රාවය

තදබදයට විරුද්ධව වැඩ කරන්න

තදබදයට විරුද්ධව වැඩ කරන්න

කේ. සංජීව

ලංකාව තුළ වාහන තදබදය එන්න එන්නම දරුණු අතට හැරෙමින් තිබේ. මේ ගැටලුවට ප්‍රධානම හේතුව මාර්ග සංවර්ධනය පිළිබඳව අපි දැනට දරන ප්‍රතිපත්තිය යි. අනෙක් ප්‍රධාන කරුණ අප විසින්ම පොදු ප්‍රවාහන සේවාව ඉබාගාතේ යන්නට ඉඩ හැදීමය. දියුණු රටක් යනු දියුණු මාර්ග පද්ධතියක් මෙන්ම දියුණු පොදු ප්‍රවාහන සේවාවක්ය. එහෙත් අප තවමත් මාර්ග සංවර්ධනය දෙස බලන්නේ ඡන්ද පොරොන්දු ලෙසය. එනිසාම ඉවක්බවක් නොමැති පළල් කිරීම්ද, කාපර්ට් ඇතිරීම්ද, තවත් බොහෝ දේද දකින්නට හැකිය. අද කොළඹ නගරයේ මාර්ග පළල් කරන්නේ පදික වේදිකාව ඩෝසර් කරමින්ය. දියුණු රටක දියුණු මාර්ග පද්ධතියක් යනු වඩා නිදහස් පුළුල් ඉඩකඩක් සහිත පදික මංතීරුවකින් යුතු මාර්ගයක්ය. අනෙක් පැත්තෙන් මේ පදික මංතීරුවට යාබදව පාපැදි සඳහා වෙන්වූ මංතීරුවක්ද එවැනි රටවල දකින්නට ඇත. එහෙත් අපේ රටේ තත්ත්වය මෙයට සපුරා වෙනස්ය. මාර්ගයක් පළල් කිරීමේදී බෝ ගසක් හෝ පන්සලක් හෝ ආණ්ඩු බලය තිබෙන පක්ෂයේ ලොක්කෙකුගේ හෝ ඉදිකිරීමක් හෝ මුණගැසුණහොත් මාර්ගය එම ස්ථානයෙන් නියමිත පරිදි පළල් වන්නේ නැත. ඒ වෙනුවට එම ස්ථානයේදී මාර්ගය කේඬෑරි වෙයි. මේ මාර්ග පිළිබඳ අපේ දැක්ම හකුළුවා දක්වන පුංචි නිදර්ශනයක් පමණි.

පොදු ප්‍රවාහනය ගැන නම් කතාකරන්නට දෙයක් ඇත්තේම නැත. පොදු ප්‍රවාහනය මිනිසුන්ට කෙතරම් එපා වීදැයි කියනවා නම් මිනිසුන් බොහෝ දෙනෙකු උත්සාහ කරන්නේ වැඩට යන්න කෙසේ හෝ තමන්ගේම වහනයක් ගන්නය. මේ සියලු කරුණු නිසා අද වාහන තදබදය ව්‍යසනයක් මට්ටමට ගමන් කරමින් ඇත. කොළඹ සහ තදාසන්න නගරද මහනුවර නගරයේද තත්ත්වය එන්න එන්නම බරපතළය. මේ මාර්ග තදබදය නිසා රටක් හැටියට අපට දිනකට වන අලාබය රුපියල් මිලියන 1000ක් පමණය. මාර්ග තදබදය නිසා වැඩි වේලාවක් මාර්ගවල ධාවනය කිරීමට සිදු වීමෙන් ඇති වන ඉන්ධන නාස්තිය හා වායු දූෂක මට්ටම ඉහළ යෑම මේ සඳහා බලපාන ප්‍රධාන කරුණු වේ. එසේ ම ශ්‍රම බලකායේ කාලය නාස්ති වීම නිසා ඵලදායකත්වය පිළිබඳව ඇති වන ගැටලු ද අවධානයට ලක් විය යුතුය. අනෙක් පැත්තෙන් මේ වාහන තදබදය නිසා මිනිසුන්ට දෛනිකව විඳින්නට වී තිබෙන මානසික ගැහැටේ පරිමාව කෙතරම්ද? එය යහපත් මනසක් පවත්වාගෙන යෑමට බාධාවක්ය. මේ නිසා මිනිස්සු එන්න එන්නම රෝගී වෙති.

ප්‍රමුඛතා මංතීරු
පසුගිය රජය අවධියේ වාහන තදබදය අවම කිරීමට ගුවන් පාලම් නිර්මාණය කළේය. එහෙත් දැනෙන මට්ටමින් වාහන තදබදයට එය විසඳුමක් වූයේ නැත. කාලයක සිට මේ මාර්ග තදබදය පිළිබඳව මොරටුව විශ්වවිද්‍යාලය වැනි ආයතන පර්යේෂණ කරමින් එම තත්ත්වය අවම කිරීමට යම් විසඳුම් යෝජනා කරමින් සිටියත් බලධාරීහු නෑසූ කන්වලින් සිටියෝය. නැතිනම් කෙටි කාලයක් ක්‍රියාත්මක කර අතහැර දැමුවෝය. ඒ ඡන්දය ගැන සිතමින්ය. හොඳ දේවල් පිළිගැනීමට ලංකාවේ මිනිසුන් යම් කාලයක් ගැනීම සාමාන්‍ය තත්ත්වයයි. එනිසා ඒ කාලය අල්ලාගෙන සිටින්නට නම් දේශපාලකයන් මනාපය අමතක කළ යුතුය. කොහොමත් අලුත් ප්‍රතිසංස්කරණ රටක ජනතාවකට ජීරණය වීමට යම් කාලයක් ගතවෙයි. ඒ නිසා වැදගත් වන්නේ දේශපාලකයන් කටුස්සන් මෙන් පාට වෙනස් නොකරගෙන සිටීමය.

මෙහිදී වැදගත් වන්නේ යම් ඉදිරි දැක්මක් තුළ කටයුතු කිරීමය. කොළඹ වාහන තදබදයට විසඳුමක් ලෙස මේ දිනවල අලුත් ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙමින් තිබේ. දැනගන්නට තිබෙන්නේ මේ අලුත් ක්‍රමවේදය සාර්ථක බවය. මේ ක්‍රමවේදය නම් බස් රථ සදහා මංතීරුවක් වෙන්කර එතුළ නියමිත පරිදි බස් රථ ධාවනය සඳහා රියැදුරන් යොමු කිරීමය. නියමිත මංතීරුවේ නියමිත පරිදි ධාවනය වන්නේදැයි නිරීක්ෂණය කර, එසේ නොකරන රියැදුරන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමය.
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ සංකල්පයක් මත හඳුන්වා දුන්නේයැයි කියන මේ ක්‍රමය පසුගිය 14 වැනිදා සිට ක්‍රියාත්මක වේ. එහි ආරම්භය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඇරඹි අතර ඒ මොරටුව කුරුස හංදියේ සිට කටුබැද්ද දක්වා සහ වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාව අසල සිට බම්බලපිටිය මංසන්දිය දක්වාය. උදෑසන 6 සිට උදෑසන 9 දක්වා සතියේ දිනවල මෙම මාර්ගයන්හි කොළඹ දෙසට වෙන් කරනු ලැබූ මංතීරු තුළ බස්රථ ධාවනය කළ යුතු අතර එම වේලාවන්හිදී එම මංතීරුව තුළ අනෙකුත් වාහන ධාවනය අත්හිටුවා ඇත. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පෙර අදාළ මාර්ගයන්හි යටිතල පහසුකම් ද දියුණු කර ඇත. තවද ජීපීඑස් තාක්ෂණය යොදා ගනිමින් බස්රථ ගමන් කරන ආකාරය හා නිවැරදි මංතීරු අනුගමනය කරන්නේ ද යන්න නිරන්තරයෙන් සොයා බැලීමට ද කටයුතු යොදා ඇති බව දැනගන්නට ඇත.
මේ ආරම්භයේ ඉදිරි පියවර අගෝස්තු මස 22 සිට, කටුබැද්ද මංසන්දියේ සිට මැලිබන් මංසන්දිය දක්වාත්, බම්බලපිටිය මංසන්දියේ සිට පිත්තල මංසන්දිය දක්වාත්, අගෝස්තු 29 වන දින පොල්දූව මංසන්දියේ (දියත උයන) සිට ආයුර්වේද මංසන්දිය දක්වාත්, පුරහල මංසන්දියේ සිට තුම්මුල්ල මංසන්දිය දක්වාත්, සැප්තැම්බර් 5 සිට, මරදාන ටෙක්නිකල් මංසන්දියේ සිට කොම්පඤ්ඤවීදිය දක්වාත්, සැප්තැම්බර් 12 කොම්පඤ්ඤවීදිය සිට පිටකොටුව දක්වාත්, නොවැම්බර් 30 සිට, බොරැල්ලේ සිට මරදාන දක්වාත් ක්‍රියාත්මක වේ.

මේ වැඩසටහනේ ප්‍රගතිය කෙසේද? අමාත්‍යවරයා නම් කියන්නේ මෙය අතිසාර්ථක බවය. මේ වැඩසටහන ක්‍රියාත්මක කළ පසු දිනපතා ගාලු පාරෙන් කොළඹට ප්‍රවේශ වෙන මිනිසුන්ගේ අත්දැකීම කුමක්ද? සමාජ මාධ්‍ය වෙත අදහස් දක්වා තිබු දිනපතා කළුතර සිට රැකියාවට කොළඹ එන තරුණයෙකු කියා තිබුණේ තමන්ට වෙනදාට වඩා පැයක පමණ කාලයකින් ඉක්මනට කොළඹට පැමිණීමට මේ ක්‍රමය යටතේ හැකිවූ බවය. තවත් අයෙකු ප්‍රකාශ කළේ වල්මත්වී මෙන් ඔහේ දුවන පුද්ගලික බස් රථ නියමිත ශික්ෂණයකට යටත් කිරීම මේ ක්‍රමය ඉදිරියටත් ක්‍රියාත්මක කිරීම මත කළ හැකි බවය. කෙසේ හෝ බොහෝ දෙනෙකුගේ පොදු මතය මේ ක්‍රමය සාර්ථක බවය. පමාවී හෝ මෙවැනි ක්‍රමයකට යෑම පිළිබඳව අප අමාත්‍යවරයාට ප්‍රණාමය ස්තුති කළ යුතුය. එහෙත් වාහන තදබදය නිමවා පිටවීමටද තිබෙන බස් ප්‍රමාණය ප්‍රමාණවත් නැත. එනිසා අලුතින් බස් රථ ගෙන්වීම හෝ තිබෙන බස් රථ ප්‍රමාණය ගුණාත්මකව බෙදා අදාළ මාර්ග තුළ විසුරුවා ධාවනය කළ යුතුය. අනෙක් පැත්තෙන් දියුණු සුවපහසු බස් රථ සේවාවකට කොළඹ නගරයට ඇතුළුවන පුද්ගලික වාහන ප්‍රමාණය අඩුකළ හැකිය. මේ වනවිට කොළඹ නගරයට දිනකට ලක්ෂ තුනක් පමණ වාහන ඇතුළු වන අතර ඉන් ලක්ෂ දෙකහමාරකට අධික සංඛ්‍යාවක් පෞද්ගලික වාහන වන පසුබිමක එය මේ රථවාහන තදබදයට තවත් හේතුවක් බව වටහා ගැනීමට අසීරු නැත.
මේ නිසා මේ මංතීරු ක්‍රමයට අමතරව ගුණාත්මකව ඉහළ බස් සේවයක් ගොඩනගමින් එමගින් කොළඹට ඇතුළු කරන පුද්ගලික වාහන ප්‍රමාණය සීමා කිරීම සඳහාද ආණ්ඩුව ක්‍රියා කළ යුතුය. මෙහිදී ඇතුළු කරන පුද්ගලික වාහන සඳහා බද්දක් හඳුන්වා දී එය අධෛර්යමත් කළ හැකිය. කෙසේ හෝ මෙවැනි පියවර ගැනීමට බලධාරීන්ට නුවණද ශක්තියද තිබිය යුතුය. ඔවුන් ඊළඟ මැතිවරණයේදී තමන්ට ලැබෙන මනාප පිළිබඳව ගණන් හදමින් කටයුතු කරන පිරිසක් නොවිය යුතුය.■