රාවය

මිලියන 1930ක් වැය වෙන අධ්‍යාපනයේ ප්ලාස්ටික් පුටු මේස ජාවාරම

මිලියන 1930ක් වැය වෙන අධ්‍යාපනයේ ප්ලාස්ටික් පුටු මේස ජාවාරම

ලසන්ත රුහුණගේ

යහපාලන රජයේ අධ්‍යාපන විෂයභාර අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ඔහුට අයත් විෂය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් විටින් විට ගන්නා තීන්දු තීරණ නිසා දැඩි කතාබහට ලක්වන්නෙකි. ඒ ඔහු විසින් ගන්නා එම තීන්දු තීරණ විශේෂයෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැඩි විවාදයට හේතුවන නිසාය. පසුගිය කාලය පුරා ඔහු ගත් තීන්දු තීරණ දෙස බැලීමේදී පෙනී යන එක් පොදු කාරණයක් වන්නේ එම කථාබහට ලක්වන තීන්දු තීරණ අධ්‍යාපනයට අදාළ භෞතික සම්පත් ක්ෂේත්‍රයේ සිදු කරනු ලැබූ ඒවා බවය. නොඑසේ නම් අධ්‍යාපනයේ කේන්ද්‍රීය ප්‍රශ්නය වන විෂය මාලාවට අදාළව හෝ ඉගෙනුම් ඉගැන්නුම් ක්‍රමවේදයට අදාළව කථාබහට ලක්වන තීන්දු තීරණ ඔහු ගත් බවක් අසන්නට නැත.

මේ ලිපිය මගින් සාකච්ඡා කරන්නට යන්නේද සුපුරුදු පරිදිම අධ්‍යාපනයේ භෞතික සම්පත් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ගැනීමට යන ඉදිරියේදී කථාබහට ලක්විය හැකි තීරණයක් ගැනය. ඒ රජයේ පාසල්වල 4 හා 5 ශ්‍රේණි පන්ති කාමරවලට ප්ලාස්ටික් පුටු හා මේස භාවිත කිරීම සඳහා ගෙන ඇති තීරණයය.

මෙම තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා 2016 ඔක්තෝබර් 03 දිනෙන් අවසන් වන ටෙන්ඩර් බාර ගැනීමක් සිදුකර ඇති අතර ඊට අදාළ ටෙන්ඩර් නාමය හා අංකය වී ඇත්තේ Procurement of Polymer and Steel Based Desk and Chairs for Grade 4 and 5 Students in Government Schools (ED/ 11/161/03/2016/SPS) යන්නය.

මෙම ටෙන්ඩරයේ වටිනාකම රුපියල් මිලියන 1930ක් වී ඇති අතර 4 හා 5 ශ්‍රේණිවල පන්ති කාමර 12,000කට ප්ලාස්ටික් පුටු හා මේස සපයා ගැනීම එහි අරමුණ වී ඇත. මෙය අතිවිශාල ටෙන්ඩරයක් නිසා එක් සැපයුම්කරුවෙකුට මුළු ටෙන්ඩරයටම අදාළ පුටු හා මේස සැපයිය නොහැකිය. ටෙන්ඩරය කොටස් අටකට වෙන්කර ඇති අතර ඒ අනුව ලංසු තබන්නන් විසින් ලංසු තැබිය යුතු වී ඇත්තේ වෙන්කරන ලද ටෙන්ඩරයේ එක් එක් කොටස් සඳහාය. ඒ අනුව එම කොටස් A,B,C,D,E,F,G,H යනුවෙන් නම්කර ඇති අතර එක් එක් කොටස සඳහා ලංසු තැන්පතු කිහිපයක් හඳුන්වාදී ඇත. එම කොටස්වල අවම ලංසු තැන්පතුව රුපියල් මිලියන 2.5ක් වන විට උපරිම ලංසු තැන්පතුව රුපියල් මිලියන 3.2කි.

කෙසේ වෙතත් අධ්‍යාපන කේෂ්ත්‍රයේ පන්ති කාමර තුළ සිදුකරන්නට යන මේ නවතම භෞතික සම්පත් වෙනස් කිරීමට අදාළ ටෙන්ඩරයේ තාක්ෂණික ගැටලු සමාලෝචනයට තාක්‍ෂණික කමිටුවක් පත්කර ඇති අතර එහි සාමාජිකයන් වශයෙන් ඒ.ඩී. නන්දසේන මහතා (අධ්‍යක්ෂ, අධ්‍යාපන අමාත්‍යාංශය), පී.එම්.ඒ.එස්. පණ්ඩිතසේකර මහත්මිය (අධ්‍යක්ෂ, ප්‍රාථමික අධ්‍යාපන අංශය, අධ්‍යාපන අමාත්‍යාංශය), ඩී. හෙයියන්තුඩුව මහතා (ගණකාධිකාරි, මුදල් අංශය, අධ්‍යාපන අමාත්‍යාංශය), ආචාර්ය එච්.කේ.ජී. පුංචිහේවා මහතා (ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, මොරටුව විශ්වවිද්‍යාලය), ඒ.පී.ආර්. ද සිල්වා මහතා (ඉංජිනේරු, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය), එම්.ඒ.ආර්. මධුවන්ති මහත්මිය (නියෝජ්‍ය වැඩ කළමනාකරු, රජයේ කර්මාන්ත ශාලා දෙපර්තමේන්තුව), එස්.පී. පතිරගේ මහතා (සහකාර අධ්‍යක්ෂ, රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව) කටයුතු කර ඇත. තාක්ෂණික කරුණු පිළිබඳ විශේෂඥයන් වශයෙන් මොරටුව විශ්වවිiාලයේ, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ හා රජයේ කර්මාන්ත ශාලාවේ නියෝජිතයන් එහිදී තීරණාත්මක වී ඇත.
එහිදී ප්ලාස්ටික් පුටු හා මේස සම්බන්ධයෙන් නිර්දේශය වී ඇත්තේ, ප්ලාස්ටික් පුටු හා මේස ශ්‍රී ලංකාවේ පාසල්වල පන්ති කාමරවලට පළමු වරට භාවිත කිරීමට යන බැවින් ඒ සඳහා නියමු ව්‍යාපෘතියක් මඟින් අත්හදා බැලීමක් සිදුකළ යුතු බවයි. එම නියමු ව්‍යාපෘතිය සඳහා තෝරාගැනීම් සිදු කිරීමේදී විවිධ දේශගුණික කලාපයන් පවතින ප්‍රදේශ වෙරළබඩ ප්‍රදේශ, ග්‍රාමීය ප්‍රදේශ හා නාගරික ප්‍රදේශ යන ප්‍රදේශ යටතේ තෝරා ගැනීම් සිදුකර, නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලෙසද තාක්ෂණික කමිටුව නිර්දේශ කර ඇත. ඒ සඳහා හේතුද ඔවුන් සඳහන් කර ඇති අතර, එක් හේතුවක් වන්නේ ළමුන්ගේ සෞඛ්‍යයට අදාළ කරුණය. දිගු වේලාවක් ප්ලාස්ටික් පුටුවලට වී කටයුතු කිරීමට සිදුවීමත්, ශ්‍රී ලංකාවේ ඇති උණුසුම් කාලගුණ තත්ත්වයෙන් ප්ලාස්ටික්වලට විය හැකි බලපෑමත් පරීක්‍ෂා කළ යුතු බව එහිදී නිර්දේශ කර ඇත. ඊට අමතරව මෙම ප්ලාස්ටික් පුටු හා මේස දීර්ඝකාලීනව භාවිත කිරීමට නොහැකි අවාසියද, ප්ලාස්ටික් ප්‍රතිචකීකරණයේ ඇති ගැටලුද පෙන්වා දී ඇත. තාක්ෂණික කමිටුව එම අදහස් ඉදිරිපත් කරන කාලයේ රටේ ඩෙංගු රෝගයේ වසංගත තත්ත්වයක් නොතිබූ බවද ප්ලාස්ටික් හා සමාන පොලිතීන් තහනමක් ගැන තීන්දු තීරණ ගෙන නොතිබූ බවද මෙහිදී අවධාරණයට ලක් කළ යුතු වැදගත් කරුණකි. ප්ලාස්ටික් පුටු හා මේස අබලන්වූ විට ඒවා ඉවත් කරනවා හැර අලුත්වැඩියා කළ නොහැකි අතර දැනට පාසල්වල භාවිත කරන යකඩ රාමුවකට සවි කරන ලද ලී පුටු හා මේස අබලන් වූ විටදී අලුත්වැඩියා කළ හැකිය. එසේම අලුත්වැඩියා කළ නොහැකි තරමටම එම පුටු හා මේස අබලන් වූ විට එහි ඇති යකඩත්, ලීත් වෙනස් ආකාරයට නැවත භාවිතයට ගත හැකි බවද අප දන්නා කරුණකි.

මේ නිසාමදෝ තාක්ෂණික කමිටුව සිය ප්‍රමුඛ නිර්දේශය වශයෙන් සඳහන් කර ඇත්තේ පාසල්වල දැනට භාවිත කරන යකඩ රාමුවක් සහිත ලීවලින් සෑදු පුටු හා මේස දැනට ඇති බරට වඩා බර අඩුවන ලෙස නිර්මාණය කළ යුතු බවයි.

තාක්‍ෂණික කමිටුවේ මේ විශේෂඥ මත අවසානයේ ගොස් ඇත්තේ කුණු කූඩයටය. ඊට මුලින්ම අත ගසා ඇත්තේ අමාත්‍ය මණ්ඩල ප්‍රසම්පාදන කමිටුවය. ඔවුන් තාක්ෂණික කමිටුවේ නිර්දේශයන් සංශෝධනය කරමින් හා ඉවත දමමින් කටයුතු කර ඇත. ඊට අඩුවැඩිය ඉදිරිපත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය, අමාත්‍යාංශ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවට මේ ටෙන්ඩරය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරන ලෙස දැනුම් දී ඇත.
ප්‍රතිඵලය වී ඇත්තේ කුමක්ද? තාක්ෂණ කමිටුවේ තාක්ෂණික කරුණු පිළිබඳ විශේෂඥයන් ලෙස සැලකිය හැකි මොරටු විශ්වවිiාලයේ, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ හා රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තිදෙනා එම තාක්ෂණික කමිටුවෙන් ඉල්ලා අස්වීමය. ඒ ඔවුන් විසින් ලබාදෙන ලද නිර්දේශයන්ට පිටින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීම නිසාය. අවසානයේ අධ්‍යාපන අමාත්‍යාංශ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ සභාපති කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් බී. විජේරත්න ද ඉල්ලා අස්වී ඇත. ඒ කිනම් බලපෑමක් නිසාදැයි දන්නේ ඔහුම පමණය. අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන අංශයෙන් මෙම ටෙන්ඩරයේ කරුණු පිළිබඳව මීට ඉහතදී කරන ලද විමසීමකදී අපට දැනගන්නට ලැබුණේ, එම ටෙන්ඩරයේ කටයුතු ඉදිරියට යන බවය. ඒ වන විට තාක්ෂණික කමිටු සාමාජිකයන් තිදෙනා ඉල්ලා අස්වී තිබුණද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ සභාපති බී. විජේරත්න ඉල්ලා අස්වී තිබුණේ නැත. මෙම ටෙන්ඩරයේ වත්මන් අලුත්ම තත්ත්වය දැනගැනීමටත්, ටෙන්ඩරයෙන් ප්‍රකාශයට පත්කර ඇති තොරතුරු පිළිබඳව විමසීමටත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා දුරකථනයට සම්බන්ධ කර ගැනීමට අප දැරූ උත්සාහය ව්‍යර්ථ විය.

දැන් මෙම ටෙන්ඩරය ක්‍රියාත්මක කරන්නට යන්නේ නියමු ව්‍යාපෘතියක් වශයෙන් නාමකරණයට ලක්කරය. අප දන්නා නියමු ව්‍යාපෘති වූ කලි අධ්‍යාපනයේ හෝ වේවා වෙන යම් ක්ෂේත්‍රයක හෝ වේවා, පූර්ණ ප්‍රතිසංධානයකට පෙර එහි යෝග්‍ය අයෝග්‍යතාව මැන බැලීම සඳහා තෝරාගත් නියැදියක් අරභයා සිදුකරන අත්හදා බැලීමක්ය. ඒ අර්ථයෙන් ගත් කල අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්ලාස්ටික් පුටු හා මේස මෙම ව්‍යාපෘතිය කිසිසේත්ම නියමු ව්‍යාපෘතියක් වන්නේ නැත. තාක්ෂණික කමිටුව නම් ඒ සඳහා අත්හදාබැලිය හැකි වෙරළබඩ, විවිධ දේශගුණික කලාප, ග්‍රාමීය හා නාගරික වශයෙන් නියැදි උදාහරණ ලබා දී ඇත.

එසේ මෙම ව්‍යාපෘතිය නියැදි ව්‍යාපෘතියක් නොවන්නේ ඒ සඳහා වියදම් කරන රුපියල් මිලියන 1930ක් වන අතිවිශාල මුදලත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නට යන 4 හා 5 ශ්‍රේණිවල පන්ති කාමර සංඛ්‍යාවත් ගැන සසඳා බැලීමේදීය. රජයේ පාසල් දත්ත පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයේ 2016 සමීක්ෂණ වාර්තාවට අනුව රට තුළ ඇති මුළු රජයේ පාසල් සංඛ්‍යාව 10,162කි. ඉන් ප්‍රාථමික පන්ති නොමැති පාසල් ඇත්තේ 921ක් පමණය. 4 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් සංඛ්‍යාව 3,52,237කි. 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් සංඛ්‍යාව 3,45,262කි. එම ශ්‍රේණිවල එක් පන්ති කාමරයක සිසුන් 40ක් සිටිතැයි උපකල්පනය කළහොත් (පන්තියක සිසුන් 40ට වැඩිය සිටින පන්ති කාමර මෙන්ම සිසුන් 40ට අඩුවෙන් සිටින පන්ති කාමරද ඇත.) දළ වශයෙන් රට පුරා රජයේ පාසල්වල 4 ශ්‍රේණියේ පන්ති කාමර 8,800කට මඳක් වැඩි සංඛ්‍යාවක් තිබිය හැකිය. 5 ශ්‍රේණියේ සිසුන්ගේ පන්ති කාමර 8,600කට මඳක් වැඩි සංඛ්‍යාවක් තිබිය හැකිය. ඒ අනුව රට පුරා රජයේ පාසල්වල 4 හා 5 ශ්‍රේණිවල තිබිය හැකි පන්ති කාමර සංඛ්‍යාව දළ වශයෙන් 17,500ක් පමණ වෙතැයි උපකල්පනය කළ හැකිය. සාකච්ඡාවට ලක්කරන මෙම ව්‍යාපෘතියට අදාළ පන්ති කාමර සංඛ්‍යාව පෙර සඳහන් කළාක් මෙන් 12,000කි. ඒ අනුව අපට එළඹිය හැකි නිගමනය වන්නේ රටපුරා රජයේ පාසල්වල 4 හා 5 ශ්‍රේණිවල ඇති මුළු පන්ති කාමර සංඛ්‍යාවෙන් භාගයකට වැඩි, හතරෙන් තුනකට ආසන්න පන්ති කාමර සංඛ්‍යාවකට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නට සූදානම් බවය. මුළු ගණනින් එතරම් විශාල පංගුවකට අදාළව ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියක් ඒ අනුව නියමු ව්‍යාපෘතියක් නොවන බව දැනුම් තේරුම් ඇති ඕනෑම කෙනෙකුට තේරුම් ගැනීමට අපහසු කරුණක් නොවේ. ඒ අනුව මෙම නියමු ව්‍යාපෘතිය යන්න සිය අභිලාෂයන් කෙසේ හෝ ඉටුකර ගැනීමට යමෙකු ගන්නා උත්සාහයක ප්‍රතිඵලයක් බවට කිසිදු සැකයක් නැත. එම උත්සාහය නිසාම මෙම ව්‍යාපෘතියේ නිර්මාණකරුවන්ට ඔවුන් සිතූ පැතූ ලෙසම ධන කප්රුකද පහළවිය හැකිය.

ඒ එක් පැත්තකි. ආර්ථික කරුණුවලටත් වඩා පාරිසරික කරුණු ගැන සැලකීමේදී තත්ත්වය ඊටත් වඩා භයානකය. නියමු යැයි කියාගන්නා මෙම ව්‍යාපෘතියෙන් පමණක් අබලන්ව ඉවත දමන විට ප්ලාස්ටික් පුටු හා මේස දශලක්ෂයක් පමණ දල වශයෙන් ගොඩ ගසන්නට සිදුවේ. මේ නියමු ව්‍යාපෘතිය 4 හා 5 යන ශ්‍රේණිවල සියලුම පන්ති කාමර සඳහා ව්‍යාප්ත කළහොත් එය ප්ලාස්ටික් පුටු හා මේස මිලියන එකහමාරක් දක්වාත්, රජයේ පාසල්වල 1 සිට 13 දක්වා වූ සියලුම පන්ති කාමර දක්වා ව්‍යාප්ත වුවහොත් (2016 සංඛ්‍යා දත්ත අනුව රජයේ පාසල්වල මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 4,143,330කි) පාසල්වල ගොඩගැහෙන ප්ලාස්ටික් පුටු හා මේස සංඛ්‍යාව ලක්ෂ අසූවකටත් වඩා අධික ප්‍රමාණයක් වනු ඇත. ප්‍රතිචක්‍රීයකරණය සම්බන්ධයෙන් ගැටලුවක් ඇති එවැනි අතිවිශාල ප්ලාස්ටික් පුටු හා මේස කන්දරාවක් අප බාරගන්නවාද නැද්ද යන්න මෙම නියමු යැයි කියාගන්නා ව්‍යාපෘතියට පෙර සාකච්ඡාවට ලක්කළ යුතු කරුණක්ය.■