රාවය

පොලිස්පතිවරයා හතරවැනියා ද?

පොලිස්පතිවරයා හතරවැනියා ද?

පොලිස්පතිවරයා පොලිස් මූලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරවන්නාට කමිස කොලරයෙන් ඇද පහර දීමට තැත් කිරීම සම්බන්ධයෙන් කිසි ම පරීක්‍ෂණයක් සිදුවන බවක් පෙනෙන්නේ නැත. එහි තේරුම, පොලිස්පතිවරයාගේ අඩන්තේට්ටමට ලක් වුණු සේවකයාට සිය අයිතිවාසිකම් මෙන් ම යුක්තිය ද අහිමි වීම යි. පොලිසියේ තවත් සේවිකාවකට ද පොලිස්පතිවරයා මේ ආකාරයෙන් ම අඩන්තේට්ටම් කර ඇතැ’යි ඒ සමඟ වාර්තා විය. පොලිස්පතිවරයාගේ මේ කැත හැසිරීම ගැන විමර්ශන කිරීම පැත්තක තබා, එම සිදුවීමට අදාළ වීඩියෝව මාධ්‍යවලට නිකුත් වුණේ කොහොමදැ’යි සේවීමට පොලිසිය තුළ පරීක්‍ෂණයක් පැවැත්වෙන බව නම් දැනගන්නට තිබේ. මේ මොන තරම් ලජ්ජා නැති වැඩක් ද?

මේ කාලයේ අපට අසන්නට දකින්නට නිතර ලැබෙන්නේ, මහජන ධුරවල හා නිල ධුරවල සිටින්නන් තමන්ගේ කාර්යයට අදාළ නැති හෝ ඊට එරෙහිව යන වැඩ කිරීමත්, තම ධුරවලට කිසිසේත් නොගැළපෙන අපචාරවල යෙදීමත් ගැන ය. ආණ්ඩුවේ ඇමතිවරුන් තුන්දෙනෙකුට මෙන් ම ඉහළ රාජ්‍ය පරිපාලන නිලධාරියකුට ද මේ වන විට මෙවැනි අපචාරවලට වන්දි වශයෙන් තනතුරු හැර දා ඉල්ලා අස් වී යන්නට සිදු වී තිබේ. හතරවැනියා, පොලිස්පතිවරයා ද?

පොලිස්පතිවරයාගේ මේ ක්‍රියාව, වධහිංසා කිරීමකි. වධහිංසා කිරීමකට ශරීරයට අත තැබීමක් ම වුවමනා නොවන බව අපේ අධිකරණය තීරණය කර තිබේ. වචනයෙන් වුව ද වධහිංසා කළ හැකි බව එහි තේරුම යි. එසේ තිබිය දී, අලුතෙන් පත්වුණු විදේශ ඇමතිවරයා කියන්නේ, වධහිංසාවක් යනු යම් පුද්ගලයකුට බරපතළ ලෙස තුවාල කිරීමක් වන නිසා, පොලිස්පතිවරයාගේ මේ ක්‍රිියාව වධහිංසා ගණයට නොවැටෙන බව යි. කාලයක් ලංකාවේ නීතිය හා සාමය පිළිබඳ ඇමතිවරයා වූ, නීතිඥවරයකු ද වන, දැන් විදේශ ඇමතිවරයාගේ නීතිය පිළිබඳ දැනුම ගැන විවාදයක් නැති නමුත්, තමන්ගේ ගජමිතුරන් ආරක්‍ෂා කර ගැනීම සඳහා මෙලෙස ඔහු නීතිය නැවීම නම් නොහොබිනා වැඩක් බව කිව යුතු ය.

තමන් පොලිස්පති ධුරයට පත් වී පැවැත් වූ පළමු මාධ්‍ය හමුවේ දී කඳුළු සලමින් කරුණාබර හදක් ඇතියකු හැටියට රඟ පෑ මේ පොලිස්පතිවරයා, පසුගිය කාලය පුරා ම අඩු වැඩි වශයෙන් ඇත්තට ම පිළිබිඹු කළේ විහිළුකාරයකුගේ චරිතය යි. පොලිස් දෙපාර්තමේන්තුව තුළ ම ඔහුට මේ වන විට විකාරකාරයකු හැටියට ඉහළ පිළිගැනීමක් තිබේ. විදුලි සෝපාන ක්‍රියාකරුට පහර දීමට තැත් කිරීමත් සමඟ ඔහු තමාගේ වධක භූමිකාව ද දැන් මහජනතාවට නොමඳ ව ප්‍රදර්ශනය කර තිබේ.

සියලු තක්කඩියන්ගේ අවසාන නවාතැන දේශප්‍රේමයයැ’යි කියන කතාව මේ පොලිස්පතිවරයාට යොදා ගතහොත්, එහි එන දේශප්‍රේමය වෙනුවට ආගම යන්න ආදේශ කළ හැකි ය. උදේටත් ආගම, දවාලටත් ආගම, රෑටත් ආගම බදා වැළඳගෙන සිටින බවක් මවා පෙන්වන ඔහු, පොලිස්පතිවරයා වුණු විගස සියලු ම පොලිස් නිලධාරීන්ට දවසේ නිශ්චිත කාලයක් භාවනාවේ යෙදීම අනිවාර්ය කළේ ය. විලාසිතාවක් හැටියට ආගම කරපින්නා ගත් අන්ධ භක්තිවාදීන්ට මෙවැනි සරුව පිත්තල මවාපෑම් මිහිරිතර දේ වුණාට, යමක්කමක් දැනෙන, දැනුම් තේරුම් ඇති සමාජයට නම් මේ පියවර විකාරයක් මිස අන් යමක් නොවේ. එහෙත්, එවැනි විකාරයක් තමන් යටතේ ඉන්නා රජයේ නිලධාරීන්ට බලහත්කාරයෙන් නියම කරන පොලිස්පතිවරයා විකාරකාරයෙක් පමණක් නොවේ. පරපීඩකයෙක් ද වන්නේ ය.

පොලිසිය තිබෙන්නේ නීතිය ක්‍රියාත්මක කරන්නට ය. සිරිපාල, ගුණපාලගේ කමිස කොලරයෙන් අල්ලා තර්ජනයක් කළ විට, කිසිවක් කර කියාගත නොහැකි නම් ගුණපාල කළ යුත්තේ පොලිසියට ගොස් පැමිණිල්ලක් දැමීම යි. එය ගුණපාලගේ මූලික අයිතියකි. එහි දී සිරිපාලට එරෙහි ව කටයුතු කරන්නට ප්‍රමාණවත් බලය හා නීතියේ අනුබලය පොලිසියට තිබේ. එහෙත්, අදාළ විදුලි සෝපාන ක්‍රියාකරවන්නාට ඒ අයිතිය වත් හිමි නැති බව පෙනෙයි. තමන්ගේ කමිස කොලරයෙන් ඇද්දේ පොලිස්පතිවරයා ම වූ බැවිනි. පොලිසියේ වෙනත් නිලධාරියකු තවත් නිලධාරියකුගේ කමිස කොලරයෙන් අල්ලා තර්ජනය කළත් වරදක් නොවන බවට අලුත් පූර්වාදර්ශයක් දැන් පොලිස්පතිවරයා ඇති කර තිබේ.

පොලිසියේ හැමෝට ම භාවනා කරන්නට නියම කිරීම ම පොලිස්පතිවරයා සිය බලය අපයෝජනය කිරීමකි. ඊළඟට, භාවනා කරන්නේ නොකරන්නේ කවුදැ’යි හොයා බලමින් පොලිස් මූලස්ථානය පුරා ඇවිද, භාවනා නොකරන්නන්ට තර්ජනය හා අඩන්තේට්ටම් කිරීම බරපතළ වරදකි. පොලිස්පතිවරයා සිය බලය අයුතු ලෙස යොදාගෙන තමා යටතේ සිටින සේවකයකුට ශාරීරික හා මානසික වධහිංසාවක් කර ඇති බව අදාළ වීඩියෝව බලන ඕනෑ ම කෙනකුට පැහැදිලි ව තේරුම් යයි.

සිවුරු දරා සිටියත්, තමා සිවුරට නොගැළපෙන්නේ නම්, දායකයන් තමාට දෙන දානය රතු පැහැයෙන් දැවෙමින් තාපය විහිදුවන කිහිරඟුරු ලෙස සලකන්නටයැ’යි බුදුන් වහන්සේ සිය ශ්‍රාවකයන්ට කියා තිබේ. එහි තේරුම සිවුරට නොගැළපෙන්නන් සිවුරේ සිටිය යුතු නැති බව ය. පොලිස්පතිවරයා ද හොඳ බෞද්ධයකුයැ’යි කියන නිසා, බුදුන් වහන්සේගේ ඒ ඉගැන්වීමෙන් යමක් ගත යුතුයි නේද?■