෘතික දේශපාලන දශකයක් ලෙස බැලූ බැල්මට පෙනුනද මෙම යුගය වනාහී ගෝලීය දේශපාලන ආර්ථික සැකැස්මේ ලාංකේය රූපාකාරයක් විය. 2000 දී පළවූ ‘නේරංජනේ ඉස්නානේ’ යනු මට අනුව මෙම යුගයේ චින්තන මාදිලිය පිළිබිඹු කළ සාහිත්‍ය නිර්මාණ ප්‍රකාශයයි. සමන්ගේම ‘එසඳ මම බලා සිටියෙමි’ නම් වූ නිර්මාණයද මෙකී යුග ඛණ්ඩනය සාහිත්‍යමය සුසමාදර්ශයක් තුළ මූර්තිමත් වූ අවස්ථාවක් ලෙස හැඳින්විය හැකි වුවද එහි තාර්කික ප්‍රකාශනය ලෙස මා දකින්නේ ‘නේරංජනේ’ නම් වූ කෘතියයි. සරලව කිවහොත් නේරංජනේ යනු යුගයක නිර්මිතයකි.

‘නේරංජනේ’ හි උපරිව්‍යුහය හා ව්‍යුහය අතර සම්බන්ධය පැහැදිලි කර ගැනීමෙන් මෙම රචනයේ මුල කී වියමනේ ‘ඓතිහාසික යථාව’ අනාවරණය කරගත හැකිය. මෙහි ව්‍යුහය යනු ගෝලීය දේශපාලන ආර්ථිකයේ යුග සමස්තය හා එය සංස්කෘතික මුහුණුවරක් ලෙස ලංකාව තුළ කතිකාගත වූ ආකාරයයි. රොහාන් පෙරේරා යන නමින් හැඳින්වූ නව චින්තනමය දේශපාලන ප්‍රවාදයන්ද මෙම ව්‍යුහය අර්ථකතනය කිරීම සමග බැඳී තිබෙයි. ‘නේරංජනේ’ හි උපරි ව්‍යුහය යනු මෙම විෂය මූලිකත්වය ආඛ්‍යාන ශානරයක් ලෙස කෘතියේ ආත්ම මූලිකත්වය තුළ ආකෘතිගතව ඇති ආකාරයයි.

රොහාන් පෙරේරා විසින් 90 දශකයේ කළ චින්තන හැරවුම සනිටුහන් කරන ප්‍රවාදයක් වන්නේ ‘ආසියාතික බෞද්ධ ස්ත්‍රියක් හමුවේ ඩෙරීඩා විසංයෝජනය කළ විට’ යන්නයි. ස්ත්‍රියකගේ ‘ආවේණිකත්වය’ විසංයෝජනය කරමින්, ස්ත්‍රී-පාරභෞතිකවාදයේ බල තාක්ෂණයන් අන්වීක්ෂමය පරීක්ෂාවට ලක්කරමින් ඔහු ඇතුල්වන්නේ ආසියාතිකත්වයේ ඊනියා සාරය නම් වූ ප්‍රොබ්ලමැතිකය වෙතටයි. මේ හරහා රොහාන් ලංකාවේ දේශපාලන කතිකාවේ මධ්‍යයට රැගෙන එන ප්‍රශ්නය කුමක්ද? එය නම් ආසියාතිකත්වයේ (අපේ උරුමය?) දෘෂ්ටිවාදය හා සිංහල බෞද්ධ පවුල අතර වන බන්ධනය සිංහල බෞද්ධ ලිංගික කේන්ද්‍රීය ස්ත්‍රිය යන කේතය හරහා සුපරීක්ෂාවට ලක්කිරීමයි. මට අනුව රොහාන් අතින් සිදුව ඇත්තේ දකුණේ ජනතා විමුක්ති වාමාංශය සුන්නද්දූලි වී යාමට හේතුවූ අභ්‍යන්තරික මර උගුල සලකුණු කිරීමකි. එය සිංහල බෞද්ධ පවුල හා පෙරදිගවාදය අතර ගැටගැසී ඇති දෘෂ්ටිවාදී ජංජාලයයි. අනෙක් අතට මා සිතන්නේ දකුණේ විමුක්ති අරගලයන් පරාජය වීමේ අභ්‍යන්තරික ගැටලුව ලිහාගත හැකි මානයන් දෙකක් කෙරෙහි මෙම රොහානියානු ප්‍රවාදය අදාළ කරගත හැකි බවයි. එනම් සංසර්ගයට ඌනනය කළ සිංහල බෞද්ධ ස්ත්‍රිය වෙනුවට සමාජයීය අරගලකාරී ලෞකික ස්ත්‍රියක් නිර්මාණය කර නොගැනීම හා සිංහල බෞද්ධ ආත්ම ප්‍රතිරූපකරණය හරහා පෙරදිගවාදය සමග අනන්‍යවීම (අධිරාජ්‍ය විරෝධය?) යන ද්විත්වයයි. 90 දශකය වැනි යුගයක මෙය නවමු චින්තන-දේශපාලනික ඇරඹුමකි. යුරෝපීය පශ්චාත් පදනම්වාදී හා පශ්චාත් මාක්ස්වාදී න්‍යායික- දාර්ශනික කෘතීන් ලංකාවේ සමාජ විමුක්ති දේශපාලන ක්ෂේත්‍රයට ඇතුළු වන්නේද මෙකලය. ආයතනික විශ්වවිද්‍යාල පද්ධතියෙන් පිටත සමාජීය හැදැරීමක් කෙරෙහි දැල්වුණු උත්තේජනයකි මේ. රොහානියානු ප්‍රවේශයේ නිර්මාණාත්මක ගොඩනැංවීමට එක් නිදසුනක් වන්නේ බටහිර දර්ශන සම්ප්‍රදායේ පාරභෞතික විසංයෝජනය කළ ඩෙරීඩියානු ප්‍රයුක්තිය සිංහල බෞද්ධ ස්ත්‍රිය පිළිබඳ ප්‍රවාදයක් හරහා උරගා බැලීමයි. එය දේශපාලන වැඩ බිමක් විය.

කේ. කේ. සමන් කුමාරගේ ‘නේරංජනේ ඉස්නානේ’ යනු එකී දේශපාලන මැදිහත්වීමේ ආවේශය තුළින් නිර්මාණය වූ උඩුයටිකුරු සාහිත්‍යමය පරාවර්තනයකි. යෝනියක් තුළ පුරුෂ ලිංගයක් විනිවිදීමේ රූපකය රොහාන් විසංයෝජනය කරනු ලැබුවේ එහි ප්‍රතිපක්ෂ රූපිකව මාරුකිරීමෙනි. එනම් යෝනිය ඇතුළතින් ඇද පුරුෂ ලිංගයක් ලෙස දික්කිරීම හා පුරුෂ ලිංගය ඇතුළට ඔබා යෝනියක් බවට පත්කිරීමේ රූපික නිදසුනක් මෙතැනට ආදේශ කළ හැක. එය වියුක්ත පර්යේෂණයක් නොව පෙර කී දේශපාලන ව්‍යාපෘතිය සමග බැඳුණු ආදර්ශ රූපයක් විය. සමන්ගේ ප්‍රබන්ධය යනු මෙම වියුක්ත රූපය සාහිත්‍යමය නිෂ්ඨාවක් බවට පත් කිරීමකි. පුරුෂෝත්තම බුද්ධෝත්පත්ති කථාවත්, පුරුෂ අධිකාරී සංස්කෘතිය පිළිබිඹු කරන ආගමික-ශාසනික සිදුවීම් මාලාවත් නේරංජනේ තුළින් ස්ත්‍රීමය ලිවීමක් බවට පත්කරයි. ස්ත්‍රිය හා පුරුෂයා අතර වන ලිංගික වෙනස හුදු කථිකාමය තලයන් අතර වන වෙනසක් නොව කථිකාව උපුටා ගැනීමේ අසමත්කම විසින් නිර්ණය කෙරෙන වෙනසකි. ඒ අරුතින් ලිංගික වෙනස්කම යනු අසම්පූර්ණ ව්‍යාපෘතියක ප්‍රතිඵලයකි.

පුරුෂයකුට මිස ස්ත්‍රියකට බුදුවිය නොහැකිය යන සම්ප්‍රදායික ආගමික ප්‍රවාදයේ අරුත් ග්‍රහණය කර ගැනීම සඳහා ලකානියානු මනෝවිශ්ලේෂණය වැනි විෂය ක්ෂේත්‍රයක් විසින් විහිදුවන ආලෝකය දීප්තිමත්ය. ඊට අනුව ‘ස්ත්‍රීත්වය’ නම් වූ ධනාත්මක පැවැත්මක් නොමැත. ‘ස්ත්‍රිය නොපවතී’ යන ප්‍රකට අදහස මෙහිදී සිහි කැඳවිය හැකිය. ඉන් අදහස් කෙරෙන්නේ ස්ත්‍රීත්වය යැයි නිශ්චය කළ හැකි ආත්මයක් නොමැතිය යන්නයි. ඊට විකල්පව ස්ත්‍රීත්වය යන්න හඳුනාගත හැක්කේ එක්තරා ස්ථානීය පැවැත්මක් සඳහා වන හැඟවුම්කාරකයක් ලෙසයි. එයින් හැඟවුම්කරණය කෙරෙන්නේ එක්තරා නොපැවැත්මකි. එය භාෂා පද්ධතිය තුළ පරිසමාප්ත නොවන පැවැත්ම ‘ස්ත්‍රිය’ ලෙස නම් කිරීමකි. ස්ත්‍රිය යනුවෙන් හැඳින්වෙන සමාජ භූමිකාව හෝ ශාරීරික නියෝජනය සමග මෙම විග්‍රහය පටලවා ගත යුතු නැත. මෙම නොපැවැත්ම හරියටම සම්බන්ධ වන්නේ එහි ප්‍රතිපක්ෂය වන පුරුෂභාවය නම් වූ නිර්මිතයටයි. ලැකානියානු විග්‍රහය ඇසුරෙන් පුරුෂභාවය යන්න පැහැදිලි කරන්නේ ශිෂ්ටාචාර නීතියේ මැදිහත්වීම විසින් ව්‍යභිචාර වස්තුව තහනම් කිරීම නිසා නිපන් එකී (ලිංගික) වස්තුව හඹායාමේ ආශා තර්කනය තුළිනි. ඊට යටත්ව නිර්මාණය වූ විෂයයක් ලෙසිනි. එම අහිමිවූවා යැයි හඟින වස්තුව සැබැවින්ම හිමිව තිබූ දෙයක් නොවෙයි. එහෙයින් ආශාවේ නොනිමි චලනයට මග කියන මෙකී වස්තුව කිසිදා අභිමුඛ වන්නේ නැත. එය විය නොහැකිභාවයක් ලුහුබැඳීමකි. පුරුෂභාවය යනු එකී විය නොහැකියාවත්, එය විය හැකියාවක් බවට පත් කරන මිථ්‍යාමය පොරොන්දුවත් අතර සලකුණු කෙරෙන්නකි. භාෂාව තුළ මෙම ආශාවේ වස්තුව කිසිදා නියෝජනය වන්නේ නැත. එම හිස්තැන නියෝජනය කිරීම සඳහා වන භූමිකාව වන්නේ ස්ත්‍රියයි. ස්ත්‍රිය නොපවතී යන්නෙන් අදහස් වන්නේ එකී හිස්තැන සඳහා වන හැඟවුම්කාරකයක් ලෙස පමණක් ස්ත්‍රිය පවතිනවාය යන්නයි. ස්ත්‍රීභාවයේ පැවැත්ම ශිෂ්ටාචාර නීතියේ මර්ධිතය විසින් ඛණ්ඩනය කළ පුරුෂ පැවැත්මට වඩා වෙනස්ය. එය ඛණ්ඩනය නොවූ ඉඳීමකි. පූර්ණත්වයට විෂය වූවකි. භාෂා පද්ධතියේ අතිරික්ත ප්‍රමෝදයක් තුළ ස්ත්‍රීත්වය සිය පිහිටුම සොයා ගනී. රූපික අරුතෙන් කිවහොත් ස්ත්‍රියට බුදුවිය නොහැක. මන්දයත් ස්ත්‍රිය කොහොමටත් බුදුවී සිටින්නීය. ආශාවේ ලිංගික වස්තුව සමග ප්‍රේරණීය බන්ධනයක් තබා ගන්නා පුරුෂත්වය සිය පූර්ණත්වය සඳහා වන ග්‍රස්ථියකින් යුතුය. තණ්හා, රතී, රඟා නසා ‘බුද්ධත්වය අත්කර ගැනීම’ යන්න පුරුෂ ලුබ්ධිමය බලරටාවලින් ව්‍යුත්පන්න කර ගත හැකි සංකල්පයක්ව ඇත්තේ එහෙයිනි.

කේ. කේ. සමන් කුමාර විසින් ‘නේරංජනේ ඉස්නානේ’ තුළ අභියෝගයට ලක්කර තිබෙන්නේ මෙම ලුබ්ධිමය බලරටාවද? එසේ අභියෝග කිරීම සමන්ගේ දැනුවත් ක්‍රියාවක් නොවන බව අප දනී නම් එකී කෘතියට ඉතිහාසය සමග ඇති ගැටුම කුමක්ද?
සමන්ගේ සාහිත්‍ය ප්‍රබන්ධමය ප්‍රවේශය සතු අද්භූත අමුත්ත වෙත අපි දැන් සමීපව සිටිමු. කේ. කේ. සමන් කුමාර විසින් ස්ත්‍රී පුරුෂ වෙනස සංවිධානය වී ඇති ලුබ්ධිමය පොළොවට පය තැබීමෙන් නොනැවතී භාෂා ලෝකය තුළ වන පුරුෂත්ව නිර්මිතයේ තාක්ෂණය අනාවරණය කරන ස්ත්‍රී ලිවීමක් යෝජනා කර සිටියි. රොහාන් පෙරේරා ස්ත්‍රී පාරභෞතිකය සලකුණු කළ දේශපාලන ආවේශය සාහිත්‍යමය වියුක්තනයක් තුළ අපට මුණ ගස්වන්නේ සමන් කුමාර විසිනි. එක්තරා අයුරකින් එම ප්‍රයත්නය යනු පුරුෂ භාෂා අණසක විසින් ලිංගික තෘප්තියේ විද්‍යාවන් බවට ඌනනය කර ඇති නූතන ප්‍රබුද්ධත්ව උරුමයක් ඉන් ගලවා ගැනීමක් වැනිය. ආසියාතිකත්වය, ස්ත්‍රිය හා පවුල පිළිබඳව පැන නැගි ලාංකේය නවමු දේශපාලන සංවාදයකින් ව්‍යුත්පන්න වූ සාහිත්‍ය ප්‍රබන්ධමය අත්දැකීමක් ලෙස පෙනී යා හැකි ‘නේරංජනේ ඉස්නානේ’ විසින් ගම්‍ය කෙරෙන දේශපාලනය අපට මෙසේ සාරාංශ කළ හැකිය.

90 දශකය තෙක් ලංකාවේ ආධිපත්‍යධාරී සංස්කෘතිය ප්‍රකාශමාන වූයේ රාජ්‍ය ධනවාදී උපරි ව්‍යුහයක් තුළයි. එහි කලා- සංස්කෘතික තේමාත්මක තලය සංලක්ෂිත වූ පසමිතුරු අක්ෂයන් අතර ගම-නගරය විභේදනයත්, සංස්කෘතික රාජ්‍යය හා පුද්ගල සාංදෘෂ්ටිකත්වය අතර පැවති සංකීර්ණ ගැටුමත් මූලික විය. 80 දශකයේ අග ග්‍රාමීය සිංහල බෞද්ධ පවුල් තුළින් සමාජය දෙසට මුදාහල ‘කැරැල්ල’ ලේ වැකි නිමාවක් සනිටුහන් කළාට පසුව නිර්මාණය වූයේ අලුත් ඓතිහාසික හවුලකි. මෙකී නව යුගය විසින් මූර්තිමත් කෙරුණේ නව ලිබරල් ධනවාදයේ සංස්කෘතික ආධිපත්‍යයයි. එහි සංස්කෘතික සුසමාදර්ශයන් රාජ්‍ය ධනවාදයේ සංස්කෘතික මෙවලම් ඇසුරෙන් තේරුම් ගත නොහැකි විය. පසමිතුරු අක්ෂයන්ගෙන් ගත් විට මෙම නවයුගයේ සංස්කෘතික තේමා තලය සංවිධානය වී තිබුණේ මෙසේය. ‘සමස්ථතාවාදී දේශපාලනයට එරෙහිව පාර්ලිමේන්තුවාදී ප්‍රජාතන්ත්‍රවාදය’… ‘කොල්ලකාරී ධනවාදය වෙනුවට මානුෂීය ධනවාදය’… ‘සංස්කෘතික අධිකාරීවාදය වෙනුවට ලිබරල් බහුත්ව නිදහස’… ‘රාජ්‍යයට එරෙහිව පවුල’… ආදී ලෙසයි. ‘පුරුෂවාදයට එරෙහිව ස්ත්‍රීභාවය’ එහි සංකීර්ණ ජනප්‍රිය ප්‍රකාශය විය. තවත් විපරීත ලෙස කිවහොත් පුරුෂත්වය නිර්මාණය වී ඇති බෙලහීන ස්වභාවය සමාජ දේශපාලන ප්‍රපංචයක් ලෙස හෙළිදරව් වූ යුගයක ස්ත්‍රීත්වයේ පරිපූර්ණ මානුෂීය ස්වභාවය පුරුෂ බල තාක්ෂණයක් කරා ඔසවා තැබීමේ දේශපාලන ප්‍රකාශනයක් ඉල්ලා සිටි කාලයක් විය. එම නව ලිබරල් ධනවාදයේ ආර්ථික, සංස්කෘතික හා දේශපාලන සංයුක්තයක් කලා- සාහිත්‍යය තුළ නිරූපණය වූ අපූර්ව ආකාරයක් ලෙස නේරංජනේ ඉස්නානේ හැඳින්විය හැකිය. ඇතැම් විට කේ. කේ. සමන් කුමාරගේ රෝග වාර්තාවක් ලෙස පෙනී යා හැකි කෘතියක ඉතිහාසය මිහිදන්ව ඇත්තේ රෝග විශ්ලේෂී කථිකාවක් ලෙසය. ‘නේරංජනේ’ පෙනෙනවාට වඩා දේශපාලනික ප්‍රවාහයකි.■