රාවය

ප්‍රමිතියට ලැබෙන වැදගත්කම නොසලකන රටක්

ප්‍රමිතියට ලැබෙන  වැදගත්කම නොසලකන රටක්

වික්ටර් අයිවන්

මීට පෙර වැල්ලවත්තේ ඉදිකර තිබුණු තට්ටු නිවසක් කඩා බිඳ වැටීමක් වාර්තා විය. ඉන්පසුව මීගමුවේ පෙරියමුල්ලෙන්ද ඒ සමාන සිද්ධියක් වාර්තා විය. ඉදිකළ තට්ටු නිවාසවල ඇතිවන බිඳ වැටීම් කෙරෙහි බලපාන විවිධ හේතු තිබිය හැකිය. තට්ටු නිවාස ඉදිකිරීම සඳහා යොදා ගන්නා සිමෙන්ති නිසි ප්‍රමිතියකින් තොරවේ නම් එවැනි බාල සිමෙන්ති වර්ග යොදා ඉදිකරන තට්ටු නිවාස පමණක් නොව වෙනත් ඉදිකිරීම්ද කඩා බිඳ වැටෙන තත්ත්වයක් ඇතිවිය හැකිය.

ප්‍රමිතියක් නැති සිමෙන්ති
වෙනත් සමහර දේවල් මෙන් නොව, ලංකාවට ආනයනය කෙරෙන සිමෙන්ති සඳහා විශේෂ නීතියක් පවතී. 1969 අංක 1 දරන ආනයන පාලන පනත අනුව ආනයනය කෙරෙන සිමෙන්ති වෙළෙඳ පොළට නිකුත් කළ හැක්කේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිති සහතිකයක් ඇත්නම් පමණය. ප්‍රමිති ආයතනයට එම සිමෙන්ති සඳහා ප්‍රමිති සහතිකයක් දිය හැක්කේ ඒවාහි සම්පීඩතා ශක්තිය 42.5ත් 62.5ත් අතර තිබේ නම් පමණය.

විගණකාධිපති දෙපාර්තමේන්තුව ප්‍රමිති ආයතනයේ ප්‍රමිති සහතිකය ඇතිව විවිධ සමාගම් විසින් නිකුත් කර තිබුණ සිමෙන්තිවල ප්‍රමිති තත්ත්වය පිළිබඳව 2012-2013 යන වර්ෂවල පරීක්ෂණයක් කළේය. ඒ සියලු වර්ගවල සිමෙන්ති දින 28 සම්පීඩතා පරීක්ෂණයට ලක් කළේය. එම පරීක්ෂණ ක්‍රියාවලියේ ලැබුණු ප්‍රතිඵලය වූයේ ලංකාවට ආනයනය කොට විවිධ ලේබල් යටතේ විකුණනු ලබන සියලු සිමෙන්ති වර්ග ලංකාව සඳහා පිළිගත් ප්‍රමිති තත්ත්වයට වඩා බාල තත්ත්වයක පවත්නා බවය. එහෙත් ඒ සියලු සිමෙන්ති වෙළෙඳපොළට නිකුත් කර තිබුණේ ප්‍රමිති ආයතනය විසින් ලබාදෙන ීඛ්ී සහතිකය යටතේය. ලංකාවට ආනයනය කර විවිධ වෙළෙඳ නාම යටතේ විකුණනු ලබන සිමෙන්ති තිබෙන්නේ නිසි ප්‍රමිති තත්ත්වයක නොවේ නම් ඒ සිමෙන්ති සඳහා ීඛ්ී සහතිකය ලැබුණේ කෙසේද? ඉන් පෙනෙන්නේ ලංකාවේ ප්‍රමිති ආයතනයද විශ්වාසදායී නොවන දූෂිත තත්ත්වයකට ඇද වැටී තිබෙන බව නොවේද?

ඉතාමත් වැදගත්ම දේ වනුයේ ලංකාවට ආනයනය කොට විවිධ වෙළෙඳ නාම යටතේ වෙළෙඳපොළට මුදාහැරෙන සිමෙන්තිවල පවත්නා මෙම යථා තත්ත්වය පිළිබඳව දැවැන්ත වාර්තාවක් විගණකාධිපතිවරයා විසින් සකස් කළ ද ඉදිකිරීම් විෂයට අදාළ ආනයනවලට හෝ එම විෂයට අදාළ වෘත්තීයවේදීන්ගේ හෝ නිර්මාණකරුවන්ගේ සංවාදයකට හේතු නොවීමය.

එම සොයා ගැනීම රජය පුදුමයට පත් කළේ නැත. පාර්ලිමේන්තුව පුදුමයට පත් කළේ ද නැත. ඉදිකිරීම් විෂයයට අදාළ විද්‍යාඥයන් හෝ වෘත්තීයවේදීන් පුදුමයට පත් කළේ ද නැත. එය නොසැලකිල්ලට හේතුවූ තවත් පරීක්ෂණ වාර්තාවක් පමණක් විය.

ලංකාව පුංචි නිවාස වැනි සාමාන්‍ය දේවල් පමණක් නොව, මහා තට්ටු නිවාස හා දැවැන්ත ඉදිකිරීම් සඳහා යොදා ගන්නේ පිළිගත් ප්‍රමිති තත්ත්වයකට වඩා පහළ මට්ටමක තිබෙන බාල සිමෙන්තිවලින් නම් ඉදිකරන ගොඩනැගිලි කඩා වැටීම පුදුමයට හේතුවන කරුණක් වන්නේ නැත. එය අනාගතයේදී බෙහෙවින් අසන්නට ලැබෙන සාමාන්‍ය දෙයක් බවට පත්වනු නොවැළැක්විය හැකිය. එය ලංකාව ඇද වැටී තිබෙන කාලකණ්ණි තත්ත්වය පෙන්නුම් කරන හොඳ නිදර්ශනයක් ලෙස සැලකිය හැකිය.

ප්‍රමිතියක් නැති අධ්‍යාපනය
මොනම දෙයක් සඳහාවත් නිසි ප්‍රමිතියක් නැතිකම ලංකාවේ අසමත්භාවය කෙරෙහි බලපා තිබෙන විවිධ හේතු අතර තිබෙන වැදගත් හේතුවක් ලෙස සැලකිය හැකිය. නිසි ප්‍රමිතියක් නැතිකම ලංකාවේ පාසල් අධ්‍යාපනයේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වාම දක්නට ලැබෙන සාමාන්‍ය ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය.

ගුරුවරුන් බඳවා ගැනීමේදී ඔවුන්ගේ උගත්කමේ තරම ගැන සොයා බැලෙනමුත් ඔවුන්ට ඉගැන්වීමට තිබෙන හැකියාව ගැන සොයා බැලෙන්නේ නැත. ගුරු වෘත්තියට බඳවා ගැනීමෙන් පසුද ඔවුන්ගේ දැනුම උසස් ප්‍රමිති තත්ත්වයක තබා ගැනීම සඳහා ක්‍රියාත්මක වන ක්‍රමවේදයක් නැත. පාසල් අධ්‍යාපනයේදී හා විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදී ඔවුන් ලබන අධ්‍යාපනයේ ගුණාත්මක අගය සොයා බලන ක්‍රමවේදයක්ද නැත. ඉගැන්වීම සඳහා යොදා ගන්නා පාඨමාලාවල හා පෙළපොත්වල ප්‍රමිතිය සොයා බලන ක්‍රමවේදයක්ද නැත.

සමස්ත අධ්‍යාපන ක්‍රමයම සකස් කර තිබෙන්නේ කට පාඩම් කර ඉගෙන ගත යුතු ක්‍රමයකටය. 1 වැනි පන්තියේ සිට උපාධි අධ්‍යාපනය දක්වාම අධ්‍යාපනය සකස් කර තිබෙන්නේ කටපාඩමින් ඉගෙන ගත යුතු තත්ත්වයකටය. රූපවාහිනී නාලිකා මගින් ශිෂ්‍යයන්ගේ දැනුම මනින වැඩසටහන් සකස් කර තිබෙන්නේද ශිෂ්‍යයන්ට තිබෙන තුළනාත්මක දැනුම උරගා බැලීමකට ලක් කෙරෙන ආකාරයකට නොව කටපාඩමින් හිමිකරගත් දැනුම උරගා බැලෙන ආකාරයටය. අධ්‍යාපනයේදී කියවීමට හා සොයා බැලීම්වලට ලැබෙන වැදගත්කම මුළුමනින් ඉවත් කර තිබෙන්නේ යැයි කිව හැකිය. හොඳ පාසල් හෝ ටියුෂන් ගුරුවරුන් ලෙස සැලකෙන්නේද හොඳින් කටපාඩම් කරගැනීමට අවශ්‍ය හොඳ මගපෙන්වීම් ලබාදෙන ගුරුවරුන්ටය. දැනුම ලබාගැනීම සඳහා පොත් කියවන ළමුන් පාසල්වල හා විශ්වවිද්‍යාලවල ඇත්තේම නැති තරම්ය. ඒ හැම තැනකම ඉන්නේ ගිරවුන් මෙන් කටපාඩම් කරන ළමුන්ය. නොකියවන හා තමන්ගේ දැනුම කටපාඩමින් ඇති කරගත් දැනුමට සීමා කරගත් ළමුන්ට නිර්මාණාත්මක ලෙස සිතීමේ හැකියාවක් තිබිය නොහැකිය. පාසල් අධ්‍යාපනයේදී සේ ම විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදී කෙනෙකුට ඔරොත්තු නොදෙන ප්‍රමාණයකට තම පාඩම් කරන්නට සිදුවී තිබීම නිසා මානසික රෝගීන් බවට පත්වන දරුවන්ගේ ප්‍රමාණය අතිවිශාලය. පාසල් ළමුන් අතර විවිධාකාරයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගේ අනුපාතිකය ඉහළ අගයක් ගෙන තිබෙන අතර එවැනි තත්ත්වයකට ඔවුන් තල්ලු කිරීම කෙරෙහිද කටපාඩම් කරන්නට සිදුවී තිබෙන ප්‍රමාණයේ විශාලත්වය වැදගත් සාධකයක් ලෙස බලපා තිබෙන්නේයැ’යි ද කිව හැකිය.

අනාගතය නොදැකීම
ලෝකයේ මහත් වේගයකින් ඇතිවෙමින් තිබෙන වෙනස්කම් සැලකිල්ලට නොගැනීමද ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ දක්නට තිබෙන තවත් ලොකු දෝෂයක් ලෙස සැලකිය හැකිය. නූතන ලෝකය තිබෙන්නේ පරණ ලෝකය මෙන් දීර්ඝ කාලයක් එකතැන පල්වෙන තැනක නොව අතිවිශාල වේගයකින් වෙනස් වන තැනකය. මෙතෙක් ගෙවී ඇති අවුරුදු 50,000ක් තරම් කාලයෙන් අවුරුදු 40,000ක් තරම් කාලයක් මිනිසුන් කල් ගෙවා ඇත්තේ දඩයම්කරුවන් වශයෙන් ගල්ගුහාවලය. ඔවුන්ගේ පරණ ලෝකය හා පරණ ජීවිතය වෙනස්වීමට අවුරුදු 40,000ක තරම් දීර්ඝ කාලයක් ගතවිය. ඉන්පසු ඔවුන් මාරුවන කෘෂිකාර්මික හා එf`ඞ්ර ජීවිතය වෙනස් කිරීමට තවත් අවුරුදු 9800ක් තරම් කාලයක් ගතවිය ඉන්පසු කාර්මික විප්ලවය ඇතිවීමට තවත් අවුරුදු 186ක් තරම් කාලයක් ගතවූ අතර ඉන්පසු ඇතිවන සුපිරි තාක්ෂණ විප්ලව යුගය ඇරඹී තවමත් ගතවී ඇත්තේ අවුරුදු 76ක් පමණය. එම අවුරුදු 76 තුළ මිනිස් ඉතිහාසයේ ගතවී තිබෙන අවුරුදු 49986ක් තුළ සිදුවී තිබෙන සියලු වෙනස්කම්වලට වැඩි වෙනසක් සිදුවී තිබෙන්නේයැ’යි කිව හැකිය. දැන් අප සිටින්නේ ඉතාමත් කෙටි කාලයක් තුළ බොහෝ දේවල් වෙනස් වන ලෝකයකය. ඒ ඇතිවන වේගවත් වෙනස්කම් තුළ සමහර දේවලට ලැබී තිබුණු වැදගත්කම මුළුමනින් නැතිවී යයි. අලුත් දේවල් ඇතිවෙමින් ඒවා අතරින්ද සමහර ඒවා අවලංගුවෙමින් තවත් අලුත් දේවල් ඇතිවේ. රටේ අධ්‍යාපනය සකස් විය යුත්තේ මෙම වැදගත් ප්‍රවණතාව සැලකිල්ලට ගනිමිනි. අධ්‍යාපනය බිහිකළ යුත්තේ වේගයෙන් වෙනස් වන ලෝකය සමඟ ආත්ම විශ්වාසයකින් යුතුව ඉදිරියට යෑමට අවශ්‍ය දැනුම ඇති සංස්කෘතික මිනිසුන්ය. එහෙත් ලංකාව පවත්වාගෙන යන අධ්‍යාපන ක්‍රමය මෙම ප්‍රවණතාව කවර තරමකට හෝ සැලකිල්ලට ගෙන නැත. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ගොඩනගමින් සිටිනුයේ වේගයෙන් වෙනස් වන වර්තමානය හා අනාගතයට ගැළපෙන මිනිසුන් නොව ගෙවී ගිය අතීතයට ගැළපෙන මිනිසුන්ය.

මා පුනරුදය සාකච්ඡා සභාවකට ගිය අවස්ථාවකදී එම සාකච්ඡා සභාව සංවිධානය කරමින් සිටි ඉංජිනේරුවකු වූ සිය පියාට මහත් උද්යෝගයකින්ද උදව් කරමින් සිටි 12වැනි වියේ පමණ පසුවන පුතෙකු දකින්ට ලැබුණි. ඔහු සමඟ කතා කරන්නට ලැබුණු අවස්ථාවකදී අනාගත ඉලක්කය කුමක්වේදැයි මම එම දරුවාගෙන් අසා සිටියෙමි. ගුවන් නියමුවකු වීම තම අපේක්ෂාව බව ඔහු කීවේය. ඈත අනාගතයේ නොව නුදුරු අනාගතයේදීම ගුවන්යානා පදවනු ඇත්තේ මිනිසුන් විසින් නොව කෘත්‍රිම බුද්ධිය ඇති යන්ත්‍ර විසින් බව කියමින් ඉක්මනින් අවලංගු නොවන ඉලක්කයක් අරමුණු කරගන්නා ලෙස මම එම දරුවාගෙන් ඉල්ලා සිටියෙමි. ඔළුව වනමින් වහාම එකඟවීමට අවශ්‍ය විචාර බුද්ධිය ඒ පුංචි ළමයාට තිබුණේය. ඊට හේතු වන්නට ඇත්තේ පියාගේ හා මවගේ බුද්ධිමය පසුබිම නිසා විය හැකිය. ඔහුගේ මව විදේශ කාන්තාවක් වූ අතර පියා උසස් අධ්‍යාපනය ලබා තිබුණේද විදේශ රටකය. එහෙත් ඒ ළමයා කෙරෙහි ප්‍රකට වූ විචාර බුද්ධිය ලංකාවේ බොහෝ ළමුන්ට තිබෙන බවක් පෙනෙන්නට නැත. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ළමුන් සූදානම් කරන්නේ අනාගතය සඳහා නොව අතීතය සඳහාය.

ලංකාවේ අධ්‍යාපන ක්‍රමය සේ ම සමාජයේද තිබෙන්නේ ළමුන් විද්‍යාවට පොළඹවන පසුබිමක් නොව මිථ්‍යාවට පොළඹවන පසුබිමකි. ප්‍රධාන පෙළේ තරග විභාගවලට පෙර ඒවාට පෙනී සිටීමට නියමිත පාසල් සිසුන් භාරහාරවීමට පොළඹවන්නේ පාසල් ගුරුවරුන්ය. භාරහාරවීම සඳහා පූජනීය ස්ථානවලට සිසු දරුවන් කාණ්ඩ වශයෙන් රැගෙන යන්නේද ගුරුවරුන්ය. විභාග කොමසාරිස්වරයා තරග විභාග සඳහා දින නියම කිරීමේදී රාහු කාලයද සැලකිල්ලට ගනී. රටේ හැම ජනමාධ්‍යයක්ම පාහේ රාහු කාලය. සුබ නැකත පමණක් නොව, මරු සිටින දිශාවද මහජනයාට කියා දෙති. ඒවා මන්ත්‍ර ගුරුකම්වලට ලැබෙන වැදගත්කම ද කියා දෙති. ලංකාවේ සමහර උගතුන් කියන්නේ රාමායණයේ එන දඬු මොනර යන්ත්‍රය නිපදවූයේ ලංකාවේ බවය. ඒ මගින් කියන්නේ ගුවන් ගමනාගමනයට අදාළ තාක්ෂණය පළමුවෙන්ම සොයාගත්තේ ලංකාව බවය. ලංකාවේ විශ්වවිද්‍යාලයක විද්‍යාඥයන් කණ්ඩායමක් පේනකාරියකගෙන් ලබාගන්නා මගපෙන්වීම් ඔස්සේ හඳුනා නොගත් වකුගඩු රෝගයට බලපා තිබෙන හේතු පිළිබඳව පර්යේෂණයක යෙදුණේය. එය එම විශ්වවිද්‍යාලයේ බලධාරීන්ගේ හෝ විද්‍යා සංගම්වල හෝ විද්‍යාඥයන්ගේ හෝ බලවත් විරෝධයට හේතුවූයේ නැත. මේ සියලු දේවලින් පෙනෙන්නේ ලංකාව අනාගතයට පස්ස හරවාගෙන අතීතය කරා යන වන්දනා ගමනක යෙදී සිටින මෝඩ රටක් වන බවය. අධ්‍යාපනයට හා ජනමාධ්‍යවලට උසස් තත්ත්වයේ ප්‍රමිති ක්‍රමයක් ක්‍රියාත්මක වී නම් අධ්‍යාපනයේ සේ ම ජනමාධ්‍ය වාර්තාකරණයේද මෙවැනි විකාර දේවල් සිදු නොවන්නට ඉඩ තිබුණි.

ප්‍රමිතියක් හෝ චාරයක් නැති ආහාර රටාව
මීගමුවේ පැවති පුනරුද සාකච්ඡා සභාවකට සහභාගි වූ පෝෂණ විද්‍යාඥයකු කීවේ ලංකාවේ දක්නට තිබෙන අර්බුදය හා පසුගාමීත්වය කෙරෙහි අනවශ්‍ය තරමට බත් කෑම ප්‍රමුඛම සාධකය ලෙස බලපා තිබෙන බවය. ලංකාවේ සියලුම ප්‍රශ්නවලට මුල අනවශ්‍ය තරමට බත්කෑම යැයි කියන අදහස මා පිළිගන්නේ නැතත් බත්වලට අනවශ්‍ය තරමට ප්‍රමුඛ වැදගත්කමක් ලබාදෙන ආහාර රටාව අපි වෙනස් කරගත යුතුයි කියන අදහස නිවැරදිය.
මා හිතන්නේ වෙනත් වගාවන් සමඟ සසඳන විට අනාර්ථික වගාවක් ලෙස සැලකිය හැකි වී වගාවට අනවශ්‍ය තරමට ප්‍රමුඛ වැදගත්කමක් ලබාදීම හා ග්‍රාමීය දුප්පත්කම කෙරෙහි බලපා තිබෙන වැදගත් සාධකයක් වන බවය. ලංකාවේ කෘෂිකර්මය සඳහා යොදාගෙන තිබෙන ඉඩම්වලින් වැඩිම පංගුවක් වෙන්කර තිබෙන්නේ වී වගාව සඳහාය. වෙනත් ඕනෑම වගාවක් සමඟ සසඳන විට වී ගොවිතැනට ලැබෙන ලාභය පහළම තත්ත්වයක පවතී. එම තත්ත්වය ග්‍රාමීය දුප්පත්කමට බලපා තිබෙන වැදගත් හේතුවක් වන බවය. ඉන් පෙනෙන්නේ කෘෂිකර්මයේ පුනරුදයක් ඇතිකර ගැනීම සඳහා කෘෂිකර්ම රටාවේ ලොකු වෙනසක් ඇතිකර ගැනීම අත්‍යවශ්‍ය බවය. ඒ සමඟ ආහාර රටාවේද වෙනසක් ඇතිකර ගැනීම අත්‍යවශ්‍ය බවය.

අපේ ආහාර රටාව සේ ම කුස්සිය හා සුප ක්‍රමයද තිබෙන්නේ යල් පැනගිය හා පසුගාමී තත්ත්වයකය. කෘෂිකර්මයේද අපි වී ගොවිතැනට ප්‍රමුඛ වැදගත්කමක් ලබාදී තිබෙන නිසාම සහල්වලටද අපි අනවශ්‍ය තරම් ප්‍රමුඛතාවක් ලබාදීමට හේතුවී තිබේ. බත් සැලකෙන්නේ තුන්වේලටම ආහාරයට ගතයුතු දෙයක් ලෙසය. බත් කන්නේද කොතක් තරම් උසට බත් බෙදාගෙන හුඟාක් අඩු ප්‍රමාණයකට බෙදාගත් එළවළු හෝ මාංශජනක දෙයක් සමඟය. අපි වේලකට කන බත් ප්‍රමාණය ග්‍රෑම් 500ක් පමණ වේ නම් එය කන්නට බෙදා ගන්නා එළවළු හා මංශජනක ආහාර ප්‍රමාණය ග්‍රෑම් 200කටත් අඩුය. එම ආහාර රටාව අප රෝගී කිරීමට සේ ම කම්මැලි කිරීමට ද හේතුවී තිබේ. එම තත්ත්වය පෙරළා ජනතාවගේ බුද්ධිය හීන කරන සාධකයක් ලෙසද ක්‍රියාකරනවා විය හැකිය.

අපේ ආහාර රටාවේද ලොකු ඒකාකාරී බවක් පවතී. අපි බත් සමඟ හැමදාමත් කන්නේ එකම දේවල් කිහිපයකි. ඒ පිස ගන්නේද එකම විධියකටය. සත්ව ප්‍රෝටීන් ආහාරයට ගන්නේ ඉතාමත් සුළු වශයෙනි. සමහරු මස් කෑම සලකන්නේ පාපයක් ලෙසය. එහෙත් මාළු කෑම පාපයක් ලෙස සලකන්නේ නැත. මාළු බොහෝ විට හදන්නේ හොද්දක් විදියටය. කන මාළු කෑල්ල හුඟාක් පුංචිය. බත් සමඟ කන මාළු හොදි ප්‍රමාණය හුඟාක් ලොකුය. මාළු කපා ගන්නා ක්‍රමය පවා ආදිකාලිනය. බත උයා ගන්නේද ඒ සමඟ කන වෙනත් දේවල් උයා ගන්නේද එකම ක්‍රමයකටය. අපි මාළු උයාගන්නේ ක්‍රම තුනකටය. හොද්දට උයන්න, ඇඹුල් තියල් කරන්න හා බදින්න පමණය. බැදිල්ලේදී නිසි ප්‍රමිතියකට බැදගන්න දන්නේ නැත. බොහෝ විට බදින ලද මාළු කෑල්ලේ ඇතුළත තෙල් තිබෙන්නේය. මේ ලක්ෂණය බදින ලද කරවලද. චයිනිස් රෝල්ස් වලද, වඬේවලද දැකිය හැකිය. ඉතා රසවත් පෝෂ්‍යදායක හා විවිධ ක්‍රමවලට පිස ගන්නා එළවළුවක් ලෙස සැලකිය හැකි ගෝවා පිසගන්න දන්නේද එකම ක්‍රමයකට පමණය. අපේ ආහාර වේලේ පෙනෙන්ට තිබෙන තවත් දුර්වලකමක් නම් එය වර්ණවත් බවෙන් තොරවීමය.

අපේ සාම්ප්‍රදායික ආහාර වේලට ඇතුළත් දේවල් සංඛ්‍යාව ඉතා කුඩා හා ඒකාධිකාරී වුවද ආහාර වේලක් උයා ගැනීම සඳහා විශාල කාල වේලාවක් ගතකිරීමට ලොකු මහන්සියක් දැරීමට ගෘහණියකට සිදුවේ. බත් සමඟ කන්න පිසින ව්‍යංජන ගණන හතරක් වේ නම් පිසීම සඳහා පමණක් භාජන 5ක් යොදාගත යුතුය. ඒවා පිසගන්න පස් වතාවක් ඉන්ධන පාවිච්චි කළ යුතුය. පිසීම සඳහා යොදා ගන්නා භාජන පහක් සේදීමට ගෘහණියන්ට සිදුවේ.
බොහෝ ජාතීන් එක වළඳක පිස ගන්නා :ධබැ චදඑ පැ්කි* සම්පූර්ණ ආහාර වේල් ඇත්තේය. ඒවා ඉතා රසවත්ය. පෝෂණ ගුණයෙන් යුතුය. වර්ණවත්ය. කෙටි වේලාවක් තුළ පිසගැනීමට තිබෙන හැකියාව, අඩු ඉන්ධන ප්‍රමාණයක් වැයවීම, හෝදන්නට තිබෙන භාජන ප්‍රමාණය එකක්වීම යන ලක්ෂණය එවැනි ආහාර වේලක ඇති වාසිදායක ලක්ෂණ ලෙස සැලකිය හැකිය. එවැනි ආහාර වට්ටෝරුවක් අතීතයේදී දුර ගමන් යන බර කරත්තකාරයන්ට තිබුණේය. සියලු දේවල් පිසගන්නේ එකවිට එකම වළඳකය.
පුනරුදය ව්‍යාපාරයට එකතුවී සිටින වර්ණවත් අය අතර ජාත්‍යන්තර අත්දැකීම් ඇති දක්ෂ සූපවේදියකුද සිටින්නේය. ඒ මාරවිල සුමිත්ය. ඔහු ළඟ දුම් ගැසූ :ීපදනැ* මස් මාළු තිබෙන්නේය. දුම් ගැසූ මස් මාළු ඉතා රසවත්ය. එහෙත් ලංකාවට තවමත් ආධුනිකය. ලංකාවේ නවීන අවන්හල්වල පවා ඒවා තිබෙන බවක් පෙනෙන්නට නැත. දුම් ගැසූ ක්‍රමයට මස් මාළු තනා ගත්විට ඒවා කල්තබා ගත හැකිවනවා සේ ම ඒවා ඉතා රසවත්ය.

පුනරුද ව්‍යාපාරය වෙනුවෙන් එක වළඳේ ආහාර වට්ටෝරු තුනක් සකස් කිරීමේ වගකීම භාරගෙන ඇත්තේ මාරවිල සුමිත්ය. එක වට්ටෝරුවක් මස් සහිත සම්පූර්ණ ආහාර වේලක් සඳහාය. දෙවැන්න මාළු සහිත සම්පූර්ණ ආහාර වේලක් සඳහාය. තුන්වැන්න මස් මාළු නොකන අය සඳහාය. ඔහුගේ අත්හදා බැලීම් සාර්ථක වුවහොත් (එය නිසැක වශයෙන්ම සාර්ථක වන්නේය) දේශීය ආහාර වට්ටෝරු අතරට පෙරළිකාර ආහාර වට්ටෝරු තුනක්ද එකතු වනු ඇත්තේය. ඒවා දේශීය ආහාර රටාව වර්ණවත් කිරීමට හේතුවනු ඇතිවා සේ ම කිසියම් ප්‍රමාණයකට හෝ ගෘහණියන්ගේ බර සැහැල්ලු කිරීමටද හේතුවනු ඇත. විශේෂයෙන්ම ආහාර වට්ටෝරු තුන බෝඩින්කාර ජීවිතයක් ගත කරන තමන් විසින්ම උයාගෙන කන බෝඩිංකාරයන්ට ප්‍රයෝජනවත් වනු ඇත. ගෙදරින් කෑම රැගෙන වැඩට එන අයටද එය බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත.
ලංකාවේ ආහාර රටාව විස්තීර්ණ හා වර්ණවත් කරගන්නා තැනකට යායුතුය. බත් කන ප්‍රමාණය අඩු කොට එළවළු, මස් මාළු හා පලතුරු කන ප්‍රමාණය වැඩිකර ගත යුතුය. ලොකු හොද්දක් සමඟ ග්‍රෑම් 50ක පමණ මාළු කෑල්ලක් කන ක්‍රමය අඩු කොට හොදි නැතිව අලුත් ක්‍රමවලට උයාගෙන වැඩියෙන් මස් මාළු කන තැනකට යා යුතුය.

ලංකාවේ ආපනශාලා
ගෙදර උයන ආහාරවලට පමණක් නොව කඩෙන් මිලදී ගන්නා ආහාරවලටද ප්‍රමිතියක් තිබිය යුතුය. නිවසේ හා ආපනශාලාවල බදින ලද ආහාරවල ඇතුළත තෙල් ගතියක් තිබෙන්නේ නිසි ප්‍රමිතියකට බදින්න නොදන්නාකම නිසාය. ලෝකයේ හොඳම තේ තිබෙන්නේ ලංකාවේය. එහෙත් අපි නිසි ප්‍රමිතියකට තේ කෝප්පයක් හදාගන්නවත් දන්නේ නැති ජාතියක් ලෙස සැලකිය හැකිය. එක්කෝ කහට මදිය. නැතිනම් සීනි වැඩිය. ගෘහණියන් අතරින් රසවත් තේ කෝප්පයක් හදන්න දන්නේ කලාතුරකින් කෙනෙකු පමණය. මේ ලක්ෂණය ආපනශාලාවටද පොදුය. ආපනශාලාවලින් තේ බොන විට හොඳ තේ කෝප්පයක් බොන්න ලැබෙන්නේ කලාතුරකින් තැනක පමණය. අප පුනරුදය වැඩසටහන් සඳහා දුර ගමනක් ගොස් ආපසු එමින් සිටියදී අප්‍රියාවකින් තොරව මුහුණ කට සෝදා ගැනීමට ලැබෙන පහසුකම් සලකා අපි අඹේපුස්ස තානායමට ගියෙමු. එය විදේශ සංචාරකයන්ට බර තබා පවත්වාගෙන යන තානායමකි. සරල ආහාරයකින් පසු අපි බොන්න ඇණවුම් කළේ කෝපිය. කෝපි කිරි හා සීනි වෙන වෙනම ගෙනාවේය. ඒවා මිශ්‍ර කොට කෝපි කෝප්පයක් හදා ගෙන එය බොන්න ගත් විට රසවත් කෝපි කෝප්පයක් වෙනුවට අපට බොන්න සිදුවූයේ පල්වතුර වැනි කෝපි කෝප්පයකි. කෝපි බඳුනේ තිබූ කෝපි ප්‍රමාණවත් තරමින් ඝනව හදා නොතිබුණි. කිරි භාජනය පරීක්ෂා කළ විට එය අඩුවෙන් පිටි දමා හදා තිබෙන කිරි බව හඳුනාගත හැකිය. මා තානායමේ සේවකයන් අතර සිටි ප්‍රධාන පුද්ගලයකු කැඳවා ඔහුට ඒ ගැන පැමිණිලි කළෙමි. අපට ඉක්මනින් ඝනට හැදූ කෝපි බඳුනක්ද, හොඳින් උණු කරන ලද නැවුම් කිරි බඳුනක්ද, ඒවා පිළියෙළ කරගැනීම සඳහා අලුත් පීරිසි කෝප්පද ලැබුණි. වැඩි මුදලක් ගෙවන විට ඒ සඳහා ලැබෙන දේද මුදලට සරිලන උසස් තත්ත්වයක තිබිය යුතුය. අවසානයේ අපිට හොඳ කෝපි කෝප්පයක් බීමේ වාසනාව හිමිවිය.

මෙය බොහෝ ආපනශාලාවල දක්නට ලැබෙන තත්ත්වයක් ලෙස සැලකිය හැකිය. ආහාරවල තත්ත්වයද ඊට වෙනස් නැත. බොහෝ අය සිතන්නේ මෙය හොඳ ටීමේකර්ලා නැතිකම හා හොඳ කෝකියන් නැතිකම නිසා ඇතිවන තත්ත්වයක් ලෙසය. එහෙත් එය සත්‍යයක් වන්නේ නැත. මැක්ඩොනල්ස් වැනි ආයතනවලද කෝකියන් වෙනස් වේ. එහෙත් ඔවුන්ගේ ආහාරවල තත්ත්වය වෙනස්වන්නේ නැත. අපේ ආපනශාලා කෝකියන් මත යැපෙන විට මැක්ඩොනල්ස් වැනි ආයතන යැපෙන්නේ ඔවුන්ගේ කෑම වට්ටෝරු මතය. ඒවාහි මිලදී ගැනීමට තිබෙන ආහාර වර්ගවල ප්‍රමාණය සීමිතය. ඒ හැම ආහාරයක්ම තනන්නේ කෝකියාට කැමති ආකාරයකට නොව පවත්වාගෙන යන නිශ්චිත ආහාර වට්ටෝරුවට අනුකූලය. එය අකුරටම විය යුතු රාජකාරියක් බවට පත් කොට තිබේ. ඒ නිසා එහි විකුණන ආහාරවල තත්ත්වය හැමදාමත් එකසමානය.

ලංකාවේ ආපනශාලාවලටද අනවශ්‍ය තරමට කෝකියන් මත යැපෙන තත්ත්වයෙන් ඉවත් වී සීමිත ආහාර වට්ටෝරු ගණනාවක් මත යැපෙන තත්ත්වයකට යා හැකි නම් ආපනශාලාවල තත්ත්වය උසස් කළ හැකිය. හැම ලොකු කුඩා ආපනශාලාවකටම තමන්ගේම වන විශේෂ ආහාර වට්ටෝරු ක්‍රමයක් ඇත්නම් කෝකියකු ලෙස සේවය කිරීමට කවර තරාතිරමක කෙනෙකු ආවද ආහාර සෑදීමේදී තරයේ වට්ටෝරුවට අනුකූලව තනන ප්‍රතිපත්තියකට යා හැකි නම් ලංකාවේ ආපනශාලා සංස්කෘතියේ විප්ලවකාරී වෙනසක් ඇති කළ හැකිය.

රට ලස්සනයි වැසිකිළි ක්‍රමය අවලස්සනයි
මේ ලස්සන රටේ අවලස්සනකම තේරුම් ගැනීමට අවශ්‍ය නම් රටේ ප්‍රසිද්ධ වැසිකිළි පරීක්ෂා කරන තැනකට යා යුතුය. මා ප්‍රසිද්ධ වැසිකිළි ලෙස සලකන්නේ නගරවල බස්නැවතුම්පොළවල්වල අධිකරණ සංකීර්ණවල හා පාසල්වල තිබෙන වැසිකිළිය. පාසල්වල වැසිකිළිවල තත්ත්වය ඉතා අයහපත්ය. සුපිරි පාසල්වල පවා මෙම තත්ත්වයෙන් වෙනස් වන්නේ නැත. පාසලට උසස් තත්ත්වයක් ලබාදීම සඳහා රුපියල් මිලියන සිය ගණනක් වියදම් කොට පිහිණුම් තටාක තනන රට පිහිණුම් තටාක තනන්නට පෙර මූලික අවශ්‍යතාවක් ලෙස සැලකය හැකි හොඳ වැසිකිළි ක්‍රමයක් ඇතිකර ගැනීමේ වැදගත්කම සැලකිල්ලට ගන්නේ නැත. මහජනයා පිරී ඉතිරී ගිය තැන් ලෙස සැලකිය හැකි උසාවිවල තිබෙන වැසිකිළිවල තත්ත්වය තිබෙන්නේද ඉතාමත් අවලස්සන තත්ත්වයකය.

මීට වසර දෙකකට පමණ ඉහතදී මට නඩුවක් සඳහා හදිසියේ අලුත්කඬේ උසාවියට යන්නට සිදුවිය. උසාවිවලට එන මහජනයාගෙන් උසාවි ශාලාවල ඇතිවන තදබදය පාලනය කරන ක්‍රමයක් ලංකාවේ උසාවිවලට නැත. නඩුවලට සම්බන්ධ සියලුදෙනා උසාවි ආරම්භ කරන වේලාවේ උසාවියට පැමිණ තමන්ගේ නඩුව අවසන් වන තෙක් එහි සිටිය යුතුය. උසාවිවල හොඳ වැසිකිළි ක්‍රමයක් තිබිය යුත්තේ එහි එන මහජනයාට මුත්‍රා කිරීමට අවශ්‍ය වුවහොත් එම අවශ්‍යතාව සපුරා ගැනීමේ ක්‍රමයක් ඒ උසාවි භූමිය තුළම තිබිය යුතු නිසාය. මා උසාවි ගිය අවස්ථාවේදී එහි තිබෙන වැසිකිළිය සොයාගෙන ගියේ උසාවි ශාලාවට ඇතුළුවීමෙන් පසු පිටවීමේ හැකියාවක් නැති නිසා මුත්‍රා කොට එහි යෑම සුදුසු යැයි කල්පනා කළ නිසාය. එහි ඇතුළු වූ පසු දකින්නට ලැබුණු දර්ශනයෙන් මා අන්දමන්ද කිරීමට හේතුවූ බව කිව යුතුය. මළපහ කිරීමට තිබෙන බේසම් පිරීයන තෙක් මළ පහවලින් පිරී තිබුණා පමණක් නොව, අත සෝදා ගැනීම සඳහා තිබෙන බේසන්වලද මළපහ කර තිබුණි. ඒ දර්ශනය මා තුළ ඇති කළ අතිවිශාල පිළිකුල නිසා මා පිටතට ආවේ වේගයෙනි.

නඩුවේ කටයුතු අවසන්වීමෙන් පසු උසාවියෙන් පිටතට ආ පසු මම කොළඹ නගරාධිපතිවරයාට දුරකතනයෙන් කතා කළෙමි. ඒ මා ඔහු දන්නා හඳුනන පුද්ගලයෙකු වීම නිසාය. මගේ අවලස්සන කතාව ඇසීමෙන් පසු ඔහු කීවේ අලුත්කඬේ උසාවියේ වැසිකිළි පාලනය කරන්නේ කොළඹ නගර සභාව විසින් නොව එහි තිබෙන අධිකරණය විසින් බවය. මා ඉන්පසු කීවේ පාලනය කාට තිබුණද උසාවිය තිබෙන්නේ නගර සභා බලප්‍රදේශය තුළ වන නිසා ඒ ගැන සොයා බැලීමේ වගකීමක් කොළඹ නගර සභාවටද තිබෙන බවය.

මා වාහනයකින් ගමන් ගනිමින් සිටින අවස්ථාවකදී වාහනය එලවමින් සිටි රියදුරා මට අපූරු කතාවක් කීවේය. තම දුව පාසලේ හා ටියුෂන් යන දිනවල ප්‍රමාණවත් තරමින් වතුර බොන්නේ නැති බවත් ඊට හේතුව ටියුෂන් පන්ති පවත්වන තැන්වල වැසිකිළි නැති නිසා හා පාසල්වල තිබෙන වැසිකිළි ඉතා අපිරිසිදු නිසා වැසිකිළි මගහරින ක්‍රමයක් වශයෙන් වතුර නොබොන බවය. එය තම දුවට පමණක් නොව පොදුවේ පාසල් හා ටියුෂන් යන ගැහැනු ළමුන් අනුගමනය කරන සාමාන්‍ය ප්‍රතිපත්තියක් බව ඔහු කීවේය. වකුගඩු රෝග ලංකාවේ තිබෙන ලොකු සෞඛ්‍ය ගැටලුවකි. වියළි කලාපයේ මිනිසුන් ප්‍රමාණවත් තරමින් වතුර නොබොන්නේ ජලයේ තිබෙන කිවුල් රස නිසාය. වැසිකිළි පහසුකම් නැතිකම නිසා ප්‍රමාණවත් තරමින් වතුර බීමෙන් වැළකී සිටින ශිෂ්‍ය ප්‍රජාවක් ද සිටින බව ඒ කතාව අනුව පෙනී යයි.

ප්‍රසිද්ධ වැසිකිළි සඳහා ප්‍රමිතියක් තිබිය යුතු අතර එම වැසිකිළි නිසි ප්‍රමිති තත්ත්වයකින් පවත්වාගෙන යනවාද කියා නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කරන ක්‍රමයක්ද තිබිය යුතුය. බස්නැවතුම්පොළක තිබෙන වැසිකිළිය අවලස්සන තත්ත්වයක තිබී නම් බස්නැවතුම්පොළේ කළමනාකරු ඊට වගකිව යුතුය. උසාවියක තිබෙන වැසිකිළිය අවලස්සන තත්ත්වයක තිබේ නම් එම උසාවිය භාර නඩුකාරයා ඊට වගකිව යුතුය. පාසලක තිබෙන වැසිකිළි අවලස්සන තත්ත්වයක තිබේ නම් විදුහල්පතිවරයා ඊට වගකිව යුතුය.■