රාවය

විනිසුරු මාරු කිරීමේ උත්සාහයක්

විනිසුරු  මාරු කිරීමේ උත්සාහයක්

අරුණ ජයවර්ධන /රේඛා නිලුක්‍ෂි හේරත්

පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපෘතිය සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අරමුදල් රුපියල් කෝටි 6ක් භාවිත කර සිල් රෙදි බෙදාදීම සම්බන්ධ නඩුව විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් ගුණතිලක, වෙනත් උසාවියකට මාරුකිරීම සඳහා වන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වෙයි.
පසුගියදා නීතිඥවරුන් පිරිසක් අගවිනිසුරු ප්‍රියසත් ඩෙප් හමුවී ගිහාන් ගුණතිලක විනිසුරුවරයා වෙනත් උසාවියකට මාරුකිරීම සම්බන්ධයෙන් ඉල්ලීමක් කර ඇති බවද අධිකරණ ක්‍ෂෙත්‍රයෙන් රාවයට වාර්තා වෙයි.

රජයේ අරමුදලින් එක් අපේක්‍ෂකයකුගේ ප්‍රචාරණය සඳහා සිල් රෙදි බෙදාදීම සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිසමේ එවකට සභාපති, හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගට හා එම කොමිසමේ එවකට අධ්‍යක්‍ෂ ජෙනරාල් අනුෂ පැල්පිටට විරුද්ධව ඇති නඩුව විභාග කෙරෙන්නේ මහාධිකරණ විනිසුරු ගිහාන් ගුණතිලක ඉදිරියේය. දැන් එම නඩු විභාගය අවසාන අදියරේ පවතින අතර නුදුරු කාලයේදී එහි තීන්දුව ප්‍රකාශ කිරීමට නියමිතය.

මේ ගැන අගවිනිසුරුවරයා හමුවී කතා කළේදැයි රාවය, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ යූආර් ද සිල්වාගෙන් විමසූ කල ඔහු කීවේ, ඒ සම්බන්ධයෙන් කිසිවක් දැන්ම කිව නොහැකි බවයි. තමන් කතාකළ දේ පිළිබඳව දැන්ම මතයක් ප්‍රකාශ කිරීමට නොහැකි බව අගවිනිසුරුවරයා තමාට කී බව ප්‍රකාශ කළ හෙතෙම අගෝස්තු 30 වැනිදායින් පසුව ඒ ගැන යමක් කිව හැකි බවද කීවේය.■