රාවය

විශ්ව ගවේෂණයේ පෙරමුණේ සිටින ලාංකික තාරකා විද්‍යාඥයා | රේ ජයවර්ධන

විශ්ව ගවේෂණයේ පෙරමුණේ සිටින  ලාංකික තාරකා විද්‍යාඥයා | රේ ජයවර්ධන

පූර්ණ සූර්ය ග්‍රහණයක් යනු සොබා දහමේ අසිරිමත් සිදුවීමක්. පෘථිවිය හා සූර්යයා අතරට චන්‍ද්‍රයා පැමිණීම නිසා හිරුගේ එළිය ටික වේලාවකට මුවා වීම සූර්ය ග්‍රහණයකට හේතුවයි.
වසර 99කට පසු අමෙරිකාවට පූර්ණ සූර්ය ග්‍රහණයක් 2017 අගෝස්තු 21 වනදා දැක ගත හැකි වුණා. අමෙරිකාවේ බටහිර වෙරළින් පටන් ගෙන පැය දෙක තුනක කාලයක් පුරා පූර්ණත්වයේ ගමන් මග (Path of Totality) එරට හරහා විහිද ගොස් නැගෙනහිර වෙරළින් අත්ලන්තික් සාගරය වෙත ඇදී ගියා.

ලක්‍ෂ සංඛ්‍යාත අමෙරිකානුවන් හා විදේශිකයන් මේ අසාමාන්‍ය සිදුවීම නරඹන්නට අදාළ පෙදෙස්වලට රොක් වුණා. ටෙලිවිෂන් හා වෙබ් ආවරණය හරහා සෙසු ලෝකයද එම අත්දැකීම දුරස්ථව ලබා ගත්තා.
මේ මහජන උනන්දුවට වැදගත් වූ විද්‍යාත්මක තොරතුරු සරල බසින් පහදාදීමේ කාරියට තාරකා විද්‍යාඥයන් ගණනාවක් සම්බන්ධ වුණා. ඒ අතර කැපී පෙනෙන චරිතයක් වූයේ ශ්‍රී ලංකාවෙන් බිහි වූ කීර්තිමත් තාරකා භෞතික විද්‍යාඥයා (astrophysicist) ඔහු තමයි ආචාර්ය රේ ජයවර්ධන.

තාරකා විද්‍යා පර්යේෂණවලට මෙන්ම විද්‍යා සන්නිවේදනයටත් එක සේ දක්‍ෂ ඔහු, කැනඩාවේ ටොරන්ටෝ නුවර පිහිටි යෝක් සරසවියේ විද්‍යා පීඨාධිපතිවරයා මෙන්ම තාරකා විද්‍යාව හා භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා.

ඔහු මෙවර සූර්ය ග්‍රහණය නැරඹීමට හා ඒ ගැන මහජන දේශන පැවැත්වීමට අමෙරිකාවේ ඉඩහෝ ප්‍රන්තයට ගියා. එරට සරසවි හා මාධ්‍ය ආයතන ගණනාවක් මෙම තාරකා විද්‍යාත්මක සිදුවීම ගැන ඔහුගෙන් විග්‍රහයන් ලබා ගත්තා.
මේ ඔහු අත්විඳි තුන්වන පූර්ණ සූර්ය ග්‍රහණයයි. මීට පෙර 2006 මාර්තු 29 වනදා දකුණු දිග තුර්කියේදීත්, 2008 අගෝස්තු 1 වනදා මොන්ගෝලියාවේදීත් මේ අත්දැකීම් ලබන්නට ඔහු වෘත්තීය තාරකා විiාඥයකු ලෙස බොහෝ දුර ගෙවා එහි ගියා.
“බටහිර මොන්ගෝලියාවේ අල්ටායි කඳුවැටියේ සිට සූර්ය ග්‍රහණයක් නැරඹීම අමතක නොවන සිදුවීමක්. එරට ජනයාගෙන් පිරිසක් දේශීය යකැදුරකු සමඟ එක්ව පුද පූජා පවත්වමින් ආශීර්වාද ලබන අසල සිට අප නවීන දැනුමෙන් සන්නද්ධව මුළුමනින් මේ සොබාවික සිදුවීම නැරඹුවා. මහදවල් එක් වරම (ටික වේලාවකට) හිරු මුවා වී රෑ කළුවර පැතිරීම පුරාණ මානවයන් බියපත් කරන්නට ඇති සැටි මට පරිකල්පනය කළ හැකි වුණා” යයි ඔහු මෑතදී වොෂින්ටන් පෝස්ට් පත්‍රයේ ලියමින් ආවර්ජනය කළා.
සමහර සමාජයන්හි තවමත් සූර්ය ග්‍රහණ ගැන දුර්මත හා භීතිකා පැතිරෙනවා. එහෙත් විiාඥයන් කියන්නේ එක එල්ලේ හිරු දෙස නොබලා නිසි ආරක්‍ෂිත කළු කණ්ණාඩි හරහා බැලුවොත් කිසිදු හානියක් නැති බවයි. (සාමාන්‍ය අව් කණ්නාඩි නොවේ.)
“මොන්ගෝලියාවේ දී ඉහළ අහසේ මෙන්ම මා අවට පොළොවේත් එකවර දිග හැරෙන සිදුවීම් මට සිහිපත් කළේ මානව වර්ගයාට ඉතිහාසය මුළුල්ලේම විශ්වය සමඟ අපූරු බැඳීමක් පවතින බවයි,” ඔහු ලිපියේ තවදුරටත් කීවා.
විශ්වය හා මානව වර්ගයා අතර මේ සදාතනික ගනුදෙනුව විග්‍රහ කරන අතරම එයට නව දැනුම එකතු කරමින් විශ්වයේ අපට හිමි තැන ගැන අවබෝධය පුළුල් කිරීමට රේ අතිදක්‍ෂයෙක්.
හැම විශේෂඥයාටම හොඳ සන්නිවේදකයකු වන්නට බැහැ. තම දැනුම සරල හා ළයාන්විත ලෙසින් අන් අයට බෙදා දීම එක්තරා කලාවක්. මේ කලාව ප්‍රගුණ කළ විද්ඥ‍යායෝ ඉන්නේ ටික දෙනයි. මේ වන විට අමෙරිකානු හා කැනේඩියානු ටෙලිවිෂන් නාලිකා, පුවත්පත් හා සරසවි හරහා විශ්වය පිළිබඳ විග්‍රහ කරන ජනප්‍රිය විiා සන්නිවේදකයන් අතරින් කෙනකු බවට රේ පත්ව සිටිනවා.
ඔහු මෙතැනට ආ සැටි ලාංකිීක දරුවන්ට ආදර්ශමත් දිරිය කථාවක්.
රේ උපන්නේ 1971දී හම්බන්තොටදී. ඔහුගේ ජීවිතයේ මුල් වසර කීපය ගත වුණේ දුර බැහැර පෙදෙසක, පහසුකම් අඩු පරිසරයකයි. කුඩා කාලයේ සිටම රාත්‍රී අහස ගැන උනන්දුවක් දැක්වූ ඔහුට මුලින්ම ඕනෑ වුණේ අජටාකාශගාමියෙක් වෙන්න.
ඔහුගේ පියා පරිපාලන නිලධාරියකු හා ශාස්ත්‍රවේදී ගත් කතුවරයකු වූ ආචාර්ය සෝමපාල ජයවර්ධන.
මුලින් නුගේගොඩ සාන්ත ජෝන් විදුහලේ උගත් ඔහු ඉනික්බිති කොළඹ රාජකීය විදුහලට ඇතුල් වුණා. පාසලේදී ඔහු විෂයානුබද්ධ හා විෂය බාහිර ක්‍රියාකාරකම් රැසක දස්කම් පෑවා. විද්‍යාවට ඉතා ඇලුම් කළත් සාම්ප්‍රදායික දොස්තර-ඉන්ජිනේරු සිහිනයට වඩා ලොකු සිහින ඔහුට තිබුණා.

1985දී හැලීගේ වල්ගා තරුව යළි පැමිණීම ඔහුගේ දිවියේ තීරණාත්මක සිදුවීමක් වූවා. ඒ කාලයේ මතුව ආ උද්‍යෝගය හරහා තරුණ තාරකාවේදීන්ගේ සංගමය (Young Astronomers Association, YAA) පිහිටුවා ගැනීමට රේද මුල සිටම සම්බන්ධ වුණා. 14 හැවිරිදිව සිටි පාසල් සිසු රේ මා මුලින්ම හඳුනාගත්තේ ඒ හරහායි.
“සංගමයේ සැසිවාර පැවැත්වූණේ ඉංග්‍රීසියෙන්. ඒ දිනවල මගේ ඉංග්‍රීසි හැසිරවීම එතරම් හොඳ නැහැ. ඒත් මගේ උද්‍යෝගය නිසා දිගටම ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වුණා” රේ පසුව සිහිපත් කළා.

1986 අප්‍රේල් මාසයේ හැලී බලන්න අපි මාතරට සංචාරයක් කළා. හේතුව වල්ගාතරුව වඩා හොඳින් පෙනෙන්නේ දකුණු දිග ශ්‍රී ලංකාවේ නිසා. අහසේ අසාමාන්‍ය ගණයේ පුළුන් බෝලයක් විදියට හැලී අපි දුටුවා. මෙයින් ලත් ප්‍රබෝධක ආවේගය (inspiration) රේ තාරකා විiාඥයකු වීමේ දිගු හා දුෂ්කර චාරිකාවට අඩිතාලම දැමුවා.
තම ජීවිතයට ඉතා වැදගත් බලපෑමක් කළ චරිත තුනක් ගැන රේ කෘතඥපූර්වකව සිහිපත් කරනවා.
පළමුවැන්න YAA අනුශාසකවරයකු වූ ශ්‍රීමත් ආතර් සී. ක්ලාක්. ශ්‍රී ලංකා තාරකා විද්‍යා සංගමය 1959 දී පිහිටුවා ඒ හරහා තාරකා විද්‍යා නිරීක්‍ෂණ හා අධ්‍යයන ප්‍රවර්ධනය කිරීමට දිගු කලක් කටයුතු කළ ක්ලාක්, නිතර රේ දිරිමත් කළා.

දෙවැන්නා ගාල්ලේ ඉපිද පසු කලෙක ලෝක පූජිත ජෛවරසායන විද්‍යාඥයකු වී නාසා ආයතනයේ පර්යේෂණ ප්‍රධානියකු ලෙස සේවය කළ මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම. ඔහු 1984-1992 වකවානුවේ ශ්‍රී ලංකා ජනාධිපති විද්‍යා උපදේශක ලෙස මෙරට කල් ගත කළ නිසා කිහිප වතාවක් ඔහුගේ දේශනවලට සවන් දීමට රේ ඇතුළු තරුණ පිරිසට හැකි වුණා. ඉතා ව්‍යක්ත එහෙත් සරල ලෙසින් විද්‍යා දැනුම සාමාන්‍ය ජනයාට ඉදිරිපත් කිරීමට ක්ලාක්ටත්, පොන්නම්පෙරුමටත් තිබූ කුසලතාව රේ සමීපව නිරීක්‍ෂණය කළා.

YAA රැස්වීම්වල අප ප්‍රදර්ශනය කළ වීඩියෝ මාලාවක් වූයේ අමෙරිකානු තාරකා විද්‍යාඥ හා සන්නිවේදක ආචාර්ය කාල් සේගාන්ගේ COSMOS. 1980දී නිපදවනු ලැබූ මේ වාර්තා චිත්‍රපට මාලාව විශ්ව හා මානවයන් අතර සබඳතාව දාර්ශනිකව හා විද්‍යාත්මකව ගවේෂණය කළා. සේගාන් රේට බලපෑ තුන්වන දැවැන්තයායි.
උසස් පෙළින් පසු අමරිකාවේ ඉහළම සරසවියක උගන්නට රේට පූර්ණ ශිෂ්‍යත්වයක් ලැබුණේ වැඩිපුරම ඔහුගේ විෂය බාහිර හපන්කම් නිසායි. 1990දී අමෙරිකාවට ගිය රේ, 1994දී යේල් සරසවියෙන් මූලික උපාධියත්, 2000දී හාවඞ් සරසවියෙන් ආචාර්ය උපාධියත් ලබා ගත්තා. ඔහුගේ පර්යේෂණ ක්ෂේත්‍රය විශ්වයේ තාරකා හා ග්‍රහලෝක සම්භවයයි.

සූර්යග්‍රහ මණ්ඩලයෙන් බැහැර පිහිටි ග්‍රහලෝක (exoplanets) සෙවීමේ ගෝලීය උත්සාහයට ඔහු තරුණ වියේම සම්බන්ධ වූවා. එවැනි ග්‍රහලෝක පවතින බව කලක් තිස්සේ අනුමාන කරනු ලැබුවත් තාරකා මෙන් තමන්ගේම දීප්තියක් නැති නිසා නිරික්‍ෂණ හරහා තහවුරු කිරීම දුෂ්කරව තිබුණා.
දුරේක්ෂ හා පරිගණක තාක්‍ෂණය දියුණුවත්ම මේ අභියෝගය ජය ගත හැකි වුණා. 1998දී එවැනි ග්‍රහලෝකයක් පිළිබඳ නිරීක්‍ෂණාත්මක සාක්‍ෂි සොයා ගත් පර්යේෂණ කණ්ඩායම් දෙකකින් එකක රේ ජයවර්ධන සිටියා.
මේ සොයා ගැනීම විද්‍යාත්මක සඟරාවලට අමතරව Newsweek” BBCවැනි ගෝලීය මාධ්‍යවලද වාර්තා කෙරුණා. එවිට ඔහුගේ වයස 27යි.

විශ්වයේ ග්‍රහ මණ්ඩල හා ග්‍රහලෝක බිහිවීම හා පරිණාමය ගැන ඔහු දිගටම පර්යේෂණ පවත්වනවා. 2017 අගෝස්තු 1 වනදා වන විට අපේ ග්‍රහ මණ්ඩලයෙන් බැහැර ග්‍රහලෝක 3,639ක් සොයා ගෙන තිබුණා. මේ ගැන පර්යේෂණ කරන විද්‍යාඥ පිරිස් ලොව වටා සිටිනවා.

මේ එක් ලොවක ජීවයක් පිළිබඳ සාක්‍ෂි සෙවීම ඊළඟ ඉලක්කයයි. (විශ්වයේ ජීවය පවතින බව විද්‍යාඥයන් සංකල්පීය ලෙස පිළිගත්තද මේ දක්වා කිසිදු පර්යේෂණාත්මක සාක්ෂියක් නැහැ.)නිරීක්‍ෂණ සඳහා ලොව විශාලතම දුරදක්න ඇති රටවලට රේ නිතර ගමන් කරනවා. තාරකා විද්‍යා පර්යේෂණ සමුළුවල දේශන පවත්වනවා. මේ වන විට ලොව පිළිගත් පර්යේෂණ සඟරාවල ඔහු විද්‍යාත්මක නිබන්ධන 120කට වඩා පළ කොට තිබෙනවා.

රටවල් 50කට වැඩි ගණනකට වෘත්තීය මට්ටමෙන් සංචාරය කොට ඇති ඔහු, 2011දී ඇන්ටාක්ටිකාවට ගිය තුන්වන ලාංකිකයා බවට පත්වුණා. (2012 දෙසැම්බර් 2 තීරු ලිපියෙන් මා මේ තිදෙනා ගැනම තොරතුරු බෙදා ගත්තා.)
ආචාර්ය උපාධියෙන් පසුව වසර කිහිපයක් කැලිෆෝනියාවේ හා චිකාගෝ නුවර සරසවිවල පර්යේෂණ කළ ඔහු ඉනික්බිති කැනඩාවේ පදිංචියට ගියා. කැනඩාවේ වසර 40ට අඩු හොඳම වෘත්තිකයන් 40 දෙනා අතරට තෝරා ගනු ලැබුවේ 2009දී.

කැනේඩියානු පර්යේෂකයන් හා විද්‍යා සන්නිවේදකයන් අතර ඔහු කැපී පෙනෙනවා. 1987 පෙබරවාරියේ සොයා ගන්නා ලද අංක 4669 දරණ ග්‍රහකය (Asteroid) ඔහුට ගරු කිරීමට ඍ්හන්‍්හ ලෙස නම් කිරීමට ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමය (IAU) තීරණය කළා. මෙසේ ග්‍රහකයක් නම් කොට තිබෙන ලාංකිකයන් සිටින්නේ ඉතා ටික දෙනකු පමණයි.

විද්‍යාත්මක නිබන්ධනවලට අමතරව තම ක්‍ෂේත්‍රයේ අලුත් තොරතුරු කැටි කළ විද්‍යාත්මක ලිපි ද ඔහු විටින් විට ලියනවා. මේ ලිපි ද නිව්යෝක් ටයිම්ස්, වෝල් ස්ටී්‍රට් ජර්නල්, බොස්ටන් ග්ලෝබ්, ද ඉකනොමිස්ට් වැනි ලොව ප්‍රකට ප්‍රකාශනවල පළ වී තිබෙනවා.
තාරකා විද්‍යා ගවේෂණ සාමාන්‍ය ජනයාට විස්තර කරන පොත් තුනක්ද ඔහු ලියා තිබෙනවා. ඔහුගේ මුල්ම පොත,Star Factories(තාරකා තිඹිරිගෙවල්) පළ වූයේ 2000දී. එය තාරකා හා ග්‍රහලෝක සම්භවය ගැන නව දැනුම ළමයින්ට විස්තර කැරෙන්නක්.

2011 දී ඔහු ීStrange New Worlds (අපුරු නව ලෝකයන්) නම් පොතේ විස්තර කළේ ඈත ග්‍රහලෝක සොයා කැරෙන නවතම තාරකා විද්‍යා පර්යේෂණ ගැනයි. විශ්වයේ ජීවය පවතීද යන සදාතනික ප්‍රශ්නයත් ඔහු සාකච්ඡා කරනවා.

ඔහු වඩාත් මෑතදී ලියූ පොත නම් Neutrino Hunters (නියටි්‍රනෝ සොයන්නෝ). 2014දී එළි දුටු මෙම තාරකා විද්‍යා ඉතිහාසයේ රසවත් ගවේෂණ මාලාවක් සම්පිණ්ඩනය කරනවා. විද්‍යාවේ දැනට දන්නා අන් සියලු මූලික අංශූවලට වඩා කුඩා නියුටී්‍රනෝ සොයා ගිය කථා පුවත එහි අඩංගුයි.
මේ සියල්ල හරහා රේ ජයවර්ධන තැත් කරන්නේ තමා කුඩා වියේ විද්‍යා සන්නිවේදකයන් හරහා ලද ප්‍රබෝධක ආවේගය හා විශ්වය පිළිබඳ කුතුහලය ඊළඟ පරම්පරාවේත් මතු කර ගන්නයි.
ඔහු දුරේක්‍ෂ හා පර්යේෂණාගාරවලට සීමා වූ විද්‍යාඥයකු නොවේ. ගුරුවරයකු, සරසවි පීඨාධිපතිවරයකු, ජනප්‍රිය විද්‍යා සන්නිවේදකයකු ආදි විවිධ භූමිකා එක විට රඟපාන්නට ඔහු සමත්.

ඔහු ලොව විවිධ රටවල තාරකා විද්‍යා පර්යේෂකයන් හා අභ්‍යවකාශ ඒජන්සි සමඟ සහයෝගයෙන් වැඩ කරනවා. ලබන වසරේ (2018) පෘථිවි කක්ෂයට යැවීමට නියමිත මීළඟ අභ්‍යවකාශ දුරදක්නය වන ජේම්ස් වෙබ් දුරදක්නයට කැනේඩියානු විද්වත් දායකත්වය ලබා දුන් විද්‍යාඥ පිරිසේ නායකත්වය දැරුවේ ඔහුයි.
දැනට ලොව පිහිටි ලොකුම දුරදක්නවල නිරීක්‍ෂණ හැකියාවට වඩා අභ්‍යවකාශයේ සිට මේ දුරදක්නයට විශ්වය නිරික්සිය හැකි වනු ඇති එයින් ලැබෙන දත්ත හරහා බොහෝ දුරින් පිහිටි ග්‍රහලෝක පිළිබඳ විද්‍යාත්මක අවබෝධය තීව්‍ර වනු ඇතැයි ඔහු විශ්වාස කරනවා.

කාල් සේගාන් හා පොන්නම්පෙරුම වැනි දැවැන්තයන්ගේ පිය සටහන් ඔස්සේ ඉදිරියට යන ඔහු, විශ්වයේ අපට හිමි තැන ගැන නිතර මෙනෙහි කරන්නෙක්.
සිංහල මාධ්‍යවලට රේ ජයවර්ධන වැනි විද්වතුන් ග්‍රහණය වන්නේ නැහැ. හේතුව විදෙස්ගතව සිටින සමහර ලාංකිකයන් මෙන් සිය රට එන වාරයක් පාසා පත්තර හා ටෙලිවිෂන් ආවරණය ලබා ගන්නට ඔහු උත්සුක නොවන නිසා විය යුතුයි.

ශ්‍රී ලංකාවේ පත්තරවලට ග්‍රහණය නොවූවත් ඔහු අමෙරිකානු හා කැනේඩියානු පත්‍රවල නම් නිතර අවධානයට ලක් වනවා. 2017 අගෝස්තු 20 ටොරන්ටෝ ස්ටාර් පත්‍රය ඔහු ගැන දීර්ඝ විස්තරයක් පළ කළා. හම්බන්තොටින් පටන්ගෙන විශ්වයට දිවෙන ඔහුගේ චාරිකාව හා එයින් මතුවන ආදර්ශයන් ගැන එහි සඳහන්.
රේ තම පියාට විශේෂ ප්‍රණාමයක් පුද කරනවා. “පියාට වයස 14 වන විට මගේ සීයා මිය යෑම නිසා ඉගෙනුම අඩාල වී සුළු රැකියාවකට ගියත් පියා මහත් උත්සාහයෙන් රෑ ඉස්කෝලවල උගෙන ලන්ඩන් සරසවියෙන් බාහිර උපාධියක් ගත්තා. ගුරුවරයෙක් හා පසුව සිවිල් සේවකයෙක් ලෙස සේවය කරන අතර ශාස්ත්‍රීය පොතපත රාශියක් ලියූ පියා දැනුම ගවේෂණයට මට ලොකු බලපෑමක් කළා. ඔහු ආචර්ය උපාධිය ලැබුවේ විශ්‍රාම ගත් පසුවයි. දැනුම සොයා යන්නට වයස හෝ වෙනත් කිසිවක් බාධාවක් විය යුතු නැති බව මා කුඩා කලම තේරුම් ගත්තා”යයි රේ පවසනවා.

තුන්වන ලෝකයේ රටකින් පැමිණි, ඉංග්‍රීසිය මවුබස නොවූ දක්‍ෂයකුට විද්‍යා ක්‍ෂේත්‍රයක ඉහළටම නැගීමේ ඉඩකඩ බටහිර රටක තිබෙන බව රේගේ කථාවෙන් සනාථ වෙනවා.
නමක් හදා ගැනීම බෙහෙවින් දුෂ්කර අමෙරිකාව, කැනඩාව හා යුරෝපා රටවල ප්‍රසිද්ධියට පත් චරිතයක් බවට රේ ජයවර්ධන පත්ව සිටිනවා.
ඉඳහිට හෝ හොඳ දේත් හම්බන්තොටින් බිහි විය හැකි බවට ඔහු ජීවමාන සාක්ෂියක්!■