රාවය

සම්මුතිය ඕනෑද? එපාද?

සම්මුතිය ඕනෑද? එපාද?

පිහිටුවා අවුරුදු දෙකක් ගතවන මොහොත වන විට ආණ්ඩුවේ ඇමතිවරුන් තිදෙනකුට ඇමති ධුර අතහැර දමා යන්නට සිදුවිය. හැබැයි, ඒ තුන්දෙනාම එක්සත් ජාතික පක්‍ෂයේ ඇමතිවරුය. තමන් විසින් චෝදනාවලට ලක්කරන ලද ‘රාජපක්‍ෂ හොරුන්’ගෙන් එකකුවත් පහුගිය අවුරුදු දෙකක කාලය තුළ නීතිය ඉදිරියට ගෙනැවිත් නඩු විභාග කර දඬුවම් ලබාදෙන්නට නොහැකිව තිබියදී, තමන්ගේ පැත්තේ ඇමතිවරුන් තිදෙනකුටම ඇමති පදවි අත්හරින්නට සිදුවීම එක පැත්තකින් එජාපය මුහුණ දුන් (දේශපාලන) දෛවයේ සරදමකි.

එජාප ඇමතිවරුන් තිදෙනකුටම ධුර හැරයන්නට සිදුවුණේ වැරදි කිරීම පිළිබඳ එජාපයේ ඇති ජානගත වරදක් නිසාද? නැතිනම් චෝදනා එල්ලවුණු පමණින් ඉල්ලා අස්වීමේ යහගුණයක් එජාපය ප්‍රගුණ කර ඇති නිසාද? වැරදි කර ඇත්තේ එජාපයේ ඇමතිවරුන් පමණක්ද? ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප පාර්ශ්වයේ ඇමතිවරුන් කිසිම වරදක් හෝ වරදක චෝදනාවක්වත් නැති සුපිළිපන් මහත්වරුද? පරණ ආණ්ඩුවේ සිටියදීවත් ඔවුන්ට දූෂණයකට, වංචාවකට ගෑවීවත් තිබුණේ නැද්ද? නැතිනම් ඔවුන්ට විරුද්ධව තිබෙන චෝදනා පිළිබඳ විමර්ශන කිසියම් ආකාරයකින් ගල්ගැසී, ඉදිරියට නොයා තිබෙනවාද? ඒවාට කවුරුහරි බාධා කරනවාද? විජයදාස ඇමතිවරයා කැබිනට් මණ්ඩල සාමූහික වගකීම කඩකළ බවට චෝදනා ලැබ ඇමති ධුරයෙන් ඉවතට විසිවෙද්දී ඒ විදියටම පසුගිය කාලයේ ඇමති මණ්ඩල තීරණ ප්‍රසිද්ධියේ විවේචනය කරමින්, ඇමති මණ්ඩල සාමූහිකත්වය කඩ කළ සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයා තවමත් ඇමති ධුරයේ ඉන්නේ කොහොමද? මාස දෙකක් ඇතුළත මහින්ද රාජපක්‍ෂ අගමැති වන ආණ්ඩුවක් පිහිටුවිය යුතුයැ’යි ජනාධිපතිවරයාටත් තර්ජනය කරමින් වහසි බස් දොඩන නිශාන්ත මුතුහෙට්ටිගම හා අරුන්දික ප්‍රනාන්දු වැනි නියෝජ්‍ය ඇමතිවරුන් තවමත් ආණ්ඩුවේ ඉන්නේ කොහොමද? මේවා මේ දිනවල දේශපාලන ලෝකයේ නැගෙන, එහෙත් කිසිම පිළිතුරක් නැති ප්‍රශ්නය.

කොහොම වුණත්, ගයන්ත කරුණාතිලක ඇමතිවරයා බදාදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20වැනි සංශෝධන කෙටුම්පත පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. මීට පෙර දින සීයේ ආණ්ඩු කාලය තුළද 20 වැනි සංශෝධනයක් ගෙන එන්නට පියවර ගන්නා ලදි. ඒ සංශෝධනයේ අරමුණ වුණේ, පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය සමානුපාතික හා කේවල කොට්ඨාස ක්‍රම දෙකේ මිශ්‍රණයක් ලෙස වෙනස් කිරීමය. එවැනි සංශෝධනයක් නීතිගත නොකර ආණ්ඩුව විසුරුවා හැරිය යුතුයැයි කියන හඬ ඒ මොහොතේ බලවත් වීම නිසා ආණ්ඩුව විසුරුවන්නට ජනාධිපතිවරයාට එදා සිදුවිය. ඒ පරණ 20 වැනි සංශෝධනය මැතිවරණ ක්‍රමය වෙනස්කරන්නට සැකසුණ එකක් වන විට, අලුත් 20 වැනි සංශෝධනය ගෙනෙන්නේ පළාත් සභා තුනක ඡන්දය කල්දැමීම සඳහා වීම කිසියම් උත්ප්‍රාසයක් දනවයි.

20වැනි සංශෝධනයෙන් කෙරෙන්නේ, පළාත් සභාවල ඡන්ද විමසීම් එකම දිනයක පැවැත්වීමට විධිවිධාන සැලසීමයි. ඒ අතර පළාත් සභා මැතිවරණ ක්‍රමයද සමානුපාතික හා කේවල කොට්ඨාස මිශ්‍රණය යටතේ පැවැත්වීමට අදහස් කර ඇත.

‘සියලුම පළාත් සභාවලට මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම (‘නිශ්චිත දිනය’ යනුවෙන් සඳහන් කරනු ලබන) එකම දිනයක පවත්වනු ලැබිය යුතු අතර, සියලුම පළාත් සභා විසිරෙන දිනය පාර්ලිමේන්තුව විසින් නිශ්චය කරනු ලැබිය යුත්තේ ය. එසේ වුව ද, ඒ නිශ්චිත දිනය, අවසානයට සංස්ථාපනය කරන ලද පළාත් සභාවේ ධුර කාලය ඉකුත් වන දිනයට පසු දිනයක් නො විය යුත්තේ ය.’ යනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට 20වැනි සංශෝධනයෙන් බලාපොරොත්තු වෙයි.

මේ විධිවිධානය අනුව, සියලු පළාත් සභාවල ඡන්ද විමසීම් සඳහා එක් දිනයක් තීරණය කරන්නේ පාර්ලිමේන්තුව විසිනි. ඒ දිනය වන විට ධුර කාලය අවසන්වී තිබෙන පළාත් සභා තවදුරටත් ඒ ආකාරයෙන්ම, ඒ පක්‍ෂ සංයුතිය ඇතිවම පවත්වා ගනු ලැබෙයි. කොහොම වුණත්, නිශ්චිත දිනය, අන්තිමට පිහිටුවූ පළාත් සභාවේ ධුර කාලය අවසන්වන දිනයට පසු දිනයක් නොවේ.

පළාත් සභාවල ඡන්ද එකම දිනයක පැවැත්වීම හොඳ වැඩකි. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව පළාත් සභාවල ඡන්ද තමන්ට වුවමනා දිනවල වෙන වෙනම පැවැත්වීම පුරුද්දක් කරගෙන ආ අතර, ඒ ගැන ඔවුන් පැහැදිලි කළේ, ‘අපි වසර පුරාම ඡන්ද පවත්වමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කරනවා’ ලෙසය. එහෙත්, ඒ ඡන්දවලදී සිදුවුණේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කරනවා වෙනුවට එය මරාදැමීමයි. රාජ්‍යයේ සියලුම සම්පත් හා පුද්ගලයන්, සමාජ අවධානය ඒ ඒ ඡන්ද විමසීම්වලට යොදවා, ආණ්ඩු පක්‍ෂයේ ජයග්‍රහණය සඳහා පමණක් ඒ සියල්ල අමු අමුවේ අවභාවිත කිරීමයි. වසර පුරා විවිධාකාර ඡන්ද පැවැත්වුණු පමණින්, රාජපක්‍ෂ කාලයේදී ප්‍රජාතන්ත්‍රවාදය නොරැකුණේ එහෙයිනි.

කොහොම වුණත්, පළාත් සභා ඡන්දය කල් දැමීම ගැන ආණ්ඩුවට එල්ලවුණේ දැඩි ප්‍රහාරයකි. දේශපාලන පක්‍ෂ, සිවිල් සංවිධාන මෙන්ම මැතිවරණ නිරීක්‍ෂණ සංවිධානද ආණ්ඩුවට එලව එලවා පහර දුන්නේය. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාද එළිපිටම තමන්ගේ නොපහන් බව පළකළේය. පළාත් පාලන ඡන්ද කල් දැමීමෙන් අන්ත අවමානයට දැනටමත් පාත්‍රවී සිටින ශ්‍රීලනිපයේ ඇමතිවරු, ඒ ප්‍රහාරයට බිය වීමෙන්දෝ පළාත් සභා ඡන්ද කල් දමනවාට තමන් විරුද්ධ බව ප්‍රසිද්ධියේත්, ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව තුළත් කියන්නට පටන් ගත්තෝය. හරියට, 20වැනි සංශෝධනය අනුමත කළ කැබිනට් මණ්ඩල රැස්වීමේදී තමන් නිදාගෙන සිටිය බව පෙන්වන්නට මෙනි. ඒ කැබිනට් රැස්වීමෙහි ශ්‍රීලනිප ඇමතිවරුන්ද සිටි බව ජනාධිපතිවරයා විසින්වත් ඔවුන්ට මතක් කර දුන් බවත් වාර්තා වන්නේ නැත.

ඇත්ත වශයෙන්ම පළාත් සභා ඡන්ද කල්දැමීමේ වුවමනාව ශ්‍රීලනිපයේ වුවමනාවකි. (එජාපයට එවැනි වුවමනාවක් කිසිසේත් නැතැ’යි එයින් අදහස් නොවේ.) ඡන්දවලට මුහුණ දීමේ ඇත්ත අවුලකින් පෙළෙන්නේ ජනාධිපතිවරයා සභාපතිත්වය දරන ශ්‍රීලනිපයයි. ඉදිරියේදී වෙනම පක්‍ෂයකින් තරග කළ හැකියැයි බොහෝවිට සිතිය හැකි ඒකාබද්ධ විපක්‍ෂයට තමන් පරාජය වනු ඇතැ’යි සාධාරණ බියක් ශ්‍රීලනිපයට තිබේ. පක්‍ෂය දෙකඩ වීමෙන් දෙපැත්තම පරාජය වී එයින් ලැබෙන වාසිය එජාපය ගනු ඇතැ’යි කියන බියද එහි තවත් කොටසකි. මේ හේතුකාරණා දෙක නිසාම, ඡන්ද කල් දැමීමේ වුවමනාව වඩාත් ඇත්තේ ශ්‍රීලනිපයටය. පළාත් පාලන ඡන්ද කල් දැමිම මෙන්ම 20වැනි සංශෝධනයද ඒ වුවමනාව තෘප්ත කිරීමට ගෙන ආ එකකි. එසේ තිබියදී, කැබිනට් මණ්ඩලයේදී විස්ස අනුමත කොට, එලියට ඇවිත් ඊට විරුද්ධව ශ්‍රීලනිප ඇමතිවරුන් අදහස් පළකිරීම එක පැත්තකින් කැබිනට් සාමූහික වගකීම කඩකිරීමක් වන අතර, අනෙක් පැත්තෙන් තමන්ගේ උදව්වට ආ එජාපයේ පස්සට පයින් ඇනීමකි. අගමැති රනිල් වික්‍රමසිංහ මේ තත්ත්වය ගැන සිටියේ එක් අතකින් කනස්සල්ලකින් මෙන්ම කිසියම් කෝපයකින් බව වාර්තාවෙයි. මේ විදියට කැත වැඩ කරන පක්‍ෂයක් එක්ක එක ආණ්ඩුවක් කරගෙන යන්නේ කෙසේදැ’යි ඔහු සමීපතමයන් හා පවසා තිබුණු බවද දැනගන්නට තිබේ. අගමැතිවරයාගේ කතාව ඇත්තය. එජාපය තනි ආණ්ඩුවක් පිහිටුවිය යුතුයැ’යි මුල සිටම කියන එජාපයේ කොටස් මේ අවස්ථාවේදී ඉදිරියට පැමිණ, අගමැතිවරයාගේ කෝපය තවත් අවුළුවන්නට ඇති බවට සැකයක් නැත. එහි ප්‍රතිඵලයක් ලෙස ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායමත්, අගමැතිවරයාත් සමඟ ජනාධිපතිවරයාට සාකච්ඡාවකට ඉඳගන්නට සිදුවිය.

ඒ සාකච්ඡාවේදී අවධානය යොමුවුණේ මොන මොන කරුණු ගැනදැයි පැහැදිලි නැතත්, වැදගත් කාරණය වන්නේ පසුගිය බදාදා 20වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමයි. ආණ්ඩුව සිය අදහස සමග වෙනස් නොවී ඉදිරියට යන්නට තීරණය කර ඇති බව එයින් පෙනීයයි. එනම්, ශ්‍රීලනිපයේ කෙණෙහිලිකම් තිබියදී වුණත්, 20වැනි සංශෝධනය අනුව කටයුතු කරන්නට ආණ්ඩුව තීරණය කර තිබීමයි.

පාර්ලිමේන්තුව පනවන යම් නීතියක් පළාත් සභාවල විෂය පථයට අදාළ වන්නේ නම්, එම කෙටුම්පතට පළාත් සභාවල අනුමැතිය ලබාගැනීම අවශ්‍ය වන්නේය. යම් පළාතක් හෝ කිහිපයක් එවැනි කෙටුම්පතකට එකඟ නොවන්නේ නම්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක් එම කෙටුම්පතට ගෙන, එකඟ නොවූ පළාතට/පළාත්වලටද එම නීතිය වලංගු කිරීමේ හැකියාව පාර්ලිමේන්තුවට ඇත. කොහොමටත්, ව්‍යවස්ථා සංශෝධනයකට තුනෙන් දෙකක ඡන්දයක් වුවමනා වන නිසා, පළාත් සභාවල කැමැත්ත අකමැත්ත විශේෂ බාධාවක් නොවන බව මනුවර්ණගේ අදහසයි. ඒ අතර උතුරුමැද පළාත් සභාව 20වැනි සංශෝධනය වැඩි ඡන්ද දෙකකින් අනුමත කළේය. උතුරුමැද පළාත් සභාව වනාහි ජනාධිපති සිරිසේනගේ ඍජු අනුදැනුම, ආශීර්වාදය හා මෙහෙයවීම මත පවතින්නකි. එම පළාත් සභාව ඉදිරියට විත් 20වැනි සංශෝධනය අනුමත කිරීම මගින් සංකේතවත් කෙරෙන්නේ පක්‍ෂයේ සමහරුන් කුමක් කිව්වත් ජනාධිපතිවරයා මුල් එකඟතාව අනුව කටයුතු කරන බවකි. එහෙත් ඌව පළාත් සභාව වැඩි ඡන්දයෙන් පනත් කෙටුම්පත පරාජය කළේය.

20වැනි සංශෝධනය පිළිබඳ ආණ්ඩුවේ අවුලෙන්ද පෙනෙන්නේ, සම්මුතිවාදී ආණ්ඩුවේ ඉදිරි ගමන හිතන තරම් සුවපහසු නොවන බවය. සම්මුතිවාදී ආණ්ඩුවේ අවබෝධතා ගිවිසුමද දැන් අවසන් වී තිබේ. එහෙත්, මේ අවුරුද්ද අවසානය වන තුරු ආණ්ඩුවේම සිටින්නැයි ජනාධිපතිවරයා ශ්‍රීලනිප ඇමතිවරුන්ගෙන් ඉල්ලුවේය. මූලික කරුණු දහයකින් යුක්ත සම්මුති ආණ්ඩුවක් සඳහා වූ එජාප හා ශ්‍රීලනිප අවබෝධතා ගිවිසුම, රටේ වැදගත් ප්‍රශ්න විසඳීම සඳහා ප්‍රධාන පක්‍ෂ දෙකේ එකඟතාව පවත්වාගැනීම සඳහා අත්සන් කෙරුණකි. ආර්ථිකයේ වේගවත් වර්ධනය, රැකියා දස ලක්‍ෂයක් උත්පාදනය කිරීම, ආණ්ඩුවේ ආදායම වැඩිකරගැනීම සඳහා කටයුතු කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම, නීතියේ පාලනය සහතික කිරීම, 19වැනි සංශෝධනය යටතේ පිහිටැවුණු ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය හා මානව අයිතිවාසිකම් ශක්තිමත් කිරීම සඳහා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කිරීම, වාර්ගික හා ආගමික සංහිඳියාව වර්ධනය කිරීම, සමානුපාතික නියෝජන ක්‍රමය වෙනුවට මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් ඇතිකිරීම, දූෂණ හා මූල්‍ය වංචා සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම, තොරතුරු පනත නීතිගත කිරීම, බටහිර, ඉන්දියාව සහ චීනය සමඟ යහපත් සම්බන්ධතා වර්ධනය කෙරෙන ජාත්‍යන්තර ප්‍රතිපත්තියක් පවත්වාගෙන යෑම යනාදි කාරණා එහි අඩංගුය.

අවබෝධතා ගිවිසුම අත්සන් කර අවුරුදු දෙකක් ගතවන විටත්, ඉන් සෑහීමට පත්විය හැකි පරිදි සම්පූර්ණ කර ඇත්තේ එකක් දෙකක් බව පැහැදිලිය. එහෙම වුණේ ඇයි? මේ අරමුණු ඉටුකර ගැනීම සඳහාම ඇතිකරගත් සම්මුති ආණ්ඩුවේ ව්‍යුහාත්මක කාරණා විසින්ම, එනම්, පක්‍ෂ දෙක හවුල්වී සිටීම විසින්ම ඒ න්‍යාය පත්‍රයට බාධා කළාද? මෙය විසඳා ගත යුතු ප්‍රශ්නයකි. ආණ්ඩුවේ ඉදිරි ධුර කාලයටත්, එනම් 2020 දක්වාත් සම්මුති ආණ්ඩුව මේ ආකාරයෙන්ම පවත්වාගෙන යන බවට ජනාධිතිවරයාත් ඇතුළුව ආණ්ඩුවේ බොහෝ දෙනා අදහස් පළ කරන තත්ත්වයක් මත පසුගිය කාලයේ ධන ඍණ ප්‍රවණතා හා පාර්ශ්ව දෙකේ විසම්මුතීන් හඳුනාගැනීම අවශ්‍යය.

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනඒම එජාප-ශ්‍රීලනිප අවබෝධතා ගිවිසුමෙහි එක් වැදගත් කාරණයකි. ඒ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවෙන් සම්මත කිරීම සඳහා තුනෙන් දෙකක බලයක් අවශ්‍ය වන නිසා ශ්‍රීලනිප මන්ත්‍රී ඡන්දද ඊට අවශ්‍යවෙයි. අඩු ගණනේ මේ වසර අවසන්වන තෙක් වත් ආණ්ඩුවේ සිටින්නැයි ජනාධිපතිවරයා ශ්‍රීලනිප මැතිඇමතිවරුන්ට කියන්නේ වසර අවසානයට පෙර ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට හැකිවෙතැයි කියන විශ්වාසයෙන් බව ඇතැම්හු කියති. ඒ අලුත් ව්‍යවස්ථාව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නක් විය යුතු බව ජනාධිපතිවරයාගේද ස්ථාවරයයි. එහෙත්, ශ්‍රීලනිපය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවාට විරුද්ධය. ශ්‍රීලනිපයේ ඡන්දද අරගෙන තුනෙන් දෙකක් හදාගන්නට අවශ්‍ය වන නිසා, ශ්‍රීලනිපය කියන දේවල් සලකා නොබැලීමත් කළ නොහැකිය. 19වැනි සංශෝධනය මේ තරම් දියාරු වුණේ, ශ්‍රීලනිපයේත් ඒකාබද්ධ විපක්‍ෂයේත් බාධා නිසාත්, එහි බලය වුවමනාවෙන්ම දියාරු කිරීමට ඔවුන් කළ එකතුකිරීම් නිසාත් බව අපි දනිමු.

ශ්‍රීලනිප ඡන්ද ගැනීමට ඔවුන් කියන දෙයකට එකඟවීමේ අවසාන ප්‍රතිඵලය, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කෙරෙන්නේවත් නැති අලුත් ව්‍යවස්ථාවක් සම්මත වීම නම්, මෙවැනි ආණ්ඩුවක් පවත්වාගෙන යෑමේ තේරුම කුමක්ද?■