රාවය

ආර්ථිකය මෙහෙයවීමේදී එජාපය ෆේල් | නියෝජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා

ආර්ථිකය මෙහෙයවීමේදී එජාපය ෆේල් | නියෝජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා

තරිඳු උඩුවරගෙදර

ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවට ශ්‍රීලනිපය යෝජනා ඉදිරිපත් කරනවාද? එය ප්‍රමාද වේවිද?
මේ වෙද්දී අපි පක්ෂයක් විදියට ව්‍යවස්ථාව සඳහා අවසන් යෝජනා සකස් කරමින් ඉන්නවා. සැප්තැම්බර් 31 වැනිදා වන විට අනිවාර්යයෙන් අපි අපේ පක්ෂයේ යෝජනා ඉදිරිපත් කරනවා. මෙහෙයුම් කමිටුව විදියට අපි උත්සාහ කරනවා සැප්තැම්බර් මාසයේ පළමු සුමානයේදී පාර්ලිමේන්තුවේදී මේ වාර්තාව පිළිබඳව සාකච්ඡා කරන්න. පැහැදිලි කරගන්න ඕනෑ මේ ඉදිරිපත් කරන්නේ කෙටුම්පතක් නොවන බව. මේක කෙටුම්පතකට පෙර එන පූර්ව කෙටුම්පත් වාර්තාවක්. කෙටුම්පත හදන්නේ පාර්ලිමේන්තුව එකතුවෙලා. මේ වාර්තාව පදනම් වෙලා ව්‍යවස්ථා සභාව වශයෙන් සම්පූර්ණ පාර්ලිමේන්තුව රැස්වෙලා තමයි කෙටුම්පත හදන්නේ.

ශ්‍රීලනිපයේ යෝජනා ප්‍රමාද වුණේ ඇයි?
අපි විතරක් නෙවෙයි, වෙන කවුරුත් යෝජනා ඉදිරිපත් කරලා නෑ. ඔය ප්‍රශ්නය හැදෙන්නේ අර්ධ සත්‍යයක් මත. යූඇන්පී යෝජනා පිළිබඳව 22දා අපි ඇහුවාම තමයි අගමැතිතුමා කිව්වේ එයාලා අලුත් යෝජනා දෙන්නේ නැහැ කියලා. මෙතෙක් කල් ඔබේ පුවත්පත ප්‍රමුඛව සහ අනෙකුත් මාධ්‍ය වාර්තා කළේ ශ්‍රීලනිප යෝජනා තමයි පරක්කු වෙන්නේ කියලා. අනෙක් අය දුන්නා කියලානේ කිව්වේ. ඒත් අනෙක් අය දීලාත් නෑ.

ශ්‍රීලනිපයේ යෝජනා ඉදිරිපත් කරන්නට පක්ෂය පත්කළ කමිටුවේ කටයුතුවල තත්ත්වය කොහොමද?
අපි 21, 22, 23 දිනවලත් රැස්වුණා. කමිටුව සකස් කරන වාර්තාව ජනාධිපතිතුමාට බාරදෙනවා. වාර්තාව සකස් කරන්නට පෙර අපි ජනාධිපතිතුමාව කිහිප වතාවක් හමුවුණා, විවිධ පක්ෂ හමුවුණා, බෞද්ධ සම්මේලනය වගේ සංවිධාන හමුවුණා. ජනාධිපතිතුමාට පක්ෂ කමිටුවේ වාර්තාව අපි ලබාදෙනවා. අවසාන වශයෙන් ජනාධිපතිතුමා මුණගැහිලා තමයි 31ට කලින් අපි වාර්තාව බාරදෙන්නේ.

පක්ෂයේ සංවත්සරයට මහින්ද රාජපක්ෂ පිල සහභාගී නොවන බව කියනවා නේද? දැන් පක්ෂ සභාපතිත්වය මෛත්‍රීපාල සිරිසේන මහතාට හිමි නැති බවත් කියනවා. මේ කණ්ඩායම ගැන තීන්දුවක් ගන්නේ නැද්ද?
මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් වර්තමාන ජනාධිපතිවරයා මුලින්ම පක්ෂ නායකත්වය බාර අරගෙන පවත්වපු පළමු සංවත්සරයට සහභාගි වුණා. මේ අයගෙන් බහුතරය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සභාපති ධුරය බාර අරගෙන හයිඞ්පාක් පිටියේදී පවත්වපු පළමු මැයි දින රැලියටත් සහභාගී වුණා. ඊට පස්සේ ඔය අයගෙන් සමහර උදවිය සමහර මැයි දින රැස්වීම්වලට ආවා. සමහර අය සහභාගී වුණේ නෑ අඩුවැඩි වශයෙන්. මේ ගැන අපට තීන්දු ගන්න වෙන්නේ ශ්‍රීලනිපයේ අනාගත සමඟිය ගැන බලලා මිසක ශ්‍රීලනිපයේ අසමගිය වැඩි කරවන්නට වෑයම් දරන අයගේ වුවමනාවන් වෙනුවෙන් නෙවෙයි. පක්ෂයක් කටයුතු කරන්න ඕනෑ පක්ෂය කඩන්න බලාගෙන ඉන්න අයගේ මනදොල පිරවීම සඳහා නෙවෙයිනේ, පක්ෂයේ අනාගත ශක්තිය හා සමඟිය දිහා බලලානේ තීන්දු ගන්න ඕනෑ.

වෙනම පක්ෂ හදන්නට වේදිකාවල ඉන්න ශ්‍රීලනිප සාමාජිකයන් ගැන විනය පියවර ගත යුතුයි කියලා පක්ෂය අභ්‍යන්තරයෙන්ම හඬක් නැගෙනවා නේද?
ලංකාවේ මාධ්‍යවලටයි පක්ෂවලටයි ප්‍රධාන පක්ෂ දෙකක් එකතුවෙලා ආණ්ඩු කිරීම හුරු නෑ. ඒ වාගේම මාධ්‍ය සහ පක්ෂවලටත් ඒක හුරු නැහැ. ලංකාවේ කිසිම දේශපාලන පක්ෂයක අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ. නායකයාගේ එහෙයියන් ලෙස සිටි පක්ෂවලට මෙන්ම ඒවා ගැන වාර්තාකළ මාධ්‍යවලට මේක පුරුදු නැතිවීම සාමාන්‍ය තත්ත්වයක්. ඒ අවුල තමයි මේ එළියට එන්නේ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පක්ෂයේ සභාපතිධුරයට පත්වෙලා, පක්ෂයේ මධ්‍යම කාරක සභාව ජාතික ආණ්ඩුවකට යන්න තීන්දු කළාම, කොටසක් කියනවා සම්මුතිවාදී ආණ්ඩුවක ඉන්න ගමන් අපට විපක්ෂයේ ඉන්න අයිතිය දෙන්න කියලා. ඒ අයිතිය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දෙනවා. ඒක පක්ෂයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය දීමේ ලක්ෂණ. මේ වෙලාවේ පක්ෂයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය දීලා මත මත හැප්පෙන වෙලාවක සමහර අය දකින්නේ නායකයාට කොන්ද පණ නෑ කියලා. සමහරු කියනවා එහෙයියන් නොවන අයට ඇක්ෂන් ගන්නේ නැත්තේ ඇයි කියලා. මෛත්‍රීපාල මැතිතුමාට පක්ෂයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත්කම තේරුම් ගියා. මොකද එතුමා පක්ෂයෙන් අයින්වෙලා විරුද්ධව තරගකරලා යළි පක්ෂයට ආ කෙනෙක්. එතුමා ඒ ප්‍රජාතන්ත්‍රවාදය කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් දුන්නානේ. ඒ දුන්න එක සමහර ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න මිත්‍රයෝ අයුතු ලෙස පාවිච්චි කරනවා. ඒක අන්තිම නරුම වැඩක්. හැබැයි ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න සමහර මිත්‍රයෝ කියන්නේ අපි පක්ෂය බෙදනවාට විරුද්ධයි, උඹලා ආණ්ඩුවෙන් එළියට එන්න, අපි පක්ෂය එකතුකරමු කියලා. ඒක එන්නේ එජාපයේ ආර්ථික ප්‍රතිපත්තිවලට විරෝධයත් එක්ක. සමහරු ඔය එන අයට දෙකේ දෙකේ පොලුවලින් ගහපල්ලා කියලාත් තියනවා. ඒ කියන්නේ මේ ශ්‍රීලනිපයට පස්සේ ඇවිත් මහින්ද රාපජක්ෂ මහත්තයාව විනාශ කළ අය.

දුමින්ද දිසානායක පක්ෂ ලේකම්වරයා විනය පියවර ගැනීමට යම් උත්සාහයක් ගන්නා බව පෙනෙනවා. හැබැයි ඔබ මෑත කාලයකදීත් එයට විරෝධය පෙන්වූවා. ඒ ගැන අදහස කුමක්ද?
ජෝන් සෙනෙවිරත්න, චමල් රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා වගේ කෙනෙක් පක්ෂයේ මහලේකම් හැටියට හිටියොත්, ඒ ලේකම්ධුරයේ ඉන්න ජ්‍යෙෂ්ඨයා විසින් විනය පියවර ගැනීම පාක්ෂිකයන්ට පෙනෙන විදියයි, දුමින්ද දිසානායක වගේ මේ පක්ෂයේ අනාගත නායකත්වයට සුදුසු තරුණ නායකයෙක් ඒකම කරද්දී ඒක පෙනෙන විදියයි අතරේ වෙනසක් තියෙනවා. දුමින්ද දිසානායක ලේකම් ධුරයෙන් අයින්වෙලා පක්ෂයේ ජාතික සංවිධායක වගේ තනතුරක ඉඳලා කටයුතු කළොත් පක්ෂය ඇතුළේ ජනප්‍රිය වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. දුමින්ද දිසානායක මහත්තයාගේ පියාට අන්තිම අසාධාරණ, කැත විදියට මහින්ද රාජපක්ෂ මැතිතුමා සැලකුවේ. ඒක අපි හැමෝම දැක්කා. හැබැයි දැන් ඒක පෞද්ගලික වෛරයක් විදියට ඉදිරියට ගෙනයෑම වළක්වන්න ඕනෑ. දුමින්ද දිසානායක මහත්තයා මේ වෛරය, එජාපය එක්ක මඟුල් කෑම දක්වා ගෙනියන එක වැරදියි. මහින්ද රාජපක්ෂ මහත්තයාත්, දුමින්ද දිසානායකලාට බලය දෙනවාට වඩා එජාපයේ ආණ්ඩුවක් හැදෙන එක හොඳයි කියලා හිතාගෙන වැඩ කරන එක වැරදියි. මේක තව සිදුවීමකින් කිව්වොත් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියට මහින්ද රාජපක්ෂ මහත්තයා කැත විදියට සැලකුවා. හැබැයි ඒ වෛරය රනිල් වික්‍රමසිංහ ආවත් කමක් නෑ මහින්ද රාජපක්ෂ එනවාට වඩා කියලා හිතන තැනට ගිහින්. පෞද්ගලික වෛරයන් ශ්‍රීලනිපයේ අනාගතය අඳුරු කරමින් එජාපයේ වාසියට හේතුවෙන දේවල් දක්වා ගෙනියන එක සුදුසු නෑ. ශ්‍රීලනිප සාමාජිකත්වය සහ රට ජාතිවාදී, වැඩවසම්වාදී, ආගම්වාදී තැනින් ගලවාගෙන සමස්ත පක්ෂය මධ්‍යස්ථ මාවතක ගෙනියන්න ඕනෑ.

මේ වැඩවසම් ප්‍රතිපත්ති ශ්‍රීලනිපයට ගෙනාවේ කවුද? එතැනින් යළි ගලවාගන්න පුළුවන් කොහොමද?
ඇත්තටම මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ ශ්‍රීලනිපයේ ප්‍රතිපත්ති කියලා ක්‍රියාත්මක වුණේ ශ්‍රීලනිප ප්‍රතිපත්ති නෙවෙයිනේ. ජාතිවාදී වැඩවසම්වාදී පන්නයට ජවිපෙ එක්ක හිටපු විමල් වීරවංශලාගේ, හෙළ උරුමයේ ප්‍රතිපත්තිනේ ක්‍රියාත්මක වුණේ. චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය මම අද දේශපාලන වශයෙන් දැඩිව විවේචනයට ලක් කරනවා. හැබැයි එතුමිය තමයි ශ්‍රීලනිපය ඇතුළේ ජාතික සහජීවනය පිළිබඳව මහා විප්ලවවාදී වෙනසක් කළේ. ඒක මතවාදී අරගලයක්. ඉන්පසුව රටේම ඒ මතය ගෙනියන්නට සුදුනෙළුම් වගේ ව්‍යාපෘතියක් ගෙනාවේ එතුමිය. හැබැයි ඒ වෙලාවේ චන්ද්‍රිකා මැතිනියට ඒක කරන්න ලැබුණේ එතුමිය රටම පිළිගත්ත අපේ පක්ෂයේ නායකත්වය නිසා. එතුමියගේ පින්තූරයත් එක්ක මේක ගෙනිච්චාම ගමේ ඉන්න, ජාතිවාදයට ගොදුරුවුණ ශ්‍රී ලංකාකාරයා පවා මේ කියන්නේ ඇත්ත කියලා පිළිගත්තා. හැබැයි අද චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ සහජීවනය ශ්‍රී ලංකාකාරයා ළඟ මාකට් කරන්න බෑ. අද එතුමියව ශ්‍රීලංකාකාරයාට පෙනෙන්නේ රනිල් වික්‍රමසිංහගේ නැන්දම්මා හැටියට. මහින්ද රාජපක්ෂ මහත්තයා බලහත්කාරයෙන් තමයි ඒ කාලේ සහජීවනය කියන එකට ඇතුළත් වුණේ. නැත්නම් එතුමාගේ ඇඟේ ජාතික සහජීවනය, මානව හිමිකම් වගේ ඒවා නෑ. එතුමා ඇඟ ඇතුළෙන් ජාතිවාදී, වැඩවසම්වාදී, කුලවාදී චින්තනයක් තියෙන මනුස්සයෙක්. ඒ නිසායි මම කියන්නේ විජයදාස මහත්තයාව මල්මාලා දාලා මහින්ද රාජපක්ෂ මහත්තයා බාරගනියි කියලා කොච්චර කිව්වත් විජයදාස මහත්තයාව නම් ඒ විදියට හිතට එකඟව පිළිගන්නේ නෑ කියලා. මම දන්නවා විජයදාස රාජපක්ෂ මහත්තයාගේ උත්පත්තිය පවා අල්ලාගෙන ඒ දවස්වල ගහපු ගැහිල්ල. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහත්තයාට බොහොම ලේසි වුණා ඒ කාලේ හෙළ උරුමය, ජේවීපිය, ගුණදාස අමරසේකරලාගේ ප්‍රතිපත්ති එක්ක දීගෙක යන්න. මොකද එතුමා ඇතුළේ තිබුණේ ජරාජීර්ණ වෙච්ච ජාතිවාදී, ආගම්වාදී වැඩපිළිවෙළක්. දැන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට තියෙන්නේ ඒ ජාතිවාදී මඩගොහොරුවෙන් පක්ෂය බේරාගැනීම සඳහා උපක්‍රමශීලීව වැඩ කිරීමයි. චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියට ඒක කරන්න බෑ. එතුමිය ජාතිවාදයෙන් පක්ෂය බේරාගත්තාට ආර්ථික න්‍යාය පැත්තෙන් ශ්‍රීලනිප ප්‍රතිපත්තිවලට සම්පූර්ණයෙන් ප්‍රතිවිරුද්ධ එජාපයට මේක තල්ලු කරනවා. එතකොට චන්ද්‍රිකා සහ මහින්ද කියන අන්ත දෙකටම නොගොස් මැද තැනින් ශ්‍රීලනිපය තියන්න පුළුවන් නායකයා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා.

අනෙක් ප්‍රධාන පක්ෂය වන එජාපය අවංකව දේශපාලන ප්‍රතිසංස්කරණ හරහා ජාතික ප්‍රශ්නයට විසඳුමක් දීම වෙනුවෙන් පෙනීසිටිනවායැයි ඔබ හිතනවාද?
හොඳම උදාහරණයක් මම කියන්නම්. විජයදාස රාජපක්ෂ මහත්තයා මේ වෙනකන් යූඇන්පීකාරයෙක්නේ. විජයදාස මහත්තයා කැබිනට් සාමූහිකත්වය බිඳීම යෙලෝ කාඞ් පෙන්වන්න තිබුණු වරදක්. අනෙක් පැත්තෙන් නීතිපති දෙපාර්තමේන්තුවට ඇඟිලි ගහන්නේ නැහැයි කියලා චෝදනා කළ එක අසික්කිත වැඩක්. ඊට පෙර විජයදාස රාජපක්ෂ මහත්තයා ඊට වඩා ලොකු වැරදි ටිකක් කළා. ජාතිවාදී, ආගම්වාදී ප්‍රකාශ ටිකක් එතුමා වැදගත් තනතුරුවල ඉඳන් කළා. එජාපය ඇතුළේ තියෙන පරණ හේමකුමාර නානායක්කාරවාදය විජයදාස රාජපක්ෂ විසින් මතුකළා. ඒ වෙලාවේ එජාපය මේ ඇමතිවරයාට විරුද්ධව පියවරක් ගත්තේ නෑ. එහෙම නම් අපට කියන්න තිබුණා එජාපය ජාතිවාදයට විරුද්ධයි කියලා. විජයදාස රාජපක්ෂට චෝදනාවක් විදියට ආවත් හිටපු ආණ්ඩුවට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවෙන්නේ ඇයිද කියලා අපි දන්නවා. අපි කවුරුත් බබාලා නෙවෙයි. රාජපක්ෂලාට එරෙහි නඩු යට යන්නේ නීතිය හා සාමය ඇමතිවරයා හරහා. දුරකථන සංවාද එක්ක අපි දැක්කා ඒක. හැබැයි නීතිය හා සාමය ඇමතිවරයා පසුපස්සේ ඉන්නේ කවුද කියලා අපි හොඳටම දන්නවා. රාජපක්ෂලාගේ නඩු යට ගැහීම ගැන චෝදනාව විජයදාස රාජපක්ෂගේ කර උඩින් තියලා බේරෙන්න හදන්නේ අර ඇත්ත කතාව යට යන හින්දා. මම කියන්නේ හැමතිස්සේම, බැසිල් රනිල්ට විසිල් ගහනවා, රනිල් බැසිල්ට විසිල් ගහනවා කියලායි. මේ දෙන්නාට දෙන්නා කවදාවත් කෙලින් චෝදනා කරගන්නේ නෑ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජාතික ප්‍රශ්නය පිළිබඳව ඉතිහාසය පුරා පෙන්වපු අවංක වුවමනාව එතුමා එන්න එජාපය පක්ෂයක් හැටියට පෙන්වනවාද කියන ප්‍රශ්නය තියෙනවා. හැබැයි ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ මූලාසනයේ එතුමා කරන කාර්යභාරය මම දකිනවා. ඒකෙදී මට පෙනෙනවා එතුමා එජාපයේ නායකයා විදියට අවංක වුවමනාව නොපෙන්වුවත් මෙහෙයුම් කමිටුවේදී එතුමා සියල්ලන්ගේ අදහස් එකතු කරගෙන ව්‍යවස්ථා යෝජනාවලිය සකස් කිරීමේදී පරිණත නායකයෙක් විදියට වැඩ කරනවා. එහෙත් බැඳුම්කර හොරුන් ආරක්ෂා කරමින්, තනි මතයට, ජාතිවාදීන්ටත් ඉඩ දෙමින් පක්ෂය ගෙනියන ආකාරය ගැන නම් අපි එකඟ වෙන්නේ නෑ.

එජාපය පැත්තෙන් ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා දක්වන උනන්දුව දේශපාලන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් දක්වන බව පෙනෙන්නේ නැහැ. විරෝධතා මැද්දේ ආර්ථික ප්‍රතිසංස්කරණ කැත්තෙන් හෝ පොල්ලෙන් කළත් දේශපාලන ප්‍රතිසංස්කරණ එසේ නොවීම ගැන අදහස මොකක්ද?
ශ්‍රීලනිපය මේ ආණ්ඩුවට එකතුවුණේත් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ ප්‍රතිසංස්කරණ කරගැනීමේ අවංක චේතනාවෙන්. ඒ නිසායි ආණ්ඩුවට පට්ට යන්න යූඇන්පියට මිනිස්සු බනිද්දීත් කාගෙන ඉන්නේ. මොකද අපට බලාපොරොත්තුවක් තියෙනවා දේශපාලන ප්‍රතිසංස්කරණ කරගන්නට පුළුවන් වේවි කියලා. ආර්ථිකය මෙහෙයවීමේදී එජාපය ෆේල්. ඒ නිසායි අද මිනිස්සු කියන්නේ ආර්ථිකය මෙහෙයවීම ජනාධිපතිතුමා අතට ගන්න කියලා. රටේම ඡන්දයෙන් පත්වුණ ජනාධිපතිතුමා කොළඹ දිස්ත්‍රික්කයෙන් පත්වෙච්ච රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ආර්ථිකය මෙහෙයවීමේ බලය දුන්නා. හැබැයි එජාපය ඉකොනොමික්ස් ෆේල්. ඒ නිසා වෙන්න ඕනෑ ජනාධිපතිතුමා ආර්ථික සංවර්ධන කමිටුවේත් මූලාසනයේ ලබන සතියේ ඉඳලා ඉඳගන්නේ. මේ ආණ්ඩුවට මහජන විරෝධයක් එන්නේ බලය බෙදන්න යනවා කියලා නෙවෙයි. දේශපාලන ප්‍රතිසංස්කරණ කරන්න යනවා කියලා නෙවෙයි. විරෝධය එන්නේ ආර්ථික පීඩනය පැත්තෙන්. ජාතිවාදීන් කිහිපදෙනෙක් ජාතිවාදය අවුස්සන්න හැදුවත් පොදු ප්‍රශ්නය ඒක නෙවෙයි. ඇත්ත කතන්දරේ තියෙන්නෙ අතන. ආර්ථිකය හරියට මෙහෙයවලා තිබුණා නම් අර ප්‍රතිසංස්කරණවලට ජනතා සහාය ලැබෙනවා. දැන් ජනමත විචාරණයකට යන්න අපි බයවෙන්නේත් ජනමත විචාරණයේදී අහන ප්‍රශ්නය පැත්තකින් තියලා ආර්ථිකය නිසා එජාපයට තියෙන විරෝධය මත ඡන්දය දේවි කියලා අපි හිතන්නේත් ඒ නිසායි. ඒ නිසායි අපි ජනමත විචාරණයකට නොගොස් සංශෝධන කරමු කියලා කියන්නේ.■