රාවය

සන්ධාන ගිවිසුම ඉවරයි; දැන් කොයිබටද?

සන්ධාන ගිවිසුම ඉවරයි; දැන් කොයිබටද?

ජනාධිපති සිරිසේන නායකත්වය දෙන ශ්‍රීලනිපය හා රනිල් වික්‍රමසිංහ නායකත්වය දෙන එජාපය අතර දෙවසරක කාලයක් සඳහා අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම පසුගිය 22දා අවසන් විය. නව අවබෝධතා ගිවිසුමක් පිළිබඳ සාකච්ඡාවක් ආරම්භ වී නැති අතර ඒ පිළිබඳ අදහසක් හෝ ඇති බව පෙනෙන්නට නැත. එබැවින් දැන් මෙම සන්ධානය පවතින්නේ නිල එකඟතාවක් නැතිවය.
දෙවසරක් පැවැති අවබෝධතා ගිවිසුමෙහි අඩංඟු මූලික කරුණු පිළිබද කිසිදු දැනුවත් සාකච්ඡාවක් මෙරට ඇතිවූයේ ද නැත. එම ගිවිසුමෙහි මුල් සිංහල පිටපත ආණ්ඩුවේ කිසිදු නිල වෙබ් අඩවියක හෝ ශ්‍රීලනිප හෝ එජාප වෙබ් අඩවියක හෝ නැත. එපමණක් නොව එහි ඉංග්‍රීසි හෝ දෙමළ හෝ පරිවර්තනයක්ද සොයා ගැනීමට නොහැකිය.

එකී අවබෝධතා ගිවිසුමෙහි මෙරට මහජනයාගේ එදිනෙදා ජීවිතය පහසු සහ ශිෂ්ටාචාරවත් කිරීමට තුඩු දිය හැකිව තිබූ යෝජනා ගණනාවක්ද ඇතුළත්ව තිබුණි. එනම් අධ්‍යාපන, පොදු ප්‍රවාහන සහ සෞඛ්‍ය යන අංශයන්හි කළ යුතු වැඩි දියුණු කිරීම්ය.
මෙම ක්‍ෂේත්‍ර තුනෙන් කවර හෝ මහජන සුභසාධනයක් දැකගැනීමට ලැබුණේ අමාත්‍ය රාජිත සේනාරත්න යටතේ සෞඛ්‍ය සේවාවෙහි පමණි. මරණීය පුරුද්දක් වන දුම්පානය දුර්මුඛ කිරීමට ගෙනඑන ලද පියවර තවමත් ප්‍රමාණවත් තරම් සමාජිය අගැයීමට ලක්ව නැති දීර්ඝකාලීන සුව සේවයකි. ඖෂධ මිල පහත හෙළීමත්, අක්‍ෂි කාච යනාදිය නොමිලයේ ලබාදීමට පියවර ගැනීමත් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ දැනෙන සාධනීය පියවරය. එසේ නමුත් සුව සේවාවන්හි සමස්ත වෙනසක් සිදුවන පාටක් නැත.

මහජන මුදලින් අධ්‍යාපනය ලැබූ නමුත් මහජන සෞඛ්‍යය දියුණු කරනු වෙනුවට ස්වකීය අයිතීන් සහ වරප්‍රසාද ගැන පමණක් උනන්දුවන ප්‍රබල සහ ආන්තික වෛද්‍ය සංගමයක් ඇති මෙරට සුව සේවය මහජන සේවයක් කිරීම ඉතා දුෂ්කර කටයුත්තකි.
පසුගිය දෙවසර තුළ අධ්‍යාපන සහ පොදු ප්‍රවාහන සේවාවන්හි කිසිදු දැනෙන වෙනසක් සිදුව නැත. අමාත්‍ය නිමල් සිරිපාල සිය අමාත්‍යාංශයට වී දවස ගෙවන්නේ කෙසේදැයි සිතාගැනීමට බැරි තරම් කාලකන්නි අමාත්‍යාංශයක් බවට ප්‍රවාහනය පත්ව තිබේ. බහුතරයක් චණ්ඩි රියදුරන් සහ මගීන්ගෙන් කීයක් හෝ හොරාගැනීමට බලාසිටින කපටි බස් සහායකයන් යටතේ පවතින බස් සේවය දශමයකින් හෝ ශිෂ්ටාචාර කිරීමට සිරිපාල සමත්වී නැත. ශ්‍රී ලංකාවේ වැඩිම ස්ත්‍රීන් ලිංගික වශයෙන් අපයෝජනයට ලක්වන්නේ මෙකී බස්රථ තුළය. කන් පැලෙන වාදනයන්, කුඩුකාර සහායක මුහුණු සහ කොටකොටා යෑම යනාදිය මෙරට බස් සේවයේ ලකුණුය.

දෙසතියකට පෙර අප යාපනයට ගිය අවස්ථාවෙහි එම බස් සහායක පොලිස් නිලධාරියකුට සියයේ කොළවලින් පගාව දෙනු අපේම ඇස්වලින් දුටුවෙමු. යාපන කොළඹ පුද්ගලික බස් සේවය සඳහා ලබාදී ඇති මාර්ග අවසරපත් ප්‍රමාණය මෙන් තුන් හතර ගුණයක බස් එම ගමනාන්ත අතර දුවන්නේ ලක්ෂ 20 -30 දක්වා අල්ලස් දීමෙන් බව අපට කීවේද දන්නා කියන අයෙකි. අප ආපසු ආ බස්රථය පැමිණියේ සෙනඟ එකතු වී කුලියට ගත් පුද්ගලික ගමනක් යන බස් රථයක් ලෙස වෙස් වෙළාගෙනය.

මෙරට පුද්ගලික බස් මගී ප්‍රවාහනය යනු දේශපාලන ජාවාරම්, අල්ලස, මැරවරකම, අනීතිය, අමානුෂික හැසිරීම සහ හුදෙක් ලාභ ලැබීම මත පදනම් වූ ධනවාදයේ දුෂ්ටතම රූපකායකි.
මෙරට අධ්‍යාපනය වනාහි එන්න එන්නම ටියුෂන් ජාවාරම මත යැපෙන පිරිහීයමින් පවත්නා සහ නූතනත්වයට නොගැළපෙන ඛේදවාචකයකි. අධ්‍යාපනයෙහි තීරණාත්මක වෙනසක් ඇති කරන බවට රනිල් වික්‍රමසිංහ දෙඩූ පුරසාරම් වාෂ්පවී ගොසිනි. අන්තර්ජාලය මත පදනම්වූ අධ්‍යාපන පාඨමාලා ගැන හාංකවිසියකවත් සූදානමකින් තොරව උසස් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ලැප්ටොප් පරිගණක ලබාදෙන බවට කළ කතා ඉහළම මට්ටමේ රැවටීමක් බවට පත්විය. තවත් නිදසුනක් නම් මෙරට භාවිතවන භාෂා තුන පාසල්හි ජනප්‍රිය සහ අනිවාර්ය කිරීමට අකිල විරාජ් සහමුලින්ම අසමත්වී සිටීමයි.

පසුගිය දෙවසර තුළ අධ්‍යාපන ක්‍ෂේත්‍රයෙහි සිදුකරන ලද එක් හෝ දීර්ඝ කාලීන බලපෑමක් සහිත සාධනීය වෙනසක් හෝ ඇතිවූ වර්ධනයක් හෝ ඇත්දැයි නිකමට සිතා බලන්න. පිළිතුර නැත යන්නයි.
පක්ෂ දෙක අතර අවබෝධතාවෙහි මූලික අරමුණ වූ නව ව්‍යවස්ථාවක් ගෙනඒම දැන් ඇත්තේ වැට උඩය. මෙයට පෙර මෙරට කරන ලද ව්‍යවස්ථා සංශෝධනයන් දෙකම බලයට පැමිණ වසරක් (1978) හෝ දෙවසරක් (1972) ඉක්මයෑමට පෙර ඇතිකරන ලද ඒවාය. දැන් තෙවසරක්ම ඉක්මයෑමට ආසන්නය. එමෙන්ම ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමද ලබා ඇත්තේ අර්ධ සාර්ථකත්වයකි.
අපට පෙනෙන අන්දමට පක්ෂ දෙක අතර වූ නිල ගිවිසුම අවසන් වන්නේ එය විසින් ඇතිකරගත් එකඟතාවන්ගෙන් අඩක්වත් ඉටුනොවී තිබියදීය. එමෙන්ම කවර හෝ එකඟතාවක් නැතිව සන්ධාන ආණ්ඩුවකට පැවැතීමටද බැරිය.

එජාප-ශ්‍රීලනිප සන්ධාන ආණ්ඩුව 2015 ඇතිවූ අවස්ථාවෙහිදී දෙස් විදෙස් දේශපාලන විචාරකයන් විසින් එය හඳුන්වන ලද්දේ යළි කලකට දක්නට නොලැබෙනු ඇති ශ්‍රී ලංකාව ලද ඓතිහාසික අවස්ථාවක් ලෙසය. එය ඇත්තය. විශේෂයෙන්ම නව ව්‍යවස්ථාවක් ඇතිකිරීමටත් එමගින් සියවසකට ආසන්න කාලයක් නොවිසඳී පවත්නා මෙරට ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් සැපයීමටත් ඇතිවූ එකඟතාව එම ඵෙතිහාසික අවස්ථාවෙහි හරය ලෙස දැක්විය හැකිය. එමෙන්ම (ධනේශ්වර) ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය, සිවිල් සමාජීය සහභාගිත්වය සහතික කරනු ලබන ස්වාධීන කොමිෂන් සභා ජාලයක් මගින් තුලනය සහ සංවරණය කිරීමට අවස්ථාව එළඹීමද එවැනි ඵෙතිහාසික අවස්ථාවක් විය.
එම ඵෙතිහාසික අවස්ථාව නිකම්ම අහෝසි වී යන්නේද යන්න ඉදිරි මාස තුන තුළ තීරණය වීමට දැන් නියමිතය.

ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් විසින් එකිනෙකා ප්‍රසිද්ධියේ විවේචනය කිරීම දැන් එන්න එන්නම ඉහළ යමින් තිබේ. දෙමසකින් ශ්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවන බවටත් එහි අගමැතිකම රාජපක්ෂ පාර්ශ්වයට දෙන බවටත් කියා තිබුණේ සිරිසේනවාදී දාමරික නියෝජ්‍ය ඇමැතිවරයෙකි. එයට පෙර එජාප මහ ලේකම් කියා තිබුණේ කැමැති අයකුට ආණ්ඩුවෙන් ඉවත්විය හැකි බවයි. වෙන්ව ගමන් කළ යුතු බව පක්ෂ දෙකෙහිම බහුතර මතය බවට පැමිණෙමින් තිබේ.

මෑතක සිට ජනාධිපති සිරිසේන සිය විධායක බලතල වඩවඩා පාවිච්චි කරන්නටද පටන්ගෙන තිබේ. වික්‍රමසිංහ යටතෙහි වූ ආර්ථික කළමනාකරණය සිරිසේන යටතට ගත්තේ දෙසතියකට පෙරය.
පක්ෂ දෙක අතර අවබෝධතා ගිවිසුම අවසන් වූ වහාම එනම් අගෝස්තු මාසයේදී ආණ්ඩුවේ ඇමැතිකම් අතහැර ස්වාධීන විපක්ෂ මන්ත්‍රීවරුන් ලෙස ක්‍රියාකරන බවට යළියළි කියාසිටි සුසිල් ප්‍රේමජයන්තගේ සිට ජෝන් සෙනෙවිරත්න දක්වා වන ශ්‍රීලනිප ඇමැතිවරුන්ගෙන් කිහිප දෙනෙකු හෝ අද හෙට රාජපක්ෂ කරා යෑමට ඉඩ වැඩිය. ඔවුන් දිගටම රැඳී සිටියහොත් එය සාධාරණ කළ හැකි වන්නේ දෙසැම්බර් මාසය දක්වා සන්ධාන ආණඩුවේ රැඳීසිටින ලෙස ජනාධිපති සිරිසේන විසින් කරන ලද ඉල්ලීම මත පමණය.

පෙනෙන විදියට සන්ධාන ආණ්ඩුව දැන් තීරණාත්මක අවස්ථාවක් කරා වේගයෙන් ඇදීයමින් තිබේ. දෙන ලද පොරොන්දු කිසිවක් ඉටු නොකර තවදුරටත් සන්ධානය පවත්වා ගන්නට තීරණයක් වෙතොත් ඊට හේතුව එකම එකකි. එනම් හුදෙක්ම දූෂණයේ සහ වංචාවේ බලයෙන් මෙරට පාලනය කරන දේශපාලන පංතිය ලෙස සිය වරදාන පවත්වා ගැනීමේ අවශ්‍යතාව නිසාය. එවැනි සන්ධානයක් පවතිනවාට වඩා නැතිවී යාම හොඳයැයි කල් යෑමට පෙර ජනතාව තීරණය කරන්නට ඉඩ තිබේ.
එවැනි වර්ධනයක් විසින් ශ්‍රී ලංකාව දේශපාලන අරාජිකත්වයක් කරා ගෙනයෑමට ඇති ඉඩ වැඩිය.■