රාවය

ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ දේශපාලනික නායකත්වය කෝ?

තමන් දැරූ දේශපාලනික බලයේ තේජසින් කලක් වැජඹුණු සොරුන් සහ අපරාධකරුවන් සම්බන්ධයෙන් යම් තේරීමක් කිරීමට ගියොත් සිදුවන්නේ, කිසි සොරෙකු හෝ අපරාධකරුවෙකු නීතියේ රැහැනට හසු කර ගැනීමට අවසානයේ දී අසමත් වීමයි. මේ යහපාලන ආණ්ඩුව බලයට පත්වූ දා සිට විවිධ හේතු යටතේ, ඇතැම් දූෂිතයන් සහ අපරාධකරුවන් නීතිය ඉදිරියට පැමිණවීමට දුරින් හෝ කටයුතු කොට ඇත්තේ, තවත් සොරුන් සහ අපරාධකරුවන් ළඟින් ආරක්ෂා කරන අතරේම බවට පිළිගත හැකි සාක්ෂි තිබේ. මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු තවත් අය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අනුගමනය කළා යැයි කියන පිළිවෙතත්, රාජපක්ෂ පවුලේ අය සම්බන්ධයෙන් අගමැතිවරයා අනුගමනය කළා යැයි කියන පිළිවෙතත් එක හෙළා බොරුවකැ යි සැක කිරීමට තරම් බරපතළ හේතු කාරණා නැත. පසුගිය රජයේ දූෂිතයෙකු සම්බන්ධයෙන් සාගල රත්නායක ඇමතිවරයා විසින් පොලිස්පතිවරයාට දෙන ලද දුරකථන ඇමතුම රටම දැන ගත්තේය. විමල් වීරවංශ හොර පාස්පෝට් තබාගෙන සිටි සිද්ධියත් ඔහුගේ බිරිඳ හොර උප්පැන්න සහතික තබාගෙන සිටීමත් සම්බන්ධයෙන් අගමැතිවරයා මැදිහත් වූ ආකාරය රටම දැක්කේය.

මේ දෙන්නාම, බලයට පත්වු දා සිට, 2020 හෝ ඒ හා සමාන වෙනත් යම් දෙයක් ඉලක්ක කර ගනිමින් තමන්ට අනන්‍ය වූ විවිධ පෞද්ගලික දේශපාලනික න්‍යාය පත්‍ර මත වැඩ කළා මිස, රටේ ජාතික දේශපාලන න්‍යාය පත්‍රයකට ප්‍රමුඛත්වය දීමට කටයුතු කෙළේ නැතැයි කීම සමහර විට සාහසික ප්‍රකාශයක් විය හැකිය. එසේ හෙයින් අපි මෙසේ කියමු. රටේ අනාගතය සඳහා වන ජාතික න්‍යාය පත්‍රයක් මේ නායකයන් දෙන්නාටම තිබිය හැකි මුත්, තමන්ගේම වන වෙනත් සිල්ලර න්‍යාය පත්‍ර කෙරෙහිත් ඔවුන් යොමු වීම නිසා, අර කී ජාතික න්‍යාය පත්‍රය ආරක්ෂා කර ගැනීමේ අර්බුදයකට අද වන විට දෙන්නාම මුහුණදී සිටිති.

උදාහරණයක් වශයෙන්, ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම පිළිබඳ කාරණය සැලකිල්ලට ගන්න. මුලින්ම මෙවැනි ප්‍රතිසංස්කරණයක් සඳහා ශක්තිමත් ආණ්ඩුවක් තිබිය යුත්තේය. ශක්තිමත් යනු සංඛ්‍යාත්මක වශයෙන් ශක්තිමත් වීමකට වඩා සදාචාරමය වශයෙන් ශක්තිමත් වීමකි. එනම්, ආණ්ඩුවේ සමස්ත ක්‍රියා කලාපය කෙරෙහි ප්‍රසාදයක් සහ පැහැදීමක් ජනතාව තුළ හටගත යුතු බවයි. එවැනි ප්‍රසාදයක් දිනාගත හැකිව තිබූ ක්ෂණික හා ඒකායන මාර්ගය විය හැකිව තිබුණේ, පැවති රජයේ දූෂිතයන් සහ අපරාධකරුවන් කඩිනමින් නීතිය ඉදිරියට පැමිණවීම පමණක් නොව, එසේ පමුණුවමින්, වැරදිකරුවන් වන්නන්ට දඬුවම් පැමිණවීමයි. ගත වූ අවුරුදු දෙකකට වැඩි කාලයක් තිස්සේ ආණ්ඩුව එම කාර්ය සම්බන්ධයෙන් තමන් අසමත් බව ඔප්පු කොට තිබේ.

මේ දේශපාලනික ප්‍රතිසංස්කරණ සඳහා පාර්ලිමේන්තුව තුළ අවශ්‍ය කෙරෙන තුනෙන් දෙකේ ඡන්දයක් පිළිබඳව සලකා බැලිය යුත්තේ ඉන් පසුව ය. මේ කියන තුනෙන් දෙක නිර්මාණය කර ගැනීමේ ප්‍රයත්නය, ඉහත කී දූෂිතයන් සහ අපරාධකරුවන් සම්බන්ධයෙන් ගත යුතුව පැවති ක්‍රියා මාර්ගය ආපස්සට හැරවීමක් නොවන බවට වගබලා ගත යුතුව තිබුණි. එහෙත් එවැන්නක් සිදු නොවුණි. එකී ජාතික කර්තව්‍යය වෙනුවෙන් අවශ්‍ය කරන තුනෙන් දෙකේ අවශ්‍යතාව සමග, ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ගත් විට, තවත් පෞද්ගලික (පක්ෂ) අවශ්‍යතාවක් සමපාත වන්නට විය. එනම්, මහින්ද රාජපක්ෂගෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය තමා වෙතට ලබා ගැනීම සඳහා, හිටපු රජයේ ඇතැම් දූෂිත දේශපාලඥයන්ගේ හිත දිනා ගැනීමට වර්තමාන ජනාධිපතිවරයා තුළ අවශ්‍යතාවක් මතුවීමයි. දැන් එක පැත්තකින්, දේශපාලනික ප්‍රතිසංස්කරණ සඳහා වන ප්‍රේරණය ජනාධිපතිවරයාට තිබේ. අනිත් පැත්තෙන් පක්ෂ නායකත්වය ලබා ගැනීම සඳහා, පැවති රජයේ දූෂිත කොටස් සමග අවබෝධයක් ඇති කර ගැනීමේ අවශ්‍යතාව තිබේ. මේ කියන දූෂිත කොටස්, විධායක ජනාධිපති ක්‍රමය අතහැරීමට, ප්‍රතිපත්තිමය වශයෙන් විරුද්ධ ය. ඔවුන්ට අවශ්‍ය කරන්නේ, දූෂිත ක්‍රමයක් පහසුවෙන් රජයන, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය මාදිලියේ රාජ්‍යත්වයකි.

19 වැනි ව්‍යස්ථා සංශෝධනය සම්මත කර ගැනුණේ, 2015 ජනවාරි වෙනස සිදුවන අවස්ථාවේ පැවති පරණ පාර්ලිමේන්තුවෙන් නිසා, එකී දේශපාලනඥයන්ගේ හිත ගැනීම සඳහා යම් වරදාන පිරිනැමීමට සිදුවීම තේරුම්ගත හැකිය. (එදා මේ දේශපාලනඥයන් වැටී සිටි පරාජයේ අගාධය ඉදිරියේ ඒ කිසි වරදානයක් නොදී පවා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමේ සෑම ඉඩක්ම තිබුණු බව වෙනත් තැනක අප පෙන්වා දී ඇත), එහෙත්, ඉන් පසුව පැවති අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජයට පත්වූ දේශපාලනඥයන් පවා නැවත වරක් ජාතික ලැයිස්තුව මාර්ගයෙන් පාර්ලිමේන්තුවට ගැනීමට ජනාධිපතිවරයාට අවශ්‍ය කෙළේ ඇයි? එය ‘ජාතික න්‍යාය පත්‍රයක්’ සඳහා විය නොහැකිය. අවශ්‍ය කරන්නේ, ඊළඟ ප්‍රතිසංස්කරණ වැඩ සටහනක් සඳහා පාර්ලිමේන්තුව තුළ අවශ්‍ය කෙරෙන තුනෙන් දෙකේ ඡන්දයක් නම්, මොන පුද්ගලයෙකු ජාතික ලැයිස්තුවෙන් පත්කළත් ඒ ඡන්දය ලබාගත හැකි වනු ඇත. එහෙත්, ජාතික අවශ්‍යතාවට අමතරව, පක්ෂ අභ්‍යන්තරයේ අවශ්‍යතාවකුත් මෙහිදී ක්‍රියාත්මක වෙයි නම්, නිකංම අලුතෙන් කෙනෙකු පත්කර ගැනීමට වඩා, පක්ෂය තුළ කාලයක් තිස්සේ තෙම්පරාදු වූ කෙනෙකු, ඔහු මහ මැතිවරණයෙන් පරාජය වී සිටියත්, පත්කර ගැනීම වඩා වාසිදායක වෙතැයි කෙනෙකුට සිතිය හැකිය. මේ වන විට, හිටපු ජනාධිපතිවරයා සමග ඇතිව තිබූ දරුණු අභ්‍යන්තර අරගලයෙන් ජය ගැනීම සඳහා, ඔහුට විරුද්ධව පාවිච්චි කළ හැකි පරාජිත දේශපාලනඥයන් පවා ජනාධිපතිවරයාට අවශ්‍ය කෙළේ එබැවිනි.

මේ කියන දේශපාලනඥයන් පාර්ලිමේන්තු ඡන්දයෙන් පරාජය කෙරුණේ මහින්ද රාජපක්ෂ විසින් ගෙන ගිය වෙනම කූට වැඩ පිළිවෙළක් නිසා යැයි කියමින්, එවැනි අයවළුන් තමන්ගේ පැත්තට ජාතික ලැයිස්තුවෙන් පත්කර ගැනීමේදී, ජනාධිපතිවරයාගේ අභිලාෂය සාක්ෂාත් කර ගත හැකිව තිබුණේ එක පදනමක් මත පමණි. එනම්, ඒ කියන දේශපාලනඥයන්, පැවති දේශපාලනයෙන් මුළුමණින් කැඩී වෙන් වී, ප්‍රතිපත්තිමය වශයෙන් ජනාධිපතිවරයා සමග සද්භාවයෙන් නොසැලී සිටී නම් පමණි. එහෙත්, අවාසනාව වන්නේ ඒ බොහෝ දේශපාලනඥයන්, ඇමති තනතුරු සඳහා හෝ පරණ ෆයිල්වලින් බේරීම සඳහා වර්තමාන ජනාධිපතිවරයා සමග සිටියත්, හදවතින් සිටින්නේ හිටපු ජනාධිපතිවරයා සමග වීමයි. හොඳම උදාහරණය සුසිල් ප්‍රේමජයන්ත වැනි දේශපාලඥයන් ය. මේ නිසා, ජනාධිපතිවරයාගේ ‘යහපාලන’ අභිප්‍රායට අවසානයේ සිදුවුණේ ලාභයක් නොව, දම්වැලක පුරුක් මෙන් එක දිගට ඇදෙන පාඩුවකි. මේ වනාහි ලෝක දෙකම එක විට නැති කර ගත් දුර්භාග්‍යයක් වශයෙන් දැකිය හැකිය. එක පැත්තකින්, මෙම හැසිරීම මගින් රටේ හැට දෙලක්ෂයක් ජනතාවගේ හොඳ හිත පළුදු කර ගත් අතර, අනිත් පැත්තෙන්, තමන් අපේක්ෂා කළ පක්ෂ නායකත්වය පවා, අභ්‍යන්තර අරගලයක් තුළින් අත්පත් කර ගැනීමට ජනාධිපතිවරයා තවමත් අසමත්ව සිටින්නේය.

මේ තත්වය තුළ අගමැතිවරයාට විශේෂ ජනතා ප්‍රසාදයක් ඇති විය හැකිව තිබුණි. ඒ, ඔහු දේශපාලනික වශයෙන් ජාතික න්‍යාය පත්‍රයක් මත පමණක් පිහිටා කටයුතු කෙළේ නම් ය. එහෙත් ඔහු ද, ජාතික න්‍යාය පත්‍රය අස්සේ තමාගේ පටු දේශපාලන න්‍යාය පත්‍රත් ගැටගසා ගත් නිසා, ඔහුට අර්ජුන මහේන්ද්‍රන් අවසානය දක්වාම ආරක්ෂා කිරීමට සිදුවුණි. ඇවන්ගාඞ් සිද්ධිය සම්බන්ධයෙන් වරක් ඉල්ලා අස්වූ තිලක් මාරපන නැවත වරක් ඊළඟ කෝච්චියෙන්ම ඇමති මණ්ඩලයට ඇතුළත් කර ගැනීමට සිද්ධ වුණි. ‘ඇවන්ගාඞ්’ සිද්ධියේ පටන්ම, පැහැදිලි සාක්ෂි තිබියදීත්, විජයදාස රාජපක්ෂ සම්බන්ධයෙන් කිසි පියවරක් නොගෙන සිටීමට බල කෙරුණි. අවසානයේදී, දරු පවුල් නැති නායකයන් ගැන කට කැඩිච්ච කතා කියා මුහුණටම කෙළ ගසන තෙක් ඒ විජයදාස රාජපක්ෂගේ ආරක්ෂාව සහතික කෙළේ වෙන කිසිවෙකු නොව අගමැතිවරයාම ය. එය, ජනතා ඇස් ඉදිරියේ ගත් විට, පැවති රජයේ ඇතැම් දූෂිතයන් සහ අපරාධකරුවන් ආරක්ෂා කිරීමට විටින් විට ජනාධිපතිවරයා ගනිමින් සිටිතැයි පෙනුණු ඇතැම් ක්‍රියාවන්ට මොන විදිහකින්වත් දෙවැනි වුණේ නැත.

අද සිටින ‘ඒකාබද්ධයේ’ අසහාය නායක මහින්ද රාජපක්ෂ යනු, මේ කියන නායකයන් දෙන්නා විසින්, ඉහත කී ක්‍රියාකලාපය හරහා 2015 ජනවාරි 8 වැනි දායින් පසුව (අව) ජාතක කර ගත් දේශපාලනඥයෙකි. මේ පසුපස ඇති කතාව, පෙනෙන තරමට සරල නැති බව ඇත්ත. එහෙත්, අප මේ ලිපියේ මතු කරන කාරණය දළ වශයෙන් වටහා ගැනීම සඳහා සරල සමීකරණයක් අපට පාවිච්චි කළ හැකිය. මෛත්‍රීපාල සිරිසේන විසින් රාජපක්ෂලාගේ ගෝලයන් කිහිප දෙනෙකු තමාගේ පක්ෂ අවශ්‍යතා මත ආරක්ෂා කරන විට, රනිල් වික්‍රමසිංහ කෙළේ, ඔහුගේ පක්ෂ අවශ්‍යතා මත, රාජපක්ෂලා ආරක්ෂා කිරීම (විජයදාස රාජපක්ෂ, වජිර අබේවර්ධන සහ සාගල රත්නායක වැනි) තමන්ගේ ගෝලයන් කිහිප දෙනෙකුට භාර දී අහක බලාගෙන සිටීමයි.

දැන් අපි තීරණාත්මක සන්ධිස්ථානයක් ආසන්නට පැමිණ සිටිමු. මේ යහපාලන ආණ්ඩුව ජනතාව ඉදිරියේ තමන්ගේ සත්භාවය ඔප්පු කොට පෙන්විය යුතු ඓතිහාසික කඩඉම වන්නේ, ජනාධිපති ක්‍රමය අහෝසි කොට පෙන්වීමයි. ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ පොරොන්දුව ඉෂ්ට කිරීම පිළිබඳ තීරණයක් ගැනීම ජනාධිපතිවරයා ඔහුගේ පක්ෂ කමිටුවකට භාර දී තිබේ. එහෙත් ඒ පක්ෂ කමිටුවේ සිටින්නේ, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් නොව, එය ආරක්ෂා ගැනීම වෙනුවෙන් 2015 ජනවාරියේ තරග වැදුණු පුද්ගලයන් ය. එහි වරදක් නැත. පක්ෂ නායකයා වන්නේ ජනාධිපතිවරයා නිසාත්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ පොරොන්දුව රටට දී ඇත්තේ ජනාධිපතිවරයා නිසාත්, අපේ සහ රටේ ගනුදෙනුව ඇත්තේ ජනාධිපතිවරයා සමග මිස, ඔහු සමග එදා නොසිටි සහ ජන වරම සමග එදා නොසිටි ඔහුගේ පක්ෂය සමග නොවේ. එසේ හෙයින්, තමන්ගේ පක්ෂයට වඩා විශාල වන තමන්ගේ රටවැසියා වෙනුවෙන් තමන් දෙන ලද පොරොන්දුව ඉටු කිරීම සඳහා තමාගේ පක්ෂය මෙහෙයවා ගැනීම සහ ඊට නායකත්වය දීම ජනාධිපතිවරයාගේ වගකීමයි. ඇත්ත වශයෙන්ම, ඔහු ජනාධිපති වූ සැණින් එම පක්ෂයේ නායකත්වයත් ඔහු තමා අතට ගත්තේ, ජනවාරි 8 වැනි දා රට ඉදිරියේ තමා තැබූ ප්‍රතිඥා ඉටු කරලීමට එම පක්ෂයේ ආධාරය අවශ්‍ය යැයි ඔහු විශ්වාස කළ නිසා විය යුතුය.

දැන් ඒ හෝරාව පැමිණ තිබේ. ජනාධිපති ක්‍රමයේ ඉරණම තීන්දු කිරීම තමාගේ පක්ෂයට භාර කරමියි කියා අත හෝදා ගැනීමට මේ රටේ ජනමතය ඉදිරියේ ජනාධිපතිවරයාට ඉඩක් නැත. එසේ වුවහොත්, මීට පෙර එම පොරොන්දුවම දී බලයට පත්ව ඊට පිටුපෑ අනෙක් සෑම නායකයෙකු සේම ඔහුත් ජනතාව ඇන්දවූ බව වසං කළ නොහැකි වනු ඇත. එසේ තිබියදී, මේ ක්‍රමය මේ අයුරින්ම පවත්වා ගනිමින් 2020 නැවත ජයග්‍රහණයක් ගැන හීන දකින්නේ නම් එය ඉතා දුක්බර අවසානයකින් කෙළවර විය හැකි හීනයක්ම බව දැන් තියා කිව යුතුව තිබේ.■